සඳ එළියේ අසිපත ( 4 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි

පසුගිය කොටසින්






" එහෙනම් පුතේ හනුමට කියන්න අංජනම් දේවියට ආරාධනා කරන්න කියලා "

" හරි සීයේ අංජනම් දේවිය වැඩියා "

" අංජනම් දේවියට අවහිරය නැතිකරගෙන යන්න පුලුවන්ද කියලා බලන්න කියන්න "

" සීයේ අංජනම් දේවියටත් මග අවුරලා තියෙන්නේ කියනවා "

අනතුරුව සීයා අංජනම් එලි සඳහා මතුරන මන්තර සියල්ලම පාහේ මතුරමින් හනුමාට සහ අංජනම් දේවියට අවුරා ඇති මග පැහැදිළි කරදීමට උත්සාහ ගත්තේය . එහෙත් අවසානයේ හනුමා විසින් කියන ලද්දේ එම ස්ථාන ලේසියෙන් සොයාගැනීම වළකාලීම සඳහා මග අවුරා තිබෙන බවයි .

" හාමුදුරුවනේ , මේ වැඩේ ලේසි වෙන්නේ නැති පාටයි . හනුමට මග අවුරන්න පුළුවන් තරම් කෙනෙක් ලේසියෙන් ඉඳියි කියලා මම හිතුවේ නැහැ . මේ සරීරයයි මංජුසාවයි හොඳට මන්තර ගුරුකම් දන්නා කෙනෙක් තමයි ආරස්සා කරලා තියෙන්නේ . අපි එහෙනම් එතනට ගිහිල්ලම බලමු "

අද එතැන් සිට





" අරනෝලිස් මේ වැඩේට හදිස්සි කරාට මටනම් හිතට හැකයි අපි මේ කිසිම වැඩකට නැති අවදානමක්ද ගන්න හදන්නේ කියලා "

" ඒත් හාමුදුරුවනේ මේ වැඩේ අපි අහවර කරලා ඔය පන ගන්න ඕන මනුස්සයට පන දීලා බලමු එයා මොනවද කියන්නේ කියලා . මමනම් හිතන්නෙම මෙතන මොකක්හරි වැදගත් දෙයක් ඇති . මොකද එහෙම නැත්නම් මේවගේ කෙනෙක් මෙහෙම හංගලා තියන්න තරම් උවමනාවක් වෙන්නේ නැහැනේ . එහෙනම් ඉතින් අච්චර රටට දහමට සේවයක් කරපු දුටුගැමුණු රජතුමාව මේ විදියට තැම්පත් කරලා තියන්න පුළුවන්නේ "

" මම දන්නේ නෑ අරනෝලිස් . මම මේ රාජකාරියෙන් අයින් වෙන්න කල්පනා කරා . මොකද ඔය වැඩෙන් නිකරුනේ මගේ මෙච්චරකල් රැකපු සීලය බිඳෙයි කියලා මට සැකක් සංකාවක් ඇතිවෙනවා . මම මෙයින් එහාට මේ දේ ගැන මොකවත් කරන්නේවත් කාටවත් කියන්නෙවත් නැහැ . අරනෝලිස් කැමති දෙයක් කරන්න . මම දන්නවා මටත් වඩා අරනෝලිස් මේ දේවල් ගැන පරෙස්සම් කියලා . මේ දරුවත් එක්ක මේ කාරිය කරන්න එහෙනම් . මම දෙන්නටම ආශිර්වාද කරනවා "

" ඉතින් හාමුදුරුවනේ සීලය බිඳෙන්න මොනවද වෙන්නේ මේ දේ කරා කියලා ? "

" මෙහෙමනේ අරනෝලිස් . ඔය කියලා තියෙන හැටියට ඔය ඖෂධ මංජුසාව ගන්න සත්තු බිලි දෙන්න වෙනවා . ඒ නිසා ඕවට මටත් සම්බන්ධ වෙන්න වෙනවා කියන්නේ මගේ සීලයට ඒක බලපානවා . මම කැමති නැහැ හොඳකට උනත් ප්‍රාණඝාත කරන්න . ඒ නිසා අරනෝලිස්ලා මේ වැඩේ කරන්න . මම කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්නම් . මම දන්නවා කොහොමත් අරනොලිස්ලාට ආයෙත් මගෙන් උදවු ඕන වෙනවා කියලා "

" ඒ මොකද හාමුදුරුවනේ ? "


" ඇයි අරනොලිස්ට මතක නැත්ද ? . අකුණු පාර වැදිලා එළියට ආව සන්නසේ තියෙනවා ඔය බෙහෙත් ඔරුව තැම්පත් කරලා තියෙන තැනට යන්න ඕන කඩයිම් සලකුණු දක්වලා තියෙන්නේ අර ඖෂධ මංජුසාව තැම්පත් කරලා තියෙන නිධානයේ තියෙන සන්නසේ කියලා . ඒකත් අනිවාර්යයෙන්ම ලියවිලා තියෙන්නේ මේ සන්නස ලියවිලා තියෙන භාෂාවෙන්ම තමයි . ඒ නිසා අරනොලිස්ට ඕක කියවාගන්න ආයෙත් මම ගාවට එනවා "

" හඃ හඃ හඃ හඃ හඃ . ඇත්තම තමයි හාමුදුරුවනේ . මම එහෙනම් මේ වැඩේ චූටි පුතත් එක්ක තනියමම කරන්නම් . මම හිතන්නේ මේක සිංහල ජාතිය වෙනුවෙන් කරන සේවයක් කියලා . අපි එහෙනම් වලව්වට යන්නම් හාමුදුරුවනේ . ඔය සන්නසේ කියලා තියෙන අපි ලියාගත්තේ නැති අනිත් විස්තර ටිකත් චූටි පුතාට වෙලාවක සටහන් කරගන්න උදවු කරන්න පුළුවන් නේද හාමුදුරුවනේ  ? "

" මේ මොනවා කියනෙවද අරනෝලිස් . හෙට දිහාවට වගේ චූටි ගුරුන්නාන්සේ පන්සල පැත්තේ එවන්නකො . මම අද සන්නස ආයෙත් මුල ඉඳලා කියවලා සේරම විස්තර ටික දෙන්නම් "

" අපිට එහෙනම් අවසර "

" සුවපත් වේවා ! "

සීයාත් මමත් අංජනමද රැගෙන පන්සලෙන් පිටත් වීමු . නායක ස්වාමීන් වහන්සේ සැබවින්ම සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් බව ගමේ සියල්ලෝම පාහේ පිළිගත් කාරණාවකි . උන්වහන්සේ ඉර අවරට ගිය විට දානය ගැනීම පවා ප්‍රතික්ෂේප කරන තරමටම භික්ෂු ශීලය ආරක්ෂා කරන අතර ප්‍රතිපත්ති සහ ආගමික වත් පිළිවෙත් අකුරටම පිළිපදිමින් ආර්ය මාර්ගයේ ගමන් කරන උතුම් ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේ නමක් විය .

එනිසා භික්ෂූන් වහන්සේ නමකට අකැප වන මෙවැනි රාජකාරිවලින් උන්වහන්සේ ඉවත්වීම පුදුමයට කාරණාවක් නොවේ . එහෙත් උන්වහන්සේගේ වගකීමද දැන් පැටවී තිබෙන්නේ මගේත් සීයාගේත් උර මතටය . ශිල්පයේ කෙල පැමිණි සීයා එවැන්නක් කරමතට ගැනීමට දෙවතාවක් සිතන්නේ නැත . එහෙත් එම වගකීම් පිළිබඳව මගේ සිතේ තවමත් ඇත්තේ දෙගිඩියාවකි .

" සීයේ "

" ම්ම්ම්ම්ම්ම්ම් "

" ඇත්තටම සීයා හදන්නේ මේ මනුස්සයා නැගිට්ටවන්නද ? "

" ඔව් "

" සීයාට හිතෙන්නේ නැත්ද ඒ මනුස්සයා නැගිට්ටොත් එකපාරටම ඒ මනුස්සයා නිකං අමුතුම ලෝකයකට ආවා වගේ කියලා හිතලා සිහිවිකල් වෙයි කියලා ? "

" ඒත් පුතේ මේ මනුස්සයා වැරදි කෙනෙක් අතට පත්වෙලා ඒ කෙනා ලවා වැරදි දේවල් මේ රටට කරන්න කවුරුහරි මාන බැලුවොත් එතනදී අපි වැරදියි නේද ? . පුතා දන්නවනේ පුංචිත්තත් අපේ ශිල්පයම කරපු කෙනෙක් . තොටගමුවේ හාමුදුරුවෝ තමන් වහන්සේගේ දේහය ආරක්ෂා කරන්න බන්ධනය කරලා තිබුණු යක්ෂ බන්ධන කඩලා දාලා පරංගින්ට උන්වහන්සේගේ ශරීරය උන්ගේ රටට ගෙනියන්න උපකාර කලේ මේ පුංචිත්තා තමයි . මම කැමති නැහැ තවත් පුංචිත්තලා ඇතිවෙනවට වගේම මේ වගේ වටිනා කියන දේවල් පරදේසක්කාරයින්ගේ අතට යනවට . ඒ නිසා අපි මේක කරලා මේ ශරීරයට පන දීලා බලමු මොකද කරන්නේ කියලා . ඊට පස්සේ කරන්න ඕන දෙයක් පස්සේ හිතමු "

" හොඳයි සීයේ "






සීයා මෙවරත් වෙනදා මෙන් අවදානමෙදී වියරුවැටී ඇති බවක් පෙනේ . එහෙත් එහි අරමුණ ඉතාමත් යහපත් අරමුණක්ය . එබැවින් එම වියරුවේ වරදක් නැතැයි මම සිතමි . වලව්වට ආ පසු සීයා කරන ලද්දේ පන්සලේ චෛත්‍යයේ කැඩී විනාශවී ගිය චූඩාමාණික්‍යය නැවත වෙනත් චූඩාමාණික්‍යයකින් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු සම්පාදනය කිරීමයි . සීයා පසුදා උදෑසනම රත්නපුරය බලා පිටත් වූයේ වලව්වේ කරත්තයෙන්මය .

ගජදල රාක්ෂයාගේ ආවේශ වීම හේතුවෙන් අසනීපවී සිටි අලියෙකු සුවපත් කිරීමට වරක් අපි රත්නපුරයේ රදලයෙකුගේ වලව්වකට ගියෙමු . සීයා මේ වතාවේ එම වලව්ව බලා පිටත්ව ගියේ එම වලව්වෙන් චූඩා මාණික්‍යයයක් සොයාගැනීමට උදව් උපකාර ලබාගැනීමටය . චූඩාමාණික්‍යයක් වෙනුවෙන් අවශ්‍ය කරන මැණික් ගල් වර්ග රත්නපුරය පැත්තේ රදලයින් සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතුය . සමන් දෙවියන්ගේ පිහිටෙන් මෙම කාර්යය සාර්ථක විය යුතුය . මාගේ පැතුම එයයි .

සීයා ගිය පසු මම පන්සලට ගොස් නායක ස්වාමීන් වහන්සේ හමුවී සන්නසේ සඳහන් සියලුම කරුණු කාරණාවල පැහැදිළි අපැහැදිලි සියලුම තැන් නිරාකරණය කරගන්නා ලදී . පන්සලේ සිට එන අතරතුරේ සඳමලී නංගි හමුවිය .





" නංගි කොහෙද ගියේ ? "

" මම ගියා පන්සලට "

" අර මොකටද පන්සලට ගියේ ? "

" මේ දවස්වල පන්සලට කුමාරයෙක් යනවා එනවා . ඒ කුමාරයා බලලා එන්න ගියේ "

" ඉතින් කුමාරයා හම්බුනාද ? "

" ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට කුමාරයා පන්සලෙන් පිටත්වෙලා . මම දුවලා දුවලා ආවා ඉතින් කුමාරයාව අල්ලගන්න "

" නංගි කොහොමහරි ගෙදරට අහුකරගන්නකෝ "

" හා "

" කොහොමද ඉතින් චූටි ගුරුන්නාන්සෙයි සඳමලී වෙදහාමිනෙයි හාදවෙලා කියලා ගමේ කයි කතන්දර යනකොට "

" අනේ අපිනම් බය නැහැ . යක්කුන්ට බය නැති අපි ඔව්වට බය වෙනවද ? "

" ඉතින් වෙද හාමිනේත් බය නැහැ තමයි . ඒක නෙවෙයි . ගුරුන්නාන්සේ සීයා අද උදෑහනම යනවා දැක්කා කරත්තෙන් . අයියා ගියේ නැත්ද සීයත් එක්ක ? "

" ඔවු . සීයා අද රත්නපුරේ ගියා . චෛත්‍යයට චූඩාමාණික්‍යයක් හොයන්න "

" සීයා දන්නා අඳුරන අය ඉන්නවද රත්නපුරේ ? "

" ඔව් . අපි එකපාරක් අලියෙක්ට ගුරුකමක් කරන්න ගියා රත්නපුරේ වලව්වකට . ඒ නිසා ඒ වලව්වේ කට්ටිය සියා අඳුරනවා . ඒ අයගෙන් තමයි උදව්වක් ගන්න කියලා ගියේ "

" අලියෙක්ට ගුරුකමක් ? "

" ඔව් . අලින්ට වෙදකම් තියෙනවා වගේ තමයි අලින්ටත් ගුරුකම් තියෙනවා "

" මටත් කියලා දෙන්නකෝ අලි ගුරුකම් "

" හපෝ බෑ "

" හ්ම්හ් මට ඕන නෑ . එන්නකෝ වෙදකම් අහගන්න අපේ ගෙදර . මම සීයට කියනවා වෙදකම් කියලා දෙන්න එපා කියලා "

" මම එහෙනම් එන්නෙම නෑ . වැඩක් නැහැනේ ආවට "

" කමක් නෑ ඔන්න මේ වතාවේ විතරක් සමාව දෙනවා "

" මේ වතාවේ විතරද සමාව දෙන්නේ ? "

" හා දැන් කුමාරයා වලව්වට හැරෙන්න . මම යනවා අයියේ . බුදු සරණයි ! "

" බුදුසරණයි නංගි "

ඇය සමග දොඩමළු වූවත් මා සිටියේ සන්නසෙන් සොයාගත් විස්තරත් සමග ජීවත් වෙමිනි . සන්නසේ සඳහන් අන්දමට ගමෙන් පිටත් වී අල්ලපු ගමේ මායිමට පැමිණි පසු දක්වා ඇති කඩයිම් සලකුණු අනුව ඖෂධ මංජුසාව තැම්පත් කර ඇති නිධානය සහිත ස්ථානය වෙත ගමන් කල යුතුය . ඖෂධ මංජුසාව තැම්පත් කර ඇතේද ගල්ගුහාවක වන්නට බැරි නැත . එහෙත් එවැන්නක් සන්නසේ සඳහන් කර නැත . සමහරවිට මෙය නිධන් කරන ලද පුද්ගලයා සිතන්නට ඇත්තේ ඉතාමත්ම පහසුවෙන් මේ දේවල් සොයාගැනීමට වඩා පරංගියා කෝට්ටේ ගිය ආකාරයට දුෂ්කර මාර්ගයකින් ඒ වෙත අදාළ පුද්ගලයා යැවීමටය .

වලව්වට ආ මොහොතේ සිට සන්නසේ සඳහන්ව ඇති නිධන් දොර විවර කිරීමට අවශ්‍ය මන්ත්‍ර සෙවීමට මා කාලය ගත කලෙමි . ඒ අතර සීයාගෙන් තෙල් මතුරාගනීමට , ගුරුකම් කරවාගැනීමට ආ කීපදෙනෙකුගේ වැඩ කටයුතු ඉෂ්ට කර දීමටද මම වගබලාගත්තෙමි . සීයා නැති දිනයක ඒ සියල්ලම මා කළයුතුබව මා සිහි තබාගත්තෙමි .

දින තුනක් යනතුරු සීයා වලව්වට පැමිණියේ නැත . සමහරවිට චූඩාමාණික්‍යයක් වෙනුවෙන් මැණික් ගලක් සොයාගැනීමට කල්වේලා ගතවන්නට ඇත . තුන්වෙනි දිනයේ සවස්වන විට සීයා නැවතත් පෙරලා පැමිණියේය . එහෙත් සීයා පැමිණියේ හිස් අතින්ය . වලව්වට ආ පසු සීයා ගිමන් නිවාලන්නට හාන්සි පුටුවේ හිඳගෙන සිටින අතරතුරේ මම චූඩාමාණික්‍යය පිළිබඳව සීයාගෙන් විමසුවෙමි .

" මැණික්ගලක් හම්බුණා පුතේ . ඒත් ඒක අවශ්‍ය තරමට මට්ටම් කරලා ඔප දාන්න කාලයක් ගතවෙනවා කියලා වලව්වේ උදවිය කිව්වා ඒ රාජකාරිය අහවර කරලා චූඩාමාණික්‍යය වලව්වටම ගෙනැත් දෙන්නම් කියලා . තවත් කල්වේලා ගත කරන එකේ තේරුමක් නැති නිසා මමත් ආපහු ආවා . පුතා සන්නසේ තියෙන දේවල් සේරම හාමුදුරුවන්ගෙන් අහගත්තද ? "

" ඔව් සීයේ . මම සේරම් දේවල් නායක හාමුදුරුවන්ගෙන් අහලා දැනගෙන ලියාගත්තා . මේ දවස්වල මම ඉන්නගමන් ඒවාට ඕන කරන මන්තර මොනවද කියලා ආයෙත් මතක් කරගන්න පොත් වලින් ටිකක් බලාගත්තා . බහිරව බන්ධනයක් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ . ඒ නිසා බහිරව පූජාවක් එහෙමත් තියන්න ඕන කියලා තියෙනවා . බහිරව පූජාව තියලා අන්තිමට ඒ බහිරව බන්ධනය කඩලා දාලා නිධානය රකින්න බන්ධනය කරලා තියෙන අමනුස්සයින්ගේ බන්ධනත් කඩලා දාලා තමයි නිධානය ගන්න කියලා තියෙන්නේ . ඖෂධ මංජුසා නවයක් තියෙනවා කියලා තියෙනවා ඒ නිධානයේ . ඒ නවයම ඕන කරනවලු අර බෙහෙත් ඔරුවේ ඉන්න කෙනාට පන දෙන්න "






" හ්ම්ම් . දැන් කවදද අපි එහේ යන්නේ ? "

" මටනම් හෙට උනත් යන්න පුළුවන් . සීයා කියන්න දවසක් . දවස් කීපයක් යයි මම හිතන්නේ මේ ගමන යන්න "

" අපි එහෙනම් හෙට උදෑහනම පිටත් වෙමු . දවස් තුන හතරකට ඕනා කරන දේවල් අරගෙන යමු . මමයි පුතයි විතරක් ගියාම ඇති . ජේමිස් එක්ක යන්න ඕන නැහැ "

" ඔව් මේ දේවල් තවත් කනකට යනවට වඩා හොඳයි අපි දෙන්නා විතරක් යන එක "

සීයාත් මමත් පසුදා උදෑසනම අවශ්‍ය කළමනා සියල්ලද රැගෙන කරත්තයෙන් පිටත් වීමු . අප ජීවත්වන ගම පසුකර අල්ලපු ගමට ඇතුල් වූ අපි ඉරමුදුන් වන වෙලාවට අල්ලපු ගමේ සීමාවටද ළඟාවීමු .

" සීයේ මෙතනින් එහාට මහා වනාතරේ තියෙන්නේ . වනාන්තරේ ඇතුළට කරත්තෙන් යන්න බැහැනේ . මොකද කරන්නේ කරත්තෙට . එහෙමයි කියලා ඕන කරන බඩු සේරම අපි දෙන්නට කරතියාගෙන යන්නත් බැහැ "

" ඔය කිට්ටුව තියෙනවා මම දන්නා කියන ගෙදරක් . අපි ඒ ගෙදර මේ දේවල් තියලා කරත්තෙත් ගාල් කරලා යමු . තැන හොයාගත්තට පස්සේ ආයෙත් ඇවිත් ඕන කරන දේවල් අරගෙන ගිහින් ඒ රාජකාරිය අහවර කරමු "

සීයා අඳුනන කෙනෙකුගේ නිවස පිහිටා තිබුණේ අල්ලපු ගමේ කෙලවරට වන්නටය . එම නිවසට ගිය අපි නිධානය ගැනීමට අවශ්‍ය කළමනා සියල්ල එහි තබා කෑමට ගෙන ආ දේවල් පමණක් රැගෙන වනාන්තරය තුලට ඇතුල්වීමු .

" පුතේ දැන් මොනවද තියෙන කඩයිම් ඔය කියන තැනට යන්න "

" ඉස්සෙල්ලම අපිට හම්බෙනවා කියනවා පොඩි වතුර පාරක් . ඒ වතුරපාර කිට්ටුව තියෙනවා ලොකු රවුම් කළුගල් කුලක් . ඒ ගලේ පැත්තක ඊතලයක රූපයක් කොටලා තියෙනවා . ඒ ඊතලය තියෙන පැත්තට තමයි අපි යන්න ඕන . ඊට පස්සේ ආයෙත් හම්බෙනවා ඒවගේම ගල් පර්වතයක් . ඒ ගලේ පැත්තක මොණර රූපයක් කොටලා තියෙනවා . ඒ මොණර රූපයේ මොණරාගේ හොට තියෙන පැත්තට අපි ගමන් කරන්න ඕන "




ටිකෙන් ටික සීයාත් මමත් ඝන වනාන්තරය මධ්‍යයට පිවිසියෙමු . දියපහර සොයාගැනීමට සවස් වනතුරුම කාලය ගතවිය . වනාන්තරයේ ඒ පැත්තටත් මේ පැත්තටත් ඇවිදිමින් සීයාත් මමත් දියපහර සෙවීමට මහන්සි වීමු . දියපහර ඇති ස්ථානයේදී අපිට තවත් වැදගත් සිදුවීමකට මුහුණ පාන්නට සිදුවිය . ඒ වනාන්තරයේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් මුණගැසීමයි . උන්වහන්සේ ඉතාමත් සංවර වූ අතර කතාබහ බොහෝ ශාන්ත දාන්ත විය . අපිට උන්වහන්සේගේ ගල් ලෙන් අරණ්‍යයට පැමිණ ගිමන් නිවා යන්නට යැයි උන්වහන්සේ ආරාධනා කළහ . ආරණ්‍යය පිහිටා තිබුණේ දියපහරට තරමක් ඈතින් වන්නටය .

සීයාත් මමත් උන්වහන්සේගේ ආරණ්‍යයට ගියද අපි ආවේ කිනම් කාර්යයක් වෙනුවෙන්දැයි නොකීමට වගබලා ගත්තෙමු . උන්වහන්සේද ඒ පිළිබඳව කිසිවක් විමසීමට ඉදිරිපත් වූයේ නැත . ආරණ්‍යවාසී සිල්වත් භික්ෂූන් වහන්සේලාට පෘතක්ජන අප වැන්නවුන්ගේ හැසිරීම් වලින් පලක් නැති බැවින් උන්වහන්සේ එසේ නොවිමසා ඉන්නට කල්පනා කරන්නට ඇත .





උන්වහන්සේගේ ආරණ්‍යයේදී දිවා ආහාරය සඳහා ගෙන ආ තම්බනලද මඤ්ඤොක්කා ආහාරයට ගත් සීයාත් මමත් උන්වහන්සේගේ දෙපා නැමද නැවතත් පිටත් වීමු . සුවපත් වේවා ! යනුවෙන් ආශිර්වාද කල උන්වහන්සේගේ අවසන් ප්‍රාර්ථනය වූයේ " ඔබලා සොයන දේ කල් වේලා නොගොස් හමුවේවා ! යන්නයි . උන්වහන්සේගේ එම වදන්පෙළ සීයාත් මමත් විමතියට පත් කල අතර ඉන් එහා ඒ පිලිබඳ සීයාවත් මමවත් කිසිවක් කතා කලේ නැත .

දියපහර අසලට ආ සීයාත් මමත් සන්නසේ සඳහන් කර තිබුණු ගල් කුල සොයාගන්නා ලදී . අනතුරුව වැඩි වෙලාවක් ගත වූයේ ඊතල සලකුණ සොයාගනීමටය . එය සොයාගැනීම අපහසු වූයේ ගල් කුල උද සෑදී තිබුණු නොයෙක් වර්ගයේ ගස් වැල් වල මුල් ගල් කුල වටා පහළට බේරී තිබුණු හෙයිනි . එම මුල් අතර ඇති ඊතල සලකුණ පළමුවෙන්ම දුටුවේ සීයාය .

" පුතේ මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න ඊතල සලකුණක් වගේ මුල් වලට යටින් පේනවා . මම හිතන්නේ මෙතන තමයි ඊතල සලකුණ පිහිටලා තියෙන්නේ "

" ඉන්න සීයේ අපි මුල් කපලා දාලා බලමු "

මම අතේ තබාගෙන සිටි මල්ලෙහි වූ කුඩා පිහිය රැගෙන මුල් කීපයක් කපා දමනවිට ඊතල සලකුණ පැහැදිළි වීමට පටන් ගත්තේය . එම මොහොතේ සිතට දැනුනු සතුට කියා නිම කිරීමට නොහැකි විය . ඒ මන්ද යත් , මෙම ඊතල සලකුණ සොයාගත්පසු ඉතිරි කඩයිම් සලකුණු සොයාගැනීම එතරම් අපහසුවක් නොවේ යැයි විශ්වාස කල බැවිනි .

එහෙත් පවනට බඳු වේගයෙන් හිරු දෙවියන් අවරගිරට ළඟා වෙමින් තිබුණු හෙයින් මොණර සලකුණ සහිත ගල් කුල සොයාගැනීම පසු දිනට කල් තබා සීයාත් මමත් ඊතල හිස සහිත දිශාවට ගමන් කර තරමක පැහැදිළි භූමියක් හමුවීමෙන් පසුව රාත්‍රී කාලය එහි ගත කිරීමට තීරණය කළෙමු .

සීයා ඒ අසල වූ කඩා වැටුණු නවඳ ගසක කඳ මත හිඳගෙන සිටින අතරේ මම එම නවඳ ගසේ අග කෙළවර ඇති දිශාවට පියවර කීපයක් ගමන් කර ගිනි මැලයක් මෙලවීමට අවශ්‍ය දර කොටු සොයාගත්තෙමි . පසුව අප රාත්‍රී ගත කිරීමට තීරණය කරන ලද භූමියේ මැදට වන්නට දර කෝටු පිළිවෙලින් ගොඩගැසූ මම එයට ගිනි මොළවා ගිනිමැලය අසල හිඳගෙන කල්පනා කරන්නට වීමි .

" මොනවද පුතේ කල්පනා කරන්නේ ? "

" අපිටත් වෙන දේවල් කියලා මම මේ කල්පනා කරේ සීයේ . බලන්න එක වතාවක් අලියෙක් සනීප කරන්න කියලා අපි සිරීපාද කන්ද තරණය කරා . එදත් අලිබෙටි ඇඟේ ගාගෙන ඇත් සොහොනට වෙලා බලාගෙන හිටියා . අදත් ඒ වගේමයි . මොන සතා සරුපයා ඉන්නවද දන්නේ නැහැ . මම කල්පනා කරේ අර භාවනා කරන හාමුදුරුවන්ට අපිට තියෙන මේ වගේ ප්‍රශ්න මොකවත් නැතුව ඇති නේද කියලා "

" එහෙම තමයි පුතේ . ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර හොයන එක තමයි  . අපි මෙතනට සතා සරුපයා ලං වෙන්නේ නැතිවෙන්න සීමාවක් සලකුණු කරමු . ඉන්න මම වැලි මතුරලා වටේට දාලා එන්නම් . එතකොට අලි කොටි උනත් මෙතනට ලං වෙන එකක් නැහැ "

ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment