අහසින් පොළවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ






අද ලිපියෙන් ගීතයක තේරුමක් කියන්නම නෙවෙයි ලැස්ති වෙන්නේ . වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් ඔබ හමුවේ තබන්න . මේ ගීතය ගැන ලියන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ . ඒත් දැනට දවස් දෙකකට විතර කලින් අපේ ඥාතිවරයෙකුගේ ගෙදරින් කරපු දානමය පුණ්‍යකර්මයකට සහභාගී වෙලා දකින්න ලැබුණු දේවල් නිසා මේ ගීතය blog එකට ගෙනාවනම් හොඳයි කියලා හිතුනා .

මම ජීවත් වෙන ප්‍රදේශයේ තියෙනවා ළමා නිවාසයක් . ගෙදරට එන්න කාටහරි පාර කියනවනම් මේ ළමානිවාසය අනිවාර්යයෙන්ම කියවෙනවා . මොකද ඒ ළමා නිවාසය අද්දරින් තමයි වයලීනොගේ නිවෙස්නයට එන්න පාර වැටිලා තියෙන්නේ . ගොඩක් වෙලාවට අපිට හැමදාම වගේ මේ ළමා නිවාසය දකින්න ලැබෙනවා . ඉස්කෝලේ යනකාලේ උදේ හවස හැමදාම දකිනවා . ඒ නැතත් දැන් උනත් ටවුන් එකට එනකොට උනත් මේ ළමානිවාසය අපිට පේනවා .

මේ ළමානිවාසය ගැන මට පරණම මතකය තියෙන්නේ මොන්ටිසෝරි යන්න ටිකකට කලින් කාලේ වගේ . මේ ළමා නිවාසයේ පාර අයිනට වෙන්න ලොකුවට තියෙන වත්තක් තියෙනවා . මේ වත්තේ ඉස්සර අලියෙක් ගැටගහලා ඉන්නවා සමහර දවස් වලට . අපේ පැත්තේ වලව්වක ඉන්න අලියෙක් කොස් අතු පොල් අතු මිටියක් අරගෙන මේ වත්තට එක්ක ඇවිත් ගැටගහලා ඉන්නවා ; සමහරවිට කෑම කාලා ඉවර උනාම එක්ක යන්න වෙන්නැති . ඒ දවස්වලට ඔතනින් මම ලේසියෙන් එහාට මෙහාට වෙන්නේ නෑ . මාත් එක්ක යන ගෙදර කාට හරි කරදර කරලා ඔතන ටිකක් වෙලා බලාගෙන ඉන්නවා අලියගේ වැඩ .

ඉතින් ඔහොම ගිහින් ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ තමයි ළමා නිවාසයේ ළමයින් කොහොමද කියලා දැනගත්තේ . මොකද අපේ පන්තියෙත් හිටියා ළමා නිවාසෙන් ඉස්කෝලේ ආව ළමයෙක් . ඒ කාලේ ප්‍රයිමරියේ තියෙන්නේ ළමයි කණ්ඩායම් විදියට ඉඳගන්න සිරිතක්නේ . මේ ළමයාත් හිටියේ මම හිටපු කණ්ඩායමේම තමයි . ඉතින් මේ ළමයාගේ කතාව , අම්මා තාත්තා ගැන විස්තර එහෙමත් මට කියලා තියෙනවා . 

මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නම ඉඳලා තියෙනවා . අම්මයි තාත්තයි දෙන්නම කසිප්පු වෙළඳාම් කරලා පොලිසියට මාට්ටු වෙලා තමයි මේ ළමයා උසාවියෙන් ළමා නිවාසෙට දාලා තියෙන්නේ . ඒ ළමයට එකවසරේ උන්නට ඒ දේවල් කියන්න තරම් දැනුවත් කමක් තිබුණා . සමහරවිට හැදිච්ච පරිසරය නිසා වෙන්න ඇති . මොකද ඒ කාලේ අපිනම් කසිප්පු කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැනේ.

ඉතින් මේ ළමයාගෙන් සමහර දවස්වලට මම අහනවා කොහොමද ළමානිවාසේ විස්තර කියලා . වැඩිපුරම කියන්නේ එයාලට පොත් පත් එහෙම ලැබුණට ඒවා ළමානිවාසේ පාලක වරයා පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා . කොච්චර උනත් ඒ ළමයින්ට ඒ වගේ භෞතික සම්පත් දානමාන විදියට ඇතිවෙන්න ලැබිලා තිබුණා . ඒත් පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නැහැලු . ඒවා දන්නෙම නැතුව අඩුවෙනවලු . එක වසරේ හිටපු ළමයෙක් ඉතින් මේවා අඩුවෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති . ඒ උනාට පස්සේ කලෙකදී මම තේරුම් ගත්තා ඒවා අඩුවෙන්නේ කොහොමද කියලා .

මම පහවසරේ ඉගෙනගන්න කාලේ තවත් වෙන ළමයෙක් මුණගැහුනා . මේ ළමයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් . ඒත් අපේ පන්තියට තමයි දාලා තිබුණේ . නම් ගම් පවා මට තාමත් මතකයි . ඒ ළමයා ළමා නිවාසේ ඉන්න කාලේ ඉලෙක්ට්‍රික් වැඩ ටිකක් හොඳට ඉගෙනගෙන තිබුණ . සමහර දවස් වලට මේ ළමයා බලබ් සෙට් එක එක විදියට පත්තුවෙන  සර්කිට් වගේ දේවල් හදාගෙන ඉස්කෝලේ අරගෙන එනවා මිස්ට පෙන්නන්න . ඒවා හදන්න ඕන දේවල් එයාට කොහොම ලැබුනද කියන්න දන්නේ නැහැ . සමහරවිට ඒවා ගැන එයාලට ළමානිවාසේ ඉන්නකොට උගන්නන්න ඇති .

මේ ළමයා සපත්තු දාන්නේ නෑ . රබර් සෙරෙප්පු දාගෙන තමයි ඉස්කෝලේ ආවේ . ඇඳුම් හොඳටම කිළුටු වෙලා . අපි සමහර වෙලාවට අහනවා ඔයාට සපත්තු අරන් දෙන්නද කියලා . ඒත් ඒ ළමයා කියන්නෙම සපත්තු අපිට හම්බෙනවා . ඒත් මහත්තයා දෙන්නේ නෑ කියලා . ඒ කියන්නේ පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නෑ කියලා . ඒවටත් මොකද වෙන්නේ කියලා පස්සේ කාලෙක තමයි තේරුනේ . ඒ ළමයාගේ නම් අම්මා හිටියා . මොන හේතුවක් මත ළමා නිවාසෙට ආවද කියලා දන්නේ නෑ .

කොහොමහරි අවුරුදු 16 වෙනකල් මෙතන ඉන්න පුළුවන් . ඊට පස්සේ එයාලා මෙතනින් අයින් වෙලා යන්න ඕන . සමහර අය රස්සාවල් හොයාගෙන යනවා . තවත් සමහර අය ගමට යනවලු . ඒත් ගිහින් මොකද කරන්නේ කියලා දන්නේ නෑ . ටිකක් කල් යනකොට මේ ළමා නිවාසයේ පාලක වරයා මාරු උනා . වෙන කෙනෙක් පත්වෙලා ආවා . ඒ කෙනා ගැන කිසිම කෙනෙක්ගේ පැහැදීමක් තිබුණේ නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසෙට ලැබුණු දාන පවා අඩු උනා . අන්තිමට මේ කෙනා ළමා නිවාසයේ ළමයෙක් සමලිංගික සම්බන්ධයක් වෙනුවෙන් වෙනත් පිරිමි කෙනෙක්ට ලබා දීලා මාට්ටු වෙලා පොලිසියෙන් අල්ලලා ටික දවසකට ළමා නිවාසය වහලා දැම්මා . ඒ කාලේ ඇතුලත ළමයි ටික වෙනත් ළමා නිවාසයකට මාරු කරලා තිබුණා .

පස්සේ ආවේ ටිකක් වයසක කාන්තා පාලිකාවක් . එයා මුල කාලේ හොඳට පාලනය කරගෙන ගියා . පස්සේ එයාට කේස් ඒක වැටුණේ ළමයින්ට ලැබෙන දේවල් , ඒ කියන්නේ කිරි පිටි සීනි හාල් පොල් වගේ වියලි ආහාර සහ වත්තේ පොල් එයාගේ කඩයකට අරගෙන ගිහිල්ලා විකුණලා මාට්ටු වෙලා . ඔහොම වෙලා ඉතින් අස්ථාවර තත්ත්වයට පත් උනාට ළමා නිවාසය හොඳ තත්ත්වයකට ඇවිත් තාමත් කරගෙන යනවා .

අපි ඒ ගමේ අය උනාට , එයාලා අසරණ ළමයි උනාට , ගමේ අය වැඩිය මේ ළමයි එක්ක කතා කරේ එහෙම නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසයේ ඉන්න වෙලාවට අපි පවා මේ ළමයි එක්ක කතා කරන්නේ නෑ . ඉස්කෝලෙදි කතා කරොත් විතරයි . ඒ කෙසේ වෙතත් ළමා නිවාසෙට වයලීනොගේ උපන් දිනයට දානයක් නම් දෙනවා . එදාට තමයි ඕක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා සහසුද්දෙන්ම දැනගන්න ලැබෙන්නේ .

ඉතින් මේ ළඟදී දවසක දානයක් දෙන්න දානය අරගෙන ළමානිවාසයට ගියාම වෙනදා දකින ළමයි කීප දෙනෙක් දැක්කේ නෑ . පස්සේ දැන් ළමානිවාසය භාරව ඉන්න පාලිකාව ගෙන් ඇහුවම එයා කිව්වේ ඒ ළමයි හමුදාවට බැඳිලා කියලා . වයස සම්පූර්ණ උනාට පස්සේ ඒ අය ඒ ඒ විදියට එක එක දේවල් වලට සම්බන්ධ වෙනවලු . ඒත් පොඩි ළමයි කීප දෙනක් අඩු නිසා ඇහුවම කිව්වේ ඒ ළමයි සමහර පවුල් වලින් නීතිමය පදනම යටතේ හදාගන්න අරගෙන කියලා . එක ළමයෙක් ඉතාලියේ ජීවත්වෙන සිංහල පවුලක් හදාගන්න අරගෙන ගිහින් .

ඉතින් එදා දානේ බෙදන වෙලාවේ ළමා නිවාසේ හිටපු ලාබාලම ළමයා ගැන අපේ ගෙදර හැමෝම අවධානය යොමුකලා . හරිම හුරතල් පොඩි එකෙක් . අහිංසක හිනාවක් එක්ක පැත්තකට වෙලා බිම වාඩිවෙලා සෙල්ලම් කරනවා . මම ගිහින් අතින් අල්ලගෙන කතා කරලා එන්න අපි ෆොටෝ එකක් ගමු කිව්වම ඒ ළමයත් නැගිටලා ආවා . පස්සේ අපි ගෙදර කට්ටියත් එක්ක ෆොටෝ ගත්තා .

ඒ ළමයා දැක්කම හරිම අනුකම්පාවක් ඇති උනා ළමා නිවාසයේ ඉන්න ඔක්කොම ළමයි ගැන . කොහොමහරි ගෙදර හැමෝම වගේ මේ ළමයට තමයි වැඩිපුර දානේ බෙදුවේ . අනිත් ළමයින්ට බෙදුවට එපා කිව්වත් කොච්චර දැම්මත් මේ ළමයා සද්ද නැතුව ඉන්නවා . පස්සේ කාලා ඇති උනාම නැගිටලා මේසෙට වැටිලා තියෙන ඉඳුල් පිහදාල අත හෝදන්න පිඟානත් අරගෙන ගියා . පොඩි උනාට ළමා නිවාසයේ පාලිකාව මේ දේවල් ළමයින්ට උගන්නලා තියෙනවා කියලා එදා හැමෝම කතා උනා . ඇත්තම කියනවනම් ළමා නිවාසේදී ළමයින්ට ගුණධර්ම ගැන නම් කියලා දෙනවා මදි . අම්මා තාත්තා දෙන්නගෙන් වෙන්න ඕන දේවල් ඉතින් වෙන කෙනෙක්ගෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැනේ .

ඒ ළමයි ඉන්න හැටි දැක්කම හිතට මහ අමුතුම දුකක් දැනුනා . මොකද අම්මා තාත්තා නැතුව ඒ ළමයි තනියමම ගෙවන මේ ජීවිතය කොච්චර කටුක එකක්ද ? . අඩුම තරමේ යන එන තැන නොතැන ගැනවත් හරියට හෙවෙන්නේ නැතිතරම් . ඉස්කෝලේ යනවා කියලා උදේට ගියාම , දවල්ට එනකල් මේ ළමයි කොහෙද ගියේ කියලවත් හොයන්න කෙනෙක් නෑ . සමහර දවසට ළමයි රොත්ත පිටින් එනවා පේනවා . පොඩි ළමයි සමහර වෙලාවට බාටා සෙරෙප්පු දාගෙන ඉන්නේ . සමහර ළමයින්ට සෙරෙප්පු වත් නැහැ . මේ ළමයි දුකට ඇඩුවත් නලවන්න කවුරුවත් නෑ . අම්මා තාත්තා කවුද කියලවත් දන්නේ නැති ළමයි මෙතන ජීවත් වෙනවා . කාලයක් හරි අම්මා තාත්තා එක්ක ජීවත් වෙච්ච අයට වඩා ඒ අය වෙනුවෙන් හැමෝගෙම අවධානය යොමුවෙන්න ඕන කියලා තමයි මමනම් හිතන්නේ . මොකද මොනවා නැතත් අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න අමාරු නිසා .

මේ හැමදේම එක්ක තමයි මේ ගීතය මතක් උනේ . වැඩිය රේඩියෝ ටීවී වල ඇහෙන්නේ නැති ගීතයක් . ඒත් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා . තනුව රෝහණ වීරසිංහ මහත්මයාගේ . ගායනය කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා .

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ

ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ

ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ









වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment