විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය








සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් වැල් වුණත් ඒවා තමන්ගේ ජීවන චක්‍රයේ මුල් අවධියේ ඉඳලාම පරිණත වීම දක්වා කාලසීමාවේදී ලකලෑස්ති වෙන්නේ තමන්ගේ ප්‍රජනන කාර්යය උදෙසා . මනුෂ්‍යයා වුණත් කුඩා කාලයේ ඉඳලා පරිණත වීම දක්වා කාලය තුල ජීව විද්‍යාත්මකව සහ සමාජීය වශයෙන් සූදානම් වෙන්නේ විවාහයක් කරගැනීමට . විවාහයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ දරුවෙක් බිහි කරලා ඒ දරුවා සමාජයට හොඳ පුද්ගලයෙක් විදියට නිදහස් කිරීම .

මේ වෙනුවෙන් ජ්‍යෝතිෂ විද්‍යාව සහ ආයුර්වේදය ප්‍රධාන තැනක් හිමිකරගෙන ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලාම . ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ විශ්වයේ ශක්තිය පැවැත්ම විග්‍රහ කෙරෙන විද්‍යාවක් . කෙනෙක්ට කියන්න පුළුවන් ග්‍රහ තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියලා . ඔව් ග්‍රහ තාරකා වලට මොකවත් කරන්න බැහැ තමයි . ග්‍රහ තාරකා වලින් සංකේතවත් කරලා තියෙන්නේ පෘථිවි වාසීන්ට බලාපාන ශක්ති විශේෂයන් ගැන . ඒවගේම තමයි ඒ ශක්තිය උපතේදී කොහොමද බලපාන්නේ , ජීවත් වෙනකොට කොහොමද බලපාන්නේ සහ අහසේ සිදුවෙන ග්‍රහ චාරය නිසා වෙනස් වෙන්නේ කොහොමද කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේදී කතා කෙරෙනවා . 

විවාහයකදී බලාපොරොත්තුවෙන මූලිකම දේ අනාගත පරපුර බිහිකිරීම නම් ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම සම්පාදනය කිරීම තමයි ජ්‍යෝතිෂ විද්‍යාවේදී පෙන්නුම් කරන්නේ . දරුවෙක් පිළිසිඳ ගැනීම වෙනුවෙන් අවශ්‍ය ශාරීරික පසුබිම සෑදීම සහ දරුවා බිහි කිරීම කියන කාර්යයන් අයත් වෙන්නේ ආයුර්වේදයට . අද කාලේ මේ කාර්යය බටහිර වෛද්‍ය කර්මයට මූලිකවම හිමිවෙලා තියෙනවා . ඒත් වෛද්‍ය ක්‍රම වලින් බෙහෙත් වලින් වගේ දේවල් වලින් දරුවන් ලබාගැනීම ප්‍රමාද වීම නිසා ප්‍රතිකාර ගත්ත වැඩි පිරිසක් ආයෙත් මූලික තැනට එනවා ජ්‍යෝතිෂ පැත්තෙන් ඒ වෙනුවෙන් තියෙන සම්භාවිතාවය කොහොමද කියලා බලාගන්න . සමහර වෙලාවල් වලදී එයාලාගේ ශරීරයේ තියෙන ශක්තිය අසමතුලිත වීම ජ්‍යෝතිෂ විද්‍යාත්මක කරුණු වලින් සාර්ථකව සමතුලනය කරන්න පුළුවන් . 

ඒ පැත්ත අසාර්ථක වෙනකොට ආයුර්වේද පැත්තට දායක වෙන්න වෙන්නව . ලංකාවේ හොඳම වෛද්‍යවරයා , ලංකාවේ හොඳම රෝහල , හොඳම ඖෂධ , දියුණුම තාක්ෂණික ක්‍රම කියන මේ හැම දේම භාවිතා කරත් කළලයක් ස්ත්‍රී ශරීරයේ තැම්පත් කරාට පස්සේ හෝ තැම්පත් වුණාට පස්සේ ඒක ස්වභාවිකව ම තමයි වර්ධනය වෙලා විකසනය වෙන්න ඕන . මේ තත්වය නොවෙනවානම් බටහිර වෛද්‍ය කර්මයට කිසිම අවස්ථාවක් නැහැ නිවැරදි කරන්න . 

ආයුර්වේදයේ ක්‍රම තියෙනවා . ඒත් සාර්ථක වෛද්‍ය වරයෙක් සොයාගන්නා එක ප්‍රශ්නයක් . අවසානයේ ආයෙත් ජ්‍යෝතිෂ පැත්තට හැරෙනවා මොකක්ද ප්‍රශ්නය කියලා බලන්න .ඔය ප්‍රශ්න අරගෙන එන වැඩි දෙනෙක්ගේ විවාහ නැකත් කොහොමද කියලා පරීක්ෂා කරන්නත් වෙන වෙලාවල් එනවා කේන්දර වලින් අසමානකම් තියෙනකොට . එතකොට විවාහ නැකත්වල දෝෂ වුණත් අපිට අදාළ කරගන්න වෙන වෙලාවල් තියෙනවා . ඒ නිසා විවාහ නැකත් සම්බන්ධව දීර්ඝව කතා කරානම් හොඳයි කියලා මම කල්පනාකරා . 

විවාහ වීම කියන කාර්යය අද ඉතාම සංකීර්ණ කාර්යයක් වුණත් සම්මත චාරිත්‍රවාරිත්‍ර අනුව බලනකොට පැවතගෙන ආව චාරිත්‍ර වාරිත්‍ර ඒවගේම තවමත් කෙරෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන් . සාමාන්‍යයෙන් ජ්‍යෝතිෂ විද්‍යාව පිළිනොගන්නා කෙනෙක් වුණත් විවාහ නැකත් බලලා විවාහ වෙන්න කටයුතු කරන අවස්ථා තියෙනවා . විවාහ මංගලෝත්සව වලදී සාමන්‍යයෙන් පෝරුවේ චාරිත්‍ර සිදුකරන අය කියන කතාවක් තමයි සිංහල සිරිත් විරිත් කියල අද වෙනකොට පොඩි පොඩි වෙනස්කම් වලට ලක් වුණත් පවතින්නේ අවුරුදු චාරිත්‍රයි පෝරුවේ චාරිත්‍රයි විතරයි කියලා . 

ඉතින් ඔය ආකාරයට අදහස් දක්වන මේ විවාහ නැකත් සෑදීම කියන දේ මොකක්ද සහ විවාහ නැකත් මොනවාද කියල අපි කතා කරමු . 

ලංකාවේ විවාහ නැකත් සෑදීම සම්බන්ධව කතා කරනකොට දෛවඥකාමධෙනුව කියන පොත සාමාන්‍යයෙන් වැදගත් තැනක තියෙනවා . මොකද ලංකාවේ ලියවුණු පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවලින් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ඒ පොත විතරක් නිසා . ඒවගේම පිලිප්ද සිල්වා ඈපාඅප්පුහාමි ගුරුතුමන්ගේ මුහුර්ත චින්තාමණි කියන පොතත් වැදගත් තැනක තියෙනවා . ඊට අමතරව නැකත් සිතුරුවන වගේ පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල මේ විවාහ නැකත් සෑදීම ඉතාමත් පැහැදිළි විදියට දක්වලා තියෙනවා .

විවාහ නැකත් සෑදීම

විවාහ නැකත් සෑදීම සාමාන්‍යයෙන් අයිති වෙන්නේ මනමාල මහතාගේ පාර්ශවයට . සිරිත් පරිදි අතීතයේ ඉඳලාම ඒක මනමාල මහතාගේ පැත්තට හිමි වෙන රාජකාරියක් . සාමාන්‍යයෙන් නැකත් හදවාගන්න යනකොට ඉර අවරට ගියාට පස්සේ ජ්‍යෝතිෂ වේදීන් හමුවෙන්න යන එක වැඩිය හොඳ දෙයක් නෙවෙයි කියලා මම හිතනවා . මොකද හරියට වැඩ කරන ජ්‍යෝතිෂ වේදීන්ගේ මනස විඩාවට පත්වෙන්න පත්වෙන්න මේ කාර්යය සාර්ථක බවෙන් අඩු වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් . පැහැදිළි නිරවුල් මනසකින් කරන රාජකාරිය තමයි සාර්ථක වෙන්නේ . ඒ නිසා ඉර අවරට යන්න කලින් මේ වෙනුවෙන් ජ්‍යෝතිෂ වේදියා හමුවීම වැදගත් . ඊට පස්සේ ජ්‍යෝතිෂ වේදියාට විවාහ වෙන දෙදෙනාගේ කේන්ද්‍ර සටහන් ලබාදීලා විවාහ වෙන්න සුදුසු දින මොනවාද කියලා කතා කරගන්න පුළුවන් . සාමාන්‍යයෙන් විවාහ නැකත් දිනය යොදාගන්නේ දෙදෙනාගේම කේන්දර සටහන් වලට ගැළපෙන නැකතක් යෙදිලා තියෙන දවසක් . පොරොන්දම් වලින් සහ කේන්දර සටහන් වලින් දෙදෙනාගේ උපන් නැකත් ගැළපෙනවා වගේම තමයි විවාහ නැකත් දිනයත් දෙදෙනාට ගැළපෙන්න ඕන . ඔය දේවල් වලට පස්සේ ජ්‍යෝතිෂ වේදියා දැනුවත් වෙන්න ඕන කරුණු කරණා තියෙනවා . 

විවාහ මංගල උත්සවය පවත්වන්නේ නිවසේද ? උත්සව ශාලාවකද කියන එක .

විවාහ මංගල උත්සවය වෙනුවෙන් මනමාලයට මනාළියගේ නිවසට යන්න හෝ උත්සව ශාලාවට යන්න කොපමණ දුරක් වෙලාවක් ගතවෙනවාද කියන එක . 

මංගලෝත්සවය වෙනුවෙන් මනමාලයා සහ මනමාළිය නිවසෙන් පිටත් වෙන්න ඕන වෙලාව ආසන්න වශයෙන් කොහොමද කියන එක . මේක සාමන්‍යයෙන් ඇඳුම් අන්දවන අයගේ අවශ්‍ය වේලාවන් කොහොමද කියන එකත් එක්ක ගැළපෙන විදියට සකස් කරන්න තමයි ඒ වෙලාවල් කොහොමද කියලා දැනගන්න ඕන වෙන්නේ . 

ඡායාරූප ගැනීම් උදේ වරුවේ සිදුවෙනවානම් ඒවා කෙරෙන ස්ථානය සහ මංගල උත්සවය පවතින ස්ථානය අතර දුර සහ කාලය .

පෝරුවේ චාරිත්‍ර කරනවාද නැත්ද කියන කාරණාවත් වැදගත් . මොකද සමහර අවස්ථා වලදී පෝරුවේ චාරිත්‍ර කෙරෙන්නේ නැහැ . විවාහ ලියාපදිංචිය සහ මුදු මාරුකිරීම පමණක් වෙන අවස්ථා තියෙනවා . ඒ වෙලාවල් වලදී ජ්‍යෝතිෂ වේදියා දැනගෙන ඉන්න ඕන පෝරුවේ චාරිත්‍ර කරනවද නැත්ද කියලා . 


ඔන්න ඔය කරුණු කරණා සම්බන්ධව විවාහ මංගල උත්සවයකදී නැකත් සෑදීමේ කටයුත්තේදී මූලිකවම දැනුවත් කිරීම කරන්න ඕන . ඒවගේම තමයි විවාහ මංගල උත්සව අද කාලේ උත්සව ශාලාවල සිදුකරන නිසා ඒ උත්සව ශාලාව මේ නැකත් දවසට වෙන් කරවාගන්න පහසුද කියන කාරණාවත් සලකා බලන්න වෙලා තියෙනවා අද වෙනකොට . මේක නැකත් සෑදීමේදී සාමාන්‍යයෙන් ලොකු හිසරදයක් වෙන අවස්ථා තියෙනවා . ඒ නිසා නැකත් සෑදීමට කලින් ගැළපෙන නැකත් දිනය අනුව උත්සව ශාලා වෙන්කරවාගන්නත් මනාල යුවලට සිදුවෙනවා . 

නැකත් භාරදීමේ චාරිත්‍රය

ඔය ඔක්කොම දේවල් ගැන සලකලා බලලා නැකත් සෑදීම කරාට පස්සේ ඉස්සෙල්ලාම තියෙන්නේ මනාල මහතාගේ පාර්ශවයෙන් මනාලියගේ පාර්ශවයට නැකත් භාරදීමේ චාරිත්‍රය ඉටුකිරීම . සාමාන්‍යයෙන් විවාහයට මාස තුනකට කලින් වත් නැකත් භාරදීම කියන දේ සිදුවෙනවා . චාරිත්‍රානුකුලව නැකත් භාර දෙන්නේ මනාල මහතාගේ පියා විසින් . ඒත් යම් යම් පැතිවල අදවෙනකොට මේ නැකත් භාර දෙන කෙනා කවුද කියලා කියන කාරණාව වෙනස් වෙන අවස්ථා තියෙනවා . 

ඒවගේම තමයි විවිධ පාළාත්වල නැකත් කොලය භාරදීම විවිධ ආකාරයට කෙරෙනවා . සමහර පැතිවල නික්නම් නැකත් ලියලා තියෙන කොලේ අරගෙන ගිහින් දීලා වඳිනවා . එහෙමත් නැත්නම් සමහර පළාත්වල නැකත් කොලය සන්නස් මංජුසාවක දාලා ඒක භාර දෙනවා . තවත් සමහරුන් මේ නැකත් කොලය මුද්‍රිත පිටපතක් විදියට භාර දෙනවා වගේම ඒ මුද්‍රිත පිටපත රාමු කරලා කාලයක් තියාගන්න පුළුවන් විදියටත් භාර දෙනවා . මේ සිරිත එක එක පැතිවල එක එක විදියට වෙනවා . 

ගොඩක් වෙලාවට තමන්ට මංගල නැකත් චාරිත්‍රවල අවශ්‍යතාවය අනුව තමයි මේ භාරදීම කියන කාර්යය පිළිවෙලට හෝ අපිළිවෙලට කරන්නේ . ඔහේ දෙන්නන් වාලේ නැකත් කොලය භාර දෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතිවෙනකොට . කොහොම වුණත් අද වෙනකොට ඩෙකරේෂන් , ඇඳුම් , ශාලාව වගේ දේවල් මූලික වෙලා නැකත් කොලය පැත්තකට ගිහින් තියෙනවා . එහෙම වෙලා තියෙන්නේ ශිල්පයට වඩා මවාපෑම කියන දේ වැදගත් නිසා අද කාලයේ .


නැකතට මගුල් කීමේ චාරිත්‍රය

විවාහ මංගලෝත්සවය සම්බන්ධව මුලින්ම නිවසෙන් පිටට දැනුම්දීම තමයි මේ නැකතට මගුල් කීම කියලා කරන්නේ . මේකත් නැකතකට කරන චාරිත්‍රයක් . සාමාන්‍යයෙන් විවාහ මංගල උත්සවය සම්බන්ධව මුලින්ම කියන්නේ තමන්ගේ ළඟම නෑදෑකුට හරි එහෙමත් නැත්නම් පවුලට හිතවත්ම ආසන්නම කෙනෙක්ට . මෙතනදී ආරාධනා පත්‍රයක් දීමට වඩා බුලත් හුරුල්ලක් අතට දීලා විවාහ මංගල උත්සවය පැවැත්වෙන දවස සම්බන්ධව දැනුවත් කිරීම තමයි කරන්නේ . මේ නැකතට මගුල් කියන කෙනාට සාමාන්‍යයෙන් සිරිතක් විදියට දෙවෙනි ගමනටත් එන්න කියලා ආරාධනා කෙරෙනවා . අද කාලේ වෙනකොට ඒක ඒ තරම් දුරට කෙරෙන්නේ නැති වුණත් සිරිතක් වශයෙන් බලනකොට දෙවෙනි ගමනටත් ආරාධනා කිරීමක් සිදුවෙනවා නැකතට මගුල් කීමේදී . 


මනමාලයා විසින් මනමාලියට විවාහ උත්සවයට සැරසෙන ඇඳුම් / සාරිය ලබාදීමේ චාරිත්‍රය . 

මේකත් නැකතකට කෙරුණු කාර්යයක් . අද වෙනකොට නම් මේ කාර්යය සිදුවෙන්නෙම නැහැ . ඒත් අතීතයේ මෙහෙම සිරිතක් පැවතිලා තියෙනවා . ඒ කාලේ විවාහ මංගල උත්සව වලදී මනමාලිය අඳින්නේ සැලෝන් එකෙන් කුලියට ගන්නා ඇඳුමක් නෙවෙයි . ගොඩක් වෙලාවට සුදු පැහැය තියෙන සාරියක් තමයි අඳින්නේ . ඒ නිසා ඒ සාරිය මනමාලයා විසින් ලබාදීම කෙරෙනවා නැකත් වෙලාවකට . ඔය සුදු සාරිය නැකත් වෙලාවට ලබාදෙන්න තවත් යම් හේතුවක් තියෙනවා . පෝරුවේ චාරිත්‍ර කියන දෙයින් පෙන්නුම් කරන්නේ මනමාලියගේ පාරිශුද්ධ භාවය . ඒ වෙනුවෙන් තමයි පළවෙනි දවසේ දී මනමාලිය සුදුපැහයට හුරු ඇඳුමක් අඳින්නේ . ඒ නිසා තමයි මේ ඇඳුම භාරදීම විශේෂ දෙයක් විදියට සලකලා තියෙන්නේ .

මගුල් කප සිටුවීමේ චාරිත්‍රය

දේවාලවල පෙරහරක් පවත්වනකොට කප් සිටුවීම කරනවා වගේ මංගල උත්සවය කරදර බාධක වලින් තොරව කරන්න ලැබෙන්න කියලා නැකතට මගුල් කප් සිටුවීමේ චාරිත්‍රයක් අතීතයේ තිබිලා තියෙනවා . ඒ චාරිත්‍රයත් අද වෙනකොට කෙරෙන්නේ නැහැ . සමහරු මේ කප් සිටුවීම වෙනුවෙට දෙවියන්ට පඬුරු ගැටගහලා විවාහ මංගල උත්සවයට පස්සේ තමන් අදහන දේවාලයකට හෝ පන්සලට ගිහින් ඒ පඬුර දාලා පුද පූජා පැවැත්වීම හෝ දෙවියන්ට පින් දීම සිදු කරනවා . 


තෙල් වලන් ලිප තැබීමේ චාරිත්‍රය

මේ නැකත සෑදීම සම්බන්ධව සාමාන්‍යයෙන් විවිධ මත තියෙනවා . කෙනෙක් කියනවා තෙල් වලන් ලිප තියන්න ඕන උත්සවයට දවස් කීපයකට කලින් කියලා . තව කෙනෙක් කියනවා සති කීපයකට කලින් කියලා . කෙසේ වෙතත් ආහාර පාන පිළියෙළ කරන අය දන්නවා කොච්චර කාලයක් මේ කැවිලි තියාගන්න පුලුවන්ද කියලා . නැකත් දවස ඒ වෙනුවෙන් අදාළ කරගන්න බැරි නම් කරන්න තියෙන්නේ නැකත් වෙලාවට විවාහ මංගල උත්සවයට හදන්න නියම කරගෙන ඉන්න කැවිලි වර්ගයක් මොනවා හරි හදන එක . ඒවා විවාහ මංගල උත්සවය අවසාන වෙනකල් ඉඳුල් නොකර තබා ගැනීමෙන් ගැටළුව නිරාකරණය වෙනවා . කෙසේ වෙතත් අතීතයේ මේ තෙල් වලන් ලිප තියන්න නැකත් දීලා තියෙන්නේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් කැවුම් පිළියෙළ කරන්න තෙල් වළඳ ලිපේ තියෙන්න . අද වෙනකොට මේක විවිධ විදියට කෙරුණත් තෙල් වළඳ ලිප තැබීමේ චාරිත්‍රය තවමත් කෙරීගෙන යනවා . 

මගුල් මඩුව සෑදීමේ චාරිත්‍රය

මේ නැකත් වෙලාව දැන් නම් අවශ්‍ය වෙන්නේ නැහැ . ඉස්සර කාලයේ විවාහ මංගල උත්සව නිවසේ පවත්වන කාලයේ ගෙවල් ඇතුලේ විශාල පිරිසකට කන්න බොන්න දෙන්න අපහසු නිසා මගුල් මඩුව කියලා එකක් හදනවා . ඒක සාමාන්‍යයෙන් ඒ ඒ තරාතිරමේ හැටියට කැටයම් කපපු කඩදාසි ගොප්කොල සැරසිලි එකතු කරලා තමයි හදන්නේ . ඒ නිසා මගුල් ගෙදරක ඒ කාලේ වැදගත්ම දෙයක් තමයි මගුල් මඩුව කියලා කියන්නේ . මගුල් මඩුව හදන්න කණු හිටවන්නත් ඒකාලේ නැකතක් හැදිලා තියෙනවා . අද වෙනකොට ඒක කෙරෙන්නේ නැත්තේ උත්සව ශාලාවල විවාහ මංගලෝත්සව සිදු කරන නිසා . 


මනමාලයා නිවසින් පිටත් වීමේ චාරිත්‍රය

විවාහ මංගලෝත්සවය සිදුවෙන දවසේ උදේ මනමාලයා මංගල ගමන වෙනුවෙන් පිටත්වීමට තමයි මේ නැකත් වෙලාව හැදෙන්නේ . සාමාන්‍යයෙන් අදකාලේ මංගල උත්සව වලදී නිවසින් පිටත් වීමේ අවස්ථා කීපයක් තියෙනවා . එක්කෝ ඇඳුම් අඳින තැනට යන්න පිටත් වෙනවා . නැත්නම් ඇඳුම් නිවසේදී ඇඳගෙන පිටත් වෙනවා . එහෙමත් නැත්නම් උදේම උත්සව ශාලාවට ගිහින් වෙන් කරන ලද කාමරයක ඇඳුම් ඇඳීම කරනවා . මේ මොන දේ වුණත් තමන් කලින් දවසේ හිටපු තැනින් මංගල ගමන වෙනුවෙන් පිටත් වීමට තමයි මේ නැකත් වෙලාව හැදෙන්නේ . ඒ නිසා නැකත් හදනකොට ජ්‍යෝතිෂ වේදියා මේ කාර්යයන් සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න වෙනවා . මොකද අද කාලේ වෙලා තියෙන්නේ නැකතට වැඩ නෙවෙයි වැඩේ විදියට නැකත් හොයන්න වීම . ප්‍රායෝගික ගැටළුවක් වුණත් ගැටළුවට පිළිතුරු හොයන්න යන්නේ නැතුව දෝෂ අවම කරගෙන හොඳ වෙලාවක එලියට බහින්න තමයි මේ නැකත් සෑදීම කරන්නේ . 


මනමාලිය නිවසින් පිටත් වීමේ චාරිත්‍රය 

ඉස්සර කාලේ නම් මෙහෙම චාරිත්‍රයක් කෙරුනේ නැහැ . ඒත් අදවෙනකොට ප්‍රායෝගිකව කෙරෙන දේවල් එක්ක මෙහෙම නැකත් වෙලාවක් බලන්න වෙලා තියෙනවා . මොකද විවාහ වෙන්න ගැහැණු ළමයෙක් තමන් උපන් දවසේ ඉඳලා ජීවත් වුන නිවසෙන් පිටත් වෙන්න ඕන හොඳ වෙලාවක නිසා . ඉස්සර දෙන්නාටම ගැළපෙන්න විවාහ යුවල පිටත් වීමට වෙලාවක් හැදුනට අද කාලේ කෙරෙන පිළිවෙල අනුව මේ නැකත සෑදීම අවශ්‍ය වෙලා තියෙනවා . මනමාළිය එක්කෝ උත්සව ශාලාවේ කාමරයක ඇඳුම් පැළඳුම් වලින් සැරසීම කෙරෙනවා . එහෙමත් නැත්නම් සැලෝන් එකේදී තමයි සැරසීම වෙන්නේ . ඒ නිසා උදේ පාන්දර නිවසෙන් පිටත් වීම වෙන්න ඕන . ඒකට මේ නැකත් වෙලාව සාදනු ලබනවා . 

මනමාලියගේ වේල් එක තැබීම හෝ තැල්ල හිස මත පැළඳවීමේ චාරිත්‍රය

තැල්ල පැළඳවීම සාමාන්‍යයෙන් කරන්නේ මනමාලියගේ අම්මා විසින් . අම්මා නැත්නම් තාත්තා හෝ ළඟම ඥාතියෙකු විසින් මේ තැල්ල පැළඳවීම නැකත් වෙලාවට කරනවා . බටහිර ක්‍රමයට නම් වේල් එකක් පැළඳවීම තමයි සිදුකරන්නේ . පෙරදිග බටහිර කියලා එහෙම වෙන් වුණත් ඒ වෙනුවෙන් නැකත් වෙලාවක් සෑදීම සිදුවෙනවා .


මනාල යුවල පෝරුව / මංගල මණ්ඩපය වෙත සම්ප්‍රාප්තවීමේ චාරිත්‍රය 

විවාහ මංගලෝත්සවයක වැදගත්ම දේ තමයි මේ පෝරුවේ චාරිත්‍ර කියලා කියන්නේ සරළවම කියනවානම් පෝරුවේ චාරිත්‍ර ගැන වචනෙන් දෙකෙන් කියන්න බැහැ . කෙසේ වෙතත් පෝරුව මත නැංවීමේ නැකත් වෙලාව තමයි විවාහ මංගල උත්සවයේ වැදගත්ම වෙලාව වෙන්නේ . සියලු දෝෂ නැතිවෙන්න හෝ දෝෂ වැඩිම ප්‍රමාණයක් නැති වෙලාවක් තමයි මේ වෙනුවෙන් යොදාගන්නේ . නැකත් වෙලාවට පෝරුවේ දෙපැත්තෙන් ඉන්න මනාල යුවල නියමිත වෙලාවට පෝරුවට නැංවීම සිදුවෙනවා . ඊට පස්සේ පෝරුවෙන් බස්වන වේලාව වෙනකල් කරන චාරිත්‍ර වාරිත්‍ර පෝරුවේ චාරිත්‍ර කරනු ලබන පුද්ගලයාට හිමි වෙනවා . 


මනාල යුවල පෝරුවෙන් බැස්වීමේ චාරිත්‍රය 

මේ වෙලාවත් වැදගත් වෙලාවක් . සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ බලපෑමෙන් ජීවත්වන මනුෂ්‍ය ශරීරය විවාහ බන්ධනයෙන් පස්සේ පොළවට පළවෙනි පියවර තබන වෙලාව තමයි මේ නැකත් වෙලාව . ඒ වෙලාවට පොල් බිඳීම වගේ චාරිත්‍ර කරන්නේ පොළවට අඩිය තියන වෙලාවේදී ඇතිවෙන දෝෂ සමනය කරන්න . පෝරුවෙන් බැස්වීම කරාට පස්සේ විවාහ බන්ධන චාරිත්‍ර අවසාන වෙනවා . 

මනාල යුවල පිටත් වීමේ චාරිත්‍රය 

සාමාන්‍යයෙන් මනමාල යුවල විවාහ වුණාට පස්සේ මනමාලියගේ නිවසින් පිටත් වෙනවා කියන චාරිත්‍රය තමයි මේ නැකත් වෙලාවට සිදුකරන්නේ . උත්සව ශාලාවලදී ත් කෙරෙන්නේ මේ දේම තමයි . කෙසේ වෙතත් පෝරුවේ චාරිත්‍ර වලට පස්සේ වැඩි දෙනෙක් කතා කරන බලාගෙන ඉන්න වෙලාව තමයි මනාල යුවල පිටත් වීමේ චාරිත්‍රය යෙදෙන නැකත් වෙලාව . 


විවාහ ලියාපදිංචි කිරීමේ නැකත 

නීත්‍යානුකූලව විවාහයක් ලියාපදිංචි කරන්න මේ නැකත් වෙලාව යොදාගන්නවා . 



මනාලයාගේ නිවසට යාමට පිටත් වීමේ චාරිත්‍රය සහ මනාලයාගේ නිවසට ඇතුල් වීමේ චාරිත්‍රය . 

මේ කටයුතු දෙකටම වෙලාවල් බැලීම සාමාන්‍යයෙන් කෙරෙනවා . ඒ වෙලාවට කලින් සැරසීම කටයුතු ඉවර කරලා මේ වෙලාවට පිටත් වෙනවා වගේම තමයි අදාළ වෙලාවට මනාලයාගේ නිවසට ඇතුල් වීමත් සිදු කරනවා .

මීට අමතරව විවාහයක අතීතයේ කරපු නැකත් චාරිත්‍ර අනුව විවාහ යුවලට ප්‍රථම කායික එක්වීමට සුබ වෙලාවක් බැලීම කරලා තියෙනවා . ඒක දැන් කෙරෙන්නේ නැහැ . ඒකක් ජ්‍යෝතිෂ වේදියා සහ මනාලයුවල අතර අදහස් හුවමාරුවේදී ලිංගික එක්වීම සම්බන්ධව විවෘතව කතාකරන්න ඇතිවන ලැජ්ජාව වගේ කාරණා . ඊට අමතරව ඒ සම්බන්ධව සැලකිල්ලක් දක්වන්නේ නැති වීම . ඒත් මොන ශිල්ප දාලා නැකත් හැදුවත් විවාහයක වැදගත්ම නැකත් තුන වෙන්නේ පෝරුවට නැංවීම , පෝරුවෙන් බැස්වීම සහ කායික එක්වීම කියන වෙලාවල් තුන . කායික එක් වීම වෙනුවෙන් වෙලාවල් බැලීම අද වෙනකොට නැත්තටම නැතිවෙලා තියෙනවා . 

මේ එක්කම තවත් වෙලාවක් හැදිලා තියෙනවා මනමාල මහත්මිය විසින් තමන්ගේ අලුත් නිවසේ හෝ තමන්ගේ ස්වාමියාගේ නිවසේ පළමු ලිප ගිණි මෙලවීම කියන කාර්යය සිදු කරන්න . ඒත් ඒ නැකතත් දැන් දැන් හැදෙන බවක් පේන්නේ නැහැ . හැබැයි ජීවිතයක වඩාත් වැදගත් දේවල් තමයි ඒවා . මොකද ගෘහනියක් වශයෙන් ලිප , මිරිස් ගල  වගේ දේවල් කාන්තා චරිතයකට වඩාත් සමීප දේවල් . 

අදකාලේ කෙරෙන යම් වැරදි දෙයක් සම්බන්ධවත් අදහස් දක්වන්න මම කල්පනා කරා . සමහර නැකත් චාරිත්‍ර බලනකොට පේනවා පෝරුවේ නංවලා ඊට පස්සේ තැලී පිලි අන්දවන්න , මුදු මාරු කරන්න , ඇතපැන් වත්කරන්න වගේ දේවල් වලටත් නැකත් වෙලාවල් හදනවා . එහෙම දෙයක් නම් ශාස්ත්‍රානුකූලව කියවෙන්නේ නැහැ . එන්ගේජ්මන්ට් එකකදී මුදු මාරු කරන්න නැකත් හැදුවට පෝරුවට නංවලා මුදු මාරුකරන දේවල් කරන්න නැකත් හදන්නේ නැහැ . ඒවා පෝරුවේ චාරිත්‍ර . පෝරුව කියන්නේ හරියට බලනවානම් පාරිශුද්ධ තැනක් . පෝරුවේ චාරිත්‍ර සහ අෂ්ටක කියන හැම දේකින්ම කියන්නේ විවාහවෙන මනමාලියගේ පාරිශුද්ධත්වය . ඒ නිසා පෝරුවේ නැංවීම කරාට පස්සේ චාරිත්‍ර වලට වෙලාවල් හදන්නේ නැහැ .
මම දකින්නේ මේක මුදල් ගරාගැනීම වෙනුවෙන් කෙරෙන දෙයක් කියලා . මොකද නැකත් සෑදීමේ ගාස්තු වශයෙන් සාමාන්‍යයෙන් ගාස්තුව නියම කරන්නේ එක නැකත් වෙලාවක් හදන්න මෙච්චර ගානක් කියලා . මේ තත්වයට ජ්‍යෝතිෂවේදියා පත්වෙලා තියෙන්නේ යම් සාධාරණ හේතුවක් මත . මොකද නැකත් කොලේ හදලා දුන්නාට පස්සේ සමහරු ආයෙත් එනවා ඒ දවසට බැහැ විවාහ වෙන දවස වෙනස් කරන්න කියලා . එතකොට විවාහවෙන දවසේ නැකත් සියල්ලම එහා මෙහා කරන්න වෙනවා . එතකොට ඒ වෙනුවෙන් ගාස්තු ය කිරීම විනයක් සහිතව කරන්න තමයි එක නැකතක් වෙනුවෙන් මෙහෙම මිලක් අය කරනවා කියලා කියන්නේ . සමහරු කරන්නේ පෝරුවේ චාරිත්‍ර වලටත් වෙලාවල් හදලා ඒ නැකත් වෙලාවල් වලටත් මුදල් අය කරනවා . ඒත් මම දැකලා තියෙනවා පෝරුවේ චාරිත්‍ර කරන කෙනා බලන්නේ පෝරුවට නංවන සහ බස්වන වෙලාවල් විතරයි කියලා . ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නෙත් ඒ වෙලාවල් විතරයි . ඒ නිසා අන්න ඒ කාරණාව ගැන විවාහ මගුල් නැකත් සාදවන අය කල්පනාකාරී වෙන්න ඕන කියලා මම මතක් කරනවා .

විවාහ නැකත් සෑදීම මූලිකවම මේ වගේ විස්තර කරත් මේ සම්බන්ධව වැඩිදුර සාකච්ඡා කරන්න කරුණු කාරනා තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක මේ වෙනුවෙන් ලියන්න හිතාගෙන ඉන්නවා . 

අපි ඒ ලිපිවලින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ප්‍රභාෂ්වර ජ්‍යෝතිෂ සේවය හරහා ඔබගේ විවාහ මංගලෝත්සවයේ නැකත් පත්‍රය පිළියෙළ කරවාගැනීම සඳහා පහත Link එක ඔස්සේ පිවිසෙන්න .


විවාහ නැකත් පිළියෙළ කිරීම - Click Here 


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment