ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා





අපි ආදරය කරන්න පටන් ගන්න කාලේ ගොඩක් වෙලාවට පෙනුමට තමයි ආදරය කරන්න පටන් ගන්නේ . ඉතින් ජීවිතේට කතාකරලා නැති , අඩුම තරමේ කතාකරන්න පුලුවන්ද බැරිද කියලාවත් දන්නේ නැති කෙනෙක්ට හිතෙන් විතරක් ආදරය කරන්න පටන් ගන්නවා . ඒ කාලෙට අපේ හිත්වල ඇතිවෙන හැගීම් සුන්දරයි මනස්කාන්තයි අරුමැසියි කොයිල් සහගතයි . ඊට පස්සේ ඔන්න පස්සෙන් යන්න පටන් ගන්නවා , නැත්නම් මොකක් හරි විදියකින් කැමැත්ත අකමැත්ත අහන්න පෙළඹෙනවා . 

මේ කාලෙට ඇතිවෙන්නේ ආදරයයි බයයි මික්ස් වෙලා ඇතිවෙන හැගීමක් . කැමතියි කිව්වොත් ලොවෙත් මල් . අකමැතියි කිව්වොත් සමහරු වෙනතක යන්න යනවා . තම සමහරු ටිකක් සෝක මූඩ් ගහලා විස්සෝපෙන් කල් ගෙවනවා . කැමතියි කිව්වොත් ඒ කිව්වට පස්සේ හිතේ ඇතිවෙන්නේ අර දුරින් ඉඳලා ඇතිවෙච්ච ආදරයට වඩා වෙනස් හැගීමක් . ඊට පස්සේ දෙන්නා වැඩි හරියක් ජීවත් වෙන්නේ එකිනෙකා ගැන වද වෙන ලෝකයක . කෑවද බිව්වද නෑවද ගෙදර ආවද කීයටද ආවේ කාත් එක්කද ආවේ මොනවද කලේ කාත් එක්කද කලේ කොච්චර වෙලා කලාද අරවද මේවද ප්‍රශ්න ගොඩයි . සමහරවිට වැඩිය හම්බෙන්න වෙන්නේ නැති ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ටිකක් ඔය වගේ වෙනවා කියලා මම සහසුද්දෙන්ම දන්නවා . මේ කාලෙට එකිනෙකා ගැන තියෙන්නේ පරිස්සම් කිරීමේ අරමුණක් . අනික තමන්ට නොලැබෙන අනුන්ට ලැබෙන පොඩි පොඩි අවස්ථාවන් ගැන ඉරිසියාවක් . 

පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා මේ ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ තමන්ගේ ආදර කතා ගෙවල් වලට කිව්වට පස්සේ එයාලාගේ ආදරය කිරීමේ විලාශය කලින්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා . ගෙවල් වල යන්න එන්න ගත්තම ඒ ආදරය තවත් දුරට වෙනස් වෙනවා . ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තියන් මෙහෙම එකිනෙකා වෙත ලංවෙන්න ලංවෙන්න අර මුලින්ම තිබුණ අරුමැසි ආදරය යතාර්ථවාදී ආදරයක් බවට පත් වෙනවා . ඒක ගෙවල් වලට කියන්න කලින් ඉන්නේ කවදද මේවා කියලා පිළිවෙලක් කරගන්නේ කියලා . ඒත් කිව්වට පස්සේ හිතෙනවා අපරාදේ කිව්වේ කියලා . මොකද එතකොට ඇතිවෙන තත්ත්වය ටිකක අමුතු නිසා . එතකොට දෙන්නා ආදරය කරන්නේ අම්මලා තාත්තලා දැනුවත්ව . ඒ නිසා හොරෙන් ආදරය කරනකොට තියෙන නැවුම් පසුබිම ආයෙත් ඇතිවෙන්නේ නෑ  . ඒ නිසා පිංවතුනි ලවු කරනකොට ගෙවල් වලට මාට්ටු උනත් නැවැත්තුවා කියලා හොරෙන් ලවු කරන්න . බඳින්න කිට්ටු කරලා ගෙවල් වලට කියන්න . නැත්නම් ඕක මහා ප්‍රශ්න ගොඩක මුලක් වෙනවා .

ආදරය මේ විදියට යතාර්ථවාදී වීම එකිනෙකා විසින් භාරගන්නේ කොයි කොයි ප්‍රමානවලින්ද කියන එක ඒ ඒ දෙන්නා විසින් අවබෝධ කරගෙන හිටියේ නැත්නම් ඔන්න ඔතනදී තමයි ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නේ මම හිතන විදියට . යොවුන් ආදරයේ තියෙන බොළඳ ගති පැවතුම් මේ යතාර්ථවාදී වීම නිසා අඩුවෙලා යනවා . ජීවන අර්බුදයට මූණ දෙන්න ගත්තම මේ බොළඳ වීම සමහරවිට නැත්තටම නැතිවෙලා යනවා . මම හිතන්නේ පවුල් ප්‍රශ්න ඇතිවෙන්න උනත් ආරම්භය මෙතන වෙන්න පුළුවන් කියලා . 

ඒවා එහෙම උනත් අනිත් කෙනාට ඒවා කෙලින් කියන්නේ නැහැ ගොඩක් වෙලාවට . එයාලා හිතන්නේ අනිත් කෙනා ඒවා ඒ විදියට කරන්න දැනගන්න ඕන කියලා . ගෑණු ළමයි ගොඩක් වෙලාවට මෙහෙමමයි . කොල්ලා ඔක්කොම දේවල් පැත්තක තියලා ජීවන අරගලයේ ගැටෙන්නේ දෙන්නටම හොඳ ලෝකයක් හදාගන්න ඕන නිසා කියලා තේරුම් ගන්න ගෑණු ළමයි ඉදිරිපත් වෙන්නේ හරිම මන්දගාමී විදියට . අඩුගානේ මේක කියවලා එක කෙල්ලෙක්වත් ඒක ඉගෙනගත්තනම් ඒක ලොකු දෙයක් වයලීනොට නිවන් සුව අත්වෙන්න .

මොකද කොල්ලෙක්ට තියෙන පීඩනය හරිම වැඩියි . ඉගෙනගන්න එක , රස්සාව , ආර්ථික මට්ටම , ගෙවල් දොරවල් , වාහන , අමතර ආදායම් මාර්ග එක්ක මේ අතරෙ අම්මලා තාත්තලාගේ ප්‍රශ්න ගෙවල්වල ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න එක්ක ආදරේ කරන්නත් ඕන . ඇනිවසරි සමරන්න , බර්ත්ඩේ සමරන්න , යාලුවන්ගේ ඒවා සමරන්න ඒවා මේවා ඔක්කොම එකතු කරලා ගත්තම කොල්ලෙක්ට මේ ප්‍රශ්න වලින් වැඩි බරක් යනවා කියන එක ඇත්ත නේද ? . හැබැයි හැම කෙල්ලම මෙහෙම පැත්තකට වෙන්නේ නෑ . සමහර අය ඉන්නවා කොල්ලා එක්ක හරි හරියට වැඩ කරලා ලයිෆ් එක ගොඩදාගන්න මහන්සි වෙන අය . එයාලට අපේ ගෞරවය . නැති අය එහෙම වෙන්න ට්‍රයි කරන්න ඈ.... :) 

මේ තැන දක්වා විතරයි වයලීනොට කියන්න පුළුවන්කම තියෙන්නේ . මොකද වයලීනොවත් වයලීනොගේ සමීප යාලුවන්වත් තවමත් ඔයින් එහා පියවරවල් වලට මුල පුරලා නැති නිසා . ඒත් ලං වෙන්න ලං වෙන්න ඈත් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියලා පොඩ්ඩක් මතක තියාගන්න . ඒ නිසා ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ සීමාව ඉක්මවා ලං වෙනවා කියන්නේ වෙන් වීමත් අතින් අරගෙනම තමයි කියන එක වයලීනෝ තරයේම කියා හිටිනවා . ඕකට තමයි කියන්නේ අර හැමදාම දකින කුකුලගේ මොකක්ද එක මොකක්ද එකක් කියලා . ඒ නිසා හැමෝටම තම තමන්ගේ ආදර කතා සුන්දරව බැරිනම් අඩු තරමේ ගින්දරව කෙලවරකර නොගන්නා විදියට ගොඩදාගන්න හැකියාව ලැබේවා කියලා වයලීනෝ ප්‍රාර්ථනා කරනවා . 
( මටත් එසේම වේවා ! )







ඉතින් අද කියන්න යන ගීතයත් මම හිතුවා ඒ වගේ කියලා . මේ ගීතයට තේරුම් දෙකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ . ඒ නිසා මේ ලිපිය සමහරවිට ගොඩක්ම දීර්ග ලිපියක් වෙන්න පුළුවන් හරිය . මම කියන්න යන ගීතය තමයි මේ තියෙන්නේ 

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද බඳුනේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..


ගී පද :- ආචාර්ය ජයලත් මනෝරත්න
සංගීතය හා තනුව :- එච් එම් ජයවර්ධන
ගායනය :- බණ්ඩාර අතාවුද







මේ ගීතය රචනා කරලා තියෙන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයා . මම වඩාත් ගරු කරන නාට්‍ය වේදීන් දෙපලෙන් එක්කෙනෙක් තමයි මනෝරත්න මහත්මයා . මනෝරත්න මහත්මයා තමයි මට මතක හැටියට " බයිසිකලය " ටෙලි නාට්‍යයේ සියදෝරිස් චරිතයට පණපෙව්වේ . ඒ චරිතය තමයි මම එතුමා දැක්ක පරණම චරිතය . ඊට පස්සේ ගොඩක් ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය සිනමා කෘති වල දැකලා තියෙනවා . මනෝරත්න මහත්මයාගේ දේශන අහන්නත් මම වැඩිපුර කැමතියි . ඒ එතුමාගේ තියෙන බහුශ්‍රතබව ඒ දේශන වලින් ඉස්මතුවෙන නිසා . මේ ගීතය මෙතුමා රචනා කරා කියලා දැනගත්තම පුදුම හිතුනත් එතුමාගේ තියෙන තිරස්ව විහිදීගිය දැනුම සහ හැකියාව එක්ක ඒක අරුමයක් නෙවෙයි කියලා හිතාගන්න පුළුවන් .



මේ ගීතයට තනුව නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රවීණ සංගීතඥ එච් එම් ජයවර්ධන මහත්මයා . එතුමා බටනලාවෙන් ඉපදුන සංගීතඥයෙක් . ඒ නිසා ඒ සලකුණ මේ ගීතයේ සටහන කරන්න එතුමා අමතක කරලා නෑ .



මේ ගීතය ගායනා කරන්නේ බණ්ඩාර අතාවුද මහත්මයා . වයලීනයෙන් බිහිවුන තවත් ගායකයෙක් . ඒ නිසා වයලීනොට ටිකක් වැදගත් චරිතයක් . ඒ වගේම බණ්ඩාර ආතාවුද මහත්මයාගේ ගෝලයින් එක්ක සංගීත තරඟ වලදී තරඟවදින්නත් කීප වතාවක්ම වයලීනෝට අවස්ථාව ලැබුණා . ඒ නිසා මෙතුමා මටනම් කොහොමත් අමතක නොවන චරිතයක් . එතුමාගේ තවත් වැදගත්කමක් තමයි එතුමා කොයිම වෙලාවකවත් තමන්ගේ ගීත මුල් ගායනයෙන් වෙනස් වන ආකාරයෙන් ගායනා නොකිරීම . මෙතුමාගේ ගායනා හරිම පුදුම විදියට මුල් ගායනයත් එක්ක සමීප වෙනවා .

එහෙනම් අපි බලමු මේ ගීතය කොහොමද දිගහැරෙන්නේ කියලා .

යොවුන් ආදරය කියන මාතෘකාව එක තැනකින් පටන් අරගෙන තවත් තැනකින් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි . යාතාර්තවාදීවීමත් එක්ක මම අර කලින් කිව්වා වගේ මේක යටපත් වුණාට කවුරු කවුරුත් කොච්චර වයස ගියත් මේ යොවුන් ආදරයට ආදරය කරනවා . ඉතින් ඔන්න ඔහොම ආදරය කරපු යුවලක් මේ ගීතයේ ජීවත් වෙනවා . තරුණ වයසේ ආදරයක උවමනාව තදින්ම දැනුන දෙන්නෙක් . මේ ගීතයේ ජීවත්වෙන පෙම්වතිය ටිකක් සල්ලි තියෙන පොහොසත් පවුලක කෙනෙක් . පෙම්වතා මධ්‍යම පාංතික පවුලක කෙනෙක් . හැබැයි අන්ත දුගියෙකුත් නෙවෙයි .

මෙයාලා ආදරය කරන්න පටන් ගන්නේ අධ්‍යාපනය ලබන කාලයේ වෙන්න බැහැ . අධ්‍යාපනය ලබාගෙන දෙන්නම රැකියාවක් කරන කාලයේ තමයි ආදරය කරන්න පෙළඹෙන්නේ . ඉතින් මේ දෙන්නාගේ ආදරය ගෙවල්වල ආශිර්වාද මැද්දේ විවාහයෙන් කෙලවර වෙනවා . මංගල රාත්‍රියේ මධුසමය ගත කරලා දැන් දෙන්නා නිදාගන්න හදන වෙලාව . පෙම්වතිය දැන් තමන්ගේ බිරිඳ බවට පත්වෙලා ඉවරයි . ඉතින් අභිනව ස්වාමි පුර්ෂ භූමිකාවට ආව පෙම්වතා තවම නිදි නැහැ . හැබැයි පෙම්වතිය මධුසමයේ අසිරිය විඳලා දැන් තමන්ගේ ස්වාමියාට තුරුල් වෙලා හොඳට නිදි . දැන් ස්වාමි පුර්ෂයා තමන්ගේ බිරිඳ දිහා බලාගෙන මෙහෙම හිතනවා .

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

මම මුලින්ම කිව්වා මේ පෙම්වතා මධ්‍යම පාංතික පෙම්වතෙක් කියලා . ඉතින් ආර්ථික මට්ටම පෙම්වතියට වඩා පෙම්වතාගේ අඩුයි . පෙම්වතිය පොහොසත් . මේ පද පේලි කීපයෙන් දෙවිදියක අර්ථයක් ඉස්මතු වෙනවා . සඳ , හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරලා පොළවට එවනවා . පෙම්වතිය තමන්ගේ දෙමාපියන්ගේ ආර්ථිකයෙන් සවිමත් වෙලා ඒ සවි ශක්තිය පෙම්වතාට ලබා දෙනවා . පෙම්වතා තරුව . තරුවට හිරුගෙනුත් ආලෝකය ලැබෙනවා . ඒ එක්කම සඳුගෙනුත් ආලෝයක ලැබෙනවා . ඒ දෙකම තරුවකට ලැබෙනවා . ඒ කියන්නේ පෙම්වතාට තමන්ගේ අම්මා තාත්තාගේ ආර්ථිකයේ සවි ශක්තිය දායාද මගින් ලැබෙනවා . ඒවගේම තමන්ගේ පෙම්වතිය නිර්ලෝභීව ලබා දෙන ඇයට හිමි දායාදවල හිමිකමත් පෙම්වතාට ලබා දෙනවා . ඉතින් හඳයි තරුයි දෙන්නා පෙම්වතයි පෙම්වතියයි කියලා ගැළපෙනවා නේද ?

මේ දෙන්නගේ ආදර බැඳීම විවාහයෙන් කෙළවර වෙලා . දැන් මදුසමයේ රස විඳපු වෙලාව . පෙම්වතිය තමන්ට තුරුල් වෙලා නිදාගන්න වෙලාව . රාත්‍රියම නිහඬයි නිසලයි නිස්කලංකයි . ඒ වගේම මුලෝ ලෝකයම නිදිගත් මොහොතක් . ඒත් පෙම්වතයි පෙම්වතියයි ලංවෙලා තුරුල් වෙලා ආදරයේ උණුසුම විඳිනවා . ඒ උණුසුමත් එක්ක පෙම්වතා අලුත් ජීවිතය ගැන විනිශ්චයකට පැමිණෙනවා .

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද බඳුනේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

පෙම්වතා සිහිපත් කරනවා දෙන්නා ආදරය කරපු කාලේ කරපු කියපු දේවල් . මෙයාලා පාසැල් යනකාලේ නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ වගේ නිදහස් කාලයක ආදරය කරන්න පටන් ගත්තනම් එයාලට එකිනෙකා හමුවෙන්න අදහස් හුවමාරු කරගන්න ලොකු කාලයක් ලැබෙනවා . ඒත් මෙතන උනේ එහෙම නෙවෙයි . දෙන්නා විවාහ වෙන්න ලං වෙච්ච වයසක තමයි ආදරය කරන්න යොමු උනේ . ඒ නිසා එයාලට වැඩි කාලයක් ආදරය කරන්න හමුවෙන්න උනේ නැහැ . ගෙවල් වලින් මේ ගැන දැනගෙන ඉක්මනටම විවාහය සිද්ද කරනවා . ඉතින් පෙම්වතා කියනවා අපිට වැඩි කාලයක් ආදරේ කරන්න ලැබුණෙත් නැහැ . ඒවගේම අපිට හැමදාම හම්බෙන්න ලැබුණෙත් නැහැ . ඒ ඈත් බව නිසාම අපේ හිත්වල තිබුණ ආදරය අඩු උනේ නැහැ . උනානම් උනේ හද බඳුනේ තිබුණ සොඳුරු ආදරය තවත් වැඩි වෙච්ච එක තමයි කියලා . හැබැයි මේ ආදරය කාලෙන් කාලෙට එක එක පාටවල් වලින් පාට වුණා .

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

එක එක පාටවලින් එක එක කාලෙට එක එක මෝස්තරේට පාට වෙච්ච අපේ ආදරය අද සඵල වෙලා . සඳයි තරුවයි අද මධුසමයේ හමුවීලා තියෙනවා . පෙම්වතා මෙහෙම හිතුවට පෙම්වතාට මතක් වෙනවා දෙන්නා ආදරය කරන්න මුල්ම හැගීම ඇතිවෙච්ච කාලේ ගැන , ඊට පස්සේ පස්සෙන් ගිය කාලය නැත්නම් පැත්තෙන් ගිය කාලය , ඊට පස්සේ හම්බෙලා කතාබහ කරලා ආදරය කරපු කාලය , ඊට පස්සේ ගෙවල් වලට කියලා ආදරය කරපු කාලය , අන්තිමටම මධුසමය ගතකරන්න මොහොතකට පෙර සහ මධුසමය ගතකරාට පස්සේ කියන කාලය ගැන . මේ එක එක කාල වලදී මේ පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට ආදරය කරපු හැටි දෙන්නට මතක් වෙනවා . පෙම්වතාට මේ කාල තුල ඇතිවුන ආදරය ගැන සාපේක්ෂ සංසන්දනයක් කරලා දැන් තත්ත්වය සහ එදා තත්ත්වය ගැන සමාලෝචනයක් කරන්න වැඩි වෙලාවක් ගතවෙන්නේ නැහැ .

ඉතින් පෙම්වතාට පේනවා එතකොට එදා දුර අතීතයේ අප අතරේ තිබුණ සොඳුරු සෙනෙහස අද වෙනකොට සිඳිලා ගිහිල්ලා කියලා . ඒ කියන්නේ තව තවත් දෙන්නට දෙන්නා ලං වෙන්න ලං වෙන්න ආදරයේ තියෙන නැවුම් බව ටික ටික අඩුවෙන්න පටන් අරගෙන කියලා . සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ . මොකද ලං වෙන්න ලං වෙන්න තවත් ලං වෙන්න බලනවා මිස ඈත් වෙන්න තියෙනඉඩ  අඩුයි කියලා එයාලා විශ්වාස කරන නිසා ( කාන්දම් තමා එහෙම වෙන්නේ ) . හා හා කමක් නෑ . දැනට ඔහොම හිතාගෙන ඉන්න . ඒත් පස්සේ කාලෙකදී තේරෙයි ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා කියලා . ඒ කාලෙට දෙන්නට දෙන්නා ප්‍රශ්න දාගන්නේ නැතිව , ඇතිවෙච්ච ප්‍රශ්න සාමකාමීව විසඳගෙන , නොතාරිස්ගෙන් පටන්ගත්ත ගමන නීතිඥයාගෙන් කෙලවර කරගන්නේ නැතිව කතාබහ කරලා දෙන්නට දෙන්නා තම තමන්ගේ ඕනෑ එපාකම් අවෙඅබෝධ කරගෙන ජීවත්වෙනවානම් ඒ ඇති .




මේ ගීතය ක්ලික් වෙච්ච දවසේ ඉඳලා ගොඩක් දවස් වලට වැඩ නැති වෙලාවට මේ ගීතය බෝඩිමේදී ප්ලේ කරා . නිකමට වගේ මම සින්දු මල්ලිගෙන් ඇහුවා කොහොම තේරුමක් මේකට ඇතිද කියලා හිතලා බලන්න කියලා . සිංදුව අහන් ඉන්න වෙලාවට අහන් හිටියට මොකද සිංදුමල්ලි මේගැන විමසිල්ලෙන් අහන් ඉඳලා නෑ . ඉතින් ආයෙත් මුල ඉඳලා අහලා ස්ථායි කොටසටයි පළවෙනි අන්තරා කොටසටයි එයත් කිව්වේ මම කිව්වා වගේ අදහසක් . ඒත් දෙවෙනි අන්තරා කොටසෙන් කියවෙන්නේ වෙනමම තේරුමක් කියලා සිංදු මල්ලි කිව්වා . මම ඒකත් ඔන්නොහෙ මෙතන සටහන් කරන්නම් .

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

පෙම්වතයි පෙම්වතියයි ආදරය කරන්න ගත්තේ විවාහ වෙන්න කිට්ටු වයසක කියලා මම මුලින්ම කිව්වා . ඉතින් මෙහෙම ආදරය කරාට මොකද පෙම්වතිය ටිකක් විතර සංකර චරිතයක් , හැබැයි ඒ ඉස්සර . ඉතින් පෙම්වතිය පාසැල් සමයේ ඉඳලා මේ වෙනකල් කීප දෙනෙක් එක්කම ආදර සම්බන්ධතා පවත්වලා තියෙනවා . මේ වෙලාවක ඒ කෙනෙක් අතින් පෙම්වතියගේ චරිතය අපිරිසිදු වෙලත් තියෙනවා . ඉතින් අභාවයට ගිය කන්‍යා භාවයක් එක්ක පෙම්වතිය මේ ගීතයේ ඉන්න පෙම්වතා එක්ක විවාහ වෙනවා . ඒත් මේ පෙම්වතා දන්නේ නෑ පෙම්වතිය කලින්ම මධුසමය ගත කරලා කියලා . සමහරවිට පෙම්වතිය බයවෙන්න ඇති ඒ ගැන කියන්න , මොකද මේ පෙම්වතාත් තමන්ට නැතිවෙයි කියලා . ඒ නිසා දෙන්නා විවාහ වෙනවා මේ මොකවත් දන්නේ නැතුව .

විවාහ වෙලා මධුසමය ගත කරන්න යනවා . මධු සඳ තරු අද හමු වීලා සිටියද ඔබ මා ලං වීලා කියන්නේ පෙම්වතයි පෙම්වතියයි ඉන්නේ මධු සමයේ කියන එක . ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා , ඒ කියන්නේ මධුසමය ගත කරත්දී පෙම්වතා දැනගන්නවා පෙම්වතිය කන්‍යාවියක් නෙවෙයි කියලා . ඒත් දෙන්නට දෙන්නා අතරේ තිබුණ ආදරය නිසා පෙම්වතා පෙම්වතියට වෙනසක් පෙන්වන්නේ නෑ . මේ ගැන අහන්න යන්නෙත් නෑ . පෙම්වතා පිටින් පෙන්නුවේ නැතත් හිතෙන් මේ ගැන ප්‍රශ්න කරනවා . ඒ වගේම පෙම්වතිය මේ වෙලාවේ සතුටෙන් ඉන්නවා පෙම්වතා මේ ගැන ප්‍රශ්න කරේ නැති නිසා . ඉතින් පෙම්වතිය සතුටෙන් නිදි . ඒත් පෙම්වතා තවම කල්පනා කරනවා .





පෙම්වතා පෙම්වතිය කෙරෙහි අසීමිත ආදරයකින් තමයි ජීවත් වෙන්නේ . ඒත් මේ සිද්දිය නිසා පෙම්වතාගේ ඒ ආදරය පොඩ්ඩක් දෙදරනවා . සමහරවිට ඊළඟ පියවරේ මේ ඔක්කොම සංසිඳිලා මේ දෙන්නා ආයෙත් මුලින්වගේම ආදරෙන් ඉන්න ඉඩ තියෙනවා . එහෙමත් නැත්නම් වෙන් වෙන්න තරමට මේ ප්‍රශ්නය දුර දිග ගිහින් දෙන්නා දික්කසාද වෙන්නත් ඉඩ තියෙනවා . ඒ තීරණය මොකක්ද කියලා තීරණය කරන්න කියවන ඔබට භාරයි .

මේ ගීතයේ සංගීත සංයෝජනය ගැන වැඩි යමක් කියන්න මට මීටර් වෙන්නේ නෑ . හැබැයි මම මුලින් කිව්වා වගේ එච් එම් ජයවර්ධන මහත්මයා මේ ගීතයේ තමන්ගේ සලකුණ මේ ගීතයේ සටහන් කරලා තියෙනවා බටනලාවෙන් . ඒ වගේම තමයි රාත්‍රිය කියන පසුබිම ඇතිකරන්න මේ ගීතයේ සමහර වාදය භාණ්ඩ දායක වෙනවා . ගීතයේ පෙර වාදන සහ අතුරු වාදන වාදනය කරන්න දායක වෙන සිතාරය සහ ඕගන් එකේ තියෙන සිතාර් හඬ මිශ්‍රවෙලා එන හඬ රාත්‍රිය කියන පසුබිම ඇති කරන්න හොඳින් දායක වෙනවා .

මේ ගීතය අද වෙනකොට පැරණි සංගීත සංයෝජනයයි නව සංගීත සංයෝජනයයි කියලා සංස්කරණ දෙකක් ඇවිත් තියෙනවා . වැඩිපුර ඇහෙන්නේ නම් නව සංස්කරණය . මමනම් වැඩිපුරම කැමති නව සංස්කරණයට . මොකද මට හිතෙන ඇහෙන විදියට නව සංස්කරණයේ සංගීත සංයෝජනය මේ ගීතයට වඩාත් සාධාරණයක් කරනවා කියලා විශ්වාසයි මට . හැබැයි ඒ අපේ තේරීම නිසා වෙන්නත් පුළුවන් . වෙනත් කෙනෙක්ට මේ ගීතයේ පැරණි සංස්කරණය වඩාත් හොඳ වෙන්න පුළුවන් . ඒ තේරීමත් ඔන්න ඔබට භාරයි . මේ ගීත දෙකේම බණ්ඩාර අතාවුදයන්ගේ ගයනා කිරීම , ස්වර වර්ණ ඉදිරිපත් කිරීම් ගොඩක් දුරට සමානයි කියලා මට හිතෙනවා . දක්ෂ ගායකයෙකුගේ හැකියාවක් තමයි මෙහෙම වෙනසක් දැනෙන්නේ නැතිවෙන්න එකම ගීතය නැවත ගායනා කිරීම . බණ්ඩාර අතාවුදයන් සාර්ථකව ඒ අභියෝගය ජයගෙන තියෙනවා මේ ගීතයේ .

මාසෙකට දෙකකට ආයෙත් ලියන්න වෙන්නේ නැති හැඩයි . මොකද වයලීනොට ආයෙත් එක්සෑම් කිට්ටුවෙලා තියෙන්නේ . ඒ නිසා ආයෙත් නිදහසක් ලැබුණම අපි ලියමු . එහෙනම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මේ තියෙන්නේ ගීතයේ පැරණි සහ නව සංස්කරණ දෙක








වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment