මහසෝනාගෙන් පාර අසා කනප්පුවෙන් සොයාගත් නිධානය !






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදු වූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි.

( කතාවට කලින් මේක ප්ලේ කරන්න )



වසර සියගණනක් තිස්සේ පැවත එන අපගේ පරපුර එදත් අදත් හෙටත් යන තුන්කල්හිම පොදු ජනයාගේ හිතසුව පිණිස අපගේ දැනුම පාවිච්චි කරන බව නොරහසකි . සීයා සහ මා කරන ලද එවන් වික්‍රමයන්හි ඇති භීතිය හිතට වඩාත් දැනෙනුයේ ඒවා කරන මොහොතේ නොව , නැවතත් ඒවා මෙනෙහි කරන අවස්ථාවේදීය . ඊට හේතුව ලෙස මා සිතනුයේ ගුරුකම් කරන අවස්ථා වලදී සීයාත් මමත් මතුරන මන්ත්‍ර අනුව ඒ ඔස්සේ පැමිණෙන අමනුස්සයින් හමුවේ අප දෙදෙනා එකසේ වියරු වැටෙනා හෙයින් විය යුතුය . එම අවස්ථාවන්හීදී හදවත ගැහෙන වේගය මෙපමණකැයි කිව නොහැක .

නමුත් බය යන යන හැගීම අංශු මාත්‍රයක් හෝ හදවතේ මතුවන්නේ නැත . සමහර අවස්ථාවලදී තරමක අවිනිශ්චිත බවක් ඇති වූවානම් ඊට හේතු වූයේ අප දෙදෙනාගේ ජීවිත වලට අවදානමක් ඇති වූ විටදී පමණි . නමුත් ලේ රීරි මාංස කාගෙන ජීවිතය තුලට කිඳා බැස ඇති මනුස්සකමෙන් වැසුණු අමනුස්සයින් අපව මෙහෙයවන ලද්දේ ඔවුන්ගෙන් අපට අවශ්‍ය කාර්යයන් ඉටුකරගැනීමට ඔවුන්ව මෙහෙයවන්න යන අටියෙනි . එහෙයින් අපි දෙදෙනාද අවදානම පසෙක ලා නැවත නැවතත් මරු මුව තුලට ගොස් මරුගේ දත් ගණන් කර ඒමට පසුබට නොවීමු .

මේ මොහොතේ මා සිහිගන්වන්නේ දැනට වසර ගණනාවකට පෙරාතුව සීයා සහ මා කරන ලද ජීවිතය හා මරණය අතර පැවති තවත් සටනක් පිළිබඳවය . නමුත් එයින් අප ලද ඉතාම වටිනා වස්තූන් දෙකක් වේ . ඒ කුමක්දැයි කියා මා කල් වේලා ඇතුවම සටහන් නොකරමි . ඔබට එය කුමක්දැයි කියා පසුව සඳහන් කරමි .





අපගේ ගම පාරම්පරික මිනිසුන් වාසය කරනු ලබන ගමකි . එහි පන්සල , ආරච්චි වලව්ව , වෙද වලව්ව සහ අපගේ ගුරුන්නාන්සේ වලව්ව කියන ප්‍රධාන පවුල් කීපය ඇතුළුව ජීවත් වූ සියලුම දෙනා පරම්පරා ගණනාවක් තිස්සේ ජීවත් වූයේ සහ මිහිදන් වූයේ මෙම ගමෙහිය . එබැවින් ගම යනු අපගේ රජදහන ලෙස හැඳින්වීමට මම කැමැත්තෙමි . මෙම රජදහනට ඇත්තේ ඉතාමත්ම ඈත ඉතිහාසයක් සහිත විහාරයකි .

මෙම විහාරය සෑදීමට පුරෝගාමී වී ඇත්තේ එකල දෙවිනුවර ප්‍රාදේශීය පාලකයෙකු ලෙස කටයුතු කල දාපුළුසෙන් නමැති රජ කෙනෙකි . දාගැබ් පිළිම හා බෝධීන් වහන්සේ ඇතුළුව සියලුම අංග , අඩුවකින් තොරව මෙම විහාරයේ පිහිටා තිබේ . එමෙන්ම මෙම විහාරය තුල පත්තිනි දෙවියන්ට කැප කරන ලද දේවාලයක්ද පිහිටා තිබේ .

විහාරයේ ඇති පොත්ගුල මමද කාලයක් පරිහරණය කලෙමි . ඒ මා පිරිවෙන් අධ්‍යාපනය ලබාගන්නා අවධියේදීය . බන පොත් පිරිත් පොත් වල සිට වෙද පොත් මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව ලියවුනු පුස්කොල පොත් පත් රාශියක් මෙම පොත් ගුලෙහි අදටත් තැම්පත් වී පවතී . මේවායේ ඇති දැනුම උකහා ගන්නා පිරිස අඩු වූවත් කාලයෙන් කාලයට පත්වන නායක හිමිවරුන් මෙම පොත් ගුල ආරක්ෂා කලේ මතු පරපුරටද මෙම දැනුම දායාද කිරීමේ පරම පිවිතුරු අදිටනින් විය යුතුය .

පන්සලට සතියකට දෙතුන් වතාවක්ම මමද සීයාද ගියෙමු . සමහර අවස්ථා වලදී අප දෙදෙනාම එකට ගිය අතර සමහර අවස්ථා වලදී අප දෙදෙනා වෙන වෙනම පන්සල් ගිය වාරයන්ද තිබිණි . පන්සලේ නායක හාමුදුරුවන් සීයා හා මා සමග ඉතාම කුළුපග ලෙස එම අවස්ථා වලදී කතා කලේය . ඒ අපගේ ක්‍රියා කලාපය ගති පැවතුම් කෙරෙහි උන්වහන්සේ පැහැදී සිටි නිසායැයි මම විශ්වාස කරමි . උන්වහන්සේ මස් මාළු නොවලඳන ඉතාමත් සිල්වත් පැවිදි ජීවතයක් ගත කරන හිමි නමකි . සමහර මාස වලදී උන් වහන්සේ ගමේ කෙලවරේ තිබෙන ඝන වනාන්තරයෙන් හෙබි කැලයේ ආරණ්‍යගත වන්නේ භාවනානුයෝගීව කාලය ගත කිරීමටය . එම අවස්ථා වලදී පන්සලේ කටයුතු හරියාකාරව  බලා ගැනීමට තවත් හිමි නමක් සිටී .

දිනක් මමද සීයාද පන්සල් යාමට සුදු වතින් සැරසී අපගේ වලව්වේ ප්‍රධාන දොරටුවෙන් නික්මී කඩුල්ල අසලට පැමිණියෙමු .







" සීයේ , අර මොණරෙක් "

" කෝ පුතේ , කොහෙද ඉන්නේ ? මම දැක්කේ නැහැනේ තවම "

" අර ගහල ගස් අයිනේ මොනර පිල්ල තියෙනවා පේනවා . ඌ ගහල පඳුර අස්සේ ඇත්තේ "

" අපි එහෙනම් යමු ලඟට බලන්න .  ඒ අහිංසක සතාට අනතුරක්වත් වෙලාද දන්නේ නෑ "

" සීයාට මතකද අපේ අර නැතිවෙච්ච මන්තර පොත ගෙනත් දුන්න මොණරයි සෙබඩ ජෝඩුවයි "

" හා හා මට මොකද අමතක වෙන්නේ , යමුකෝ බලන්න මේ අමුත්තා කවුද කියලා "

මමද සීයාද කඩුල්ලෙන් නික්මී මොනර පිල්ල තිබෙන ගහල පඳුර අසලට සීරුවෙන් කිට්ටු වීමු . ගතවූයේ නිමේෂයකි . මොණරා ගහල පඳුරෙන් එලියට ආවේය . ඌ සුළුපටු ප්‍රමාණයක මොනරෙකු නොවේ . විශාල පිල් කලඹක් සහිත මොනර රාජයෙකි . මොණරා අසලට අප ලං වත්ම මම බලාපොරොත්තු වූයේ සීයාවත් මාවත් හමුවේ බියට පත් වී මොණරා කැලයට දිව යාමය . නමුත් සිදු වූයේ වෙනත් දෙයකි . මොණරා අප දෙසට සෙමෙන් සෙමෙන් එන්නට පටන් ගත්තේය . මොණරා අප දෙසට එන බව දැනගත් සීයාගේ ගමන බාල විය . ඒ අනුව යමින් මමද ගමනේ වේගය බාල කලෙමි . මොණරා දැන් අප අසල සිටගෙන බලා සිටී . ඌ හා අප දෙදෙනා අතර ඇත්තේ අඩි දෙකක පමණ දුරකි . ඌ නැවතී හිඳ වරෙක සීයා දෙස බලයි තවත් වරෙක මා දෙස බලයි .

මෙය සීයාට ඉතාම සතුට දනවන කාරණයක් විය . සීයා සුළු වෙලාවක් මෙය දෙස බලා හිඳ

" ඉතින් මොනර හාමි මොනවද අපෙන් ඉල්ලන්නේ ? "

කියමින් ඉතාම ආදරයෙන් කුඩා දරුවෙකුගේ හිස අතගානු ලබන පියෙකු මෙන් මොනරාගේ හිස අතගෑවේය . මොණරා මේ සියල්ල හමුවේ තවමත් නොසැලී සිටීම පුදුමයට කරුණකි . පන්සල් යන්නට පමා වන හෙයින්

" ඉතින් මොනර හාමි දැන් වනාන්තරේට ගියානම් හොඳයි නේද ? බලු තඩියෙක්වත් පැනගෙන ආවොත් මොනර හාමිට අනතුරක් වෙන්න පුළුවන් "







යැයි කියමින් සීයා පන්සල් යන ගමන අරඹන්නට පා නගන්නට විය . පුදුමයට කරුණ නම් මොණරා අප දෙදෙනා වෙතින් නික්මී නොයාමයි . මමත් සීයාත් අතරට පැමිණි මොණරා අප දෙදෙනා සමගම පන්සල වෙත පැමිණියේය . නමුත් හෙතෙම පන්සලේ හතරමායිමට ඇතුල් වූයේ නැත . පන්සලට එන අතරවාරයේ ඌ අප සමග සමීපව පැමිණියේ අපේ සමීප මිතුරෙකු පරිද්දෙනි .

" මේ සතා අපේ මැරිච්ච නෑයෙක්වත් වෙන්න ඇති පුතේ , මෙච්චර ලෙන්ගතු කමකින් බය නැතුවම අපිත් එක්ක එන්නේ , මොනර හාමි එහෙනම් අපි බුදුන් වැඳලා එනකං මෙහෙන් ඉන්න ,  හැබැයි ඉතින් මොනර හාමි කැලයට යනවනම් තමයි හොඳ . එළිපහලියට එන එකෙන් මොනරහාමිට අනතුරක් වෙන්න පුළුවන් "

කියමින් සීයා මා හා පන්සලට ගියේය . වලව්වෙන් එන අතරතුරේ කඩාගත් මල් පූජා කර , පහන් දල්වා හඳුන් කූරු දල්වා, චෛත්‍යය බෝධිය හා බුදු පිළිම වහන්සේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව , මමද සීයාද ලොකු හාමුදුරුවන් බැහැ දැකීමට ආවාස ගෙය පැත්තට ගියෙමු .

" ආ අරනෝලිස් , ළඟකදී මරු වසඟයට ගත්තේ එහම නැතුව වගෙයි "

" ලොකු ගුරුකමකටනම් අත තියන්න උනේ නෑ අපේ හාමුදුරුවනේ , මේ තෙල් මැතිරුම් වගේ වැඩ කීපයකට දවස් කීපයක් ගමෙන් යන්න උනා . පන්සල පැත්තේ එන්නත් බැරි උනේ ඒ වැඩ රාජකාරි නිසා . ඊයේ තමයි හාමුදුරුවනේ වලව්වට ආවේ . පන්සලට එන්න ඊයෙම උවමනාව තිබුණත් ගමන් තෙහෙට්ටුව නිසාම ගමන පරක්කු උනා "

" එන්නකො  එන්නකො ආවාසේ ඇතුලට මේ පොඩි ගුරුන්නාන්සේ පැටියත් එක්ක . මට තියෙනවා අරනෝලිස් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න . මම ඇබිත්ත කොලුවා වලව්වට එවන්න හිටියේ අරනොලිස්ට මාව හම්බෙන්න පන්සලට එන්න කියන්න . ඒත් අද හොඳ වෙලාවට අරනෝලිස් පන්සලටම ආවා එහෙනං "

" මොකද්ද අපේ හාමුදුරුවනේ තකහනියක්ම මට එන්න කියන්න තිබ්බ රාජකාරිය ? "

" මම මේ ගැන තාම වැඩිය හිතුවෙවත් හෙව්වෙවත් නෑ අරනෝලිස් . මම දැනට දවස් දෙක තුනකට විතර කලින් අමුතු පහේ හීනයක් දැක්කා "

කියමින් හාමුදුරුවෝ මා දෙස බැලීය .

" කමක් නෑ අපේ හාමුදුරුවනේ . පුතා හිටියට කමක් නෑ . මෙයාට දැන් පවුලේ රහස් ඔක්කොම මම භාර දීලා තියෙන්නේ .  එනිසා ඕන දෙකට පුතත් දැන් ඔට්ටුයි "

" අරනෝලිස් කියනවනං ඉතින් මගේ හිතේ කිළුටක් නෑ . මේකයි කියන්න තියෙන කාරණාව . මම හීනෙන් කතරගම දෙවියන්ව දැක්කා අරනෝලිස් "

" ඇත්තටම අපේ හාමුදුරුවනේ මමත් කතරගම දෙවි හාමුදුරුවන්ව දැක්කනේ . හැබැයි උන්වහන්සේ මොකවත් කිව්වෙන නම් නෑ "

සීයා එකවරම මගේ මුහුණ දෙස බලා

" පේනවා නේද අපිට මගදී හම්බෙච්ච නිමිත්ත . ගිහින් බලන්න මොණරා එතනම ඉන්නවද කියලා . මට ඒ සතාගේ වෙනසක් දැනුනා . වෙන වෙලාවට මනුස්ස පුළුටක් දැක්කම කැලේට දුවන සතෙක්නෙ මොණරා කියන්නේ "

යැයි සීයා කීවේය .

මම මොණරා සෙවීමි . පන්සලට ඇතුල්වන ගේට්ටුව අසල හා ඒ අවටද පන්සල් වත්තේද ඌ සොයා ඇවිද්දෙමි . එහෙත් ඌ සිටියේ නැත . ඌ සමහරවිට කැලයට යන්නට ඇත . නැතිනම් බල්ලෙකුගේ ගොදුරක් වූවාද . මම ඒ බව සීයාට කියන්නට නැවතත් ආවාස ගෙය දෙසට එන විට සීයා නායක හාමුදුරුවන්ට වැඳ ආවාස් ගෙයින් නික්මීමට සැරසිණි . මමද නායක හාමුදුරුවන්ට වැඳ සීයා සමග ආවාසගෙයින් එළියට ආවෙමි .






" මේ මොකද්ද සීයේ පුස්කොල පොතක් ? "

" කියවලා තියෙනවද නිධන් වදුලක් . මේ තියෙන්නේ නිධන් වදුලක් "

කියමින් සීයා නිහඬ විය . මමද නිධන් වදුල කියවීමේ ආශාවෙන් සීයා සමග වචනයකුදු කතා නොකර ඉක්මනින්ම ගෙදර ආවෙමි . සීයාද අතරමගදී මා සමග වැඩි වචනයක් කතා නොකළේ ඔහුගේ හිතේ නැවුම් බලාපොරොත්තුවක් රෝපණය වී ඇති නිසා යැයි මම අනුමාන කලෙමි .

එම අනුමානය හරිය .

" හාමුදුරුවෝ හීනෙන් දැකලා තියෙනවා අර ගම කෙලවරේ තියෙන කන්දේ ගල් ගුහාවක හංගලා තියෙන නිධන් වදුලක් ගැන . හාමුදුරුවන්ට කතරගම දෙවියන් හීනෙන් පෙනිලා කියලා තියෙනවා නිධන් වදුල අරගෙන කියවලා . ඒකෙ තියෙන හැටියට රාජකාරි ඉටු කරලා නිධානය අරගෙන පන්සලේ තැම්පත් කරන්න කියලා . ඒකටයි මට එන්න කියලා තියෙන්නේ . මේ ගැන ගෙදර අය කවුරු එක්කවත් මුකුත් කියන්න එහෙම එපා මම කියනකන් හොඳද ? "

" හොඳයි සීයේ මම මුකුත් නොකියා ඉන්නම් "

සීයා ගෙදර ආ මොහොතේ සිට පුස්කොල පොත රැගෙන කාමරයට වී දොරද වසාගෙන එය කියවන්නට විය . කාමරයට ඒමට මටද තහංචි විය . නිධන් වදුලේ ඇත්තේ කුමක්ද කියා දැනගැනීමේ මා සිත තුල වූ ආශාව සීයාගේ එම ක්‍රියා කලාපය නිසා තව තවත් වැඩි වෙන්නට විය . එහෙයින් මම සීයාගේ කාමරය අසලම ගැවසෙමින් කාලය ගත කලෙමි .

" පුතේ "

අවසානයේ පැය කීපයකට පසුව මා බලාපොරොත්තු වූ පරිදි සීයා මට කාමරයට කතා කලේය .

" හෙට කතරගම යන්න ඕන කතරගම දෙවියන්ට පූජාවක් කරන්නයි භාරයක් වෙන්නයි . කරත්තේ ලැස්ති කරන්න කියන්න . හොඳ පැහිච්ච පොල් ගෙඩියක් ලේලිගස්සලා කහ වතුරෙන් හෝදලා සුදු රෙද්දකින් ඔතලා තියන්න හෙට යනකොට ගෙනියන්න  "

" සීයේ මොකද්ද නිධන් වදුලේ කියලා තියෙන්නේ ? "

" ඉස්සර කාලේ රජ කෙනෙක් නිධන් කරපු නිධානයක් ගන්න ඕන පිළිවෙල තමයි මේකේ කියලා තියෙන්නේ . නිධානෙ ගන්න වැඩ කරන්න කලින් කතරගම දෙවියන්ට භාරයක් වෙන්න ඕන . ඒකට කතරගම යන්න ඕන. මම පුතාට විස්තර පස්සේ කියන්නම් . තව ටිකක් මේ නිධන් වදුල කියවලා බලන්න ඕන . හා දැන් මම කිව්ව වැඩ ටික කරන්නකෝ හොඳ පුතා වගේ  "

මම සීයා කියූ අන්දමට සියලු කටයුතු සූදානම් කලෙමි . නමුත් මේ භාරධූර කර්තව්‍යය පිළිබඳව තවමත් අම්මා තාත්තා ආච්චිඅම්මා දන්නේ නැත . පසුවදා උදෑසනම සීයාද මමද කතරගම යාමට පිටත් වීමු . කරත්තයේදීවත් සීයා මේ පිළිබඳව කිසිවක් කීවේ නැත . ඒ කරත්ත කරු මේවා දැනගන්නා හෙයිනි . කතරගම දේවාලයේදී සීයා පොල් ගෙඩියට මතුරා පේ කර එය සීසීකඩ විසිරී යන ලෙස පොලවේ ඇති කළු ගල් පතුරේ ගසන ලදී .

නැවත ගෙදර ආපසු සීයා මා සමග සියල්ල පිලිවෙලින් පැවසීය .

" පුතේ නිධානය ගන්න කියලා කතරගම දෙවියෝ හාමුදුරුවන්ට හීනෙන් ඇවිත් කියලා තියෙනවා . ඒත් හාමුදුරුවෝ මේ සාත්තරේ දන්නේ නැති නිසා තමයි මට කිව්වේ . නිධන් වදුල ගෙනාවට , මන්තර සාත්තරෙන් කරන්න ඕන හරිය මට භාර දුන්නා . අපි මේ නිධානය හාමුදුරුවන්ට අරන් දෙන්න ඕන කොහොමහරි . මොකද පන්සලේ තියන්න ඕන වටිනා දෙයක් වෙන්න ඕන මේ නිධානෙ පරිස්සම් වෙලා ඇත්තේ . ඒකනේ දෙවි හාමුදුරුවෝ කියලා තියෙන්නේ හාමුදුරුවන්ට මේක ගන්න කියලා . හැබැයි පොඩි පරහකට තියෙන්නේ මේ නිධානෙ තියෙන තැන ගැන මොකවත් කියලා නෑ . අපි නිධානෙ තියෙන තැනට කනප්පුවක් යවන්න ඕන . ඒක තමයි භයානකම වැඩේ . කනප්පුවක් යවන එක භයානක දෙයක් නෙවෙයි . ඒත් මෙතනදී කනප්පුව යවන්න අපිට උදවු කරගන්න වෙන්නේ මහසෝනා . එයා තමයි කනප්පුවට ආවේස වෙලා නිධානෙ තියෙන තැනට අපිව එක්ක යන්නේ . මේ වැඩේ දන්නේ පුතයි මමයි හාමුදුරුවොයි නිසා අපි තුන්දෙනාට තමයි හැමදේම කරන්න වෙන්නේ . ඒත් මම මේක කොහොමහරි කරන්න ඕන . තව දවස් දෙක තුනකින් වගේ අපි මේ වැඩේ පටන් ගන්න ඕන . එතකං පුතා මහසෝනා ගැන තියෙන මන්තර ටිකක් හොඳට බලාගන්න . මොකද සමහරවිට පුතාටත් මතුරන්න වෙයි කනප්පුවට "

“………….. එක්මන්සල යක්ෂයා වර දෙමන්සල යක්ෂයා වර තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් අසා දොළ පිදේනි ගන්න කෝලි අවතාරෙන් වර වර විපුල මහසොහොන් දිෂ්ටී වරෝ…………..”



සසිරිබර මෙසිරිලක
පොළොන්නරු නම් නුවර
මහ සොහොන් යකු නුඹට
වැඩියකෙක් නැත මෙරට
ගජුන් ඇන බිම ගසා
කමින් මස් ඉර ඉරා
බොමින් ලෙ පෙර පෙරා
යකෙක් නැත මෙමුලුරට
උනද හිසරද කරයි
ධාය ඉදිමුන් කරයි
කැඳ කැවිලි අරුචිවෙයි
මෙවෙනි ලෙඩ කල තැනේ
සුබ අදුරු ගෙන්නවා
අප නූල් අතේ බැඳ
මහසොහොන් බලියටා
දඬු කපා එම විටා
පුලුල ගෙන තුං වියත්
සත් වියත් උස රැගෙන
බබු රුවන් සැදී ඉසකි
බුදුරුවන් සියොගතකි
සිරස මැද පන්දමකි
බඩ මැද්දේ ඔලු තුනකි
දෙකලකට පුර හඳකි
මෙසේ බලි අඹාලා
ඕවිටක තබාලා
පුළුටු බත් අනාලා
බලියපිට තබාලා
මෙදොල බලි දෙන ලෙසට
මෙපිරිපොත හරින්නේ
එපස්වා දහස්කල්
දිනේවා මතු දිනෙවා….

මම එතැන්සිට මහසෝනා ගැන සියලු දේවල් පුස්කොල පොත් වලින් කියවා නැවතත් මතක් කරගත්තෙමි . සීයා නිධන් වදුල කියවා එහි වූ අලුත් මන්තරයක් මාහට පාඩම් කරවීය . එය කනප්පුවට මහසෝනා ගෙන්වූ පසු මහසෝනා ලවා කනප්පුව යැවීමට භාවිතා කරන මන්තරයකි .

සීයාද මමද නිධානය ගැනීමට කලයුතු පෙර සූදානම් වීම සඳහා පන්සලට ගියේ හාමුදුරුවන් ඒ සඳහා දැනුවත් කලයුතු හෙයිනි . 

" අපේ හාමුදුරුවනේ නිධානෙ ගන්න කරන්න දේවල් ටිකක් තියෙනවා  . මෙතන කනප්පුවේ ගුරුකමක් කරන්නත් තියෙනවා . හැබැයි කිසි කෙනෙක්ට මේ ගැන දැනගන්න ඉඩ දෙන්න බෑ . ඒ නිසා අපි තුන්දෙනා කන්දට යන්න ඕන අවශ්‍ය කළමනා ද්‍රව්‍යත් අරගෙන . ඔබ වහන්සේට වඩින්න පුළුවන් නේද හාමුදුරුවනේ . තව මට උවමනා කරනවා කකුල් තුනක් තියෙන කනප්පුවක් . ඒ කනප්පුවට යකඩ ඇණ එකක්වත් ගහලා තියෙන්න බෑ . එහෙම එකක් තියෙනවද හාමුදුරුවනේ පන්සලේ ? . අපේ වලව්වේ තියෙන ඒවානම් ඔක්කොම වගේ ඇණ ගහලා පුරුද්දපුවා " 





" අරනෝලිස් මටත් කියන්න වෙන්නේ ඒ උත්තරේම තමයි ඉතින් . කමක් නෑ . මම වඩු මඩුවෙන් අලුත් කනප්පුවක් හදවාගන්නම් අදම කියලා . එතකොට අනිද්දට විතර ඒ කනප්පුවත් හම්බෙයි . ඊට පස්සේ අපි යමු කන්දට . කන්දේ ඉන්න තැනක් තියෙනවා . මම භාවනා කරන්න ඉන්න ගල් ගුහාවක් තියෙනවා . ඒ ගුහාවේම පැත්තක තමයි හරි හතරැස් ගල් කීපයක් එකතු කරලා ගොඩගහලා තිබුණ ගල් ගොඩක් යට මේ නිධන් වදුල හංගලා තිබුණේ . ඒ ගුහාවේ ඉඳගෙන අපිට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් අරනෝලිස් " 

" හොඳමයි හාමුදුරුවනේ . එහෙනම් කනප්පුවේ රාජකාරි අහවර කරගෙන මට ඇබිත්ත කොළුවා අතේ පණිවිඩයක් එව්වනම් . මම පුතත් එක්ක එන්නම් කන්දට යන්න ලක ලැස්ති වෙලා  "

සීයාද මමද නැවත වලව්වට පැමිණ තවදුරටත් මන්තර පිළිබඳව අධ්‍යනය කළෙමු . ඒ අතරවාරයේම මෙම කටයුත්තට ගෙනයාමට අවශ්‍ය කළමණා ලකලෑස්ති කිරීමද කළෙමු . සීයා ගෙදර අයට කියා තිබුණේ බරපතල රෝගියෙකු සුවපත් කිරීමට ඈත ගමකට යන බවයි . එයින් එහා අපගේ රාජකාරි පිළිබඳව නිවසේ කිසිවෙක් හාරාවුස්සන්නට ආවේ නැති වීම සීයාටද මටද අරුමයක් නොවිණි . ඒ එදාමෙන් අදත් ඒ ලෙසටම ගෙදර අය අපගේ ගුරුකම් පිළිබඳව හාරාවුස්සන්නේ නැති හෙයිනි .

දින දෙකක් ගතවත්ම පන්සලේ ඇබිත්ත කොලුවා වලව්වට ආවේ කනප්පුව ලැබුණු බව දැන්වීමටය . 

" පුතේ එහෙනම් හෙට අපි ලොකු හාමුදුරුවන් එක්ක යන්න පිටත් වෙමු . පයින් තමයි යන්න වෙන්නේ කනප්පුවත් කරගහගෙන . තුන් දෙනෙක් ඉන්න නිසා අමාරුවක් වෙන එකක් නෑ . හාමුදුරුවන්ට වැඩි දෙයක් නොදී අපි දෙන්නා බර උහුලාගෙන යමු . " 

" හොඳයි සීයේ "

පසුවදා සීයාද මමද පන්සලට ගොස් නායක හිමියන් හමුවීමු .

" හාමුදුරුවනේ අපි තුන් දෙනාට තමයි යන්න තියෙන්නේ . ඔබ වහන්සේගේ ආම්පන්නත් අපිට දුන්නනම් ගෙනියන්න පුළුවන් " 

" නෑ නෑ අරනෝලිස් . මට ඔය ගමන පුරුදුයි . මට ඕන නම් අරනොලිස්ලගේ ආම්පන්න ටික දෙන්න . ඔහොම කිව්වට බලන්නකෝ සීයයි මුනුබුරයි කන්ද නගිනකොට කොහොමද රඟේ කියලා . දෙන්නත් එක්ක අඩි දෙකෙන් දෙකට හති හලයි . එන්න දෙන්නම මෙහාට . මෙන්න මේ පිරිත් නූල් අතේ බැඳගෙන යමු අරනෝලිස් " 

කියමින් නායක හිමියන් සීයාගේද මගේද අතේ පිරිත් නූල් ගැටගසන ලදී . පසුව අප තුන්දෙනා ගමන පිටත් වීමු . ගමන පිටත් වනවිට උදෑසන නිසා වැඩි තෙහෙට්ටුවක් නොදැනුනත් කන්ද පාමුලට එනවිට සීයාගේද මගේද ගත ඩහදියෙන් නැහැවී තිබිණි . 

" හා හා මම කිව්වා නේද දෙන්නට ඔහොම වෙයි කියලා . ටිකක් මහන්සි ඇරලා යමු එහෙනම් " 

කියමින් නායක හිමියන් පැවසීය . මද වෙලාවක් නැවතී සිටි අප නැවතත් ගමන ආරම්භ කලේය . වැඩිම අමාරු රාජකාරිය වූයේ කනප්පුව උස්සාගෙන යාමය . එහෙත් නායක හිමියන්ට බරක් නොවී මමත් සීයාත් ඒ රාජකාරිය ඉටු කළෙමු . අවසානයේ අපි නායක හිමියක් කියන ලද ගල් ගුහාව වෙත පැමිණියෙමු . වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශාල ගල් ගුහාවකි . 




එහි පැමිණ ඒ මොහොතේ සිටම කරන ලද්දේ නිධානය ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි . පුවක් මල් සෙවීම තරම් වෙන කිසිවක් දුෂ්කර නොවීය . පුවක් මල් සොයා මම කැලයේ හැමතැනම ඇවිද්දෙමි . අවසානයේ එයද සපුරාගැනීමට හැකි විය . 

සීයා අසල වූ ඇලකින් කනප්පුව මනා සේ සෝදන ලදී . පසුව පුවක් මල් කනප්පුවේ බඳෙහි පිළිවෙලින් ගැටගසන ලදී . පසුව අප රැගෙන ආ පූජා ද්‍රව්‍යන් කනප්පුව වටා පිළිවෙලකට තබා සකසන ලදී . මේ අතරේ නායක හිමියන් පොල් කටු කීපයක් අවුලා අඟුරු සකසා දෙමින් අපිට උපකාර කලේය . සීයා දුම්මල කුඩු අහුරු අහුරු රැගෙන මතුරන්නට විය . දැන් එන්නේ අසීරුම අවස්තාව බව දැනගත් මමද රතු රෙදි පටියක් හිසේ ගැටගසා ගනිමින් මන්තර මතුරන්නට සූදානම් විය . එය දුටු සීයා මට ඔහොම ඉන්න ලෙස අත පාමින් මාව වළක්වන ආකාරයේ සංඥාවක් කලේය . 

" ................රාම ඊශ්වර බ්‍රහ්ම සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ටී වාවා නවනාත නවග්‍රහ ශ්‍රී විෂ්ණු අයියනාරයනේ කන්දස්වාමි මුලුදෙවොල් පත්තිනි දැඩි මුණ්ඩ රාබේ දිෂ්ටී වාවා දේව රජ්ජුරු හනුමා බද්‍රකාලී දිෂ්ටී වාවා සමන් බහිරව ඔඩ්ඩියාරේ ගොපලු කඩවර දිෂ්ටී වාවා මල්ල වීර මුණ්ඩ සැඩ කම්බිලි උඩ යක් ඉරල මෝහනී දිෂ්ටි වාවා ආඝෝර මධුරමාල සිලම්භරී ඉර සඳ භූම දේවී දිෂ්ටී වාවා අහස පොලව මුළු සක්වල සීමා පරුවත ගස් ගල් වෙවුලවා වරවර සුර අසුර අටකොන කොදෙව් සාගර සත් මුහුදු වෙව්ලවා වර වර සැනින් වර වර විගස වර වර ඒස්වාහඃ............ " 

අනතුරුව සීයා මහසෝනා ගෙන්වන මන්ත්‍ර එකින් එක පුරන්නට විය 

“………….. එක්මන්සල යක්ෂයා වර දෙමන්සල යක්ෂයා වර තිස්දහසක් මහසොහොන් පිරිවරන් මහසෝනාවර අමුසෝනවර ලේසෝනාවර ජයසෝනාවර අකාස භවනේ පිල්ලි කට්ටී වරෙන් කඳ කුමාර අවතාර පිල්ලි කට්ටී වරෙන් නාග අවතාර පිල්ලි කට්ටී වරෙන් වෙසමුණි අවතාර පිල්ලි කට්ටී වරෙන් ගෝඩිම්බර දේවතාවාගේ අනින් රත්නකාර දේවතාවගේ අනින් ගජකුම්බකාරී දේවතාවියගේ අනින් ආරූඩ පත්ම කවිලාසනේ කරකවා මෙරඟ ඇදුරා කී බස් අසා දොළ පිදේනි ගන්න කෝලි අවතාරෙන් වර වර ................... " 

කනප්පුව වටා දල්වා තිබුණු පහන් කීපය නිවී ගියේය . ඒත් සමගම සුළඟේ වේගය තරමක් වැඩිවන බවක් අපට පෙනී ගියේය . නායක හිමියන් තරමක් වික්ෂිප්ත වී ඇති බවක් පෙනිණි . 

" හාමුදුරුවනේ මහසෝනා එනවා වගේ , ඔබවහන්සේ බය වෙන්න කාරී නෑ ඒකට " 

සීයා කීවේය . හාමුදුරුවන් නිසොල්මනේ සිටියේය . සීයාගේ කීම හරිය . මහසෝනා එන නිමිති පහල විය . මටද සීයාටද මහසෝනා පෙනෙන්නට එන වග නොරහසකි . සැබවින්ම ඔහු සුදු රෙද්දක් පොරවාගත් තාපසවරයෙකුගේ වෙස් ගෙන අපවෙත පෙනී සිටියේය . ඔහුගේ වාහනය , එනම් කළු අශ්වයාද එහි සිටියේය . 


                      animated ghost photo: shost ghost-animated.gif


" හා දේවතාවා වැඩියා එහෙනම් නේද ? . අපිට උවමනා කරලා තියෙනවා මෙන්න මේ නිධන් වදුලේ තියෙන නිධානය ගන්න . කතරගම දෙවියන්ගෙන් ඒ වෙනුවෙන් අවසරය ලැබුනා . අපිට තවත් වෙලාව ගෙවන්නේ නැතුව නිධානය ගන්න පිළිවෙලක් කරලා දෙනවනම් හොඳයි " 

සීයා මේ කතා කලේ මහසෝනාටය .

" හඃ හඃ හඃ හඃ අරනෝලිස් . පඬුරක් ගැටගහපන් එහෙනම් කතරගම දෙවියන් වෙනුවෙන් . මේ නිධානයේ තියෙනවා හක් ගෙඩියක් පුස්කොල පොත් දෙකක් එක්ක දඹරන් බුදුපිළිම හතරක් . මේ පොත් දෙකේ තියෙන්නේ එකම දේවල් . එයින් එක පොතක් එක්ක හක්ගෙඩිය තමා ගන්න ඕන . අනිත් පොත පන්සලේ පොත් ගුලේ තියන්න ඕන . ඒවා පිටට නොයන්න මම වගබලාගන්නම් . ඒ පොතේ තියෙන ගුරුකම් අලුත් පරපුරට උගන්නන්න ඕන උඹට තේරුනාද අරනෝලිස් ? "

" මහසෝන් දේවතාවා එහෙනම් මේ කනප්පුවට ආවේස වෙලා අපිව ඒ නිධානය තියන තැනට එක්ක යන්න " 

මේ සියල්ල දෙස නායක හාමුදුරුවෝ බලා සිටියේ පුදුමයෙනි . ඒ උන්වහන්සේට මහසෝනා පෙනෙන්නේ නැති නිසාවෙනි . අපි මහසෝනා සමග කතා කරන බව උන්වහන්සේට වැටහී තිබිණි . 

නිධන් වදුලේ තිබූ මන්ත්‍රය මතුරන්නට අවස්තාව ලැබුනේ මා හටය . සීයා මහසෝන් දේවතාවා දෙස බලා සිටින අතරතුරේ මා දුම්මල කුඩු අහුරු අහුරු අතට ගනිමින් මතුරමින් අඟුරු කබලට දමා කනප්පුවට දුම් අල්ලන්නට පටන් ගත්තෙමි . මා හිස ඔසවා බලනවිට මහසෝනා පෙනෙන්නට හිටියේ නැත . තව දුරටත් මතුරන ලෙස සීයා මට විධාන කලේය . මම මතුරමින් විනාඩි පහක් දහයක් පමණ දුම් අල්ලන්නට වන්නෙමි . ක්ෂණිකවම කනප්පුව ගැස්සී ගියේය . ගුරුකම සාර්ථක වී ඇත . දැන් කනප්පුවට මහසෝනා ආවේස වී අත . 

දැන් කල යුත්තේ කනප්පුව අවිද්දවීමය . සීයාද නායක හාමුදුරුවන්ද කනප්පුවේ දෙපසින් අල්ලාගත් පසු මම නැවත නැවතත් එකම මන්ත්‍රය මතුරමින් කනප්පුවට දුම් ඇල්ලීමි . සීයා සහ නායක හිමියන් අල්ලා සිටින කනප්පුව දැන් කෙමෙන් කෙමෙන් ඇවිදගෙන යන්නේ අපගේ අරමුණ ඉටුකරදීමටය . එක් මොහොතකදී අපට කනප්පුව ඇලකින් එගොඩ කරවීමටද සිදුවිය . එයද තරණය කල පසු එම ඇල අසලදීම අප අපගේ ඉලක්කය සොයා ගත්තේය . 

මොණරෙකුගේ රූපය කොටන ලද අඩි තුනක් පමණ දිග පළල සහිත කළුගල් පියනක් වැන්නක් එම ස්ථානයේ බිම තිබිණි . දැන් මෙය කඩා දැමීමට අප අතේ කිසිවක් තිබුණේ නැත . අඩුම තරමේ සීයා හෝ මා අතේ පිහියක් හෝ තිබුණේ නැත . සුළු මොහොතක් ගත වත්ම අපට අපගේ කලින් හමු වූ මිතුරෙකු එම ස්ථානයේදී මුණ ගැසිනි . ඒ එදා පන්සල් යන අතරමගදී අපට හමු වූ මොනරාය . හෙතෙම අප වෙත පැමිණියේය . පැමිණ සීයා අසල නැවතිණි . සීයා කනප්පුව අතහැර මොණරාගේ හිස අතගාන්නට විය . 

" මොනර හාමි අපිව හොයාගෙන ආවා එහෙනම් නේද " 

එසේ කියමින් සීයා මම කිසි දිනක අසා නැති මන්තරයක් මතුරන්නට පටන් ගත්තේය . 

"............... අහසේ පොලවේ වාත මේඝ දිව්‍ය පුත්‍රයා වට කරකැවී අකුණු හෙන ගිනි දේවතාවට ඉඩහළ ආනුභාවයෙන් අකුණු හෙනගිනි දේවතාවා කළුගල් පලා වරෙන් මෙරගල් පලා වරෙන් ශක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් ආසනය උණු කරවා ජයතුරා සක පුපුරවා වරෙන් .............. "

සීයා දිගටම මතුරාගෙන ගියේය . එවෙලේ සීයා දෙස මොහොතක් බලා සිටි මොණරා කනප්පුවට කොටන්නට පටන් ගත්තේය . සිදුවන්නේ කුමක්ද කියා මටවත් සීයාටවත් හාමුදුරුවන්ටවත් තේරුම් ගන්නට හැකියාවක් තිබුණේ නැත . එකවරම අහසේ අකුණු පුපුරන්නට විය . එහෙත් එය වර්ශාවක පෙරනිමිත්තක් නොවේ . පුපුරාගිය තුන්වන අකුණ වැදුනේ මොණරාගේ සලකුණ කොටා තිබෙන කළුගල් පතුරෙහිය . නිධන් ගල විවෘත විය . රාත්‍රී අඳුර සමග අපට පැහැදිලිව එය පෙනුනේ නැත . එහෙයින් අඟුරු කබලේ අඟුරු යොදාගෙන එම ස්ථානයේ ගිනිගොඩක් දල්වා ගන්නට අපි සමත් වීමු . නිධන් ගල පුපුරා ගිය හෙයින් එහි කොටස් ඉවත් කර අපි නිධන් පෙට්ටිය කොහේදැයි පරීක්ෂා කලෙමු . අවසානයේ අපට නිධන් පෙට්ටිය පුපුරාගිය ගල් කැබලි අතරින් ලැබිණි . 

" හාමුදුරුවනේ ඔබවහන්සේ මේ පෙට්ටිය විවෘත කරන්න . මේක මගේ දෙයක් නෙවෙයි . මට දැන් මහසෝන් දේවතාවා යවන්න තියෙනවා . මම ඒ රාජකාරිය කරනකන් ඔබ වහන්සේ නිධන් පෙට්ටිය පරීක්ෂා කරන්න " 

එසේ කියා සීයා මහසෝන් දේවතාවා යවන්නට මන්ත්‍ර මතුරන්නට විය . ඒ අතරේ නායක හිමියන් නිධන් පෙට්ටිය විවෘත කලේය . මහසෝනා යවා ඒ කාර්යය අවසන් කල පසු සීයාද නිධානය පරීක්ෂා කලේය .  මහසෝනා කියූ අන්දමට සියල්ල එහි තැම්පත් කර තිබිණි . අප ඒ සියල්ල රැගෙන ගල් ගුහාවට ආවෙමු . 

පසුවදා එළිවෙන්නට පෙරාතුවම අපි බුදුපිළිම හතරත් පුස්කොල පොත් දෙකත් හක් ගෙඩියත් පමණක් රැගෙන නැවත පන්සලට ආවෙමු . මේ ගමන පිළිබඳව කිසිවෙක් කිසිවක් දැන සිටියේ නැත . එහෙයින් සියල්ල සිදු වූයේ රහසිගතවය . නායක හිමියන්ගේ කාමරයේ දොර වූයේ ආවාසයේ එළියෙන් හෙයින් කිසිවෙකුට නොදැනෙන ලෙස එය යතුරු දමා විවෘත කිරීමට නායක හිමියන්ට හැකි විය . 

අපි තුන් දෙනා එක්ව නිධානයේ වූ පුස්කොල පොත් පරීක්ෂා කළෙමු . මමද සීයාද එකිනෙකාට ඇසෙන ලෙස එම පුස්කොල පොත්වල ලියා තිබුණු දෑ තොල් මැතිරීමු . සැබෑවකි . සියල්ල සමානය . මෙහි සඳහන්ව තිබුණේ ලංකේශ්වර උතුම් මහරාවනා රජුගේ කාලයේ සිට පැවත එන වෙදකම් සහ මන්ත්‍ර විශාල ප්‍රමාණයකි . 

" එහෙනම් අරනෝලිස් එළිවෙන්න කලින් ගෙදර යන එක හොඳයි නේද " 

මම මේ පොත පොත්ගුලේ පොත් අතරට තියන්නම් . බුදු පිළිම හතර ධාතු මන්දීරයේ තැම්පත් කරන්න ඕන . මේ පොත තියන්න ඕන රහස් පොත් තියෙන පොත් රාක්කෙ . අරනෝලිසුත් මේ පොතයි හක් ගෙඩියයි පරිස්සම් කරගන්න . මේ දරුවට මේවා උගන්වන්න . මටත් දැන් ටිකක් තෙහෙට්ටුයි කනප්පුවත් එක්ක ඇවිද්ද නිසා වෙන්න ඇති . ටිකක් සැතපෙන්න ඕන " 

" එහෙමයි හාමුදුරුවනේ , අපිට යන්න අවසර " 

කිවයුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඉහත සඳහන් කල අප හා කුළුපග වූ මොණරා පන්සලට පැමිණ තිබීමයි . මමත් සීයාත් ආවාසයෙන් එලියට එන මොහොතේ මොණරා පන්සල ඉදිරියේ සිට අප ඉදිරියට ආවේය . 

සීයා මොනරාට දෑත එක්කොට ආචාර කළේය . සීයා විසින් මොනරෙකුට ආචාර කල දෙවෙනි වතාව මෙයයි . පසුව මොණරා කැලයට ඇවිද ගියේය . සීයාද මමද වලව්වට පැමිණියේ ඉර පායා ඒමට පැය කීපයකට පෙරය  .







නිධානයෙන් ලැබුණු හක්ගෙඩිය අප හා සුරක්ෂිතව පවතින අතර අපට ලැබුණු අලුත් පුස්කොල පොත සීයාගේ ජීවිතයට වඩා මාගේ ජීවිතය වෙනස් මගකට යොමු කිරීමට සමත් විය . එය නවමු පරිච්චේදයක ආරම්භයකි .


" මයුර කළඹ සිරස තබා 
දවුල් හඬට පාද තබා
පුද දෙන බැති මල් සරසා දිව්‍ය විමානේ 
තැවුල් අවුල් නිවන් හදේ කදිර සුරින්දේ "

තවත් කතාවකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

3 comments: