නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 - වෘක්ෂ වේද දෝෂය





සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .  


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 2 - ද්වාර වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා ද්වාර වේද දෝෂය කියන්නේ මොකක්ද සහ ද්වාර වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ වෘක්ෂ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


වෘක්ෂ කියනකොටම අපි දන්නවා මේ කතා කරන්නේ ගහක් ගැන තමයි කියලා . ඔව් , ඇත්තටම මේ ගහක් ගැන තමයි කතා කරන්නේ . ගස් පරිසරයේ කොටසක් . අපි හිටවලා හෝ ඉබේ පැළ වෙලා හැදෙන ගස් වුණත් ඒවා පරිසරයේ කොටස් . නිවාස හැදීම අපි කරන්නේ අපි ජීවත් වෙලා ඉන්න පරිසරයේ සමතුලිතය ඇත්තටම බිඳ දැමීමක් කරමින් . ඒ නිසා ඒ බිඳ දැමීම නිසාත් වෙන්න පුළුවන් මේ වෘක්ෂ නිවාස ඉදිරිපිට පිහිටීම නිසා දෝෂයක් ඇතිවෙන්න පුළුවන් . වෘක්ෂ වේද දෝෂය කියලා කියන්නෙත් එහෙම ඇතිවෙන දෝෂයක් . 


වෘක්ෂ වේද දෝෂය ඇතිවෙන්නේ මෙහෙමයි . නිවසක් ඉදිරිපිට සාමාන්‍යයෙන් විශාල ගහක් තියෙනවා නම් හෝ , නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව ඉදිරියේ විශාල ගහක් පිහිටලා තියෙනවානම් හෝ නිවස අන්ධකාර කරගෙන මහා යෝධයෙක් වගේ ගහක් පිහිටලා තියෙනවානම් ඒ ගෙදරට වෘක්ෂ වේද දෝෂය තියෙනවා කියලා කියනවා . 

මේක මම වැඩි වාර ගණනක් අත්දැකීමෙන් දැකලා තියෙන දෝෂයක් . මේවගේ ගෙවල්වල වැඩියෙන්ම ගෘහමූලිකයා රෝගී වෙනවා . සෙම ආශ්‍රිත ලෙඩ රෝග තමයි ඇතිවෙන්නේ . ඒවගේම මුදල් නිවසට ගලාගෙන ඒම නතර වෙනවා . වියදම් වැඩි වෙනවා . 


ප්‍රායෝගිකව බැලුවත් මේ කරුණු කාරණා ඇත්ත වෙන්න පුළුවන් . මොකද නිවස අඳුරු වෙලා තියෙනවානම් සහ ගහෙන් නිවස වැඩියෙන් ආවරණය වෙලා තියෙනවානම් ඒ නිවසේ අභ්‍යන්තරයට ඉර එලිය වැටීම අඩු වෙනවා . ඒවගේම තමයි හුළඟ නිවසට ඇතුළුවෙලා පිටවීමක් වෙනෙන් නැහැ . සාමාන්‍යයෙන් වාස්තු විද්‍යාවේ උගන්වන්නේ ඉර එළියෙන් නිවස අතුල ආලෝකවත් වීම සහ හුළඟ සංසරණයවීමෙන් නිවස සිසිල් වීම . මේ වෘක්ෂ වේද දෝෂය නිසා මේ කරුණු කාරණා දුර්වල වෙනවා . 


ඊට පස්සේ වෙන්නේ නිවසේ විසබීජ වර්ධනය වීම .දිලීර සහ වෛරස් බැක්ටීරියා වර්ධනය වෙනවා . මේ නිසා වෙන්න පුළුවන් මේ වගේ නිවෙස්වල අයට සෙම ආශ්‍රිත ලෙඩරෝග වැඩි වෙන්නේ .


මීට අමතරව ඵල නොදරන ගස් නිවස ඉදිරිපිට තිබීමත් වෘක්ෂ වේද දෝෂය කියලා ගණන් ගන්නවා . මොකද ඵල දරන්නේ නැහැ කියලා කියන්නේ අසුබ කාරණාවක් විදියට ගණන් ගැනෙන නිසා . ඒ නිසා වෘක්ෂ වේද දෝෂය සාමාන්‍යයෙන් වේද දෝෂවල ප්‍රධානම වේද දෝෂයක් විදියට ගණන් ගන්නවා . 

තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment