කෝමාරිකා මාළුව





https://suwaarana.lk/post/preview/image/post_18.png



අදකාලේ තියෙන ගොඩක් ලෙඩ රෝග වලට සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැති ආහාරයක් තමයි මේ කෝමාරිකා කියලා කියන්නේ . මෑතකදී කියවන්න ලැබුණු ආනන්ද මෛත්‍රේය මහානායක හිමියන්ගේ " සෘෂිවරුන් දුටු මගේ භව ගමන " කියන පොත්වලත් මේ කෝමාරිකා ආහාරයට ගැනීම සම්බන්ධව විවිධ ආකාරයේ වැදගත්කම් විස්තර කරලා තිබුණා . අමුවෙන් ආහාරයට ගන්න පුළුවන් . ඒක කෝකටත් හොඳයි . අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ කෝමාරිකා උයලා මාළුවක් විදියට කන්නේ කොහොමද කියලා . 






කෝමාරිකා ඕන නම් කොලයක් කඩලා අරගෙන නිකන්ම කන්නත් පුළුවන් ( අපිනම් එහෙමයි ) . පොත්ත ටිකක් තිත්තයි . මදේ නම් කිසිම රහක් නෑ . ටිකක් තිත්ත ගතියක් තියෙනවා . ඒත් ඒ හරිම චුට්ටයි . නැත්නම් කෝමාරිකා මද බ්ලෙන්ඩර් කරලා ඒ යුෂය බොන්න පුළුවන් . ආමාශයේ සෞඛ්‍ය රැක ගන්න හරිම හොඳ පානයක් තමයි කෝමාරිකා යුෂ . එහෙමත් නැත්නම් කෝමාරිකා මාළුව උයලා කන්න පුළුවන් . සෙංගමාලය තියෙන අයට මේ කෝමාරිකා මාළුව වඩා ගුණවත් කෑමක් කියලා කියනවා . බඩේ ලෙඩ වලට නෙවෙයි ආයුෂ වැඩි කරන්න පවා මේ කෝමාරිකා හේතු වෙනවා කියලා ආයුර්වේදයේ කියනවා . මුණේ ගාලා සුදුවෙනවට වඩා කාලා ලෙඩ හොඳ කරගන්න එක කවදා හරි ඔයාලට වැදගත් වේවි .

මෙන්න මේවා තමයි කෝමාරිකා මාළුව හදන්න ඕන වෙන්නේ .

හොඳ ඝනකම් කෝමාරිකා පිති තුනක් හතරක්
විටකන හුණු මේස හැඳි භාගයක්
කහ කුඩු ජුන්ඩක්
තක්කාලි ග්‍රෑම් 200ක්
බැදලා අඹරාගත් පොල් මේස හැඳි තුනක්
බැදපු මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
බැදපු උළුහාල් කුඩු තේ හැඳි කාලක්
අබ
ලුණු
පොල් කිරි කෝප්ප දෙකක්
රම්පා
කරපිංචා
කුරුඳු
එනසාල්
පොල් තෙල් ස්වල්පයක්

ඉස්සෙල්ලම කෝමාරිකා පිති අරගෙන හොඳට හෝදලා කැබලි වලට කපාගන්න . ඊට පස්සේ වටේට තියෙන කොලපාට පොත්ත හෙමීට ඉවත් කරගන්න . ඔය පොත්තේ තමයි මෙයාලා තිත්ත තියෙන්නේ . ඒ නිසා ඉවත් කරගන්න එක හොඳයි . තිත්තත් එක්කම කන්න කැමතිනම් කිසිම ගින්නක් නෑ කෝමාරිකා මදේ විවෘත වෙන විදියට දෙකට පළලා පොත්තත් එක්කම දාන්න .

ඊට පස්සේ තියෙන්නේ අර විටකන හුණු වලට කහ පොඩ්ඩක් දාලා කලවම් කරලා . වතුර චුට්ටක් එක්ක දිය කරලා අර කෝමාරිකා කෑලිවල හොඳට තවරගන්න එක . ඒවා ගාලා ටිකක් වෙලා තිබ්බම කෝමාරිකා කෑලි කළුපාට වෙනවා . ඊට පස්සේ අර හුණු ඔක්කොම ඉවත් වෙලා යන්න හොඳට හෝදන්න . ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකට ඔය කෝමාරිකා කෑලි ටික දාලා වතුර පොඩ්ඩක් විතර දාලා ගින්දර දාලා රත් කරන්න . වතුර රත් වෙවී කෝමාරිකා කෑලි තැම්බෙනකොට ඒ කෝමාරිකා කෑලි හොඳට හයි වෙලා කන්න පුළුවන් ගානට එනවා . ඊට පස්සේ එක ලිපෙන් බාලා අරගෙන පැත්තකින් තියා ගන්න .

ඊට පස්සේ වෙන භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් රත් උනාට පස්සේ අබ රම්පා කරපිංචා එනසාල් කුරුඳු ටික දාලා ඒවා ටිකක් තෙම්පරාදු කරගන්න . ඊට පස්සේ තක්කාලි ලුණු කෝමාරිකා කැබලි ටික සහ පොල් කිරි දාලා මද ගින්නේ හොඳට පිස ගන්න .

ඊට පස්සේ ලුණු බලලා මදිනම් දාලා ලිපෙන් බාගන්න . ඊට පස්සේ බත් එක්ක දා ගත්තම කන්ට හැකි බඩ පිරෙන කල් . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . එක්කෙනෙක් හරි හදලා කෑවොත් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න . මම කැමතියි එක්කෙනෙක් හරි කෑවනම් දැනගන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment