නොපිට ගිය සොහොන් කාලි පූජාව ( 1 )

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .






කාලය ගතවන්නේ අපට නොදැනෙන පරිද්දෙනි . මන්ත්‍ර ශාස්ත්‍රයට අතපොත් තැබූ දිනය මට අද ඊයේ මෙන් සිහියට නැගේ . එතැන් සිට මේ දක්වා සීයාත් මමත් එක්ව නොපෙනෙන බලවේග සමග කරන ලද එක් එක් විශ්මිත ක්‍රියාකාරකම් සිහි ගන්වමින් ඒවායේ තිබුණු අද්භූත රසය විඳ ගැනීමට මම තදින්ම ආශා කලෙමි . වලව්වේ තිබෙන නිස්කලංක පරිසරය ඒ සඳහා මා නිරායාසයෙන්ම පොළඹවන ලද්දේය .

වලව්වට පැමිණෙන ලොකු කුඩා ඕනෑම කෙනෙකු සංවරශීලී ගතිපැවතුම් වලට යොමු වන්නේ වලව්වේ නිස්කලංක පරිසරය නිසාවෙන්ද නැතිනම් සීයා හා මා පසුපස සැඟව සිටින අමනුෂ්‍යබලවේග හමුවේ ඔවුන් දක්වන අසීමිත බිය නිසාවෙන්ද කියා මම නොදනිමි . එහෙත් වලව්වේ නිසකලංක පරිසරය සෑමවිටම මා පොළඹවන ලද්දේ අතීතය සිහිගැන්වීමටය .

ඊයේ රාත්‍රියේ සීයාත් මමත් වලව්වට එන විට රාත්‍රී දහය පමණ වී තිබිණි . කිරි හරකුන් ඇතිකරමින් තම ජීවිකාව ගැටගහගත් අබරන් සීයාගේ හරක් මඩුවට ගොපළු දේවතාවාගේ බැල්ම වැටී ඇතිබවට ඔහු අපට පැවසූයෙන් ඒ පිළිබඳව විමසා බැලීමට සීයා සහ මම එහි ගියෝය . සැබවින්ම එය ඉතාම පිරිසිදු ගව මඩුවක් බව කිව යුතුය . ගවයින්ගේ අපද්‍රව්‍ය මනා ලෙස ඉවත්කර ගවයින්ගේ කෑම බීම පුන්නක්කු පවා අනවශ්‍ය ලෙස ඉහිරුවා දමන්නේ නැතිව ඉතාමත්ම පිරිසිදු ලෙස මේ ගව මඩුව , අබරන් සීයා විසින් පවත්වාගෙන යයි .

ගවයින් බලාගන්න සෑම සියළුදෙනාගේම බලාපොරොත්තුව වන්නේ ගොපළු දේවතාවගේ පිහිට ආරක්ෂාව පැතීමය . ගොපළු දේවතාවා ගවයින් , ගවයින් ඇති කරන්නන් ආරක්ෂා කරනවා මෙන්ම සෑම රාත්‍රියකම තමා වෙනුවෙන් පහන් දල්වන ගව මඩු වෙත පැමිණ කිරි දෙනුන්ගෙන් තම කෙන්ඩියට කිරි දොවාගැනීමද සිදු කෙරේ . මෙය ගවයින් ඇති කරන්නන් සලකන්නේ තමන් ලද ආශිර්වාදයක් ලෙසය .






සෑම දිනකම රාත්‍රියේ අබරන් සීයා තම ගව මඩුව ඉදිරියේද පහනක් දල්වා ගොපළු දෙවියන්ගේ ඇල්ම බැල්ම තම ගව මඩුවට ලබා දෙන ලෙස කන්නලව් කල වග හෙතෙම අප හා පැවසුවේය . දිනක් ඔහු කෙවිටක් අතින් ගත් පුද්ගලයෙකු වැස්සියකගෙන් තම කෙන්ඩියට කිරි දොවා ගන්නා දර්ශනයෙන් පුදුමයෙන් පුදුමයට පත්වී පසුදා උදෑසන වලව්වට දිව අවේ ඒ ගොපළු දේවතාවාදැයි සැක හැර දැනගැනීමටය .

" ආ අබරන් , උඹටත් ගොපළු දෙවියන්ගේ පිහිට ආරස්සාවා ලැබුණා එහෙනම් නේද ? "

" එහෙමයි ගුරුන්නාන්සේ . මට ඒ වෙලාවේ සන්තෝසේ බැරුව මොනවා කරන්නද කියලා හිතාගන්ට බැරි උනා . තකහනියෙම වලව්වට දුවගෙන ආවේ ගුරුන්නන්න්සේට මේ වග කියාලා සහසුද්දෙන් දැන ගන්න ඒ ගොපළු දෙවිහාමුදුරුවොමද කියලා . මම උන්නාන්සේට භාර උනේ උන්නාන්සේගේ ඇල්ම බැල්ම ලැබෙනවානම් ගලේ දේවාලෙට එළකිරෙන් පිළියෙළ කරාපු කිරිබත් හත්මාළුව පූජා කරනවාය කියලා . උන්නාන්සේ එහෙනම් මගේ කන්නලව්ව වදාරලා වෙන්න ඕන "

" රාත්තිරියේ ඇඳිරි වැටුනම මම එන්නම්කෝ හරක් මඩුව පැත්තේ . අපිට අඳුන බලල සහසුද්දෙන්ම කියන්න පුළුවන් ඒ ගොපළු දෙවියොද වඩින්නේ කියලා . උන්නාසේගේ ඇල්ම බැල්ම තියෙනවනම් උන්නාන්සේ හරක් මඩුවට රෑ ජාමේ වෙනකොටවත් වඩින්න ඕනනේ  "

සීයා මේ සියල්ල පිළිබඳවම විමසිල්ලෙන් කතාකර එදින සවස හය පමණ වනවිට අඳුනද රැගෙන මාත් සමග අබරන් සීයාගේ හරක් මඩුව වෙත ගමන් කළේය . සිතූ ලෙසම එදින ගොපළු දෙවියන් වැඩි අතර අඳුන බැලීමෙන් ඒ ගොපළු දෙවියන් බව සහසුද්දෙන්ම බලාගැනීමට හැකි විය . පළමු දිනයේ ගොපළු දෙවියන් අබරන් සීයාට පෙනෙන ලෙස වැඩියද පසුව එතුමන් දෘශ්‍යමාන වූයේ නැත . එබැවින් එතුමන් හඳුනාගැනීමට උපකාරී වුයේ කවදත් අපට අදිසි දෙවියන් සදිසි මානයට ගෙන ආ අඳුනය .







මේ සියල්ල අවසන් කර රාත්‍රී දහයට පමණ වලව්ව වෙත අප පැමිණියේය . අද දින මටද සීයාටද වැඩ රාජකාරි අධික දිනයක් නොවුණු හෙයින් සීයා වත්ත පහල එළවලු ගස් අතරේ ඇවිදිමින් ඒවාට සාත්තු කරමින් සිටියේය . මම මිදුලේ අඹගස යට බංකුවේ හිඳ අතීතාවර්ජනය කරමින් සිටියෙමි . හදිස්සියේම මාගේ දෙනෙත මදකට නතර වූයේ මහසොහොන් දේවතාවට පහන දල්වන පහන් පැල වෙතය . මහසොහොන් රුව දෙස බැලූ මා එයින් දෙනෙත ඉවතට ගන්නා ලද්දේ වලව්ව වෙත වේගයෙන් දිව එන බක්කි කරත්තයේ ශබ්දය ඇසීම නිසාය . ඒ වෙනකෙකු නොව ගම්පහ සියාතු ගුරුන්නාන්සේය .

නාගකන්‍යාවියගේ ආත්මය සමග සීයා කල ගුරුකම වැරදීම නිසා සීයා මරු කටට යාමට ඔන්න මෙන්න තිබූ වෙලාවේ සීයා බේරා ගැනීමට හරි හරියට වෙහෙස වී කටයුතු කලේ සියාතු ගුරුන්නාන්සේ බව කරත්තය වලව්වේ මිදුලට සම්ප්‍රාප්තවන සුළු මොහොතට මට සිහිපත්විය . සියාතු ගුරුන්නාන්සේ වෙනදාමෙන් ශාන්ත බවකින් යුක්ත නොවීය . හදිස්සියේම කරත්තයෙන් බැසගත් හෙතෙම වේගවත් ගමනින් ගොස් වලව්වේ ඉදිරියේ වූ කළුවර ලී පුටුවේ හිඳගත්තේය . ඔහු පිළිගැනීම සඳහා මා ඔහුවෙත යන විට ඔහු නැවත පුටුවෙන් නැගිට ආයුබෝවන් කියා මට ආචාර කළේය . ශිල්පයේදී ගරුබුහුමන් දක්වන්නේ වයසට නොව පරපුරටයි . ඔහු කල ආචාර කිරීමට , පෙරලා මා ආචාර කරන මොහොතේ ,

" චූටි ගුරුන්නාන්සේ කෝ අරනෝලිස් ගුරුන්නාන්සේ " කියා සීයා විමසුවේය .

" අද සීයා එළවලු කොටුව පැත්තට ගියා . ඉන්න මම කතා කරන්නම් . සියාතු ගුරුන්නාන්සේ මොකද අද මේ පැත්තේ............... ? . පෙනුමෙන් නම් හදිස්සියක් වගේ "

" මම මේ හදිස්සි වැඩකට අරනෝලිස් ගුරුන්නාන්සේ හම්බවෙන්න ආවේ . ඉකමනට සීයට එන්න කියන්නකෝ චුටි ගුරුන්නාන්සේ "

මම ඔහුගේ අවශ්‍යතාවය ඉතාම තදබල වූ හෙයින් වලව්වේ ඇතුලෙන් නොගොස් වලව්වේ පැත්තකින් වූ ආඩි පාර දිගේ දිවගොස් වත්ත පහළ වූ සීයා කැඳවාගෙන ආවෙමි . සීයා දුටු වහාම සියාතු ගුරුන්නාන්සේ දඩස් ගා හිඳගෙන උන් පුටුවෙන් නැගී සිටියේය .

" අරනෝලිස් අයියා දැක්කේ ගොඩ කාලෙකට පස්සේ . හදිස්සියේම එන්න උනේ ලොකු කාරණාවක් නිසා "

" ඔහොම හිටපන් . උඹත් එක්ක කතා කරන්න කලියෙන් බැහැපන් වලව්වෙන් එලියට ඉස්සෙල්ලම "

සියාතු ගුරුන්නාන්සේ කිසිවක් නොකියා වලව්වේ පඩි කීපය බැස මිදුලට ප්‍රවිෂ්ට විය .

" දැන් ඔහොම නතර වෙයන් "







එසේ විධාන කල සීයා වලව්ව ඇතුලට ගොස් නැවත එලියට ආවේ කිනිස්ස තම මුව වෙත කිට්ටුවන සේ තබාගනිමින් මන්තර මතුරමින්ය . සීයා සියාතු ගුරුන්නාන්සේ සමග කඩුල්ල වෙත ගොස් සියාතු ගුරුන්නාන්සේ කඩුල්ලෙන් පිටතට යවා තම අත ඇති කිනිස්සෙන් බිම ඉරි ගසන්නට පටන් ගත්තේය . මම සිතූ දේ හරිය . සියාතු ගුරුන්නාන්සේ ඇවිත් තිබෙන්නේ යක්ෂ දිෂ්ටියක් සමගය . මේ ඉරි ගසන්නේ ඔහුගේ දිෂ්ටිය කඩුල්ලෙන් එපිට නවතා සියාතු ගුරුන්නාන්සේ පමණක් වලව්ව තුලට කැදවාගෙන ඒමට විය යුතුය . සිය කාර්යය අවසාන කර සීයා සහ සියාතු ගුරුන්නාන්සේ වලව්වට නැවත පැමිණෙන තුරු , වෙන්නේ කුමක්දැයි කියා මම බලා සිටියෙමි .

" හම්මේ........ අරනෝලිස් අයියේ මගේ ඇඟට ලේ ඩිංගිත්තක් ඉනුවේ දැන් තමයි "

" උඹේ පිටිපස්සේ යක්ෂ දිෂ්ටිය වැටිලා තියෙන විත්තිය මට උඹේ ඇස් දෙක දැක්ක ගමන්ම තේරුම් ගියා . වෙලාවට මම වලව්වේ ඉන්න වෙලාවක ආවේ . හා ! දැන් කියපංකෝ බලන්න කොහෙන්ද වරැද්ද ගත්තේ කියලා බලන්න "

" මේක ලොකු කතාවක් . සොහොන් කාලි දිෂ්ටියකට මාව දැන් අහුවෙලා මරණයට නියම වෙලා ඉන්නේ . මාව මරන්න ඒ ගමේ එකෙක් යක්ෂ දිෂ්ටියෙන් කඩුවකුත් අරගෙන මේ වෙනකොට ගම්පහ පීරනවා කියලා මට විස්වාසයි . මාව මරන්න කලියෙන් කරන දෙයක් කරන්න වෙයි අරනෝලිස් අයියේ "

" චූටි පුතේ , ආච්චි අම්මට කියන්න සියාතු සීයට බෙලිමල් කෝප්පයක් පිළියෙළ කරන්න කියලා . අපිටත් බෙලිමල් බොන්න වෙයි මේ කතාවේ හැටියට " කියා සීයා මාත් සමග සිනාසුනේය . බෙලිමල් සෑදීමට ආච්චි අම්මාට පණිවුඩය දුන් මා නැවතත් සාලයට පැමිණ මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පැමිණි මේ දෙපලගේ කතාවට කන් දී සිටියෙමි .

" අරනෝලිස් අයියේ . මේක දිග කතාවක් . අපේ ගමේ තියෙනවා පුරාණ විහාරස්ථානයක් . ඔය විහාරයට අයිති ඉඩම සාසනේට පූජා කරලා තියෙන්නේ ඒ කාලේ ජීවත් වෙච්ච නිළමේ කෙනෙක් . ඒ නිළමේ තුමාගේ සොහොනත් පිහිටලා තිබුණේ මේ පන්සල් වත්තේ පැත්තකට වෙන්න . නිළමේ තුමා අන්තීමට කියලා තියෙනවා උන්නැහේගේ මිනියත් පන්සල් වත්තේ පැත්තකට වෙන්න වලදාන්න කියලා . පස්සේ වලව්වේ උදවිය නිළමේ තුමාගේ මිනියත් වලදාලා සොහොන් කොතකුත් හදලා තියෙනවා . මේ ළඟක් වෙනකල් ඒ සොහොන් කොත මේ පන්සල් වත්තේ තිබුණා . හැබැයි අවුරුදු ගාණක් පරණ වෙලා තිබුණ නිසා සොහොන් කොත හොඳටම අබලන් වෙලා ගරා වැටිලා වගේ තිබුණේ . වලව්වේ උදවියත් දැන් ගම නැහැ . වලව්වත් ගරාවැටිලා .

දවසක් පන්සලේ නායක හාමුදුරුවෝ පන්සලේ ඇබිත්ත කොලුවට කියලා ගරා වැටිච්ච සොහොන් කොත දැන් ඔහොමම තිබුණ කියලා වැඩක් වෙන්නේ නෑ . නිළමේ තුමත් දැන් වෙන ආත්මයක් ලබලා ඇති . ඒ නිසා සොහොන් කොතෙ ඉතිරි ටිකත් කඩලා අස්පස් කරලා දාන්නය කියලා . පස්සේ මේ ඇබිත්ත කොලුවා මේ සොහොන් කොත අස් පස් කරලා එතන සුද්ද පවිත්‍ර කරාට පස්සේ තමයි මේ වින්නැහිය පටන් ගත්තේ .







එක පාරටම මේ ඇබිත්ත කොලුවට නිළමේගේ ආත්මය වැහිලා නිළමේ තුමා වගේ කතා කරන්න පටන් අරගෙන . පස්සේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ පස්සෙන් එළවන්න අරගෙන මගේ සොහොන් කොත කඩා දාපු එකා , මම උඹව මරණවා කිය කිය . පස්සේ ගමේ කීප දෙනෙක් එකතුවෙලා මේ ඇබිත්ත කොලුවා අල්ලලා ගස් බැඳලා තමයි නායක හාමුදුරුවන්ගේ පස්සෙන් එලවන එක නවත්තගෙන තියෙන්නේ .

පස්සෙන් පහු නායක හාමුදුරුවෝ මාව මුණගැහෙන්න ඇවිදින් මට මේ කාරණාව කිව්වට පස්සේ මම කල්පනා කරා නිළමේ තුමාගේ දිෂ්ටිය අයින් කරානම් මේ ප්‍රශ්නය විසඳෙනවා නේද කියලා . පස්සේ මම දවස් දෙකක් ගතවෙන්න කලියෙන් තොවිලයක් නටන්න පිළියෙළ කරා . තොවිලය කරගෙන යන්න පටන් ගත්තට පස්සේ තමයි මේ ඇබිත්ත කොලුවව ගහෙන් ලිහලා පැදුරක වාඩි කෙරෙව්වේ . තොවිලය කරගෙන ගිහින් නිළමේ තුමාගේ දිෂ්ටිය හිර කරා විතරයි මේ කොළුවා නටන්න ගත්තා මට මහසොහොන් දිෂ්ටිය බන්ධනය කරපිය මට මහසොහොන් දිෂ්ටිය බන්ධනය කරපිය කියලා .

පස්සේ මම මහසොහොන් දිෂ්ටිය බන්ධනය කරා ඒ කොලුවට . ඒත් මට ඊට කලියෙන් සොහොන් කාලි අම්මට පූජාව තියන්න අමතක උනා . පස්සේ මන්තර මතුරගෙන මතුරගෙන යනකොට මට සොහොන් කාලි අම්මා වැහිලා මම ඒ ආරූඩයෙන් කියලා තියෙනවා උඹලා සොහොන් කාලි පූජාව තිබ්බේ නෑ . සතියක් යන්න කලියෙන් මම උඹලා තුන්දෙනාවම බිලි ගන්නවා කියලා .









පස්සේ මට සිහිය ආවම තමයි මට එතන හිටපු උදවිය කිව්වේ මම මෙහෙම කිව්වා කියලා . පස්සේ මම එවෙලේම සොහොන් කාලි පූජාව පවත්වලා සමාව ගත්තා . ඊට පස්සේ මහසොහොන් බන්ධනය කඩලා දාලා ඇබිත්ත කොලුවට ආරස්සාවකුත් කරලා තොවිලයේ වැඩ අහවර කරා . කොලුවටත් සනීපවෙලා තමයි හිටියේ . මම මේ තොවිලය කරලා සතියක් යන්න කලින් දුර පළාතක ගුරුකමකට ගමෙන් පිට ගියා . ඊට පස්සේ මේ ඇබිත්ත කොලුවට සොහොන් කාලි දිෂ්ටිය වැහිලා පන්සලේ නායක හාමුදුරුවො කඩුවෙන් කපලා මරා දාලා .

හාමුදුරුවන්ගේ බෙල්ල බාගෙට කපල අර සොහොන් කොත තිබ්බ තැන උඩට අරගෙන ගෙනැත් දාලා . පන්සලේ හිටපු අනිත් පොඩි හාමුදුරුවෝ තමයි ඒ වෙලාවේ පන්සලේ ඉඳලා තියෙන්නේ . ඇබිත්ත කොලුවා පන්සලේ ආරස්සාවට තිබ්බ කඩුවත් උරුක් කරගෙන පස්සෙන් එලවනකොට නායක හාමුදුරුවෝ කාමරේට වෙලා දොරවහගෙන කෑ ගැහුවලු පොඩි නම  ඉකමනට ගිහින් සියාතු ගුරුන්නාන්සේට එන්න කියන්න කියලා . පොඩි හාමුදුරුවෝ පන්සලෙන් එලියට පනිනකොට ඇබිත්ත කොලුවා දිෂ්ටියෙන්ම කාමරේ දොර කඩාගෙන ඇතුලට ඇවිල්ලා නායක හාමදුරුවෝ කඩු ගහලා දාලා .

නායක හාමුදුරුවන්ගේ මළකඳ අත් දෙකට අරගෙන ඇවිත් සොහොන් කොත තිබ්බ තැන උඩින් දාලා ඇබිත්ත කොලුවා කෑගහලා කියලා තියෙනවා සියාතුවෝ ඊ ළඟට මම උඹව හොයාගෙන එනවා කියලා "

" දැන් කවුද එතකොට ඔය තුන් දෙනා ? "

" මමයි නායක හාමුදුරුවොයි ඇබිත්ත කොලුවයි . අපි තුන් දෙනා තමයි බිලි ගන්නවා කියලා එදා සොහොන් කාලි දිෂ්ටිය කිව්වා කියල එතන හිටපු අය කිව්වේ "

" හ්ම් . ඉතින් කතාව ඉතුරු ටිකත් කියමු බලන්න "

" ඊට පස්සේ මම ගමට එන්න කලින් , ගමට එන පාරේ අපේ ගෙදර කෙනෙක් මග රැකගෙන ඉඳලා තමයි කිව්වේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා මේකට පිළියමක් කරන්නේ නැතුව ගමට එන්න එපා කියලා . පස්සේ මම කරන්න දෙයක් කලපනා වෙන්නේ නැති තැන මෙහෙ ආවා කරත්තයත් එහෙමම හරවාගෙන . ගෙදරටනම් කරදරයක් වෙන්නේ නෑ , මොකද මේ දිෂ්ටිය හොයන්නේ මාව නිසා . දැන් මොකද අරනෝලිස් අයියේ කරන්නේ ? "







" මේ කොලුවා අල්ලගන්නේ නැතුව මේකට මුකුත් කරන්න අමාරුයි . පිටස්තර තැනකට මේ කොලුවා ගෙන්නලා අල්ලගන්නවට වඩා මට ලේසියි මේ ගමටම කොලුවව ගෙන්න ගත්තනම් . දිෂ්ටියෙන් එන නිසා වැඩිය මහන්සි වෙන්න උවමනා වෙන්නේ නෑ . සියාතු මොකද කියන්නේ ඒකට ? "

" මටනම් දැන් මේ වෙලාවේ මුකුත්ම කියන්න බැහැ . අරනෝලිස් අයියා කැමති විදියක් කරන්න "

" ගමට ගිහින් මේ කාරණාව පිළිවෙලක් කරන්න බලනකොට හදිස්සියෙවත් මේ ඇබිත්ත කොලුවා දිෂ්ටියෙන් ඇවිත් කරදරයක් කරන්න බැරි නෑ . ඒ නිසා මේකට කරන්න තියෙන හොඳම දේ තමයි ඇබිත්ත කොලුවා මෙහාට ගෙන්නගෙන දිෂ්ටිය නවත්තගෙන ගමට එක්ක යන එක . කොලුවව ගෙන්නගන්න පිල්ලියක් යවන්න වෙයි මගේ හිතේ . පිල්ලියෙන් තමයි අර දිෂ්ටිය එක්ක කොලුවව මෙහාට ගෙන්න ගන්න වෙන්නේ . පුතේ සොහොනේ වැඩකරන උන්දැට පණිවිඩයක් යවන්න අද රෑට ගුරුකමකට මම සොහොනට එනවා කියලා "

මම වහාම ක්‍රියාත්මක වී වලව්වේ කරත්තය දක්කන කරත්ත කරු ලවා සොහොන් පල්ලා වෙත එම පණිවුඩය යැව්වෙමි . සියාතු සීයා , සීයාගේ ඇරයුමෙන් වලව්වේ පිළියෙළ කරන ලද කාමරයක එදින නවාතැන් ගත්තේය . ඇඳ සිටි ඇඳුම් අහවර කර සීයා දුන් සරම ඇඳගත් හෙතෙම දිවා භෝජනය ලබාගත්තේද වලව්වෙනි . සවස්වනවිට සීයාද සියාතු සීයාද මමද පිල්ලිය යැවීම සඳහා දිෂ්ටියක් බැඳගනීමට සොහොනට යාමට පිටත් විය . නිවසේ ආරක්ෂාව වෙනුවෙන් සීයා මුලින්ම කලේ කිනිස්සට මතුරමින් වලව්ව වටා කිහිප තැනකම ඉරි ගැසීමයි . පසුව වලව්වේ කඩුල්ල පිහිටි තැන බිමද ඉරි ගැසූ සීයා නැවත වලව්ව වෙත පැමිණ වලව්වේ සියලු දෙනාම ඇමතීය .

" අද පිල්ලියක් යවන්න දිෂ්ටියක් ගේන්න කනත්තට යන්නේ . රෑ 8 වෙනකොට හැමෝම දොරවල් වහගෙන ඇතුලට වෙලා ඉන්න ඕන . කිසිකෙනෙක් දොරවල් අරින්නේ එහෙම නෑ මම එනකල් . තේරුණාද ? "








නිහඬතාවයෙන් ඔවුන් එය තේරුම් ගත් බව හැඟවීය . පසුව මමද සීයාද සියාතු සීයාද වලව්වේ කරත්තයෙන් සොහොන බලා පිටත් විය . සොහොනට යනවිට රාත්‍රී හත පමණවත් වන්නට ඇත . සීයාගේ අවශ්‍යතාවය සොහොන් පල්ලා හොඳින්ම දන්නා බැවින් ඔහු අලුත වළලන ලද මිනී වලක් අසල පිරිසිදු කර තිබිණි . සීයා සොහොන උඩ පැදුරක් එලා ගෙදරින් රැගෙන ආ අලුපුහුල් ගෙඩිය ඒ මත තබා ඒ අසලින් හිඳගත්තේය . පිල්ලිය යැවීමට දිෂ්ටිය ගෙන්නීමට සියල්ල සූදානම්ය . සීයා කට්ටකුමන්ජල් අහුරක් අතට රැගෙන මමත් සියාතු සීයාත් සොහොන් පල්ලාත් දෙස හැරී .

" නාග රාජයෙක් එනවා එහෙම දැක්කොත් මට කියන්න " යැයි කීවේය .

ඇබිත්ත කොලුවා ගෙන්න ගැනීමට සීයා නාග පිල්ලියක් යැවීමට සූදානම්වන වගක් පෙනුනද ඇත්ත නාගයෙකු නොමැතිව නාග පිල්ලියක් යවන්නේ කෙසේද කියා මමවත් හරිහැටි දන්නේ නැත . සියාතු සීයාද එය දැන නොසිටිවග මා තේරුම් ගත්තේ ඔහු ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය .

" ඈ අරනෝලිස් අයියේ , නයෙක් අල්ලගෙනවත් ආවේ නැති එකේ නාග පිල්ලියක් යවන්න පුලුවන්ද ? "

" බලාගෙන හිටින්කෝ සියාතුවෝ මම කරන දේ "

.............................නමඃ නාගතා ඉලොඩිර නාග යක්ෂනි පත්‍රස් ඕත්‍රිජාත හාරෙ කයිරයව ශිව ගුරු කාලී එරි එරි පුතොලි වැන්ද නාග ගිනි කාල ඉරලාඩි ඔඩු ඕඩු නාග පත්‍රකාලි ශිවයන් ප්‍රලාඩි ජවර උරුවන්දයි වයුන් ප්‍රල ප්‍රල ගිඩි සුර කයිරවා කාකෙ කාඩුම් ඉලිය සුනියන් ඔරුකාල් පටත්‍ර වර වර නාග රාජයා ඕන් ශිව නාග පුඩි පුඩි ශලිත ශලිත ඊස්වරයා තෙ පටත්‍ර කයිර යුත් කරුවාල පත්තිනානේ පුර යුම් තානුම් ගුරුලාඩි පෙයුමි ශලිත ශලිත ඊස්වරයානේ කයුම් කරුවාල් පත්තිනානේ පුරයුනානුම් ගුරුලාඩි ප්‍රෙයුන් මඩිව පටත්‍රඩි ශිවනැකාලි ගිනි ගිනි ප්‍රලාඩි ඇවිශසි කිලි කිලා දිෂ්ටි පෙයාරෙන්ද වාවා ශිවනාල් නාග රාජයා වර වර ඕන් හත්‍ර මන්තා ඕඩි වා වා පත්‍රචිෂෙයුන් ත්‍රිනාල් නච්චි නාගයුත් එලෙනද්‍රි ආරුඩ ඕඩු ගිනි ප්‍රල කාලි දෙරි දෙරි  මලක්ක ගිනි ගිනි නාග දිෂ්ටි ඕඩි වා  වා ඉනේ ගිඩි ගිඩි බහු බහු කරායගේ එලෙනද්‍රි ශනියන් පොවු කයිවිරහානුම් ශිවකාල ශනියන් නාග රාජ වා වා ඕන් නමඃ නාරායනේ ගිඩි ගිඩි විශි ගිනි සුනියන් රාං රිං හාං හ්‍රීං ශිගරාඩ කාලි ගිනි ගිනි දෙහෙදු දෙහෙදු යං යං ප්‍රල ප්‍රල ඕන් මහා ශොහොන් යක්ෂයාලා මද හිර ඕන් ඕන් ඉර ඕන් නිලග්‍රි යක්ෂනි ජවිත රාක්ෂ නතු ගිඩි ගිඩි ශිලංධර කාල් අම්මා යුරි එරි ගිත බ්‍රධි කාලි නාග බන්ධන වර වර ශර ගිනි ඕඩු එලෙනන්ද්‍රි බන්ධන යක‍ෂයා කුඩාඩ යක‍ෂනි ඔං හ්‍රීං හ්‍රීං අවෙශ ගිනි ගිනි ප්‍රලාඩි ශිව ගුරු නාරායනේ පෙශ්‍ර පෙශ්‍ර සර්‍වමන්ත්‍ර යන්ත්‍ර ඉඩ හාරවා නාග දේවතාව වර වර තුක්ක  ඉරින්‍ද නාරායනේ ඉගිල වර ශිවයුං ප්‍රලේ වාවා ශ්‍රී නාරායනේ ශිවනාලි ගිනි ගිනි එලාගම් ඕන් හ්‍රීං කවුරඩ යක‍ෂනි සිවාරන්ඩ අරපතත්‍ර කාලි ගිඩි පරන්‍ද කාලි ඔට්ටු ඔට්ටු ඉගිල බන්‍දන විශි විශි එලෙන්‍ද්‍රි එලෙන්‍ද්‍රිවර වර නමඃ ඕන් දෙහොදු දෙහොදු පින ජල රූපෙ ශනි ශිකයි රවි නහාරත්‍ර පෙරියකයි වීර ශඩකාලි ඉර නොච්චිනා ඉරක් මුරවා කොන්ඩු කාම හිර කට්ටු අත්ති උරුලාඩි පෙශු ගිනි කාලි අම්මා ආනේ නාග කට්ටු ඉඩ තර වීර නාග කොවාල් බුත්තාරින් මදන නාග ගිත කට්ටු දෙවහිර තානේ දෙව ගිනි කට්ටු නාග ආරවත්ද ඉරදැමි නම දාරකට්ටු හිරිමදග නාග ගිනි ශරීර කට්ටු අගති පුර නාග දිෂ්ටි ඔඩි යක්ෂයා හිරසෙන් පුරිය තානේ කට්ටු පුට්ටු හිර හිර නමඃ...............................


සීයා දිගටම මන්ත්‍ර පුරමින් අතේ තිබෙන කට්ටකුම්න්ජල් අහුරු ගිනි කබලට දමින් නැවත නැවත මන්ත්‍ර පුරන්නට විය . සියාතු සීයාද මමද අසල වූ ගල් කුට්ටියක් මත හිඳ වටපිට බලමින් සිටියෙමු . තවමත් නාගයෙකු එන පාටක්වත් තිබුණේ නැත .

" චුටි ගුරුන්නාන්සේ අන්න අතන ඉන්නේ කවුද කියලා පේනවද ? "

" කොහෙද සියාතු සීයේ ? මට මුකුත් පේන්නේ නෑ "

" අරනෝලිස් අයියේ වැඩේ හරි වගේ "




ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment:

  1. Godak hodai nodanna dewal danaganna puluwan anith kotasa dannako ikmanata

    ReplyDelete