නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 8 - කෝණ වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .


ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .


වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .


නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 7 - ස්ථම්භ වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා ස්ථම්භ වේද දෝෂය කියන්නේ මොකක්ද සහ ස්ථම්භ වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ කෝණ වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


හරිම ප්‍රායෝගික කතාවක් තමයි මේ කෝණ වේද දෝෂය එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ . ගමක නගරයක කොණක් , එහෙමත් නැත්නම් වෙනත් වත්තක කොණක් , එහෙමත් නැත්නම් නිවසක මුල්ලක් කියන කොන්වලින් එකක් හෝ කීපයක් නිවසක ප්‍රධාන උළුවස්සට කෙලින්ම මුහුණලා තියෙනවනම් ඒ නිවසට කෝණ වේද දෝෂය් ඇතිවෙලා තියෙනවා කියලා විස්තර කෙරෙනවා . තුම්මන් හන්දියකට හෝ හතරමං හන්දියකට මුහුණලා නිවසක ප්‍රධාන දොරටුව පිහිටලා තිබීමත් කෝණ වේද දෝෂය කියලා හඳුන්වනවා .


මේ දෝෂය නිසා ඇතිවෙන අනිසි බලපෑම් විදියට සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් නිවසක ආරක්ෂාවට බාධා ඇතිවීම තමයි . මොකද ගමක මුල්ලක් කියලා කියන්නේ අනිත් ප්‍රදේශ වලින් ඈත් වෙලා පිහිටන ස්ථානයක් . ඒවගේම තමයි ගෙදරක හෝ ඉඩමක මුල්ලක් කියලා කියන්නේ පාළු තැනක් වෙන්න පුළුවන් . අද කාලේ නම් මෙහෙම වෙනවා අඩුයි . ඒත් අතීතයේ තිබුණු ඉඩම් ලොකුයි . ඒ නිසා ඉඩමක මුලක් කියලා කියන්නේ ඉතාම විශාල ඉඩකඩක් පිහිටලා තියෙන ප්‍රදේශයක් . ඒ නිසා මේ ඉඩකඩ වැඩි වීම නිසා ඉඩමේ කොන් පාළුවට ගිහින් තියෙනවා වෙන්න පුළුවන් . ඒ නිසා තමයි මේ පාළු තැනක් නිවසක ප්‍රධාන උළුවස්සට මුහුණ ලා තියෙනකොට ආරක්ෂාව සම්බන්ධව අවදානමක් තියෙනවා කියලා දෝෂයක් විදියට සම්පාදනය කරලා තියෙන්නේ . ඒ නිසා පුළුවන් තරම් මේ දෝෂ හටගන්නේ නැතිවෙන්න නිවසක් හදනවානම් තමයි වැදගත් වෙන්නේ .


කෝණ වේද දෝෂය තියෙනවානම් කරන්න පුළුවන් සරළම ප්‍රතිකාරය තමයි තාප්පයක් වගේ දෙයකින් නිවස වට කරන එක . ඒත් අලුතෙන් නිවසක් හදනවානම් මේවගේ ස්ථානවල නිවාස හදනවද නැත්ද කියලා දෙවතාවක් හිතලා බලන්න පුළුවන් නම් හොඳයි . මොකද අවදානමක් තියෙනවා කියලා පේන තැනක් නම් දැන දැන අවදානමට ලක් වෙනවාට වඩා අවදානමෙන් මිදෙන එක හොඳ නිසා .


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment