අවතාර 32 කින් යුතු ගණදෙවියන්




ඕම් නමෝ ශ්‍රී මහා ගනේශාය නමහා.....................


ගණ දෙවියන් සම්බන්ධව කතා කරනකොට ගණ දෙවියන්ගේ උපත සම්බන්ධව කියවෙන බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා . පාර්වතී දේවිය විසින් මවන ලද කුමාරයෙක් ඊශ්වර දෙවියන්ට නිවසට ඇතුළු වීමට බාධා කරනකොට ඊශ්වර දෙවියන් විසින් ත්රීශුලයෙන් ඒ කුමාරයාගේ හිස කඳෙන් වෙන් කරනවා . ඊට පස්සේ පාර්වතී දේවියගේ කෝපය සහ දුක සංසිඳුවීම සඳහා ඊශ්වර දෙවියන් විසින් ඇත් මුහුණක් සවි කරලා නැවතත් ඒ කුමාරයාට ප්‍රාණය ලබා දෙනවා . ඒ උපන් ඇත් හිස සහිත දේව කුමාරයා තමයි ගණ දෙවියන් කියලා කියන්නේ . සරළව කතාව මෙහෙම උනත් මේ කතාව තුල මීට වඩා සිද්ධීන් සමුදායක් අන්තර්ගත වෙනවා . 


ඊශ්වර දෙවියන්ගේ පුත්‍රයෙක් නිසාත් , නිරායාසයෙන්ම ලැබුණු කිසිවෙකුටත් දෙවෙනි නොවන ඥාන සම්පත්තිය නිසාත් සම්පූර්ණ දේව සභාවේම ගෞරවය සහ බලය කියන දේවල් මේ ගණ දෙවියන් කෙරෙහි ලැබිලා තියෙනවා . ඒ වගේම තමයි නුවණට අධිපති කියන උසස් තත්වය ගණ දෙවියන් කෙරෙහි ආරෝපණය වෙලා තියෙනවා . මෙන්න මේ නිසා ගණ දෙවියන් සම්බන්ධව ලංකාවටත් වඩා ඉන්දියාවේ මිනිස්සු වැඩි භක්තියක් දක්වනවා . ලංකාවේ වුණත් අද වෙනකොට ගණ දෙවියන් වන්දනා කිරීම සාමාන්‍ය සිරිතක් වෙලා තියෙනවා . 


දරුවෙකුට අකුරු කියවීම වගේ විශේෂ අවස්ථා වලදී ගණ දෙවියන් මූලික කරගෙන වැඩ කටයුතු කිරීමක් ලංකාවේ සිදුවෙනවා . ඒ වගේම ලංකාවේ පවතින පන්සල් දේවාල කෝවිල් වල ගණ දෙවියන් වෙනුවෙන් කුටියක් වෙන් වෙලා තියෙනවා . විශේෂයෙන්ම දේවාලවල සහ කෝවිල්වල ගණ දෙවියන් වෙනුවෙන් මුලින්ම පුද පූජා සිදු කිරීමක් ඒ ඒ ඇදහීම්වල දක්නට ලැබෙනවා . රන්ත්පුරේ සමන් දේවාලය බ්‍රාහ්මණ පරපුරවල් වලින් පුද පූජා කෙරෙන තැනක් වුණත් ගණ දෙවියන් වන්දනා කරන්න වෙනම තැනක් වර්තමානයේ පේන්නේ නැහැ . ඒත් අතීතයේ ගණදෙවි වන්දනා කිරීමක් සබරගමුව මහසමන් දේවාලයේ කෙරුන බවට සාක්ෂි තියෙනවා . 


පෘතුගීසි ආක්‍රමණ නිසා දේවාලයේ පූජා වස්තූන් දේවාලයට තරමක් ඈතින් තිබුණු දේවාල ගොඩැල්ල කියන ස්ථානයේ වල දාලා ඒ මත මලසුන් ගෙයක් හදාගෙන අප්‍රසිද්ධියේ කපු මහත්වරුන් විසින් දේව පූජාවන් කරලා තියෙනවා . මෑත කාලයේදී ඒ ස්ථානවල කරපු කැනීම් වලදී ගණ දෙවි රූපයක් එහෙම ලැබුණා කියලා වාර්තා කීපයක සඳහන් වෙලා තිබුණා . බ්‍රාහ්මණ පරපුරවල් පවා ලංකාවේ දේවාල තුල මේ ගණදෙවි වන්දනාව වෙනමම හෝ ප්‍රධාන දේවාලය තුල හෝ කරලා තියෙනවා කියලා මේ අනුව විශ්වාස කරන්න පුළුවන් . 


ගණ දෙවියන් වන්දනා කිරීමෙන් සාමාන්‍යයෙන් නුවණ වැඩෙනවා කියලා සහ විභාග සමත් වෙනවා කියලා සමාජයේ පිළිගැනීමක් තිබුණත් ගණ දෙවියන් ඊටත් වඩා දෙයක් ලබා දෙනවා කියලා මේ ගණ දෙවියන්ගේ අවතාර 32 ක සම්බන්ධ විස්තර වලින් දැනගන්න පුළුවන් . සතුරන් නාශනය , ධන ලාභය , සෞභාග්‍යවත් බව , වගේ විශේෂ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ගණ දෙවියන් වන්දනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් . 


හැබැයි නිකං වැන්දට වැඩක් නැහැ . භක්තියෙන් වන්දනාමාන කරන්න ඕන . ඒ වගේම තමයි තමන්ගේ අවශ්‍යතාවයට විතරක් වඳින්න පුදන්න යන්න එපා . දෙවියන් කෙරෙහි ශක්තිමත් භක්තියක් සහිතව වඳින පුදන පිං දෙන අයට තමයි දෙවියන්ගේ විශේෂ උදවු උපකාරය ලැබෙන්නේ . ඒවගේම තමයි දෙවියන්ට පුද පූජා බලාපොරොත්තුවක් නැහැ . දෙවියන් පුද පූජා තියන අය ගැන සතුටුයි . ඒත් අවශ්‍යම නැහැ . දෙවියන්ට අවශ්‍ය වෙන්නේ පිං දහම් කිරීම සහ ඒවා තමන් වෙත අනුමෝදන් කිරීමක් . ඒ නිසා පුළුවන් තරම් පිං දහම් කරන්න . පවු කිරීම පුළුවන් තරම් අඩු කරගන්න . අඩු කරලා කරලා නැත්තටම නැති කරගත්තම පිං කරගන්න තවත් කාල වෙලාව ලැබෙනවා . ඊට පස්සේ ඒ පිං දෙවියන්ට අනුමෝදන් කරන්න . 


අපි බලමු ගණ දෙවියන්ගේ අවතාර 32 න් මොනවද කියවෙන්නේ කියලා . 


1. බාල ගණපති

Bala Ganapati

බාල ගණපති අවතාරය කුඩා ළමයෙක්ගේ ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ . මේ අවතාරයේ විශේෂ ලක්ෂණ විදියට පෙන්නුම් කරන දේවල් කීපයක් තියෙනවා . වර්ණයෙන් රත්තරන් පැහැයක් ගන්නවා . අත් හතරක් පිහිටනවා . ඒ අත් හතරේ අඹ ගෙඩියක් , කෙසෙල් ගෙඩියක් , උක් ගසක් , වරකා මදුලක් හෝ වරකා ගෙඩියක් දරාගෙන ඉන්නවා . හොඬයේ මෝදකයක් දරාගෙන ඉන්නවා . බාල ගණපති වන්දනා කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ පොලවේ සරුසාර බව වර්ධනය වීම සහ අස්වනු ලැබීම වැඩි කරගැනීම . 


2. තරුණ ගණපති

Taruna Ganapati


තරුණ ගණපති අවතාරයේ ශරීර වර්ණය රතුපාටට හුරු වර්ණයක් වෙනවා . අත් 8 ක් පිහිටනවා වගේම අත්වල හෙණ්ඩුවක් , යගදාවක් , මෝදකයක් , දිවුල් ගෙඩියක් , ජම්බු ගෙඩියක් , කැඩුණු දළයක් , ගොයම් මිටියක් සහ උක් දණ්ඩක් දරාගෙන ඉන්නවා . රතු පැහැයෙන් යුක්ත මේ තරුණ ගණපති අවතාරය ගොඩක් වෙලාවට තරුණ අයගේ වන්දනා මානයට ලක් වෙනවා . ඒ වගේම තමයි ඒ අයට පිහිට ආධාරයත් ලැබෙනවා . 


3. භක්ති ගණපති

Bhakti Ganapati


ගණ දෙවියන්ගේ භක්ති ගණපති අවතාරයට සාමාන්‍යයෙන් ඉතාම පැහැදිළි ප්‍රසන්න පෙනුමක් හිමි වෙනවා . ඒ වගේම තමයි ගණපති දෙවියන්ගේ ටිකක් වැඩියෙන් වන්දනාමාන කෙරෙන අවතාරයක් විදියට භක්ති ගණපති අවතාරය හඳුන්වන්න පුළුවන් . අත් හතරක් මේ ගණපති අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ අඹ ගෙඩියක් , පොල් ගෙඩියක් , කෙසෙල් ගෙඩියක් සහ පායාස බඳුනක් දරාගෙන ඉන්නවා . සාමාන්‍යයෙන් මිනිස්සු අස්වනු නෙලන කාලයට තමයි භක්ති ගණපති වන්දනා කිරීම කරනු ලබන්නේ . අස්වැන්නේ වැඩි වීමට සහ ආරක්ෂාවට මේ වන්දනාවෙන් බලාපොරොත්තු වෙනවා . 


4. වීර ගණපති

Vira Ganapati


ගණදෙවියන්ගේ තරමක් ආක්‍රමණශීලී අවතාරයක් විදියට වීර ගණපති අවතාරය හඳුන්වන්න පුළුවන් . මෙතුමාගෙන් පෙන්නුම් කරන්නේ වීරත්වය . මෙතුමාගෙන් මිනිස්සු වන්දනා කරලා බලාපොරොත්තු වෙන්නෙත් වීරත්වය . මේ වීරත්වය ප්‍රාර්ථනා කිරීම නිසා ගොඩක් වෙලාවට යුද්ධ වලින් ජය ගන්න භාර හාර වීම් වෙන්න මේ වීර ගණපති අවතාරය වන්දනා කිරීම සිදුවෙනවා . මේ අවතාරයේ අත් 16 ක් පෙන්නුම් කෙරෙනවා . ඒ අත් 16 ට ආයුධත් 16 ක් තියෙනවා . 


5. ශක්ති ගණපති

Shakti Ganapati

ශක්ති ගණපති අවතාරය රතු තැඹිලි පැහැති ශරීරයක් සහිත වෙනවා . ඒ වගේම තමයි මේ අවතාරයේ විශේෂත්වය වෙන්නේ එතුමාගේ එක් භාර්යාවක් සමග සිටීම . සාමාන්‍යයෙන් භාර්යාව ශක්තියක් කියලා තමයි සඳහන් වෙන්නේ . ඒ ශක්තිය තමයි භාර්යාව නිරූපණය කිරීමෙන් මේ අවතාරයේ පෙන්නුම් වෙන්නේ .  ශක්ති අවතාරය වන්දනා කිරීමෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සහ බිරිඳගේ , එහෙමත් නැත්නම් තමන්ගේ සහ ස්වාමියාගේ ආරක්ෂාව . ශක්ති අවතාරයේ අත් හතරක් පිහිටනවා . මේ අත් හතරේ තොන්ඩුවක් යගදාවක් මල් මාලයක් සහ අනිත් ඉතිරි අත අභය මුද්‍රාව සහිතව නිරූපණය කෙරෙනවා . 


6. ද්වජ ගණපති

Dvija Ganapati

ද්වජ ගණපති අවතාරයට මුහුණ හතරක් හිමි වෙනවා . දෙවතාවක් ඉපදුණු අවතාරයක් විදියට තමයි ද්වජ අවතාරය සඳහන් වෙන්නේ . හඳේ වර්ණය මේ ද්වජ ගණපති අවතාරයේ වර්ණය වෙනවා . ද්වජගනපති අවතාරයට අත් හතරක් හිමි වෙනවා . මේ අත් හතරේ පුස්කොලයක් , හැරමිටියක් , ජපමාලයක් සහ කෙණ්ඩියක් දරාගෙන ඉන්නවා . නිවැරදි ජීවන රටාවකට මග කීම මේ ද්වජ ගණපති අවතාරයේ කාර්ය භාරය වෙනවා . නීතිය විනය සහ චාරිත්‍ර වාරිත්‍ර මේ නිවැරදි ජීවිතයට අදාළ දේවල් වෙනවා . 


7. සිද්ධි ගණපති

Siddhi Ganapati

සිද්ධි ගණපති අවතාරය ඉතාම පහසු ඉරියව්වකින් ඉඳගෙන ඉන්නවා වගේ තමයි නිරූපණය වෙන්නේ . ශරීරය පැහැදිළි රත්තරන් පැහැයක් ගන්නවා . අත් හතරක් මේ අවතාරයේ පෙන්නුම් වෙනවා . මේ අත් හතරේ මල් පොකුරක් , අඹ ගෙඩියක් , උක් දණ්ඩක් සහ පොරක්ව තියෙනවා . හොඬවැලේ තල ගුලියක් දරාගෙන ඉන්න ආකාරයට තමයි නිරූපණය වෙන්නේ . සිද්ධි ගණපති අවතාරයේ කාර්ය භාරය වෙන්නේ අපේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම . ඒ කියන්නේ අපි ඉල්ලන දේවල් ඉටුකර දීම තමයි සිද්ධි ගණපති අවතාරය විසින් සිදු කරන්නේ . මේවා හොඳ ඉල්ලීම් වෙන්න ඕන . 


8. උච්චිෂ්ට ගණපති

Ucchhishta Ganapati

උච්චිට්ට ගණපති අවතාරයේ ශරීර වර්ණය වෙන්නේ නිල් පැහැය . ඒවගේම තමයි මේ නිල් පැහැය ටිකක් තද නිල් පැහැයක් ගන්නවා . එතුමන්ගේ එක් භාර්යාවක් එක්ක තමයි මේ අවතාරයේ පෙන්නුම් වෙන්නේ . උච්චිට්ට ගණපති අවතාරයේ අත් හයක් පෙන්නුම් කෙරෙනවා . මේ අත් හයට වීණාවක් , දෙළුම් ගෙඩියක් , නිල් නෙලුම් මලක් , ජප මාලයක් සහ ගොයම් මිටියක් දරාගෙන ඉන්නවා . මේ අවතාරයට වන්දනා කිරීම ඔස්සේ මිනිසුන් වැඩියෙන්ම ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා . ඒ වගේම තමයි බවභෝග සම්පත් ලාභය බලාපොරොත්තු වෙනවා . ලාභය කියලා කියන්නේ සල්ලි ආහාර ඇඳුම් පැළඳුම් වගේ දේවල් . 


9. විග්න ගණපති

Vighna Ganapati

විග්න කියලා කියන්නේ බාධාවන් . ජීවිතයට ඇතිවෙන බාධාවන් විනාශ කිරීම විග්න ගණපති අවතාරයේ කාර්යභාරය වෙනවා . මේ විග්න ගණපති අවතාරය රත්තරන් පැහැයෙන් යුක්ත වෙනවා . අත් අටක් මේ විග්න ගණපති අවතාරයට හිමි වෙනවා . විග්න ගණපති අවතාරයේ මේ අත් අටේ තොන්ඩුවක් , යගදාවක් , දළයක් , මෝදකයක් , හක් ගෙඩියක් , කවපෙත්තක් , මල් කළඹක් , උක් දණ්ඩක් , මල් දුන්නක් සහ පොරවක් දරාගෙන ඉන්නවා . බාධක විනාශ කරගන්න තමයි විග්න ගණපති වන්දනාව කෙරෙනවා කියලා සඳහන් වෙන්නේ . 


10. ක්ෂිප්ර ගණපති

Kshipra Ganapati

ක්ෂීර ගණපති අවතාරය මිනිස්සුන්ට වර ලබා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නා අවතාරයක් . තරුණ කඩවසම් පෙනුමක් ගන්න අතරේ ශරීරය රතු පැහැයෙන් පෙන්නුම් කෙරෙනවා . අත් හතරක් තියෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , කල්ප වෘක්ෂයේ කොටසක් , තමන්ගේ කැඩුණු දළය දරාගෙන ඉන්නවා . ඊට අමතරව හොඩවැලේ මැණික් මුට්ටියක් සහිත වෙනවා . වර ලබා ගැනීම සඳහා තමයි මේ ක්ෂීර ගණපති අවතාරය වන්දනා කරන්නේ . 


11. හේරම්භ ගණපති

Heramba Ganapati


හේරම්භ ගණපති අවතාරයේ මූණු පහක් සහිත වෙනවා . සිංහයා මේ අවතාරයේ වාහනය වෙනවා . මේ නිසා තරමක ගාම්භීර පෙනුමක් මේ අවතාරයට හිමි වෙනවා . අත් 10 ක් මේ අවතාරයට හිමි වෙනවා . ඒ අත්වල තොන්ඩුවක් , ජප මාලයක් , පොරවක් , මිටියක් , එක දළයක් , මල් මාලයක් , පළතුරක් , සහ මෝදකයක් දරාගෙන ඉන්නවා . ආරක්ෂාව සහ ආශිර්වාද මුද්‍රාවට අනිත් අත් දෙක හිමි වෙනවා . මේ අවතාරයෙන් බලාපොරොත්තු වෙන්නෙත් දුර්වලයින්ගේ ආරක්ෂාව . 


12. ලක්ෂ්මි ගණපති

Lakshmi Ganapathi

ලක්ෂ්මී ගණපති අවතාරය සුදු පැහැයෙන් යුක්ත අවතාරයක් වෙනවා . මේ අවතාරය වරද මුද්‍රාව පෙන්නුම් කරගෙන ඉන්න අවතාරයක් . ගණදෙවියන්ගේ භාර්යාවන් දෙදෙනාම මේ අවතාරයේ පෙන්නුම් කෙරෙනවා . අත් අටක් සහිත මේ අවතාරය ඒ අත් වල කොළ පාට ගිරවෙක් , දෙළුම් ගෙඩියක් , කඩුවක් , යගදාවක් , තොන්ඩුවක් , කල්ප වෘක්ෂයේ කොටසක් , කෙණ්ඩියක් දරාගෙන ඉන්නවා . ලැබීම් ලබාදීම තමයි මේ අවතාරයේ කාර්ය භාරය විදියට සඳහන් වෙන්නේ . 


13. මහා ගණපති

Maha Ganapati

මහා ගණපති අවතාරය ඇස් තුනකින් යුක්ත වෙනවා . මේ අවතාරය තමන්ගේ එක් බිරිඳක් සමග තමයි පෙන්නුම් කරන්නේ . රතු පැහැයට හුරු පැහැයක් ගන්නවා . ඒ වගේම අත් දහයකින් යුක්ත වෙනවා . මේ අත් දහයේ එක දළයක් , දෙළුම් ගෙඩියක් , නිල් මානෙල් මලක් , තොන්ඩුවක් , නෙලුම් මලක් , ගොයම් මිටියක් , ධාන්‍ය මිටක් සහ මැණික් මුට්ටියක් දරාගෙන ඉන්නවා . ධන ධාන්‍ය සම්පත්තිය සඳහා තමයි මහා ගණපති අවතාරය වන්දනා කිරීම බහුතරයක් දෙනා සිදු කරනු ලබන්නේ . 


14. විජය ගණපති

Vijaya Ganapati


වීරත්වය උදෙසා තමයි මේ විජය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබන්නේ . රතු තැඹිලි පැහැයකට හුරු පැහැයක් ගන්නවා විජය ගණපති අවතාරයේ ශරීර වර්ණය . අත් හතරක් පිහිටන විජය ගණපති අවතාරයේ එක් දළයක් තොන්ඩුවක් හෙණ්ඩුවක් සහ රත්තරන් අඹයක් දරාගෙන සිටිනවා . මූසික වාහනය තමයි වාහනය විදියට පෙන්නුම් වෙන්නේ . ජයග්‍රහණය ශක්තිමත් භාවය වගේ දේවල් සඳහා තමයි මේ විජය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබන්නේ . 


15. නෘත්‍ය ගණපති

Nritya Ganapati

නෘත්‍ය ගණපති අවතාරය නර්තන විලාශයක් සහිතව තමයි පෙන්නුම් කරන්නේ . ඒ නිසා මේ ගණපති අවතාරය නර්තනය සඳහා අධිපති වෙනවා කියලා නම් කෙරෙනවා . කහ පැහැයට හුරු වර්ණයක් ශරීර වර්ණය විදියට පවතින නෘත්‍ය ගණපති අවතාරයේ අත් හතරක් පිහිටනවා . මේ අත් හතරේ ඇඟිලි සියල්ලේම මුදු පැළඳගෙන සිටිනවා . ඒ වගේම ඒ එක එක අතේ එක් දළයක් , තොන්ඩුවක් , යගදාවක් සහ මෝදකයක් දරාගෙන සිටිනවා . කල්ප වෘක්ෂය යට නර්තනයේ යෙදෙන ආකාරයට තමයි මේ අවතාරය පෙන්නුම් කරන්නේ . සතුට සෞභාග්‍යය ලඟා කරගැනීමට මේ නෘත්‍ය ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනවා . 


16. ඌර්ධව ගණපති

Urdhva Ganapati

එක භාර්යාවක් එක්ක තමයි මේ අවතාරය පෙන්නුම් වෙන්නේ . රත්තරන් පාට ශරීරයක් හිමි වෙනවා . අත් හයක් සහිත මේ අවතාරයේ ගොයම් මිටියක් , නෙලුම් මලක් , උක් දණ්ඩක් , දුන්නක් , ඊතලයක් , ගජමුතු සහ නිල් මානෙල් මලක් දරාගෙන ඉන්නවා . සශ්‍රීකත්වය සහ වර ලාභ ලබාදීම මේ අවතාරයේ විශේෂත්වයක් වෙනවා . 


17. ඒකාක්ෂර ගණපති

Ekakshara Ganapati


" ගම් " කියන ශබ්ධය ගණ දෙවියන්ට විශේෂිත අක්ෂරයක් වෙනවා . මේ අක්ෂරයට අධිපති වෙන්නේ මේ ඒකාක්ශර ගණපති අවතාරය . ඇස් තුනක් මේ අවතාරයට හිමි වෙනවා . ශරීර වර්ණය රතු පැහැයට හුරු වර්ණයක් වෙනවා . මී වාහනයක් මත තමයි හිඳගෙන ඉන්නේ . දෙළුම් ගෙඩියක් යගදාවක් සහ තොන්ඩුවක් දරාගෙන ඉන්නවා වගේම තමයි ඉතිරි අතින් වරද මුද්‍රාව පෙන්නුම් කරනවා . වර ලබාදීම මේ අවතාරයේ විශේෂිත ලක්ෂණයක් . 

18. වරදා ගණපති

Varada Ganapati

වරද ගණපති අවතාරය වර ලාභ ලබාදීමට විශේෂ වෙනවා . ඇස් තුනක් සහිත මේ අවතාරය අත් හතරක් සහිත වෙනවා . මේ අත් හතරේ මී පැණි බඳුනක් , දළයක් , තොන්ඩුවක් , යගදාවක් දරාගෙන ඉන්නවා . හෝඩවැලේ වටිනා ආභරණ සහිත බඳුනක් දරාගෙන ඉන්නවා . මේ අවතාරය එක් බිරිඳක් සමග පෙන්නුම් කෙරෙනවා . ඔටුන්නේ හඳ පළුවක් සහිත වීම විශේෂ ලක්ෂණයක් වෙනවා . 


19. ත්‍රිඅක්ෂර ගණපති

Tryakshara Ganapati


ත්‍රී අක්ෂර ගණපති අවතාරය ඕම් අක්ෂරයට අධිපති බව දරනවා . ඕම් අක්ෂරය හැදිලා තියෙන මූලික අකුරු තුනට අධිපති වීම නිසා තමයි මේ නම හිමි වෙලා තියෙන්නේ . රත්තරන් පැහැති ශරීරයක් හිමි වෙනවා . අත් හතරක් හිමි වෙනවා වගේම තමයි මේ අත්වල එක දළයක් , යගදාවක් , තොන්ඩුවක් , අඹ ගෙඩියක් සහ හොඩවැලේ මෝදක ගුලියක් දරාගෙන ඉන්නවා . විශ්ව ශක්තියට අධිපති වීම තමයි මේ අවතාරයේ විශේෂත්වය වෙන්නේ . 


20. ක්ෂිප්ර ප්‍රසාද ගණපති

Kshipra Prasada Ganapati


කුසතන වලින් සාදන ලද ඔටුන්නක් දරාගෙන ඉන්න කිශිප්ර ප්‍රසාද අවතාරය ඉක්මන් වර ලාභ ලබා දීම වෙනුවෙන් විශේෂ වෙනවා . විශාල උදරයක් සහිත වීමෙන් පෙන්නුම් කරන්නේ සම්පූර්ණ විශ්වයම තමා විසින් පෙන්නුම් කරන බවයි . අත් හයක් හිමි වෙන මේ අවතාරයේ අත්වල තොන්ඩුවක් යගදාවක් නෙලුම් මලක් දෙළුම් ගෙඩියක් කල්ප වෘක්ෂයේ අත්තක් දරාගෙන ඉන්නවා . වර ලාභ සහ ධනය ලබා ගැනීම වෙනුවෙන් මෙම අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


21. හරිද්‍ර ගණපති

Haridra Ganapati

හරිද්‍ර ගණපති අවතාරය රත්තරන් පැහැයක් ගන්නවා . මේ රත්තරන් පැහැය සහිත ශරීරය මල් මාලා වලින් අලංකාර වෙලා තියෙනවා . රත්තරන් පැහැති ඇඳුම් තමයි මේ අවතාරය ඇඳගෙන ඉන්නේ . ඉතාම සන්සුන් අවතාරයක් විදියට මේ අවතාරය නම් වෙනවා . මෝදකයක් හොඩ වැලෙන් දරාගෙන ඉන්නවා . අත් හතරක් සහිත නිසා ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , එක දළයක් සහ මෝදකයක් දරාගෙන ඉන්නවා . ශාන්තිය සහ නිදහස් බව මේ අවතාරය පෙන්නුම් කරනවා . 


22. ඒකදන්ත ගණපති

Ekadanta Ganapati


නිල් පාට ශරීරයක් හිමි ඒක දන්ත ගණපති අවතාරයට අත් හතරක් හිමි වෙනවා . මේ අත් හතරේ මෝදක බඳුනක් , නෙලුම් මලක් , පොරවක් සහ තොන්ඩුවක් පෙන්නුම් කරනවා . ආශිර්වාදය ලබා ගැනීම සහ ශක්තිය ලබා දීම මේ ඒක දන්ත ගණපති අවතාරය විසින් සිදු කරනවා . 


23. ශ්‍රීස්ථි ගණපති

Sristhi Ganapati


මෙම අවතාරය විසින් සිදු කරනු ලබන්නේ සතුට ප්‍රකාශ කිරීමේ කාර්යය . රතු පැහැති ශරීරයක් හිමිව් වෙනවා . මීයෙක් මත තමයි හිඳගෙන ඉන්නේ . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , අඹ ගෙඩියක් , එක දළයක් දරාගෙන ඉන්නවා . මමත්වය අත් හැරීම සම්බන්ධව තමයි මේ අවතාරය විශේෂයෙන්ම කියන්නේ . ආශිර්වාදය ලබාගැනීම වෙනුවෙනුත් මේ අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


24. උද්දන්ඩ ගණපති

Uddanda Ganapati

උද්දන්ඩ ගණපති අවතාරය ධර්මය ආරක්ෂා කිරීමේ කාර්ය භාරය හිමි කරගෙන ඉන්නවා . මේ නිසාම අයහපත නැගී සිටින විට ධර්මය ආරක්ෂා කිරීමට මේ අවතාරය කටයුතු කරනවා . අත් දහයක් හිමි වෙන අවතාරයක් වෙනවා . ඒ අත් දහයේ මැණික් භාජනයක්  , නිල් මානෙල් මලක් , ගොයම් මිටියක් , දෙළුම් ගෙඩියක් , තොන්ඩුවක් , යගදාවක් , මල් මාලයක් සහ එක දළයක් දරාගෙන ඉන්නවා . සාධාරණය වෙනුවෙන් මේ අවතාරය වන්දනා කිරීම කෙරෙනවා . 


25. සෘණ මෝචන ගණපති

Rinamochana Ganapati

සෘණ මෝචන ගණපති අවතාරයේ ප්‍රධානම කාර්යය වෙන්නේ මිනිසුන්ට ළඟාවන සෘණ ශක්තිය ඉවත් කිරීම සහ සෞභාග්‍යය ලඟා කිරීම . රතු පැහැති වස්ත්‍ර දරනවා වගේම තමයි ශරීරය සුදු පැහැයට හුරු පැහැයක් ගන්නවා . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . මේ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , දළයක් , අඹ ගෙඩියක් , ජම්බු ගෙඩියක් දරාගෙන ඉන්නවා . 


26. ධුන්දී ගණපති

Dhundhi Ganapati


මේ අවතාරය සම්පූර්ණයෙන්ම රතු පැහැයෙන් යුක්ත වෙනවා . උත්සාහයේ ප්‍රතිමූර්තියක් විදියට තමයි ධූන්දී අවතාරය පෙන්නුම් කරන්නේ . අත් හතරක් මේ ධූන්දී අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ රුද්රාක්ෂයක් , දළයක් , පොරවක් සහ වටිනා ආභරණ මුට්ටියක් දරාගෙන ඉන්නවා . ආශිර්වාදය ශක්තිය වීර්යය ලබා ගැනීම සඳහා මේ අවතාරය වන්දනා කිරීම සිදු කරනු ලබනවා . 


27. ද්විමුඛ ගණපති

Dvimukha Ganapati

ද්වී මුඛ ගණපති අවතාරයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ මුහුණු දෙකක් සහිත වීම . මේ මුහුණු දෙක සහ ශරීරය සම්පූර්ණයෙන්ම නිල් පැහැති ස්වරූපයක් ගන්නවා . සෑම දිශාවකටම අධිපති වීම මේ අවතාරයේ විශේෂත්වය වෙනවා . රත්තරන් ඔටුන්නක් පැළඳගෙන ඉන්නවා . අත් හතරක් හිමි වෙනවා වගේම තමයි ඒ අත් හතර මගින් තොන්ඩුවක් යගදාවක් දළයක් සහ මැණික් බඳුනක් දරාගෙන ඉන්නවා . ආශීර්වාදය පිහිට ලැබීම කියන දේවල් තමයි මේ අවතාරය වන්දනා කිරීමේ ප්‍රධානම අරමුණු වෙන්නේ . 


28. ත්‍රිමුඛ ගණපති

Trimukha Ganapati


ත්‍රී මුඛ ගණපති අවතාරයේ ප්‍රධානම ලක්ෂණය වෙන්නේ මුහුණු තුනකින් සමන්විත වීම . මේ මුහුණු තුන නිසාම තමයි මේ අවතාරයට ඒ නම ලැබිලා තියෙන්නේ . රතු පාට ශරීරයක් හිමි වෙනවා . ඒ වගේම තමයි නෙලුම් මලක් උඩ තමයි ඉඳගෙන ඉන්නේ . අත් හතරක් මේ අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , පැණි මුට්ටියක් , ජප මාලයක් කියන දේවල් දරාගෙන ඉන්නවා . ආශිර්වාද මුද්‍රාවෙන් තමයි මේ අවතාරය පෙනී සිටින්නේ . සැමට ආශිර්වාද කිරීම මේ අවතාරයෙන් සිදු කරනවා . 


29. සිංහ ගණපති

Sinha Ganapati

සිංහ ගණපති අවතාරයේත් වාහනය වෙන්නේ සිංහයා . තේජවත් බව මේ අවතාරයෙන් පෙන්නුම් කරනවා . ඒ වගේම තමයි බිය නැති ස්වභාවය කියන දේත් මේ සිංහ අවතාරයෙන් පෙන්නුම් කරනවා . යුද්ධ ජයග්‍රහණය කිරීම , රාජ්‍ය පාලනය වගේ දේවල් වලට මේ සිංහ ගණපති අවතාරය වන්දනා කිරීම සිදු කරනවා . අත් අටකින් මේ අවතාරය සමන්විත වෙනවා . මේ අත් අටේ සිංහ ඔලුවක් , කල්ප වෘක්ෂයෙන් කොටසක් , වීනාවක් , නෙලුම් මලක් , මල් පොකුරක් , ආභරණ සහිත මුට්ටියක් දරාගෙන ඉන්නවා . 


30. යෝග ගණපති

Yoga Ganapati


යෝග ගණපති අවතාරය වන්දනා මාන කිරීම සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම යෝග සම්බන්ධව කටයුතු කරන පිරිසි විසින් . යෝග උගන්වනු ලබන යෝග ආචාර්ය වරුන්ගේ විශේෂ භක්තියක් මේ යෝග ගණපති අවතාරය කෙරෙහි පවතිනවා . භාවනානු යෝගීව ඉන්න මේ අවතාරය එරමිනියා ගොතාගෙන ඉන්න ස්වරූපයෙන් තමයි ඉන්නේ . අත් හතරක් සහිත මේ අවතාරයේ මේ අත් හතරේ උක් දණ්ඩක් , ජපමාලයක් , භාවනා කිරීමට ගන්න ආධාරකයක් , සහ අභය මුද්‍රාව සහිතව සිටින අතක් දරාගෙන සිටිනවා . 

31. දුර්ගා ගණපති

Durga Ganapati


දුර්ගා ගණපති අවතාරය දුර්ගා මෑණියන් වෙනුවෙන් දුර්ගා මෑණියන් පෙන්නුම් කරන අවතාරය විදියට පිළිගැනෙනවා . මේ අවතාරය ඇත්තටම අදෘශ්‍යමාන අවතාරයක් විදියට තමයි නම් කරලා තියෙන්නේ . ඒ කියන්නේ දුර්ගා ශක්තිය පෙන්නුම් කරන ඒත් රූපයක් විදියට පෙන්නුම් වෙන්නේ නැති අවතාරයක් විදියට තමයි දුර්ගා ගණපති අවතාරය පවතින්නේ . අත් හයක් පිහිටන දුර්ගා ගණපති අවතාරයේ මේ අත්වල දුන්නක් ඊයක් තොන්ඩුවක් යගදාවක් ජප මාලයක් දළයක් ජම්බු ගෙඩියක් දරාගෙන ඉන්නවා . රතු වස්ත්‍ර තමයි මේ අවතාරයට හිමි වෙන්නේ . දුර්ගා මෑණියන් වෙනුවෙන් කරනු ලබන වන්දනා මාන වලදී පුද ලබන අවතාරයක් තමයි දුර්ගා ගණපති අවතාරය කියලා කියන්නේ . 


32. සංකටහර ගණපති

Sankatahara Ganapati


රතු පැහැති නෙලුම් මලක ඉඳගෙන ඉන්න ආකාරයට තමයි සංකටහර ගණපති අවතාරය පෙන්නුම් කරන්නේ . අත් හතරක් මේ සංකටහර ගණපති අවතාරයට හිමි වෙනවා . ඒ අත් හතරේ තොන්ඩුවක් , යගදාවක් , පායාස බඳුනක් සහ වරද මුද්‍රාවෙන් සිටින අතක් විදියට දරාගෙන ඉන්නවා . එක් භාර්යාවක් පෙන්නුම් වෙනවා මේ අවතාරයේ . දුක සහ බාධාවන් දුරු කරන අවතාරයක් විදියට පිළිගැනෙන මේ අවතාරය මිනිසුන් විසින් වන්දනා කරන්නෙත් ඒ අවශ්‍යතා සඳහා තමයි . 


මේ අවතාර වන්දනා කරන මන්ත්‍ර 32 කුත් වෙන වෙනම නිර්මාණය වෙලා තියෙනවා . තවත් ලිපියකින් අපි බලමු මේ මන්ත්‍ර 32 මොනවද කියලා . 


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment