එතකොට මම 1 වසරේ විතර . ඒත් අම්මලා ගෙනත් දුන්නේ නෑ . මොකද ඕක විදින්න මම ලිප කිට්ටුවට එන නිසා . ඇයි ඉතින් බට නලා විදින්න යකඩ කූරක් රත් කරලා විදින්න එපාය . හැබැයි අම්මා මට සෙල්ලම් රෙකෝඩ් එකක් ගෙනත් දුන්නා . ඒක බටනලාවක් වගේ ඒත් හරහට නෙවේ කෙලින් පිඹින්න තියෙන්නේ .
ඔහොම යනකොට මම 4 වසරේ විතර ඉන්නකොට දහම්පාසලෙන් අපි නුවර ගියා . ඒ අපේ දහම්පාසලේ ලොකු හාමුදුරුවන්ට විචිත්‍රභානක කර්මාචාර්ය කියන පදවියට අක්ත පත්‍ර භාර දෙන උත්සවය වෙනුවෙන් සහභාගී වෙන්න . ඒක තිබ්බේ මල්වතු විහාරයේ . ඒ යනගමන් පින්නවල ගියා අලි බලන්න . ඒවෙලාවේ අලි වතුරට දාන වෙලාව . ඉතින් අලිටික ඔක්කොම වතුරේ නාවනවා . අලි නාන තැනට යනකොට ඒ යන පාර අයිනේ කඩේක බටනලා තිබ්බා .
මම අම්මට කිව්වා මට එකක් අරන් දෙන්න කියලා . අම්මා මාව කඩේට එක්ක ගිහින් ඕන එකක් ගන්න කිව්වා . ඒ කාලේ මම දාන්න පිච් එකක් නෑ . ලස්සන පාටට තිබ්බ ඇහැ වැදිච්ච බටනලාව ඇදලා ගත්තා මේක ඕන කියලා . ඔන්න ඉතින් ඕක ගෙනාව වෙලාවේ ඉඳලා ගෙදර අයට කනක් ඇහිලා ඉන්න උනේ නෑ . මම හිතන්නේ එදා ඉඳලා තාම අපේ ගෙදර අය කනක් ඇහිලා ඉඳලා නෑ . දැන්නම් ඉතින් ටිකක් අවුලක් නැතුව ඇති මම ගෙදර නැති නිසා .
පස්සේ පිච් එක වෙනස් එකක් ගත්තා . ඒක ටිකක් දිග එකක් . ඩබල් c , සිංගල් c ,ඩබල් g, ඩබල් f , වගේ එක එක පිච් වල තියෙන ෆ්ලූට් අල්ලන්න හම්බුනේ ඊට පස්සේ . ඒ ඔක්කොමත් හරි වෙස්ටන් ෆ්ලූට් පිඹින්න ඉගැන්නුවේ මට අපේ ඉස්කෝලේ ෆ්ලූට් ගහන්න හිටපු අයියා කෙනෙක් . එයා තමයි ඒ කාලේ බටනලා පිඹින්න ඉස්කෝලේ හිටපු දක්ෂයා . ඊට පස්සේ ඉස්කෝලේ බටනලා පිඹින්න කීප දෙනෙක්ම ආවා . ඒ එක එක අයගේ තිබ්බේ එක එක ටෙක්නික්ස් .
ඒවා මම ඒ අයගෙන් අහගත්තා වගේම මම දන්න ඒවා එයාලටත් කියා දුන්නා . අන්තිමටම ඉස්කෝලේ බටනලා පිඹින්න ආවේ මම හොඳට දාන්න අඳුරන අපේ ගෙවල් පැත්තේ හිටපු මල්ලි කෙනෙක් . දැන් මිනිහා දොස්තර මහත්තෙක් වෙන්න කැම්පස් එනකං ඉන්නවා . එයාගේ බටනලා ටික දැන් තියෙන්නේ මම ගාව . මොකද එයාගාව තියෙනවට වඩා මම ගාව තියෙන එක පරිස්සම් කියලා මිනිහා මට ගෙනත් දුන්නා .
එහෙම ගෙනාවේ මම දවසක් මට එක බටනලාවක් ඕන කියලා කිව්වම . ඒ බටනලාව ඉල්ලුවේ අද මේ මම කියන්න යන ගීතය වාදනය කරන්න තිබ්බ ආසාව නිසා . බටනලාව ලාබ දෙයක උනාට සරල දෙයක් නෙවේ . එහෙම ලාබයි සරළයි කියලා බටනලාව පහත් කරලා කතා කරනවා මම අහලා තියෙනවා සමහර අය .
සංගීත භාණ්ඩ වලින් හදවතට කතා කරන්න පුළුවන් හොඳම වාද්‍ය භාණ්ඩය මේක කියලා ගොඩ දෙනෙක් කියනවා මම අහලා තියෙනවා . ඉන්දියන් ෆ්ලූට් සෙට් එකක් ගන්න කියලා සල්ලි එකතු කරා . අන්තිමට ඒවා වෙන වෙන ඒවට වියදම් වෙලා ගියා . දුක තමා මෙයාලා...... මට බටනලා පිඹින්න ඉස්සෙල්ලම ආසාවක් ඇති උනේ මෙන්න මේ සර් නිසා .
පොඩි කාලේ දැක්කා මේ සර් වාදනය කරනවා ටීවී එකේ . එදා වාදනය කරපු හඬ හිතට වැදුන නිසා වෙන්න ඕන බටනලා පිඹින්න අයිඩියා එන්න ඇත්තේ මටත් . අපි බලමුකෝ එහෙනම් මේ පඳුරු තලාගෙන ආපු ගීතය මොකක්ද කියලා .
සංගීතය නිසා මම ආදරේ කරපු ගීත වලින් එකක් මේක . මේ ගීතයේ යොදලා තියෙන සංගීතය , හිත වෙනමම තැනකට අරන් යන්න පුළුවන් සංගීතයක් .
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : නිරෝෂා විරාජිනි
මේ ගීතයේ අර්ථය ගැන හිතන්න කලින් අපි බලමු ගීතයේ සංගීත සංයෝජනය ගැන . මේ ගීතයේ ඉන්ට්‍රොඩක්ෂන් එක . එහෙමත් නැත්නම් පෙරවාදනය වාදනය කරන්න භාවිතා කරලා තියෙන්නේ බැන්ජෝ කියන වාද්‍ය භාණ්ඩය . ඒ වාද්‍ය භාන්ඩයට තියෙන්නේ ඒකටම අනන්‍ය වෙච්ච හඬක් . ගීතයට අනුව ගත්තොත් ඒ හඬේ ගැබ් වෙලා තියෙන්නේ රාත්‍රී අන්ධකාරය එක්කම හිතට නැගෙන දුක සහ ජීවිතයේ අවිනිශ්චිත බව .
ජීවිතයේ අවිනිශ්චිත බව කියලා මෙතන කිව්වේ , ගීතයේ කථා නායිකාව මේ ගීතයෙන් කියන්නේ තමාගේ සැමියා හේන පරිස්සම් කරගන්න පැල් රකින අවස්ථාවක් ගැන . ඉතින් මේ හේනට ඌරුමීයගේ ඉඳලා වල් ඌරා , වල් අලියා දක්වා සතුන් එන්න පුළුවන් . ඉතින් තමාගේ සැමියා ජීවිතය අනතුරක තියාගෙනම තමයි මේ පැල් රැල්කිල්ල කරන්නේ . ඉතින් ඒක ජීවිතයට අවදානමක් නේද ?
ඒ වගේම ගීතයට සවන් දෙනකොට විමසිල්ලෙන් ඇහුවනම් බාර් එකක් ඇර බාර් එකක් වාදනය කෙරෙන හයිහැට් වාදනයක් අහන්න පුළුවන් . ගීතය ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම මේ හයිහැට් බීට් එකත් වාදනය කෙරෙනවා . ඔයාලට ඒක අහන්න පුළුවන් උනානම් පොඩ්ඩක් මතක් කරලා බලන්න ඒ හඬ රෑට ඇහෙන රැහැයියන්ගේ සද්දෙට සමානයි නේද කියලා . මම හිතන්නේ මේ හයිහැට් එකට තට්ටු කරන්නේ ස්ටික් එකකින් නෙවෙයි . මේ හඬ ලබාගන්න නම් තට්ටු කරන්න ඕන බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එක කියලා කියන එක හරියට ඉරටු මිටියක් වගේ . ඒත් හදලා තියෙන්නේ ලෝහ කම්බි වලින් .
රාත්‍රියක් කියන හැගීම වැඩි දියුණු වෙනවා මේ හයිහැට් බීට් එකත් එක්ක වාදනය වෙන ගෙජ්ජි සද්දයත් එක්ක . සද්දේ ගෙජ්ජි උනාට මේ වාදනය වෙන්නේ නම් ගෙජ්ජි වෙන්න බෑ . පන්තේරුවකට පොඩි තට්ටුවක් දානවා වෙන්න ඕන . නැත්නම් ඕගන් එකකින් මේ නාදය ලබාගන්නවා වෙන්න ඕන .
ගීතයේ තාල වාදනය සඳහා භාවිතා වෙන්නේ තබ්ලාවක ජිල් එකක් ( පොඩි ගෙඩිය ) සහ ටිකක් මූණ ලොකු රබානක් . තබ්ලාවේ ජිල් කොටසින් වාදනයවන වාදනයයි රබානෙන් වාදනයවන වාදනයයි දෙකම එකට මිශ්‍රවෙලා අපිට අහෙන්නේ මම කලින් කිව්වා වගේම භය සහ අවිනිශ්චිත බවක් .
ගීතයේ වැඩිපුරම මම කැමති බටනලා වාදනයට . ඊට පස්සේ වැඩිපුරම අවදානෙන් අහගෙන ඉන්නේ බේස් ගිටාර් එකට . පෙර වාදනයත් එක්ක බේස් ගිටාර් එකත් වාදනය වෙනවා. පෙර වාදනය අවසන් වෙලා පුන්සඳ රෑට ඇවිදින් හේ කියලා කියනකොට බේස් ගිටාර් එක නිහඬයි . නේ යන්න කියනවත් එක්කම තමයි බේස් ගිටාර් එක නැවතත් තමාගේ ගුප්ත හඬ නිකුත් කරන්න පටන් ගන්නේ . ඒ අවස්ථාව ගීතයේ හොඳ තැනක් කියලා කියන්න පුළුවන් . ඒ වගේම මේ ගීතයේ බේස් ගිටාර් වාදන ශෛලිය වෙනත් ගීතවල බේස් ගිටාර් වාදනය කෙරෙන ශෛලියට වඩා වෙනස් . මේ ශෛලිය යොදාගන්න ඇත්තේ මම කලින් කිව්ව හැගීම් , ඒ කියන්නේ දුක භය අවිනිශ්චිත බව වගේම රාත්‍රිය කියන දේවල් ඉස්මතු කරන්න ඒ වාදන ශෛලියට හොඳින්ම පුළුවන් නිසා වෙන්න ඕන .
ගිටාර් කෝඩ් පංච් එකත් වාදනය වෙන්නේ
චන්ක් + ච චන්ක්
චන්ක් + ච චන්ක්
කියන රිද්මයකට . බේස් ගිටාර් එකෙන් එන බේස් බීට් එකත් එක්කම මේ ගිටාර් පන්ච් එකත් හොඳට ගැලපිලා යන්න වෙන්නැති මේ රිද්මයට පන්ච් කරන්නේ . ගීතයේ ගායනයවෙන අතරතුර වචන වලට යටින් වාදනය කෙරෙන කවුන්ටර් කොටස් මේ ගීතයේ වාදනය කරන්නේ ඕබෝ කියන වාද්‍ය භාණ්ඩයෙන් . වෙනත් ගීතවල සාමාන්‍යෙන් මේ කවුන්ටර් වාදනය වෙන්නේ වයලීන් වලින් . ඒත් මේ ගීතයේ කවුන්ටර් වාදනය කරන්න ඕබෝ එකක් යොදාගැනීම විශේෂිතයි . මොකද ඕබෝ එකේ තියෙන්නේ ටිකක් මූසල පාලු හැගීමක් ගෙනත්දෙන හඬක් .
මේ ගීතයේ කතා නායිකාව කියන්නෙත් තමන්ගේ පාළුව . ඉතින් වචනවලින් කියන පාළුව හිතට තවත් වැඩිපුර කාවද්දන්න පුළුවන් වෙලා තියෙනවා ඕබෝ එකක් මගින් කවුන්ටර් වාදනය කරන නිසා . ඕබෝ එකේ හඬ අහලා තියෙනවද දන්නේ නෑ සමහර අය . ඔය ගීතයේ වචන ගායනා කෙරෙනකොට ඒ යටින් ඇහෙනවා හොරණවක හඬක් . අන්න ඒ හඬ එන්නේ ඕබෝ එකකින් . කවුන්ටර් කියන්නේ ගීතය එහෙම ගායනාවෙනකොට ඒ එක්කම යටින් වාදනය කරන වාදන කොටස් වලට .
මේ ඔක්කොමත් හරි ඉතින් ගායිකාව ගැන කියන්නත් එපාය . නිරෝෂා මේ ගීතය ගායනා කරනකොට මමත් හෙන පොඩියි . නිරෝෂත් දැනට වඩා ගොඩක් වයසින් අඩුයි . ඒ කාලේ නිරෝෂට තිබ්බ කටහඬ නෙවෙයි දැන් තියෙන්නේ . මේ ගීතයට නිරෝෂගේ ඒ කාලේ කටහඬට වඩා ගැළපෙන්නේ දැන් කටහඬ කියලා සමහර වෙලාවල් වලදී මට හිතෙනවා . ඒක කොච්චර දුරට සාධාරණද නැත්ද කියලා දන්නේ නෑ . හැබැයි නිරෝෂාගේ දැන් කටහඬේ කලින්ට වඩා දුක මිශ්‍රවෙලා තියෙනවා .
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ..
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද..
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිඳ . ඒ කියන්නේ මේ කාලයේ රාත්‍රියට හොඳින් හඳ පායලා තියෙනවා කියන එකම වෙන්න බෑ . මෙතනින් අදහස් වෙන්නේ දවස ගෙවිලා රාත්‍රිය උදාවීම . කළුවර උනා රෑ උනා කියලා කියනවට වඩා ශ්‍රාවකයින්ගේ හිතේ රාත්‍රිය කියන හැගීම වැඩි දියුණු කරන්න උළුවන් පුන්සද රෑට ඇවිදින් හේනේ කළුව බිඳ කියලා කිව්වම . මේ හඳ එලිය නිසා අපේ ජීවිතයට , අපේ බඩගින්නට එළියක් දෙන්න පුළුවන් රත්තරන් කෙඳි වැනි වූ කිරිවැදීගෙන එන බඩඉරිඟු කරල් දීප්තිමත්ව දිළිසෙනවා . රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවාද කියලා කියන්නේ කාලය ගතවීමත් එක්කම හේන දැන් සශ්‍රීක වීගෙන එනවා කියන අවස්ථාව .
ඉතින් බඩඉරිඟු කරල් කිරිවැදීගෙන එනවානම් තුන්යම හීන බල බල ගෙදර ඉඳලා මොනවා කරන්නද . සමහරවිට මේ කාලයේ හීන බල බල ගෙදර හිටියනම් සත්තු ඇවිත් හේනේ තියෙන ඔක්කොම බඩඉරිඟු කාලා විනාස කරන්න පුළුවන් . ඉතින් එහෙම වෙන්න නොදී මේ වෙනකොට මගේ රන්කඳ නිදි මරාගෙන හේනේ පැල් රකිනවා ඇති .
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද..
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව..
කියන පද දෙකෙන් අදහස් වෙන්නේ එහෙම දෙයක් .
හැබැයි මේ දෙන්නට ළමයි නෑ තාම . තාම නැත්ද නැත්නම් දෙන්නගෙන් කවුරුහරි ළමයි හදන්න අපොහොසත්ද කියලා හිතන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ගෙදර අගහිඟකම් නිසා මෙයාලා ළමයි හදන්න තාම හිතලා නෑ වෙන්නත් පුළුවන් . ඒ ඔක්කොම නෙවෙයිනම් මේ දුක් ගීය ගායනා කරන කාන්තාව දැනට මාස දෙකතුනකට කලින් විවාහ උන කාන්තාවක් වෙන්න පුළුවන් . ස්වාමියා එක්ක යහන්ගත වීම අලුත බැඳපු කාන්තාවන්ට ඉතාම හැඟුම්බර අවස්ථාවක් . ඉතින් දැන් තුරුල් වෙලා යහන්ගත වෙන්න ස්වාමියත් ගෙදර නෑ . තාම දරුවෙකුත් නෑ , මොකද බැඳලා මාස කීපයයිනේ වෙන්නේ . ඉතින් පාළුව ඉවසාගන්න බැරුව මේ කාන්තාව පොල් අතු පැලේ මැටි පොළවේ හාන්සිවෙලා මෙහෙම හිතනවා .
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට..
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට..
කියන පද දෙකෙන් කියවෙන්නේ මේ ගෙවිලිය දැන් ඉන්නේ ගෙදර ඉස්සරහා තියෙන මැටි පිල උඩ හාන්සි වෙලා . එතකොට එයාට පේනවා රාත්‍රී අහසේ පායන තරු කැට . මේ තරු තමා දිහා බලාගෙන ඉන්නේ හරියට තමන්ගේ හදවතේ තියෙන තනිකමට ඔච්චම් කරන්න වගේ .
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට..
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට...
මෙතන මමනම් හිතන්නේ උපමාවක් තියෙන්නේ . මී අඹ කියන්නේ ඕපාදූප . ගිරවුන් කියන්නේ ගමේ ඕපාදූප හොයන කාන්තාවන් . මීඅඹ කන්න ගිරවුනි එන්න එපා හෙට කියලා කියන්නේ , දැන් ඔය සමහර ඕපාදූප හොයන ගෑණු ගෙවල් වලට ඇවිත් ඕපාදූප හොයනවනේ . එහෙම හොයන ගමන් මේ ගෙදරටත් එන්න පුළුවන් . ඒ ආවම ඒ අයටත් ඕන නැති එකක් නෑ කියලා පවුලේ විස්තර කතා වෙනවා . එහෙම කතා වෙනකොට ඒ අය අහන්න පුළුවන් මේ කාන්තාවගෙන් “ දැන් බැඳලා මාස ගානක් වෙනවා නේද ? තාම පැටියෙක් බඩට ආවේ එහෙම නැත්ද “ කියලා . මේ කාන්තාවට රාත්‍රිය උදාවෙන්න කලින් සමහරවිට එදාම දවල් මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ද වෙන්න ඇති . ඉතින් ආයෙත් එහෙම අහන්න එපා මට තාම දරුවන් නැති නිසා එහෙම අහනකොට දුක හිතෙනවා කියලා මේ කාන්තාව මැටි පිලේ ඉඳගෙන ප්‍රාර්ථනා කරනවා . මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියලා කියන්නේ , ආදරය සෙනෙහස වගේම රාගය වගේ සිතිවිලි නමැති මල් සිත නමැති ගහේ පිපුනට ඒවා පලගෙන දරුවන් නමැති පලය තාමත් ඇතිවෙලා නෑ කියන අදහස දෙන්න කියලයි මම හිතන්නේ .
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන..
රන් මල් යාන හීනෙන් දකින පින පමණ..
මේ පද දෙක ඇතුළුව දෙවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ තමන්ගේ ස්වාමියා ගෙදර නැති නිසා ඉදිරියේ තමන්ට අත්වෙයිද දන්නේ නෑ කියලා හිතන ඉරණම ගැන දුක්වෙන සිතුවිලි කීපයක් . හේනේ බඩඉරිඟු කිරිවැදිලා තියෙන නිසා ස්වාමියා දවල්ටත් හේනේ වැඩ . රෑටත් පල රකිනවා . තව කොච්චර කාලයක් මෙහෙම ඉන්න වෙයිද දන්නේ නෑ . සමහරවිට බඩඉරිඟු කපලා ගෙට ගන්නකන්ම දෙන්නට මෙහෙම ඉන්න වෙයි . දවසක් හරි පහු උනොත් සත්තු ඇවිත් ඔක්කොම කළා විනාස කර\නවා . ඉතින් ඒ නිසා දෙන්නට යහන්ගත වෙන්න කාලයක් ළඟදී නම් එන එකක් නෑ . ඒ නිසා ස්වාමියා සහ තමන් එකට නිදන යහන හීනයක් විතරයි කියලා එම පද දෙකින් කියන්නේ .
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන...
ඉතින් මෙහෙම වැඩ කරන්න ගත්තම එකදිගටම කවදානම් අපි දරුවෝ හදන්නද . එහෙම දරුවෝ හදන්න ලැබෙන්නේ නැත්නම් මට හැමදාම වෙන්නේ මේ මැටි පිලේ තනියම ඉන්න නේද කියලා ගෙවිලිය කල්පනා කරනවා . එහෙම හිතලා මෙයා තව දුරටත් හිතනවා , මේ කන්නය ඉවර උනාම ආයෙත් වගා කරන්න පටන් ගනියි . එහෙම උනාම ආයෙත් වැඩ , අපිට යහන ගත වෙන්න වෙන එකක් නෑ ආයෙත් , ඒ නිසා මගේ කුස නමැති යහනාව දස මාසයක් තිස්සේ දරුවෙක් සතපවාගෙන ඉන්න පින් කරලා නැතිවදෝ කියලා .......
ගීතය අහන්න . පුළුවන් නම් මේ ලිපිය ආයෙත් කියවන ගමන් ගීතය අහන්න . එතකොට ගීතය කලින්ට වඩා හිතට දැනෙයි .
No comments:
Post a Comment