ඒකපාර්ශවික ආදරයක මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා

මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
මල් පිපිලා

මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා

රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා


ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - චන්ද්‍රසේන රංගේ
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු





කතාව කියවන්න කැමති නැති අය වීඩියෝ ටික තියෙන තැන ඉඳලා කියවගෙන යන්න .



ඩෙල් ස්ටූඩියෝ වැඩසටහන , මුල කාලෙ නොබැලුවත් දැන් නම් මමත් ඉන්නේ අලුතෙන් වැඩසටහනක් එනකල් බලාගෙන . මුල කාලෙ වැඩසටහන එපාවෙලා තිබුණේ , මොකද කියනවනම් අමරසිරි පීරිස් , ටී එම් ජයරත්න , ඩැඩී , ජිප්සීස් වගේ අය එක්ක කරපු වැඩසටහන් ටිකක් චොර වෙලා තිබුණු නිසා . සිංදුවා කොහොමත් ඕක මන්තරේ වගේ හොඳයි හොඳයි කියලා මතුරන නිසා මමත් ඩෙල්ස්ටූඩියෝ බලන්න පටන් ගත්තා . දැන් නම් ඩෙල්ස්ටූඩියෝ පට්ට . දැන් තියෙන විදියට කලින් ආව අය ආයෙත් ගෙන්නලා වැඩසටහන් කරන්න පුළුවන් නම් මම හිතනවා කලින්ට වඩා දැන් හොඳ තත්ත්වයක වැඩටසහන තියෙයි කියලා. ඒ කිව්වේ ටී එම් , අමරසිරි පීරිස් වගේ අයව නැවතත් ගෙන්නන්න කියන එක .

ඉතින් ඔය අතරේ තමයි මේ ළඟදී දවසක දයාරත්න රණතුංග මහත්මයා වැඩසටහනට ආවේ . දෙරණ නාලිකාවේ යූටියුබ් එකවුන්ට් එකට වැඩසටහන අප්ලෝඩ් කරනකල් ඉන්න බැරි නිසා මම වෙන සයිට් එකකින් වැඩසටහන බාගෙන බැලුවා . ඔය ගීත ටික ඉස්සර ඉඳලම මගේ සිංදු ලිස්ට් එකේ තියෙන නිසා මම කැමැත්තෙන් වැඩසටහන බැලුවා . 

ඔය ගීත එක්ක බැඳිලා තියෙන සමහර සුන්දර මතක සටහන් තියෙනවා මගේ අතීතයේ . මේ ගීතය අහන වෙලාවේත් මතකය ගියා ඈතට . පාසැල් සංගීත තරඟ තියෙන දවසක , එදා තිබුණේ කලාප තරඟ . අපේ ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා තිබුණා තරඟ ශීර්ෂ කීපයකටම අදාළ ඉදිරිපත් කිරීම් . ඕවා පටන් ගන්නකල් අපි කරන්නේ ඒ ගුරුවරුන් එක්ක කොහේ හරි පංතිකාමරයකට වෙලා තරඟෙට වාදනය ගායනය කරන්න තියෙන දේවල් පුරුදු පුහුණු වෙන එක . ඉතින් එදා අපි මේ පුහුණුවීම් කරලා දවල් කෑම කන්න වෙලාව ආවම සර්ලා මිස්ලා ගියා කෑම කන්න . අපිට ඉතින් සංගීතේ එකතු උනාම ඒ කාලෙ වැඩිය බඩගින්නක් නැහැ . අපි ඉතින් එක එක සිංදු ගගහා කස්ටිය එක්ක පොඩි ෆන් එකක් ගත්තා .

ඒ කාලෙ ඉස්කෝලේ බටනලා ගහන සහෝදරයෙක් හිටියා මනෝජ් කියලා . හරිම අමාරුවෙන් සංගීතය ඉගෙන ගත්ත කෙනෙක් . ඒවගේම දක්ෂයෙක් . ඒ සහෝදරයා මගේ අතටත් එයාගේ බටනලාවක් දීලා මල් පිපිලා ගහමු කියලා කිව්වා . මමත් හා කියලා පටන් ගත්තා . අපි දෙන්නයි , තබ්ලාවයි , සර්පිනාවයි . ඔය සද්දේ ඇහිලා වෙනත් ඉස්කෝලවල සර්ලා මිස්ලාත් ආවා සිංදුව අහගෙන ඉන්න . මේ ගීතයේ කොටස් අපි දෙන්නා බෙදාගෙන එදා හොඳ වාදනයක් ඉදිරිපත් කළා . මම හිතන්නේ මම බටනලාව තවත් බටනලාවක් එක්ක වාදනය කරපු පළවෙනි සහ අන්තිම දවස එදා තමයි .

ඩෙල් ස්ටූඩියෝ බලපු වෙලාවේ මල් පිපිලා ගීතය ආරම්භ වෙනකොටම මට මතක් උනේ මේ සිදුවීම . මේ ගීතයේ තියෙන්නේ ඒකපාර්ශවික ආදරයක් කියලා කිව්වම මට මගේ ඒකපාර්ශවික ආදර කතාවක් මතක් උනා .

ඉස්සර කාලෙ . යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයේ මම හිටියේ දහය වසරේ ඉගෙන ගනිමින් . ඉතින් හවසට හවසට මම පන්සල් යන්න පුරුදුවෙලා හිටියා ඒ කාලෙ . දැනට වඩා අපි ඒ කාලෙ පිනට දහමට ලැදියි . ඉතින් මම ගිහින් බෝධියට මල් පූජා කරනකොට එක ගැහැණු ළමයෙක් ආවා මල් පූජා කරන්න . එයයි මමයි විතරයි බෝධියේ හිටියේ . මම බෝධියේ මේ පැත්තේ මල් හදනවා . එයා ඒ පැත්තේ මල් හදනවා . මම හොරෙන් මල් හදන ගමන් මූණ උස්සලා බැලුවා . එයා නිහඬ නිසසල දෑසින් මල් ආසනේ දිහා බලාගෙන මල් හදනවා . මම ඉතින් විනාඩි දෙකෙන් හදන මල් හැදිල්ල විනාඩි දහයක් විතර හදලා පස්සේ එයා මල් හදලා ඉවර උනාම නතර කරා .

ඊට පස්සේ ඔන්න එයා පැන් කලයක් අරගෙන බෝධිය නාවනවා . එයා මාවත් නාවයි කියලා බලාපොරොත්තුවෙන් පැත්තකට වෙලා මම බලාගෙන ඉන්නවා . ඔහොම ඔහොම වෙලා අන්තිමට වැඳලා පුදලා ඉවර වෙලා ඇය යන්න ගියා මැකිලා . මමත් මගේ වැඩ කටයුතු ඉවර කරගෙන ගෙදර ගියා . 

එයාව දකින්න තිබ්බ ආසාවට මම පහුවෙනිදත් පන්සල් ආවා . ඒත් එදා එයා හිටියේ නෑ . පහුවෙනිදත් ආවා . ඊට පහුවෙනිදත් ආවා . ඒත් එයා ආවේ නෑ . මාස කීපයක්ම මම එයා පන්සලට එයි කියලා හිතාගෙන පන්සල් ආවා . ඒත් එයා ආවේ නැහැ . අන්තිමට වයලීනොගේ කුළුඳුල් ප්‍රථම එකසිය අටවෙනි ප්‍රේමය ඒකපාර්ශවික ආදරයක් වෙලා නැත්තටම නැතිවෙලා , රි ස්ටෝර් කරන්න බැරි විදියටම මැකිලා ගියා . පස්සේ කාලෙක තමයි දැනගත්තේ ඒ අක්කා කෙනෙක් කියලා . 





මේ ගීතයඅහන වෙලාවේ මට ඔය සීන් ඒකත් මතක් උනා . ඒ කියන්නේ ඒකත් මේ ගීතයත් එක්ක ගැළපෙනවා . එහෙනම් කස්ටිය වයලීනොගේ ඒකපාර්ශවික ආදරය ගැන සිහි කරගෙන කඳුළු සලමින් මෙන්න මේ ගීතය අහන්න . ඉස්සෙල්ලම තියෙන්නේ අලුත් නැති , පරණත් නැති ලොවෙත් නැති සංස්කරණය . මම නම් වැඩිපුරම අහන්න කැමති ඒ සංස්කරණය . ඊට පස්සේ තියෙන්නේ මුල්ම සංස්කරණය . ඊටත් පස්සේ තියෙන්නේ ඩෙල්ස්ටූඩියෝ සංස්කරණය .








මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
මල් පිපිලා

ඉපදීමෙන් පස්සේ ක්‍රමක්‍රමයෙන් කාලය ගතවෙලා ජීවිතය ඒකාකාරී වේගෙන එනකොට තමයි ජීව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක වශයෙන් ආදරය ආකර්ෂණය ප්‍රේමය වගේ හැගීම් මිනිස්සුන්ගේ හිත් තුල ඇති වෙන්නේ . ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ පළවෙනි ආදරය අප්‍රකාශිත ප්‍රේමයක් වෙනවා . දෙවෙනි ප්‍රේමය තමයි ප්‍රකාශ කරලා කෙලවගන්නේ . ඊට පස්සේ ඉතින් අත්දැකීම් එක්ක කාලයත් එක්ක අහන දකින දේවල් එක්ක කිරලා මැනලා ජීවිතයට ගැළපෙන කෙනෙක් ලං කරගන්නවා .

ඉතින් මේ පළවෙනි ආදරය හිතේ ඇති උනාම තමයි මේ මල් පිපිල්ල සැරටම වෙන්නේ . මේ ගීතයේ කතා නායකයාගේත් පළවෙනි මල වෙන්න ඇති මේ පිපිලා තියෙන්න . තමන්ගේ ජීවිතය උද්‍යානයක් නම් ඒ උද්‍යානයේ මල් පිපිලා අලංකාර වෙලා කියලා ඔහු දකිනවා . මල් පිපෙන්න කලින් මේ උද්‍යානයේ තිබුණේ පස් ගල් බොරළු විතරයි . ඒත් ඒවායේ තියෙන කර්කශ ස්වභාවය මේ මල් නිසා නැතිවෙලා අඩුවෙලා ගිහිල්ලා . පිරිමියෙක්ගේ තියෙන රළු ගති ගුණ ආදරයත් එක්ක තුනී වෙලා යන්නෙත් මේ විදියට වෙන්න ඇති .ඒ මල් නිසා අන්තිමට තමන්ගේ මුළු ආත්මයම සුවඳවත් වෙනවා . ආත්මයේ දස අත මේ සුවඳ ගලාගෙන යනවා . ඉතින් ජීවිතේ මල් පිපිලා .

මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා
මල් පිපිලා

මෙතනින් තමයි ගීතය ඒකපාර්ශවික ආදරයක ස්වරූපය ගන්නේ . මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත , ඒ කියන්නේ පෙම්වතාට පෙම්වතියගේ කම්මුල් සිපගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන එක .
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත , දෙන්නට ඉතින් කවදාවත් අතිනත් අරගෙන ආදරෙන් ඇවිදින්න ලැබෙන්නේ නැහැ . ඒත් මගේ යුග දෙනෙතට උරුමයි , මෙන්න මේ පදය තමයි මම මේ ගීතයේ කැමතිම තැන . මේ පෙම්වතාට මේ ගැහැණු රූපය හැමදාම දකින්න ලැබෙනවා ඇති . යුග දෙනෙතට උරුම ඇති . ඉතින් පෙම්වතා It's ok baby කියලා කම් නැත මියුලැසියේ කියමින් හිත හදාගන්නවා . විවාහ වෙන්න නැතත් , ආදරයෙන් වෙලෙන්න නැතත් මිය යනතුරාවටම ඇගේ දර්ශනයෙන් සිත් සනහා ගන්න මේ පෙම්වතාට පුළුවන් කියලා තමයි කියන්නේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා කියලා .


රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා


මුදලට හෝ මුදලට නැතුව ආශාව සංසිඳවා ගන්න විතරක් පිරිමින් සොයාගෙන රාත්‍රී කාලයේ හැසිරෙන ගැහැණු ළමයින්ට රෑ සමනලියන් කියලා කියනවා . ඒකෙ අනික් පැත්ත බඹරා . දවල් කාලෙ හැසිරෙන්නේ හරි පාරෙන් රොන් ගන්න බඹරු . ඒත් රෑ කාලයේ හැසිරෙන්නේ වැරදි පාරෙන් රොන් ගන්න බඹරු . මෙතන මේ ගීතයේ රෑ බඹරෙකු මා දකින වෙලාවක කියලා කියන්නේ මේ පෙම්වතාට පේනවා රාත්‍රී කාලයේ මලෙන් රොන් ගන්න යන බඹරෙක් . නිකන්ම නිකං මලකට නෙවෙයි ඇදෙන්නේ , මධු පිරි මලකටයි ඇදෙන්නේ . මේවා දැක්කම මේපෙම්වතාගේත් හදවත ආශාවන්ගෙන් පිරී ඉතිරී යනවා .

ගොඩක් වෙලාවට තමන්ගේ ළඟ ඉන්න කෙනෙක්ට ලැබෙන දේ තමන්ට නොලැබෙනකොට සමහර වෙලාවට උඩ හිතින් නැතත් මිනිස්සු යටි හිතෙන් දුක් වෙනවා . ඒක තමයි ස්වභාවය . මමනම් හිතන්නේ මේ ගීතයේත් උඩින් පෙන්නුවට පෙම්වතා තමන්ගේ යටි හිතෙන් දුක් වෙනවා තමන්ට ඒ උණුසුම නොලැබීම ගැන . ඒත් ඒ වෙලාවෙත් මේ පෙම්වතා හිත හදාගන්නේ කම් නැත මියුලැසියේ කියලා . ඒ මොකද පෙම්වතා දන්නවා තමන්ගේ පෙම්වතිය රාත්‍රියේ නින්දට ගියාට පස්සේ  සිහින ලෝකෙදී පෙම්වතියගේ රූපය දකින්න ලැබෙනවා කියලා .

මේක ඒකපාර්ශවික ආදරයක් . සමාජයේ ගොඩක් නැතත් එකක් දෙක හරි මේවගේ ඒකපාර්ශවික ආදරයන් වෙනුවෙන් ජීවිතයකැප කරපු පිරිමි වගේම ගැහැණු පවා දකින්න ලැබෙනවා . අන්තිමට ඒ අය තමන්ගේ ජීවිතය කසාවතින් වහගන්න තත්ත්වයට පවා පත්වෙලා තියෙනවා .

ඊ ලඟට අපි බලම මේ ගීතයේ සංගීතය කොහොමද සංයෝජනය වෙලා තියෙන්නේ කියලා . ගීතයේ තාලය වාදනය කරන්නේ බොන්ගෝ ඩ්‍රම් එකකින් . බේස් ගිටාර් එකකින් බේස් ගිටාර් පාට්ස් වාදනය කරනවා තාලයත් එක්කම ගැලපිලා යාන්න . ඒත් සමහර තැන වලදී වැඩි අලංකාරයක් වෙනුවෙන් තාලයෙන් පිට පනින තැන් කීපයකුත් තියෙනවා . ඔයාලට ගීතය සාවදානයෙන් අහගෙන ඉන්නකොට ඒ පිට පැනින් තැන් හොයාගන්න පුළුවන් වෙයි . හයි හැට් එකත් වැඩිය දඟලන්නේ නැතුව ටිකි ටිකි ටිකි ටිස් / ටිකි ටිකි ටිකි ටිස් කියලා තමන්ගේ වාදනය පාඩුවේ කරගෙන යනවා .

ගීතයේ පෙර වාදනය ආරම්භ වෙන්නේ මවුත් ඕගන් එකකින් . මේ මවුත් ඕගන් පාට් එක යන අතරේ ඒ යටින් වයලීන් සහ චෙලෝ එකක් බේස් ගතිය වැඩිකරලා නිර්මාණය කරලා තියෙන වාදන කොටසක් ඉදිරිපත් කරලා තියෙනවා . මවුත් ඕගන් එකෙන් ශෝකය පාළුව වගේ හැගීම් මේ තාලයත් එක්ක ඉස්මතු කරලා පෙන්නන්න අමාරුයි . ඒත් ඒ බේස් වාදනයත් එක්ක වාදන කාණ්ඩය හොඳට සමබර වෙලා තියෙනවා . ඊට පස්සේ ඒ බේස් වාදනයත් එක්කම මවුත් ඕගන් වාදනයත් නතරවෙලා බටනලාවෙන් පොඩි කොටසක් වාදනය කරනවා . ඒක ටිකක් දුකක් ඇති කරන වාදනයක් . ඊට පස්සේ වයලීන් වලින් වාදනයක් ඉදිරිපත් කරනවා . ඒ වාදනයට කවුන්ටර් පාට්ස් විදියට යටින් වාදනය කරන්නේ චෙලෝ පාට් එකක් . ඊට පස්සේ කීබෝඩ් එකක් බටනලාව සහ මවුත් ඕගන් එක මාරුවෙන් මාරුවට එකට වාදනය කරනවා .

ඊට පස්සේ මල් පිපිලා කියලා ගීතය ආරම්භ වෙනවා . ඒ ආරම්භයත් එක්කම ස්වර තුනෙන් තුනට යන ස්වර අභ්‍යාසයක් වගේ එකක් ඉහල ඉඳලා පහළට ගලාගෙන එනවා . මල් පිපිලා . ඒත් ඒ මලේ කිසිම සතුටක් නැහැ වගේ දෙයක් තමයි ඒ වාදනයේ අන්තර්ගත වෙලා තියෙන්නේ .ගීතය ඉතින් සාමාන්‍ය විදියට ගායනා වෙනවා . ඇතුලෙන් වයලීන් වලින් කවුන්ටර් වාදනය වෙනවා . ඒ වාදනය මිහිරියි . ඒත් ගීතයේ තියෙන ඒකපාර්ශවික ආදරයේ තියෙන හිස් බව ගීතයෙන් පෙන්නන්න ඕන නිසා වැඩි සංගීත ශිල්ප ක්‍රම මේ ගීතයේ යොදාගෙන නැහැ .

ගීතයේ අතුරු වාදනයත් පෙර වාදනයම තමයි  . ඊට පස්සේ ඔන්න අන්තරා කොටස් වලට එනවා . මේ අන්තරා කොටස්වල මම කැමතිම තැනක් තමයි "  ඒත් මගේ යුග දෙනෙතට උරුමයි , ආශා රැහැනෙන් හදවත පිබිදෙයි කියන කොටස් දෙක . වචන වගේම මේ වචන ගායනා කෙරෙන ස්වර රචනාවත් ලස්සනයි . ඒ වගේම ඒ වචනත් එක්ක වාදනය කරන බේස් ගිටාර් වාදනය ආකර්ෂණීයයි . ඒ බේස් ගිටාර් එකේ ගීතයේ මුල සිට අග දක්වා තියෙන ඒකාකාරී බවෙනි තරමක් මිදෙන්නේ මේ තැන් දෙකේ නිසා .


පොදුවේ මේ ගීතයේම සංගීතය ගැන කියනවනම් , මේ ගීතය බටහිර සහ පෙරදිග සංගීතය සමබරව භාවිතා කරපු ගීතයක් කියලා කියන්න පුළුවන් . පෙරදික සංගීතයේ රාග වාදනයේ ගායනේ තියෙනවා තිහායි කියලා ශිල්ප ක්‍රමයක් . මේකෙදී කරන්නේ එකම කොටස ආයේ ආයේ වාදනය කරලා තාල් වලට එන විදියක් . මේ ගීතයේත් මට ඇහෙනවා රාගධාරී සංගීතයේ එහෙන් මෙහෙන් ඇහෙන තිහායි කොටස් .

එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment: