නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 4 - කූප වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .  


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 - වෘක්ෂ වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා වෘක්ෂ වේද දෝෂය කියන්නේ මොකක්ද සහ වෘක්ෂ වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ කූප වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


කූප කියලා හඳුන්වන්නේ ලිඳ . සාමාන්‍යයෙන් අද කාලේ පර්චස් 10 හෝ ඊට වඩා අඩු ප්‍රමාණයේ ඉඩමක ගෙයක් හදලා වාහන නවතන ඉඩ ප්‍රමාණය වැසිකිලි වල කියන දේවල් හැදුවාට පස්සේ ලිඳක් ගැන හිතන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ . ඒත් අතීතයේ එහෙම නෙවෙයි . ගෙයක් හදනවානම් එතන ලිඳක් තියෙනවාම තමයි . මොකද ජීවයේ මූලිකම අවශ්‍යතාවය වෙන්නේ ලිඳ නිසා . ඒ නිසා කූප ශාස්ත්‍රය කියලා වෙනමම පෙරදිග ඉගැන්වීමක් තියෙනවා ළිං හැරීම සහ වතුර තියෙන තැන් හොයාගන්නේ කොහොමද කියලා උගන්වන . කාලයත් එක්ක අපිට ඒවා බ්ලොග් එකේ සාකච්චා කරන්න පුළුවන් වෙයි .





වේද දෝෂ වලදී ප්‍රධානවම හිතලා බලන්නේ නිවසේ ප්‍රධාන දොරටුවට ඇතිවෙන වේද වීම සම්බන්ධව . ඒ නිසා කූප වේද දෝෂයත් අදාළ කරන්නේ ප්‍රධාන උළුවස්ස සමග පැවතීම ගැන සාකච්චා කරන්න . නිවසක ප්‍රධාන දොරටුවට ආසන්නයේම ලිඳක් පිහිටලා තියෙනවානම් ඒක කූප වේද වෙනවා . නිවසේ ප්‍රධාන දොරටුව ඉස්සරහාම නම් ලිඳ පිහිටලා තියෙන්නේ ඒකත් කූපවේද දෝෂයක් වෙනවා . 


අද කාලේ කූප වේද දෝෂය ගෙදරකට ලොකුවටම බලපාන්නේ නැහැ . මොකද නිවසක අඩිතාලම එක්ක බිත්ති බඳින්න කලින් යකඩ කම්බි දාලා කොන්ක්‍රීට් බීම යන නිසා . ඒ නිසා නිවසේ බර බෙදිලා යනවා . එතකොට ලිඳකට තියෙන බලපෑම අඩුයි . ඒත් මේ දෝෂය සර්ව සම්පූර්ණයෙන්ම අඩුවෙනවා කියලා කියන්න බැහැ . සාමාන්‍යයෙන් නිවසකට වඩා අඩි 7 කට ඈතින් ලිඳ පිහිටලා තියෙනවානම් ලොකු ගැටළුවක් නැහැ . 


නිවසක් ඉදිරියේම ලිඳක් පිහිටලාතියෙන එක කොහොමත් හොඳ නැහැ . ලිඳ සිමෙන්තියෙන් බැඳලා කොන්ක්‍රීට් ලෑලි දාලා වහලා තියෙනවානම් ගැටළුවක් නැහැ . ඒත් විවෘත ලිඳක් නම් පිහිටලා තියෙන්නේ එතන අවධානමක් තියෙනවා පොඩි ළමයි එහෙම ඉන්නවානම් . ඒ නිසා ආරාක්ෂිත විදියට ලිඳක් කොහොමත් නිර්මාණය වෙන්න ඕන කියලා මතක තියාගන්න ඕන . 


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments:

  1. හොඳයි. ඉස්සර කාලෙතරම්ම අන්තවාදී නොවි ප්‍රායෝගිකත්වය එක්ක කතා කරන එක අගය කරනවා. පරණ ලියුං කියවලා එන්නං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි !
      විෂය අලුත් දේවල් එක්ක ගළපන්නේ නැති නිසා තමයි විෂය යට යන්නේ . සංකල්ප කවදත් එකයි . ප්‍රායෝගිකව යොදාගැනීමේ වරද නිසා තමයි ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ .

      Delete