නොපිට ගිය සොහොන් කාලි පූජාව ( 4 )





මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින් 


..........................උදාගිරි පර්වතයේ වාසස්ථානය කරන කටරාම දේවාතාවා සූර්යාග්නි රාම සැරයක් ඇරිය තැනේදී ජලරාම දේවතාවා ජල බන්ධන පුපුරුවා නාලොව යගල් පුපුරුවා මෙරගල් පුපුරුවා බන්ධන ඉඩ හරවා ඉඩ හැරිය ආනුභාවයෙන් දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එස්වාහඃ ඊශ්වර මණ්ඩලේ වෙව්ලවා යමදොර සලිත කරවා ඉර සඳ දැපනේ කරවා මහමෙර වෙව්ලවා අහස පොලව හිර බන්ධන වෙව්ලවා දෙවොල් ගිනි මණ්ඩලේ පුපුරුවා බන්ධන උගුළුවා එර්දි දේවතාව එදා ඡේදනය කල දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එසවාහඃ සසරාෂ්ට දේසේ උපන් ගජරාෂ්ට දේවතාවා දිවි දතක් ගෙන දිවි සමක් පොරවා විදුරු කඩුව ලෙලවා ඉර මණ්ඩලය සලිත කරවා රාහු දෙපලු කරවා කැපූ දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එසවාහඃ.........................

සීයා දිගින් දිගටම මේ ආකාරයෙන් මන්තර මතුරමින් ගොස් එක් අවස්ථාවකදී කඩුව ඔසවා අලුපුහුල් ගෙඩිය දෙපලු වන ලෙස කඩු පහර ගැසීය . පුහුල් ගෙඩිය දෙපලු වී වෙන් විය . නාගයා දරනය දිගහැර සෙමෙන් සෙමෙන් මිදුල දෙසට ඇදෙන්නට විය . නාගයා කරත්ත මඩුවෙන් ඉවත් වත්ම තවත් ආරම්භයක් සනිටුහන් විය . ඇබිත්ත කොලුවාට සිහිය ආවේය .

" සියාතුවෝ උඹ මට පූජාව තිබ්බේ නෑ , මම උඹව බිලි ගන්නවා සියාතුවෝ.................................. "

අද එතැන් සිට

ඇබිත්ත කොලුවා යක්ෂාවේශයෙන් කෑගසන්නට විය . සීයා මද වෙලාවක් කල්පනා කරමින් සිටියේය .

" කමක් නෑ ඔහොම කෑගහන්න අරින්න . ගම්පහ ගමනට පිටත් වෙන්න තවම වේලාව තියෙනවා . ගෙනියන්නත් මහලොකු දෙයක් නැහැ . පුතේ අපි එහෙනම් දැන් ගම්පහ යන්න සූදානම් වෙමු . සියාතු මොකද කියන්නේ බෙර ගහන්න උදවිය මෙහෙන් එක්ක යනවද එහෙන් එකතු කරගන්න පුලුවනිද ? "

" එහෙන් කතාකරගමු නේද අරනෝලිස් අයියේ . දැන් කරත්ත දෙකක් විතරයිනේ තියෙන්නේ . ඒ නිසා එක්ක යන්න ඉන්න පිරිස වැඩි උනාම කරදරයි නේද . අනික ඉතින් මම දන්නා උදවිය ඉන්නා නිසා මෙහෙන් බෙරගහන උදවිය එක්ක ගියේ නෑ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ "

" ඒක ඇත්ත සියාතුවේ . මේ ඇබිත්ත කොලුවත් එක්ක යන්න එපාය . දම්වැල් පිටින් මුන්දා කරත්තේට පටවගත්තම කරත්තේ තියෙන තරම් ඉඩ ප්‍රමාණයම මුන්දට යාවි . එහෙනම් එහෙන් අපට උවමනා කරන අයව එක්කාසු කරගමු "

" සීයේ ගෙදරින් මොනවද ගෙනියන්න ගන්න ඕන ? "








" කිණිස්ස , පන්සලේ කඩුව , අඳුන , තව අපිට අඳින්න ඇඳුම් කැඩුම් ආච්චි අම්මා ලවා සූදානම් කරවා ගන්න . මගට කන්න මොනවාහරි ගන්න වෙයි "

" ඕන වෙන්නේ නෑ අරනෝලිස් අයියේ . මගදී අපිට නවාතැන් පොළක් හම්බ වෙනවා . එතනින් කන්න මොනවත් අරගෙන යන්න පුළුවනි . නැත්නම් නැවතිලා කාලා යන්න පුළුවනි . මේ එන ගමනේත් මම ආවේ එතනින් නැවතිලා සප්පායම් වෙලා . නැත්නම් ගෙදරින් කන්න බලාගෙන ගිය මට ආපිට මෙච්චර දුරක් බඩගින්නෙම එන්න පුළුවනියැ "

" ඒකත් හොඳයි . එතකොට කරත්තේ ගෙනියන්න තියෙන දේවල් අඩු වෙනවා . අපි එහෙනම් නාලා කාලා බීලා ලකලෑස්ති වෙමු . චූටි පුතේ කරත්ත දෙකේම ගොන්නු දෙන්නට යහමින් කන්න දෙන්න කියන්න . ගොඩක් දුර යන්න එපාය . පිදුරු තණකොළ මිටි දෙක ගානේවත්  කරත්ත දෙක යට ගැටගහ ගන්න කියලා කරත්තේ දක්කන එකාට කියන්න වෙයි . "

" හා සීයේ "

සීයාද සියාතු සීයාද මමද සියල්ලෝම නා පිරිසිදු වී දිවා ආහාර වේලද වලව්වේදීම ලබාගෙන ගමන පිටත් වන්නට සූදානම් වූහ . සීයා කී ලෙසට අවශ්‍ය දේවල් එකතුකරගත් මා පෙට්ටගමේ පියන වසා අගුළුලා එහි යතුර ආච්චිඅම්මා අත තැබීය . අම්මාටද තාත්තාටද ආච්චිඅම්මාටද වැඳ කිනිස්ස , කඩුව සහ අඳුන අතින් ගත් මම වලව්වේ මිදුලට ආවෙමි . සීයාද සියාතු සීයාද ඉන් පසුව මිදුලට පැමිණියේය . අපට සමු දීමට වලව්වේ අනෙක් අයද මිදුලට පැමිණියෝය .

" දරුවනේ අර කරත්ත මඩුවේ ඉන්න එකා උස්සගෙන ඇවිත් කරත්තෙන් තිබ්බනම් "

තවමත් අපගේ උපකාරය සඳහා පැමිණි කීපදෙනා වලව්වේ රැදී සිටි හෙයින් ඇබිත්ත කොලුවා ඔසවාගෙන ඒමට ඔවුන්ගේ සහය ලබාගැනීමට අපට හැකි විය . දම්වැල් දමා ගැටගසා සිටි ඇබිත්ත කොලුවා ඔවුන් විසින් ඔසවා විත් වලව්වේ කරත්තයේ තැබීය .








" දරුවනේ ඔය ළමයින්ට දවල්ට කෑමත් වලව්වේ පිළියෙළ කරලා තියෙනවා . ඒවත් යහමින් කාලා බීලා හාමිනේ දෙන අඩුම කුඩුම මල්ලත් අරගෙනම යන්න . ඔය ලමයින්ට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕන මේ කරපු උපකාරයට "

" ඒවා මොකටද ගුරුන්නාන්සේ . ගුරුන්නාන්සේ අපේ ලෙඩට දුකට පිහිට වෙන්න ඉන්න එකේ ඒවා මොකටද . මේක සුළු දෙයක්නේ "

" එකට කාරී නැහැ . කාලා බීලා සප්පායම් වෙලා යන්න "

මේ සියල්ල බලා හිඳ අනතුරුව මා වලව්වේ කරත්තයට ගොඩවීමට සූදානම් වන විට

" පුතේ , පුතා යන්න සියාතු සීයාගේ කරත්තයට . මම එන්නම් මේ කරත්තයේ . මේ කොලුවා මගදී දඟලන්න තියාගත්තොත් මතුරලාවත් දැඟලිල්ල අඩුකරගෙන ගම්පහට යනකල් යන්න එපාය " යැයි සීයා කීවේය .

එනිසා මම සියාතු සීයාගේ කරත්තයට ගොඩවීමි . සීයා සහ ඇබිත්ත කොලුවා රැගත් කරත්තය ඉස්සර විය . සියාතු සීයා සහ මම ගමන් කරන ලද්දේ ඉන් අනතුරුවය . සීයා ගමන් කල කරත්තය දක්කන ලද්දේ වලව්වේ කරත්ත කරු විසිනි . ඔහු කරත්තයේ ඉස්සරහා හිඳ කරත්තය දැක්කුවේය .

සමහර අවස්ථා වලදී හෙතෙම කරත්තයෙන් බැස ඇවිදිමින් ගොනා මෙහෙයවීය . අප ගමන් කල කරත්තය දක්කන ලද්දේ සියාතු සීයා විසිනි . සියාතු සීයාගේ කරත්තයද වලව්වේ කරත්තය තරම් වයසක් ඇති කරත්තයක් බව එය දෙස බැලීමේදී මා සිතුවේය . හැඩහුරුකමින් බොහෝ සමාන වූ මෙම කරත්ත දෙක එකම තැනක කරත්ත දෙකක් යැයි දකින්නවුන් සිතන්නට තරම් ඒවා සමාන විය . වලව්ව පසු කර ඉතා දිගු දුරක් මේවනවිට අප ගමන් කර තිබිණි .







" අරනෝලිස් අයියේ "

සියාතු සීයා කෑගසන ලදී . ඒ ඇමතීම අනුව වලව්වේ කරත්තය නතර විය . සියාතු සීයා කරත්තයෙන් බැස ගොස් සීයාට මොනවාදෝ කියා නැවත කරත්තයට පැමිණියේය . ඔවුන් කථිකා කරන ලද්දේ කුමක්දැයි නෑසුණු හෙයින් මා ඒ පිළිබඳව වැඩිදුර විමසීමටද නොගියෙමි . එහෙත් සියාතු සීයා නිරායාසයෙන්ම මා අමතා කීවේ ඔහු පවසන ලද නවාතැන්පොළට දැන් අප ආසන්න වී ඇති බවය . රෑ බෝවන්නට ලං වී ඇති නිසාදෝ ඇඟට තරමක සීතලක් දැනිණි . එම සීතල නිසාවෙන් දෝ තරමක බඩගින්නකින් මා පෙළෙමින් සිටියෙමි .

කරත්ත දෙක සෙමෙන් සෙමෙන් ගමන් කර සියාතු සීයා කලින් සඳහන් කල නවාතැන්පොළ වෙත සම්ප්‍රාප්ත විය . එය පිදුරු සෙවෙලි කරන ලද ගෙවල් කීපයකින් යුක්ත එකකි . පාරෙන් එහාට වන්නට විශාල මිදුලකි . එම මිදුල වටා පිහිටන ලෙස ඉහත කී පිදුරු සෙවෙලි කල මැටි ගෙවල් කීපය සාදා තිබිණි . ඉන් මැද්දට වන්නට තිබුණු නිවස අනෙක් ඒවාට වඩා විශාල එකකි . නිවසක් යැයි කීවද එය වෙළඳ හලක් බඳු එකකි . ඉදිරියේ වූ කෙටි බිත්ති වලට පිටුපසින් පිහිටා තිබුණේ මේසයක් සහ පුටුවක්ය . ඊට ඉහලින් බිත්තියේ මුව අං තට්ටුවක් ගසා තිබිණි . රාත්‍රී ඇඳිරි වැටී තිබුණු හෙයින් මිදුලේ මැදට වන්නට විශාල ගිනි ගොඩක් ගසා තිබූ අතර තැනින් තැන පන්දම් පත්තු කර තිබිණි . නිවාස කීපයෙන් නික්ම ආවේ ඒවායේ දල්වා තිබුණු පොල්තෙල් පහන්වල ආලෝකය ය . මිදුලේ කරත්ත කීපයක් නවතා තිබුණු අතර කීප දෙනෙක්ම එළියේද එම නිවාසවල ඉදිරියේ හිඳගෙනද සිටියහ .

මේ සියල්ල විදුලි වේගයෙන් නිරීක්ෂණය කල මා කරත්තයෙන් බැස්සෙමි . සීයාද සියාතු සීයාද කරත්තයෙන් බැස්සහ . ඇබිත්ත කොලුවා මේවන තුරු කිසිඳු හැලහොල්මනක් නොමැතිව ඉද්ද ගැසුවා සේ කරත්තයේ සැතපී සිටියේය . මම ඔහු දෙස බලා සීයා අසලට පැමිණියෙමි .

" ඈ සියාතු , දැන් මෙතන අද රාත්තිරියේ නතර වෙන්න නම් බැහැ . ඇබිත්ත කොලුවා එක්ක මේවගේ තැනක ඉන්න බැහැ . ඒ නිසා අපි යන්න ආපු ගමන යමු . කන බොන දෙයක් කාලා බීලා මගට කන්න මොනවා හරි ගමු ඔය රොටී පිට්ටු වගේ මොනවාහරි "

" ඔවු අරනෝලිස් අයියේ . ඒකනම් මටත් කල්පනාවට ආවා . අපි එහෙම කරමු "

" චූටි පුතේ , පුතා මෙතන ඉන්න . අබිත්තයා තනිවම දාලා යන ඒක හරිනැහැ "

" හා සීයේ මම ඉන්නම් . සීයලා කාලා එන්න "

සීයාද සියාතු සීයාද නවාතැන්පොළේ මා කලින් සඳහන් කල කඩයක් වැනි නිවසට පිවිසියේය . මද වෙලාවක් යන්නට මත්තෙන් කඩයේ වැඩ කරන්නට සිටි කෙනෙකු අතේ සීයා මගේ ආහාර වේලද කරත්තය අසලටම එවීය . කෑම පිඟන රැගෙන ආ කොලුවා මගේ වයසේම හෝ ඊට ආසන්න වයසක වන්නට ඇතැයි මා අනුමාන කලෙමි . මා සිටියේ ඇබිත්ත කොලුවා සිටි , වලව්වේ කරත්තය අසලය . කෑම පිඟාන රැගෙන ආ ඔහු කරත්තය තුලට එබී බලා මා දෙස හැරී දෑස් ලොකු කර බලා ඇබිත්ත කොලුවා පිලිබඳ විමසීය .

" මේ ඇයි දම්වැල් දාලා ? "

" පිස්සු වැටිච්ච කෙනෙක් . ප්‍රතිකාර කරන්න කියලා ගම්පහ දිහාවට යන ගමන් මේ ඉන්නේ . කඹ පොටවල් දාලා ගැටගැහුවට ඒවා කඩාගන්න පුළුවන් කියලා හිතලා දම්වැල් දැම්මා "

" ඉතින් හොඳ මහත කඹ පොටක් අරගෙන වෙලාගත්තනම් කඩාගන්න බැහැ නෙව ? "

" අමනුස්ස දෝසයක් නිසා පිස්සු වැටිලා කියලා තමයි අපි හිතන්නේ . ඒ නිසා කඹ පොටවල් විශ්වාස කරන්න බැහැ "

ඔහු නැවතත් ඇබිත්ත කොලුවා දෙස එබී බලා සැකයෙන් මෙන් ඔහුගේ රාජකාරි ඉටුකිරීම සඳහා කඩය වෙත ගියේය . මා කරත්තයේ වූ වතුර බෝතලයක් රැගෙන එයින් අත සෝදා කන්නට සැරසෙත්ම සීයාද සියාතු සීයාද කෑම පිඟන් අතේ තබාගෙන මා සිටින දිශාවට ආවේය .

" චූටි ගුරුන්නාන්සේ එළියේ නිසා අරනෝලිස් අයියා කිව්වා කෑම පිඟාන අරගෙන අපිත් එලියට යමුයි කියලා "
" සීයේ මට බත් පිඟාන අරගෙන ආව පිරිමි ළමයා ඇහුවනේ ඇයි දම්වැල් දාලා ඉන්නේ කියලා . පස්සේ මම කිව්වා පිස්සු හැදිලා ඉන්නේ . ඒ නිසා බෙහෙත් ගන්න යනවා කියලා "

එම කතාවට සීයා කිසිවක් කීවේ නැත . අනතුරුව ඉඩ පහසුව ඇති තැනකින් හිඳගත් සීයා

" කෝ කරත්තේ දක්කන එකා ? " යැයි විමසුවේය .

" අර ඉන්නේ සීයේ අර බංකුවේ වාඩිවෙලා "


සීයා ඔහුට අතින් කතා කළේය . සංඥාව හඳුනාගත් ඔහු අප වෙත ලංවත්ම කඩයට ගොස් කැමති දෙයක් කෑමට ලබාගන්නා ලෙස කීවේය . ඔහු කඩය දෙසට ගමන් කරනු බලාසිටි අපි බත් පිඟාන හිස් කිරීම ආරම්භ කළෙමු . වෙනස්ම රසයක් එම කෑමවල තිබිණි . එනිසා එම කෑම පිඟාන හිස් කිරීමට සිතූ තරම් වෙලාවක් ගතවුයේ නැත . සියල්ලෝම කා බී අවසන් වූ වහාම නැවතත් කරත්ත පාරට දක්කාගෙන අවුත් ගම්පහ බලා පිටත් වීමු  .







පසුදා උදෑසන වන විටදී අප ගම්පහ සියාතු සීයාගේ නිවෙස වෙත පැමිණියෙමු . සියාතු සීයාගේ නිවසේ මිදුලට කරත්ත දෙක පැමිණෙත්ම සියාතු සීයාගේ බිරිඳ මිදුලට දිව ආවේය .

" අපි බැලුවා මොනවයින් මොනවා වෙලාද දන්නේ නැහැ කියලා . ගමෙන් පිටත් උනා උනාමයි යන්නේ කොහෙද කියලවත් කිව්වේ නැහැනේ "

" මම එහෙමම අරනෝලිස් අයියලාගේ ගමේ ගියා . ඒ ගිහින් අරනෝලිස් අයියට මේ වෙච්ච වින්නැහිය කියලා ඒකට පිලියමක් කරවාගන්න මෙහෙ කැඳවාගෙන ආවා "

" අරනෝලිස් ගුරුන්නාන්සේ දැක්කේ කොච්චර කාලයකට පස්සෙද . එන්න ගුරුන්නාන්සේ ගේ ඇතුලට "

සියාතු සීයාගේ බිරිඳ කාරුණික හඬින් නිවාස වෙත ආරාධනා කලාය .

" සියාතු , මේ ඇබිත්ත කොලුවා කරත්තේ තියන්න බැහැ . මේකව බිමින් අරන් තියන්න වෙයි . හැබැයි මෙහෙම පුරස්නෙකුත් තියෙනවා . මේ කොලුවා සනීප කරන්න යාතුකර්මය කරන්න වෙන්නේ මෙහෙ නෙවෙයි . පන්සල් භූමියේ . මේ කොලුවා දැන් කරත්තෙන් අරන් බිමින් තිබ්බොත් ආයෙත් කරත්තෙට අරන් තියන්න මහන්සි වෙන්න වෙනවා . ඒ නිසා අපි මෙහෙමම පන්සලට යන් . වැඩකටයුතු වලට උදව්වට කීපදෙනෙක් කතා කරගන්න වෙයි .

පෙරේත තටු හදන්න , කෙසෙල් ගස් , ගොක් අතු කප්පවන්න ඒවට මේවට . බෙරගහන අයට අද රෑ වෙනකොට පන්සලට එන්න කියන්න . අද රෑම මේ වැඩේ පටන් ගන්න වෙනවා . ඇබිත්ත කොලුවා මෙහෙමම ඉන්දෙත්දී අපි මාරුවෙන් මාරුවට ඇඟ පත හෝදගෙන එමු . චූටි පුතා නාලා පිරිසිදු වෙලා එන්න . අංජනම අරින්න ඕන වෙයි එහෙදී .  ඒ නිසා පුතා නාලා එන්න . එතකල් මම කරත්තේ කිට්ටුව ඉන්නම් "

සීයා කරත්තය අසල නැවතී ඉන්නා අතරතුරේ සියාතු සීයාගේ නිවසේ ළිඳෙන් නා පිරිසිදු වී පැමිණියෙමි . පසුව සීයාද නා පිරිසිදු වී පැමිණියේය . සීයා පැම්ණෙනතුරු කරත්තය මුර කරන ලද්දේ මා විසිනි . මේ අතරතුර සියාතු සීයා තවත් පුදගලයෙකු නිවසට කැඳවාගෙන ආවේය . ඔහු සියාතු සීයාගේ ළඟම ඥාතියෙකු බවත් , මෙවැනි කාර්යයන් සඳහා උදව්වට කැඳවා ගන්නා විශ්වාසවන්තයා ඔහු බවත් කීවේය . පසුව සියාතු සීයාගේ බිරිඳ සාදාදුන් උදෑසන ආහාර වේල භුක්ති විඳීමෙන් අනතුරුව අපි පන්සල බලා පිටත් වීමු .

මගදී සියාතු සීයා අපගේ උදව්වට අවශ්‍ය අය සහ බෙර ගසන අය වෙත පණිවුඩ කීම සඳහා ඔහුගේ ඉහත කී ඥාති පුද්ගලයා පිටත් කර හැරියේය . පසුව කරතත දෙක වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පන්සල් භූමිය වෙත ළඟා විය . අපගේ වලව්වෙන් පිටත් වූ වෙලාවේ සිට මෙපමණ වෙලාවක් නිසොල්මනේ හුන් ඇබිත්ත කොලුවා පන්සල් වත්තට ඇතුළුවත්ම නැවතත් පරල වී කෑගසන්නට විය .









" සියාතුවෝ මම උඹව මරණවා "

ඔහුගේ එකම වාක්‍යය වූයේ එයයි . තුන්වෙනි වතාවට එම වාක්‍යය කියන්නට මත්තෙන් සීයා අතට මතුරා ඔහුගේ කම්මුලට පහරක් ගැසීය . සියල්ල සංසුන්ය .

පන්සල් භූමියට ඇතුළුවත්ම පන්සලේ වැඩ සිටි පොඩි හාමුදුරුවන් ආවාස ගෙයි සිට ඉදිරියට පැමිණියේය . උන්වහන්සේ සියාතු සීයා හැඳිනගත්හ . කරත්තවලින් බැසගත් අපි හිමියන්ගේ දෙපා වැන්දෙමු .

" සුවපත් වේවා ! "

උන්වහන්සේ සියල්ලනටම මෛත්‍රී පෙරදැරිව කීහ .

" සියාතු ගුරුන්නාන්සේ ,  නායක හාමුදුරුවෝ අපවත් වෙලා දැන් ටික දවසක් වෙනවා . ගුරුකම වැරදුනා නේද ? . බලන්න ඒකෙන් වෙච්ච වින්නැහිය . අතපසු වීමක් උනත් දැන් ජීවිතයක් නිකරුනේ නැත්තටම නැතිවෙලා ගියා . මමත් තවම පන්සලේ තනියමම වැඩ ඉන්න නිසා දායක මහත්වරු රෑට රෑට පන්සලේ තනිවට නවතින්න මේ දවස් කීපයේම ආවා . තව ටික දවසකින් මේ පන්සලට එහා ගමේ පන්සලේ දෙවැනි හාමුදුරුවෝ වඩිනවා කියලා තමයි ඉන්නේ . උන්වහන්සේ මම ඉගෙනගෙන අවසන් වෙනතුරු මේ පන්සලේ රැඳෙන්න තමයි අදහස් කරගෙන ඉන්නේ . ඒක නෙවෙයි සියාතු ගුරුන්නාන්සේ කවුද මේ උදවිය ? "

සියාතු සීයා දකුණු කකුලේ මහපටගිල්ලෙන් බිම හාරමින් බිම දෙසම බලා හිඳ එකවරම හිස ඔසවා හිමි නමගේ පැනයට පිළිතුරු දීම ආරම්භ කළේය .







" මගේ වැරැද්ද හාමුදුරුවනේ . මගේ වැරැද්ද . මේ වැරැද්ද මට කවදාවත්ම හදාගන්න ලැබෙන්නේ නැහැ . ඒ නිසා මම තීරණයක් අරගෙන ඉන්නේ . ඒක ක්‍රියාත්මක කරන්න කලියෙන් ඇබිත්ත කොලුවයි මමයි මේ නොපිට ගිය සොහොන් කාලි පූජාවේ වැරැද්ද හරිගස්සලා ඉන්න ඕන . මේ ඉන්නේ බොහොම දක්ෂ රජතුමන්ලා පවා ගරු නම්බු නාම දීපු පරම්පරාවක ගුරුන්නාන්සේ කෙනෙක් , මගේ හොඳ හිතවතෙක් . මේ ගුරුකම නිවැරදි කරන්න මට පුළුවන් කමක් නැති නිසා ඒ ගමට ගොහින් මම මේ ගුරුන්නාන්සේ කැඳවාගෙන ආවා හාමුදුරුවනේ "

" ඒත් ගුරුන්නාන්සේ පන්සලේ හිටපු ඇබිත්ත කොලුවා දැන් පේන්නට නැහැ නෙව . පන්සල් වත්තෙයි ගම හැමතනමයි කඩුවත් උරුක් කරගෙන සියාතුවෝ මම උඹ මරණවා කිය කිය හිටිය එකා , දැන් ඒත් ගමේ පේන්න නැහැ . ඒ ජීවිතයත් දැන් ඉවරද ඒ කියන්නේ ? "

" අවසර හාමුදුරුවනේ . කරත්තේ ඉන්නවා ඇබිත්ත කොලුවා දම්වැල් දාලා ගැටගහලා . වෙන කරන්න දෙයක් නැති තැන මමත් මගේ ජීවිතය ආරස්සා කරගන්න ඕන නිසා මේ ගුරුන්නානසේට මේ කාරණාව භාර දුන්නයින් පස්සේ පිල්ලියක් එවලා ඇබිත්ත කොලුවා ඒ ගමට ගෙන්නගත්තා හාමුදුරුවනේ . බැරිවෙලාවත් මේ කොලුවා නිදැල්ලේ ඉන්දෙත්දී මම මේ ගමට ආවනම් මගේ ජීවිතය නැතිවෙන්නේත් මේ කොලුවාගේ අතින් . ඒ නිසා කොලුවා ඒ ගමට ගෙන්නගෙන විලංගුලාගෙන අරගෙන එමුයි කියලා මේ ගුරුන්නාන්සේ තමයි යෝජනා කලේ "

" කෝ දැන් ඇබිත්ත කොලුවා ? "

" කරත්තයේ ඉන්නවා හාමුදුරුවනේ "

" දැන් මේ ඇත්තෝ පන්සලට ආව කාරණාව කියමු බලන්න "

" හාමුදුරුවනේ මේ කාරිය නිවැරදි කරන්න යාතුකර්මයක් කරන්න තියෙනවා කියලා මේ ගුරුන්නන්සේ කියනවා . ඒ වැඩේ කරන්න ඕන පන්සල් භූමියේ ඉඳගෙන . ඒ නිසයි අපි මෙහාට ආවේ . අපිට දැන් උවමනා කරන්නේ මේ වැඩ කටයුතු පිළියෙළ කරගන්නකල් ඉන්න තැනක් තමයි "

" ආවාසයේ කාමරයක් ඕන නම් පිළියෙළ කරලා දෙන්නම් . එහෙම හොඳද සියාතු ගුරුන්නාන්සේ ? "

සියාතු සීයා කතා කිරෙමට මත්තෙන් සීයා කතාව ආරම්භ කළේය .

" අවසර හාමුදුරුවනේ . අපට අද දවසේ රාත්තිරි වෙනකොට මේ කාරණාව වෙනුවෙන් මුලපුරන්න වෙනවා . ඒ නිසා බණ මඩුව වගේ තැනක් මේ වෙනුවෙන් සූදානම් කරගන්න පුළුවන් නම් හොඳයි හාමුදුරුවනේ "

" බණ මඩුව අතුපතු ගාලා ගන්න එහෙනම් . ඒත් අතුපතු ගාන්න කෙනෙක් නම් නැහැ . ඇබිත්ත කොලුවා අසනීප උනායින් පස්සේ මටත් බණ මඩුව පැත්තටවත් වඩින්න වෙලාවක් ලැබුණේ නැහැ "

" කමක් නැහැ හාමුදුරුවනේ . මම මේ වැඩේට උදව්වට කීප දෙනෙක්ට එන්න කියලා තියෙන්නේ . ඒ අය ආවාම සුද්ද කරගන්න පුළුවන් "

" එහෙනම් ඔය ඇත්තෝ බණ මඩුව පැත්තට යන්න . මම ඔය ඇත්තන්ට බොන්න තේ කහට ටිකක් වක්කරන්නම් "

" එපා හාමුදුරුවනේ අපි සියාතු ගුරුන්නාන්සේගේ ගෙදරින් උදේ කෑම කාපු ගමන් තමයි මේ ආවේ "

" හොඳයි එහෙනම් ඔය ඇත්තන්ගේ වැඩකටයුතු වලට රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන "

පොඩි හාමුදුරුවන් ආවාසගෙට නැවත වැඩීමට මත්තෙන් අපි උන්වහන්සේගේ දෙපා නැමදීමු .

" සුවපත් වේවා ! "







සීයා සහ සියාතු සීයා පන්සලේ බණමඩුව වෙත ඇබිත්ත කොලුවා සහිත කරත්තයද සහිතව ගියෝය . කරත්තය ඒ අසල නවතා උදව්වට එන පිරිස එනතුරු බණමඩුවේ පසෙක හිඳ ඒ දෙදෙන පන්සල පිළිබඳව කතා කරමින් සිටියහ . ලද අවස්ථාවේ පන්සලේ ඇති දෑ දැක බලාගැනීමට මට ආශාවක් ඇති විය . සීයාගෙන් අවසරගත් මා පන්සලේ බුදුගෙය , බෝධි ගෘහය , චෛත්‍යය සහ අනෙක් ගොඩනැගිලි දෙස විමසා බැලීමි . අපගේ ගමේ ඇති පන්සලට වඩා විශාල එහෙත් එතරම් පැරණි බවක් නොපෙනෙන පන්සලකි .

නමුත් ආවාසගෙය තරමක් අබලන් ස්වභාවයක් ගෙන තිබිණි . එය සාදා තිබුණේද ඉදිරිපස ලැටිස් ගසා ආවරණය වන අයුරින් නිසා එය තවත් පැරණි ස්වරූපයක් ගෙන තිබුණේය . මේ සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මා සොයන්නට පෙළඹුනේ නිළමේ තුමා මිහිදන් කර ඇති සොහොනයි . අනිවාර්යයෙන් එහි සොහොන් කොතක් මේ වන විට නොතිබිය යුතුය . ඒ ඇබිත්ත කොලුවා එය ගලවා ඉවත් කර ඇති හෙයිනි . නමුත් . එම ස්ථානය දැක ගැනීමේ ආශාවක් මාතුල තදින්ම හටගත්තේය .

එහෙත් එය සොයාගැනීමට මත්තෙන් යාතුකර්මය සඳහා උදව්වට පැමිණෙන පිරිස එනු දුටු නිසා මමද බණ මඩුව වෙත ගියෙමි . සීයා සහ සියාතු සීයා තවමත් බිම හිඳ කතා කරමින් සිටියෝය . ඔවුන් වෙත මුලින්ම ගිය මා අදාළ පිරිස පැමිණ ඇති බව දැන්වීමි . පසුව සියාතු සීයා හිඳගෙන උන් තැනින් නැගිට විත් පැමිණි පිරිස සමග කතා කළේය . බෙර කරුවන් හැරෙන්නට අනෙක් සියලු දෙනාම පැමිණ සිටියහ .

" මේ ඉන්නේ අරනෝලිස් ගුරුන්නාන්සේ . මේ ගුරුන්නාන්සේ මටත් වඩා මේ සාත්තරේ දන්නා කෙනෙක් . දැන් මේ වෙලා තියෙන දේ නිවැරදි කරන්න තමයි මේ ගුරුන්නාන්සේ ඇවිල්ලා ඉන්නේ . මට උදවු කරනවා වගේම කියලා හිතාගෙන මේ ගුරුන්නාන්සේ එක්ක එක්කාසු වෙලා කියන දේවල් කරලා දීලා මේ කාරිය සාර්ථක කරගන්න උදවු වෙන්න ඕන . අරනෝලිස් අයියේ මොනවද ඕන කරන්නේ ඉස්සෙල්ලම ? "


" ඉස්සෙල්ලම කොලුවා කරත්තයෙන් අරගෙන බණ මඩුවෙන් තියලා ඉමු "

ඇබිත්ත කොලුවා ඔසවාගත් පිරිස ඔහු රැගෙනවිත් බණමඩුවේ බිම තැබූහ .

" මේකට ගොඩක් දේවල් හොයන්න වෙනවා . හොයාගන්න ඕන දේවල් ටික මම කියන්නම් . කවුරුහරි මතක තියාගෙන හරි ලියාගෙන හරි ගිහිල්ලා මේවා අද හවස් වෙනකොට අරගෙන එන්න "

රත්හඳුන්
සුදුහඳුන්
පළතුරු 7
කැවිලි 7
ලදපස්මල්
පොල් ගෙඩි 7
තැඹිලි ගෙඩි 7
කොට්ටපොල්
එළවලු වර්ග 32ක්
කුකුලෙක්
රා
පොල් අරක්කු
කිකිළි බිත්තර
වටු බිත්තර
පස් තෙල්
විළඳ
මීපැණි
උක් පැණි
සරක්කු
දෙහි
අමු කහ
වද කහ
ගල් උඩ තියෙන වතුර 
මඩ වලකින් වතුර 
ඇළක වතුර 
ළිඳක වතුර 
කැන්ද කොළ 
බත් 
දිය මස් 
ගොඩ මස් 
දියගොඩ මස් 
කරවල
උම්බලකඩ 

වැනි විශාල ලැයිස්තුවක් එහි අන්තර්ගත විය . ලැයිස්තුව කියා අවසානයේ 

" මේවා හවස් වෙනකොට හොයාගන්න පුලුවන්ද ? " 

කියා ඇසුවේය . ඔවුන් පැවසූයේ ඒවා සොයාගැනීමට එතරම් අපහසු නොවන බවයි . එම බඩු ලැයිස්තුව ගෙන ඒමට කීපදෙනෙකු පිටත්ව ගිය අතරේ තවත් කීපදෙනකු ඇල්බීසියා කෝටු ගොක් අතු සහ කෙසෙල් කඳන් කැපීම සඳහා පන්සල් වත්තේ පිටුපසට ගියහ . 







සීයාගේ අනුදැනුම මත සවස් වන්නට මත්තෙන් නිළමේ තුමාගේ ආත්මය වෙනුවෙන් කැප කිරීමට පෙරේත තටුවක්ද , සොහොන් කාලි යක්ෂණිය වෙනුවෙන් වෙනමම තටුවක්ද දෙවියන් වැඩම කරවීම සඳහා පන්සල් වත්තේ හතර කොණ පහන් පැළ හතරක්ද නිර්මාණය විය . 

මේ සියල්ලම නිර්මාණය කරන ලද්දේ සියාතු සීයාගේ පිරිස විසිනි . සියාතු සීයා මෙම රාජකාරි සඳහා ඔවුන් නිසි ලෙස පුහුණු කර ඇති බව පසක් වූයේ පය කීපයක් ඇතුලත මේවා නිර්මාණය කිරීම නිසාය . බෙර ගැසීමට සමත් තිදෙනෙකුද සවස් වණ විට පන්සලට පැමිණියහ . ඔවුහූ තම බෙරවල වරපටි තද කරමින් බෙරයේ නියම හඬ ලබාගැනීමට විටින් විට තට්ටු කරමින් ඇතැම් විටෙක බෙර පද ගසමින් සිටියහ .

සීයා දුන් බඩු ලැයිස්තුව සෙවීමට ගිය කීපදෙනා ඉර හැරෙන්නට මත්තෙන් පන්සල වෙත පැමිණියේය . ඔවුහූ ලයිස්තුවේ සඳහන් සියලු දේවල් සොයාගෙන පැමිණියහ . ඔවුන් පැමිණි පසු සීයාගේ සහ මගේ වැඩ රාජකාරි අධික විය . පෙරේත තටුවට අවශ්‍ය දේවල් සීයා සූදානම් කල අතර සොහොන් කාලි යක්ෂනියගේ තටුවට අවශ්‍ය දේවල් මම සූදානම් කලෙමි . පුළුටු බැදීම පවා ඒ මොහොතේම සිදු විය .පළාතම පුළුටු ගඳ ගසන්නට විය . මෙම පුළුටු අපට ගඳ වුවද යකුන්ට සුවඳය .

පසුව ඒවා එකින් එක ගෙන තටුවේ ඒ ඒ ගැබ් වල පිළිවෙලින් තැම්පත් කලෙමි . මට කලියෙන් සීයා පිළියෙළ කරන ලද තටුවේ වැඩ අවසන් වූ නිසා මා පිළියෙළ කල තටුවේ හරි වැරදි බැලීමට සීයා පැමිණියේය . එක් වරක් වැරදුණු මෙම ගුරුකම නැවත වරක් වරදවා ගැනීම නුවණට හුරු නැති බව සීයාද සිතන්නට ඇත . 

සීයා සියලුම දේවල් නැවත පරීක්ෂා කර බලා අංජනම කඩුව සහ කිණිස්ස රැගෙන එන ලෙස මා පිටත් කළේය . ඒවා තිබුණේ බණමඩුවේ අපගේ කළමණා තබා තිබූ ස්ථානයේය . මම ඒ සියල්ල රැගෙනවිත් සීයාට දුනෙමි . සීයා පළමුව අතට ගත්තේ කිණිස්සයි . කිණිස්ස අතට ගත් හෙතෙම සියල්ලන්ම අමතා මෙසේ පැවසීය . 


ඊළඟ කොටසින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා ! 
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment