බෝධි පූජා පැවැත්වීමේ මගේ පිළිවෙත් සහ පූජා විධි

කියවන්න කලින් මේක ප්ලේ කරන්න , අහන්න , බලන්න .







අවිචාරවත් වෘක්ෂ වන්දනාව විචාරවත් බෝධි පූජාවක් දක්වා පරිවර්තනය කරේ අපේ බුදුරජාණන් වහන්සේ . වසර හයක් තිස්සේ තමන් ගවේෂණය කරන ලද සත්‍ය අවබෝධ කරගන්න තමන්ට පිටදී වැඩ ඉන්නත් සෙවනත් සපයමින් උපකාර කලේ වජ්‍රාසනය අසල මහා අහස් කුසට නැගී සිටි විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ . ඉතින් බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තාට පස්සේ මේ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පූජාවෙන් කලගුණ සලකමින් පුජා පැවැත්වුවා . මේ පළමු බෝධි පූජාවට පස්සේ තමයි බෞද්ධ ජනතාව අතරේ බෝධි පූජාව ප්‍රචලිත වුණේ .

ඒත් ඊට කලින් බෝ වෘක්ෂය වන්දනාමාන වලට ලක්වුනා කියලා අපි දන්නවා . ගොඩක් වෙලාවට වෙදකමේ බෝ පොතු අවශ්‍ය වෙනවා . ඒකට ගන්නේ කපුටු බෝ විදියට හඳුන්වන වන්දනාමාන කරන්නේ නැති ඉබේ පැල වෙච්ච බෝගස්වල පොතු . අංජනම් හදන එක බෙහෙත් වට්ටෝරුවක තියෙනවා බෝ පොතු අඟුරුවල අවශ්‍යතාවයක් . මේ වගේ එක එක දේවල් වෙනුවෙන් බෝ ශාකය පෙරදිග විෂයන් වලටත් අවශ්‍ය වෙලා තියෙනවා . බෝ දළු , බෝ ඇට තවත් බෙහෙත් වට්ටෝරුවල මම දැකලා තියෙනවා . ඉතින් මේවගේ දේවල් වලට ගත්ත බෝ ගහේ යම් ශක්තියක් තියෙනවා කියලා ඒ කාලේ හිටපු සෘෂිවරු විසින් ප්‍රකාශ කරලා තිබිලා තියෙනවා . ඔයාලා දන්නවාද සතියේ දවස් හතට ගස් වර්ග හතක් තියෙනවා කියලා . මෙන්න මේවා තමයි ඒ ගස්වර්ග හත . 


ඉරිදා (රවි) - ඉඹුල්
සඳුදා (චන්ද්‍ර) - දිවුල්
අඟහරුවාදා (කුජ) - කොලොන්
බදාදා(බුද) - කොහොඹ
බ්‍රහස්පතින්දා (ගුරු) - බෝ
සිකුරාදා (සිකුරු) - කරඳ
සෙනසුරාදා (ශනි) - නුග

බ්‍රහස්පතී , එහෙමත් නැත්නම් ග්‍රහ මණ්ඩලයේ පුරෝහිතයා විදියට හඳුන්වන සුරගුරු දෙවියන් විදියට හඳුන්වන ගුරු ග්‍රහයාගේ දිනයට අදාල වෘක්ෂය විදියට තමයි බෝ ශාකය හඳුන්වන්නේ . මේ කියන්නේ ශක්ති විද්‍යාව අනුව පහදන්න පුළුවන් කාර්යයක් . ඒ ඒ ග්‍රහයින්ගේ ශක්තිය අපේ ඇඟට ලැබෙන ආකාරයටම ඒ ග්‍රහයින්ගේ අහිතකර කිරණවල තියෙන ශක්තිය ඉවත්කරන්න මේ බෝ වෘක්ෂයේ තියෙන සෙවනට , සුවඳට , ගහෙන් නිකුත්වන කිරණ වලට පුළුවන් කමක් තියෙනවා . ඒ වගේම ශක්ති ගලනය ක්‍රමවත් කරන්නත් මේ බෝ වෘක්ෂයට හැකියාව තියෙනවා . බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාව ඉන්න කාලේ ඉන්දියාවේ තිබුණු ශිල්ප හැටහතරක් ඉගෙන ගෙන තියෙනවා කියලා කියනවා . මේ ශිල්පවල ප්‍රාචීන ඉගැන්වීම අඩංගුවෙලා තියෙනවා .




ඒවගේම බුද්ධ කේන්ද්‍රයේ ලග්නය වන කටක ලග්නයේ ගුරු ග්‍රහයා පිහිටීම නිසා ගුරු ග්‍රහයා උච්ච තත්වයට පත්වෙලා තියෙනවා . ගුරු ග්‍රහයාට අයත් වෘක්ෂය බෝ වෘක්ෂය . මේ දේවල් සලකලා බලනකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා බුදුන් වහන්සේගේ සත්‍ය අවබෝධයට සහ අධ්‍යාත්මික චක්‍ර වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත් විශ්ව ශක්තියේ කේන්ද්‍රගත කිරීම සිදුකරන්නත් බෝ වෘක්ෂය හේතුවෙන්න ඇති කියලා . ඒ නිසාම උන්වහන්සේ බෝ වෘක්ෂය අසල තමන්ගේ සත්‍ය අපබෝධ කරගැනීමේ ස්ථානය පිළියෙළ කරගන්න ඇති කියලා . 

ඒ නිසා තමයි අදටත් ගුරු ග්‍රහයාගේ අපලවලට බෝධි පූජා අනිවාර්යෙන්ම තියන්නත් අනෙක් ග්‍රහයින්ගේ අපල සඳහාත් බෝධි පූජා පවත්වන්න කියලා ජ්‍යෝතිෂ්‍ය පරිහරණය කරන අය කියන්නේ . ඒ වෙනුවෙන් නෙවෙයි , නිකමට හිත සැහැල්ලු කරගන්න වුණත් බෝධි පූජා තිබ්බා කියලා ගැටළුවක් වෙන්නේ නැහැ . මොනයම් දෙයක් නිසා හරි අද උවමනා වෙලා තියෙන්නේ නමට බෞද්ධ ප්‍රතිපත්ති විතරක් රකින ආමිසයක් නැති අයව පන්සලට යවන එක .

ඉන්දියාවේ පැවතුනු මේ දේවල් ලංකාවට ආවේ මහින්දාගමනයත් එක්ක . වර්තාගත ඉතිහාසය අනුව බලනකොට මහින්දාගමනය එක්ක තමයි වෘක්ෂ වන්දනාව බෝධි පූජාව දක්වා පරිවර්තනය වෙන්න අඩිතාලම වැටුනේ . ඊට පස්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව මෙරටට වැඩම කරාට පස්සේ එයින් පැන නැගුනු අෂ්ට පලරුහ , දෙතිස් පලරුහ බෝධීන් වහන්සේලා ලංකාව පුරාම ව්‍යාප්ත වීමත් එක්කම මේ බෝධි පූජා විධියත් ලංකාවේ ප්‍රචලිත වුනා . එදා පටන් ගත්ත බෝධි පූජාව අද දක්වා විකාශනය වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිතුමනාපයට . අධික ශ්‍රද්ධාව එක හේතුවක් . මෝඩ ශ්‍රද්ධාව තවත් හේතුවක් . 

මම කාලෙකට කලින් සබරගමුව මහ සමන් දේවාලයේ බෝධීන් වහන්සේ ගැන මෙන්න මෙහෙම ලිපියක් සමන් සුරිඳුවත කියන ෆේස්බුක් පිටුවේ පල කරා . දැන් ඉතින් කියන්න එපා සමන් සුරිඳුවතත් දර්ශන අයියගේ කියලා . මම ඒ පේජ් එකේ භාරකරුවා මිස අයිතිකරුවා නෙවෙයි .

ඉතින් මෙන්න මේක තමයි ඒ ලිපිය . ඒ ලිපියෙන් මම බලාපොරොත්තු වුණේ සබරගමුව මහසමන් දේවාලයේ බෝධීන් වහන්සේ ඇතුළුව අනෙකුත් සියලුම බෝධීන් වහන්සේලා මෝඩ ශ්‍රද්ධා වන්තයින්ගෙන් ආරක්ෂා කරගන්න .

ඔන්න ඒ ලිපිය .







මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි දෙවාලෙක් මහන වෙයන් " කියලා . ඒ තරමටම මම සමන් දේවාලයට ගොඩක් සමීපයි . සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය තමයි සබරගමුව මහ සමන් දේවාලය කියන්නේ . මම ගොඩක් ලිපිවල මේ සමන් දේවාලයේ කවුරුත් දන්නා දේවල් වගේම නොදන්නා දේවල් පවා විස්තර කරලා තියෙනවා . ඒ තොරතුරු හොයන කාලයේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි සමන් දේවාලයේ තියෙන බෝධීන් වහන්සේලාගේ වැදගත්කම .

ලොකු විස්තරයක් නැතත් මේ කියන්න යන්නේ ඒ බෝධීන් වහන්සේලාගේ වැදගත්කම සහ උන්වහන්සේලාට වෙලා තියෙන නස්පැත්තිය ගැන . මම පොඩි කාලෙ සමන් දේවාලයට යන එන කාලෙ අපි වන්දනාමාන කලේ දැන් තියෙන බෝධීන් වහන්සේට නෙවෙයි . උන්වහන්සේ පැත්තක වැඩ හිටියා . හැමෝම වගේ වන්දනාමාන කලේ දේවාලයේ පහත මළුවේ , ඒ කියන්නේ පහළ තියෙන වැලි අතුරලා තියෙන මිදුල මැද රෝපණය කරලා තිබුණු පෞරාණික බෝධීන් වහන්සේට .

මේ බෝධීන් වහන්සේ මම මතක ඇති කාලෙ දකින කොටත් තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි හිටියේ . ඒත් මිනිස්සු ඒ බෝධීන් වහන්සේට වන්දනා මාන කළා . අපි දේවාලයට ඇතුළු වෙච්ච ගමන්ම මේ බෝධීන් වහන්සේට වැඳගෙන තමයි දෙවියන් වැඩ ඉන්න උද මළුවට ගමන් කරන්නේ . මේ බෝධියේ මම දැක්ක විශේෂ දෙයක් තමයි කුණක් බැහැලා බෝ කඳ මැද ලොකු කුහරයක් හැදිලා තියෙන එක .  ඒ නිසා ඒ කුහරයට මිනිස්සු සල්ලි විසි කරන්න පුරුදු වෙලා හිටියා .

මමත් දවසක් ඕකට කාසියක් දාන්න ඕන කියලා කෑගගහා උඩ පනිනකොට මට මතකයි අපේ ආච්චිඅම්මා මාව නවත්තලා මට කිව්වා මෙන්න මෙහෙම කතාවක් . ඒ තමයි බෝධීන් වහන්සේට එහෙම කාසි දැම්මම මලකඩ කන කාසි එහෙම තිබුණොත් ඒවා මල බැඳිලා බෝධීන් වහන්සේට විෂ වෙලා බෝධීන් වහන්සේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණාවා . ඇත්තටම පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ . කාසි ඇතුළට වැටුනම ආම්ලික වැසි වතුරත් එක්ක මේ කාසි ප්‍රතික්‍රියා කරලා ලෝහ විඛාදනය වෙලා ඒ ද්‍රාවනය අන්තිමට ගහට විස වෙන්න පුළුවන් .

ඉතින් කොහොමින් කොහොම හරි මේ බෝධීන් වහන්සේ කඩා වැටිලා විනාශ වෙලා ගියා . පස්සේ එතන තිබ්බ බෝධි ප්‍රාකාරයත් ඉවත් කරලා දැන් සමන් දේවාලයේ පහත මිදුල තනිකරම පිට්ටනියක් වගේ සමතලා වෙලා තමයි තියෙන්නේ . ඒක හොඳයි . ඒත් කවුරුවත් දන්නවද මේ බෝධීන් වහන්සේලාට කොච්චර ඉතිහාසයක් තියෙනවද කියලා .

මේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ මට ලැබුණු කරුණු කාරණා වලට අනුව දෙවෙනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරාට පස්සේ . පරංගීන් විනාශ කරපු දේවාලය තමයි එතුමා නැවත ප්‍රතිසංස්කරණය කලේ . එතුමා බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කරවලා තියෙනවා . ඒ වැඩම කරවලා තියෙන්නේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵලයන්ගෙන් ලැබුණු බෝ පැල . ඒවා තමයි දේවාලයේ දෙපැත්තේ සහ මිදුලේ රෝපණය කරලා තිබිලා තියෙන්නේ . අද එයින් වැඩ ඉන්නේ දෙනමයි . එකක් ඔහේ නිසොල්මනේ තියෙනවා . අනිත් බෝධීන් වහන්සේට තමයි වන්දනාමාන කරන්න ප්‍රාකාර බැඳලා රන් වැට සවි කරලා හදලා තියෙන්නේ .

2015 අවුරුද්දේ මුල සහ සිංහල අවුරුද්ද දවසේ මේ බෝධීන් වහන්සේගේ විශාල අතු දෙකක් දෙවාරයකදී කඩා වැටුනා . බෝධීන් වහන්සේ දිහා බැලුවම මට දැන් පෙන්නේ මිදුලේ වැඩ ඉඳලා විනාශ වෙච්ච බෝධීන් වහන්සේගේ පෙනුම . මේ බෝධීන් වහන්සේත් විනාශ වේගෙන එනවා කියලා තමයි මට පේන්නේ . ඇයි මේකට හේතුව ?

මම අදත් සමන් දේවාලයට ගිය වෙලාවේ හොඳටම වැස්ස . කුඩයත් ඉහලාගෙන බෝධියට වඳින වෙලාවේ මහා හුළඟක් ආවා . මම එතන ඉන්නවා දැකලා මුර කරන අයියා කෙනෙක් කෑගැහුවා මල්ලි ඉක්මනට අයින් වෙන්න කියලා . මම උඩ බලනකොට තමයි දැක්කේ බෝ අතු ජරබර ගගා ඇඹරෙනවා . අතු කඩා වැටෙයි කියලා තමයි මේ අයින් වෙන්න කියන්නේ .

මම ඇහුවා මුර කරන අයියගෙන් අනිත් බෝධියයි මේ බෝධියයි එකම වයස . ඒත් ඇයි මේක ඉක්මනට දිරන්නේ කියලා . පස්සේ ඒ අයියා කිව්වේ මිනිස්සු බෝමුල් කිට්ටුව තෙල් වර්ග වලින් පහන් පත්තු කරන නිසා කියලා . මම ඉස්සරත් මේ බෝධියෙ පාමුලට ගිහින් බලලා තියෙනවා . ඇත්ත කතාව . මේ බෝධියේ මුලට මිනිස්සු ගිලන් පස , අරිෂ්ට , තල තෙල් , අබ තෙල් , එඬරු තෙල් වගේ දේවල් විසි කරනවා පූජා කරලා ඉවර උනාම . තරහා වෙන්න කාරී නෑ මෙහෙම කිව්වට . 

ගෑණු උදවිය තමයි මේ වැඩේ ගොඩක්ම කරන්නේ . පූජා කරපු දේවල් අන්තිමට පොහොර වෙන්න කියලා හිතාගෙන වෙන්නැති මෙහෙම විසි කරන්නේ . ඉතින් මේ ජාති වලින් තල තෙල් , අබ තෙල් එඬරු තෙල් හරිම විෂයි . ඒ වගේම තමයි එළඟිතෙල් පහන් කියලා විකුණන කහ පාට ඩයි දාපු ඉටි පුරවපු මැටි පහන් . මේ ඉටිත් අන්තිමට බෝධිය මුල තියෙනවා මම දැක්කා .

ඔයාලා ඕන දෙයක් පූජා කරන්න . ඒත් පහන් පත්තු කරනකොට බෝ මුලෙන් ඈතට වෙන්න පත්තු කරන්න පුළුවන් තරම් වගබලා ගන්න . ඒවගේම තමයි පූජා කරපු කිසි දෙයක් බෝ මුලට හලන්න එපා . මල් නම් කමක් නැහැ . ඒත් ඒකත් එපා . බෝ මුල පිරිසිදුවට තියාගන්න උදවු කරන්න . ඔයාලාගේ තියෙන භක්තිය හෝ ශ්‍රද්ධාව හෝ මොකක් හෝ වේවා ඒ කරන්නේ වැරදි දෙයක් . නොදැනුවත්ව හෝ ඔයාලා ඒ විනාශ කරන්නේ බුදුදහමේ සංකේත වගේම අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් . ඔයාලට ඒවගේ දේවල් කරන්නෙම නැතුව ඉන්න බැරිනම් . කැලෑවල්වල තියෙන කපුටු බෝ ගස් වලට පුද පූජා කරලා ඒවාට හලන එකක් හලන්න . අඩුම තරමේ ආගම රකින්න බැරිනම් අපේ ඉතිහාසයවත් රකින්න උදවු කරන්න .

ගුරුකම් කරන දේවගැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙත් මේ දේවල්ම තමයි . බෝමුලක් ළඟ ඉඳගෙන කරන ගුරුකම් තියෙනවා කියලා මම දන්නවා . ඒත් ඒවා කරන්න පන්සල් වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න එපා . මිනිස්සු වන්දනාමාන කරන්නේ නැති අප්‍රකට කැලෑවල්වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න .

අපේ ඉතිහාසය රකින්න උදවු කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !





ඔන්න ඔච්චරයි ඒ ලිපිය . ඔතනින් එහාට මම මොකවත් කියන්නේ නැහැ . ඔයාලම තේරුම් ගන්න , තමන් වගේම ලක්ෂ ගණනක් මිනිස්සු බෝධිය ළඟට එනවා කියලා . එක එක්කෙනා තනි තනිව තමයි මෙහෙම දේවල් දාන්නේ . ඒත් දන්නෙම නැතිව හැමෝම කරන්නේ බෝධියට හතුරුකමක් . ඒ නිසා ඒ දේවල් වලින් වැළකිලා බෝධි පූජා කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා හිටිනවා . 

මම ඊළඟට කියන්න යන කාරණාවේ දෙපැත්තක් තියෙනවා . ඒ කිලි කතාව . බෞද්ධ දර්ශනය පැත්තෙන් බැලුවොත් කිලි කියන එක බෝධියට ගැටළුවක් නැහැ . ඒත් දෙවියන්ට ගැටළුවක් වෙනවා . ඒ නිසා කිලි වැදිලා පන්සල් එන එක බෞද්ධ දර්ශනයට ගැටළුවක් නෙවෙයි . ඒත් බෝධීන් වහන්සේලාට අධීගෘහිතව වැඩ ඉන්න දෙවියන්ට ගැටළුවක් වෙනවා . ඒ නිසා තමයි කිලිත් එක්ක බෝධි පූජා තියන්න එපා කියලා කියන්නේ . මමනම් ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ . මොකද දෙපැත්තෙන් ඕන පැත්තක් අල්ලාගෙන කෙනෙක්ට මාව විවේචනය කරන්න පුළුවන් නිසා . ඒ නිසා තමන්ට කැමති විදියක් කරන්න . ලැබෙන හොඳ හෝ නරකත් තමන්ටමයි කියලා මතක තියාගන්න . 

ඊළඟට කියන්න ඕන කළුදේවතා බණ්ඩාර දෙවියන් පිළිබඳව . සංඝමිත්තා තෙරණින් වහන්සේ එක්ක ලංකාවට වැඩම කරපු අයගෙන් කෙනෙක් කියලා කියනවා මේ කළු දේවතා බණ්ඩාර දෙවියන් බවට පත් වෙච්ච කෙනා . තවත් වතාවක කියනවා දේවානම්පියතිස්ස රජුගේ සේනාවේ කෙනෙක් , එයා තමයි බෝධිය ආරක්ෂා කරන්න පත් කරලා හිටියේ කියලා . හොකොමහරි කළුදේවතා බණ්ඩාර දෙවියන් තමයි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් අදත් වැඩ ඉන්නවා කියන්නේ .

එදා මැරෙන්න කලින් කල සේවාවා මියගියාට පස්සෙත් කළුදේවතා බණ්ඩාර දෙවියන් විදියට උන්වහන්සේ ඉෂ්ට කරනවා කියලා කියනවා . ඒ නිසා තමයි කිලි කතාව බෝධි සංස්කෘතියට එකතුවෙලා තියෙන්නේ . ඒත් මම මුකුත් කියන්නේ නැහැ ඒ ගැන . තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න . 

කළුදේවතා බණ්ඩාර දෙවියන් ගැන මතක් වුණේ මෙන්න මේ නිසා . ඒ තමයි ඔයාලා බෝධි පූජාවක් කරනවානම් හාමුදුරුවන් වහන්සේ විශේෂයෙන් නම් කරලා පිං දුන්නේ නැතොත් ඔයාලා හරි අනිවාර්යයෙන්ම කළුදේවතා බණ්ඩාර දෙවියන්ට පිං දෙන්න මතක තියාගන්න . එතකොට ඔයාලට ඒ දෙවියන්ගේ දේව සමූහයාගේ පිහිට ආරක්ෂාව ලබාගන්න පුළුවන් . ඒකත් මම බල කරලා කියන්නේ නැහැ . තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න .

බෝධි පූජාවක් තියන කාල සීමාව ගැන කට්ටිය නොයෙක් වෙලාවට ප්‍රශ්න අහනවා . මෙහෙමයි . පෙරදිග ශක්ති විද්‍යාව අනුව විසි එක් වතාවක් යම් දෙයක් කරනවානම් ඒ දෙයින් හොඳ ප්‍රතිපල ලැබෙනවා කියලා කියනවා . ඒ නිසා ඔයාලාට කැමතිනම් බෝධි පූජාවක් කරන්න ඕන කියලා ඒක දිගට දවස් විසි එකක් කරන්න . කිසිම ගැටළුවක් නැහැ . එහෙමත් නැත්නම් දවස් හතක් කරන්න . එහෙමත් නැත්නම් දවස් නවයක් කරන්න . ඒත් කමක් නැහැ . 

හැබැයි මගෙන් කේන්දර බලවාගත්ත හැම කෙනාටම මම කිව්වේ සතියට දවසක් හැමදාම බෝධිය ලඟට ගිහින් පූජාවන් පවත්වන්න කියලා . පූජාවන් බැරිනම් නිකමට ගිහින් ඉඳලා එන්න . ඒ ඇති . බෞද්ධයන් විදියට ඒ අරමුණින්වත් පන්සලට යන්න . ගිහින් පූජාවන් පවත්වලා හාමුදුරුවන් එක්ක කතා කරලා ආශිර්වාදය අරගෙන එන්න . ඒක තමන්ගේ දියුණුවට ලොකු ආශිර්වාදයක් වේවි . 





මම පහලින් සඳහන් කරනවා එක් බෝධි පූජා ක්‍රමයක් . ඒක තමයි මම අදහන මට සම්මත ක්‍රමය . ඒ දේවල් පූජා කරලා තමයි අපේ ගෙදර අය අවුරුද්දකට වතාවක් ලොකුවට බෝධි පූජාවක් සිදු කරන්නේ . වෙන වෙන වෙලාවට පන්සලට ගියාම පොඩියට මල් පහන් සුවඳ දුම් පූජා කරලා පූජාවන් පවත්වනවා .

ඔයාලත් බෝධි පූජාවක් කරනවා නම් මේ දේවල් එකතුකරගෙන බෝධි පූජාවක් කරන්න . හොඳ අනුහසක් ඒ අනුව ලබා ගන්න පුළුවන් . ඒත් එහෙමයි කියලා ඔයාලා බෝධීන් වහන්සේ ලඟට හිස් අතින් ගිහින් වැඳලා ආවත් ඒකෙත් අර අනුහස නැහැ කියලා කියන්න බැහැ . හැමදේටම මුල් වෙන්නේ හිත . මම කියන දේවල් පූජා කරලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරලා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න . හැමදාම බැරිවෙයි . ඒක දවසක් හරි පුළුවන් නම් මේවා පූජා කරන්න . 

දැන් කියයි හිතක් පපුවක් නැති බෝධිය කොහොමද ආශිර්වාද කරන්නේ කියලා . ගහකට රිද්දනකොටත් උපස්ථාන කරනකොටත් ගහෙන් නිකුත්වන කිරණවල යහපත් අයහපත් භාවයක් තියෙනවා කියලා අද නවීන විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා . ඒ නිසා ඒ දේවල් ඒ විදියට කරන්න . පේන්නේ නැතිවුණත් විශ්වාසයෙන් කරන්න . මම කතා කරන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක බටහිර විද්‍යා විෂයන් කීපයක් පිලිබඳ විද්‍යාවේදී අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් විදියට . ඒ නිසා මේවායේ යම් ඇත්තක් තියෙනවා කියලා නවීන විද්‍යාවට අනුවත් මට පැහැදිළියි . ක්වොන්ටම් විද්‍යාව අනුවත් අපිට මේ දේවල් වල බලපෑම විස්තර කරන්න පුළුවන් . අනාගතයේ බලමු ඒ දේවල් ගැන . මෙන්න මෙහෙමයි බෝධි පූජාව කරන්න ඕන . 

බෝධි පූජාවට ඔයාලා සූදානම් වෙන්න ඕන . ඒ කියන්නේ එදාටවත් මස් මාළු කන්නේ නැතිව ඉන්න . කෑවත් ඉතින් කමක් නැහැ . මම කලින් කිව්වනේ , තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න . එදාට නාන්න . නාලා පිරිසිදුවෙලා සුදු ඇඳුමක් හෝ ලා පාට ඇඳුමක් ඇඳගෙන පන්සලට යන්න . අර කොටුවේ හාමුදුරුවෝ කියනවා වගේ ෆුල් AC , ඩබල් AC අවශ්‍ය කරන්නේ නැහැ . සංවර ඇඳුමක් ඇඳගෙන යන්න . 






මෙන්න මේ දේවල් අවශ්‍ය කරනවා අංග සම්පූර්ණ බෝධි පූජාවක් කරන්න . 

බටර් ස්වල්පයක් 
හකුරු ස්වල්පයක්
එළඟිතෙල් ස්වල්පයක් 
මීපැණි ස්වල්පයක්



මේවා තේ හැන්ද ගානේ අරගෙන පොඩි තසිමක කලවම් කරලා පූජා කරන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ගොඩක් අරගෙන ලොකු භාජනයක පූජා කරන්නත් පුළුවන් . මේවාට තමයි චතුමධුර කියලා කියන්නේ . මතක ඇතිව මේවා කලවම් කරගත්තට පස්සේ ඉඟුරු පෙති දෙකතුනක් උඩින් තියන්න . 

බෞද්ධ කොඩියේ පාටින් රෙදි වලින් මහන ලද කොඩි වැලක් . හෝ තමන්ගේ අපල වෙනුවෙන් පූජා කරන්න කියන වර්ණයේ කොඩියක් හෝ කොඩි වැලක් . ඒත් කරුණා කරලා බෝධීන් වහන්සේ කටවුට් බැනර් එල්ලන තැනක් කරන්න එපා . නම ගැහුවත් නැතත් දෙවියන්ට පේනවා නම් , තමන් හොඳ කෙනෙක් නම් දෙවියන්ට පේනවා . බෝධීන් වහන්සේ අවලස්සන කරන්න එපා . වෙන මිනිස්සු බෝධියට එන්නේ කටවුට් කියවන්න නෙවෙයි . හිතේ සැනසීම ඇතිකරගන්න . 

අරයාගේ අපල දුරුවේවා . මෙයාගේ අපල දුරුවේවා කියලා බැනර් වගේ කොඩි එල්ලන්න එපා . දැන් අලුත් ස්ටයිල් එක තමයි A4 එකේ ප්‍රින්ට් කරලා ලැමිනෙට් කරලා එල්ලන එක . කරුණා කරලා ඒ අවිචාරවත් අඳ බාල වැඩේ කරන්න එපා . කොඩි එල්ලන්නේ ලස්සන කරන්න . බෝධීන් වහන්සේ ලස්සන කරන්නයි කොඩි එල්ලන්නේ . ඒ නිසා ඒ අරමුණෙන් කොඩි එල්ලන්න . එතකොට ඔයාලට ඒ අනුහස අඩුවක් නැතිව ලැබෙයි .  

දසමුල අරිෂ්ට කාලේ බෝතලයක් 
ලද පස්මල් මල් ආසනයට ඉහින්න
එළඟිතෙල් අවුන්සේ කුප්පියක් 
පිනිදිය අවුන්සේ කුප්පියක්
කසාය පැකට් එකක් 



අරිෂ්ට පොඩි කෝප්පයකට හෝ වීදුරුවකට දාලා පූජා කරන්න . ලදපස්මල් මල් ආසනයේ ඉහින්න . එළඟිතෙල් එක්කෝ පහනක් පත්තු කරන්න බෝධීන් වහන්සේට ගොඩක් ඈතින් . එහෙම කරන්න බැරිනම් තෙල් කුප්පිය විවෘත කරලා තියන්න . බෝධිය මුල හලන්න එපා එපා එපා . පිනිදිය කුප්පියෙන් ටික ටික තමන්ගේ මල් වට්ටි වලට ඉහින්න . 

කසාය පැකට් එක කඩන්නේ නැතිව පූජා කරන්න . නැත්නම් කඩලා පෙරහන් කඩකට දාලා පූජා කරන්න . ඒ නැතිව පැනඩෝල් සිද්ධාලේප රටේම තියෙන කොළ වර්ග පූජා කරන්න එපා . දෙවියන්ට බෝධියට ලෙඩ නැහැ . අපි කරන්න ඕන ඒවා ලෙඩ්ඩුන්ට දීලා ඒ පිං දෙවියන්ට අනුමෝදන් කරලා පිහිට ඉල්ලන එක . කොළඹ ලොකු ලොකු පන්සල්වල හම්මේ මල් ආසනේ තියෙන ඒවා . පුළුවන් නම් වමනේ පෙතිත් පූජා කරයි . කමක් නැහැ . ඒ වමනේ පෙත්ත වමනේ යන කෙනෙක්ට දෙන්න . ඊට පස්සේ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න . විචාරවත්ව වැඩ කරන්න . 

පූජාව අවසානයේ දසමුල අරිෂ්ට , කසාය පැකට් එක , චතුමධුර වගේ ඖෂධීය ගුණයක් තියෙන හැම දේම රෝගී කෙනෙක්ට පාවිච්චියට දෙන්න . ඒවා එහෙමම බෝධිය මුලට දාන්න එපා මේවා මිනිස්සු කන්න හොඳ නෑ , ඉතින් පොහොර වෙන්න බෝධියට දාන එක හොඳයි කියලා . ඒවා එතනින් ඉවත් කරන්න . 

දැහැත් විටක් පූජා කරන්න .

තෙල් මල් පහන් හඳුන්කූරු පහන් තිර වගේ ඒවා කොහොමත් පන්සලකට ගේන නිසා ඒවා පූජා කරන්න . මම විශේෂයෙන් කියන්නේ නැහැ මොකවත් . පහන් පුළුවන් තරම් බෝ මුලෙන් ඈත් කරලා පත්තු කරන්න . බෝ මුලට පහන් තිර තෙල් විසි කරන්න එපා . පර මල් දාන්නත් එපා . හඳුන් කූරු බෝධියෙන් ඈත් වෙන්න තියෙන තැනක පත්තු කරන්න . අබතෙල් තලතෙල් වගේ පහන් බෝධියට ගොඩක් ඈතින් පත්තු කරන්න . 

ගිලන්පස ගැන යමක් කියන්න ඕන . ගිලන්පස වලට තේ පූජා කරාට කමක් නැහැ . ඒත් අෂ්ට පාන පූජා කරන්න පුළුවන් නම් හොඳයි . 

අම්බ (අඹ) 
දඹ (ජම්බු )
චෝච (ඇටි කෙහෙල්) 
මෝච (මස් කෙසෙල්) 
මධූ( අමු මිදි) 
මුද්දික (වියළි මිදි)  
සාලුක (හෝලු ගෙඩි) 
ඵාරුසක (බොරලුදමනු හෙවත් මසන්)

මේවායින් මොනවා හරි ඉස්ම තමයි පූජා කරන්න ඕන . දැන් කාලේ ලේසියට තේ හදලා තිබ්බට . ගිලන් පස විදියට පූජා වෙන්න ඕනා මේවා . එහෙමත් බැරිනම් කෝඩියල් වත් හදලා තියන්න . තේ තියන එක මමනම් අනුමත කරන්නේ නැහැ . 

ඔයාලා හාමුදුරුවන්ට පිරිකර පූජා කරනවානම් කැමති දෙයක් පූජා කරන්න . පූජාව පවත්වන්නේ හාමුදුරු කෙනෙක් නම් පිරිකරක් පූජා කරන්න . එහෙම නැතිව ඔයාලාම ගාථා කියලා පූජාව කරනවානම් සිවුරු පිරිකරක් හෝ අඳනයක් හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න . අද කාලේ අලුත්ම විලාසිතාව බෝධිය සිවුරු වලින් ආවරණය කරන එක . ඒක එච්චර වැදගත් කියලා මම හිතන්නේ නැහැ . බෝධියේ අලංකාරයට කොඩි පූජා කරාම ඇති . සිවුර අඳින්න සිවුරු නැති හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න .

දුප්පත් පන්සල් ඕනෑ තරම් තියෙනවා . ඒවගේ එකකටවත් පූජා කරන්න . ඒ අනුහස ඉතාම බලවත් . ඒවගේම ඒක ලොකු පිනක් . එහෙමත් නැත්නම් ඒ මුදල පිං කැටයකට දාන්න . හාමුදුරුවෝ ඒ සල්ලි මොකට ගත්තත් අපිට කමක් නැහැ . අපි ඒවා දෙන්නේ ලෝභය නැතිකරගෙන පූජා බුද්ධියෙන් යුතුව . අපිට මෙහෙමවත් යන්න පන්සලක් තියෙන්නේ ඒ මුදල් නිසා රැකෙන පන්සල නිසා . ඒ නිසා අසුභවාදීව හිතන්නේ නැතිව සල්ලි කැටේට දාන්න .

ඊළඟ කතාව තමයි පූජාවේ කියන ඒවා . 

නමස්කාරය , පන්සිල් , බුද්ධ ධම්ම සංඝ වන්දනා ගාථා කියන්න .
චෛත්‍යය බෝධිය බුදු පිළිමවහන්සේ වන්දනා කරන්න .
සාමාන්‍ය වන්දනා ගාථා සේරම කියලා තමන් ගෙනාව ඒවා පූජා කරන්න . 
දෙවියන්ට ආරාධනාව කරන්න සමන්තා චක්කවාලේසු ගාථාව කියලා .
ඊට පස්සේ පොත බලාගෙන හරි තුන් සූත්‍රය කියවන්න .
තුන්සූත්‍රයට වඩා දෙවියන් ප්‍රිය කරනවා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව . 
ඊට පස්සේ දෙවියන්ට පිං දෙන්න . 
මතක ඇතිව කළුදේවතා බණ්ඩාර දෙවියන්ට පිං දෙන්න . 
මලගිය නෑයින්ට පිං දෙන්න . 
භාවනාව කරන්න විනාඩි පහක් විතර . 

ගෙනාව ඒවා අස් පස් කරලා බෝධීන් වහන්සේ මුලට දාන්නේ නැතිව ඉවත් කරන්න . ලෙඩ්ඩුන්ට දෙන්න කිව්ව ඒවා වෙනමම ගන්න . 

ඔහොම තමයි බෝධි පූජාව කරන්න ඕන . 

ඔයාලට කැමතිනම් වරු ගණනක් කවි කිය කිය ඉන්න . ඒක තමන්ගේ කැමැත්ත . ග්‍රහයින්ගේ නම් කිය කිය අරංහ බුදු ගුණෙන් මගේ අරව අපල දුරුවේවා මේවා අපල දුරුවේවා කියලා කිව්වට කමක් නැහැ . ඒත් අර ගාථ කියන පිරිත් කියන ඒවායින් ග්‍රහ දෙවියන් පවා සතුටට පත්වෙලා ඔයාලට ආශිර්වාද කරාවි . 

අවසාන වශයෙන් මෙන්න මේ දේ කියන්න ඕන . කවදාවත් කාවවත් බලෙන් අකමැත්තෙන් දේවාල පන්සල් වලට එක්ක යන්න එපා . කැමැත්තෙන් එනවනම් විතරක් එක්ක යන්න . ඊට වඩා හොඳයි තමන් තනියමම යන එක . බලෙන් එක්ක ගිහින් අද සෙනග , අද ඉතින් ඉක්මනට යන්න වෙන්නේ නැහැ , මාර පෝලිම , මොන එහෙකට භාර වුණාද , ආයෙනම් මම එන්නේ නැහැ , ඔයාට ඕන නම් එන්න ආයේ , අම්මට ඕන නම් එන්න මට බැහැ වගේ කතා කියවන්න එපා ඒ අය ලවා . නැති අගුණ ඇතිකිරීමක් ඒක . 

ඒ නිසා බලෙන් පූජාවල් කරලා එයාලට සෙත් පතනවට වඩා හොඳයි ඒවගේ අය ඒවගේ තැන් වලට එක්ක යන්නේ නැතිව ඉන්න එක . එතකොට විශේෂ ගුණක් නැතත් අගුණක් ඇතිවෙන එකක් නැහැ . අද කාලේ බෞද්ධයන් හරිම උගත් . ඒ නිසා ප්‍රතිපත්තියට විතරයි ගරු කිරීම . ආමිසයට කිසීම ඉඩක් නැහැ . ආමිසය විවේචනය කරන්නේ හරියට බුදුන්ටත් ආමිසය ඉගැන්නුවේ තමන් වගේ . හොඳයි හොඳයි ඉතින් ආමිසය අතෑරල ප්‍රතිපත්ති විතරක් රැකලා තව අවුරුදු පනහක් විතර ඉඳලා බලමුකෝ .

චතුමධුර සහ අෂ්ටපාන හදන විදිය සම්බන්ධව මෙන්න මේ ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා . කියවලා බලන්න . මේක උපුටා ගත්තේ path to nirwana කියන ෆේස්බුක් පේජ් එකෙන් . ඒ ලිපියේ හිමිකාරිත්වය එහි කර්තෘ සතු වෙනවා .


චතුමධුර සහ අෂ්ඨපාන පිළියෙල කරමු...

මේ දිනවල බොහෝ පින්කම් රාශියක් සිදුකරගත හැකි කාලයකි. එමෙන්ම බොහෝ දෙනා විවිධ පුන්්‍ය ක්‍රියාවල නිරිත වේ. ඒ අතරින් "චතුමධුර" සහ "අෂ්ටපාන" පූජාව බොහෝ සෙයින්ම ආනිශංස සහ ප්‍රතිඵල ලැබෙන මහගු පුන්්‍ය කර්මයකි. පිරිත් දේශනාව ආරම්භයෙහිදී ‘චතුමධුර’ නමින් හැඳින්වෙන ගිලන්පස් පූජාවක් පැවැත්වීම බොහෝ සැදැහැතියන්ගේ ආවේණික සිරිතකි.

* චතුමධුර සහ අෂ්ඨපාන (ගිලන්පස) පිළියෙල කරගන්නා ආකාරය.-

මහා ආනිසන්ස පුන්්‍ය කර්මයක් වන ‘චතු මධුර’ පූජාව යනු කුමක්ද යන්න පැහැදිලි කරගමු. පදාර්ථ වශයෙන් ‘මිහිරි’ රස හතරක් යන අරුතෙන් ‘චතුමධුර’ යන නාමය සකස් වී තිබේ. ඒවා නම්

1. මධු - (මී පැණි)
2. සප්පි - (ගිතෙල්)
3. නවනීත - (වෙඬරු)
4. සක්ඛර - (හකුරු) යන ද්‍රව්‍ය වල එකතුවෙන් “චතු මධුර’ සකස් වී ඇත.

* පිළියෙල කරගන්නා ආකාරය.-

බටර් සාමාන්‍ය ප්‍රමාණයේ පැකට්ටුවකට (මාගරින් ගන්න එපා. මාගරින් විකාලයට අයත් දෙයක් නිසා) සකුරු (කිතුල් හකුරු බෑයක්) ලොකු ඇස්සක් ප්‍රමාණවත්. එළගිතෙල් අවුන්සයේ බෝතල් එකක ප්‍රමාණය සහ මී පැණි අවුන්සයේ බෝතල් 2-3 ක් දැම්මාට කමක් නැහැ. නමුත් එලඟිතෙල් නම් අවුන්සයට වඩා දාන්න එපා.

මුලින්ම සකුරු ඉතාමත් හීනියට ලියා ගන්න. එයට බටර් ටික මිශ්‍රකර ක්රීම් වන තුරු සකසා ගන්න. සකුරු කෑලි තිබෙන්න ගන්න එපා. එය "චතු මධුර" වල ප්‍රනීත බව අඩු වෙන්න බලපානවා. ක්රීම් වන තුරු හැදි ගා ගත් බටර් සහ සකුරු මිශ්‍රණයට එළඟිතෙල් සහ මී පැණි හොදින් කලවම් කරන්න. යොදා ගත් වර්ග හතරම හොදින් මිශ්‍ර වූ පසු පින්වත් තෙරුණ් වහන්සේලාට පිලිගැන්වීම සුදුසුයි.

* අෂ්ඨපාන පිළියෙල කරමු.-
බුදුපාමොක් සඟරුවන පුදන්නට මිහිරි අෂ්ටපාන (ගිලන්පස)

විකාල භෝජනයෙන් වැළකී දිවි හිමියෙන් සිල් රැකගෙන වාසය කරනා තථාගත ශ්‍රවකයන් උදෙසා කළ හැකි සංඝෝපස්ථාන ම ය පූජාවෙකි, ගිලන්පස පූජාව. භාග්‍යතවතුන් වහන්සේ විසින් ම අනුදැන වදාළ අෂ්ටපාන පූජාවන් ගැන අප අසා ඇත. මේ පානයන් අට ගැනත්, ගිලන්පස වශයෙන් සකසා ගත හැකි අනෙකුත් පානයන් ගැනත් සඳහන් වන්නේ විනය පිටකයට අයත් මහාවග්ග පාළිය නම් උතුම් ග්‍රන්ථයේ ය.අපගේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා මේ අයුරින් ඒ පිළිබඳ වදාළ සේක. ‘‘මහණෙනි,

1. අඹ පැන්,
2. ජම්බු පැන්,
3. ඇටිකෙසෙල් පැන්,
4. මස් කෙසෙල් පැන්,
5. මිදියුෂ පැන්,
6. වියළි මිදි පැන්,
7. ඕලූ ගෙඩි පැන්,
8. මසන් ගෙඩි පැන්

යන අටවැදෑරුම් පැන් අනුදනිමි.

මහණෙනි, ධාන්‍ය ඵල රසය හැර සියලු ඵල රස අනුදනිමි. මහණෙනි, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලු කොළ රස අනුදනිමි. මහණෙනි, මීපුප්රසය හැර සියලූ මල් රස අනුදනිමි. මහණෙනි, උක් රසය (උක් ඉස්ම) අනුදනිමි”

එසේ නම් යම්තාක් පලතුරු ඇත් ද ඒ සියලු පලතුරු යුෂ දිය හා මුසුකර බුදුරජුන්ට පූජා කරගැනීමට අපට හැකියාව ඇත. ගිලන්පස, පූජා කිරීම සඳහා පහසුවෙන් හා ක්ෂණිකව සාදාගත නමුත් ගිලන්පස සැකසීමේ දී සැලකිය යුතු කාරණා කිහිපයක් ම ඇත.

පානය සකසන්නේ මිනිස් සමාජයේ වෙසෙනා අග්‍ර වූ පිරිස වන තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සඟරුවන උදෙසා බැවින් පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ගිලන්පස සකසන ස්ථානයෙහි උඩුවියන් බැඳ තිබීම යහපත් ය. පානය සකසන පිරිස බුදුගුණ මෙනෙහි කරමින් වැඩයෙහි නිරත වීම පානය මනා ලෙසත්, ගෞරවාන්විත ලෙසත් සකසා ගැනීමට උදව් වේ. බොහෝ පලතුරු කෘත්‍රිම ව ඉදවීම වර්තමානයේ බහුල ව සිදුවන බැවින් ස්වාභාවිකව ඉදුන නැවුම් පලතුරු තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. පානය සැකසීමට යොදා ගන්නා ජලය උතුරවා නිවා ගැනීමෙන් අනතුරු ව පෙරා භාවිතය සුදුසු ය. අවශ්‍යය පමණට සීනි සහ ලුණු යොදා ගැනීමෙන් පසු පලතුරුවල කෙඳි ආදි කැබලි සහිත දේ ඉවත්වීම පිණිස නැවත පෙරාගත යුතු වේ. විශේෂයෙන් ම විකාලයේ දීත් පූජාවන බැවින් පානයේ කැබලි මුසු නොවීමට අතිශය විමසිලිමත් විය යුතු ය.

වර්තමානයේ පරිභෝජනයට ඇති ආහාරයන්ගේ ගුණාත්මක බව පහළ ගොස් ඇති බැවින් ගුණාත්මක අතින් උසස් පලතුරු හා කොළ යුෂ තෝරා ගැනීම සුදුසු වේ. පානය සකසා ගැනීමෙන් අනතුරුව ප්‍රසන්න වූ රසයක් තිබේදැයි පරීක්ෂා කිරීම වටී. එයින් ගිලන්පස ඉඳුල් නො වේ.

මුල සිටම මසුරු මල දුරුකරමින් ඉතා ශ්‍රද්ධාවෙන් යුතු ව අප විසින් සකසා ගන්නට යෙදුණ ගිලන්පස පූජාකරගන්නා මොහොතේදීත් එ් සිත එ් ආකාරයෙන් ම රැක ගතුය. ලස්සන මල්කරුවෙක් ලස්සන ලස්සන මල් නෙළන්නා සේ ගෞතම බුදු සසුන තුළ අප විසින් කරන්නා වූ ආමිස පූජාවන් අතරට අෂ්ටපාන සහිත ගිලන්පස පූජාවෙන් ද පින් රැස්කර ගෙන, ධර්මාවබෝධය පිණිස ම එ් පිනත් උපකාරී වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

තෙරුවන්සරණයි !!!



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය