මලයාල නාග වෛරෝඩිය ( 1 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

සොහොන් කාලි පූජාව සමථයකට පත්කර අනතුරුව සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගමද රැගෙන මමත් සීයාත් කරත්තයෙන් වලව්වට ආපසු පැමිණියේ දින දෙකක තුනක පමණ ඉබි ගමනකිනි . ඊට හේතුව වූයේ අප ආ අතරවාරයේ පන්සල් දේවාල කීපයක්ම වැඳපුදා ගැනීමට සීයා බලාපොරොත්තු වූ නිසාවෙන් බව කිව යුතුය . ඊටත් වඩා හේතු වූයේ සීයාගේ අයියා , එනම් මාගේ ලොකු සීයා ජීවත් වන්නේ ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ වූ හෙයිනි . සීයාද මමද ආ කරත්තයෙන්ම උඩුගම්පල ගියෙමු . 

ලොකු සීයා මන්තරයට ආදරය කල කෙනෙකු නොවේ . එබැවින් ඔහු තෝරාගන්නා ලද්දේ වෙළඳාමයි එයිනුත් විශේෂයෙන්ම කොප්පරා වෙළඳාමයි . ටිකෙන් ටික තම ව්‍යාපාරය දියුණු කරගත් ලොකු සීයා මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ අක්කර ගණනාවක පොල් වතු වලට හිමිකම් කියන්නෙකි . සීයලාගේ පියාද ඊට විරුද්ධ නොවූ බව දිනක් සීයා මා සමග පැවසීය . ඊට හේතුව වී ඇත්තේ පවුලේ වගකීමක් වන ගුරුකුලය පවත්වාගැනීමට සීයා ඒ වනවිටත් යොමු වී සිටි බැවිනි . 

ලොකු සීයා දැන් දුවපැන වෙළඳාම් කිරීමට සමතෙක් නොවේ . ඒ හිතට වඩා ඔහුගේ ගත දුර්වල වීම නිසාය . ඒ හේතුවෙන් මේ වනවිට ලොකු සීයාගේ පුතාලා දෙදෙනා කොප්පරා වෙළඳාම නොකඩවා කරගෙන යයි . ලොකු සීයා විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි . ඔවුන් අපගේ පැමිණීම කලින් බලාපොරොත්තු වී සිටියේ නැත . අපද එහි යෑමට බලාපොරොත්තු වී සිටියේ නැත . ළඟටම පැමිණ පිට පාරේම යාම යුතු නොවන බැවින් උඩුගම්පල යමු යැයි යෝජනා කලේද එම යෝජනාව ස්ථීර කලේද සීයාමය .

මෙම ගමන් අපට මෙන්ම වලව්වේ කරත්තය දක්කන ජෙමිස්ටද වැදගත් විය . ඒ මීට කලකට ඉහත ඔහුගේ ජීවන හුස්ම රැඳුනු ගමද උඩුගම්පල වීමයි . වලව්වේ පුස්කොල පොතක් සොරාගෙන කදිර දෙව් පුරයට පැනගිය වලව්වේ මීට ප්‍රථමව සිටි කරත්ත දක්කන්නාගේ එම අත්තනෝමතික ක්‍රියාව නිසා කාලයක් පුරප්පාඩුවී තිබුණු කරත්ත දක්කන තනතුර වෙනුවෙන් ජේමිස්ව අපට හඳුන්වා දුන්නේද ලොකු සීයා විසිනි . එබැවින් අපි ලොකු සීයා බැලීමට ගිය අතරතුර දරු කැක්කුම අනෙක් සෑම කැක්කුමකටම වඩා වැඩි බව මොනවට පසක් කරමින් තමාව නොසලකා හරින ලද දරුවන් දැක බලා ගැනීමට කරත්තය ලොකු සීයාගේ ගෙදර නවතා දමා ජේමිස් තමන්ගේ මහගෙවල් බලා ගියේය . 

උඩුගම්පල එක දිනකට වඩා රැදී සිටීමට සීයා බලාපොරොත්තු වූයේ නැත . එබැවින් පසුදාම අපි උඩුගම්පලින් පිටත්ව නැවත වලව්ව බලා ඒමට පිටත් වීමු . වලව්වට එන අතරතුර දෙවිනුවර විෂ්ණු දේවාලය වැඳ පුදා ගැනීමට සීයා අමතක කලේ නැත . එය යම් සලකුණක් අනුව කරන ලද්දක් බව මම සිහිපත් කරමි . වෙනත් පවුලක වෙනත් ගුරු කුලයක මන්තර ශාස්ත්‍රයක් ඒ වනවිට අපගේ වලව්වේ තැම්පත් වීමට නියමිතව තිබිණි . සීයා විශේෂයෙන් දෙවිනුවර යන්නේ මෙවැනි සංක්‍රාන්ති අවස්ථා වෙනුවෙන් දේව ආශිර්වාදය ලබාගැනීමට බව මා හොඳාකාරව දනිමි . ඒ අපගේ මන්ත්‍ර ශාස්ත්‍රය මා අත තැබීමට පළමුව මාද දෙවිනුවර කැඳවාගෙන ගිය හෙයිනි . 

ගමන් බිමන් වන්දනාමාන  සියල්ල අවසානයේ අපි වලව්වට පැමිණියෙමු . සියාතු සීයාගේ මන්තර පොත් පුරවන ලද පෙට්ටගමද මගේ කාමරයට එකතු විය . ඉන් පසු අපගේ මන්තර පොත් කියවීම අතරතුරේ මා වැඩිමනත් කාලය ගත කලේ සියාතු සීයාගේ මන්තර පොත් කියවා බැලීමටය . ඒවා පාඩම් කිරීමට මා තවමත් සූදානම් නැත . ඒ එම පොත් සියල්ල සීයාගේද අවධානයට ලක්වීමට නියමිතව ඇති බැවිණි . 

මලයාලි ගුරුකම් මගින් භූතාත්ම බැඳ වසර හාරසියයකට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අතට පත් නොවී කළුගල් තලාවක අප්‍රකටව ආරක්ෂා වූ , ටිකිරි කුමරු ලෙස හඳුන්වන ලද සීතාවක රාජසිංහ මහ රජුගේ ගෙල බැඳී , වෛරෝඩි ගල් විශාල ප්‍රමාණයක් අමුණන ලද නයි පෙනයක හැඩය ඇති රත්තරන් පෙත්තක් සවිකරන ලද , මලයාලි ඇදුරන්ගේ ශාපලත් , නාග වෛරෝඩිය නමැති ගෙල පළඳනාව වටා පෙළ ගැසුණු මෙම සිදුවීම් මාලාව සිදුවන විට ගම්පහ ගොස් වලව්වට පැමිණ මාසයකට අධික කාලයක් ගතවී ඇතැයි මා අනුමාන කරමි . 

වස් කාලය අවසාන වී චීවර මාසය ආරම්භ වී තිබිණි . ගමේ පන්සලේ කඨින පූජාවට ඇත්තේ තවත් එක් දිනයකි . චීවර පූජාව සිදුවීමට මත්තෙන් කලින් දින රාත්‍රියේ පන්සලේ සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්වීම සාමාන්‍ය සිරිතකි . පිරිත පුරනවාත් සමගම පිටත්වන කඨින චීවරය රැගත් පෙරහැර ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර ගමන් කර අවසානයේ අළුයම් කාලයේ පන්සලට පැමිණේ . චීවර පූජාව සිදුවන්නේ ඉන් අනතුරුවය . 







මෙවර කඨින පූජාව පැවැත්වීමට භාරවී තිබුණේ වෙද ගෙදරටය . වෙද ගෙදර අපට දක්වන නෑදෑකම් පරයා ගමේ කටයුතු වෙනුවෙන් ගුරුන්නාන්සේ වලව්ව නියෝජනය විය යුතු බැවින් සීයා මෙම කටයුතු වලට අවවාද අනුශාසනා ලබාදීමට දින දෙක තුනක් තිස්සේ පන්සලේ කාලය ගත කළේය . පිරිත් මණ්ඩපය සාදන කටයුතු වෙනුවෙන් මමද සහභාගී වීමි . එබැවින් සීයාද මමද සිටියේ පන්සලේය . පිරිත් මණ්ඩපය සාදන්නේ වෙනදා පන්සලේ බණ මඩුවේ ධර්මාසනය පනවා තබන ස්ථානයේය . සැලකිය යුතු දුරක් වලව්ව සහ පන්සල අතර නොපවතින හෙයින් සීයාද මමද වලව්වේ සිට පන්සලට ආවේ පයින්ය . 

මද්දහන පසුවී හිරු අවරට ගියේය . පිරිත් මණ්ඩපයේ කටයුතු කඩිනම් වූයේ හිරු අවරට ගිය බව කාගේ කාගේත් ඇස්පනාපිටම පෙනෙන්නට වූ පසුවය . සියල්ලෝම ගොක්කොල කපා හැඩ වැඩ දමති , කෙසෙල් පතුරු රාමු වලට තබා බඳිති , සල් මල් පෙති ඉරටු කැබලිවල අමුණා කෙසෙල් පතුරුවලට සවි කරති . මමද වඩාත් ප්‍රියජනක කාර්යයක් වූයේ මෙම සල්මල් අමුණන රාජකාරියටය . සල් මලේ හැඩයට පැහැයට වඩා මා ආශා කලේ එහි සුවඳටය . දෙවියන් වඩින්නේ මෙම සුවඳවත් බව නිසා ඇතිවන පවිත්‍ර භූමි වලටය . සීයා පසෙක වූ බංකුවක හිඳගෙන වෙද සීයා සමග චීවර පූජාවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්චා කරමින් සිටී . තාත්තා පන්සලට පැමිණියේ මේ අතරේය . තාත්තා පැමිණ සීයාට කුමක්දෝ කියා නික්ම ගියේය . සල් මල් පෙති සවි කිරීමේ කටයුත්ත වැඩිප්‍රමාණයක් අවසාන කරන ලද හෙයින් මම එය නවතා සීයා අසලට ගියෙමි . 

" සීයේ , තාත්තා ආවා නේද ? " 

" ඔන්න කවුද කෙනෙක් මාව හොයාගෙන සීතාවක පළාතේ ඉඳලා ඇවිල්ල ඉන්නවලු වලව්වේ . මණ්ඩපේ වැඩ කටයුතු තව ටිකක් අහවර වෙනකල් ඉඳලා පුතත් යමු මාත් එක්කම . රෑ වෙලා පිරිත් අහන්න එන්න බැරිය . වෙද සීයා ඉන්න නිසා දැනමුතුකම් දේවි ඒ රාජකාරි වලට . අපි තව ටිකකින් යමු " 

" සීතාවක කියන්නේ කොහෙද සීයේ ? " 

" අවිස්සාවේල්ල පැත්තටනේ පුතේ " 

පිරිත් මණ්ඩපයේ සැරසිලි කටයුතු අවසන්ය . දැන් තිබෙන්නේ ආසන පනවා රාජ ගහ බැඳ නා දළු ආදිය එල්ලීමයි . වෙද සීයාගේ අනුමැතිය අනුව ඒවා සිදුවන්නට ඉඩදී මමද සීයාද වලව්ව බලා පිටත් වීමු . ආ වේගයට වඩා වැඩි වේගයකින් අපි වලව්වට ගියෙමු . ඒ අපගේ අමුත්තා පිළිගැනීමටය . 

වලව්වේ කඩුල්ල පනිනවිටම සීයා තම හඬ අවධි කලේය . 

" අද උදේ කපුටෙක් වලව්ව ඉස්සරහා අඹ ගහේ ඉඳලා හඬ ලෑවා . මම නිකමට වගේ ගණන් කරලා බැලුවා . හොඳ ආරංචියක් එයි කියලා තමයි සාත්තරේ තිබුණේ . මේ ඒ හොඳ ආරංචිය වෙන්න ඇති නේද පුතේ " 

සීයාද සිනාසුනේය . මමද ඔහුගේ අඩිපාරේම සිනාසුනා මිස ඉන් එහා කිසිවක් විමසුවේ හෝ කීවේ නැත .

වලව්වට ඇතුල්වන විට අප හමුවීමට ආ අමුත්තා වලව්වේ ඉදිරිපස පිටත කාමරේ සිට එළියට ආවේය . ඔහු ශාන්ත පෙනුමකින් යුතු වැදගත් පාටක් සහිත පුද්ගලයෙක් බව ඔහුගේ මුහුණින් පෙනිණි . 

" මේ ගුරුන්නාන්සේ වෙන්න ඇති නේද ? " 

" ඔව් මම තමයි අරනෝලිස් ගුරුන්නාන්සේ . මේ ළමයා ...............? " 

ඔහු පිළිතුරු දීමට මත්තෙන් සීයාට දණගසා වැන්දේය . 








" තුණුරුවන්ගේ පිහිටයි . මේ ළමයා ආවේ හදිස්සි කාරණාවකටද ? . මමයි මේ පුතයි පන්සලේ හිටියේ අද උදේ වරුවෙම ඉඳලා . අද චීවර පූජාවනේ අපේ ගමේ පන්සලේ . පිරිතට ලක ලෑස්ති වෙන ඒවාට උදවු කරන්න ගියා අපිත් . ඇඟ පත ටිකක් හෝදගෙන බෙලිමල් ඩිංගක් බීලා එහෙම කතා කරන්න පුළුවන්ද ? "

" ගුරුන්නාන්සේ වැඩ රාජකාරි අහවර කරගෙන ආවට කාරි නෑ . ලොකු හදිස්සියක් නැතත් කතාවනම් ටිකක් විතර බරපතලයි . ඒත් කතාව කියන්න ටිකක් වෙලා ගතවෙයි . ඒ නිසා ගුරුන්නාන්සේ අපි නිවී හැනහිල්ලේම කතා කරමු "

"නිවී හැනහිල්ලක් නම් එන්නේ නැහැ දරුවෝ මේ පිරිත් පිංකම ඉවරවෙනකල් . ඉන්නකෝ මම එකනල් . එතකල් චූටි පුතේ පොඩ්ඩක් මේ දරුවා එක්ක කතා කර කර ඉන්නකෝ " 

අමුත්තාද මමද කතාවට අමුණා සීයා කාමරයට ගියේය . ඔහු මට වඩා අවුරුදු හතර පහකට වඩා වයස නැත . ඒ නිසා මම ඔහුට අයියා කියා ඇමතීමි .

" මේ අයියා කොයි පළාතේ ඉඳලාද මේ එන්නේ ? " 

" මම සීතාවක ඉන්නේ මල්ලි . මේ මල්ලි වලව්වේ කවුද ? " 

" අර ගියේ මගේ සීයා " 

" ආ චූටි ගුරුන්නාන්සේ කියන්නේ එහෙනම් මේ මල්ලි වෙන්න ඕන " 

" අයියට කවුද චූටි ගුරුන්නාන්සේ කතාවල් කිව්වේ " 

" ඉන්නකෝ මම ගුරුන්නාන්සේ ආවම කියන්න " 

" සීතාවක කියන්නේ අවිස්සාවේල්ල පැත්තට කියලා මට සීයා කිව්වා . මමනම් වැඩිය අහලා නැහැ " 

" මල්ලි දන්නවද ටිකිරි කුමාරයා . ටිකිරි කුමාරයා රජකම් කලේ අපේ පළාතේ ඉඳලා නෙව " 

" ඇත්තද . ටිකිරි කුමාරයා ගැන අහලා තියෙනෙවා . ඒත් සීතාවක නම විතරයි අහලා තියෙන්නේ . වැඩි විස්තරයක් නම් දන්නේ නෑ "

" මම ගුරුන්නාන්සේ එක්ක කතා කරනකොට මල්ලිට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වෙයි .  මට මල්ලිලාට පෙන්නන්න වටිනා දෙයකුත් තියෙනවා " 

" ඒ මොකක්ද ? "

" පුස්කොල පොතක් " 

" පුස්කොල පොත්නම් ඉතින් මම දැකලා තියෙනවා " 

" මේක නිධන් වදුලක් " 







මොහු පැමිණියේ සීයාගේ ආධාරයෙන් නිධන් හැරීමටද ? . පෙනුමෙන් නම් ඔහු සොරෙකු යැයි කිව නොහැකිය . මම නිහඩව සිටි අතරතුරේ සීයා ඇඟපත සෝදාගෙන ආවේය . 

" ආච්චි අම්මා බෙලිමල් තම්බලා . අපිට හකුරුත් එක්ක බොන්න දැන් අරන් එයි . එහෙනම් ඔය ළමයා මෙහෙන් ඉඳගන්නකෝ බලන්න මොකක්ද ඔය ළමයාගේ කතාව කියලා අහන්න " 

" මට ගුරුන්නානසේට පෙන්නන්න යමක් තියෙනවා . මම අරගෙන එන්නම් " 

ආච්චිඅම්මා අප එන්නට ප්‍රමාද වන නිසාවෙන්දෝ අමුත්තාට වලව්වේ ඉදිරිපස කාමරය සූදානම් කරදී තිබිණි . 

" මේ දරුවා දුර පළාතක නිසා අද යන්නත් වෙලාවක් නැති නිසා මම ඉස්සරහා කාමරේ පිළියෙළ කරා " 

බෙලිමල් හකුරු බන්දේසිය රැගෙන ආ ආච්චි අම්මා කීවාය . ඒත් සමගම වලව්වට ආ අමුත්තා පුස්කොල පොතක් අතින්ගෙන කාමරයෙන් පිටතට පැමිණියේය . ඔහු එහි නූල ලිහා කම්බාව දිගහැර සීයා අත තැබීය . කම්බාව මහතට තිබුණද පොතේ වැඩි පිටු ගණනක් තිබුණේ නැත . 

" හ්ම්ම්ම් නිධන් වදුලක් . කියමු බලන්න ඉතින් ඔය ළමයාගේ කතාව " 

" ගුරුන්නාන්සේ මම සීතාවක පැත්තේ ඉන්නේ . ටිකිරි කුමාරයා රජකම් කරපු පැත්තේ . ටිකිරි කුමාරයාගේ මාලිගාවල් එහෙමත් තියෙන්නේ අපි ඉන්න පැත්තේ . ටිකිරි කුමාරයා වැඳපු පුදපු බැරැන්ඩි කෝවිලත් තියෙන්නේ ඒ දිහාවේම තමයි . අපේ පවුලේ වෙන පිරිමි ළමයි නැහැ . තාත්තා මැරුණේ දැනට පෝය පහකට හයකට විතර කලියෙන් . අම්මයි මමයි නංගි කෙනෙකුයි තමයි ගෙදර හිටියේ . නංගිත් ගමේ කෙනෙක් එක්ක විවාහ වෙලා එයාත් දැන් ගෙදර නැහැ . ඉතින් අම්මයි මමයි තමයි ගෙදර ඉන්නේ . මමත් තවම විවාහ වෙලා නැහැ "

කතාව අතරවාරයේ සීයා සිටියේ පුස්කොල පොත පෙරලමින්ය . සීයා එය සම්පූර්ණව කියවා නැත . සීයා පුස්කොල පොත හකුලා කනප්පුව උඩ තබා හරි බරි ගැසී කතාව වෙතම අවධානය යොමු කළේය . මේ වනවිට මේ කතාව ඇසෙන මානයේ සිටියේ මමත් සීයාත් පමණි . 

" ඔව් ඉතින් ? " 

" ඔය පුස්කොල පොත ගුරුන්නාන්සේ කියවලා බැලුවනම් ඉතිහාසයේ තවත් හැංගිලා තියෙන කතාවක් දැනකියාගන්න පුළුවන් . මෙහෙට එන්න පාර කිව්වේ ගම්පහ සියාතු ගුරුන්නාන්සේ . උන්නැහේ මම ටිකක් දන්නවා . මම එහෙ තමයි මුලින්ම ගියේ . දැන් උන්නැහේ ගුරුකම් සාත්තරේ අතෑරලා කියලා මට කිව්වා මෙහෙ යන්න කියලා . මම ඉතින් පාරවල් හොයාගෙන හොයාගෙන ආවා ගුරුන්නාන්සේ හොයාගෙන "

" ආ සියාතු එව්වනම් ලොකු රාජකාරියක් වෙන්න ඇති . ඉතින් දරුවෝ කියමුකෝ බලන්න ඒ කාරණාව "

" ටිකිරි කුමාරයා රජකම් කරේ අපේ පළාතේ ඉඳගෙන කියලා මම මේ මල්ලිත් එක්කත් කිව්වා . එහෙ තමයි සීතාවක රාජාධානිය කියලා මාලිගා එහෙම හදාගෙන රජකම් කරලා තියෙන්නේ . ඉතින් මේ රජතුමාට තිබිලා තියෙනවා ගොඩක් වටිනා වස්තූන් . රජවරුන්ට ඉතින් අපිට වගේ නෙවෙයිනේ ගුරුන්නාන්සේ . රන් රිදී මුතු මැණික් මොනවයින් අඩුවක්ද ? . මේ රජතුමා හිටියෙත් රත්නපුරේ පැත්තට කිට්ටු පැත්තක් නිසා මැණික් වලින් අඩුවක් වෙන්න නැතුව ඇති . ඒවගේ ලැබුණු වෛරෝඩි කියන මැණික් ගල් ගොඩක් අල්ලපු නයි පෙනයක හැඩේට හදවපු රත්තරන් පෙත්තක් හයි කරවපු මාලයක් තිබිලා තියෙනවා මේ රජතුමාට . ඒකට කියන්නේ නාග වෛරෝඩිය කියලා . කියන්නේ නම් පරම්පරාවෙන් ලැබුණා කියලා . 







ඒ කියන්නේ මායාදුන්නේ රජතුමාගෙන් වෙන්න ඇති . ඉතින් ටිකිරි කුමාරයා රජ උනාට පස්සේ තාත්තාවත් මැරෙව්වා කියනවා . ඊට පස්සේ එතුමා හින්දු ආගම අදහන්න ගත්තා කියලා කියනවා . මේ රජතුමාගේ මාලිගාවේ ඉඳලා තියෙනවා ඉන්දියාවේ ඉඳලා ආව මලයාලි ගුරුකම් කරපු ඇදුරෝ . අද කාලේ වගේ නෙවෙයි ඒ කාලේ මේ මලයාලි ගුරුකම් කරන ඇදුරෝ කිසීම අණක් ගුණක් තියෙන අය නෙවෙයිලු . දවසක් රජතුමා දිය කෙළියට ගිය වෙලාවක ගලවලා තියපු නාග වෛරෝඩිය මලයාලි ඇදුරෝ දෙන්නෙක් එකතුවෙලා හොරකම් කරලා . හැබැයි වැඩි දුරක් යන්න වෙලා නැහැ , ඒ අයව අහුවෙලාත් තියෙනවා . පස්සේ රජතුමා මේ නඩුව අහලා කාරිය මේ ඇදුරෝ දෙන්නට මරණ දඬුවම නියම කරනවා . මේ ඇදුරෝ දෙන්නාව හිස ගසලා මරණ වෙලාවේ මේ නාග වෛරෝඩියට සාප කරලා තියෙනවා , මේ මාලය අයිතිවෙන අයිතිවෙන කෙනා තමන් අකාලයේ මැරිලා ගියා වගේම අකාලයේ මැරිලා යන්න ඕන කියලා . අන්තිමට ටිකිරි කුමාරයා අකාලයේ මැරිලා ගියෙත් ඒ ශාපය නිසා කියලා තමයි ඔය පොතේ කියලා තියෙන්නේ " 

" ඉතින් දරුවෝ ඒ කතාවයි ඔය ළමයා ආව කාරණාවයි අතර තියෙන සම්බන්ධය මොකක්ද ? " 

" රජතුමා මැරුණට පස්සේ මේ සාපය ගැන දැනගෙන හිටපු අය මේ මාලය මලයාලි ඇදුරන් ලවාම ආරක්ෂා බන්ධන බන්දවලා නිධන් කරලා තියෙනවා . ඒ වැඩේ කරවපු අයගෙන් කෙනෙක් අපේ පරම්පරාවේ කෙනෙක් වෙනවා . ඒ නිසා අන්තිමට මේ නිධානය නිධන් කරපු තැන , ගන්න විදිය , මන්තර හැමදේම ලියපු නිධන් වදුල අපේ හතරමායිමට ආවා . හැබැයි ඒ එක පිටපතක් විතරයි . තවත් පිටපතක් තිබුණා ගමේ පන්සලේ බුදු පිළිමයේ පාදමේ නිධන් කරලා . අපේ පවුලෙන් ආව නිධන් වදුල පරෙස්සම් වෙලා අදවෙනකොට මගේ අතට ආවා . පන්සලේ තිබ්බ නිධන් වදුල ගැන කවුරු දැනගෙන හිටියද කියලා මම දන්නේ නැහැ . අපේ පවුලේ රැකපු රහස් දෙකයි තිබ්බේ . ඒ මේ නිධන් වදුලයි , පන්සලේ අනිත් පිටපත තියෙනවා කියන එකයි . ඒත් නිධන් හොරු විහින් මේ පාදම කඩලා නිධන් වදුල හොරකම් කරලා . හොරු කිව්වට අපිට පස්සේ දැනගන්න ලැබුණා කවුද හොරකම් කරේ කියලා . මොකද පූජාවල් හරියට කරපු නැති නිසා දෙන්නට පිස්සු හැදුනා . විකාරෙන් තමයි මේක ගැන කියවලා තියෙන්නේ "

" ඉතින් දැන් නිධානෙ අරගෙනද ? "

" අරගෙන නෙවෙන්නන් ගුරුන්නාන්සේ . දැන් ඒක තියෙන්නේ ආණ්ඩුව භාරයේ . පරණ දේවල් තැම්පත් කරන තැනක මේ මාලය තැම්පත් කරලා තියෙනවා . ඒත් ඒ මාලය ආයෙත් නිධන් කරන්න ඕන . මොකද ඒක සාප වැදිච්ච මාලයක් නිසා . ඒක අරගෙන ආයෙත් තැම්පත් කරන්න ගුරුන්නාන්සේගේ උදව් උපකාර ගන්න කියලා හිතාගෙන තමයි මම මේ ගුරුන්නන්සේව හොයාගෙන ආවේ " 

" ඉතින් දරුවෝ ඒක එතන පරෙස්සමට තියෙනවා නේද ? . ආයේ අපි නිධන් කරන්න ඕන නැහැ නේද ? " 

" බැහැ ගුරුන්නාන්සේ . ඒක සාපයක් වැදිච්ච මාලයක් . මලයාලි ගුරුකම් කරපු දෙන්නෙක්නේ සාප කරලා තියෙන්නේ . ඒ සාපය හරිම බලවත්  . මේ නිධන් වදුල හාරලා අරගෙන නිධානෙ ගොඩ ගත්ත දෙන්නා දැන් මැරිලා . නිධානයක් ගොඩගත්තා කියලා ආණ්ඩුවේ ඇත්තෝ දැනගෙන සෝදිසි කරලා තමයි මාලය හොයාගෙන තියෙන්නේ . ඊට ටික කාලෙකට පස්සේ නිධානෙ ගත්ත හොරු දෙන්නා මැරුණා . පස්සේ ආණ්ඩුවෙන් පරණ දේවල් තැම්පත් කරන තැනක මේක තැම්පත් කරලා තියනකොට ටික දවසකින් එතන බලාගන්න හිටපු සුදු මහත්තයත් මැරුණා .

තවත් කෙනෙක් මැරෙන්න කලින් මේක එතනින් ඉවත් කරලා ආයෙත් වෙන කොහෙ හරි නිධන් කරන්න ඕන කියලා මම කල්පනා කරා . ඒක වෙන තැනක නිධන් කරලා මගේ නිධන් වදුලත් විනාස කරලා දැම්මම මේ වගකීමෙන් අපේ පරම්පරාවටත් නිදහස් වෙන්න පුළුවන් . ආයෙත් නිධන් කරන තැනට නිධන් වදුල් ලියන්නේ නැති නිසා මාලෙත් පරෙස්සමට තියේවි . අවුරුදු දාස් ගාණක් ගිහින්හරි පොළවට පස් වෙලා යන්නේ නැතැයි සාපෙත් එක්කම . අනාගතේ හැදෙන උන් කොහොමද කියන්න බැහැනේ ගුරුන්නාන්සේ මේවගේ රහස් දෙන්න . ඒ නිසා මේක කොහොම හරි බෑ කියලා කියන්නේ නැතුව කරලා දෙන්න . පිං සිද්ද වෙයි මේ බේරන ජීවිත ගානට . මාලේ තැම්පත් කරලා තියෙන තැන දැන් ඉන්න සුදුමහත්තයා පිට දේසක්කාරයෙක් උනත් උන්නැහේටත් තියෙන්නේ අපිට තියෙන්නා වාගේ ජීවිතයක්නේ " 







" ඔය ළමයාගේ අදහස නම් හරිම හොඳ වටිනා අදහසක් . ඒත් දරුවෝ මේ තැම්පත් කරලා තියෙන එක අපිට හරි පාරෙන් නම් ගන්න බැහැ . මොකද අහු උනොත් අච්චු විඳින්න වෙනවා . ඒ නිසා මේක කරන විදියක් කල්පනා කරලා බලන්න ඕන . දැන් ඔය නිධානෙ අරගත්ත අය මැරුණේ කොච්චර කාලෙකින් වගේද ? " 

" මාස හතරකින් විතර ගුරුන්නාන්සේ " 

" එහෙනම් අර එතනට ආව අලුත් සුදු මහත්තයා දැනට එතනට ඇවිත් කොච්චර විතර කල් වෙනවද ? " 

" කොහොමත් මාසයක් විතර වෙනවා මයේ හිතේ " 

" එහෙනම් මේ කාරණාව ඉෂ්ට සිද්ද කරගන්න ටිකක් කල් තියෙනවා නේද " 

" එහෙමයි ගුරුන්නාන්සේ " 

" ඒක නෙවෙයි . ඔය ළමයාගේ පවුලේ උදවිය කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ . මට ඒ ගැන ඔය ළමයා කිව්වේ නැහැනේ . කොහොමද ඔය ළමයාගේ පරම්පරාව ? . දන්නවනම් පොඩ්ඩක් ඒ ගැනත් කියමු බලන්න " 

" ගුරුන්නාන්සේ මේ ගැන අහලා කලබල වෙන්න කාරි නෑ . දැන් ඔය ටිකිරි කුමාරයා ඉන්නවනේ . එතුමා රජවෙන්නේ මායාදුන්නේ රජතුමාට පස්සේ . උඩරට පාලනය කරේ කරලියැද්දේ බණ්ඩාර කියලා කෙනෙක් . ටිකිරි කුමාරයාට උවමනාව තිබ්බා පරංගි එළවලා ලංකාව සාමකාමී කරන්න . ඒ නිසා උන්නැහේ කරේ තියෙන අනිත් රාජධානිත් තමන්ගේ යටතට ගත්ත එක . ටිකිරි කුමාරයා කරලියැද්දේ බණ්ඩාරට විරුද්ධව සටන් කරලා උඩරටත් අල්ලගත්තා . 

මේකට උදවු උපකාර කලේ වීරසුන්දර බණ්ඩාර කියලා කෙනෙක් . මේ වීරසුන්දර බණ්ඩාර බුද්ධාගම් කාරයා . ටිකිරි කුමාරයා හින්දු ආගම අදහගෙන හිටියේ . ටිකිරි කුමාරයා යටතේ වීරසුන්දර තමයි උඩරට පාලනය කලේ . ඒත් වීරසුන්දරව උඩරට තනි පාලකයා කරවන්න හාමුදුරුවරු පවා කැමැත්තෙන් හිටියේ . වීරසුන්දරටත් උඩරට රජවෙන්න උවමනාව තිබුණා . කොහොමින් කොහොම හරි වීරසුන්දරට රජකම ඕනවෙලා කියල ටිකිරි කුමාරයා දැනගත්තා . මේ නිසා ටිකිරි කුමාරයා කලේ උපායකින් වීරසුන්දරව සීතාවකට ගෙන්නලා අශ්වයා එක්කම බොරු වලක වට්ටලා මරලා දාපු එක . 

මේ කතාවෙන් පස්සේ වීරසුන්දරගේ පුතා කොනප්පු බණ්ඩාර පරංගි එක්ක එක්කාසු වෙලා සටන් පුරුදු වෙලා ටිකිරි කුමාරයාට විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා . පස්සේ බලන කපොල්ල තියෙන හරියේදී තමයි කොනප්පු බණ්ඩාරගේ සේනාවයි ටිකිරි කුමාරයාගේ සේනාවයි අවසානෙට සටන් වදින්නේ . ටිකිරි කුමාරයාගේ සේනාව පැරදෙනවාත් එක්කම ටිකිරි කුමාරයා පැනලා එනවා ආයෙත් සීතාවක පැත්තට . මේ එන අතරේ තමයි ටිකිරි කුමාරයා පෙතංගොඩ උයනට ඇතුළු වෙන්නේ . පෙතංගොඩ උයනේ තියෙන කටු උන පඳුරේ විස කටුවක් ඇනිලා ටිකිරි කුමාරයා මියැදුනා කියලා ගුරුන්නාන්සෙලා අහලා තියෙනවද ? " 

" ඔව් අහලා තියෙනවා . ඔය කතාවටත් කියන්නේ නපුරු උණ කටුව පතුලේ ඇණී වන උනා , එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා කියලා " 







" උන කටුවක් නෙවෙයි ගුරුන්නාන්සේ ඇනෙන්නේ . ඒක මේ කතාවට හැදුනු කටකතාවක් . ඒ වෙලාවේ ටිකිරි කුමාරයට උණ පඳුර කිට්ටුවදී නයෙක් දෂ්ට කරනවා . ඔය නාගයා දෂ්ට කරාට පස්සේ රාජකීය වෛද්‍යවරයා ආවා බෙහෙත් කරන්න . ඒ කාලේ රාජකීය වෛද්‍යවරයා වෙලා ඉඳලා තියෙන්නේ දොඩම්පේ ගණිතයා කියලා කෙනෙක් . වෙදකමට වඩා ජෝතිෂ්‍ය නැකත් සාත්තරේ වැඩකටයුතු තමයි මේ දොඩම්පේ ගණිතයා කරලා තියෙන්නේ . ඒත් වෙදකමත් දන්නා නිසා රජතුමාට විටින් විට වෙදකමුත් කරලා තියෙනවා . 

දොඩම්පේ ගණිතයාගේ දුවව ටිකිරි කුමාරයා බලෙන් අන්තඃපුරයට එක්කාසු කරගත්ත නිසා ගණිතයා තරහෙන් ඉඳලා තියෙන්නේ . ඒත් ටිකිරි කුමාරයාගේ හැටි දන්නා නිසා දොඩම්පේ ගණිතයා මුකුත් කරගන්න විදියකුත් නැතුව තමයි ඉඳලා තියෙන්නේ . ඔන්න ඔය පෙතංගොඩ සර්පයා කෑව වෙලේ තමයි ගණිතයාට පරණ තරහා මතක් වෙන්නේ . ඒ එක්කම නාග වෛරෝඩියට වැදුනු සාපයත් මුදුන් වෙනවා . අන්තිමට දොඩම්පේ ගණිතයා පිටගැස්ම නගින්න බෙහෙත් බැන්දා තුවාලෙට . මේ බෙහෙත් බැඳලා පස්සේ සීතාවක ඔය දිගේ ඔරුවක තමයි ටිකිරි කුමාරයා සීතාවක මාලිගාවට එක්කගෙන එන්නේ . ඒ එන අතරමග තල්දූව ගම කියන කිට්ටුව තියෙනවා කිකිළි බිත්තර වැල්ල කියලා ඔයේ ලොකු වංගුවක් . අන්න එතනදී ටිකිරි කුමාරයා මැරෙනවා " 

" දැන් ඒ කතාව කොහොමද මෙතනට අදාළ වෙන්නේ ? " 

සීයා පුස්කොල පොත නැවත අතට රැගෙන එය පෙරලමින් විමසුවේය . 

" ඒ දොඩම්පේ ගණිතයාගේ හයවෙනි පරම්පරාවේ මුණුබුරා තමයි මම " 

" මොනවා ??????? " 

සීයාගේ ඇස් උඩ ගියේය .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

2 comments:

  1. කාලෙකට කලින් මේ කතා ටික කියෙව්වා. ඊට පස්සේ මට බ්ලොග් එක හොයාගන්න බැරුව ගියා. මුහුණු පොතෙන් තමයි මේ ලින්ක් එක හම්බවුනේ. ඔක්කොම කතා ටික බොහොමත්ම රස වින්දා. අළුත් කතාවක් කියවන්න කැමතියි. බොහොම ස්තුතියි මහන්සිවෙලා කතා ලියන වට අපි වෙනුවෙන්. එක්කෝ කතා ටික එකතු කරලා පොතක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . අලුත් කතාවක් ලියන්න හිත හදාගෙන ආයෙත් බ්ලොග් එක පැත්තට ආවට ලියන්න වෙන්නෙම නැහැ . මේ බ්ලොග් එක රිපෝර්ට් වෙනවා ෆේස්බුක්වල . කවුරුහරි මේක රිපෝර්ට් කරනවා ප්ලෑන් කරලම . මම ජ්‍යෝතිෂ සේවයක් කරගෙන යන නිසා ප්‍රශ්නය ඇත්තේ . අවුලක් නැහැ . දැන් හිත හදාගෙන ආයේ ලියන්න හදන්නේ . :)

      Delete