අපි කතා නොකර ඉමු ?







බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිත හිත ඉන්නවා හැමදාම . ඒත් වෙලාවක් වෙන්නේ නෑ . බුකියේ මම පෝස්ට් ශෙයා කරනකොට කස්ටිය හිතාගෙන ඉන්නේ මම හෙන ෆ්‍රී එකේ ඉන්නවා කියලා . ඒත් තියෙන වැඩ කන්දරාව දන්නේ මමයි උඩ ඉන්න දෙයියෝයි විතරයි හෆ්ෆා . ඉඳලා ඉඳලා එපා උනාම තමයි ඇවිත් බුකියේ පෝස්ට් ශෙයා කරගෙන කරගෙන යන්නේ . ඒකත් එපා උනාම ආයෙත් වැඩ කරන්න බහිනවා . අද කරන්ට් නැහැ . ඒ නිසා කැම්පස් එකේ අද ලෙක්චර්ස් ගොඩක් තිබුණේ නෑ . ඒ නිසා වේලාසනින් බෝඩිමට ආව නිසා හිතුවා පෝස්ට් එකක් ලියලා දැම්මනම් හොඳයි කියලා .

අපිට පලවෙනි අවුරුද්දේ දෙවෙනි සෙමෙස්ටර් එකේ තිබුණා කුරුමිණියෝ ගැන උගන්වන පාඩමක් . එන්ටොමොලොජි තමයි ඒකෙ නම . සිංහලෙන් මොකක්ද  එකක් කියනවා . මතක නෑ . :p  :p . ඉතින් මේ පාඩම උගන්වන කාලෙ අපිට ඒ පාඩම කියලා දීපු කථිකාචාර්ය තුමිය , පාඩමේ අන්තිම හරියේ තමයි මේ කුරුමිණියන්ගේ ප්‍රජනන කාර්යය ගැන විස්තර කරේ . මේ අයගේ තියෙන සංවේදන පද්ධතිය සහ ෆෙරමෝන කියන රසායනික ද්‍රව්‍යක් නිසා ඒ ඒ සතුන්ට තමන්ට ආවේනික විරුද්ධ ලිංගික ජීවියා කිලෝමීටර් ගාණක් ඈත තියා උනත් අඳුරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මේ කථිකාචාර්ය තුමිය අපිට විස්තර කළා . මේ ක්‍රමය භාවිතා කරලා දැන් කෘමි සත්තු විනාශ කරන්න ෆෙරමෝන උගුල් පවා පාවිච්චි කරනවා . ඉතින් මේ ෆෙරමෝනවල තියෙන සුවඳට තමයි මේ සත්තු ආකර්ෂණය වෙන්නේ 


ඉස්සර මම උසස්පෙළ පංතියේ ඉගෙනගන්න කාලෙ අපේ බයෝ මිස් අපේ පංතියේ හිටපු කෙල්ලන්ට කිව්වා මරු කතාවක් . ඒකට හේතු උනේ ඒ කාලෙ ඒ පැත්තේ හිටපු ගුරු භවතෙක් තමන්ගේ ක්ලාස් එකට ආව ළමයෙක් එක්ක පැනලා ගියපු කතාවක් නිසා . අපේ මිස් කිව්වේ ඔය එක එක සැර සුවඳවල් තියෙන සෙන්ට් ජාති ගාගෙන ක්ලාස් යන්න එපා කියලා . අවංකවම කියනවනම් ඒ කතාවට මම ඒ කාලෙ හිත යටින් හිනා උනා . ඒත් අද වෙනකොට තමයි ඒකට හේතුව තේරුම් ගත්තේ . මිනිස්සුන්ට ඇහෙන දේට , කියන දේට දකින දේට වඩා සුවඳ හොඳට මතක හිටිනවා . ඒ නිසා අපිට ඒ සුවඳ ආයෙත් දැනුනම ඒ සුවඳ මුලින් දැනුනු දවස , අවස්ථාව හරිම ඉක්මනට මතක් කරගන්න පුළුවන් වෙනවා .

මට මතකයි බුකියේ පෝස්ට් එකක් ශෙයා උනා ලිංගේන්ද්‍රිය අවට තියෙන රෝම ඉවත් කරන්න එපා කියලා කතාවක් . ඒකෙ විද්‍යාත්මක සත්‍යතාවයක් ගැන නම් සාධක මට ලැබුණේ නෑ . ඒත් ඒ ලිපියේ කියලා තිබුණේ මනුෂ්‍ය වර්ගයාගේ ආකර්ෂණය වීම් සිදුවෙන්න මේ ලිංගය සහ යෝනි මාර්ගය අවට තියෙන රෝමවල රෝම මූල වලින් ශ්‍රාවය කරන , ෆෙරමෝන වලට සමාන සංයෝග වලින් ඇතිවෙන ආග්‍රාන සංවේදනය උපයෝගී වෙනවා කියලා . ඒ දේ වෙනවා කියන්නේ අපිට නොදැනීම කියලා තමයි ඒ ලිපියේ වැඩිදුර විස්තර කරලා තිබුණේ .


                                                  http://previews.123rf.com/images/maridav/maridav1304/maridav130400114/19226464-Couple-running-Sport-runners-jogging-on-beach-working-out-smiling-happy-Fit-male-fitness-model-and-a-Stock-Photo.jpg


ජීව විද්‍යාත්මකව එහෙම හිතන්න පුළුවන් වගේම පෙම්වතෙක් පෙම්වතියක් ආදරය කරන කාලයේ තම තමන්ගේ සහකරුවා හෝ සහකාරියගේ ළඟින් ඉන්න එක තරම් වටිනා වෙනත් දෙයක් ඇත්තේ නැහැ . පිස්සට හැතැප්ම නැහැ කියනවා වගේ පෙම්වතුන් පෙම්වතියන් කතා කරන්න ගත්තත් ඇවිදින්න ගත්තත් රණ්ඩු කරන්න ගත්තත් ඔය කිසි දේක ඉක්මන් අවසානයක් නම් ඇත්තෙම නැහැ . මේ නිසා දෙන්නට දෙන්නා පොඩි වෙලාවක් පොඩි කාලයක් හරි දකින්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්න එක හරියට කල්පයක් ගත කරනවා වගේ තමයි හිතට දැනෙන්නේ . මෙන්න මේ අදහස් කැටි කරලා රචනා කරපු ගීතයක් ගැන තමයි අද වයලීනොගේ ලිපියෙන් කියවෙන්නේ . එහෙනම් වෙනදා වගේම ඉස්සෙල්ලම අපි ගීතය අහලා ඉමු .



අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

අපි ළංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ


ගායනය - ජානක වික්‍රමසිංහ

පද රචනය - සුනිල් ආර්. ගමගේ

තනුව හා සංගීතය - ගුණදාස කපුගේ




මේ ගීතය අහනකොට මට මැවෙන්නේ මොකක් හරි රණ්ඩුවක් වෙලා හෝ ඒ නැත්නම් තරහා වෙලා නිසා , එහෙමත් නැත්නම් තමන්ගේ පෙම්වතිය හමුවෙන්න යන්න දාගෙනහිටපු දවසේ වෙනත් වැඩක් යෙදිලා පෙම්වතිය හමුවෙන්න යන්න බැරි වීම නිසා පසුවතැවෙන පෙම්වතෙක්ව . මොකද ඔයවගේ පෙම්වත්තු කීපදෙනෙක්ම වයලීනොගේ ඇස ගැටෙන මානයේ ඉන්නවා . උන්ටත් කියන්න පුළුවන් උන්ගේ ඇස ගැටෙන මානයේ ඒවගේ පෙම්වතෙක් ඉන්නවා කියලා ඕන නම් .  :p . එහෙමත් නැත්නම් ඉතින් මේ පෙම්වතා කරන්නේ අපිට මෙහෙම හම්බවෙන්නේ නැතුව ඉන්න උනොත් මොනවා වෙයිද කියලා හීන මවන සීන් එකක් .

අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
ටික දවසක්
අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී
කල්පයක් සේ දැනේවී

පෙම්වතා කියනවා අපි කතා කරන්නේ නැතුව ඉමු , පොඩි කාලයක්මත් නෙවෙයි . ටික දවසක් . ඒත් කතා කරන්නේ නැතුව දෑසින් දෑස ලං වෙලා බලාගෙන ඉමු . එතකොට අපිට ඒ කාලය කල්පයක් තරම් හිතට දැනෙනවා කියලා . ආදරය කරන දෙන්නෙක්ට මේ දේවල් දෙකම ලොකු දේවල් . දෙන්නට දෙන්නා කතා කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඉතින් ජීවිතේටම හෙන ගැහුවා වගේ තමයි . කොල්ලා කන්නේ බොන්නෙත් නෑ . කෙල්ල කන්නේ බොන්නෙත් නෑ . ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා . ඔය වගේ එක එක විදියට තමයි ඒ ආවේගය පිට කරන්නේ . ඒ වගේම තමයි දෙන්නට දෙන්නා ලං වෙලා මුනට මූණ බලාගෙන මොට්ටු මොට්ටු...................... කියලා නළලට නළල තියාගෙන බලාගෙන ඉන්නකොට . වෙන් වෙලා මූණ අහකට ගන්න හිතෙන්නෙම නෑ . ඔය ගත කරන කාලයන් දෙකම මහා විශාල කාලයක් විදියට තමයි පෙම්වතුන් කිරලා මැනලා ගන්නේ .


අපි කතා නොකර හිඳිනා ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
ඔබ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

කොල්ලෝ කෙල්ලේ ෆෝන් එකෙන් නැත්නම් හම්බෙලා කතා කර කර ඉන්නවට අපේ බාසාවෙන් කියන්නේ මල් කඩනවා කියලනේ . ඔය මල් කැඩිල්ල ඇතිවෙලා තියෙන්නේ ආදරය කරනකොට පූදිනවා කියන පෙම් මල් නිසා . මේ පෙම්වතා කියනවා අපි දෙන්නා කතා නොකර ඉන්න ටික දවසට පෙම් මල් පිපිලා පරවෙලා යන විදිය දැක්කම පුදුමත් හිතෙනවා කියලා . ඉතින් ඒ පෙම් මල් පරවෙලා යන්න දෙන්නේ නැතුව පෙම්වතියගේ මුහුණේ පිපෙන හිනා මලක් එක්ක තමන්ගේ හිතේ පිපෙන පෙම් මල මුහු කරලා ආදරය විඳගන්න කොහොමද නෑවිත් ඉන්නේ කියලා පෙම්වතා තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා . මල් පුසුඹ දිගේ කෙලෙසද නෑවිත් ඉන්නේ . මෙන්න මේ පද පේලිය නිසා තමයි මම මේ ගීතයට අර ජීව විද්‍යාත්මක කතාව සම්බන්ධ කරන්න කල්පනා කරේ . කුරුමිණියා ෆෙරමෝන සුවඳට ඇදිලා යනවා වගේ , පිරිමියා ගැහැණියගේත් ගැහැණිය පිරිමියාගේත් සුවඳට ඇදිලා යනවා වගේ මේ ගීතයෙන් කියවෙන්නේ පෙම්වතියගේ සුවඳ විඳින්න පෙම්වතා යන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා අහනවා වගේ දෙයක් නේද ?

අපි ළංව බලන් හිඳිනා එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ

දැන් පෙම්වතා හීන මවනවා පෙම්වතිය එක්ක තමන් කොතැනක හරි තනිවෙලා ඉන්නවා කියලා . දෙන්නට දෙන්නා මූණට මූණ ළං කරගෙන ඉන්නේ . පෙම්වතාට පෙම්වතිය දැනෙන්නේ මල් සුවඳක් වගේ . ඒ කියන්නේ පෙම්වතාට මතක් වෙනවා තමන් කලින් පෙම්වතියගෙන් විඳපු සුවඳ . ඉතින් ඒ සුවඳ ආයෙත් විඳගන්න එන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා තමයි පෙම්වතා ප්‍රශ්න කරන්නේ .


මේ ගීතයේ සංගීතය ගැන ලොකුවට විස්තර කරන්න නම් දේවල් දැනෙන්නේ නැහැ . මේ ගීතයේ සංගීතයේ මම රස විඳින තැන් කීපයක් ගැන මම කියන්නම් . ගීතයේ පෙර වාදනය ආරම්භ වෙන වෙලාවේ ඉඳලම හොඳ රිදම් ගිටාර් පන්ච් එකක් යනවා . ඒවගේම බේස් ගිටාර් එකත් තමන්ගේ ගතානුගතික වාදන ශෛලිය ඉක්මවා ගිහින් කෝඩ්ස් වල ස්වර වාදනය කරමින් ඒ අතරේම තවත් ඒ කෝඩ්ස් වලට ගැළපෙන ස්වර වාදනය කරමින් ගීතය හොඳට පුරවලා තියෙනවා . අපේ බාසාවෙන් එහෙම තමයි කියන්නේ , පුරවලා තියෙනවා කියලා . ගීතයේ තියෙන ප්‍රේමාන්විතබව සහ හුදෙකලා බව ඇතිකරන්න හොරනෑවක් වගේ හඬක් නිකුත් කරන ඕබෝ එකක් දායක වෙනවා . පෙර වාදනය අවසන් වෙන වෙලාවේ ගිටාර් කෝඩ්ස් පන්ච් එක හුච් චං ගාලා වාදනය කරලා තමයි නවතින්නේ . ඒකත් මේ ගීතයේ හොඳ තැනක් .

අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු කියන වචන අතරේ බේස් ගිටාර් එකෙන් හොඳ වාදනයක් ඇතුළෙන්ඉදිරිපත් කරලා තියෙනවා . ගීතයේ අන්තරා කොටස් දෙකේම ගායන කරන අතරේ ඊට යටින් ඇහෙනවා ගිටාර් එකකින් ස්වර වාදනය කරනවා ඒ ඒ කෝඩ්ස් වල . ඒකත් ටිකක් මේ ගීතයේ ආකර්ශනීය තැනක් .


මේ ගීතයේ හදතට කතා කරන්න පුළුවන් ගායනා ස්ථානයක් තමයි කල්පයක් සේ දැනේවී කියන තැන . ජානක වික්‍රමසිංහ මහත්මයා ඒ ගායනය හදවතට දැනෙන විදියටම ඉදිරිපත් කරලා තියෙනවා . අපි කතා නොකර හිඳිනා ටික දවසට කියන කොටසේ ටික දවසට කියන වචන දෙකට අදාල ස්වර මාරු වීමට මම ටිකක් වැඩිපුර කැමතියි . මොකද මම ගීතය අහන්න ගත්තට පස්සේ ඒ තැන එනකල් බලාගෙන ඉන්නවා . හිතා මතා නැතත් ඉබේම වගේ ඒ දේ වෙනවා . මේ ගීතය මම බටනලාවෙන් වාදනය කරන්න කැමතියි . ඒවගේම සිංදුවා ඕගන් ඒකෙන් මේ ගීතය වාදනය කරනවා අහන්නත් කැමතියි . සිංදුවා මේ සිංදුවේ පෙර අතුරු වාදන වාදනය කරන වෙලාවට ඕගන් එකේ බෙන්ඩ් එක හොඳට පාවිච්චි කරනවා . බෙන්ඩ් එක කැඩෙන්නත් ඇත්තේ ඕකම තමා . හැක හැක හැක :p :p

මම එහෙමයි මේ ගීතය අහන්නේ . ඒ වෙනසට මම කැමතියි . ඒ නිසා ඔයාලත් ඒ වෙනසට කැමති වෙන්න . ගීතය අහලා ඔයාලට දැනෙන දේ කමෙන්ට් කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: