යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ රාධා බලා හිදී - යමුනා ගංතෙර ( 18 + )






මේ ගීතයත් මම අහන්න වෙලා ලොකු කාලයක් වෙනවා . ඇත්තටම මේ ගීතයත් මම මුලින්ම ඇහුවේ ගීතයේ තිබුණු සංගීත රසය නිසා . ඒවගේම තමයි මේ ගීතයේ වයලීන් වාදන කොටසක් තියෙනවා . වයලීන් වාදනය කරන්න ඉගෙන ගන්න මුල කාලයේ මේ වාදන කොටස වාදනය කරන්න ඉගෙන ගන්න ඕන නිසාම මේ ගීතය නැවත නැවත ඇහුවා . ඒ කාලේ ගෙදර කම්පියුටර් එකක් තිබුණෙවත් DVD CD ප්ලේ කරන්න පුළුවන් කමක් තිබුණේ වත් නැහැ . ඒ නිසා කැසට් පීස් එකකට මේ ගීතය රෙකෝඩ් කරගෙන ඇවිත් ගෙදර තිබුණු කැසට් එකෙන් තමයි අහ අහ වාදන කොටස් වාදනය කරන්න ඉගෙන ගත්තේ . කොහොමහරි ගීතයේ වාදනය වගේම සංගීත කොටස් හැම දෙයක්ම වගේ හිතේ කාවදින තරමටම මේ ගීතය ඇහුවා . ඊට පස්සේ මේ ගීතය නිතරම ප්ලේ කරන සින්දු ලිස්ට් එකෙන් අයින් වුණා .

මේ ළඟදී දවසක් අපේ මාමා ගෙදර ආව වෙලාවක කිව්ව කතාවක් නිසා මමයි වයලීනියි දෙන්නම කතා වුණා , ඇත්තටම මාමා කිව්ව කතාව නම් 100%ක් ඇත්ත කියලා . මාමගේ පුත්‍රයා දැන් අහන්නේ ඔක්කොම වගේ බස් සින්දු . කියන්න දුකයි . ඒත් ඇත්ත ඒක තමයි . අපේ ගෙදර ඇවිල්ලත් ලැප් එකෙන් ප්ලේ කරන්නේ බස් සින්දු . දවසක් මාමා අපේ ගෙදර ඇවිත් කිව්වා මට මේ එපා වෙලා ආවේ . ගෙදර ප්‍රයිවෙට් බස් එකක යනවා වගේ උදේ ඉඳලා බස්වල යන සින්දු දානවා . ඒවා හරියට ලියුම් කියවනවා වගේ සින්දු කියලා . 







මම මේ ගීත ගැන හොඳක් හෝ වරදක් කියන්නේ නැහැ . තීරණය ශ්‍රාවකයා සතු දෙයක් නිසා . මොකද කතාවක් තියෙනවනේ කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න කියලා . ඒ නිසා . මේ අතරේ තමයි නැවතත් යමුනා ගංතෙර ගීතය ප්ලේ ලිස්ට් එකට එකතු වුණේ . මේ ගීතය නන්දා මාලනී මහත්මිය ගායනා කරන ආකාරය , සංගීත කොටස් , විශේෂයෙන්ම තබ්ලා වාදනය ගැන බොහොම සාවධානයෙන් අහනකොට ගීතයේ තියෙන තේරුම කොහොම දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් . ඒවගේම තමයි ගීතයේ තේරුම සම්බන්ධව තියෙන විග්‍රහයන් කීපයකුත් ඔලුවේ තියාගෙන තමයි මේ ගීතයේ තේරුම සම්බන්ධව ලිපියක් ලිව්වනම් හොඳයි කියලා කල්පනා කරේ . අපි දැන් මුලින්ම ගීතයේ වචන කියවලා බලමු . 

යමුනා ගං තෙර
තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලාඉඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

නළලත බබළන සඳන තලාවයි
සිරුරත ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
බෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය තනුව - රෝහණ වීරසිංහ
ගායනය - නන්දා මාලනී


විෂ්ණු දෙවියන්ගේ අවතාර 10 සම්බන්ධව විස්තර කෙරෙනකොට ක්‍රිෂ්ණ අවතාරය සම්බන්ධව විස්තර කෙරෙනවා . ඉන්දියාවේ වේද ග්‍රන්ථවල වගේම වෙනත් සාහිත්‍ය ග්‍රන්ථවලත් මේ ක්‍රිෂ්ණා කියන චරිතය ගැන විස්තර කරලා තියෙනවා . වැඩියෙන්ම මේ ක්‍රිෂ්ණා ගැන විස්තර කෙරෙන්නේ රාධා ක්‍රිෂ්ණා කියන ප්‍රේම වෘතාන්තය සම්බන්ධව . ඒවගේම තමයි මේ රාධා ක්‍රිෂ්ණා දෙන්නාට සාපේක්ෂව ප්‍රේම සම්බන්ධතා පිලිබඳ විග්‍රහ කිරීමත් සමහර සාහිත්‍ය කෘතිවල සිදුවෙනවා . අමරා රණතුංග මහත්මිය කියන රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කියන ගීතයේත් කියවෙන්නේ ඒ වගේ චරිත සහ ඒ අයගේ ප්‍රේමයට සාපේක්ෂව තමන්ගේ ප්‍රේමය සම්බන්ධව විග්‍රහ කිරීමක් . ඒ තරමටම රාධා ක්‍රිෂ්ණා දෙන්නාගේ ප්‍රේම වෘතාන්තය ගැඹුරු විග්‍රහ කිරීම් වලට ලක්වන ප්‍රේම වෘතාන්තයක් . 

රාධා කියන්නේ ගොපළු ගමක ජීවත්වන තරුණියක් . ක්‍රිෂ්ණා කියන්නේ ගොපළු තරුණයෙක් . ක්‍රිෂ්ණා කරන්නේ හරක් බලාගන්නා එක . ඒ නිසා නිතරම වගේ හිමාලය ආශ්‍රිත මිටියාවත්වල ගවයින් බලාගන්න මේ ක්‍රිෂ්ණා සැරිසරනවා . කොහොමහරි මේ දෙන්නාගේ ප්‍රේමය ආරම්භ වෙලා දෙන්නාම ප්‍රේමයෙන් වෙලෙනවා . මානසික වශයෙන් වගේම මේ දෙන්නාගේ ප්‍රේමය ලිංගිකමය වශයෙන් කායික එක් වීම දක්වාම දුරදිග යනවා . රාධා මේ ලිංගික එක් වීමේ රසය තදින්ම තමන්ගේ හිතේ පවත්වාගෙන ඉන්නවා . ක්‍රිෂ්ණා රාධා එක්ක වගේම තවත් ගොපළු තරුණියන් එක්ක කායික එක්වීම් පවත්වාගෙන යනවා කියලා රාධාට අහුවෙනවා . ඊට පස්සේ දෙන්නා වෙන් වෙනවා . මේ වෙන් වීම වුණත් , පසු කාලීනව කාලයත් එක්කම රාධාට නැවතත් ක්‍රිෂ්ණා සිහිපත් වෙනවා . මේ සිහිපත් වීම වෙන්නේ ඇත්තටම මානසික වශයෙන් ඇතිවෙන ප්‍රේමය නිසා වගේම දෙන්නාගේ ලිංගික එක් වීමෙන් ලැබුණු කායික සුවයත් මතක් වෙලා . මේ කායික මානසික සුවය නිතරම සිහිපත් කිරීම නිසා රාධා ප්‍රාර්ථනා කරනවා නැවතත් ක්‍රිෂ්ණා තමන් වෙතට එනවා නම් හොඳයි කියලා . 

යමුණා ගංතෙර ගීතයෙන් කියාවෙන්නේ ලිංගික සන්තර්පණය වෙනුවෙන් ක්‍රිෂ්ණා නැවතත් තමන් වෙතට එන්න කියලා ප්‍රාර්ථනා කරන රාධාගේ වැළපීම .





යමුනා ගං තෙර
තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලාඉඳී
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා


ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නේ රාධා තමන් ජීවත්වන පරිසරයේ ලස්සන දකිමින් , මේ වගේ පරිසරයක ක්‍රිෂ්ණාට සහ තමන්ට පෙමින් වෙලෙන්න හැකියාවක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා සිහිපත් කිරීමක් . යමුනා ගංතෙර තමළු ලතා හෙවනේ . මේ කියන්නේ යමුනා ගඟ ආශ්‍රිතව හිමාලයට ආසන්නයේ වනාන්තරවල හැදෙන තාමලි කියන මල් පිපුණු වැල් වලට . මේ මල් වැල් ආරුක්කු වගේ වනාන්තරය අලංකාර කරලා තියෙනවා . යොහොඹු කුසුම් යහනේ . ඒ කියන්නේ අසෝක මල් බිම වැටිලා තියෙනවා ; ඒ අසෝක මල් යහනාව මත රාධා බලා ඉන්නවා ක්‍රිෂ්ණා එනකල් . අසෝකමල් වැටිලා තියෙන යහනාවේම වෙන්න ඇති රාධා ක්‍රිෂ්ණා එක්ක කලින් වතාවල් වලදීත් කායිකව එක් වෙන්න ඇත්තේ . ඒ පසුබිමේ ම ඉඳගෙන තමන්ගේ අතීතය සිහිපත් කරමින් රාධා ක්‍රිෂ්ණාව බලාපොරොත්තු වෙනවා . රාධාම තමයි තරහා වුණේ . ඒත් හිත යටින් නැවතත් රාධා ක්‍රිෂ්ණා තමන්ට ලැබෙන්න කියලා බලාපොරොත්තු වෙනවා . 

නළලත බබළන සඳන තලාවයි
සිරුරත ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
බෘන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා

දැන් රාධා ක්‍රිෂ්ණාව වර්ණනා කරනවා . නළලත බබළන සඳන තලාවයි . ක්‍රිෂ්ණාගේ නළල හරියට අඩ සඳ වගේ බබළනවා . හැඩය සහ පැහැපත් බව අඩ සඳ ට සමාන වෙනවා කියලා රාධා කියනවා . සිරුරත ඝන නිල් මේඝ වළාවයි . ක්‍රිෂ්ණා කලුයි . සාහිත්‍යයේදී සහ සාමාන්‍ය අවස්තාවලදී වුණත් නිල් කියලා කියන්නේ කළු පාට සාහිත්‍ය ආකාරයෙන් පෙන්නුම් කිරීමට . සැරියුත් හිමියන් , විභීෂණ දෙවියන් , නීල මහා යෝධයා මේ හැමෝම කලුයි . කළු පැහැය කළුයි කියලා පහත් කරන්නේ නැතුව නීල වර්ණ කියලා වටිනාකමක් දීලා ඉහලට අරගෙන තියෙනවා . මෙතනත් රාධා ක්‍රිෂ්නාව ඝන නිල් මේඝ වළාවකට සමාන කරනවා . මානස විල මැද රණ තිසාරාණෙනි . මානස විල කියන්නේ හිමාලයේ තියෙන විලක් . සාහිත්‍යයේ මේ මනස විල සම්බන්ධව නිතරම කියවෙනවා . මානසවිල සමහරවිට ඇත්තටම තියෙනවා වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් මානස විල කියන්නේ මනඃකල්පිත විලක් වෙන්නත් පුළුවන් . මේ මානස විල මැද ඉන්නවා කියනවා රත්තරන් පාට හංසයෙක් . රාධා ක්‍රිෂ්ණාට අමතන්නේ මානස විල මැද ඉන්න රණ තිසරාට ක්‍රිෂ්ණාව සමාන කරලා . හිමාල වනයට තමයි බෘන්දා වනය කියලා කියන්නේ . බෘන්දා වනයේ වසන්තයයි කියලා කියන්නේ රාධා දකිනවා තමන්ට ක්‍රිෂ්ණා එක්ක ලිංගිකව එකතු වෙන්න වසන්ත කාලය තමයි මේ එළඹීලා තියෙන්නේ කියලා . 





මලයගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොණරාණෙනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා
ක්‍රිෂ්ණා


මලයගිරේ මධු ගීත කලාවයි . මලය ගිර පැත්තෙන් ඉතාමත් අලංකාර ගීත ඇහෙනවා . තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි .තුන් ලෝකයම දෙවියන් විසින් ආරක්ෂා කරනු ලබන වෙලාවක් තමයි මේ උදාවෙලා තියෙන්නේ . ඒ නිසා කිසිම අනතුරක් වෙයි කියලා බයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ . වනරේඛාවේ රණ මොණරාණෙනි . රාධා ඉන්නේ හිමාල වනාන්තරයේ ගමක් සහ වනාන්තරය වෙන්වන ආසන්නයේ තියෙන වණලැහැබක . මේ වනාන්තර කොටසේ ඉන්න රණ මොණරාට ක්‍රිෂ්නාව සමාන කරනවා . එහෙම කියලා කියනවා , වන රේඛාවේ ඉන්න රණ මොණරාණෙනි මාවෙත පැමිණෙන්න කියලා . තරුද නොපායන රාත්‍රියයි . රාධා ක්‍රිෂ්ණාට මේ එන්න කියලා කියන්නේ නැවතත් කායික සම්භෝගය ප්‍රාර්ථනා කරලා . ඒවගේ වෙලාවකදී ආලෝකය නැතිව තිබීම හොඳයි කියලා දෙන්නාම දන්නවා ඇති . ඒ නිසා රාධා කියනවා මේ රාත්‍රියේ තරු වත් පායන්නේ නැහැ . ඒ නිසා පොඩි හරි ආලෝකයක් නැහැ . ඒ නිසා මාවෙත පැමිණෙන්න කියලා . 


ගීතයේ මේ වගේ තේරුමක් තියෙනවා කියලා ඇත්තටම හිතෙන්නේ නැහැ . පාරිසරික වර්ණනා කිරීම වඩාත් වැඩියෙන් තියෙන නිසා ගීතයේ තියෙන්නේ වෙන් වීම නිසා ඇතිවෙන දුක සහ නැවතත් එකතුවෙන්න තියෙන ආශාව කියලා එක පාරටම ගම්‍ය වෙන්නේ නැහැ . 

මේ ගීතයේ සංගීතය නිර්මාණය කෙරිලා තියෙන්නේ උත්තරභාරතීය හින්දුස්තානී රාගධාරී සංගීතය ඇසුරෙන් . ඇත්තටම මම මේ ගීතය රසවිඳින අවස්ථාවකදී මම මගේ අවධානය වැඩියෙන්ම යොමු කරන්නේ තබ්ලාවට . මොකද තබ්ලාවෙන් වාදනය කෙරෙන වාදන කොටස් ශුද්ධ සංගීතයට වඩාත් හොඳින් ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙන නිසා . සකීර් හුසේන් වගේ කෙනෙක්ගේ රාගධාරී වාදනයකට සහයවෙන තබ්ලා වාදනයක් ඇහුවා නම් මේ ගීතයේත් ඒවගේ කොටස් අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන් . 

ගීතය ආරම්භ වෙන්නේ ඕබෝ එකක් සහ සිතාර් එකක් වාදනය කරමින් . මේ වාදන කොටස වාදනය කෙරෙනවත් එක්කම අපිට මැවෙන්නේ ක්‍රිෂ්ණා එනකල් රාධා බලාගෙන ඉන්න අවට පරිසරය ගැන අදහසක් . ගස්වැල් සතුන් කුරුල්ලන් වගේ විවිධ පාරිසරික අලංකාරවත් කොටස් ඒ වාදන කොටසෙන් ඉදිරිපත් කෙරෙනවා . ඊට පස්සේ වාදනය කෙරෙනවා ජල තරංගයක් ආධාරයෙන් වාදන කොටසක් . ඒ වාදන කොටසෙන් දැනෙන්නේ හරියට මොණරෙක් ඇවිදිනවා වගේ පසුබිමක් . ගීතයේ අතුරු වාදන කොටසේත් තියෙන්නේ සම්පූර්ණයෙන්ම පරිසරයේ අලංකාරවත්බව පෙන්නුම් කරන වාදන කොටස් . 

අතුරු වාදන කොටසේ තියෙනවා බටනලාවක් වාදනය කරන වාදන කොටසක් . ඒ බටනලාවත් එක්කම සිතාර් එකකින් වාදනයක් කෙරෙනවා . සිතාර් වාදනයක උච්චතම අවස්තාව , ඒ කියන්නේ ජලා වාදනය කරනවා කියලා කියන්නේ අන්න ඒ වාදන ක්‍රමයට . ඒවගේ සියළුම උත්තර භාරතීය වාදන ක්‍රම මේ ගීතයට ඇතුළත් කරලා තියෙනවා . රාධා ක්‍රිෂ්ණා කතාවත් ඇත්තටම අදාළ වෙන්නේ උතුරු ඉන්දීය කතා වලට නිසාත් , මේ ගීතයට උතුරු ඉන්දීය සංගීත ශෛලීය ක්‍රම යොදාගැනීම ඇත්තටම සාධාරණයි . 

තබ්ලා වාදනය ගැන නම් ඇත්තටම කියන්න වචන නැහැ . හරියට වතුර පාරක් ගල් මුල් තැනිතලා බෑවුම් ඔස්සේ හැපී හැපී හැරෙමින් ගමන් කරනවා වගේ තමයි තබ්ලා වාදනය කෙරෙන්නේ . තබ්ලා වාදනය ඒ තරමටම මනා සංයමයක් ඇතුව වාදනය වෙනවා . හරි තාල ස්ථාන වලට ගමන් කරන අතරේ වාදකයා තමන්ගේ දක්ෂතා වඩාත් හොඳින් ඉස්මතු කරලා පෙන්නනවා . 

හෙඩ්සෙට් එකක් ආධාරයෙන් රෑ වෙලාවක මේ ගීතය සාවධානව ශ්‍රවනය කරන්න . මම මේ කියලා තියෙන දේවල් කොයි තරම් දුරට සාර්ථක ද සාධාරණද කියලා එතකොට තමන්ටම අවධාරණය කරගන්න පුළුවන් . 


========================================================================

මේ ගීතයේ තේරුම කියවලා බලන්න . ඒවගේම තමයි අද කාලේ බස්වල ඇහෙන ගීතත් ශ්‍රවනය කරලා බලන්න . අද කාලේ ඇහෙන ගීත බහුතරයක තියෙන්නේ ඔයා වටේම ගිහින් එන්න . මම භාර ගන්නම් . එහෙමත් නැත්නම් ඔයා මලත් මම සොහොනටවත් එන්නේ නැහැ . මගේ සොහොනටත් ඔයා එන්න එපා . එතනත් තියෙන්නේ විප්‍රයෝගය . මේ ගීතයේත් තියෙන්නේ විප්‍රයෝගය . බලන්න කොයිතරම් සාහිත්‍යවත් විදියට මේ යමුනා ගං තෙර ගීතය නිර්මාණය කරලා තියෙනවද කියලා . අද කාලේ ඒවගේ ගීතයක් බිහිවෙයි කියලා නම් හිතන්න අමාරුයි . ඒවගේම ඉදිරියට නම් කවදාවත් එහෙම ගීත බිහිවෙන එකක් නැහැ . ඒ නිසා මේ ලිපි කියවන ඔයාලාත් ඔයාලගේ දරුවන්ට මේවගේ ගීත අහන්න රස විඳින්න හුරු කරවන්න . 


තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment:

  1. පොඩි නිවැරැදි කිරීමක්...
    "තෙභුවන රැකුමේ ඉසිඹු වෙලාවයි" කියන එකෙන් අදහස් වෙන්නෙ ක්‍රිෂ්ණට තුන් ලොව රකින රාජකාරියෙන් පොඩි නිවාඩුවක් ගන්ඩ වෙලාව ඇවිත් කියන එක යි... 👍

    ReplyDelete