හැඟුම් අවදිව මැවුණු ඇයගේ කවිකම






පොස්ටුවක් කොටන්න ගත්තම හිත යන්නෙම අතීතෙට .

මේකත් එහෙම අවස්ථාවක් . ගජමන් නෝනා ගැන ටීවී එකේ ටෙලි නාට්‍යක් විකාශනය උනා බලපු යට මතක ඇති . ඔය උඩ තියෙන ගීතය ඒකෙ තේමා ගීතය . ඉතින් මේ ටෙලි නාට්ටිය ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ ඒක පටිගත කරන කාලෙමයි .

මේ ටෙලි නාට්ටිය පටිගත කිරීම් කරලා තියෙන්නේ තංගල්ල පැත්තේ ගමක . මගේ ආච්චිඅම්මගේ සහෝදරියක් හිටියා එහේ . ඒ ගෙදර දකුණේ සම්ප්‍රදායට හදලා තිබුණු පරණ ගෘහ භාණ්ඩ සැලකියයුතු ප්‍රමාණයක් තිබුණා . ඉතින් මේ ටෙලි නාට්ටිය රූගත කරන්න ලොකේෂන් බැක්ග්‍රවුන්ඩ් හදනකොට ඒ ගෙදර ගෘහ භාණ්ඩ අරගෙන තිබුණා . විශේෂයෙන්ම ටෙලිනාට්ටියේ ගජමන් නෝනා හැඩ වැඩ වෙන්න හා කවි ලියන්න පාවිච්චි කරන කන්නාඩි මේසයත් ඒ භාණ්ඩ ගොඩට අයත් වෙලා තිබුනා .

ඉතින් එහේ මාමා කෙනෙක් අපිට කිව්වා මෙහෙම කතාවක් රූගත කරනවා ළඟදීම ටීවී එකේ පෙන්නයි කියලා . අපේ ආච්චිඅම්මා තමයි කල් යල් බල බල හිටියේ මේ කතාව බලන්න . මොකද ආච්චි අම්මාගේ ගම මාතර  . අපිත් එහෙ යනවා එනවා . ඒ යනකොට නොනාගමින් බස් එක හරවනකොට ගජමන් නෝනාගේ පිළිරුව හැමදාම දකිනවා .පොඩි කාලේ මම බස් එකේ වාඩිවෙන්නෙම ගජමන් නෝනගේ පිළිරුව බලන්න පුළුවන් පැත්තේ .

                                     < මේ නෝනගම හංදියේ ගජමන් නෝනාගේ පිළිරුව >



අනික මම හොඳට දැකලා තියෙනවා දකුණේ අය ගමේ කමට සලකන්න හරි කැමතියි . අනිත් අය නොසලකනවා නෙවෙයි . ඒ උනාට දකුණේ අයගේ ඒ ගතිය විශේෂයෙන් කැපිලා පේනවා . ඉතින් ගජමන් නෝනා කිව්වම අපේ ආච්චිට හෙන හැපී . ඊට වඩා අර අපේ නෑයෝ වෙන අයගේ ගෙදර තියෙන ඒවා අපි ටීවී එකෙන් දකිනකොටත් පොඩි සිඟිති ආතල් එකක් තියෙනවනේ .

ඔන්න ඔහොම ටික කාලෙකින් ඉතින් ටෙලි නාට්ටිය ටෙලිකාස්ට් වෙන කාලේ ආවා . අපේ ගෙදර හැමෝම බලනවා ඒක . අපිට ඒ කාලේ තිබුනේ රූපවාහිනී ලංකාවට ආපුම කාලේ ගත්ත කලුසුදු රූපවාහිනියක් . ඉතින් ටෙලි නාට්ටිය ඒ රූපවාහිනියෙන් පෙනුනේ පරණ පාට ඉස්මතුවෙලා පේන විදියට . මම එතකොට මට මතක හැටියට තුන වසරේ . කොහොම හරි අම්මගේ උකුලට වෙලා කතාව බැලුවා මතකයි . ජාතික  රූපවාහිනියේ සඳුදා රෑ 8 30 ට තමයි ඒකාලේ ඕක පෙන්නුවේ . හිහ් හිහ් හිහ් . දැන් බලනවා ඇති මුට ඒවත් මතකයි කියලා . ඔව් මම ඒ තරම් ඒ ටෙලි නාට්ටියට ඇලී ගැලී ගිලී බැලුවේ .

ගජමන් නොනා ගැන කතා ටිකක් කියන්නම් . කවිනම් සීමා සහිතව දාලා තියෙන්නේ පොස්ටුව දිගවෙන නිසා.
මම ලංකාවේ කවි ගැන වෙනමම ලියන්න ඉන්නේ . එතකොට ගජමන් නෝනාගේ කවි ගැන දෙන්නම් ඇට්ටි හැලෙන්න .

ගජමන් නෝනා ඉපදිලා තියෙන්නේ 1746 මාර්තු 10 වැනිදා පස්වරු 2 ට.ගජමන් නෝනාගේ අප්පොච්චා සිංහල හොඳට ඉගෙනගත්ත උන්නැහේ කෙනෙක්.එයාට කිව්වේ ගජමන් ආරච්චි කියලා.ඒ කියන්නේ තාත්තා ආරච්චි කෙනෙක්.අම්මා ගුරුවරියක්.ගජමන් නෝනා ඉගෙනගෙන තියෙන්නේ මුලින්ම මිලාගිරියේ පල්ලියෙන්.ඊටපස්සේ කොරතොට නායක හාමුදුරුවන්ගෙන් සිංහල , කවි , වගේ දේවල් ගැන ඉගෙනගත්තලු.

පොඩිකාලේ ගජමන් නෝනාගේ නම දෝන ඉසබෙලා කොරනේලියා.පස්සේ කාලෙකදී තමයි තාත්තාගේ නම අල්ලගෙන ගජමන් නෝනා කියලා නම වැටිලා තියෙන්නේ. මිලාගිරිය පල්ලියෙන් මෙතුමිය ප්‍රාථමික අධ්‍යාපනයක් ලබලා තියෙනවා . මිලාගිරිය තෝම්බුවේ ගජමන් නෝනා බෞතිස්ම කල වගට ලියවිලා තියෙනවා . පස්සේ කාලෙකදී ගජමන් ආරච්චිට රාජකාරි වලට රත්නපුරේ කහවත්තට එන්න වෙනවා .ඊට පස්සේ ගජමන් ආරච්චිට මාතර තෝම්බුව භාර වෙනවා. මාතර වේරගම්පිට තුප්පහිවත්තට මෙයාලා  පදිංචියට එනවා .  ගමට ආවම ගජමන් නෝනා වේරගම්පිට පන්සලෙන් ඉගෙන ගන්න යනවා . පන්සලෙන් ගෑනු ළමයින්ට ඉගෙන ගන්න තහංචි නිසා පිරිමි ළමයෙක් විදියට මෙයා වෙස් වලාගෙන තමයි ඉගෙන ගන්න යන්නේ  . ඉගෙන ගෙන තියෙන්නේ හිටිනාමලුවේ ජෝතිරතන සහ කොරතොට ධර්මාරාම ස්වාමීන් වහන්සේලාගෙන් .

කොරතොට හාමුදුරුවෝ හිරභාරයට නියම වෙනවා . ඊට පස්සේ පන්සලෙන් ලබපු අධ්‍යාපනය නතර වෙනවා . දැන් ගජමන් නෝනා විවාහ වෙන වයසට ඇවිත් ඉන්නේ . ගජමන් නෝනාට ඒ කොරතොට පන්සලේ ඇලපාත කියලා හාමුදුරු කෙනෙක් හිතින් ආදරේ කරනවා . පස්සේ ඒ නිසාම හාමුදුරුවෝ සිවුරු අරිනවා . එතුමාට රත්නපුරේ ඇලපාත ගම සහ මුදලි පට්ටමක් හම්බෙනවා . ගජමන් නෝනා එත් ඇලපාත මුදලි සමග විවාහ වෙන්න කැමති වෙන්නේ නෑ . ගජමන් ආරච්ච්චි ගජමන් නෝනට විවාහයක් කරලා දෙනවා . එත් ගජමන් නෝනා ඇලපාත මුදලි තුමා එක්ක හී..........නියට කනෙක්ෂන් එක තියාගෙන හිටියේ .

ගජමන් නෝනා ඉස්සෙලාම කරකාර බැන්දේ “ මෙරෙන්චිගේ ගාර්දියෙස් ” කියලා එක්කෙනෙක්.මුල කාලේ දෙන්නා හොඳට ඉඳලා පස්සේ කාලෙකදී ගජමන් නෝනගේ කවි ලව් හුටපට ගැන දැනගෙන හිතේ අමාරුවටම ලෙඩවෙලා අන්තිමට ගාර්දියෙස් තීන්දු ගමන් ගොහින්.එතකොට ගජමන් නෝනට එක ළමයෙක් ඉඳලා තියෙනවා.

ගජමන් නෝනා නිකන් ඉඳලා නෑ.දෙවෙනි පාරටත් මගුලක් කරගෙන.කරගෙන කියන්නේ තාත්තා බලෙන්ම කරවලා දීලා.මේ කසාදෙනම් නැගලා ගිහින් තියෙනවා. බැඳලා තියෙන්නේ මුහන්දිරම් කෙනෙක්.
ගජමන් නෝනා ඒ මුහන්දිරම් තුමා එක්ක සෙට් වෙන්න කලින් මුහන්දිරම් තුමා, තමාට  ගජමන් නෝනා කැමතිද බලන්නත් එක්ක මෙන්න මෙහෙම කවියක් එව්වලු.

මුලින් බැඳුනමුත් දැඩි පෙමයක්         හදේ
කෙමෙන් එය නැතිවී නුඹ සිටි නිසා   තදේ
මෙදැන් කියමි කරුණක් දැනගන්ට හොඳේ
නිවන් දකින තුරු මට නුඹ එපා          ලඳේ

ගජමන් නෝනා මුහන්දිරම් උන්නැහේට කැමතිවෙලා හිටපු නිසා මෙහෙම කවියක් තල්පතක ලියලා යැව්වලු.

මුලින් ඔබ දුටුව දින බැඳුන පෙම        හදේ
කෙමෙන් එය දැඩිවි අලි කළු ගලක් ලෙදේ
මෙදැන් ඔබගෙ බස මොන පුදුමයද    වදේ
නිවන් දකින තුරු මා හැර කව්ද      හොඳේ

ඕන්ඔහොම වැඩේ සෙට් වෙලා ගජමන් නෝනා දෙවෙනි පාරටත් මගුල් කෑවා.
ඒ වෙනකොටත් ගජමන් නෝනට කවි ලව් තිබිලා තියෙනවා.ලව් කියලා නැගලා ගිහින් තිබ්බේ ඇලපාත මුදලි එක්ක තිබ්බ ලව.අනිත් ඒවා ගොන් ආතල් වගේ ඒවා. භාෂාත්මක යෙදුම් ඒ කවිවල ගැබ් වෙලා තිබුනා මිස ඒ ලව් සාර්ථක උනේ නම් නෑ . එත් වාසනාවට මුහන්දිරම් උන්නැහේට මොකවත්  මාට්ටු වෙලා නෑ.

මගුලක් කෑවට මේ මුහන්දිරම් උන්නැහේ වල පයයි ගොඩ පයයි වයසක ඉඳලා තියෙන්නේ . කාලයක් යනකොට  මේ මුහන්දිරම් උන්නැහෙත් ලෙඩවෙලා තීන්දු ගමන් යනවා.ගජමන් නෝනා ළමයි හතර දෙනෙක් එක්ක තනි වෙනවා.ජීවිතේ ගොඩක් අමාරු කාලයක් තමා නෝනට මේ ආවේ....

අනේ ඉතින් පිරිමි ජාතියේ  උතුම්කම කියන්නේ , තනිවෙලා ඉන්නවා බලාගෙන ඉන්න බැරි දුකට ගජමන් නෝනට විවාහ යෝජනා ගෙනාවා. කවි කරන්න උපන් හපන්කම් තිබ්බ නෝනට මේ යෝජනා ගේන්නෙත් කවි වලින්ම තමයි.

මේ කවිය ඉන්නම බැරිතැන ගජමන් නෝනට එවලා තියෙන්නේ කරල පැහීගෙන එන හාමුදුරු කෙනෙක්.

රති රුති ළඳ ලියෙනි අප අසන පැන       කිය
නැතිවිය බාල කාලේ සිට රති            කෙලිය
ඇතිවිය දැන් මෙමට සිල් රැකපු            අවදිය
රති සැප විඳින සැටි මට කියව ළඳ           ලිය

ඉතින් ගජමන් නෝනා දුන්නලු මෙහෙම රිප්ලයි එකක්.

වහා තිබු සළුව උනමින් කර          අහකා
රහා ලෙස අමුතු බොජුනක් බුදින     ලකා
පහා නොව හඬන කොවිලිඳු හඬ    වලකා
කහා කොටන වැනි ඉඳගෙන මිරිස්   කකා

මිරිස් කෑවම අපේ කටවල් වලින් එන ටෝන් එක ගැන වෙන්නැති මේ කියන්නේ.ඔන්න අපිනම් දන්නේ නෑ....
අපි නෙවේ මම මම . මම හරි අහිංසක පොඩි ළමයෙක් .

තව දවසක් කවුද මුදීයන්සේ කෙනෙක් ගජමන් නෝනට මෙහෙම කවියක් එවලා....

රූ බර දිගැසියන් වෙල් මැදට      බසිමිනේ
ආදරයෙන් කරල් මිටි රැගෙන යන  තැනේ
වා සැරයෙන් ඉන ඇඳි වත ඉවත්       උනේ
වානර මුවසේ නැබමුල සුරති ගති   පෙනේ

ඉතින් ගජමන් නෝනා මල පැනලා මෙහෙම රිප්ලයි කවියක් යැව්වලු

කේසර එන්ට පළමුව ගජිදුගෙ          දක්සේ
වේසර හට  උවොත් කුරුලුට වෙයි   දුක්සේ
ඒ  සැර ලියෝ ඇසුවොත් මේ වග     දක්සේ
වානර මුව උලති හම යනතුරු       හොස්සේ


එක මල් කුමාරයෙක් ගජමන් නෝනට සිරාවටම ලව් කරන්න අරගෙන මේ කවිය ලියපු  සෙනෙහෙ කොලේ  පෝස්ට් කරාලු නෝනගේ අතටම.


අවාසනා දුක් දොම්නස්              දුරලන්නම්
මවා නදුන් වන සුර සැප ගෙන      දෙන්නම්
හොවා පෙම් යහන රුති ලෙස    සරසන්නම්
ලොවාසින් හමුවේ දවසක        කැඳවන්නම්

ගජමන් නෝනාට ආයෙත් කසාදයක් කරගන්න ඕනෑකමක් තිබිලා නෑ. මල් කුමාරයට මෙහෙම කවියකින් ගජමන් නෝනා අකමැත්ත කියනවා.

ලොවාසින් හමුවේ කැඳවුව    පතාලා
මුවා වෙලා පහසට සිත         වනාලා
අවාසනා ගෙන ගුණදම්         නසාලා
නොවාසනාවන් තොප වැනි    එකාලා

නෝනා අකමැති උන නිසා මල් කුමාරයට මල පනිනවා. මල පැනලා මේ කවිය එවනවා.

ආසාවක් විමසුවට යමෙකුගේ            ඇතී
රෝසා වෙමින් යකිනිය මෙන් දරුණු  ඇතී
දෝසා පවරතොත් නොතකා තරුණ   ගතී
වේසාවියෙකි ඇය කිසි ගුණ දමක්     නැතී

මේ පාරනම් නෝනටත් සුපිරියටම මල

ආසා කර මෙමට නොව නොකියන   දේට
වේසා කම කියන සුපුරුදු            වරිගේට
මේසා රුදුරු අවගුණ තොප         වැදුවාට
දෝසා පවරපිය තොගේ මහ          ගැනීට

අම්මාව මතක් කරපුගමන්  මල් කුමාරයා එතනින් ශේප් උනාලු.ආයෙත් ගජමන් නෝනට සෙනෙහෙ කොළ එවලා නෑ.

මේ කවි කෙරුවාවෙන් ගජමන් නෝනා සමහරවිට මානසික තෘප්තියක් ලබන්න ඇති.එත් මේ පහල තියෙන  කවි දෙක  කියවපුවම  ගජමන් නෝනා කොච්චර අසරණ තත්වෙක ඉඳලා , ඒ කාලේ කුප්පමේනියාව තියෙන අයගෙන් කොහොම බේරුනාද කියලා හිතා ගන්න පුළුවන්.

මේ කවිය ගජමන් නෝනගේ හංස විලට වහවැටුණු මුදීයන්සේ කෙනෙක් ගජමන් නෝනට එවපු එකක්.

පන්නා පත් තිරිඳු රිවි උදය          වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ    ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී    සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල         දවාලක

ගජමන් නෝනා මේ කවියෙන් දෙනවා ආයෙත් හංස විල් නෙවේ කපුටු පිහාට්ටක් දිහාවත් හැරෙන්නේ නැතිවෙන්න .

තුනුවිල බලන්නට මුගේ සිත වෙලා දුක
තුනුවිල තලන්නට සිතුනිය       දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ        මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ         දවාලක

මේවා මෙහෙම සිද්ද උනාට ගජමන් නෝනත් ටිකක් කැමැත්තෙන් වගේ කවි හුවමාරු කරගෙන තියෙන්නේ ඇලපාත මුදලි තුමා එක්ක. කලින් කිව්වා වගේම උන්නැහේ කලින් මහණවෙලා හිටපු ස්වාමින්වහන්සේ කෙනෙක්. කොරතොට නායක හාමුදුරුවන්ගෙන් කවි සාත්තරේ  ඉගෙනගන්න ගජමන් නෝනා එනකාලේ මේ ඇලපාත මුදලි තුමත් ඒ පන්සලේ ඉඳලා කොහොමහරි ගජමන් නෝනා දැක්කම මල් මල් හැඟුම් පහලවෙලා ඇලපාත හාමුදුරුවෝ සිවුරු අරිනවා ගජමන් නෝනාව සහේට ගන්න. එත් ගජමන් නෝනා කැමතිවෙන්නේ නෑ.

ගතින් නොබැදුනත් දිවිය පුරා අපි සිනාසෙමු කියලා මේ දෙන්නා කවි හුවමාරු කරමින් ආදරේ කරලා  තියෙනවා කියලා දෙන්නගේ කවි දැක්කම හිතාගන්න පුළුවන්.

ඇලපාත මුදලි

උස්සා කර බලුව දුටුදා සිත            නෙතට
උත්සා කරන වගකුත් නැහැ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියේ ගේ        තුලට
ඇස්වහ වදිනවද දුටුවම මුණ               මට

ගජමන් නෝනා

සිත පවා නොවන පදරුත් ගෙන දුන්න
සිත පෙමා වසන සරසවි මන   මෙන්න
සිත පෙමා කරන මැතිඳුනි සුප    සන්න  
මම පමා උනයි නොසතුටු නොම වන්න

ඇලපාත මුදලි

කිව් මෙනේ තදිනි දුක්මුසු         විලාපා
ඇයි අනේ කුමට දෙන්නේද    මෙතාපා
වෙයි සෙනේ මසිත නුඹ වෙත  මනාපා
ඇයි පනේ ඔහොම නොකියන් සරූපා

ගජමන් නෝනා

ආදරේ බැරිය ඉවසාගෙන  ඉන්ට
සාගරේ බැරිය පීනා ගොඩ  යන්ට
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ට
ආදරේ මොකද ඔයහැටි  ගෑණුන්ට

මෙන්න මේ වගේ කවි ගොඩක් දෙන්නා හුවමාරු කරගෙන තියෙනවා. ඒවා කියෙව්වම හිතෙන්නේ වෙලාවකට, ගජමන් නෝනා මුදලි තුමාට කැමතියි අකමැතියි වගේ ඉඳලා තියෙනවා කියලා. එත් දෙන්නා එකතු උනේ නැති නිසා අන්තිමට මුදලිතුමා රත්නපුරේ ඇලපාත කියන ගමට ඇවිත් වලව්වක් හදාගෙන කුමාරිහාමි කෙනෙක් මැරී කරලා ජීවත් උනා. අදටත් වලව්වේ පරපුර ජීවත් වෙනවා. එත් කවි ලියන අයනම් නෑ.

ගජමන් නෝනට  අනිත් අය ලව් කරාට, ගජමන් නෝනගෙ හිතට මේ ඉලව් එච්චර වදින්න නැතුව ඇති.මොකද මේ වෙනකොට නෝනගේ තාත්තා ඒ කියන්නේ ගජමන් ආරච්චි අලියෙකුගේ සාහසික පහරකින් පරලෝ සැපත් වෙලා.දෙවෙනි  හස්බන්ඩත් මැරිලා.ලොකු ළමයි හතර දෙනෙකුත් ඉන්නවා. පස්සේ ගජමන් නෝනා තමන්ගේ ළමයින් එක්ක කොළඹ කොල්ලුපිටියේ ටික කාලයකට ඉඳලා තියෙනවා .

පවුල් ජීවිතයක් ගත කරන්න ආයෙත් ගජමන් නෝනා කොහෙත්ම කැමති වෙන්නේ නෑ.එයා උත්සාහ කලේ කාගේ හරි අනුකම්පාවකින් තමාගේ ළමයින්ට හොඳට උගන්නලා කවලා පොවලා ලොකු මහත් කරගන්න. ඒත් ගොඩක් දෙනෙක් සුදානම් උනේ තමන්ගේ මල්ලි පැංචා සනසවා ගන්න ගජමන් නොනගෙ අසරණ කමින් ප්‍රයෝජන ගන්න.

සමහර අය හදවතින්ම උදව් කරා.තව සමහරඅය ගජමන් නෝනට කියලා කවි ලියවාගෙන කීයක් හරි දීල තියෙනවා. සෙත් කවි , වස් කවි ලියලත් සමහර වෙලාවල් වලදී කීයක් හරි හොයාගෙන තියෙනවා. එත් ළමයි ටික හදාගන්න ඒ සල්ලි මදි උන නිසා

“ සඳ මෙන කවා ඇතිකළ ළම පැටවුන්ට
 අද දින පමණ බත නැත උන් රැක ගන්ට “......

කියලා කවි ටිකක් ලියලා ජෝන් ඩොයිලි කියන සුදු මහත්තයට යවනවා.ඩොයිලි මහත්තයාට සිංහල ඉගෙන ගන්නත් ගජමන් නෝනා හෙල්ප් කරපු නිසා අන්තිමේදී නෝනගේ නඩත්තුවට තංගල්ල පැත්තේ ගමක් පිටින්ම නෝනට පවරලා දෙන්න ඩොයිලි  මහත්තයා කටයුතු කරනවා.

මේ ගම එදා ඉඳන් “ නෝනගම “  කියලා හැඳින්වෙනවා.

                                         < මේ ගජමන් නෝනාගේ මාතර ගෙදර >



මෙහෙම ගමක් පිටින් හම්බුනත් නෝනගේ අන්තිම කාලේ ඒත් දුක් විඳිනවා. තමන්ගේ කියලා හරිහමන් තැනක් තිබුනේ නෑ එතුමියට . එතුමිය ඉතාම අමාරුවෙන් මාතර වේරගම්පිට තමන්ගේ වලව්වට එනවා . වලව්ව ගරා වැටිලා තිබුනේ . සලකන්න කියලා හිටියේ අවිවාහක එක පුතෙක් විතරයි . ගරාවැටිලා තිබුණු වේරගම්පිට වලව්වේ දිරච්ච වැල් ඇඳක 1814 දෙසැම්බර් 15 වෙනිදා මාතර යුගයේ මහා කිවිඳිය , ගජමන් නෝනා තමන්ගේ සිතිවිලි සමුදාය තල්පත් අතරම රඳවලා සදහටම දෙනෙත් පියා ගන්නවා .






තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද



උස්සා කර බැලුවෙ දුටුදා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ මට



වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා



පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර නොගන්නේ





ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හඹා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට 
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම..

සෙනෙහසින් රැදී උන් නෙක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..

ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා..............!



වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment:

  1. හිත කීරිගැහිලා ගියා කියවලා ඉවර වෙනකොට 🥺❤

    ReplyDelete