සඳ කිඳුරා මිය ගියෝ , ගමට වරෙන් නංගියේ




මේ දුර බස්වල සති පතා ගමන් කිරීම හරිම මෙව්වා දායකයි මෙයාලා . මෙව්වා කියන්නේ හද කකියන මෙව්වා සහ හද කුල්මත් කරන මෙව්වා සහ තවත් එව්වා මෙව්වා වෙනවා මෙයාලා මේ බස්වල .   J R ජයවර්ධන මහත්මයාගේ පුරයේ හිටියට මොකෝ එතනින් රත්නපුරේ බස් වලට නැග්ගොත් හිටගෙන තමා එන්න වෙන්නේ . හිටගෙන එන එකත් නරකම නෑ . හැබැයි පොඩි ඇලට් එකක් දාන්න වෙන්නේ නැති නිසා වෙලාව කලාව නොබලා ඔන්නොහෙ හතරැස් කොටුවේ පිට පැත්තට ගිහින් බස් එකක සීට් එකකට සමපාත උනා .

දැන් ඉතින් ඔන්න ඩ්‍රයිවර් අයියා ඈ.......................................................න් පීප් පීප් ඈ...................න් ගාලා බස් එක දක්කාගෙන එනවා . හනේ හපොයි , එදා මම හිතන්නේ ඩ්‍රයිවර් අයියයි කොන්දයියයි වැරදි පැත්තෙන් මෙව්වා කරලද කොහෙද . මෙව්වා කිව්වේ නැගිටලද කොහෙද . විජේරාමේට එනකන්ම බස් එකෙන් භාගයක් හිස් . කියන්නේ මම හිටපු ඩබල් සීට් එකෙනුත් භාගයක් හිස් . ( මොනා කොරන්නද හනේ අපි දැන් සිංගල් වෙච්චිකොට) .

ඉතින් ඇයි යකෝ හැමදාම මෙහෙම වෙන්නේ නැත්තේ ? . හැමදාම මෙහෙම වෙනවනම් අපි ආතල් එකේ එතනින්ම නැගලා එනවනේ හතරැස් කොටුවේ හතර අතේ යන්නේ නැතුව . එහෙම හිත හිත උන් දෙන්නගේ අම්මලා තාත්තලා මතක් කර කර ඉන්නකොට ෂෝ.....................................................................යි දැරිවියක් නැග්ගා බස් එකට . ෂෝයි කියන්නේ මෙයාලා හරිම ෂෝයි . හරියට රයිගම් ෂෝයි වගේ . මමතුමා ඉතින් ඒ ඩිංගට කල්පනා කළා මෙහෙම .

" දසදහසක් සක්වල කම්පා කරවලා , කෙල ලක්ෂයක් සතුන් නිවන් දක්වලා දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සැප ලබන්න ඕන නම් පොඩි පොඩි පුණ්‍ය කර්ම උනත් සිද්ද කරන්න ඕන . මේ දැරිවිට සීට් එකේ තැම්පත් වෙන්න ඉඩ දීලා මම මහා පුණ්‍ය කර්මයක් කරන්න ඕන "

ඉතින් හනේ මෙයාලා මම තුමා සීට් එකේ අයිනටම අයිනටම අයි..........................................................නටම හෙත්තුවෙලා ඒ දැරිවිට ඉඩ දුන්නා . තව පොඩ්ඩෙන් මම අයින් වෙච්චි පාරට බස් එකේ ශටර් එක ගලවගෙන බිමට වැටෙනවා . එහෙනම් ඉතින් එහෙමම නිවන් සැප ලැබේවා තමා .

ඔන්න දැන් බස් එක එනවා මැණික් පුරේ බලා 120ට 120සේ . චුට්ටි දුරක් එනකොට මෙයාලා හද කකියන මෙව්වා එකක් උනා . අර දැරිවිගේ දුර කතන මෙව්වා එක රින්ග් මෙව්වා උනා . ඒ රින්ග් එකට ගියපු සිංදුව මොකද්ද දන්නවද ? .


ඒ සිංදුව අහලා වයලින් හදවත කීං කීං ගෑවා මෙයාලා . මෙන්න ඒ සිංදුව ඔක්කොම

සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා

ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා

වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

ශික් ඒ දැරිවි ළඟ හිටපු මෙව්වා එකත් මෙව්වා වෙලා ගියා ඒ සිංදුව අහලා . හැම අවුරුද්දකම උසස්පෙළ සමත්වෙලා කැම්පස් වලටම කොච්චර සඳ කිඳුරියෝ එනවා ඇත්ද ඇන්ඩ් සඳ කිඳුරෝ කී දෙනෙක් දුක් වෙනවා ඇත්ද නේද මෙයාලා . මම ඉතින් හිත හිත ආවා යකෝ වෙලාවට තමා කොළඹට ආවේ . නැත්නම් මටත් මැරෙන්න තමා වෙන්නේ කියලා . හැක හැක හැක

අර දරිවිත් අවිස්සාවේල්ල හරියේදී බැහැලා යන්න ගියා . ඉතින් හැමදාම පුරුදු පාළුව තනිකම බසයට ඇවිදින් හදවත අවදි කරා . ගෙදර ආපු වෙලේ ඉඳලම කරේ මේ සිංදුව අහන එකම තමා . ඔයාලා දන්නවද සඳ කිඳුරු ජාතකය . ගොඩක් අය දන්නවා ඇති මම හිතන්නේ . දන්නේ නැති අයට පොඩි සමරියක් දෙන්නම් ඕන නම් .

අපේ බෝසතානන් වහන්සේ අතීත භවයක සඳ කිඳුරෙක් වෙලා ඉපදිලා හිටියා . ඉතින් එතුමාගේ ආත්මගත පාදපරිචාරිකාව උනේ යශෝධරා දෙවියනේ . මේ ආත්මයෙත් එහෙමම තමා . සඳ කිඳුරන් නර්තනයට ඉතාම දක්ෂයිලු . ඉතින් දවසක් මේ දෙන්නා වනාන්තරේ ඉන්නකොට සඳ කිඳුරි සහ සඳ කිඳුරා නර්තනයේ යෙදෙනවා වස් දණ්ඩක් පිඹ පිඹ .

මේ වෙලාවේ එතනට එනවා බරණැස් නුවර කින්ග් බ්‍රහ්ම දත්ත . උන්නැහේ ටිකක් විපරම් කරලා බලනවා කවුද මේ නලා පිඹ පිඹ නටන්නේ කියලා . උන්නැහේ දකිනවා කිඳුරු යුවල . ඉතින් උන්නැහේට මේ කින්දුරියට ආසා හිතිලා කිඳුරා මරලා කිඳුරිව අයිති කරගන්න ප්ලෑන් කළා . එහෙම හිතලා කිඳුරී එහෙට මෙහෙට වෙනකං ඉඳලා ඩිෂුන්න්න්න්න්න් ගලා කිඳුරට ඊ තලයක් විදිනවා . ටික වෙලාවක් යනකොට කිඳුරී දකිනවා කිඳුරා වැටිලා ඉන්නවා .

දැන් ඉතින් එතනට එනවා කින්ග් උන්නැහෙත් . කිඳුරී අඩනවා අහසට පොලවට දෙස් දෙවොල් තිය තිය . හනේ මගේ තුදූට කවුද මෙව්වා කලේ කියලා . රජතුමා කියනවා එන්න මාත් එක්ක යන්න . දැන් කිඳුරට පන එන්නෙත් නෑ කියලා .

කිඳුරී කින්ග් උන්නැහේට බැන බැන අඩනවා . මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ඔෆිස් චෙයා එක මෙව්වා වෙනවා . එතුමා බලනවා ඇයිද මේ චෙයා එක මෙව්වා උනේ කියලා . ඉතින් ඔන්න දැක්කා මේ සීන් එක . පස්සේ දේවේන්ද්‍රයන් එතනට සුරුස් ගාලා ඇවිල්ලා පැන් කෙන්ඩියෙන් වතුර ඉහලා කිඳුරට නැවත පන ලබා දෙනවා . කිඳුරියි කිඳුරයි සඳගිරි කියන පර්වතයට වෙලා සතුටින් ජීවත් වෙනවා .

බලන්න බලන්න පින්වතුනී . මෙන්න නියම ස්ත්‍රී රත්න . සැමියාට කරදර උනාම ඒ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න ඉදිරිපත් වෙන ස්ත්‍රී රත්න . දැන් කොහෙද මෙහෙම උන්දලා . දැන් ඉන්න උන් ඇඩුවට දෙදෙව්ලොවට අධිපති තියා නගරාධිපතිවත් එයිද මම අහන්නේ . හඃ හඃ හඃ හඃ

අපි දැන් යමු අනේ බයිලා ගැහිල්ල පැත්තක තියලා ගීතය පැත්තට .

සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ
පසලොස්වක පෝය දා
අවසන් කටයුතු කලා

මේ ගීතයේ පදවැල් වලට අනුව මගේ විවරණය වෙන්නේ මෙහෙමයි .

බලමු අපි මුල්ම පද දෙක අරගෙන . ඒ පද දෙකෙන් පේන්නේ අයියා කෙනෙක් නංගිට කියන පණිවුඩයක් පිළිබඳව . අයියා නංගිට කියනවා " නංගියේ උඹට හදවතින්ම ආදරේ කරපු උඹේ ආදරවන්තයා , උඹේ තියෙන මුස්පේන්තු කම නිසාම මකබෑවෙලා යන්න ගියා . ගිය පසළොස්වක පෝය දවසේ තමයි අවසන් කටයුතු කලේ " කියලා .

ගමේ නාඩ ගම් පොලේ
කිඳුරිය වී නුඹ එදා
ගැයු ලිය ගී විකුණන්නට
කෙලොම් තොටට ඉගිලුනා
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඩුවා නුඹ ගැන කියා
ඇඩුවා නුඹ ගැනකියා

ගමේ නාඩගම් පොළ කියලා මෙතන අදහස් වෙන්නේ මම දකින විදියට නාට්‍ය රඟ දැක්වීමක් නෙවෙයි . ගම්වල පරණ මිනිස්සු කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මුන් දෙන්නා නාඩගම් නටනවා කියලානේ . මෙතනත් වෙන්නේ එහෙම සීන් එකක් . පළවෙනි වර්ස් එකෙන් අයියා කියනවා මෙන්න මෙහම .

" නංගියේ උඹට මතකද ඉස්සර උඹේ ආදර වන්තයා එක්ක උඹ ගත කලේ සඳකිඳුරු ජාතකයේ කිඳුරියි කිඳුරයි ගතකලා වගේ සෙනෙහසෙන් බැඳුණු ජීවිතයක් . උඹ කොලොම්තොටට යන්න ගියේ , එදා ඒ ආදරවන්තයා එක්ක උඹ දොඩමලු වෙච්ච පෙම් කවි විකුණලා සල්ලි හොයන්න නේද ? . ඒත් උඹ පෙම් කවි කියලා විකිණුවේ ඒ කවිවල ගැබ් වෙලා තිබුණ උඹේ ආත්මය නේද ? . "

" කණකෙකිණිය ගමට ඇවිත් ඇඩුව නුඹ ගැන කියා " කියන පදයෙන් මුක්ත වෙන්නේ ඇත්තටම කණ කෙකිණියක් ඇවිල්ලා කෑගහපු දෙයක් වෙන්න බෑ . මෙතන රචකයා විසින් උපමා කිරීමක් යොදාගෙන තියෙනවා . කොළඹ ඉන්න පෙම්වතිය තමාගේ ආත්මය විකුණලා සල්ලි හම්බ කරලා ජීවත් වෙනවා කියලා ගමේ ඉන්න අහිංසක පෙම්වතා දැනගන්නවා . ඉතින් එයාට ඒ ගැන දුක හිතෙනවා . මේ දුක නිසා පෙම්වතාගේ ජීවිතය කඩා වැටෙනවා . ඉතින් එදා ඉඳලා පෙම්වතා ජීවත් වෙන්නේ සිතෙන් මියගිය නමුත් ගතින් ජීවත් වෙන පුද්ගලයෙක් විදියට . ඉතින් ඒ ජීවිතය ගැන බලලා ඒ පෙම්වතාගේ පවුලේ අය හැමදාම ඉන්නේ කඳුළු සලමින් . කෙකින්නගේ හැඬුමට සමාන කරන්නේ මේ පවුලේ අයගේ වේදනාව කියලා තමයි මම දකින්නේ .

වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා
තනිව හිටිය කින්නරා
ලය දැදුරව මිය ගියා
කණ කෙකිණිය හඩන්නෙ නැ
ඇහේ කඳුලු නැති නිසා
ඇහේ කඳුළු නැති නිසා

" නංගියේ , උඹට මතකද උඹේ පෙම්වතා ජීවත් උනේ කොහොමද කියලා ? . වෙල්දෙණි ඕවිටි වල සීපද කිය කිය ගතකල ඒ සුන්දර කාලය උඹට මතකද ? . උඹ කොළඹට ගියාමත් උඹේ පෙම්වතා දුක වේදනාව ඉවසාගන්න බැරිව කලේ වේදනාබර සීපද කියන එකම තමයි . තනිකම වේදනාව ඉවසාගන්න බැරිව අද වෙනකොට උඹේ පෙම්වතා මරු තුරුලට සැපත් උනා . උඹ උඹේ ප්‍රේමවන්තයාට ඇත්තටම ආදරේ කලානම් අද මම මේ කියන දෙයින් උඹෙත් පපුව පැලිලා පරලොව ගියත් මම පුදුම වෙන්නේ නෑ  "

" කණ කෙකිණිය හඬන්නේ නෑ ඇහේ කඳුළු නැති නිසා " කියන පදයෙන් නැවතත් අර උපමාව ගෙනහැර දක්වනවා . පෙම්වතාගේ පවුලේ අය පෙම්වතා ජීවත්ව ඉන්න කාලේ ඔහුගේ ශෝකාකූල ක්‍රියාකලාපය නිසා අඩලා අඩලා කොච්චර කඳුළු වැගිරෙව්වද කියනවනම් , ඔහු මියගිය වෙලාවේ එයාලට අඬන්න තරම් කඳුළු ඇස්වල තිබුනේ නෑ කියලා කියන්න තමයි ඔය කණකෙකිණිය දෙවෙනි වතාවටත් උපමා කරගෙන තියෙන්නේ .

අරුමැසි ප්‍රේමයට මුවාවෙන දුක ශෝකය හා සමුගැනීම මේ ගීතයේ මනාව අඩංගු කරන්න රත්නශ්‍රී විජේසිංහ මහතාගේ ගේය පද රචනය උපරිමම අන්දමට සිදු වෙලා තියෙනවා .


ඒ වගේම ගීතයේ සංගීත රචනය ගුණදාස කපුගේ ශූරීන්ගේ . එතුමාගේ වෙනත් සංගීත රචනා එක්ක ගත්තම මේ තනුව වෙනස්ම ආකාරයේ තනුවක් . සංගීත භාණ්ඩ උනත් මේ ගීතයට බහවිතා කරලා තියෙන්නේ අඩු ප්‍රමාණයක් කියලා ගීතය අහනකොට ඔයාලට තේරුම් යාවි . ඒ වගේම සරල සංගීත භාණ්ඩ කීපයක් තමයි භාවිතා කරලා තියෙන්නේ . සමහරවිට මේ ගීතයේ තියෙන ශෝකී රසය වැඩි කරන්න එහෙම කරා වෙන්නත් පුළුවන් .


ගීතය ගායනය කරන ජානක වික්‍රමසිංහයන්ගේ වෙනත් ගීතවල ඔහුගේ කටහඬට වඩා වෙනස් ගැඹුරු කටහඬක් මේ ගීතයේ අඩංගු වෙනවා .


හැබැයි අවසාන වශයෙන් කිඳුරියන්ට මෙන්න මෙහෙම දෙයකුත් කියන්න තියෙනවා . ගමේ ඉඳලා කොළඹට ආවම කිඳුරෙක් හොයාගන්නේ නැතුව ඉන්නම බැරිනම් ආත්මය පාවා නොදී ගමේ කිඳුරට වඩා හොඳ කිඳුරෙක් හොයා ගත්තට පවු වෙන එකක් නෑ . මොකද එතකොට ගමේ කිඳුරා හිත හදාගනීවී කිඳුරිට හොඳ කාලයක් යාවි කියලා .

ඔන්න එහෙනම් ගීතය අහන්න .





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment