විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී.......



අද කියන්න යන ගීතයට පූර්විකාව වෙනදා වගේම මගේ අත්දැකීමකින්ම ගන්නම් . වල්පල් කියාගෙන එනකොට ඉතින් පොඩි රහක් තියෙනවනේ .

මම දහම් පාසල් ගියේ අපේ ගෙදර අය හැමදාම ආපු ගියපු පන්සලේ තිබ්බ දහම් පාසලටම තමයි . අපේ අම්මා පුංචිඅම්මා දෙන්නම මේ දහම්පාසලේ ඉගැන්නුවා . මුලින් අම්මා ඉගැන්නුවා . ඊටපස්සේ මම එලොව ඉඳලා මෙලොව ආවම අම්මා නැවතිලා පුංචිඅම්මා උගන්නන්න ගත්තා . දෙන්නම පොඩි කාලේ දහම්පාසල් අධ්‍යාපනය හොඳින් හදාරපු අය නිසා දහම්පාසලේ අනිත් අයත් කැමතියි මේ දෙන්නා උගන්නන්න එනවට .

කොහොමහරි මම දහම්පාසල් යන්න ගත්තේ එක වසරේ ඉඳලා . එතකොට දහම්පාසලේ උගන්නමින් හිටියේ මගේ පුංචිඅම්මා . එයත් එක්ක තමයි හැමදාම දහම්පාසල් ගියේ . හතර වසරේදී පුංචි දහම්පාසල් යන්නේ නැතුව නැවතුනා එයාගේ උපාධි අධ්‍යාපන කටයුතු පටන්ගත්ත නිසා . පස්සේ මම කොක්ක දැම්මා මට බෑ තනියම යන්න කියලා . මොකද ගෙදර කෙනෙක් ටීචර් කෙනෙක් උනාම පොඩි ගතියක් තියෙනවනේ . නිශේධක බලය උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන් එහෙම උනාම .   


දැන් මමනම් යන්නේ නෑ දහම්පාසල් . ඒත් අම්මා තාම උගන්නනවා . අම්මට දැන් ටිකක් අසනීප වගේ නිසා මමනම් කැමති නෑ මහන්සි වෙන්න යනවට . ඒත් අම්මා හැමදාම ඉරිදා උදේට මම දාන දෝෂාරෝපණය ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා ගිහින් එනවා .

මේ සතියෙත් ගිහින් ආවා සුපුරුදු පරිදිම . එදා ඉතින් අම්මත් ගෙදර ආවම දවල් බත් කන ගමන් මාත් එක්ක කිව්වා දහම්පාසලේ ලවු කතාවක් . දහම්පාසලේ හොඳට වැඩ කරන නංගි කෙනෙක් හොඳට වැඩ කරන මල්ලි කෙනෙක් එක්ක යාලු වෙලාලු  .  මම කිව්වා ඉතින් ඕක මහ දෙයක්යැ අපේ කාලෙත් එහෙම තිබ්බනේ , අනික උන් හොඳට වැඩ කරනවනේ  කියලා . මට පස්සේ තමයි මතක් උනේ මම ඇදගෙන නෑවා කියලා .

 නංගියි මල්ලියි දෙන්නම මම හොඳට දන්නවා . ඒ නංගිගේ අම්මා කොහොමහරි මේක දැනගෙන ඒ නංගිට ගහලා . පස්සේ ඒ නංගිගේ අම්මම තමයි මේගැන අපේ අම්මා එක්ක කියලා තිබුනේ . අම්මා කිව්වලු ගහන්නේ නැතුව හොඳින් කියලා තේරුම් කරලා දෙන්න කියලා . ඒත් ඒ නංගිගේ අම්මා ටිකක් අවුට් ඔෆ් ද ට්‍රැක් ඇන්ටි කෙනෙක් . ඒ නිසා වැඩේ අවුල් වගේ .

අපේ අම්මා කිව්වා මට ඒ නංගියි මල්ලියි දෙන්නම මම දන්න දෙන්නෙක් නිසා ශේප් එකේ යාලු කමින් කතා කරලා දෙන්නට හොඳට ඉගෙනගන්න කියන්න පස්සේ ඕවා හෙමීට කරගන්න පුළුවන්නේ කියලා අවවාද ටිකක් දෙන්න , අම්මලා කියනවට වඩා යාළුවො කිව්වම එයාලා අහයි කියලා .

ඒ නංගි පවුලේ එකම ළමයා . ඉතින් එයාට පරිස්සමටවත් කවුරුවත් වෙන නෑ . ඉන්නේ අම්මයි තාත්තයි විතරයි . අපේ අම්මත් කිව්වේ ඒ කෙල්ල පවු තනියම හැදිච්ච කෙල්ලනේ කියල . ඇත්තටම පවු තමා . ගොඩක් ඔහොම නංගිලා කියන්නේ පරිස්සමට අයියා කෙනෙක්වත් හිටියනම් හොඳයි කියලා . 

කොල්ලා රෝන් ට්‍රැක් වගේනම් අයියා කෙනෙක් ඉන්න එක කෙල්ලොන්ට ලොකු හයියක් තමයි . හැබැයි අයියලා ඉන්න උන්ට අයියලාගේ කිසිම අගයක් නෑ කියලත් පේනවා පින්වතුනී .
දැන් ඉතින් දන්නවා ඇතිනේ අද ගීතය මොකක්ද කියලා නේද ???
අද ගීතය තමයි මේ....

විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..

බමරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..

මේ ගීතය ලියලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහතා

සංගීත නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහතා

ගායනයෙන් දායක වෙන්නේ අතුල අධිකාරී

අතුල අධිකාරීගේ ලයාන්විත කටහඬ මේ ගීතයට ඉතාම හොඳින් ගැළපෙනවා . අයියා කෙනෙක් නංගි කෙනෙක්ට ඔහොම අවවාද කෙරෙනවානම් අඩුයි . මොකද පොඩි කාලේ ඉඳලා අයියලා නංගිලා එකට වැටිලා ඉන්න නිසා ආදරේ වැඩි කමටම වෙන්නැති අයියලා නංගිලාට අවවාද කෙරෙන්නේ මීට වඩා ටිකක් උණුසුම් විදියට . 





ත් මේ වගේ ආදරෙන් කියන අයියලා නැතුවමත් නෙවෙයි . සමහරවිට අයියලා නංගිලාට සැරෙන් අවවාද කරන්නේ කොල්ලන්ගේ සල්ලාල වැඩ ගැන නංගිලාට වඩා අයියලා දන්නවා කියලා හිතලා වෙන්නැති නැත්නම් අයියටත් අත්දැකීම් තියෙනවා වෙන්න පුළුවන් . ඒත් කමක් නෑ එහෙම හරි නංගිලා අමාරුවේ වැටෙන්නේ නැතුව ඉන්නවනම් .

අතුලගේ කටහඬේ වැඩිපුරම හැඟුම්බර අවස්ථාවක් විදියට පෙන්නන්න පුළුවන් , සරදම් නොකරමි ආදරයෙන් කියමී කියන පද පේලියේ ආදරයෙන් කියන වචනය ගායනා කරන අවස්ථාව .

මේ ගීතයෙන් කියවෙන්නේ මෙහෙම අදහසක් .







විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී..

ආදරය කරුණාව සෙනෙහස ආකර්ෂණය වැනි හැගීම් නමැති මල්පෙති එක් කර ප්‍රේමය නමැති මල සොයමින් ප්‍රේමය පසුපස ගමන් කිරීමට වෙරදරන නව යෞවනයේ එළිපත්ත මත හිඳින , නමුත් ළමාවියේ බොළඳ දඟකාර ගතිපැවතුම් තවමත් තුරුලේ හොවාගෙන සිටින නැගෙණියනි . ඔබට ඇති අසීමිත සෙනෙහසින් යුතුව මා ඔබට මේ කරනුයේ සරදමක් නොව . ඔබ එක් කරගත් විසිරී තිබුණු මල්පෙති වලින් තනනු ලබන ප්‍රේමය නමැති මල සදාකල් ප්‍රවේසම් කරගැනීමට හැකිවේදැයි දෙවරක් සිතන්න . කෙසේ හෝ එම මලේ පෙති  විසිරුනහොත් නැවත කිසිදිනෙක මලක් තැනීමට හැකියාවක් නොලැබේ . එනම් ඔබගේ ජීවිතය කිලිටු වුවහොත් කිසිදිනෙක එය පිරිසිදු කරගැනීමට හැකියාවක් නොලැබේ .
වීදුරුවක් බිඳුනහොත් නැවත එය කෑලි අලවා පාවිච්චි කල නොහැක ......................!


වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..

මුහුදේ සෑමදිනකම සිදුවන්නේ රලපෙළ විසින් වෙරල සොයාගෙන දිවගෙන ඒමයි . නමුත් දියඹේ දිග පළල සොයා කිසි දිනෙක වෙරල , දියඹ වෙත ගමන් කරන්නේ නැත . එමෙන්ම ජීවිතය ඔස්සේ පියඹා යාමට පියාපත් යුවලක් ඔබට ලැබුනත් ඔබට ජීවිතයේ ඉගිලීමට යම්කිසි සීමාවක් සමාජය විසින් පනවා තිබේ . එලෙසින්ම ප්‍රේමය නමැති අහසේ ඔබට ඉගිලීමට හැකියාව තිබෙන්නේ යම්කිසි සීමාවකට පමණි . ඉන් එහා ඉගිලීමට තැත් කිරීම අනුවණ ක්‍රියාවකි .
සරුංගලයේ නූල කැඩුනහොත් ඔහේ පාවී යනTop of Form සරුංගලය නැවත අල්ලාගැනීමට නොහැක ....................!







බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..

රොන්ගන්නට ඇති ලෝභකමෙන් යුතුව මල් සොයාගෙන එන්නේ බඹරුන්ය . කිසිදාක බඹර තුඩක පහස සොයමින් ඔවුන් සොයාගෙන මල් යන්නේ නැත . එහෙත් රොන්ගෙන බඹරා ගියවිට බඹරුන් ලෙස හඳුන්වන පිරිමින්ට , රොන් ගන්න ඉඩදුන්නේ ඇයි කියමින් සමාජය විසින් දොස් නගන්නේ මල් නැමැති ගැහැණු කුලයටය . නැගෙණියනි , ඔබත් ප්‍රවේසම් නොවුනහොත් ඔබටත් සිදුවන්නේද ඒ ඉරණමටම මුහුණ දීමටය . මේ දේවල් ඔබ නුවණින් අවබෝධ කරගත්තේ නැතිනම් ඉන්පසුව ඔබට සිදුවන්නේ පසුතැවෙමින් ඔබ නිකුත් කරනු ලබන සුසුම් රැල් බොල් අහසට මුසු කිරීමට පමණි . එවිට ඔබගේ සමාජය ඔබව අතහැර බොහෝ දුර ගොස් තිබේ .................!


ඒක නිසා ඔන්න මේ බ්ලොග් එකට එන නංගිලට වයලීන් අයියයි සිංදු අයියයි දෙන්නම කියන්නේ 18+ ලේබල් එක බැලුවට දැන්ම අත්හදා බලන්න යන්න නම් එපා කියලා . 



මොකද කියන්නේ , අර මම කලින් කිව්ව නංගිට මේ සිංදුව කිව්වනම් හරිනේද ?? 






තවත් ලිපියකින් හමුවෙමු !


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment