වියෝ උනාට පස්සෙලු දන්නේ , ප්‍රේමයේ අභිමන් පට්ට කියලා....







වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් කල එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

මේ ගීතය රචනා කරලා තියෙන්නේ බන්දුල නානායක්කාරවසම් මහත්මයා 






සංගීතය සහ තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා 






ගායනය සුනිල් එදිරිසිංහ මහත්මයා 







වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කදුලයි දකින්නේ
සිනාවේ සරදම්

දෙන්නෙක් කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් , පොඩි ප්‍රශ්නයක් උනත් දුරදිග ගියාම ඒ ඇති දෙන්නා වෙන්වෙලා යන්න . අපිත් ඉස්සර කිය කියා හිටියේ ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කොස් ගසකට සමයි කියලා . ඒත් ඈත් වෙන්න උනාට පස්සේ තමා තේරුනේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් මුලකටත් වඩා කුඩයි කියලා .

දුකයි . ඒත් දෛවය කියලා තියෙන්නේ වෙන් වෙන්න නම් ඒ දේ කොහොමත් වෙනවා . ඊට පස්සේ අපිට සමහරවිට ඊටත් වඩා ආදරේ කරන , ගැළපෙන කෙනෙක් ලැබෙන්නත් පුළුවන් . නැති වෙන්නත් පුළුවන් . ඒක එක එක්කෙනාගේ පවු පිං අනුව දෛවය ලියවිලා තියෙන හැටියට වෙනවා . ඉතින් ඒ ලැබෙන දේ ගැන අහිතක් නොහිතා භාරගන්න අපි හිත හයිය කරගන්න එක තමයි කරන්න ඕන .

මේ ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නෙත් ඒවගේ දෙයක් . කාලයක් ආදරේ කරලා හදවත් වලින් බැඳිලා ජීවත් වෙලා අන්තිමට වියෝ වෙලා වෙන්වෙලා ගියාට පස්සේ තමයි දැනෙන්නේ කුලල්කකා හරි කමක් නෑ එකට හිටියනම් කොච්චර හොඳද කියලා . ප්‍රේමයේ අභිමන් දැනෙන්නේ එහෙම උනාට පස්සේ . ඒත් සමහර වෙලාවල් වලදී ඒ අභිමන දැනෙනකොට අනිත් කෙනාට ආයෙත් ලං වෙන්න බැරි තරමටම වෙන්වෙලා ගිහින් . නැත්නම් වෙනත් ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවන්තියක් ඒ අතරට ඇවිල්ලා . ඉතින් එහෙම උනාම අන්තිමට වෙන්නේ ලෝකයට හොරෙන් අඬන්න තමයි . එහෙම අඬනකොට තමයි දැනෙන්නේ ඇස්වලින් උනන කඳුළු කම්මුල් දිගේ පහලට ඇවිත් මූවගින් නැගෙන හිනාවට සරදම් කරනවා කියලා .

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චණ්ඬයි

මම හැමවෙලාවෙම කියන කතාවක් තමයි මෙන්න මේක . අපි එක එක කාලෙට අපි ගැටෙන සමාජයත් එක්ක , නැත්නම් ඒ සමාජයේ ඉන්න අයත් එක්ක බැඳීම් ඇති කරගන්නවා . ඒත් ඒ බැඳීම් ඇතිකරගන්නේ එයාලා අපිත් එක්ක හැමදාම ඉන්න පුළුවන් තත්ත්වයේ අයද නැත්ද කියලා බලන්නේ නැතිව . මොකද ආදරේ කියන දේ ඇතිවෙන්නේ මුලින්ම උඩු හිතේ . ඒ වගේම ආදරේ ඇතිවෙන්නේ මුලින්ම කෙනෙක්ගේ පෙනුම මත පදනම් වෙලා . ඊට පස්සේ තමයි අනිත් දේවල් ගැන සලකලා බලන්නේ . අපිට වැඩිපුර පේන හිත තදින්ම බැඳලා තියාගන්න පුළුවන් කෙනෙක්ට අපි මුලින්ම ආදරේ කරනවා . පස්සේ අපේ සමාජ තත්ත්වය වෙනස් උනාම එයා හොඳ නෑ කියලා තව කෙනෙක්ට ආදරේ කරනවා . ගොඩක් දෙනෙක් ප්‍රශ්න දාගන්නේ මෙන්න මේ කාරණාව නිසා කියලයි මම හිතන්නේ . එක්කෝ මුලදී ආදරේ කරන කෙනාට හැමදාම ආදරේ කරන්න ඕන . නැත්නම් තමන් ස්ථාවර වෙනකන් ඉඳලා තමන්ට ගැළපෙන කෙනෙක් හොයාගන්න ඕන . එහෙම නැතුව කාලයත් එක්ක මෙයා ගැළපෙන්නේ නෑ කියලා අතාරින එක පොඩ්ඩක් අවුල් වැඩක් . පොඩ්ඩක් නෙවේ ගොඩක් අවුල් වැඩක් . 

ගීතයේ පළවෙනි අන්තරා කොටසින් කියවෙන්නේ ආදරේ කියන දේ ගැන වටින් ගොඩින් අතපතගාලා බලනකොටනම් හරිම චමත්කාර ජනක උනාට ඒකට යොමු උනාට පස්සේ තමයි ජීවන අරගලයත් එක්කම එන ප්‍රශ්න වලට දෙන්නටම මූණ දෙන්න වෙන්නේ කියලා . ගඟක ඉවුරේ ඉඳලා අපි ගඟ දිහා බලනකොට අපිට පේන්නේ පෙන පිඩු නංවමින් නිල්කැටේට ගලාගෙන යන ජල පහරක් . ඒත් ඕකට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ජල පහර කොච්චර ගැඹුරුද , ප්‍රචන්ඩද කියලා . අනික මේ ජල පහරේ හැංගිලා ඉන්න කිඹුලන්ට කබරයින්ට උනත් ගොදුරු වෙන්න පුළුවන් ගඟට බහින කෙනාව . ප්‍රේමය කියන ගඟට බැස්සත් එච්චරම තමයි කියලා මේ අන්තරා කොටසින් අපිට අදහසක් ගන්න පුළුවන් . 





හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්

කතාවක් තියෙනවනේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ කියලා . ඒකෙ පොඩි ඇත්තකුත් තියෙනවා කියල කිව්වට මේ ලෝකේ එහෙම ජීවත් වෙන්න බැරි බව වටහාගන්න කෙනා තමයි ජීවිතෙන් ජය ගන්නේ . කොල්ලෙක් කැමති කෙල්ලෙක්ගෙ පළමු පෙම්වතා වෙන්න . කෙල්ලෙක් කැමති කොල්ලෙක්ගේ අවසාන පෙම්වතිය වෙන්න . ඒ කතාවනම් ඇත්ත . හැබැයි දෙන්නගෙම පළවෙනි එකනම් ගොඩක් හොඳයි . මොකද දෙන්නා වෙන් උනේ නැත්නම් හැමදාම දෙන්නට නොයිඳුල් ප්‍රේමයකට හිමිකම් කියන්න පුළුවන් නිසා . ඒත් වටින්නේ ඉඳුල්ද නොයිඳුල්ද කියන එක නෙවෙයි . අවසානයේ බැඳෙන දෙන්නා අත්වැල් බැඳගෙන ජීවන ගඟ තරණය කරගෙන ජීවිතය ජයගන්නේ කොහොමද කියන එක . 

අවසාන අන්තරා කොටසින් කියවෙන්නේ මම හිතන හැටියට මෙහෙම දෙයක් . හඳක් නැතිදාට අහසට තරුවක් තමයි සැනසුම ආලෝකය ගේන්නේ . ඒ කියන්නේ පෙම්යුවලක් වෙන් උනාම , තමන්ගේ ජීවිතයට ආයෙත් ලංවෙන වෙනත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් තමයි ජීවිතයට එලිය ගේන්නේ . ඒ ලැබෙන එලිය මුලින් උන්න කෙනා දුන්න ආලෝකය ආදරය සෙනෙහසට වඩා සමහරවිට අඩු වෙන්න පුළුවන් . ඒත් බැරිවෙලාවත් ආයෙත් අර පරණ කෙනාම ඇවිත් වෙනදා වගේම ආදරේ එළියෙන් ජීවිතය ආලෝකවත් කරොත් , පස්සේ ලංවෙච්ච පෙම්වතා හෝ පෙම්වතිය දුන්න ආදරේ කුණු මුල්ලට විසිවෙන්නත් පුළුවන් කියලා තමයි ඔය සඳ තරු කියන දෙන්නව උපමා කරගෙන කියලා තියෙන්නේ . 

ගීතයේ සංගීත නිර්මාණය කිරීම් ගැන මම මෙතන කියන්නේ නෑ . මොකද මේ ගීතයේ සංගීත නිර්මාණය ඉතාම සියුම් . ඒ නිසා ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ . 

එහෙනම් ගීතය අහන්න . ආ වැරදුනා . අද එකම ගීතය දෙපාරක් අහන්න වෙයි . රවිශංකර්ට නොදෙවෙනි අනුශ්කා ශංකර් වගේ සුනිල් එදිරිසිංහයන්ට නොදෙවෙනිව මේ ගීතය එතුමන්ගේ දියණිය ගායනා කරනවා . දෙන්නගේම ගායනයන් හරීම හැඟුම් බරයි . ඒ නිසා ගීත දෙකම් අහන්න . මුලින් තියෙන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ ගයනය . දෙවෙනියට තියෙන්නේ එතුමන්ගේ දියණියගේ ගයනය . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !









වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment