සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා !






කාලො යංතෙ මහා වීර
උප්පජ්ජ මාතු කුච්චියං
සදෙවකං තාර යංතො
බුජ්ජස්සු අමතං පදං

“ මහා වීරයන් වහන්ස, දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් ලොව්තුරා බුදුවීමට මව්කුස ඉපදීමට කාලයයි ”


බුදුන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව යම් කථිකාවකින් අද ගීතය ගැන ලියන්න ආරම්භ කරන්න හිතාගෙන තමයි මේ පූර්විකාව ලිවීම ආරම්භ කරන්නේ . පාරමිතා සම්පූර්ණ කිරීමට පසුව බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා වැඩ ඉන්න කාලයේ දෙවියන් ලෝකය දිහා බලලා කල්පනා කරනවා දැන් බෝසත් දිව්‍ය පුත්‍රයාට මනුස්ස ලෝකයේ ඉපදෙන්න කාලය හරි කියලා . එහෙම හිතලා උඩින් කියලා තියෙන පාලි වාක්‍යයට අනුව සන්තුසිත දිව්‍යරාජයාණන්ට ආරාධනා කරනවා මහා වීරයාණෙනි මවුකුස පිළිසිඳගන්න කියලා . 

ඊට පස්සේ තමයි බෝසත් දිව්‍ය පුත්‍රයා පංච මහා විලොකනය , ඒ කියන්නේ පස් මහ බැලුම් බලලා හරි කාලයේ හරි තැන නියම අම්මාගේ කුසේ නියම පවුලක උත්පත්තිය ලබන්න මවු කුස පිළිසිඳ ගන්නේ . ඉපදීමක් වෙනුවෙන් බෞද්ධ සාහිත්‍යයේ කියවෙන පළවෙනි ආරාධනාව තමයි මේ . ඊට පස්සේ යම් යම් තැන් වල මේවගේ ඉපදීම් සඳහා ආරාධනා කිරීම් සහ ඉපදීම් ගැන කතා විශාල ප්‍රමාණයක් සඳහන් වෙනවා . විශේෂයෙන්ම විමානවත්තු පේතවත්ථු වගේ කතා වල ඉපදීම් ගැනම තමයි කතා කෙරෙන්නේ . අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උත්පත්ති කතා පිළිබඳවත් බෞද්ධ සාහිත්‍යයේ විශාල වශයෙන් විස්තර කිරීම් තියෙනවා . 

නාරද මහා සෘෂි වරයා තමයි ලොව පහළ වෙච්ච මහා සෘෂි වරයා විදියට හඳුන්වන්නේ . එතුමාගේ ගෝල බාල සෘෂිවරයින් දවසක් කතාවෙනවා අනාගතයේ ඉපදෙන මිනිසුන් වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕන කියලා . ඒ වෙලාවේ නාරද මහාසෘෂි වරයා කියනවා අනාගතයේ ඉපදෙන අයගේ ජීවිත කතාව සෘෂි ඇසින් බලලා ලියලා තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා . 

ඒ අනුව යමින් ඒ සෘෂිවරුන් පිරිස නාඩි වාක්‍ය විදියට හඳුන්වන යම් සවිස්තරාත්මක තල් පත්තිරු සටහන් ලියලා එකතුවක් විදියට පවත්වලා තියෙනවා අනාගතය වෙනුවෙන් . මේ නාඩි වාක්‍ය අදටත් පවතිනවා . බුදුන් වහන්සේගේ ජන්මය සම්බන්ධව නාඩි වාක්‍ය ලිවීම්වල සටහන් වෙලා තියෙනවා කියලා බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමියන් විසින් එක අවස්ථාවක කියලා තියෙනවා . 





කාක බුජන්දර මහා සෘෂි වරයාගේ නාඩි වාක්‍ය එකතුවේ ආනන්ද මෛත්‍රීය හිමිගේ ජීවිත කතාව තිබිලා තියෙනවා . ඒ වෙලාවේ ආනන්ද මෛත්‍රීය හිමි අහලා තියෙනවා ඒ නාඩි වාක්‍ය කියන කෙනාගෙන් මම මෙතනට ආවේ ඇයි කියලා කියන්න පුලුවන්ද කියලා . ඒ වෙලාවේ නාඩිවාක්‍යය අනුව ඒ කෙනා කියලා තියෙනවා බුදුන් වහන්සේගේ ජන්ම පත්‍රය සොයන්න තමයි ඔබ වහන්සේ මෙතනට ඇවිත් තියෙන්නේ කියලා . ඇත්තටම ආනන්ද මෛත්‍රීය හිමියන් ඉන්දියාවේ වැඩලා තියෙන්නෙත් ඒ වෙනුවෙන් තමයි . 

ඒ අනුව යමින් ආනන්ද මෛත්‍රීය මහා නායක හිමියන් " මය " කියන සෘෂි වරයෙකුගේ නාඩි වාක්‍ය එකතුවේ තිබුණු බුදුන් වහන්සේගේ නාඩි වාක්‍ය අනුව බුදුන් වහන්සේගේ උත්පත්තිය වෙන තැන , උත්පත්තිය සිදුවෙන කාලය නැකත සහ කේන්දරේ ග්‍රහ පිහිටීම් පවා විස්තර කරලා තියෙනවා . බුදු උපතටත් සැලකියයුතු කාලයකට කලින් මේ දේවල් ලියවිලා තියෙන්නේ කියලා තමයි පිළිගන්නේ . ඒවගේම අනාගතයේ උපදින අයගේ ජීවිතයත් මේ වගේ නාඩි වාක්‍ය වල ලියවිලා තියෙනවා කියලා කියනවා .

මේ කතාව මම අද මතක් කරේ උත්පත්තියක් වෙනුවෙන් ආරාධනා කිරීම සම්බන්ධව වැඩි යමක් මේ ගීතයේ තේරුම හරහා කියලා දෙන්න ඕන නිසා . 

ලංකාව බෞද්ධ රටක් . තවමත් ලංකාවේ බෞද්ධ සංස්කෘතිය විනාශ වෙලා නැහැ . ආරක්ෂා කරගෙන වර්ධනය කරගන්නවානම් තවමත් කාලය තියෙනවා . ඒත් කල්ලතෝනින් බහුල මේ සමාජයේ යම් යම් පාර්ශව වල නෝන්ජල් ප්‍රතිපත්ති නිසා සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව සිදුවෙන දේවල් යම් යම් ආකාරයකට විනාශ වෙලා තියෙනවා සහ උපහාසයට ලක්වෙලා තියෙනවා . අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් පැවතගෙන ආව සිරිත් විරිත් විවේචනයට ලක්වෙලා තියෙනවා . ප්‍රතිඵල ගැන නොහිතා ඒවා විවේචනය කරනවා .





ශ්‍රී මහා බෝධිය කියන්නේ ගහක් . ගහකින් යමක් ඉල්ලනවා කියන එක කාටත් විහිළුවක් තමයි . ඒවගේම තමයි දළදාව කියන්නෙත් බුදුන් වහන්සේගේ අස්ථි කොටසක් . අස්ථි කොටසකින් යමක් ඉල්ලනවා කියන්නෙත් විහිළුවක්ම තමයි . ඒත් ඒ දේවල් එක්ක ඉන්න තවත් අය ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ . 

ධාතු පරිනිර්වාණය වෙන්නේ කවදාද , ඒ දවස වෙනකල් දෙවියන් මේ දේවල් එක්ක වැඩ ඉන්නවා කියන එක බෞද්ධ සාහිත්‍යයේ පැහැදිළිවම සඳහන් වෙලා තියෙනවා . බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දෙවියන්ට දේශනා කරලා තියෙනවා ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්න කියලා . ඒවා බොරු සහ හුදෙක් මවාගත්ත දේවල් කියලා කෙනෙක් කියනවානම් එයාත් රහත් වෙච්ච කෙනෙක්වත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම .

මොකද අද බුදු දහම විනාශ වෙන්න වැඩියෙන්ම බලපාලා තියෙන්නේ යම් එක විෂයක් සම්බන්ධව වැඩියෙන් අධ්‍යනය කරාට පස්සේ මම තමයි ඇත්ත දන්නේ අනිත් දේවල් සේරම ඒ ඇත්ත හරහා විවේචනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු නිසා . අඩුම තරමේ ත්‍රිපිටකයේ කොටස් තුනවත් දන්නේ නැති අය සමහර වෙලාවට බුද්ධාගම ගැන ලොකු ලොකු කතන්දර කියනවා . බුදුන් වහන්සේ දේශනා කරා වගේම බුදු දහම තුලින්ම බුදු දහම විනාශ වීම දැන් ආරම්භ වෙලා තියෙන්නේ ඒවගේ අය නිසා . තම තම නැණ පමණින් විවේචනය කරලා අලුත් සංකල්ප ආරම්භ කරන නිසා . 

අනිත් කාරණාව තමයි මේ කිව්ව ස්ථාන වල ඈත අතීතයේ ඉඳලා ලොකු ලොකු පුද පූජා පවත්වනවා . ඒ නිසා ඒ ඒ ස්ථාන වලට දෙවි වරු වැඩි වැඩියෙන් ඇවිත් අරක් ගන්නවා . මොකද දෙවියන්ට පිං ඕන . පුද පූජා වලට වඩා දෙවියන්ට ඕන පිං . දෙවියෝ පලතුරු නෙවෙයි කන්නේ . දෙවියන්ට ඕන පිං .

ශ්‍රී මහා බෝධියට , දළදා වහන්සේට පුද පූජා පවත්වන මිනිස්සු ඒ වෙලාවේම දෙවියන්ට පිං දීලා තමයි ඒ ස්ථාන වලින් ඉවත් වෙන්නේ . ඒ නිසා දෙවියන් ඒ ඒ තැන්වලට වැඩියෙන් එක්රැස් වෙලා ඉන්නේ පිං ගන්න බලාපොරොත්තුවෙන් . 

දෙවියන්ගේ වුණත් ආයුෂ කාලය අවසාන වෙන වෙලාවල් එනවා . ඒ වෙලාවල් වලදී මනුස්ස ලෝකයේ ඉපදෙන්න පිං තියෙන සහ ඉපදෙන්න බලාපොරොත්තු වෙන දෙවි වරු , තමන්ට පිං දහම් කරගන්න පුළුවන් පවුල් වල ඉපදෙන්න බලාගෙන ඉන්නවා . ඒ වගේ වෙලාවල් වලදී ඒවගේ දෙවිවරුන් ඉන්නා ස්ථානයකදී දෙවියන්ට භාර වෙනවානම් සහ ආරාධනා කරනවානම් සහ ප්‍රාර්ථනා කරනවානම් සහ පිරිත් සජ්ඣායනා කරනවානම් තමන්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා ඒ ආරාධනය සහ ප්‍රාර්ථනාව ගැන දෙවියෝ හිතලා බලනවා . 

ඒ නිසා තමයි අනාදිමත් කාලයක ඉඳලා ලංකාවේ සිංහල බෞද්ධ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ තමන්ට දරු ඵල ප්‍රමාද වෙනකොට ශ්‍රී මහා බෝධියට හෝ දළදා වහන්සේට භාර වෙලා දරුවෙක් ලබා දෙන්න කියලා ඉල්ලන්න . මිනිස්සු දන්නේ නැති කමට ඒ දේවල් වලින් දරුවෙක් ඉල්ලුවට ඇත්තටම දරුවෙක් දෙන්නේ ඒ දේවල් වලින් නෙවෙයි . ඒ දේවල් වල ආරක්ෂාවට අරක් ගත්ත දෙවි වරුන්ගෙන් චුත වෙන්න ආසන්න දෙවි කෙනෙක් ඒ ආරාධනාව පිළිගෙන නුදුරු කාලයේ ඇතිවෙන කළලයට විඥ්ඥානයක් විදියට ඇවිත් දරුවෙක් විදියට ඉපදෙනවා . 

ඒ විශ්වාසය තහවුරු කරන්න තමයි මම මුලින්ම බුදුන්වහන්සේගේ උත්පත්තිය ගැන විස්තර කරේ . දෙවියන් ඒ ආරාධනාව කරාට පස්සේ තමයි සන්තුසිත දිව්‍යරාජයා මවුකුස පිලිසිඳින්න තියෙන අවස්ථාව ගැන බලලා ඒ වෙනුවෙන් දිව්‍ය ලෝකයෙන් චුත වුණේ . 

අද කාලේ එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි . මොකද මේ ගතවෙන කාලයේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය දුර්වලයි . ලෞකික තත්වය තමයි වර්ධනය වෙලා තියෙන්නේ . ඒ නිසා දෙවියන් වගේ පාරභෞතික ශක්තීන් මිනිස්සුන්ට ළං වෙනවා අඩුයි . ඒත් ඒ දේවල් කරගන්න පුළුවන් විදි නැත්තෙමත් නැතුව නෙවෙයි . 

ශ්‍රී මහා බෝධිය , දළදා මාළිගාව වගේ තැන් වලදී ධම්මචක්ක සූත්‍රය සජ්ඣායනා කරන්න පුළුවන් නම් , දෙවියන්ට පිං දහම් අනුමෝදන් කරන්න පුළුවන් නම් දෙවියෝ සතුටු සිත් ඇත්තන් බවට පත්වෙලා දරුඵල අහිමි අයට දරුවන් වෙලා උපදින්න බැරි කමක් නැහැ . ඒකට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ධාර්මික වීම තමයි . ධාර්මික මිනිස්සු ළඟ ඉපදුනාම පිං දහම් කරගන්න ලේසියි . ඒ නිසා දෙවියන් කැමතියි ඒ වගේ අය ළඟ ඉපදෙන්න .

ඒ නිසා ළමයි ඕන කියලා භාර වෙන අය කල්පනා කරන්න ඕන මුලින්ම තමන් ධාර්මික වෙලා ඉන්න ඕන කියලා . මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රතිපත්තිය විතරක් ඇති කියලා . ඒත් ප්‍රතිපත්තිය රැකලා ආමිසය අතෑරලා ඉන්නවානම් ඒකෙන් තමන්ට පිං දහම් කරන්න තියෙන අවස්ථාවන් මගහැරිලා තියෙනවා කියලා තමයි මට නම් කියන්න පුළුවන් . 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන කියනකොට තවත් කතාවක් මතක් වුණා . 

කළුදේවතා බණ්ඩාර දෙවියන් ගැනත් මතක් කරන්නම ඕන ගීතයට එන්න කලින් . ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්න වැඩ ඉන්න දේවතාවා විදියට තමයි කළු දේවතා බණ්ඩාර දෙවියන් හඳුන්වන්නේ . කළුදේවතා බණ්ඩාර දේව සමාගමේ දෙවි වරුන් ලංකාවේ අනෙක් බෝධීන් වහන්සේලාට අධිගෘහතව වැඩ ඉන්නවා කියලා මතයක් තියෙනවා . ඒත් කළුදේවතා බණ්ඩාර දෙවියන් නම් වැඩ ඉන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආශ්‍රිතවම තමයි .





මොකද කළුදේවතා බණ්ඩාර දෙවියන් වයස 21 ඉඳලා වයස 81 වෙනකල්ම ශ්‍රී මහා බෝධියට ආරක්ෂාව සපයලා තමයි මිය ගියාට පස්සේ කළුදේවතා බණ්ඩාර දෙවියන් බවට පත්වුනා කියලා කියන්නේ . දේවානම් පියතිස්ස රජතුමා මේ කළුබණ්ඩාරව බෝධියේ ආරක්ෂාවට පත් කරා කියලා පිළිගැනීමක් ඉස්සර ඉඳලාම තියෙනවා . මේ කළු දේවතා බණ්ඩාර දෙවියන් සතුට්‍රු කිරීමක් විදියට තමයි බෝධීන් වහන්සේට කිරි ආහාර පූජා කරනවා කියලා කරන්නේ .

දරුවන් ප්‍රාර්ථනා කරන අයට භාර වෙන්න කියලා කේන්දර පරීක්ෂා කරලා මමනම් කියන්නේ ශ්‍රී මහා බෝධියට කිරිබත් පූජා කරනවා කියලා භාර වෙන්න කියලා . ඒ කිරිබත් හදන්න ඕන යම් විදියක් තියෙනවා . ඒ විදියට කිරිබත් හදලා පූජා කරනවා කියලා භාර වෙනවානම් තමයි වඩාත් හොඳ . මොකද කිරිබත් සහ කිරිදොදොල් / හාල් කිරි / කිරියා කියන ආහාර දෙවියන් වෙනුවෙන් වෙන් වුණ ආහාර වර්ග විදියට හඳුන්වනවා . දෙවියන් ඒ ආහාරවල තියෙන ජීව ශක්තිය ලබාගන්නවා වගේම තමයි ඒ ආහාර වලට තමන්ගේ දේවානුභාවයෙන් යම් ශක්තියක් එකතු කරනවා කියලා පිළිගැනෙනවා .

ගීතයේ තේරුමට එන්න කලින්ම පොදුවේ ගීතය ගැන මෙහෙම විවේචනයක් තියෙනවා . මේ ගීතයේ කියවෙන්නේ අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රාර්ථනා කිරීමක් සම්බන්ධව . ඒත් හරිනම් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න සහ භාර වීම් වෙන්න ඕන අම්මා නෙවෙයි තාත්තා . මොකද පවුලේ නමේ ඉඳලා තාත්තාගේ දේවල් තමයි දරුවෙක් ඉදිරියට අරගෙන යන්නේ .

මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න ඕන නම් ගහක් හිටවලා පොතක් ලියලා පුතෙක් හදන්න ඕන කියලා කතාවක් තියෙනවා . නැත්නම් තමන්ගේ පෙළපත් ඉදිරියට යන්නේ නැහැ , එක පරපුරකින් නවතිනවා . මේ නිසාම ජ්‍යෝතිෂ විද්‍යාවේ සහ යම් යම් වෙදකම් වලින් පිරිමි දරුවන් උපද්දවා ගැනීම සම්බන්ධව යම් යම් ඉගැන්වීම් කෙරිලා තියෙනවා . ඒවගේම තමයි රජෙක් නම් අනිවාර්යයෙන්ම දරුවෙක් හදාගන්න ඕන රජකම භාර දෙන්න . එහෙනම් රජතුමා තමයි දරුවෙක් ලබාදෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලා හිටින්නේ සහ දෙවියන්ට ආරාධනා කරන්නේ .





ඒත් අද ඒ ක්‍රියාවලියේ යම් පරස්පර වීමක් වෙලා තියෙනවා . දරුවෙක් බලාපොරොත්තු වෙන දෙන්නෙක් නම් වැඩි වගකීම පවරන්නේ බිරිඳට . දරුවෙක් ඉපදෙන්නේ නැත්නම් නැන්දම්මාගේ ඉඳලා හත්මුතු පරම්පරාවම වපර ඇහෙන් බලන්නේ විවාහක යුවලෙන් බිරිඳගෙ පැත්ත . මොකද පිරිමියා සර්ව සම්පූර්ණ තත්වයක ඉන්නවා කියලා තමයි විශ්වාස කරන්නේ .

ඒත් ජ්‍යෝතිෂ විද්‍යාවේදී ගැහැණියකගේ ජන්මපත්‍රයේ බලවත් වීමට වඩා පිරිමියාගේ ජන්ම පත්‍රයේ බලවත් වීම තමයි වැදගත් විදියට සලකන්නේ . ඒ කතාවෙන් වැරදි අදහසක් ඇතිකරගන්න එපා ගැහැණියකගේ බලවත් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා . ඒ බලවත් වීමත් අවශ්‍ය වෙනවා . ඒත් ප්‍රධාන වෙන්නේ පිරිමියාගේ බලවත් වීම .

පිරිමියාගේ කේන්ද්‍ර සටහනක පුත්‍ර කාරක ගුරු ග්‍රහයාගේ බලවත් වීම , පස්වැන්න අධිපති , හත් වන්න අධිපති සහ එකොළොස් වන්න අධිපති වරුන් සහ ඒ ඒ ඒ අධිපති වරුන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි වැටීම් යෝග කාරක වීම් නොවීම් වගේ විශාල පරාසයක පැතිරුණු කරුණු කාරණා ගොන්නක් මේ වෙනුවෙන් අදාළ වෙනවා .

ගීතයේ කියන තවත් එක දෙයක් ගැන කියලා ගීතයට එන්නම් . අද කාලේ නැන්දම්මලාට වැඩියෙන්ම ඕන වෙන්නේ තමන්ගේ පුතාට පිරිමි ළමයෙක් උපද්දවා ගන්න . ගැහැණු දරුවන් ඉපදෙනවා නම් ඒ ලේලිට කෙලින්ම දෝෂාරෝපණ කරනවා හෝ ඊට වඩා පහත් විදියට නින්දා අපහාස වෙන විදියේ හින්ට් පාස් කරනවා . නැන්දම්මලා හිතාගෙන ඉන්නේ පුතා පිරිමි ළමයි හදන ෆැක්ටරියක් , ලේලි ගැහැණු ළමයි හදන ෆැක්ටරියක් කියලා . මේ දරුවන් ඇතිවීම අහඹු සංසිද්ධියක් කියලා එයාලා විශ්වාස කරන්නේ නැහැ . විශ්වාස කරන අයත් ඇති . ඒත් ලේලිට රිද්දන්න තමන්ගේ හිතේ තියෙන ආසාවට වගේ ලේලිට හින්ට් ගහනවා පුතාලා නෑ දුවලමයි ඉන්නේ කියලා . පුතාගේ අඩුපාඩු සහ වැරදි බලන්නේ නැහැ , ලේලිටම බණිනවා අරක නෑ මේක නෑ කියලා .

ඔය තත්ව අනුව බලනකොට මේ ගීතය ලංකාවේ ඒවගේ හණමිටි අයිඩියාස් තියෙන නැන්දම්මලා නිසා දුකට පත්වෙන ලේලිලා සංහතියම නියෝජනය කරන , ඒ ලේලිලාගේ දුක් අදෝනාව නියෝජනය කරන ගීතයක් කියලා කියන්න පුළුවන් .


අපි එහෙනම් දැන් ගීතය අහලා ඉමු .




සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

ගෑනු අපට සංසාරේ බර සැහල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි




පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ



තනුව - ගුණදාස කපුගේ



ගායනය - නිරංජලා සරෝජිනී








වෙනදා ගීතවල සංගීතය වෙනම සහ ගීතයේ අර්ථය වෙනමම ලියන නිසා අද මම කල්පනා කරා ගීතයේ අර්ථයයි සංගීතයයි එකටම ලියන්න . අපි මුලින්ම බලමු ගීතයේ තේමා වාදනය කොහොමද සංයෝජනය වෙලා තියෙන්නේ කියලා . 

ගීතයේ සැකිල්ල . ඒ කියන්නේ ගීතයේ තාලය වාදනය කරන්නේ දවුල සහ යක් බෙරය කියන බෙර දෙකම මිශ්‍ර කරගෙන වගේ කියලා තමයි ඇහෙන්නේ . මොකද සමහර හඬ කොටස් තියෙනවා ඔය බෙර දෙකෙන් එකකින් විතරක් උත්පාදනය කරන්න බැරි . ඒ නිසා ඒ ඒ පද කොටස් බෙදාගෙන මේ තාල වාදනය කෙරෙනවා කියලා අපිට සාධාරණව නිගමනය කරන්න පුළුවන් . ගීතයේ වාදනය වෙන තාලය 

දොන්ත තකට තත් තරිකිට 
ගෙම්බො පැනපි මල් බලියට

කියන කවිය වගේ තාලයකට තමයි වාදනය කෙරෙන්නේ . මේ ගීතයේ පොදු මුහුණවර ඇතිවෙලා තියෙන්නේ ගැමි සංගීතය මුල් කරගෙන . මේ ගායනා තාලය ගොඩක් වෙලාවට උඩැක්කි වාදනය කරමින් කරන සිරස පාද ශාන්තිකර්ම ගීත වගේ ගායනා වලදී දකින්න පුළුවන් . 

සිදුහත් කුමාරයා මවුකුසින් බිහිවෙලා ඇවිදපු හත් අඩියට පිපුණු නෙලුම් මල් හත මුල් කරගෙන කොඩිවින කැපීමේ මහා ශාන්තිකර්මයක් තියෙනවා හත් අඩියේ දෙහි කැපීම කියලා . ඒ හත් අඩියේ දෙහි කැපීමේ ශාන්ති කර්මයේ කවි කීපයක් මම මෙතන සටහන් කරනවා . බලන්න ඒ ෆෝමැට් එකම නේද මේ ගීතයේ තාලයේ සහ වචනවලත් තියෙන්නේ කියලා . 





ගෙනියති රුදු නපුරු බමුණු බැඳගෙන කුමරුන් වද කර
පවසති මුසු දුක් විලාප නාසා බමුණා යන වර 
තොසකර සක් දෙව් දැකලා ඇවිදින් කුමරුට සෙත කර 
වින පිරිපත දුරුව යන්න ඇන්දෙමි පස් අඩියට ඉර

ගෙනියති කුමරුන් බැඳ ගෙන සද මහ රජ දැක එම වර
හමුවිය මසුරන් බමුණට කිරලා බැලු කුමරිගෙ බර
බමුණට ඇති කියනා තුරු මසුරන් ගෙන දුනි ගොඩ කර
සැම වින දොස දුරුව යන්න ඇන්දෙමි සය අඩියට ඉර

පෙරුම් පුරා අප බෝසත් බුදුව මෙලෙස සිවු වෙනි වර
සුරන් නරන් බඹුන් සැමට දහම් දෙසූවයි එම වර
වරන් රැගෙන මම මුනිඳුගෙ බලයෙන් අද දොස දුරු කර
වරෙන් සියළු වින ඉගිලී ඇන්දෙමි සත් අඩියට ඉර 

ඒ අතරේම හයිහැට් එකකින් පොඩි ටිස් ටිස් එකක් වාදනය කරලා ප්‍රධාන තාල වාදනයට උදවු කරනවා . බේස් ගිටාර් වාදනයක් ගීතයේ ඇතුලෙන් අපිට දැනෙන්නේ නැතිවෙන්න වාදනය වෙනවා . ඒකත් තාලය වාදනය වෙනුවෙන් ගීතය තුල ලොකු සේවයක් කරනවා . ගිටාර් වාදනයෙන් තාලයට යම් දායකත්වයක් තියෙනවා . ඒත් රිදම් ගිටාර් සහ බොක්ස් ගිටාර් වාදනයන්ගෙන් ගීතයේ ස්වර සංගත ( කෝඩ්ස් ) වාදනය කිරීම තමයි වැඩි වශයෙන්ම කරන්නේ . 

ගීතයේ තේමා වාදනය ආරම්භයේම වාදනය වෙන්නේ සිතාර් සහ බැන්ජෝ ගිටාර් මිශ්‍ර වාදනයක් . ඒ වාදනය ගීතයේ ඇති කරන්නේ භක්ති රසය සහ වන්දනාවකට පිළිවෙතින් පෙළගැසීම වගේ පසුබිමක් . මොකද මේ ගීතයේ අදහස සම්පූර්ණයෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ කෙරෙහි භක්තියෙන් කරන ඉල්ලීමක් වටා ගොඩනැගිලා තියෙන නිසා .

ඒ භක්තිය ඇතුලේ හිත යටින් ඇතිවෙන දුකකුත් තියෙනවා . ඒ දුක පෙන්නුම් කරන්න මේ සිතාර් බැන්ජෝ වාදනය අතරේ ඒ ඇතුලෙන් වයලීන් වාදනයක් සිදුකෙරෙනවා . ඒ ස්වර රටා රචනා වෙලා තියෙන්නේ සංගීත ස්වර එකතු කරන " හාමනී " කියන න්‍යායන් අනුව සහ කවුන්ටර් පාට් එකක් විදියට . ඒ නිසා මේ ගීතයේ තියෙන භක්ති රසය සහ ශෝකය ඉස්මතු කරන්න තේමා වාදනය විශාල වශයෙන් දායක වෙනවා ; වචන වල තේරුම ශ්‍රාවකයාගේ හිතට යන්න මූලික පසුබිමත් ඇතිකරනවා . 





එස්රාජය ගැන වෙනමම කියන්න ඕන . තේමා වාදනයේ අවසාන භාගය ආරම්භ වෙන්නේ එස්රාජ් වාදනයකින් . එස්රාජය කියන්නේ සම්පූර්ණයෙන්ම වගේ ශෝක රසය මිශ්‍ර හඬක් නිකුත් කරන වාද්‍ය භාණ්ඩයක් . ඒ නිසා මේ ගීතයේ ශෝක රසය ඉස්මතු කිරීම සම්පූර්ණයෙන්ම වගේ වයලීන් සහ එස්රාජ් කියන වාද්‍ය භාණ්ඩ දෙකට අයිතිවෙලා තියෙනවා . 

අවසානයේ නැවතත් සිතාරය සහ බැන්ජෝ ගිටාර් වාදනයකින් ගන්න විරාමයෙන් ගීතය ගායනා කිරීම ආරම්භ වෙනවා . 






සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පුජාවට අලුත් සහල් පුදලා
සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ගොවිතැන් කරන පවුලක් . සම්පූර්ණ ජීවිකාවම ගොවිතැනට බර කරලා ඉන්න පවුලක් . මේ ඒ පවුලේ බිරිඳ . එයාට හිතේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි තමන්ට පිරිමි දරුවෙක් නැති වීම . සමහර විට ගැහැණු දරුවන් ඇති . මේ ගීතය රත්නශ්‍රී මහත්මයා රචනා කරන්නේ පුතෙක් නැති කෙනෙක්ගෙ හදවත අරමුණු කරගෙනම නිසා අපිට මේ පවුලේ දරුවන් නැහැමයි කියලා කියන්න බැහැ . දරුවන් ඉන්නා පවුලක් , ඒත් පිරිමි ළමයි නැති තත්වයක් තමයි කියවෙන්නේ .

දැන් ගොවිතැන් කරන පවුලක් නිසා තාත්තා දිරාපත් වෙනකොට උදැල්ල ගන්නත් කෙනෙක් ඉන්න ඕන . ඒ නිසා පුතෙක් නැති අඩුව මේ ගෙදරට දැන් දැනෙනවාට වඩා පස්සේ කාලෙක දැනෙන්න පුළුවන් . ඒ අනාගත දැක්ම නිසා මේ ගෙවිලිය යනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාර වෙන්න . ඒ තමන්ට පිරිමි දරුවෙක් ලබා දෙන්න කියන සුපහන් චේතනාවෙන් . 

හදවතින්ම බුදු දහම අදහන පවුලක් නිසා මේ ගෙවිලිය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කියන්නේ නැහැ මට පිරිමි දරුවෙක් නැති නිසා නැන්දම්මා හරස් පද කියනවා , මට මිනිහා සලකන්නේ නැහැ , පවුලේ උදැල්ල අතට ගන්න කෙනෙක් නැහැ , ඒවා මොකවත් කියන්නේ නැහැ . ඒ හැමෝටම මෛත්‍රී කරගෙන මේ ගෙවිලිය කියන්නේ පිරිමි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ වෙන වෙන අරමුණු නිසා කියලා . 

මේ අරමුණු වලින් පළවෙනියටම ඇය මතක් කරන්නේ බෞද්ධන්ගේ අතිමහත් ගෞරවාදරයට ලක්වෙන ශ්‍රී පාදස්ථානය වන්දනා කවරන්න හිස ඔලියල් බැඳලා එක්ක යන්න තමන්ට පිරිමි දරුවෙක් නැහැ කියලා . කෝඩු කාරයින්ගේ හිසේ පළවෙනි සිරීපාද ගමනේදී සුදු රෙද්දක් බඳින සිරිතක් ඉස්සර තිබිලා තියෙනවා . දැන් නම් ඉතින් සිරීපාදේ යන්නේ රෙදිත් නැතුව සමහර ළමයි . ඒත් ඒ කාලේ එහෙම හොඳ සිරිතක් තිබිලා තියෙනවා . ඉතින් මේ ගෙවිලිය ඉස්සෙල්ලාම මතක් කරන්නේ ඒක . 

ඊට පස්සේ භාර වීම මතක් කරනවා . මම කිව්වනේ ඉස්සෙල්ලම මේ පවුල ගොවි පවුලක් කියලා . ඒ නිසා මෙයාලට තියෙන වටිනාම දේ තමයි ගොවිතැනේ අග්‍ර ඵලය . ඒ අග්‍ර ඵලයේ මුල් කොටස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ කිරි ආහාර පූජාවට පූජා කරලා ඇය කියනවා 

සිරීමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා කියලා .

ගීතයේ මේ ස්ථායි කොටස ඇතුලේ සංගීතය , සියුම් විදියට ගලාගෙන යන්න සංගීත රචකයා විසින් නිර්මාණය කරලා තියෙනවා . නුවරකලාවියේ සංගීත රසය හරිහැටි අවබෝධ කරගත් කෙනෙක් විසින්ම මේ ගීතයට සංගීතය නිර්මාණය කිරීම එක අතකට මේ ගීතයට ලැබුණු ආශිර්වාදයක් විදියට සලකන්නත් පුළුවන් .


සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා

මේ පද දෙක ගායනා වෙනකොට වයලීන් එකකින් ඒ ඒ තැන්වලට අදාළවෙන ස්වර දෙක දෙක වාදනය කිරීමක් කරනවා . වයලීන් එකේ ස්වර කට් කරනවා කියලා කියන්නේ . ඒ කට් කිරීම් විදියට තමයි මේ වාදනය කෙරෙන්නේ . 

පිරිමි පුතෙක් නැතුවා කියලා ඉවර වෙනකොට එස්රාජ් එකෙන් වාදනය කරනවා ශෝකය ඇතිකරවන වාදන කොටසක් . ඒ වාදනය ගායනේ ශෝකය ඉහළට ඉස්මතු කරනවා වගේම තමයි ගීතයේ වචන වලින් නොකියන අසරණ කම පෙන්නුම් කරනවා . 

ආයෙත් තේමා වාදනයම ගීතයේ අතුරු වාදනය විදියට වාදනය වෙනවා . 

ඊට පස්සේ ස්ථායි කොටස .





ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

ගෑනු අපට සංසාරේ බර සැහල්ලු වෙන්න්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

මේ කොටස් දෙකේම කියවෙන්නේ පිරිමි දරුවෙක් තමන්ට ඕන ඇයි කියන කාරණාවල් . තමන්ට පිරිමි දරුවෙකුගේ අඩුව දැනෙන්නේ මොන මොන වෙලාවල් වලදීද කියලා මේ ගෙවිලිය මේ පද පේලි කීපයේදී කියනවා . 


ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි .

ගොඩක් වෙලාවට ගැමි සංස්කෘතියේ විවාහ වලදී ඒ කාලයේ සිදුවුණ හැටියට ස්වාමියා බිරිඳට වඩා තරමක් වැඩියෙන් වියපත් වෙනවා . ඒවාට හේතු වලින් එකක් තමයි පොළවත් එක්ක නිතරම හැප්පීම . තවත් කාරණාවක් තමයි වයසින් පිරිමියා තරමක් ගැහැණියට වාඩා ඉදිරියෙන් සිටීම . මේ නිසා ජීවිතේ යම් යම් කරදර වලදී ගෙදර අම්මාට පුතෙකුගේ සවිය අවශ්‍ය වෙන වෙලාවල් එනවා . මතක අතිනේ ඔයාලාට චරිත තුනක් කතාවේ ඉසා සහ අම්මා අතර ඇතිවෙන ගණුදෙනුව . තාත්තා නැති කාලේ ඒ දෙන්නා ජීවත් වුණ විදිය .

තනියම ගමනක් බිමනක් යන්න ඕන වුණාම ස්වාමියාට තමන් එක්ක එන්න බැරිවෙන වෙලාවල් වලදී පිරිමි දරුවෙකුගේ අවශ්‍යතාවය ඇතිවෙනවා . මොකද ගොවිතැන් කරන පවුලක් නිසා කුඹුරු ආරක්ෂා කරන්න වපුරපු දවසේ ඉඳලා කුඹුරේ ඉන්න වෙනවා ස්වාමියාට . ඒ නිසා ගෙවිලියට පිරිමි දරුවෙක් අවශ්‍ය වෙනවා . 

අනිත් කාරණාව තමයි ඒ කාලේ තිබ්බ මතවල හැටියට පිරිමි දරුවෙක් තමයි ගෙදරට එළියක් අරගෙන එන්නේ . ඒ නිසා ගෙදර පෞර්ෂය පෙන්නුම් කරන්නේ පිරිමි දරුවන්ගෙන් . බෞද්ධ උරුමය හිමි හිත් වලට රුවන්වැලි සෑයේ කොත තරම් ඉහළින් පේන දෙයක් , බැබළෙන දෙයක් තිබුණේ නැහැ . මේ ගෙවිලිය ප්‍රාර්ථනා කරන්නෙත් ඒවගේ බබළන උසස් තලයකට යන්න පුළුවන් කමක් තියෙන පුතෙක් ලැබෙන්න කියලා . 

දෙවෙනි අන්තරා කොටසේදී බුදුබව ප්‍රාර්ථනා කිරීම ඇඟට නොදැනෙන්න ගීතයේ කියලා තියෙනවා . 

ගෑණු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි .





බුදුවෙන්න නම් පිරිමියෙක් වෙලා ඉපදෙන්න ඕන . ඒ කාරණාව මෙතන යම් යටි අදහසක් ලබාදෙනවා පුතෙක් බලාපොරොත්තු වීම තුලින් . මහමායා දේවිය නිවන් දැක්කේ පුතා බුදු වුණ නිසා කියන කතාව මේ ගෙවිලියගේ හිතේ තියෙනවා වෙන්න පුළුවන් . ඒවගේම තමයි ගෙදර බුදුන් අම්මා කියන කතාව අනුව අම්මා කෙනෙක් වෙනවානම් අනාගතයේ තමන්ට නිවන් දකින්න විවරණ ලැබෙනවා කියලත් මේ ගෙවිලිය විශ්වාස කරනවා වෙන්න පුළුවන් . ඒ නිසා ඇය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ භාර වෙන්නේ සසර බර හෑල්ලු කරගන්න විවරණ ලබාගන්න ඕන නිසා පිරිමි පුතෙක් ලබා දෙන්න කියන අදහසින්. 

අවසානයේ ඇය පුතාගෙන් ගෙදරට වෙන අතිමහත් සේවය එක පද පේලියකින් විස්තර කරනවා . ඒ වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි කියන පද පේලියෙන් . කුඹුරේ වී කන්න එන කුරුල්ලෝ අවස්ථා කීපයකදීම එලවන්න වෙනවා . වී වපුරපු දවස්වල එලවන්න ඕන . නැත්නම් පැළවෙන්න වී ඉතුරු වෙන්නේ නැහැ . ඊට පස්සේ ගොයම් පැහුනම එලවන්න ඕන . ඊටත් පස්සේ ගොයම් කැපුවම බිස්සට වී ටික දාගන්නකල් කන්න එන කුරුල්ලෝ එලවන්න ඕන . නැත්නම් තමන්ට ආහාරයට ගන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ . 

ඒත් කුරුල්ලන්ට කන්න දෙන්නේ නැතුව එලවනවා කියන දේ ගෙවිලිය කියන්නේ නැහැ . ඇය අදහස් කරන්නේ කුරුල්ලන් පෙරහැර කරවනවා කියලා . ඒ කියන්නේ කුරුල්ලන්ට හානියක් නොකර ගෞරවාන්විතව කුරුල්ලන් එලවනවා කියලා . කන්න නොදී එලවීමෙන් පවක් වෙනවා කියලා ඇයගේ හිතේ බයක් තියෙනවා . ඒත් තමන් ජීවත් වෙන්න නම් ඒ දේ කරන්න වෙනවා . ඒ නිසා ඒ වෙනුවෙන් තමන්ට පිරිමි පුතෙක් ලැබෙන්න කියලා ඇය ප්‍රාර්ථනා කරනවා . 

ගීතයේ අන්තරා කොටස්වල පළවෙනි පද කියවුණාට පස්සේ දෙවෙනි පදයට එන සුළු විරාමයේදී එස්රාජ් වාද්‍ය භාණ්ඩයෙන් ගීතයේ සංවේදී බවේ වගකීම තමා සතු කරගන්නවා . ඊට පස්සේ ගීතයේ තනුවම කවුන්ටර් පාට් එකක් විදියට එස්රාජ් එකෙන් වාදනය කරනවා . 

ගීතය ඒ විදියට අවසාන වෙනවා . 

ගීතය රචනා කරලා තියෙන්නේ රත්න ශ්‍රී මහත්මයා . ලංකාවේ සංස්කෘතිය සහ ගැමි හිත්වල තියෙන සංකල්පනා ගැන එතුමාට තියෙන අත්දැකීම් මේ ගීතය රචනා කරන්න අනිවාර්යයෙන්ම හේතු වෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් . භාෂාව සරළයි . ඒත් අදහස ගැඹුරුයි . 

ඒවගේම මේ ගීතයට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ නුවරකලාවියෙන් පෝෂණය වෙච්ච ගුණදාස කපුගේ මහත්මයා . එතුමාගේ සංගීත භාවිතයන්ගෙන් වෙනස්ම ආකාරයකට හදිච්ච් ගීතයක් කියලා මේ ගීතය හඳුන්වන්න පුළුවන් . 

ගීතය ගායනා කරන්නේ නෙරංජලා සරෝජිනී මහත්මිය . ඇයගේ හඬ මේ ගීතයේ තියෙන දුකත් නැති සතුටත් නැති භක්තිරසය ඉස්මතු කරවන හැගීම් දන්වන්න ඇයගේ කටහඬ වඩාත් දායක වෙනවා . ඒ අනුව බලනකොට මේ කරුණු ත්‍රිත්වයම , ඒ කියන්නේ රචනය සංගීතය සහ ගායනය කියන කරුණු ත්‍රිත්වයම මේ ගීතයේ සාර්ථක ස්ථානවල තියෙනවා කියලා අපිට අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් . 


ඔබ භක්තිමත් බෞද්ධයෙක් නම් ,

දරුවන් ප්‍රාර්ථනා කරනවානම් ,

ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරයක් වෙන්න . හාල් කිලෝ එකක කිරිබත් , නැවුම් වලඳක , හකුරු මුලක් එක්ක පූජා කරනවා කියලා .

දම්සක් පැතුම් සූත්‍රය සජ්ඣායනා කරලා දෙවියන්ට පිං දීලා දෙවුලොවින් නික්ම යන්න සූදානමින් ඉන්න ප්‍රභාශ්වර වූ දෙවියෙක්ට තමන්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා ආරාධනා කරන්න .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment