නොපිට ගිය සොහොන් කාලි පූජාව ( 2 )






මේක ප්ලේ වෙන්න දාලා කතාව කියවගෙන යන්න




මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය


19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .


පසුගිය කොටසින් 


සීයා දිගටම මන්ත්‍ර පුරමින් තම අතේ ඇති කට්ටකුම්න්ජල් අහුරු ගිනි කබලට දමින් නැවත නැවතද මන්ත්‍ර පුරන්නට විය . සියාතු සීයාද මමද අසල වූ ගල් කුට්ටියක් මත හිඳ වටපිට බලමින් සිටියෙමු . තවමත් නාගයෙකු එන පාටක්වත් තිබුණේ නැත .

" චුටි ගුරුන්නාන්සේ අන්න අතන ඉන්නේ කවුද කියලා පේනවද ? "

" කොහෙද සියාතු සීයේ ? මට මුකුත් පේන්නේ නෑ "

" අරනෝලිස් අයියේ වැඩේ හරි වගේ "

අද එතැන් සිට 

සීයා පැවසූ ආකාරයටම මන්ත්‍ර බලයෙන් අපගේ සගයා තම සේවය ඉටු කිරීම සඳහා සෙමෙන් සෙමෙන් අපවෙත ඇදෙමින් සිටියේය . සීයා අසලටම පැමිණි නාගයා පෙනය විදහා තම කාර්යය ආරම්භ කිරීමට සූදානම් බව  හැඟවිය . සීයා මන්ත්‍ර පිරීම නවතා නාගයා දෙස සිනහ මුසු මුහුණින් බැලුවේය . නාගයාද සීයා දෙස සුළු වෙලාවක් බලා සිටියේය . සීයා නැවතත් වෙනත් මන්ත්‍ර කීපයක් මතුරන්නට විය .

........................ ඕන් රාම මරුකීල දෙහෙදු රාජ ද්‍රිඝි දිසි අං අං ඉං ඉං උං උං පුර පුර නාග දැපන බන්ධාමි ඉං ඉං බන්දුන් රාජා යම අද්ද බන්දුත් චන‍ද්‍ර කුජ බන්දුත් අලලා බන්දුන් දෙෂට පාපශැති බන්දුනි රං රං රුං රුං වරං රෙං නාග දැපන බන්ධ දෙව පුත්ත්‍ර චිත්ත්‍ර පත්ත්‍ර රාම රාමයි රිං රිං යෝ ගිනි බන්දුනි ජල මල බන්දුනි පරනිලී බන්දුනි බුම්මඩලෙ කට්ටු නාග විල්ලොඩි දැපනේ හිටු පුතා දැපනේ හිටු................. ඕන් ඉර රාම බන්ද හැම යක්ෂ භූත පිශාචයෙං වර වර ඉං ඉං උං උං හං හං එං එං ඕං ඕං කුරර නාග දැපනේ හිටු නාග රජ මස්ලෝ උදර හර හර ඇට කුලල් සිරිමස් දිෂ්ටි හිර හර හඃ ඕන් ප්‍රඩා ජල රාම් රාම් හෙන හිනි පුපුරාගන් හැම අවතාර කර්ගදිලි ඕන් නාග දේව දැපනේ කාමා රූමති දෙවො රාජාශි දිශි අං අං ඉං ඉං උං උං එං එං ඕං ඕං ත්‍රජන හාම් හාම් යම බන්දු බුධය බන්දු ඔං ඔං යමතගර්‍ග හෙන පුපුරාගන් කුජ සොහොන් එවයිර නාග දැපනේ හිරමස් ලේ උදර ජල පොති චර චර සූරිය ධරණ මණ්ඩලෙ බුම් කට්ටු නාග දිෂ්ටි හිර හිර හිටු පුතා හිටු ..................

" චූටි පුතේ , ඔන්න ඔය පුහුල් ගෙඩිය සුදු රෙද්දෙන් ඔතා ගත්තානම් . මේ සතාවත් දැන් ගෙදර එක්ක යන්න වෙනවා . කොහොමද ගෙනියන්නේ . අපිත් එක්කම මේ සතා කරත්තෙට නැග්ගොත් හොඳයි . නැත්නම් ඒත් කාරි නෑ . කරත්තෙ පස්සෙන් එයි "

මම පුහුල් ගෙඩිය සුදු රෙද්දෙන් ඔතා ගත්තෙමි . නාගයා තවමත් දරන ගසා පෙනය විදහා අපදෙස බලා සිටී . මේ අතර මමද සියාතු සීයාද ගෙන ආ කළමනා අස්පස් කර නැවත වලව්වට යන්නට සූදානම් වීමු . නාගයා වලව්වට කැඳවාගෙන යා යුතු යැයි කියා කියන ලද්දේ එකත් එකටම ඇබිත්ත කොලුවා මෙහි කැඳවීමට පිල්ලිය යවන්නේ වලව්වේ සිට නිසා විය යුතුය .





" නයි හාමි දැන් අපිත් එක්ක කරත්තෙට ගොඩවෙනවද ? නැත්නම් කරත්තේ පස්සෙන් වලව්වට එනවද ?

අසමින් සීයා නාගයා දෙස ශාන්ත බැල්මක් හෙලුවේය . නයාගේ කිසිඳු හැලහොල්මනක් නැති හෙයින් නයාට ඉන්නට හැර පැමිණි අප කීප දෙනා පමණක් වලව්වට යාමට තීරණය කලෝය . අප රැගත් කරත්තය වලව්වට ළඟාවන විට මධ්‍යම රාත්‍රිය වී තිබිණි . වලව්වේ බට්ටා ඔරලෝසුව ඒ බව හඟවන නාදය නිකුත් කලේ මා කරත්තයෙන් බසින විටය .


" ඔය පුහුල් ගෙඩිය පහන් පැළ කිට්ටුවෙන් තියන්න . නයා එන පාටක් නැහැනෙ නේද ? . මෙතනට ගෙන්න ගන්න මන්තරනම් තියෙනවා නයා දැන් දැපනේ වැටිලා ඉන්න නිසා . තව ටිකක් වෙලා බලමු . කමක් නෑ පුතා පුහුල් ගෙඩිය සුදු රෙද්දත් එක්ක ඔහොමම පහන් පල කිට්ටුව තියන්නකෝ "

සුදු රෙද්දෙන් ඔතන ලද පුහුල් ගෙඩිය මහසොහොන් දේවතාවාට පහන් තබන පහන් පැළ අසල තැබීමට පහන්පැල අසලට ගිය මා හට දකින්නට ලැබුණේ සීයාගේ මන්තරවල ඇති හාස්කම් වල සත්‍යතාවයයි . සොහොනේදී අප වෙත ආ නාගයා පහන් පැලේ කණුව වටා සිටින පරිදි දරන ගසා සිටියේය .

" සීයේ මෙන්න ඇවිල්ලා "

" එහෙනම් ඒ රාජකාරියත් අහවර කරලම අපිට ඇඟපත හෝදගෙන ටිකක් නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන් "

පහන් පැල අසලට පැමිණ එහි වූ පහන අතට ගත් සීයා එයට තිරයක් දමා පොල් තෙල් පුරවා එම තෙල් වලට මතුරා පහන් පැලේ තබන ලදී . පසුව කුඩා කලයකට වතුර පුරවාගත් හෙතෙම එය පහන් පැල ඉදිරියේ බිම තබා පහන් පැලේ පහන දැල්වීය . පහන දල්වා මහසොහොන් දේවතාවාට ආරාධනා කරන මන්ත්‍ර මතුරන්නට විය .







“………….. එක්මන්සල යක්ෂයා වර දෙමන්සල යක්ෂයා වර තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර නාවොත් උන් තැන ගිනි කරන සිටි තැන ගින්කරන් සොහොන් කන්ද උපුල්ලා වර වර එසවාහඃ.............. අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් අසා දොළ පිදේනි ගන්න කෝලි අවතාරෙන් වර වර විපුල මහසොහොන් දිෂ්ටී වර සිද්ධ ගජදල දේවතාවාගේ ආනුභාවයෙන් මහසොහොන් දේවතාවා වර වර මහසොහොන් පිල්ලි හල හල ත්‍රීක්ක අම්මා ඇදහූ බිල්ල කෙලගන්න මෙරඟ බලා වරෙන් …………..”

මේ සියල්ල සිදුවන අතරවාරයේ නාගයා කිසිඳු හැලහොල්මනක් නොමැතිව පහන්පැල වටා දරන ගසා සිටියේය . මහසොනාට හඬගැසූ සීයා එය අවසානයේ බිම තබන ලද පැන් කලය අතට ගෙන

" එහෙනම් නයි හාමි මගේ මේ වැඩේ ඉෂ්ට සිද්ද කරලා දෙන්න ඕන හොඳද ? "

කියා පිල්ලිය යැවීමට මන්ත්‍ර පුරමින් පැන් කලය ජීවම් කිරීම ආරම්භ කළේය . එක් එක් වර්ගයේ පිල්ලි යැවීම් පිළිබඳව මා විටින් විට උගෙන තිබේ . මේ ඉන් එක් ආකාරයකි . සතෙකු දිශ්ටිකර ගෙන්නවා මේ ආකාරයට පැන් කලය මතුරා පුවක් මල් කිණිත්තකින් එම සතාට පැන් පොදක් ඉස්ස විටදී සතා ගමන් කිරීම ආරම්භ කරයි . අනතුරුව අඳුනෙන් එම සතාගේ ගමන් මාර්ගය බලා හනුමන්තාගේ ආධාරයෙන් එම පිල්ලිය අවශ්‍ය තැනට යවා අවශ්‍ය කාරණාව ඉටුකරගැනීමට හැකියාව තිබේ .

මෙහිදී පිල්ලියේ පාලනය අඳුන හරහා සිදුකරගත හැකි බැවින් වඩාත් ආරක්ෂාකාරී සහ පාලනයක් සහිතව මේ කාර්යය ඉෂ්ට සිද්ද කරගැනීමට හැකියාව තිබේ . මන්ත්‍ර ශාස්ත්‍රයේ න්‍යායාත්මක කරුණු පිළිවෙලින් ඉගෙනගත් පසුව ඒවා එකිනෙක සංයෝජනය කරමින් මේ ආකාරයේ විශ්මය ජනක ක්‍රියාකාරකම් සිදුකිරීමට හැකියාව තිබේ . එය ශාස්ත්‍රය හසුරවන්නාගේ දක්ෂතාවයයි .

සීයාට දැන් වෙනදා මෙන් එකදිගට හිටගෙන සිටීමට නොහැක . සිතෙන් තවමත් සවිමත් වූවත් ඔහු දැන් ගතින් දුබලය . පැන් කලයත් රැගෙන මිදුලේ අඹ ගස යට ඇති බංකුව අසලට ගිය සීයා  නාග රාජයා පෝග පෝග එසවාහඃ කියමින් මන්ත්‍රය තවදුරටත් මතුරමින් පැන් කලයේ ජීවම ඉහල නැංවීය .






" මට මහන්සියි පුතේ . මෙන්න මේක අර සතාගේ ඇඟට ඉහින්න "

පැන් කලය සහ පුවක් මල් කිණිත්ත සීරුවෙන් අතට ගත් මම සෙමෙන් සෙමෙන් පහන් පැල අසලට ගොස් පුවක් මල් කිණිත්තෙන් පැන් කලය හොඳින් කලතා නයාගේ ඇඟට මතුරන ලද පැන් ඉස්සෙමි . නයාගේ කිසිඳු වෙනසක් නොවීය . මම නැවතත් පැන් ස්වල්පයක් ඉස්සෙමි . වෙනසක් නැත . තුන්වෙනි වතාවේදී නාගයා ක්‍රියාත්මක විය . ශ්ශ්ශ්ශ්ශ්ශ්..................... හඬ නංවමින් පෙනය විදාහල නාගයා නැවත පෙනය හකුලා දරනය දිගහැර වේගයෙන් නික්ම ගියේය .

" හ්ම්ම් ගම්පහටම යන්න එපාය . හෙට උදේට අංජනම අරිමු . ඇරලා බලලා ඕන උනොත් හනුමා ලවා නයාගේ පාර වෙනස් කරලා ඇබිත්ත කොලුවා ගාවට යවමු . සියාතුවෝ අපි එහෙනම් දැන් ඇඟ පත හෝදගෙන තියෙන දෙයක් කාලා නිදාගෙන උදෙන් අවදිවෙමු "

මෙම සියල්ල අවසාන වනතුරු අවදිවී සිටියේ ආච්චි අම්මා බව සිහිපත් කලයුතුය . අම්මාද තාත්තාද වලව්වේ අනෙක් මෙහෙකරුවන්ද තද නින්දේ පසුවන වෙලාවේ අප වෙනුවෙන් තවමත් අවදිව සිටියේ ආච්චිඅම්මාය .  මුහුණ අත පය සෝදාගැනීමෙන් අනතුරුව සීයාද , සියාතු සීයාද කෑම කෑමට සූදානම් වූ අතර එතරම් බඩගින්නක් නොවූ හෙයින් මම ඔවුනට සමු දී නිදාගැනීමට කාමරයට පැමිණියෙමි .

අද දින සිදුවූ සියල්ල මෙනෙහි කරන අතරවාරයේ කාමරය වටා ඇස කරකැවූයෙමි  . එක පසෙක මන්තර පොත් තැම්පත් කර තිබෙන පෙට්ට්ගමය . සමන් දෙවියන්ගේ ඝනානුභාවයෙන් ලැබී හිමවතේ ඇත් සොහොනෙන් ගෙන ආ ත්‍රිශූලය එක් පසෙක බිත්තියේ රඳවා තිබේ . අමනුෂ්‍යයින් හැසිරවීම මනුෂ්‍යයින් හැසිරවීමට වඩා වෙහෙසකර අපහසු අවදානම් දෙයක් වුවද නිසි මග පෙන්වීම යටතේ ඉගෙනගත් පසු එය අනෙක් සියල්ලට වඩා පහසු කාර්යයකි .






අමනුෂ්‍යයෙකු බැඳගෙන වැඩ ගැනීමට ආශාවක් හදවතේ කොනක සැඟවී තිබුණද තවම එයට අවස්ථාව ලැබී නැත . නමුත් සීයා ජීවතුන් අතර සිටියදීම එය කල යුතුය . ඒ එම අවදානම නිසා ජීවිතයට තර්ජනයක් ඇතිවුවහොත් මා බේරාගැනීමට පුළුවන් වෙනත් විශ්වාසවන්ත කෙනෙකු නොමැති බැවිනි . අමනුෂ්‍යයෙකු බැඳ වැඩ ගැනීමට ආශාවක් තිබුණද කරන්නට වැඩක් සොයාගැනීම ඊටත් වඩා දුෂ්කරවනු ඇත .

මනෝලෝකයේ සැරිසරමින් සිටි මා එම සිතිවිලි දාමය නැවත අමුණන්නට වූයේ පසුදා උදෑසන අවදි වීමෙන් පසුවය . " අඳුන " මතක් වීමත් සමගම මා ගැස්සී ගියේය . අඳුන බැලීමට මා අවශ්‍යය . මම වහා ඇඳෙන් බිමට බැස මන්තර පොත් තබා තිබෙන පෙට්ටගමට වැඳ කාමරයේ දොර විවරකර පිටත සිදුවන්නේ කුමක්දැයි බැලුවෙමි . සීයා අංජනම එළියට ගැනීමට මා අවදිවනතුරු බලා හිඳ ඇත . පෙට්ටගම විවෘත කර අඳුන ඉන් ඉවතට ගැනීමට සීයාට ඉඩ දී මම වහා නා පිරිසිදු වීමට වලව්වේ ලිඳ වෙත දිව ගියෙමි . අඳුන බලන පුද්ගලයා ඊට ප්‍රථමයෙන් නා පිරිසිදු වීම අනිවාර්ය කරුණකි .

මම නා පිරිසිදු වී සුදු සරමක් ඇඳ එන විට අංජනම් එලිය ඇරීමට සීයා සූදානම් වී සිටියේය . අංජනම කනප්පුව උඩ තබා එය ඉදිරියේ පහන දල්වා මල් පීරිසියක් තබා තිබිණි . කට්ටකුමන්ජල් දුම් ඇල්ලීම සඳහා අඟුරු කබලක්ද අසල විය . මා සූදානම් වී පැමිණ කනප්පුව ඉදිරියේ කුඩා බංකුව මත හිඳගත් විටම සීයා කසිවක් නොකියා අංජනම් එලිය ඇරීමට මන්ත්‍ර මතුරන්නට පටන් ගත්තේය .







“……ආතාල බන්ධ පාතාල බන්ධ අටකොන රාක්ෂ බන්ධ ශක්‍ර දේවේන්ද්‍රගේ අනින් කැරකි කැරකී ඇවිලී දැවිලී මහාමේරුවට අත තබා සුරාසුර කොදෙවු සාගර තරණය කර හනුමන්තා දේව රාජා අංජන දේවී වරං අරං එලිය බලා ඕඩු ස්වාමියානේ ඕඩු ඕඩු එස්වාහඃ………”

මන්තර මතුරමින් කට්ටකුමන්ජල් දුම් අල්ලනවිට තද කළු පැහැයෙන් යුක්තව තිබුණු අංජනම ටිකෙන් ටික පැහැදිලි වන්නට පටන් ගත්තේය . හනුමන්තා දෘශ්‍යමාන විය . 

" හනුමා ආවා සීයේ "

" පුතේ හනුමට කියන්න අපි යවපු පිල්ලිය දැන් කොහෙද ඉන්නේ බලන්න කියලා " 

" හනුමන්තා  කියනවා සීයේ ඒ නාගයා දැන් ගම්පහට කිට්ටු වෙලා කියලා " 

"එහෙනෙම් පුතේ හනුමට කියන්න මේ සියාතු සීයා ගුරුකම වරද්දගත්ත නිසා කාලි දිෂ්ටිය වැහිච්ච ඇබිත්ත කොලුවා ළඟට ඒ නාගයාව යවන්න කියලා "

" සීයේ හනුමා කියනවා එතනට යන්න බැහැ , මාර්ගය එක තැනකදී අවහිර වෙනවා කියලා "

" අහන්න ඒ ඇයි කියලා "

" ආරක්ෂා සීමාවක් ලකුණු කරලා තියෙනවලු . සියාතු සීයා ඒ ගැන දන්නවලු " 

" මොකක්ද සියාතු මේ කියන්නේ " 

" අරනෝලිස් අයියේ ගමේ ආරක්ෂාවට කියලා ගමේ මායිමේ වටේට පිරිත් පැන් එක්ක මතුරපු වැලි ඉහලා තියෙනවා . ඔය කියන්නේ ඒක වෙන්න ඕන . මෙන්න මේ මන්තරේ මතුරලා අවහිරේ නැති කරන්න පුළුවන් "
කියමින් සියාතු සීයා මන්තරයක් කියාගෙන ගියේය .







" පුතේ දැන් අහන්න අවහිරේ අහවර වෙලාද කියලා "

" හරි සීයේ දැන් අවහිරේ නැති වෙලා "

" එහෙනම් දැන් බලන්න අර ඇබිත්ත කොලුවා ඉන්න ගමට යාගන්න පුළුවන්ද කියලා ? "

" ඉර මුදුන් වෙන වෙලාවට ඇබිත්ත කොලුවා අල්ලගන්න පුළුවන් කියලා හනුමා කියනවා සීයේ "

" එහෙනම් අංජනම ඔහොමම තියලා අපි දවල් වෙලා අංජනම ඇරලා ආයෙත් බලමු . කවුරුවත් තවම උදේට කෑවේ වත් නැහැනේ "

සීයා එලිය නවතන මන්ත්‍ර මැතිරූ පසු ක්‍රම ක්‍රමයෙන් අංජනම නොපෙනී ගියේය . පසුව උදෑසන ආහාර ගැනීම සිදුවිය . ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා ගතවූ කාලය බලනවිට නාගයා සැලකියයුතු විශාල දුරක් ගමන් කර තිබේ . එම දුර කරත්තයකින් ගමන්කලද දවස් දෙකක් පමණ යායුතු දුරකි .

" සීයේ ඒ නයා හරි ඉක්මනට ගිහින් තියෙනවා නේද ? . ඒත් මම දැකලා නැහැ නයි මෙච්චර වේගයෙන් ඇවිදිනවා . කොහොමද ඒ සතා මෙච්චර ඉක්මනට ගියේ "

" දැන් පුතේ ඔය සතා ඉන්නේ වෙනදා ඉන්න සතා නෙවෙයිනේ . ඒ සතාව පාලනය කරන්නේ අමනුස්ස බලවේගයක් . ඒ නිසා ඇහිපිය ගහන මොහොතට උනත් ඒ සතාට එහා මෙහා වෙන්න පුළුවන් "

" මම බැලුවා ඒත් කොහොමද මෙච්චර ඉක්මනට ගම්පහට මේ සතා ගියේ කියලා "

" පුතේ අර පහන් පැළ ළඟ තියලා තිබුණු පුහුල් ගෙඩිය පරිස්සම් ඇතුව තියෙනවා නේද ? . නයා ආයෙත් ආවට පස්සේ නයාව නිදහස් කරන්න ඒ පුහුල් ගෙඩිය ඕන වෙනවා "

පුහුල් ගෙඩිය පිලිබඳ සිහියට ආවේ සීයා ඒ පිළිබඳව සිහිපත් කරන විටය . මම වහා දිවගොස් පහන් පැළ අසල පරීක්ෂා කර බැලුවෙමි . සුදුරෙද්දෙන් ඔතා මා තැබූ ආකාරයටම එය එම ස්ථානයේ තිබිණි . සීයා සහ සියාතු සීයා සිටින තැනට නොගොස් මම කෙලින්ම ගියේ මගේ කාමරයටය . රාත්‍රියේ නින්ද අඩු වූ නිසාදෝ තරමක නිදිමත බවක් වූ හෙයින් මම නැවත ඇඳේ හාන්සි වීමි . එසැනින් මට නින්ද ගියේය .


ඊළඟ කොටසින් හමුවෙමු

පලි :- සවුන්ඩ් ක්ලිප් එක හැදුවේ තොවිල් වීඩියෝ එකකින් සහ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ කොටස් වලින් . පරවාහැර සෝමතිලක සහ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණය කල අයට හදපිරි ස්තූතිය සහ නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment