නොපිට ගිය සොහොන් කාලි පූජාව ( 3 )









මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19 වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින් 

 මම බැලුවා ඒත් කොහොමද මෙච්චර ඉක්මනට ගම්පහට මේ සතා ගියේ කියලා "

" පුතේ අර පහන් පැළ ළඟ තියලා තිබුණු පුහුල් ගෙඩිය පරිස්සම් ඇතුව තියෙනවා නේද ? . නයා ආයෙත් ආවට පස්සේ නයාව නිදහස් කරන්න ඒ පුහුල් ගෙඩිය ඕන වෙනවා "

පුහුල් ගෙඩිය පිලිබඳ සිහියට ආවේ සීයා ඒ පිළිබඳව සිහිපත් කරන විටය . මම වහා දිවගොස් පහන් පැළ අසල පරීක්ෂා කර බැලුවෙමි . සුදු රෙද්දෙන් ඔතා මා තැබූ ආකාරයටම එය එම ස්ථානයේ තිබිණි . සීයා සහ සියාතු සීයා සිටින තැනට නොගොස් මම කෙලින්ම ගියේ මගේ කාමරයටය . රාත්‍රියේ නින්ද අඩු වූ නිසාදෝ තරමක නිදිමත බවක් වූ හෙයින් මම නැවත ඇඳේ හාන්සි වීමි . එසැනින් මට නින්ද ගියේය .

අද එතැන් සිට


කාමරයේ දොර වැසීමට අමතක වූයේ මගේ වාසනාවටය . සීයා කාමරයට පැමිණ අතින් අල්ලා මා ඇහරවීය . කාමරයේ දොර වසා තිබුණි නම් බෙර දවුල් ගසා වත් මේ නිදිමතට මා ඇහැරවීමට නොහැක .

"පුතේ දැන් ඉරමුදුන් සමයමට ළඟයි . වෙලාව හරියාගෙන එන්නේ . නැගිටින්න "

" මට හරි නිදිමතයි සීයේ "

කියමින් මා නැගිට්ටෙමි . සීයා සියල්ල සූදානම් කර තිබිණි . මල් බුලත් තටුවක් , දුම් කබලක් කට්ටකුමන්ජල් පිරවූ වළඳක් සියල්ල සූදානම්ය . අන්ජම ඇරීමට ප්‍රථමව මා නැවත ලිඳ අසලට කඩිමුඩියේ දිවගොස් මුහුණ කට සෝදා පිරිසිදු වී පැමිණියෙමි . අංජනම ඉදිරියේ මා හිඳගත්තේ වේලාව පවා නොබලාය .






" තව ටික වෙලාවක් ඉඳලම අංජනම අරිමු . දැන් පුතේ මෙතන ඉඳලා ඇබිත්ත කොලුවා එක්කගෙන මේ සතා එනකල් මන්තර මතුර මතුර කට්ටකුමන්ජල් දුම් අල්ලන්න වෙනවා . අංජනම අරින්න කලියෙන් මම මේ ඒ ගැන කිව්වේ සූදානම් වෙන්න ඕන නිසා . අනිත් කාරනාව තමයි මම ගමේ ඉන්න ඇඟපත හයිය දෙතුන් දෙනෙක්ට එන්න කිව්වා ඇබිත්ත කොලුවා ආවම අල්ලලා ගැටගහගන්න ඕන නිසා . කොයි ආකාරයකට මේ කොලුවා එයිද කියලා තමයි සැක . බලමු එන්නේ දිෂ්ටියෙන් නිසා දිෂ්ටිය කොහොමහරි නවත්තගන්න බලන්න ඕන . පුතාටත් මන්තර මතුරන්න එන්න වෙනවා , මොකද සියාතු මේකට ගාවගන්න බැහැ සියාතු මෙතන ආතුරයා නිසා "

සීයා කට්ටකුමන්ජල් අහුරක් රැගෙන අංජනම් එලිය ඇරීමට මන්තර මතුරමින් අන්ජනමට දුම් ඇල්ලීය . මදවේලාවක් ගතවනවිට අංජනම පැහැදිලි වී හනුමා දෘශ්‍යමාන විය .

" සීයේ හනුමා පෙන්නනවා ඇබිත්ත කොලුවව . කඩුවක් අතේ තියන් ඉන්නේ . උඩු රැවුල වවපු කෙනෙක් . සරමක් විතරයි ඇඳගෙන ඉන්නේ . මූණේ නහය කිට්ටුව දකුණු පැත්තේ කළුපාට කැළලක් තියෙනවා "

" ඔව් ඔව් . ඒ ඇබිත්ත කොල්ලා තමයි " සියාතු සීයා උනන්දුවෙන් පැවසීය .

" දැන් නයා කොහෙද ඉන්නේ කියලා බලන්න කියන්න පුතේ "

" නයා ඇබිත්ත කොලුවා ඉන්න වත්ත මායිමේ නැවතිලා ඉන්නවා සීයේ "

" එහෙනම් හනුමට කියන්න නයාව එතනට යවන්න කියලා "

" ඔන්න දැන් නයා ටික ටික ඇබිත්ත කොලුවට කිට්ටු උනා සීයේ . දැන් මොකද කරන්න ඕන ? "

" ඔය සතා දැන් විෂ නැහැ . දිෂ්ටිය නිසා විෂ නැතිවෙලා තියෙන්නේ . සතා ලවා ඒ කොලුවව දෂ්ට කරවන්න කියන්න . එතකොට අපේ දිෂ්ටිය ඒ කොලුවට වැහිලා මෙහෙට ගෙන්න ගන්න වැඩකටයුතු සිද්ද කරගන්න පුළුවන් "







සීයා කියන දේවල් අසා සිටි හනුමා මද වෙලාවක් නයා දෙස බලා සිටියේය . නයා විදුලි වේගයෙන් ඇබිත්ත කොලුවා අසලට කිට්ටු වී ඔහුගේ වම් පාදයේ වළලුකර දෂ්ට කරනු අංජනමෙන් මම දුටුවෙමි . වහා ඒ බව සීයාට දැන්වූයෙමි .

" හා එහෙනම් එච්චරයි වෙන්න ඕන . දැන් හනුමට කියන්න දෙන්නව ආරක්ෂා කරලා මෙහාට එවන්න කියලා "
ඒ හඬ ඇසෙත්ම හනුමා වරක් හැරී බලා නොපෙනී ගියේය .

" සීයේ හනුමා ගියා "

" එහෙනම් අංජනම වහන්න . දැන් ඉතින් ලැස්ති වෙන්න වෙයි මේ දෙන්නා එන වෙලාවට ඒ දෙන්නා එක්ක ඔට්ටු වෙන්න . හාමිනේ........... "

සීයා , ආච්චි අම්මා කැඳවා ඇබිත්ත කොලුවා අල්ලාගැනීමට පැමිණි ගමේ කීපදෙනාට කෑම බීම පිළියෙළ කරදී සංග්‍රහ කරන ලෙස දැන්වීය . ගබඩා කාමරයේ ඇති දම්වැල් කීපයක් ඔවුන්ට ලබාදෙන ලෙසද පැවසීය . කාලයකට පෙර වලව්වේ සිටි ඇතුන් ගැටගැසීමට එම දම්වැල් පාවිච්චි කල බව තාත්තා මා සමග දිනක් පැවසීය . අද ඒවා භාවිතා වන්නේ පරල වූ මිනිසෙකු මෙල්ල කිරීමටය . කාලය සියල්ල වෙනස් කර ඇත .

" පුතේ අංජනම පෙට්ටගමට දාලා වහලා එන්න . දැන් දෙන්නා එනකල් මතුරන්න තමයි තියෙන්නේ දිගටම "
මම අංජනම හකුලා පෙට්ටගමට දමා පෙට්ටගමේ පියන වසා කාමරයේ දොරද වසා නැවත පැමිණියෙමි . මල් බුලත් තටුව මිදුලට ඔසවාගෙන යන ලෙස සීයා සියාතු සීයාට කීවේය . සියාතු සීයා මල් බුලත් තටුව මිදුලට රැගෙන යන අතරවාරයේ සීයා සහ මා එක්ව තරමක් මිටි පුටු දෙකක් රැගෙන ගියේය . ඒ සීයාට සහ මට හිඳ ගැනීමටය . මල් බුලත් තටුව මිදුලේ තබා සීයා කල්පනා කරන්නට විය .

" නැහැ මෙතන මේ වැඩේ කරන්න බැහැ . හදිස්සියේ වැස්සක් වැස්සොත් අපිට කරදරයි . මේවත් අරන් යමු කරත්ත මඩුවට . කරත්තේ පැත්තකට කරලා එතන සූදානම් කරගමු "

මල් බුලත් තටුවද පුටු දෙකද රැගෙන අප නැවත කරත්තය නවතා තබන මඩුව වෙත ගියේය . මල් බුලත් තටුව එහි තබා පුටු දෙකද ඒ ඉදිරියේ තබා එම ස්ථානය අසල ගිනි අඟුරු ගොඩක් පත්තු කරන ලෙස වලව්වේ කරත්ත කරුට සීයා කීවේය . ගිනි ගොඩ දැල්වී එහි දමන ලද පොල් කටු , අඟුරු තත්ත්වයට පත් වූ පසු සීයා මන්ත්‍ර මතුරන්න සූදානම් විය . හෙතෙම මන්ත්‍ර මැතිරීමට ප්‍රථමව සූනියම් දෙවියන්ට ආරාධනා කරන්නට මන්ත්‍ර පිරීය .






....................................ඕං ඉන්ද්‍ර නීල සුර රාම දිෂ්ටි නීල හංස ඔඩ්ඩි මස්සිනේ වර වර චන්ද්‍ර සූර්ය දිෂ්ටි නීල වර්ණ දිෂ්ටියෙන් බබළ බබළා වරෙන් කල්ල කූඨ ධාරණී සුර රාම ඔඩ්ඩි මස්සිනේ මාගේ හදවතට ආරූඪව දිෂ්ටි වර වර ඔඩ්ඩියා නීල පාසාන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං රාම ඔඩ්ඩියා පරමේශ්වර කදිර නාරායනේ වර වර කල්ලු කූඨ මස්සිනා වර වර කාකා උපුට උපුටා වර වර මාදෙස බලා මහවිෂ්ණු ආනුභාවෙන් ඔඩ්ඩිමස්සිනේ හනුමා ලෝක ධාරණී වර වර ඔඩ්ඩියානේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං සුර ගුරුළු කල්ලු ගිනි විමානේ උපුට උපුටා වර වර ඔඩ්ඩියා ගර්ජනා කර මුහුදු හතේ කොදෙව් දෙදහසේ නොසිට වර වර ඔඩ්ඩි මස්සිනේ ස්වර්ණ දිෂ්ටි වැටී වර වර මස්සිනා මා ගිලගන් මා රැකගන් වර වර නමඃ ඕං ප්‍රලයං පං කාම රූපනී හං හං වං ත්‍ර එං එං මූර්තු කාකීල ඔඩ්ඩිමස්සිනේ වර වර පිල්ලු පෙරළුසුම් ශූල වර්ණ අවතාර හෙළා දිෂ්ටි වර වර බන්ද බන්ද අයිය ප්පුල්ලේ කල්ලු කූට විමානේ කරකැවි වර වර මස්සිනා උග්‍ර බිම්බේ මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ගිනි අල්ලා බ්‍රාඩි හනුමන්තා ගිනි ගිනි විෂ්ණු වර වර ඉර බන්දු කාම රූපී යක්‍ෂණියන් පිරිවරා දඹදිව හිමාල වනය රන් තුඹස පිට වැඩ සිටගෙන මේ නරලොවට ගෙන්නූ ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං හනුමන්තා හුලිංග මලේ කච්චින්තු දළපුර හස්ති කන්ද ස්වාමි අණින් එන්ඩ ඔඩ්ඩි මස්සිනේ වේලා පුරන්දා මා ගිලගන් මා රැකගන්න වර වර නමඃ ඕං ත්‍රිං ත්‍රිං අස්මාරී මහා බල ඔඩ්ඩි මස්සිනේ සාමානි එන්පුරන්දු ශ්‍රී විෂ්ණු ආනුභාවෙන් මා ගිලගන් මා රැකගන්න වර වර නම................................

" පුතේ අර පුහුල් ගෙඩියත් මෙතනටම අරගෙන ආවනම් හොඳයි "

" හා මම ගේන්නම් සීයේ "

මහසොහොන් දේවතාවාට පහන දල්වන පහන් පැළ අසල තබන ලද සුදු රෙද්දෙන් එතූ අලුපුහුල් ගෙඩිය කරත්ත මඩුව වෙත මා ප්‍රවේසමෙන් රැගෙන ගියෙමි . එතැන් පටන් වූයේ මන්තර මතුරමින් ජීවම් කරමින් කට්ටකුමන්ජල් අහුරු පිටින් ඉහත කී අඟුරු ගොඩට දැමීමය . එයින් නැගුනු සුවඳ දුම් පොකුරු වලාකුළු නැගෙන පරිද්දෙන් වලව්වෙන් නික්ම ගියේය . සීයාට මහන්සි දැනෙන විට මමද මට මහන්සි දැනෙන විට සීයාද වන අයුරින් අප දෙදෙනා මාරුවෙන් මාරුවට මන්ත්‍ර මැතිරීය . කෑමට බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා අප නික්ම ගියේ අනෙකා විසින් මන්ත්‍ර පිරීම භාරගත් පසුවය .

කොටින්ම කියතොත් අප දෙදෙනාටම නිදාගනීමට පවා ඉඩක් එහි වූයේ නැත . රාත්‍රියේ මද වෙලාවක් නිදාගත් මා නැවත මන්ත්‍ර මැතිරීම භාරගත් විට සීයා නින්දට ගියේය . මාරුවෙන් මාරුවට මන්ත්‍ර මැතිරීය . මේ සියල්ල සිදුවන අතරවාරයේ අම්මා තාත්තා ආච්චි අම්මා පවා නින්දක් නැත . අපට අවශ්‍ය කළමණා සපයමින් ඔවුහූ අප හට උදව් කලහ . මේ දින කීපයේම ඇබිත්ත කොලුවා විලංගු ලෑමට පැමිණි ගමේ කීප දෙනාද වලව්වේ නැවතී සිටියහ .

අවසාන වතාවට අංජනම ඇරි දින දවල් ආරම්භ කරන ලද මන්ත්‍ර මැතිරීම දින දෙකක් පුරාවටම සිදුවී තුන්වන දිනයේ උදෑසනටද පැමිණියේය . තෙවන දිනය අප බලාපොරොත්තු වූ ආකාරයට අපගේ සගයාගේ පැමිණීමෙන් ආරම්භ විය . ඒ මුලින්ම වලව්වට පැමිණි නාගයාගෙනි . නාගයා පැමිණි වහාම ඇබිත්ත කොලුවා විලංගු ලෑමට දම්වැල් සූදානම් කරගන්නා ලෙස සීයා විධාන කළේය . සියල්ල සූදානමින්ය . නාගයා සීයා අසලට පැමිණ දරන ගසා පෙනය විදාහළේය .

මම තවමත් මන්ත්‍ර මතුරමින් කට්ටකුමන්ජල් අහුරු අහුරු ගිනි ගොඩට දමමින් සිටියෙමි . සියාතු සීයාගේ මුහුණ එතරම් හොඳ නැත . ඔහු බය වී ඇත . මන්ත්‍ර දත් ඇදුරෙකු මේසේ බය වන්නේ ලේසි පහසු කාරණාවකට නොවන බව මා හොඳින්ම දනිමි . මේ එවන් අවස්ථාවකි . ටික වෙලාවක් ගතවූ පසු මෙතෙක් වේලා අප බලාසිටි ඇබිත්ත කොලුවා කරේ රඳවාගත් කදුවක්ද සහිතව පැමිණ වලව්වේ කඩුල්ල අසල නතරවිය .

" අරනෝලිස් අයියේ කොලුවා ආවා . කඩුල්ල ගාව නැවතිලා ඉන්නවා "  කඩුල්ල දෙස බලා සිටි සියාතු සීයා පැවසීය .

" ඔතනින් මෙහාට ඕකට එන්න බෑ . දරුවනේ ඔය දම්වැල් ටිකත් අරගෙන මාත් එක්ක එන්න . චූටි පුතේ දැන් ඇති මැතිරුවා "

සීයා කඩුල්ල දෙසට ගමන් කිරීම ආරම්භ කළේය . මමද මන්ත්‍ර මැතිරීම නවතා සීයා පිටුපසින් ගමන් කිරීමට කරත්ත මඩුවෙන් පිටතට පැමිණියෙමි . ඇබිත්ත කොලුවා කඩුල්ල අසල සිටී . සීයා මිදුලෙන් වැලි අහුරක් අතට ගෙන මතුරමින් කඩුල්ල දෙසට යෑම නැවත ආරම්භ කළේය .






සීයා කඩුල්ල අසලට කිට්ටුවත්ම ඇබිත්ත කොලුවා කඩුව බිම දැම්මේය . දෙදෙනා අතර ඇත්තේ අඩි කීපයක පරතරයකි . සීයා මතුරන ලද වැලි අහුර ඇබිත්ත කොලුවාගේ ඇඟට විසි කළේය . ඇබිත්ත කොලුවා සිහිසුන්ව ඇදවටෙන්නට ඔන්න මෙන්න තිබියදී ඔහු විලංගු ලෑමට පැමිණි අය ඉදිරියට පැන ඇබිත්ත කොලුවා වැටෙන්නට නොදී අල්ලාගත්තේය .

" දරුවනේ ඉක්මණින් දම්වැල් පටලවන්න ඕකට සිහි කල්පනාව එන්න කලියෙන් "

ඇබිත්ත කොලුවා දම්වැල් වලින් වෙලා ඔවුන් තිදෙනා විසින්ම කරතියාගන්නා ලදී .

" හම්මේ ගුරුන්නාන්සේ මුනදගේ බර . මුන්දට වඩා බරයි දම්වැල් ටික "

සීයා සිනාසුනා පමණි . ඇබිත්ත කොලුවාද මල් බුලත් තටුව තබා ඇති කරත්ත මඩුව වෙත ඔසවාගෙන අවුත් එහි බිම දිගාකර තබන ලදී . අත් පා සියල්ල දම්වැල් වලින් වෙලා ඇති හෙයින් ඔහුට හෙළවීමට හැකියාව තිබුණේ හිස පමණි . මේ සියල අතරේ මම කඩුල්ල අසල බිම වැටුණු කඩුව රැගෙන ආවෙමි .

" සීයේ මේකට මොකද කරන්නේ ? "

" මාව පෙතිගහන්න නියම වෙච්ච කඩුව " කියමින් සියාතු සීයා ඉදිරියට පැමිණ කඩුව අතින් ගත්තේය .

" උඹ ඕවා අල්ලන්නේ නැතිව මෙන්න මෙහාට වෙලා හිටපන් " සීයා සැරෙන් මෙන් කීවේය . සියාතු සීයාගේ ජීවිතය අවදානමේ ඇති හෙයින් හෙතෙම මේසෙ පවසන්නට ඇත .

" දැන් තමයි වැඩේ පටන් ගන්නේ " කියමින් සීයා දිගු සුසුමක් හෙලා

" පුතේ මේ සතාව දැන් නිදහස් කරන්න එපාය . ගිහින් පෙට්ටගමෙන් මගේ කඩුව අරගෙන එන්න "

මම කඩුව රැගෙන එනවිට සීයා අලුපුහුල් ගෙඩිය සුදු රෙද්දෙන් ඉවතට ගෙන එම සුදු රෙද්දත් සමගම බිම තබා තිබිණි . නාගයා තවමත් දරන ගසා බලා සිටී . සීයා මේ සූදානම් වන්නේ නාගයාගේ දිෂ්ටිය ඉවත්කර ඔහුට සමු දීමටය . සීයා කඩුව අතින් රැගෙන මතුරන්නට විය . මතුරන අතර තුරේ අනෙක් අතින් සංඥා කර කට්ටකුමන්ජල් අහුරක් මවෙතින් ඉල්ලාගත්තේය . සීයා කට්ටකුමන්ජල් මතුරා අඟුරු ගොඩට දමා එයින් දුම් නිකුත් වීම ආරම්භ වීමත් සමග නැවත කඩුවට මතුරන්නට විය .







..........................උදාගිරි පර්වතයේ වාසස්ථානය කරන කටරාම දේවාතාවා සූර්යාග්නි රාම සැරයක් ඇරිය තැනේදී ජලරාම දේවතාවා ජල බන්ධන පුපුරුවා නාලොව යගල් පුපුරුවා මෙරගල් පුපුරුවා බන්ධන ඉඩ හරවා ඉඩ හැරිය ආනුභාවයෙන් දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එස්වාහඃ ඊශ්වර මණ්ඩලේ වෙව්ලවා යමදොර සලිත කරවා ඉර සඳ දැපනේ කරවා මහමෙර වෙව්ලවා අහස පොලව හිර බන්ධන වෙව්ලවා දෙවොල් ගිනි මණ්ඩලේ පුපුරුවා බන්ධන උගුළුවා එර්දි දේවතාව එදා ඡේදනය කල දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එසවාහඃ සසරාෂ්ට දේසේ උපන් ගජරාෂ්ට දේවතාවා දිවි දතක් ගෙන දිවි සමක් පොරවා විදුරු කඩුව ලෙලවා ඉර මණ්ඩලය සලිත කරවා රාහු දෙපලු කරවා කැපූ දිෂ්ටි බන්ධන ඡේදන ඡේදන එසවාහඃ.........................

සීයා දිගින් දිගටම මේ ආකාරයෙන් මන්තර මතුරමින් ගොස් එක් අවස්ථාවකදී කඩුව ඔසවා අලුපුහුල් ගෙඩිය දෙපලු වන ලෙස කඩු පහර ගැසීය . පුහුල් ගෙඩිය දෙපලු වී වෙන් විය . නාගයා දරනය දිගහැර සෙමෙන් සෙමෙන් මිදුල දෙසට ඇදෙන්නට විය . නාගයා කරත්ත මඩුවෙන් ඉවත් වත්ම තවත් ආරම්භයක් සනිටුහන් විය . ඇබිත්ත කොලුවාට සිහිය ආවේය .

" සියාතුවෝ උඹ මට පූජාව තිබ්බේ නෑ , මම උඹව බිලි ගන්නවා සියාතුවෝ.................................. "


ඊළඟ කොටසින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment