හස්ති රාජ වංශය ( පොතක් ගැන පොඩි කතාවක් )






හස්තිනාපුරයෙන් අලි ගැන කතා කරන්නේ නැත්නම් අලි ඇවිත් හස්තිනාපුරය ගැන කතා කරන්නද ඉතින් ? . ඒ නිසා අලි ගැන කතාවක් ලියවිලා තියෙන පොතක් ගැන කතා කරන්න කියලා තමයි මේ ලිපියෙන් සූදානම් වෙන්නේ . මේ දවස්වල ෆේස්බුක් එකේ ඉඳහිට ෆොටෝ ශෙයා වෙනවා දකින්න ලැබෙන්න ඇති ඔයාලටත් මෙන්න මේ පොත ගැන .






තාරක උමයංග දිල්ෂාන් ; අලි ගැන අලි කැක්කුමක් තියෙන මහත්මයෙක් . මේ එතුමාගේ කුළුඳුල් ග්‍රන්ථය . අදවෙනකොට පොදුවේ ශ්‍රී ලාංකීය අලි ඇතුන්ගේ ජීවිත වලට එල්ලවී පවතින තර්ජනය වගේම තමයි හීලෑ අලි ඇතුන්ගේ පැවැත්මටත් එල්ලවෙලා තියෙන තර්ජනය . 

ඒවගේ අවාසනාවන්ත කාලයක අලි ඇතුන් ගැන කතා කරන්න මේවගේ පොතක් එළිදක්වන්න කටයුතු කරපු එක සම්බන්ධව අලි ඇතුන්ට ආදරය කරන අපි හැමෝම තාරක උමයංග මහත්මයාට ස්තූති පූර්වක පුණ්‍යානුමෝදනා කරන්න ඕන . වැඩි විස්තර සටහන් කරන්නේ නැහැ . එතුමාගේ අවසරය ඇතුව මම මේ පොතේ හැඳින්වීම විදියට සටහන් කරලා තියෙන ලිපියෙන් යම් කොටසක් මෙතන උපුටා දක්වනවා . 

ඔයාලත් අලි ඇතුන්ට ආදරය කරනවානම් මේ පොත මිලදී ගන්න . දැනට සජීවී වුණත් මේ අලි ඇතුන්ගේ වයසට අපි පත් වෙනකොට මේ අලි ඇතුන්ගෙන් වැඩි දෙනෙක් අපේ මතකයක් විතරක් වෙලා තියේවි . ඒ මතකය සුළු මොහොතකට හරි ආවර්ජනය කරන්න පස්සේ කාලෙක මේ පොත උදව්වක් වේවි . සුප්‍රසිද්ධ මිල්ලන්ගොඩ ලොකු ඇතා සහ හුණුපිටියේ ගංගාරාමයේ හිටපු නවම් රාජා හෙයියන්තුඩුවේ රාජා වගේ කීර්තිමත් ඇත්තු දැන් නැහැ වගේම තමයි අනාගතයේ දී අද ඉන්න අත්තුත් මේ පොළවට පස් වෙන දවසක් එයි . ඒ වෙනකොට අපි ඒ අඩුව පුරවන්න සූදානම් වෙන්න ඕන වගේම තමයි පැරැන්නන් ව කෘතඥ පූර්වකව සිහිපත් කරන්නත් ඕන . මේ පොතේ අලි ඇත්තු හීලෑ කිරීම , ඔවුන් පුහුණු කිරීම වෙදකම් කිරීම ආදිය සම්බන්ධ ප්‍රාමාණික කරුණු කාරණා සාකච්ඡා කරලා තියෙනවා . 




හැඳින්වීම


අලියා යනු ඈත අතීතයේ සිටම මිනිසා හා මිනිස් සමාජය සමග ගනුදෙනු කල මුල්ම සතුන්ගෙන් කෙනෙකි . අලි මිනිස් සබඳතා සඳහාද සැලකියයුතු ඉතිහාසයක් පවත්නා බව පුරාවිද්‍යා සාධක අනුව පැහැදිළි වේ . ලොව පැරණිම ශිෂ්ටාචාරයක් වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාර කැණීම් භූමි වලදී හමු වූ කුඩා මුද්‍රාවල හස්ති සලකුණ දක්නට ලැබීම තුලින් එම ශිෂ්ටාචාරයේ වැසියන් අලි ඇතුන් පිළිබඳව දැනසිටි බව සනාථ වේ . ශ්‍රී ලංකාවේද ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර වශයෙන් හඳුනාගෙන ඇති ගල් ගුහා සිතුවම් අතරද අලියෙකුගේ හැඩය ගත් රූප සටහන් දක්නට හැකිවේ . 

පුරා විද්‍යාත්මක මූලාශ්‍ර හැරුණුකොටජනප්‍රවාදගත මූලාශ්‍ර ඓතිහාසික මූලාශ්‍ර ද පැරණි මානව හස්ති සබඳතාවය පිළිබඳව සාක්ෂි සපයනු ලබයි . කෙසේ වෙතත් අලි ඇතුන් යනු මිනිසාට ඉබේ හීලෑ වුණු සත්ත්ව කොට්ටාසයක් නොවේ . අතීතයේ යම් දිනෙක මිනිසා හස්තියාගේ ශක්තිය අවශ්‍යතාවය හා ප්‍රයෝජනවත් භාවය වටහා ගන්නට ඇති අතර අනතුරුව ස්වකීය බුද්ධි මහිමය යොදා ගනිමින් මෙම තිරිසන් සත්වයා තමන් නතු කර ගැනීමටත් මිනිසා සහ හස්තියා අතර සංස්කෘතික සබඳතාවන් නිර්මාණය කර ගැනීමටත් කටයුතු කරන්නට ඇත . 

හෙළ රජ දවස පටන්ම ශ්‍රී ලංකාව තුල හීලෑ අලි ඇතුන් සමාජයේ වැදගත් අංගයක් විය . මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල හීලෑ අලි ඇතුන් කේන්ද්‍ර කර ගනිමින් උප සංස්කෘතියක් නිර්මාණය විය . අලි ඇතුන් ඇල්ලීම, හීලෑ කිරීමේ සිට ඔවුන්ගේ මරණය දක්වාම එක එක කාර්යය සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් නිර්මාණය කෙරිණි . අතීතයේ අලි ඇතුන් හීලෑ කර ගෘහාශ්‍රිතව ඇති කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ මිනිසාගේ විවිධ කටයුතු අලි ඇතුන් ලවා සිදු කරවා ගැනීමයි . ඒ අතරම රදළ වංශිකයින් සිය කීර්ති නාමය හා ගෞරවණීය භාවය විදහා දැක්වීමේ අරමුණින් ද අලි ඇතුන් අතිකළහ . 

ඉතිහාසයේ සෑම රාජ්‍ය පාලකයෙකුම හීලෑ අලි ඇති සංචිතයන් පවත්වාගෙන යෑමට ද කටයුතු කළහ . කෙසේ නමුත් මෙරට ඉතිහාසයේ රාජකීය පාලන සමයේ සිට විදෙස් යටත් විජිතයක්ව පවතී සමය දක්වා ඉතා ඉහළ හීලෑ අලි ගහණයක් මෙරට පැවති අතර පසුව මෙරට හීලෑ අලි ඇත් ගහණය පහත වැටී ඇති අන්දම පසුකාලීනව මෙරට සිදුකළ හීලෑ අලි සංගණන වාර්තා වලින් හෙළිවේ . 
.
.
.
.
.
1977 පසු මෙරට හීලෑ කිරීමට වන අලි ඇල්ලීම සිදු නොවුණු නිසා මෙය සීග්‍රයෙන් පහත වැටීමට හේතු විය . මෙරට හීලෑ අලි ඇතුන් වර්තමානයේ බොහෝවිට යොදාගනුයේ සංස්කෘතික කටයුතු සඳහා පමණකි . මෙරට අනාදිමත් කාලයක සිට මෙරට හීලෑ අලියා හා බැඳී සංස්කෘතික වටිනාකම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල ප්‍රශස්තව හීලෑ අලි සංචිතයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පවතී. එමෙන්ම ශ්‍රී ලංකාව තුල පවතින වන අලි මිනිස් ගැටුම තුලින් අලි මෙන්ම මිනිසුන්ද විශාල ලෙස පීඩාවට පත් වුවද සිරිලක මානව හස්ති සබැඳියාවේ නිමාවක් හෝ කිසිඳු අඩුවක් සිදු නොවේ . 








මේ පොත අද වෙනකොට සරසවි පොත්හලෙන් සහ ඇම් ඩී ගුණසේන සමාගමේ පොත් හලෙන් මිලදී ගන්න අවස්ථාව සලසලා තියෙනවා . ඔයාලත් මේ පොත මිලදී ගන්න කියලා නැවතත් මතක් කරමින් මේ සිහිපත් කිරීම අවසන් කරනවා . 

තාරක උමයංග දිල්ශාන් මහත්මයා ඇතුළු ඔබ සැමටම 

සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment