චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ( පැනලා යන්න ඉන්න අයට )








මේ මාතෘකාවත් එක්ක දිග ගමනක් යන්න කියලා හිතාගෙන තමයි මේ ලියන්න පටන් ගන්නෙ  . ඒ නිසා ලියන්න කලින්ම මම හිතනවා ටිකක් දිග වැඩි ලිපියක් වෙයි කියලා මේකත් . එහෙනම් ඔන්න පටන් ගත්තා .

පුංචි අම්මා දැන් පැන්සොන් කියලා ඔයාලා දන්නවා ඇතිනේ . හැබැයි ගුරු භූමිකාවට තිත තියයි කියල හිතුවට මොන තිත්ද , ඔන්න දැන් ටියුසොන් එක බැහැලාම කරන්න තමා පිඹුරුපත් හද හද ඉන්නේ . පුංචිගේ ටියුෂන් එක ගැනත් යමක් කියන්න ඕන . මට හයක් හතරක් නොතේරෙන පොඩී කාලේ පවා අපේ පුංචි ටියුෂන් එක කළා .


ගෙදර කරපු ඒ ටියුෂන් ජීවිතයටත් දැන් අවුරුදු 25ක් විතර වෙනවා මම හිතන්නේ . ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහා තියෙන කාමරේට කියන්නේ පංති කාමරේ කියලා . ඒකෙ ලොකු බෝඩ් එකක් බිත්තියේ එල්ලලා ඩෙස් බංකු දාලා තමයි ක්ලාස් එක කරගෙන ගියේ . ඒ ක්ලාස් එකට ආව ළමයින්ගේ ළමයිනුත් අද වෙනකොට පුංචිගේ ක්ලාස් එකට එනවා . ඒ අයියලා අක්කලා ආවම සමහර වෙලාවට අතීතය මතක් කරනවා . ඉස්සර මල්ලිලාගේ ආච්චි අම්මා තමයි අපිට චක්කරේ වැරදුනාම මතක් කරන්නේ කියලා එයාලා වැඩි හරියක් කියලා තියෙනවා . 

පුංචිගේ පංති කෙරුවාවේ එදා ඉඳලා නොකඩවා කරගෙන එන දේවල් කීපයක් තියෙනවා . පන්තියට ආව ළමයා පන්තියෙන් පිටත් වෙනකොට පංති පොතේ අන්තිම පිටුවේ දිනය සහ වෙලාව දාලා පුංචි අත්සන් කරනවා . පස්සේ ළමයා ගෙදර ගියාම ගෙදර ගිය වෙලාව කීයද කියලා ලියලා ගෙදර කෙනෙකුත් අත්සනක් දාන්න ඕන . ළමයි ක්ලාස් ඇරිලා ගෙදර යනවද වෙන කොහේවත් යනවද නැද්ද කියලා දැනගන්න පුංචියි ඒ ළමයින්ගේ ගෙවල් වල අයයි අතරේ තිබ්බ ඔත්තු සේවාව උනේ මේ අත්සන් කෙරුවාව . බැරිවෙලාවත් ඔන්න වෙලාව එහා මෙහා වෙලානම් ඉතින් නඩු හැටයි . හැබැයි ක්ලාස් එකේ ඒ කාලේ ළමයි ගොඩක් හිටියා . මේ ක්ලාස් එකේ අනිත් සම්ප්‍රදාය තමයි හැම කෙනාම ක්ලාස් එක ඇරිලා යන්න කලින් පුංචිට චක්කරේ පාඩම් දීලා යන්න ඕන . 

අද දෙවරක් නම් ලබන සතියෙත් ඉතින් ඒත් දෙවරක්ම තමා . දෙවරක් හොඳට පුලුවන් උනාම තුන් වරක් . ඔහොම ඔහොම ඔක්කොම වරක් ටික ඉවර උනාම චක්කරේ අග ඉඳලා මුලට කියන්න ඕන . ඒ කියන්නේ දෙවරක් දහතුන විසි හයයි , දෙවරක් දොළහ විසිහතරයි , දෙවරක් එකොළහ විසි දෙකයි කියලා . ඉතින් මෙහෙම චක්කරේ දෙන්න බැරි උනාම අල්ලට වේවැලෙන් දෙකක් හම්බෙනවා . නැත්නම් ඊළඟ දවසේ අම්මා එක්ක එන්න කියනවා . ඔන්න ඔහොමයි ක්ලාස් එක . ඒ ක්ලාස් එකේ හැමෝම වගේ ගණන් ගොඩදාගත්තා . චක්කරේ වරදින වෙලාවට අපේ ආච්චි අම්මා තමයි වැරදි හදන්නේ . දෙවරක් දෙක හය නෙවෙයි හතරයි කියලා ආච්චි අම්මා වැරදි හදනවා . 

මේ ක්ලාස් එකට වැඩි හරියක් ආවේ දුප්පත් අම්මලා තාත්තලාගේ ළමයි . ඒ නිසා සල්ලි නම් ලැබුණේ හරිම අඩුවෙන් . මට මතක කාලේ පුංචි ගත්ත මුල්ම පංති ගාස්තු මුදල රුපියල් සීයක් පමණි . ඒකත් ලැබුණේ නෑ . පුංචි ඉල්ලුවෙත් නෑ . දුන්නත් එකයි නැතත් එකයි , හැමෝටම එක වගේ ඉගැන්නුවා . පස්සේ පස්සේ ක්ලාස් එකට එන ළමයි අඩුවෙලා ගිහින් එහෙමම ගෙදර ක්ලාස් කරන එක නැවතුනා . ඊට පස්සේ තමයි ඉස්කෝලේ හවස පංති දැම්මේ . ඒවා නම් නොමිලේම තමා කලේ . ඊටත් පස්සේ ඔන්න ටවුන් එකේ පොට් එකක් අල්ලගෙන පොඩියට ක්ලාස් කරන්න පටන් ගත්තා . තාමත් ඉතින් ඒ ක්ලාස් එක පොඩියි . 







ඉතින් අද කියන්න යන ගීතයට හූමිටි තියන්න එන්නේ අපේ පුංචිගේ මේ ක්ලාස් එක . පුංචිගේ ක්ලාස් එකට ඉස්සර ඉඳලා ආපු ළමයෙක් හිටියා . ගෑණු ළමයෙක් . පුංචි උගන්නපු ඉස්කෝලෙක ළමයෙක් . මහලොකු ලස්සනක් ඇත්තෙත් නෑ . හැබැයි කැතක්ම කියලා ඇත්තෙත් නෑ . ඒ ගෑණු ළමයා අනිත් අය දිහා බලන බැල්මේ පොඩි අවුලක් තිබ්බා . ඒ ළමයා බලන්නේ ඇස් කොනෙන් වගේ පැත්තට හැරිලා . ඉතින් කොල්ලෝ ගොඩක් ඔය බැල්මට අහුවෙනවා . ඉස්කෝලේ කාලේ ඉඳලා නඩු කෝටියක් විතර කෙලවර උනේ මේ ගෑණුළමයගෙන් . ඕවා ඉතින් ගෙදර ඇවිත් පුංචි මාත් එක්කත් කියනවා . 

මේ ළමයාගේ අම්මා තාත්තා දුප්පත්ම අය නෙවෙයි . මහා ලොකු සල්ලියක් නැතත් මේ අය හොඳට ජීවත් වුණා . ඒ වඩේ රෝල්ස් කට්ලට් පැටිස් විකුණලා . එයාලාට එයාලගෙම වාහන දෙකක් තිබුණා . ෂෝ කේස් ගහපු ලොරියක් සහ ත්‍රී විල් එකක් . ඒවයින් හැමදාම හවසට මේ කෑම ජාති ටවුන් එකේ එක එක තැන් වල විකුණලා තමයි මේ අය ජීවත් උනේ . පුංචි මාත් එක්ක කිව්ව හැටියට ඉතින් සල්ලි අවුලක් නෑ . ඔය ගෑණු ළමයා කවුද කියලා බලන්න ඕන නිසා මමත් දවසක් පුංචිගේ ක්ලාස් පැත්තේ කැරකිලා පුංචිගෙන් අහගත්තා කවුද ඩයල් එක කියලා . 

ගිය සතියේ පුංචි ක්ලාස් ඇරිලා ගෙදර ආවා . ඇවිත් කිව්වේ මාර සීන් එකක් . ඒ ගෑණු ළමයගේ අම්මා ඇවිල්ලා ක්ලාස් එකට ඒ ළමය එක්ක යන්න . ඉතින් පුංචි කියලා ළමයා ආවේ නෑනේ අද කියලා . පස්සේ මේ අම්මා හිනා වෙලා ඉඳලා . අම්මා හිතලා තියෙන්නේ පුංචියි කාඩ් මාක් කරන කෙනයි විහිලු කරනවා කියලා . බලනකොට ඇත්තටම දුව ක්ලාස් එකේ නෑ . ඒ අම්මට දෙලොව රත් වෙලා . මොකද ඒ ළමයාගේ ඉතිහාසය හොඳ නැති නිසා අම්මා පස්සෙන්ම තමා හිටියේ . ඒත් වෙලාව ලැබුණ මොහොතේ මේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා . ඒක කිව්ව වෙලාවේ වයලීනොටත් හරිම අප්සැට් . ඒ කෙල්ල ගැන නෙවේ . කෙල්ලගේ අම්මා තාත්තා ගැන . වැඩි වයසක් තියෙන දෙන්නෙක් නෙවෙයි . ජීවත් වෙන්නයි ළමයින්ගේ වැඩ කරන්නයි මේ දෙන්නා මාර විදියට මහන්සි වෙනවා . ඒ අම්මා වඩේ හදන ඒවා අතරේ ළමයි එක්ක යන්න එක්ක එන්න පරිස්සම් කරන්න ඒ වැඩත් කරා . ඒත් අන්තිම මොහොතේ පොඩ්ඩ මිස් උනා විතරයි කෙල්ල පැන්නා .







හැබැයි අපේ පුංචි ළමයින්ගේ මේ වගේ ප්‍රශ්න වලට කලිනුත් මූණ දීලා තියෙන නිසා කලබල උනේ නෑ . එයා කිව්වෙම ගෙදර ගිහින් පොඩ්ඩක් දන්න කියන තැන් වල හොයන්න කියලා . ඒත් මේ අම්ම තාත්තා බයටම පොලිසි ගිහින් තමයි අනිත් තැන්වල හෙව්වේ . මෙයාලා දැනගෙන හිටියා එක කොල්ලෙක් එක්ක දුව අවසන් වරට ලවක් පැවැත්වුවා කියලා . අන්තිමට ඉතින් හොයලා බලනකොට දුව හිටියේත් ඒ කොල්ලගේ ගෙදර තමයි . ඒ අම්මා අපේ පුංචිට කෝල් කර කර වැලහින්න වගේ අඬනවා දහඅතේ දෙස් දෙවොල් තිය තිය . කාටවත් නෙවේ , තමන්ගේ දුවටම තමා . ඒ තාත්තා කෙලින්ම කියලා තියෙන්නේ ඕකි ගෙදරට වැද්ද ගන්නේ නෑ , පරිවාසේට යවන්න ඕන කියලා . නැත්නම් අනිත් ළමයා හදාගන්න වෙන්නෙත් නෑ කියලා .

පස්සේ අපේ පුංචි සියලු අවවාද ටෙලිෆෝන් එකෙන්ම දුන්නා . මේක වෙන අයට කියන්නේ නැතිව වැඩිය ආරංචිය පිට යන්න නොදී තියාගන්න . ළමයා ගෙදර එක්ක එන එක තමා වඩාත්ම හොඳ . අඩු වයස නිසා මේක අවුල් කරගන්නේ නැතිව පිළිවෙලට විසඳගන්න . කසාද බඳින්නත් බැහැ දැන්මම . ඒ නිසා පස්සේ ඒ කොල්ලටම බන්දලා දුන්නත් කමක් නෑ වයස හරියනකල්වත් ගෙදර නවත්තගන්න කියලා . පස්සේ පුංචි තව දුරටත් කිව්වා හොස්පිටල් ඇඩ්මිට් කරලා ළමයා චෙක් කරවලා ඊළඟට කරන දෙයක් කරන්න කියලා . 

මටනම් වැඩිපුරම දුක ඒ අම්මා තාත්තා ගැන . කොච්චර නම් මහන්සියක් වෙනවද ළමයින්ට හොඳට උගන්නන්න . ඒත් ඒ ළමය ඒවා ගැන හිතුවේ නෑ . කාගේද වැරැද්ද කියලා හිතාගන්න අමාරුයි . හැබැයි වැඩි වගකීමක් යන්නේ ළමයා අතටම තමයි කියලා තමයි මමනම් හිතන්නේ .







පාසැල් ප්‍රේමය කාටත් පොදු දෙයක් වෙන්න පුළුවන් . ඒත් ඒක නැති වීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි . තිබිලා නැතිවීමත් අසාමාන්‍ය දෙයක් නෙවෙයි . සිංදුවා හැදුවේ මාවත් උගේ බෝට්ටුවටම දාගන්න . ඒත් මමනම් යයි ඌ ගිය බෝට්ටුවේ හැක හැක හැක . වැඩි දෙනෙක් කියන්නේ පාසැල් ප්‍රේමය පාසලේම නැවතුනා කියලා . කොහොමින් කොහොම හරි මම මේ කිව්ව කතාවේදී උනේ ඒ ගෑණු ළමයාගේ අම්මලා තාත්තලාගේ මහන්සිය , ගුරුවරුන්ගේ මහන්සිය , ඒ ළමයා පරිස්සම් කරන්න අපේ පුංචි ගත්ත මහන්සිය හැමදේම පැය කීපයකින් අවලංගු කරලා දාපු එක . මේ ළමයා සමහරවිට දැන් අන්ද මන්ද වෙලා ඉන්නේ සත්‍ය අවබෝධ වෙලාද දන්නේ නෑ . අවබෝධ උනත් දැන් ඒ ළමයා තමන්ගේ නමේ ගාගත්ත මඩ පැල්ලම කවදාවත් මකලා අයින් කරන්න වෙන්නේ නෑ .

ගෑණුන්ට සමහර වෙලාවට පහළවෙන හැඳිමිටේ මොලේ ගැන කියනකොට මට මේ වෙලාවේ මතක් වෙනවා ජයසේන ජයකොඩි මහත්මයා ලියලා තියෙන පිච්ච මල නවකතා මාලාවේ දෙවෙනි පොත , අරලියමල් ආරාමය කියන පොතේ ලියවිලා තියෙන සිදුවීම් කීපයක් .

මල් ගොටුව සහෝදරිය අත තැබූ සුමේධා හාත්පස ම බලා තෙරණුවන් කරා එළඹ දණගසා වැඳ මදක් වෙවුලමින් ගතකොට අධිෂ්ටානයක් ක්‍රියාත්මක කරන්නියක සේ එකවිටම උන්වහන්සේගේ දෙපයම සිඹ , ක්ෂණයෙන් නැගී සිටියාය .

ඔන්න ඔතනින් පටන්ගන්න සුමේධා සහ රාහුල තෙරණුවන්ගේ කතාව අන්තිමට ඉවර වෙන්නේ සුමේධා , ගමේ ලියුම් බෙදන මුනිදාසට කියලා හදා ගත්ත දරුවා රාහුල හාමුදුරුවන්ට දාව ඉපදුන ළමයෙක් කියලා බොරුවක් හදලා හාමුදුරුවන්ගේ නමටත් කැළලක් කරලා . ඒ වෙලාවේ හාමුදුරුවෝ ඒ වෙනුවෙන් ප්‍රතික්‍රියා කරපු හැටි ගැන අපි පස්සේ බලමු . මේ දේ වෙන්න කලින් සුමේධා කියන තරුණිය හාමුදුරුවන්ව තමන්ගේ කරගන්න නොකළ දෙයක් නෑ . හාමුදුරුවෝ තමන්ගේ කරගන්න අන්තිම තුරුම්පුව විදියට තමයි සුමේධා මේ කාගේවත් ළමයෙක් හාමුදුරුවන්ගේ කියලා කතාව වෙනස් කලේ .

ඔයාලත් පොත හොයාගෙන කියවලා බලන්න . ජීවිතය ගැන අලුත් විදියකට හිතන්න ඒ පොත් අටම ගොඩක් හොඳයි කියලා වයලීනෝ විශ්වාස කරනවා . ටිකක් ඈත කාලයේ කියවපු රොබින්සන් කෲසෝ තමයි මම කියවපු හොඳම චරිතය . තාමත් හිතේ හොල්මන් කරන්නේ කෲසෝ තනියම තමන්ගේ ජීවිතය ගොඩගත්ත හැටි ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත හැටි . දියුණු වෙන්න නම් මනුස්සයෙක්ට කෲසෝ හොඳ ආදර්ශයක් . ඊට පස්සේ ලැබුණ හොඳම චරිතය තමයි පිච්චමලේ රාහුල හාමුදුරුවෝ . ඔයාලත් කියවලා බලන්න .







ඉතින් මට කියන්න ඕන උනේ ආදරය කියන මාතෘකාව හමුවේ මේ ගෑණු ළමයි කොච්චර ඉක්මන් වෙනවද මෝඩ වෙනවද සහ කපටි වෙනවද කියන එක . ජෛවීය විද්‍යානුකූලව හා ප්‍රවේණි විද්‍යානුකූලව මානව ලිංග නිර්ණය සඳහා දායක වෙන්නේ X වර්ණදේහය සහ Y වර්ණදේහය . මේවායින් එකක් අම්මගේ . අනික තාත්තාගේ . මේ වර්ණ දේහ වලින් තමයි ගැහැණු පිරිමි ගතිලක්ෂණ ප්‍රවේණිගත කරන්නේ . ඒ කියන්නේ අලුත් පරපුරට ලබා දෙන්නේ . XX උනොත් ඉපදෙන්නේ කාන්තාවක් . XY උනොත් ඉපදෙන්නේ පිරිමියෙක් .





මේ වර්ණදේහ දෙකෙන් Y වර්ණදේහය X වර්නදෙහයට වඩා ටිකක් කොටයි . ඒ නිසා X වර්ණ දේහය මගින් අරගෙන එන ඔක්කොම ලක්ෂණ පිරිමින් තුලින් එලියට ප්‍රකාශ වෙන්නේ නෑ . හැබැයි කාන්තාවන්ගේ එහෙම නෙවෙයි . එයාලාට තියෙන්නේ එකම සයිස් වර්ණදේහ දෙකක් නිසා ඒ දෙක යුගල් උනාම ඒ වර්ණදේහවල තියෙන ලක්ෂණ වැඩි ප්‍රමාණයක් පිටතට පෙන්නුම් කරනවා . කාන්තාවන් සියල්ලටම පොදු ලක්ෂණ සහ සිතුම් පැතුම් හැසිරීම් ගොන්නක් තියෙනවා . මමනම් හිතන්නේ මෙන්න මේ වර්ණදේහ පසුබිමත් හේතු වෙනවා කියලා කාන්තාවන්ගේ මේ පොදු ලක්ෂණ ඔක්කොම අරගෙන එන්න . කාන්තාවන්ට මෝඩමල් පිපෙන්නේත් මේ වර්ණදේහ සීන් එක නිසා කියලා තමා වයලීනෝ විශ්වාස කරන්නේ .

ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව බැලුවමත් කලින් විවාහවෙන , පැනලා යන , දෙකතුනක් එක්ක යන ග්‍රහ පිහිටීම් තියෙනවා . ඒවා අනුව ඉස්සරනම් කෙල්ලෝ පරිස්සම් කරලා තියෙනවා . ඒත් දැන් ඒවා පිළිගන්නේ නැති නිසා ඒ සයිඩ් එක මත පිහිටලා කෙල්ලෝ පරිස්සම් කරන බවක් නම් පේන්නේ නෑ .

කුජ ග්‍රහයාගේ බලපෑම , සඳු ග්‍රහයාගේ බලපෑම නිසා කෙල්ලෝ පැනලා යන්න පුළුවන් . නැත්නම් ඉක්මන් විවාහ වෙන්නත් පුළුවන් . අඩු වයසේදී සිකුරු මහදසාව ලැබුවොත් ඒ අයත් ටිකක් ඉක්මනටම සරුංගල් යවනවා කියලා ජෝතිෂ්‍ය විජ්ජාවේ කියනවා . තවත් ග්‍රහ යෝග කීපයක්ම තියෙනවා මෙහෙම ඉක්මන් විවාහවෙන යෝග විදියට සලකන ඒවා .

ඉක්මන් විවාහය ගැන කියවෙන තවත් මතයක් තමයි කොටහළු මංගල්‍යය ඉතාමත් උත්කර්ෂවත් විදියට ගත්තොත් ඒ ගෑණු ළමයා ඉක්මනට පැනලා යනවා කියන එක . ඒක දැනට අවුරුදු පනහකට හැටකට ඉස්සර කාලේ තිබ්බ මතයක් . අද වෙනකොටනම් ඒක පිළිගන්න බෑ . මොකද හැමතැනකම වගේ කොටහළු මංගල්‍ය උත්කර්ෂවත් විදියට දැන් ගන්න නිසා .

ඔය ඔක්කොම උනා කියමුකෝ . ඉතින් දෙන්නෙක් අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙන්න බලපාන විවිධ හේතු තියෙනවා . සමහර අය දැක්ක ගමන් හිත බැඳුනා වාසනාවේ දොර ඇරුනා කියලා දොර ඇතුලට රිංගවනවා . පස්සේ තමයි තේරෙන්නේ ඇරපු දොර ඇරියම තමයි කියල . ඊට පස්සේ ඉතින් ගැලපුනා නොගැලපුනා ඒ දොරෙන් තමා ඇතුලට යෑම් සහ ටික කාලෙකින් ප්‍රතිපලය පිටතට ඒම් .







සමහර අය කාලයක් ආශ්‍රය කරලා ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා . ප්‍රේම සම්බන්ධතා ඇවිත් වීමේ වඩාත් වැඩි සම්භාවිතාවක් තියෙන්නේ සහෝදර ප්‍රේම වලට තමයි . අයියේ නංගියේ කියලා පටන් ගන්න සහෝදර ප්‍රේමය පස්සේ ඔයා මෙයා ප්‍රේමයක් වෙලා පැට්ටෝ පැට්ටි ප්‍රේමයක් දක්වා දුරදිග යනවා . සමහරවිට සහෝදර ප්‍රේමය එක්ක දෙන්නෙක් වඩාත් වැඩිපුර ලං වෙන නිසා පස්සේ ඔයාමෙයා ප්‍රේමයක් ඒ තුලින් හටගන්නවා වෙන්න පුළුවන් . කලාතුරකින් තමයි ඔයාමෙයා ප්‍රේමයක් ඇතිවෙලා ඒක නැතිවෙලා සහෝදර ප්‍රේමයක් බවට පත්වෙන්නේ . හැබැයි ඉතින් ඒක දෙන්නා විවාහ උනාම දෙන්නගේ නෝනටයි මහත්තයාටයි මාට්ටු උනාම ඔක්කොම ඉවරයි .

ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්න තව මෙන්න මේ දේවලුත් හේතු වෙන්න පුළුවන් .

- කාලයක් ආශ්‍රය කරපු දෙන්නෙක්ගේ සිතුවිලි එකිනෙක සමාන වෙලා ඒවා එකට යා වීම . එයත් හිතන්නේ මම වගේ . මමත් හිතන්නේ එයා වගේ කියලා හිතලා අපිට එකට ජීවත් වෙන්න පුළුවන් කියල හිතලා සමහර අය ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්නවා . හැබැයි මෙතනදී දෙන්නා අන්ධ වෙන්නත් පුළුවන් . එක්කෙනෙක්ට අනිත් කෙනා ඕන නිසා තමන් විහින් තමන්ට නොගැලපුනත් ගැලපෙනවා කියලා හිතලා යාලුවෙන වෙලාවලුත් තියෙනවා . ඒක ඉතින් කරුමේ තමා . පස්සේ තමා කරුමේ පල දෙන්නේ .

- තවත් සමහර අයට ගෙදරින් ලැබෙන ආදරය අඩු උනාම ප්‍රේම සම්බන්ධතාවලින් ඒ අඩුව පිරිමහ ගන්න යනවා . සමහරවිට අම්මලා තාත්තලා කාර්යබහුල නිසා ළමයින්ට ලං වෙනවා අඩු ඇති . ඒත් ළමයි වරද්ද ගන්න තැනත් මෙතනම තමයි . කොච්චර නෑ කිව්වත් ගෙවල් වලින් තමන්ට ලැබෙන ආදරය අඩු වෙන්නේ නෑ . උනොත් වෙන්නේ අවධානය අඩුවෙන එක විතරයි . ඒක ඉතින් එක එක්කෙනා ලබා උපන් හැටි කියල හිත හදාගන්න තියෙන්නේ .

- සමහර වෙලාවට තමන්ගේ යාලුවෝ ඔක්කොටම සහකරුවෙක් සහකාරියක් ඉන්නවා . මට විතරක් තමයි නැත්තේ කියලා ඔන්න දැක්ක පලියට හොඳයි කියලා දෙන්නෙක් අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇතිවෙන්න පුළුවන් . මේවාට ඒ යාළුවන් විහින්ම පොහොර දාලා ඔක්කොම සෙට් කරලා දෙනවා .

- සමහර අය ඉන්නවා අනිත් කෙනාට අනුකම්පා කරන අය . සල්ලි තියෙන කෙනා නැති කෙනාට අනුකම්පා කරනවා . අහිංසක කමට අනුකම්පා කරනවා . මේ වගේ ඇතිවෙන යාළුමිත්‍රකම් අන්තිමේදී ප්‍රේම සම්බන්ධතා බවට පත් වෙන්න පුළුවන් . 

- විනෝදය සඳහා ප්‍රේම සම්බන්ධතා ඇතිකරගන්න අයත් ඔය අතරේ ඉන්නවා . ගමේ එකයි , ටවුමේ එකයි , රූම් එකට යන්න එකයි , බස් එකේ යනොට එකයි . මෙහෙම මෙහෙම විනෝදය සඳහා ප්‍රේම කරන අයත් ඉන්නවා . සමහර අය මෙතැනින්ම තමන්ගේ ලිංගික ආසාවන් සම්පූර්ණකරගන්නත් පෙළඹෙනවා . මේ චෝදනාව නම් කෙල්ලන්ට එල්ල වෙනවා අඩුයි . වැඩිපුරම කොල්ලන්ට තමා චෝදනාව යන්නේ .

- තවත් අවස්ථා වලදී බයට යාලු වෙනවා . කෙල්ල දුර්වලයි . කොල්ලා බලවත් . මාත් එක්ක යාලුවෙයන් කියලා කියන බලකිරීම නිසාම දෙන්නා යාලු වෙනවා . 

- සමහ‍ර අය පාළුව තනිකම මකා ගන්න ප්‍රේම කරනවා . ඒවා ප්‍රේමද මොනවද මන්දා . හැබැයි එහෙම තමයි කියන්නේ . fb චැට් , ටෙලිෆෝන් චැට් මැසේජ් චැට් එව්වා මෙව්වා එන්නේ මේ කැටගරියට .

- සමහර කෙල්ලෝ තමන්ට පෙනෙන කඩවසම් , කීර්තිමත් , දක්ෂ , GPA එක වැඩි , සල්ලි තියෙන , පවුල් පසුබිම උසස් කොල්ලන්ට ප්‍රේම කරනවා . ඒකත් එක විදියක මෙව්වා එකක් තමා .

- ඔය ඔක්කොමත් නැත්නම් තවත් සමහර අය ප්‍රේම කරන්නේ තමන්ගේ මනෝ ලෝකයේ ඉන්න චරිතයකට . සමහර විට තමන් තමන්ගේ වෙනවානම් හොඳයි කියලා හිතාගෙන ඉන්න චරිතය වගේ කෙනෙක්ට ප්‍රේම කරනවා . 

ඔය කොහොම කරත් අන්තිමේදී ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යනකොට තමයි කෙලවෙන්නේ . ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න . ප්‍රේමය නිසාම මේවා පටන් ගත්තට කීයක් ඒවා ගැන හිතන්න වෙනවද අන්තිමට . අම්මලා තාත්තලාගේ විරෝධතා , පාසැල් නීති රීති , විභාග වලට සූදානම් වීම් , එව්වා මෙව්වා ප්‍රශ්න ගොඩයි . ඉතින් මේවා අස්සේ ප්‍රේම කිරීමත් බැලන්ස් උනොත් තමයි වැඩේ ගොඩ යන්නේ . එහෙම නැතිව එක පැත්තකට බර උනොත් ඔන්න අවුල් වෙනවා . පැනලා යන්න තීරණය කරන්නේ අන්න එහෙම අය . මට තව දුරටත් ඉගෙන ගන්න බෑ . තව කල් ඉවසගෙන ඉන්න බෑ . වගේ තීරණ නිසා පැනලා යන්න පෙළඹෙනවා .

ඒත් පැනලා යන්න හිතන අය හිතන්න ඕන තම තමන්ට ඒකට හයියක් තියෙනවද නැත්ද කියලා . විවාහය කියන්නේ පොතේ ලියලා එක වහලක් යටට වෙන එකම නෙවෙයි . සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයෝ වෙලා එක වහලක් යටට ආවට දෙන්නෙක් එකට ජීවත් වෙනකොට සම්පූර්ණ වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා . දෙන්නගේ සමාජ පසුබිම ගැලපීම , හැසිරීම් , ඕනා එපාකම් ගැලපීම , අධ්‍යාපන මට්ටම් , ආර්ථික ස්ථාවරත්වය අරවා මේවා වැඩ ගොඩයි ඉතින් . එක , දෙක තුන උනාම තවත් ප්‍රශ්න . ඉතින් මේවා විසඳගන්න පුළුවන් උනා කියලා අම්මා තාත්තා රවට්ටලා පැනලා යන එකත් ඉතින් නුවණට හුරු දෙයක් නෙවෙයි .

ගැළපෙන්නේ නැතිව එක වහලක් යටට එන අය ඉන්නවනම් ඒ අය තරයේ හිතා ගන්න ඕන මේවා ඔක්කොම ඉවසාගෙන විඳ දරාගෙන එකට ජීවත් වෙන්න පුළුවන් නම් විතරක් විවාහ වෙන්න . ඒ කාලය අතරතුර දෙන්නා පරිස්සමෙන් කල් ගෙවීමත් වැදගත් . පිරිමින්ට නම් නා ගත්තම ශේප් . ඒත් ගෑණු ළමයි මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕන . නැත්නම් ගැළපීම නොගැළපීම තේරුම් ගන්නකොට වෙන කසාදයක් කරගන්න බැරි තත්ත්වයටම පත් වෙලා . ඒ නිසා අවබෝධය තමයි අංක එක වෙන්න ඕන . ඒක නැත්නම් නිකා ඉන්න එක තමයි වඩා හොඳ .

ඔන්න ඔය කිසිම දෙයක් ගැන දන්නේ නැති වඩු වැඩ කරලා තමන් සහ තමන්ගේ දුවව පෝෂණය කරපු තාත්තා කෙනෙනක් ජීවත් වුණා ගාල්ල පැත්තේ එක ගමක . මේ ගමේම වෙනත් ගෙදරක නැවතිලා ඉඳගෙන පාසැල් ගියපු එක තරුණයෙක් හිටියා . ඒ තරුණයා හැමදාම වගේ පාසැල් ගියේ ආවේ මේ වඩුමඩුව තියෙන තැනින් වැටිලා තියෙන පාර දිගේ . සමහර දවසට වැස්ස තද උනාම මේ තරුණයාත් මේ වඩු මඩුවට එනවා හෙවනක් හොයාගෙන .

මේ වඩු බාසුන්නැහෙ තමන්ගේ දුව එක්ක ජීවත් උනේ මේ වඩු මඩුවට අල්ලලා හදලා තියෙන පොඩි නිවහනේ . ඉතාම දුක්බර ජීවිතයක් ගෙව්වත් මේ අයට එදා වේල කොහොමහරි හම්බකරගෙන පන ගැටගහගන්න හැකියාව තිබුණා . සමහර දවසට මේ පාසැල් යන තරුණයාත් දකිනවා වඩු බාසුන්නැහෙගේ දුව ගෙදර මිදුලේ ඉන්නවා . ඔහොම ටික කාලයක් යනකොට දවසක් මේ තරුණයා පාසැල් ගිහින් එනකොට වඩු බාසුන්නැහේ ඉන්නවා වඩු මඩුවට වෙලා කල්පනා කර කර . මූණත් මැලවිලා . මොකද වෙලා තියෙන්නේ ? අර දුව කවුද කොල්ලෙක් එක්ක පැදුරටත් නොකියාම පැනලා ගිහිල්ලා . මේ තරුණයාගේ සංවේදී හදවතේ පැළපදියම් වෙච්ච මේ සිද්ධිය පසුකාලයේ ඔහුගේ අතින්ම ගීතයක් බවට පත් වුණා . ඒ මෙන්න මේ ගීතය .

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ




ගී තනුව - රෝහණ වීරසිංහ




ගායනය - සුනිල් එදිරිසිංහ






 
පුංචිගේ පංතියේ හිටපු ගෑණු ළමයා පැනලා ගියා කියලා දැනගත්ත ගමන්ම මට මතක් උනේ මෙන්න මේ ගීතය . එවෙලේ ඉඳලා මම පුන්චිගෙන් හැමවෙලේම වගේ මේ ළමයාට මොකද උනේ ? දැන් තත්ත්වය කොහොමද අරවද මේවද ඔක්කොම ඇහුවා . ඒත් එක්කම තමයි මේ ලිපිය ලියන්න ඕන කියලා හිතුනේ . අපි එහෙනම් මේ ගීතය ගැන පොඩ්ඩක් හාරවුස්සලා බලමු .








චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ 
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ 
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ 
මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ 

ගෑණු ළමයෙක් කියන්නේ පවුලට එළියක් උනාට වැඩි හරියක්ම තාත්තලාගේ හිතට බරක් . මොකද දුව නිකන් බන්දලා දෙන්න තාත්තලා කොහොමවත්ම කැමති වෙන්නේ නෑ . ඒ නිසා දුවෙක් ඉපදුනාට පස්සේ තාත්තලා හම්බ කරන්න තරමක් මහන්සි වෙනවා . ඒ යමක් ඉතුරු කරලා දුවට දෙන්න . අඩුගානේ මුකුත්ම බැරිනම් මාලයක් මුද්දක් කරාබු කුට්ටමක් හරි වැඩිපුර හදවලා දෙන්න උත්සාහ කරනවා . මේ තාත්තාත් එහෙම තාත්තා කෙනෙක් . අනික මේ තාත්තාට වැඩි වගකීමක් තිබුණා . ඒ අම්මා කෙනෙක් නැති දුවව බලාගන්න එක . දුවෙක් හැදෙන්න අම්මා කෙනෙක් ඕනමයි . ඒ දුවෙක්ට තාත්තා කෙනෙක්ට කියන්න බැරි සමහර දේවල් කීපයක් තියෙන නිසා . ඒත් මේ දුවට හැමදේටම හිටියේ තාත්තා විතරයි .

තාත්තා වැඩ කලෙත් ගෙදරට අල්ලලා හදාගත්ත වඩු මඩුවේ . ඒ නිසා කොයිවෙලෙත් දුව හිටියේ ඇහැ ගැටෙන මානයේම තමයි . කොහොමහරි දුක්විඳලා දුවව ලොකුමහත් කරලා දුවට ආදරෙන් සලකන බෑණා කෙනෙක්ට දුවව දෙන්න තමයි මේ තාත්තත් බලාපොරොත්තු වෙන්න ඇත්තේ . සමහරවිට මේ තාත්තා කාටවත් නොකිව්වට නොපෙන්නුවට සුළු දෙයක් හරි දුව වෙනුවෙන් ඉතුරු කරලා තියෙන්න ඇති . ඒත් දැන් ඒ සේරම උඩු හුළඟට ගහගෙන ගිහිල්ලා .

මේ ගීතයේ තියෙන විශේෂ යෙදීමක් තමයි හඳේ ඉන්න හාවා ලිංග විපර්යාසයකට ලක් කිරීම . පන්සීය පනස් ජාතක පොතේ සස ජාතකයේ කියවෙන හැටියට ගින්නට පැනපු බෝධිසත්ව හාවාගේ රූපය ශක්‍ර දේවේන්ද්‍රයා තමයි හඳේ සිතුවම් කරන්නේ . ඒ බෝධි සත්වයන්ගේ දාන පාරමිතා බල මහිමය ඉර හඳ පවතිනාතාක් කල් මිනිස්සුන්ට දැකබලාගන්න හැකිවෙන්න ඕන කියන අරමුණෙන් . ඒත් ගීත රචකයා මේ ගීතයේ අවස්ථානුකූලව හඳේ හාවා හාවියක් බවට පත් කරලා .

හැබැයි මට මෙහෙමත් හිතෙනවා . පවුලේ තත්ත්වය , ගෙදර තත්ත්වය මේ ගීතයේ එක වචනයකින් හරි පෙන්නන්න ඕන නිසා ගීත රචකයා " චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ " කියන යෙදුම යොදන්න ඇති කියලා . මේ ගෙදර දුප්පත් ගෙයක් . ඒ නිසා මේ ගෙදරට උළු , ශීට් සෙවිලි කරන්න ඇති කියලා හිතන්න බෑ . ඒ නිසා වහලේ තියෙන පොල් අතු හරි , නැත්නම් දිරාගිය ටකරම් වල හරි තියෙන සිදුරු වලින් රෑට හඳ එළිය ගෙට කඩා හැලෙනවා . මේ දුව ඒ හඳ එළියේ එහෙමත් නැත්නම් චන්ද්‍ර මණ්ඩලයේ තමයි හැමදාම නිදාගන්න ඇත්තේ . හඬ එළියේ නිදාගෙන ඉන්න දුවව තාත්තට පෙන්න ඇත්තේ හාවියක් වගේ වෙන්න ඇති . මමනම් හිතන්නේ ගීතයේ මේ පදයෙන් ඒ අයගේ දුප්පත්කම පෙන්නලා තියෙනවා කියලා . කොච්චර වයසින් මුහුකුරා ආවත් දෙමවුපියන්ට තමන්ගේ ළමයි පොඩියි කියලා පෙන්වන්න පුංචි සාවියේ කියන වචන දෙක හොඳටම ඇති .

තාත්තා දැන් අහනවා මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ කියලා . තමන්ට තමන්ගේ දුවව රාජ කුමාරයෙක්ට දෙන්න බැරි විත්තිය මේ තාත්තා කොහොමත් දන්නවා . ඒ නිසා යන කෙනෙක් ගැන කියලා ගියානම් මේ දේ මීට වඩා පිළිවෙලකට කරන්න තිබුණා සහ මෙච්චර දුක් විඳින්න වෙන්නේ නෑ කියලා තාත්තා හිතනවා .

වෙනදා ගෙදර පහන පත්තු කරන්නේ අම්මා . අම්මා නැතිවුනාට පස්සේ ඉඳලා ගෙදර පහන පත්තු කරේ දුව . අද දුවත් නෑ . දුව පත්තු කරන පහනත් නෑ . පහනේ ආලෝකයත් නෑ . ඒ ගිනි දැල්ලෙන් එන එළිය . ඊට වඩා එළියක් මේ ගෙදරට ලැබුණේ දුව නිසා . අද ඒ එළියත් නෑ කියලා තාත්තා ආයෙත් ප්‍රශ්න කරන්නේ ඇයි මට නොකියාම යන්න ගියේ කියලා .


ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ 
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ 
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ 
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ 


දැන් තාත්තා ඉන්නේ බයෙන් . මොකද දුව ගියේ කාත් එක්කද කියලා තාත්තට ඉවෙන් වගේ දැනුමක් තියෙන නිසා . මේ වඩුමඩුව පිහිටලා තියෙන ගමත් දුප්පත් ගමක් . ඒ නිසාම මේ ගමේ වැඩි දෙනෙක්ට රත්තරන් කරේ එල්ලන් යන්න උනේ නෑ . ඒ නිසා එයාලා ලස්සන උනේ ලාභ රත්තරන් වලින් . ඒ කියන්නේ ඉමිටේෂන් මාල වළලු වලින් . මේ ලාභ රත්තරන් දාගත්ත අය යන එන පාරෙන්ම ඉස්සරත් ගෑණු ළමයි කොල්ලොත් එක්ක පැනලා ගියා , එහෙමත් නැත්නම් නගරයේ රස්සාවල් වලට ගිහින් නගරයේ ඉන්න කපටින්ට අහු වුනා . ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ කියලා කියන්නේ අන්න ඒ අදහසින් .

දුව හැමවෙලේම වගේ ඉන්නේ ගෙදර . නැත්නම් ගේ ඇතුලේ . දුවට ආශ්‍රය කරන්න හම්බුනේ ගමේ කීප දෙනෙක් විතරයි . ඒත් තාත්තා ගමේ ගොඩක් අය ආශ්‍රය කළා . ඒවගේම වඩුමඩුවට එන අය ආශ්‍රය කළා . ඒ නිසා ඒ අයගෙන් අහන දේවල් සහ ගමේ සිදුවෙන දකින දේවල් වලින් තමන්ගේ දුවටත් ඒ ඉරණමම අත්වෙයි කියලා බයෙන් ඉන්න ඇති . තමන්ගේ දුව තවත් පරිස්සම් කරන්න ඕන කියලා මේ තාත්තත් හිතන්න ඇති . හැබැයි දුව ගැන තිබ්බ විශ්වාසය නිසා මේ අවදානම තාත්තාගේ හිතේ ඇතිවුනේ තාවකාලිකව .

වඩු මඩුව ඉස්සරහින් එහෙම පැනලා ගියපු උදවිය ආයෙත් එක දෙක වෙලා එන්නෙත් තමන්ගේ වඩුමඩුව ඉස්සරහින්ම තමයි . තාත්තා මේ දේවලුත් දැකල තියෙන නිසා කිසිම පැකිලීමකින් තොරව තාත්තාට කියන්න පුළුවන් උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ උන්ගේ තියෙන මුස්පේන්තු කම නිසාමන්යි කියලා . ඒත් තාත්තා හීනෙකින්වත් හිතන්නේ නැතිව ඇති තමන්ගේ සිරියාවන්ත දුවටත් මේ දේ සිද්දවෙයි කියලා . අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ කියන්නේ අන්න ඒ නිසා තමයි . මම මුලින් කිව්වනේ තාත්තා දන්නවා කියලා දුව කාත් එක්කද ගියේ කියලා . ඒ කයි තාත්තා මෙහෙම විනිශ්චයකට අවසානයේ පත්වෙලා ඉන්නේ .


මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ 
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ 
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ 


දුවෙක් තරුණ වියට පත් වුණාට පස්සේ ඒ දුව පතාගෙන එන්න මනමාලයෝ ගොඩක් මේ පාරේ එහා මෙහා යන අය අතරේ ඉන්නවා කියලා මේ තාත්තා දැනගෙන හිටියා . ඒත් එහෙමයි කියලා දුවව ගේ අස්සෙම තියාගෙන ඉන්නත් බෑ . ඉතින් දුව මිදුල් අතුගාන්න මල් කඩන්න වගේ දේවල් වලට එලියට ආවම මේ පාරේ යන අයත් දුව ගැන විමසිලිමත් වුණා . එහෙම විමසිලිමත් වෙනවා කියලා තාත්තත් දැක්කා . මේ උදවියගෙන් කෙනෙක් දුවව තමන්ගෙන් උදුරාගෙන යනකල් තාත්තා දන්නේ නෑ .

මේ දුවව පතාගෙන බැල්ම දාපු කොල්ලෝ ඔක්කොම වගේ බොරු ෂෝ කාරයෝ . මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ කියන්නේ අන්න ඒ නිසා . සුදු යකඩ මාලවල දිලිසීම විතරයි . කිසිම වටිනාකමක් නෑ . මේ මාල එල්ලාගෙන ආව කොල්ලොත් එහෙම තමයි . පිට පෙනුම විතරයි . ඇතුලාන්තය ආලෝකමත් නෑ . ඒත් දුවට ඒ මාල ගිරවු කිව්ව සිංදු මොනවද කියලා තේරුම් ගන්න තරම් මොලයක් තිබ්බෙත් නෑ .

තාත්තා මේ ගිරවු ඇවිත් වී කරල දිහා බැල්ම දානවා දැකලත් නිසොල්මනේ ඉන්න ඇත්තේ තාත්තත් ඒ වයස පහුකරපු නිසා වෙන්න ඕන . මොකද එහෙම උනා කියලා කලබල උනොත් වැඩ වරදින්නත් ඉඩ තියෙන නිසා . අනික තමයි මේ තාත්තා තමන්ගේ දුවව ගොඩක් විශ්වාස කරා . අම්මත් නැතිව තමන්ව හදපු ලොකුමහත් කරපු තාත්තාට පිටුපාලා යන එකක් නෑ කියලා හිතුවා . මාලගිරවූ මේ දුවට ඉඟි බිඟි පාන්නේ දුවත් ඒවට ධනාත්මකව ප්‍රතිචාර දක්වපු නිසා කියලා තාත්තා දකින්නේ නෑ . සමහරවිට තමන්ගේ එකාගේ ඇදේ පේන්නේ නැතිව අනුන්ගේ එවුන්ගේ ඇදේ විතරක් පේන්නත් ඇති . හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ කියන්නේ මේ මොකවත් තාත්තට කලින්ම තේරුම් ගන්න බැරිවෙච්ච නිසා .

අවසානයේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා තාත්තා කියනවා . අන්න ඒ පදයෙන් තමයි මමනම් හිතන්නේ තාත්තා දන්නවා කියලා දුව ගියේ කාත් එක්කද කියලා . එහෙමත් නැත්නම් ඔන්න තාත්තා දන්නේ නෑ කවුද කියලා . ඒත් මේ සිද්දිය දැක්ක රත්නශ්‍රී මහත්මයා දකින්න ඇති දුවට තාත්තා බලන්න එන්න මහා දුරක් නෑ කියලා .

පාර මතකනම් කියන එකෙන් තාත්තා නොකියා කියන්නේ තාත්තව තාමත් උඹට මතකනම් ගෙදර එන්න මහලොකු දුරක් නෑ . කොල්ලත් එක්කම ගෙදර ඇවිත් තාත්තා බලලා යන්න කියලා . මේ වෙලාවේ මේ තාත්තට කොල්ලට එරෙහිව නැගී හිටින්න හයියක් නැතිව ඇති . වඩු බාස් කෙනෙක් කියන්නේ ඉතින් ආර්ථිකවශයෙන් සහ සමාජීය වශයෙන් මහලොකු හයියක් තියෙන කෙනෙක් නෙවෙයිනේ . අවසානයේ ඔය ගීතය ඔහොමම ඉවරවෙලා ගියා .

මේ ගීතය අදවෙනකොට තාත්තලා කීදෙනෙක් වෙනුවෙන් සාධාරණ උනාද කියලා අපිට කියන්න අමාරුයි . ඒත් ඒ ගීතය සාධාරනීකරණය කරගත්ත තාත්තලාගේ දුවලා අවසානයේ දික්කසාද වීම් , සියදිවි නසාගැනීම් වගේ දේවල් වලට වැඩිහරියක් පෙළඹුනා කියලානම් කියන්න පුළුවන් .







ගීතයේ සංගීත සංයෝජනය ගැනත් යමක් කියන්න ඕන . මේ ගීතය මම ඉස්සර ඉදලා අහන්න පටන් ගත්තේ මේකේ තියෙන බටනලා වාදනය , සිතාර් වාදනය සහ තබ්ලා වාදනය එක්ක තමයි මම වැඩිපුර මේ ගීතය අහනකොට ජීවත් උනේ . තේරුම ගැන හිතුවේ මෙන්න මේ නිසා . ඒ ඉස්සර තිබුණා ස්වර්ණවාහිනියේ හේම නලීන් කරුණාරත්න මහත්මයා ඉදිරිපත් කරපු වැඩසටහනක් . මට නම මතක නෑ . ඒක තිබ්බේ සෙනසුරාදා ඉරිදා දවස්වල හත අට කියන පැයේ .

මේ පැයට එන එක ගායකයෙක් හෝ ගායිකාවක් තමන්ගේ ගීත වල ඉතිහාසය ගැන විස්තර කරමින් ගීත ගායනා කළා . මේ වැඩසටහනෙන් තමයි මම දැනගත්තේ මේ ගීතයේ තියෙන්නේ මෙහෙම කතාවක් කියල . පස්සේ තවත් වැඩසටහන් වල ඒ ගැන ඇහුවට වැඩි විස්තරයක් දැනගත්තේ ඒ වැඩසටහනෙන් . සංගීතය සජීවීව මේ ගීතයට සපයනවා ඉස්සෙල්ලම දැක්කෙත් ඒ වැඩසටහනෙන් . මට මතක හැටියට තබ්ලා වාදනය කරේ නැසීගිය විජේරත්න රණතුංග මහත්මයා . අපි එහෙනම් බලමු මේ ගීතයේ සංගීත සංයෝජනය ගැන .

මේ ගීතයේ පෙර වාදනය ආරම්භ වෙන්නේ බට නලාවකින් . මේ බටනලා වාදනයේ සමහර ස්වර ගැලපීම් වෙස්සන්තර ජාතකේ කවි ගායනා කරන තනුවට ආසන්නයි කියලා දැනෙනවා . කොහොමත් මේ ගීතයේත් තියෙන්නේ දරුව නැති දුකෙන් ශෝක වෙන පියෙකුගේ විලාපයක් නිසා වෙස්සන්තර ජාතකේ කවිවල තනුව මේ ගීතයට වඩාත් ගැළපෙනවා . ඒ කොහොම උනත් මේ බටනලා වාදනය මේ ගීතයට පාළුව එක්ක ශෝක රසය ගෙනත් දෙන්න දායකත්වය ලබා දෙනවා . ඒ ගතිය ලබාදෙන්න සිතාර් එකත් මේ ගීතයට දායක වෙනවා .


කියන්න ඕන අනිත් දෙය තමයි මේ බටනලා වාදනය ඉදිරිපත් කරන්නේ ශිල්පීන් දෙන්නෙක් වෙන්න ඕන කියන කාරණාව . මොකද බටනලා දෙකකින් වාදනය කරනකොට සාමාන්‍යයෙන් ඉහල ශ්රුතිය එක්ක ඊට සමාන පහල ශ්රුතිය තියෙන බටනලා දෙකක් තමයි භාවිතා කරන්නේ . එතකොට ඒ වාදනයේ අමුතු ගතියක් තියෙනවා . මේ බටනලා දෙකේ ශුෂර වීම කවදාවත් එක සමාන වෙන්නේ නෑ . මොකද වාදකයාගේ වාදන ශෛලීය , වාදන ඉරියව්ව , සුළං පහරේ වේගය සහ Blowing angle එක , ඒකට සිංහලෙන් මොකක් කියනවා දන්නේ නෑ . අපි කියමුකෝ පිඹින කෝණය කියලා . ඔය හේතු මුල්කරගත්ත තවත් හේතු ගොඩක් තියෙනවා . ඒ හේතු නිසා සර්වසම බටනලා දෙකක් වාදනය කරත් එකම සංඛ්‍යාතය එන්නේ නෑ . ඒ නිසා එහෙම වාදනය කරනකොට ඒ වාදනය හරිම ලස්සන වෙනවා . මෙතනත් වෙලා තියෙන්නේ එක තමයි . වෙලා නෙවෙයි , සංගීත සංයෝජකයා විහින්ම එහෙම යොදන්න ඇති .







දැන් බටනලා වාදනය භාගයක් දුර ගියාම තබ්ලාව තමන්ගේ ඒකාකාරී රටාව කඩලා ආයෙත් අලුත් වාදන කොටසකට එනවා . එතකොට සිතාර් ඒක ආයෙත් මේ වාදනයට එකතු වෙනවා . සිතාර් වාදනයත් ශෝකාකූලයි . සිතාර් වාදනයත් කෙරෙන්නේ සිතාර් දෙකකින් . සිතාර් එකෙත් වෙන්නේ අර සංඛ්‍යාත ආසන්න වශෙයන් වෙනස් වීම නිසා ඇතිවෙන ස්වර අලංකාර වීම . සිතාර් එකේ නම් සංඛ්‍යාත වෙනස් වෙන්න හේතු වෙන්නේ වාදකයා තත මත ඇඟිල්ල තියන බර , තත ඒ ස්වරය තියෙන ෆ්රේට් එක උඩ එහා මෙහා වීම සහ ෆ්රේට් එක එහා මෙහා වෙලා තිබීම . කොච්චර හරියට ටියුන් කරත් ඔය හේතු තුන නිසා සංඛාත වෙනස් වෙනවා . ඒකෙත් ඇතිවෙන්නේ අමුතු ගතියම තමයි . මේ අමුතු ගතිය නිසාම අපිත් වයලීන් ගොඩක් ටියුන් කරනකොට සංඛ්‍යාතය පොඩ්ඩක් එහා මෙහා වෙන්න ටියුන් කරනවා .

මේ වාදනය බටනලාව සහ සිතාර් එක මුල් කරගෙන ඒ ඒ භාණ්ඩ මාරුවෙන් මාරුවට වාදනය වෙමින් ගීතයට හොඳ ආරම්භයක් ලබාදෙනවා . තවත් කියන්න ඕන දෙයක් තමයි තාල වාදනයත් මේ ගීතයේ යුගලයක් විදියට වෙන්නේ . මම කිව්වට තබ්ලාවෙන් වාදනය වෙනවා කියලා . තබ්ලාව විතරක් නෙවෙයි . හොඳට අහලා බලන්න . මේකේ තබ්ලාවයි ඩොල්කියකුයි දෙකක් වාදනය වෙනවා . තාල වාදනය දෙකකින් කරාම වෙන්නේ එකම තාලය දෙන්නම එකට වාදනය කරත් දෙන්නගේ ඇඟිලි වාදන භාණ්ඩයේ හමත් එක්ක ස්පර්ශවෙන වෙලාවේ වෙන සුළු වෙනස් වීම නිසා නිපදවෙන හඬ දෙක මිශ්‍රවෙලා ඇහෙන එක . එතකොට ඒ වාදනයෙත් තියෙන්නේ අමුතු ගතියම තමයි .








 


ගීතයේ තාල වාදනය ගැන තව එක දෙයක් කියන්න ඕන . පාළුව මූසල බව ඇති කරන්න මේ ගීතය පුරාවටම තාලයේ ප්‍රධාන තාල ස්ථානවල ට්‍රෑන්ගල් කියන වාදන භාණ්ඩය වාදනය කරනවා . ට්‍රෑන්ගල් කියන එක ත්‍රිකෝණ හැඩයට නාවලා තියෙන ලෝහ කම්බියක් . ඒකට තවත් ලෝහ කූරකින් තට්ටු කලාම ටින්....... ගාලා සද්දයක් එනවා . තාලම්පොටක් වාදනය කළා වගේ . ඒත් තාලම්පොටට වඩා ට්‍රෑන්ගල් එකේ හඬ තියුණුයි .







ගීතයේ කෝඩ්ස් වාදනය කරන්න ගිටාර් එක දායක උනාට ඒ ගිටාර් වාදනය හරිම සංයමයෙන් තමයි කෙරෙන්නේ . විමසිල්ලෙන් ඇහුවේ නැත්නම් එහෙම එකක් නෑ වගේ . බේස් ගිටාර් ඒකත් තනි නෝට් එක එක වාදනය කරනවා මිස සංකීර්ණ බේස් ගිටාර් පැටන් වලින් මේ ගීතයට ලොකු සහයක් දක්වන්නේ නෑ . ඒත් ඒ සංයමය නිසා මේ ගීතව වඩාත් අලංකාර වෙලාත් තියෙනවා .




පෙර වාදනය ඉවරයි . ගායකයා තමන්ගේ ශෝකී ස්වරය ඉස්මතු කරනවා . මේ ගීතයේ මම වඩාත් කැමතිම තැනක් තමයි පුංචි සාවියේ කියන තැන . ගීතය අහන අය සංවේදී වෙන එක තැනක් එතන කියලා කියන්න පුළුවන් . මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ කිව්වට පස්සේ බටනලාවෙන් පොඩි පාට් එකක් වාදනය කරනවා . අන්න එතන එක බටනලාවක් විතරයි වාදනය කරන්නේ . ඔයාලට බටනලා දෙකක් ගහනකොට කොහොමද කියලයි එකක් ගහනකොට කොහොමද කියලයි අන්න එතනින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන . මේ ගීතයේ තවත් සංවේදී ගායන ස්ථානයක් තමයි ලැයිම් කාමරේ කියන කොටස . ගීතයේ ස්ථායි කොටසේ තබ්ලාවේ " න " අක්ෂරය වාදනය වෙනවා වැඩියි . ඒ නිසා ඒ කොටසට වැඩි අලංකාරයක් ලැබිලා තියෙනවා .

දැන් අතුරු වාදනයට එනවා . අතුරු වාදනයෙදී තබ්ලාව තාලයක් විදියට දිගටම වාදනය වෙන්නේ නෑ . ඒත් ට්‍රෑන්ගල් එකෙනුයි තබ්ලාවෙනුයි වාදනයේ ආඝාතය රැකගන්න පුළුවන් විදියේ වාදනයක් ඉදිරිපත් කරනවා . මම තවත් කැමති කොටසක් තමයි මේ ගීතයේ අතුරු වාදනයේ තියෙන සිතාර් වාදනය . ගීතයේ තේමාව මේ සිතාර් වාදනයෙන් ඉස්මතු වෙනවා වගේම අන්තරා කොටස්වල තියෙන ශෝක රසය ශ්‍රාවකයාගේ හදවතට ඇතුල් කරන්න මේ සිතාර් වාදනය හොඳ ආරම්භයක් ලබා දෙනවා .

දැන් ගීතයේ අන්තරා කොටස . අන්තරා කොටසේ තබ්ලා වාදනය ස්ථායි කොටසට වඩා ආකර්ෂණීයයි . මොකද මේ අන්ත්රා කොටසේ තාල වාදනය තාලය පෙරලීමට ලක් කරමින් වාදනය කරනවා . පෙරලනවා කියන්නේ ඉතින් පෙරලනවා තමා . ඒක වචන වලින් කියන්න මම දන්නේ නෑ .  :p . ඒවගේම අන්තරා කොටසේ තබ්ලාවෙන් වැඩිපුර " තිට "  " ක " කියන අක්ෂර වාදනය වෙනවා .

අන්තරා කොටසේ පොඩි පොඩි තැන් පුරවන්න බටනලාවෙන් පොඩි පොඩි පාට් කීපයක් වාදනය කරනවා . මේවත් වාදයන කරන්නේ තනි බටනලාවකින් .

අන්තරා කොටස්වල තියෙන මගතොට පාර වැරදුනේ , පාර මතකනම් කියන තැන් ටිකක් සංවේදී බවක් ගන්නවා කියලා හිතෙනවා .

සමස්ථයක් විදියට ගත්තම ගීතයේ අර්ථ නිරූපණය සංගීත සංයෝජනය මගින් සාර්ථකත්වයට අරගෙන ආව ගීතයක් විදියට මේ ගීතය හඳුන්වන්න පුළුවන් .

පැනලා යන්න හිතාගෙන ඉන්න අය පැනලා නොයන තත්වෙට වැඩ කටයුතු දැන්ම තියා සූදානම් කරගන්න උත්සාහ කරන්න කියලා ඉල්ලමින් මේ ලිපිය මම මෙතනින් නවත්තනවා .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment