මලයාල නාග වෛරෝඩිය ( 2 )








මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින් 


" දැන් ඒ කතාව කොහොමද මෙතනට අදාළ වෙන්නේ ? " 

සීයා පුස්කොල පොත නැවත අතට රැගෙන එය පෙරලමින් විමසුවේය . 

" ඒ දොඩම්පේ ගණිතයාගේ හයවෙනි පරම්පරාවේ මුණුබුරා තමයි මම " 

" මොනවා ??????? " 

සීයාගේ ඇස් උඩ ගියේය .

අද එතැන් සිට 

පුදුමයක් මෙන් අමුත්තා දෙස බලා සිටි සීයා පුස්කොල පොත නැවත පෙරලමින් කල්පනා කළේය . සීයා නිධන් වදුල පෙරලමින් සිටියද එහි ලියා ඇති කිසිවක් කියවන වගක් නම් පෙනුනේ නැත . ඒ ඔහුගේ සිත තුල හොල්මන් කිරීමට සමත් වූ ටිකිරි කුමරු , නාග වෛරෝඩිය සහ ඊටත් වඩා ප්‍රභල වූ දොඩම්පේ ගණිතයා කියන චරිත කීපය නිසාය . එහෙත් සීයා තම සිත තුල ඉපැදෙන ගැටළු එකින් එක මෙම අමුත්තා වෙත ඉදිරිපත් කරමින් තමාගේ සැක හැරගැනීමේ තදබල උත්සාහයක නිරතවී සිටියේය .

" දැන් ඔය ළමයා පරම්පරාවේ සාත්තරේ මොකවත් දන්නෙහෙම නැත්ද ? " 

" කේන්දර බලන්න , නැකත් හදන්න , වෙදකම් කරන්න වගේ දේවල් ඉගෙන ගෙන තියෙනවා . ඉඳලා හිටලා ගමේ අයගේ ඕනා එපාකම් වලට උදව් පදව් දෙනවා . ඒත් යැපෙන්නේ ඒ සාත්තරෙන් නම් නෙවෙයි . අපිට ගමේ කුඹුරක් , පොල් ඉඩමක් එහෙම තියෙනවා . ඒවායේ වගා කරලා ඒ ආදායමින් තමයි ජීවත් වෙන්නේ . අම්මයි මමයි විතරයි නෙව ඉන්නේ ගුරුන්නාන්සේ . ඒ නිසා වැඩි වියදමක් වෙන්නේ නෑ . තාත්තා අපිට ඉන්න ඕනෑවටත් වැඩිය විසාල ගෙයක් හදලා තියෙනවා . ඒ නිසා වගා කරගෙන කාලා බීලා පිනක් දහමක් කරගෙන අම්මත් එක්ක ජීවත් වෙනවා " 

" නැකත් බලන්නයි වෙදකමයි ඉගෙනගත්තේ කොහොමද ? "




" අපේ තාත්තා ඒවා දන්නවා ගුරුන්නාන්සේ . උන්දැ පරම්පරාවෙන් ඒ දේවල් ඉගෙනගෙන තිබුණා . පස්සෙන් පහු මටත් ඒ දේවල් ඉගැන්නුවා . ඒවා ලියාපු පොත් පත් ගෙදර තවමත් තියෙනවා . වෙලාව ලැබෙන හැටියට මම ඒවා කියවලා බලලා ඉගෙනගන්නවා . තාත්තා ඉන්න කාලේ කිව්ව මතකයි , මන්තර සාත්තරේ ටික ටික ඉස්සරහට නොදී ඇවිල්ලා අපේ කාලෙට එනකොට දොඩම්පේ ගණිත පරපුරේ මන්තර පොත් ඔක්කොම වාගේ විනාස කරලා කියලා . ඒ නිසා මන්තර සාත්තරේ මට ඉගෙන ගන්න ලැබුණේ නෑ . ඒ නිසා තමයි මේ නාග වෛරෝඩිය නිධන් කරන වෙලාවේ ඒකට බැඳලා තියෙන භූතාත්ම නිදහස් කරලා මේක ආයේ තැම්පත් කරන්න මට ගුරුන්නාන්සේගේ පිහිට ලබාගන්න එන්න උවමනා උනේ " 

" බෙහෙත් පැළෑටි මේ මේ ඒවා කියලා මම නම් කරලා කිව්වොත් හොයාගෙන එන්න පුළුවන්ද ? " 

" පුළුවනි ගුරුන්නාන්සේ " 

" හ්ම්ම්ම්ම්......... දැන් දරුවෝ හවස් වේගෙන එන නිසා වලව්වේ හැමෝම පන්සලට යන්න සූදානම් වෙන්න ඕන . අද පන්සලේ චීවර පූජාව නිසා පිරිත් දේශනාවක් එහෙම පවත්වනවා . ඒ නිසා ඔය දරුවා අද මෙහෙ නවතින්න . හෙටත් ඉඳලා කාරිය අනිද්දා දිහාවට මම ඔය දරුවව ගම රට පිටත් කරලා යවන්නම් . මට මේ නිධන් වදුල අකුරක් නෑර සහසුද්දෙන් කියවලා බලන්න ඕන . මේකේ තියෙන පුද පූජාවල් අකුරටම කරලා අහවර කරලා තමයි අපිට ඒක වෙනත් තැනක ආයෙත් නිධන් කරන්න වෙන්නේ . නැත්නම් කලින් වතාවේ නිධන් කරත්දී බැඳලා තිබ්බ භූතයෝ අපේ පස්සේ එළවන්න තියාගන්න බැරි නැහැ . මම කෙසේ වෙතත් ඔය ළමයා පස්සෙන් එළවන්න ඉඩ තියෙනවා . ඒ නිසා අපි කරන්න ඕන කරුණු කාරණා හරි හැටි අවබෝධ කරගෙන මේ වැඩේට අත තියමු . දැන් ඔය ළමයා අද හෙට ගෙදර ගියේ නැති උනාම අම්මා තනියම නේද ? " 

" නැහැ ගුරුන්නාන්සේ . අම්මා නංගිලාගේ ගෙදර නතර කරවලා තමයි මම පිටත් වෙලා ආවේ . මම අද ඊයේ නෙවෙයි ගෙදරින් ආවේ . දැන් දවස් හතරක් විතර වෙනවා මයේ හිතේ ගෙදරින් ඇවිල්ලා . මම ගම්පහත් ගිහිල්ලා නෙව මෙහෙ ආවේ " 

" ආ එහෙනම් කාරී නෑ . අපි නිවී හැනහිල්ලේ මේ පොතත් කියවලා වැඩේට මුල පුරමු . හැබැයි දරුවෝ මට තියෙන තේරුම් ගන්න බැරි දෙයක් තමයි ; ඇයි සාපයක් වැදිලත් ටිකිරි කුමාරයා මේ පළඳනාව තියාගෙනම හිටියේ ? . ඕක විසි කරලාවත් දැම්මනම් අයිතිය නැතිවෙලා යන නිසා සාපෙන් බේරෙන්න තිබ්බා නේද ? " 









" නැහැනේ ගුරුන්නාන්සේ . මලයාලි ඇදුරෝ දෙන්නා සාප කරේ රජතුමාට අනිවාරියෙන්ම සාපෙ වදින විදියට තමයි . ඒකයි රජතුමාට ගැළවීම නැති උනේ . ඒ විතරක්යැ , ඔය සාපෙ කරා කියලා දන්නේ දොඩම්පේ ගණිතයා විතරයි . මොකද ගණිතයා එක්ක මලයාලි ඇදුරෝ කොහොමත් හිතවත් කමින් ඉඳලා තියෙන්නේ . රජතුමා එක්ක ගණිතයා තරහෙන් හිටපු නිසා රජතුමාට කියලා නැහැ මලයාලි ඇදුරෝ දෙන්නා සාප කළා කියලා . ඇත්තම කියනවනම් දොඩම්පේ ගණිතයා තමයි මේක නිධන් කරේ . ඒවත් පොතේ තියෙනවා "

" අපි එහෙනම් පන්සල් යන්න සූදානම් වෙමු . ඔය ළමයත් යමු අපිත් එක්ක . පිරිත් අහලා , කඨින චීවරයට අතගහලා පිං අනුමෝදන් කරගෙනම එන්න පුළුවන්නේ . හෙට අපි පොත කියවලා වැඩ පටන් ගමු "

කතාව අවසානයේ සීයා නිධන් වදුල පිටු සියල්ල පිළිවෙලට සිටින සේ නැවත සකසා නූල ඔතා ගැටගසා කාමරයට රැගෙන ගියේය . මමද නා පිරිසිදුවී නැවත පන්සල් යෑම සඳහා සූදානම් වීමට ගියෙමි . අමුත්තාද කාමරයට ගියේය . තෙල් මල් රැගෙන පන්සල් යන අතරවාරයේ අනෙක් සියලු දෙනාටම ඉස්සර වීමට ඉඩදී මම සහ සීතාවක අමුත්තා නැවතත් කතාවට එක් වීමු . 

" අයියලාගේ ගෙවල් තියෙන කිට්ටුවද මේ නිධානය තැම්පත් කරලා තිබුණේ ? "

" ටිකක් විතර කිට්ටුව . මාසෙකට වතාවක් දෙවතාවක් මම එතනට ගිහින් බලලා එනවා අතුරු ආන්තරාවක් වෙලාද කියලා . එතන අඳුරගන්න තිබ්බ සලකුණු වැහෙන්න කළුගල් දාලා වහලා තිබුණේ . හැබැයි නිධන් වදුලෙන් තැන හොයාගන්න පුළුවන් . අපේ තාත්තා තමයි මට තැන පෙන්නලා නිධන් වදුල දීලා මේ රහස ඉස්සරහට රකින්න කියලා පොරොන්දු කරේ "

" ඉතින් හොරකම් කරපු අය කොහොමද එතන සලකුණු හොයාගත්තේ ? "

" එතනට යන පාර ලියලා තියෙනවා . ඊටපස්සේ ගල් කුට්ටිවල හැඩය ලියවිලා තියෙනවා . ඒ ගල් කුට්ටි ටික පෙරලුවම නයෙක්ගේ රූපයක් කොටාපු ගල් පොත්තක් තියෙනවා . ඒක යකඩෙකින් උස්සලා පැත්තකට කරාම ගල් බෙහෙත් ගාලා වහලා තියෙන හතරැස් කුහරය තියෙනවා . මේ කුහරයේ තමයි මාලේ තිබ්බ පෙට්ටිය තැම්පත් කරලා තිබුණා කියලා නිධන් වදුලේ ලියලා තියෙන්නේ . ඒ නිසා හොයාගන්න පුළුවන් "

" අයියා යන එන වෙලාවට ඉතින් ගමේ අය සැක කරන්නේ එහෙම නැත්ද ඒ පැත්තට යන එකට ? "

" මම ගිහින් ඔය එක එක වෙදකම් වලට ඕනා කරන බෙහෙත් පැළ , පොතු , ගෙඩි එහෙම එකතු කරනවා ඒ ඉසවුවේ . ඒ නිසා කවුරුවත් සැක හිතන්නේ නෑ "

කතාවේ අවසානය සනිටුහන් වූයේ පන්සල් වත්තට ඇතුළු වීමත් සමගය . පරිත්‍රාන ධර්මදේශනාව අතරවාරයේ පන්සලේ සිටි පිරිසක් වෙද ගෙදර බලා පිටත්ව ගියේ චීවරය ගම වටා වැඩම කරවන පෙරහැර සඳහා සහභාගී වීමටය . අලුයම් කාලයේ  චීවර පූජාව පවත්වා පසුදින දහවල් දානයද අවසානවනතුරු මමද සීයාද සීතාවක ප්‍රදේශයෙන් ආ එම අමුත්තාද පන්සලේ රැදී සිටියෙමු . අම්මා තාත්තා සහ ආච්චිඅම්මා පිරිත් දේශනාව අවසානයේ  වලව්වට පිටත්වී ගියෝය .

පන්සලේ රැඳුනු අප වලව්වට පැමිණියේ ඉර අවරට ගියාටත් පසුවය . වලව්වට ආ සීයා කා බී කාමරයට ගියේ නිධන් වදුල කියවීමටය . මම අධික නිදිමත හේතුවෙන් නිදාගත්තෙමි . සීතාවක අමුත්තාද නිදාගත්තේය . මා ඇහැරෙනවිට වෙලාව හවස හය බව බට්ටා ඔරලෝසුවේ නාදය සිහිපත් කර දුන්නේය . මා කාමරයෙන් පිටතට පැමිණෙන විට සීයා සහ සීතාවක අමුත්තා වලව්වේ ඉස්තෝප්පුවේ හිඳ කතාකරමින් සිටියෝය .

" මේකට ඉස්සෙල්ලම කරන්න ඕන දරුවෝ මේ මාලය තියෙන තැනින් එළියට ගන්න එක . එහෙම එළියට ගන්න ඔය තැනට පේන විදියට ගිහින් බැහැ . මේ වෙලා තියෙන දේ හැටියට නොපෙනෙන විදියට ගිහින් තමයි මාලේ අපේ අතට ගන්න වෙන්නේ . ඒ ගත්ත ගමන්ම මේක අරගෙන ඔය ළමයින්ගේ ගමට ගිහින් නිධානය තැම්පත් කරලා තිබ්බ තැන ඉඳගෙන මන්තර මතුරලා එතනට බන්දල තිබ්බ භූතයෝ ටික අල්ලගෙන ඒ අයව මේ බන්ධනයෙන් නිදහස් කරලා තමයි අපිට මේක ආයෙත් නිධන් කරන තැනක් ගැන හිතන්න වෙන්නේ "

" නොපෙනෙන විදියට යනවා කිව්වේ ගුරුන්නාන්සේ ? "

" කළුවර අඳුන "

" සීයා කළුවර අඳුන හදන්නද යන්නේ ? "

" වෙන කරන්න දෙයක් නැහැ . මේ ගැන හිත හිත ඉන්න වෙලාවකුත් මදි දැන් . ඕන කරන දේවල් තියෙනවා හොයාගන්න . අමාවක දවසට තව සති දෙකක් විතර තියෙනවා . ඊට කලියෙන් මේ දේවල් හොයාගෙන අමාවක දවසේ තෙල හිඳ ගන්න ඕන . පස්සේ ජීවම් කරන්නත් දවසක් දෙකක් යයි . ඔය දරුවට මම වලව්වේ කරත්තේ දෙන්නම් කරත්තේ දක්කන එක්කෙනත් එක්කම . ඔය ළමයා ගමරට ගිහින් අම්ම නංගි එහෙම මුණගැහිලා කියලා එන්න ඕන ගෙදර එන්න ටික දවසක් යයි කියලා . ඊට පස්සේ ගේන්න දේවල් ටිකක් තියෙනවා ඒ පැත්තෙන් . මට ඒවා මේ පැත්තෙන් හොයාගන්න අමාරුයි .

මැරිච්ච නැති උනහපුළුවෙක් ඕන . ඉරු රාජ සම්පූර්ණ පැල දෙකක් විතරවත් ඕන . තව උවමනා කරන බෙහෙත් පැළෑටි කීපයක් තියෙනවා . ඒවා මම ලියලා දෙන්නම් . ඔය ළමයා බෙහෙත් පැළෑටි දන්න නිසා හොයාගන්න පුළුවන් වෙයි . උනහපුළුවා නොමරා පොඩි කූඩුවකවත් තමයි ගේන්න වෙන්නේ . ඒකට කූඩුවකුත් මම දෙන්නම් . කළු ගැරඬියෙක් අල්ලගන්න ඕන . උන්වනම් මට මේ පැත්තෙන් හොයාගන්නත් පුළුවන් . තනි කළු පාට බළලෙකුත් ඕන වෙනවා . ඔය ළමයට පුළුවන් නම් ඒ පැත්තෙන් හොයාගෙන එන්න බලන්න . නැත්නම් අපි මෙහෙන් හොයාගමු . උනහපුළුවා වයසක පහේ එකෙක් නම් හොඳයි දරුවෝ . අකල් ප්‍රානයකට වඩා කාල ප්‍රාණයක් හොයාගන්න එක හොඳයි "

" ගුරුන්නාන්සේ කළුවර අඳුන හදන්න මම දන්න හැටියට බෙහෙත් වර්ග එකසිය අටක් ඕන වෙනවා . සමහර ඒවා නම් අහලවත් නැති ඒවා . මම අපේ පොත්වල තිබිලා කියවලා තියෙනවා "

" ආ මේ ඒක නෙවෙයි දරුවෝ . මේකට එච්චර වද වෙන්න උවමනා නැහැ . හැබැයි කල් තියාගන්න අමාරුයි . හදලා මාස තුනහතරක් ඇතුළත පාවිච්චි කරන්න ඕන . ඔය ළමයා කියන එක කාලයක් ගියත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් . මේක එහෙම බෑ . ඒකට මතුරන්න ඕන මන්තර වගේ නෙවෙයි . මේ අඳුනට මතුරන්න තියෙන්නේ මලයාලි මන්තර "

" එහෙනම් මම දන්නේ නැහැ ගුරුන්නාන්සේ . ඕන දේවල් කියන්න . මම හොයාගෙන එන්නම් . උනහපුළුවොයි ඉරුරාජයි බලන්න සිංහරාජ අඩවියට යන්න වෙයි මයේ හිතේ . ගුරුන්නාන්සේ මට ඕනකරන ඒවා කියන්නකෝ . මම හොයාගෙන එන්නම් . කරත්තේ තියෙන නිසා ඉක්මණින් කරගන්න පුළුවන් වෙයි දෙවියන්ගේ පිහිටෙන් "






" මෙහෙ ඉඳලා ගාල්ල පැත්තෙන් ගියානම් ඔය ළමයට සිංහරාජ අඩවියට යන්න කිට්ටුයි . හැබැයි ඉතින් ආයෙත් ගෙදර යන්න ලොකු දුරක් එන්න වෙන නිසා ඔය ළමයා ඒ පැත්තෙන්ම ගිහින් සිංහරාජ අඩවියට යන ගමනක් සූදානම් කරගන්න "

" මම බෙහෙත් වර්ග ඕන උනාම රත්නපුරේ පැත්තෙන් සිංහරාජ අඩවියට ගිහින් තියෙනවා ගුරුන්නාන්සේ . ඒ නිසා පාරවල් කොහොමද කියලා හොයාගන්න පුළුවනි "

" චූටි පුතේ , ඔයා ගිහින් කළුවර අඳුන හදන පොත ඩිංගිත්තක් පෙරළලා කියවලා බලන්න . මන්තර මොනවද තියෙන්නේ කියලා කියවලා පොඩ්ඩක් ඒවා පාඩම් කරගන්න පුළුවන්ද බලන්න . මමත් මීට කලින් වතාවක කළුවර අඳුන හැදුවේ මම චූටි පුතාගේ වයසේ වගේ ඉන්නකොට . ඊට පස්සෙම උවමනාවක් උනේ නෑ "

" හා සීයේ "

" ගුරුන්නාන්සේ තවම රෑ බෝ වෙලා නැති නිසා මම ගමන පිටත් වෙන්නද ? "

" එපා ! . දැන් මේ ළමයයි ජේමිසුයි පිටත් වෙනවා කියන්නේ යක්කු ගස් නගින වෙලාවටත් මහ පාරේ . උදෙන් පිටත් වෙන්න . ඕන කරන දේවල් හදලත් නැහැනේ තවම . කරත්තේ නිකං යන්න බැහැ . ඔය දෙන්නට කන්න බොන්නයි , හරකට පිදුරු පුන්නක්කු එහෙමත් සූදානම් කරලා තමයි දුර ගමනකට පිටත් කරන්නේ . උදේ යමු දරුවෝ . දැන් ඉඳලා කාලා බීලා අහවර වෙලා කාරිය වේලාසන නිදාගමු "

" හොඳමයි ගුරුන්නාන්සේ "

කතාව අවසානවත්ම සීයා , අමුත්තාද කැඳවාගෙන ඔහුගේ කාමරයට පිවිසියේ කළුවර අඳුන සෑදීමට අවශ්‍ය කරන බෙහෙත් පැළෑටි වල නම් ලියා දීමටය . මම සීරුවෙන් මගේ කාමරයට ඇතුළුවී දොරවසා අගුළු ලා ගතිමි . සියල්ල පවතින්නේ මගේ කාමරයේය . නොදන්නා කෙනාට වඩා තරමක් දන්නා කෙනාට මෙම දේවල් අතපත ගෑමට කියවීමට ඉඩදිය යුතු නොවේ . දොරගුළු ලූ මම පෙට්ටගමේ යතුර කරකවා පියන විවෘත කලෙමි . කළුවර අඳුන් ගැන ලියවී තිබෙන පුස්කොල පොතේ පොත් කම්බාවද කලු පැහැතිය . එබැවින් සොයාගැනීම අපහසු නැත . එය කළුවර අඳුන් කීපයක්ම සාදන ආකාරය වෙන වෙනම ලියා ඇති වටිනා රහස් රචනාවකි .

පොතක් දිරාගෙන එන විට නැවතත් ඒ සියල්ල වෙනත් පොතක ලියා මුල් පොත සමග සසඳමින් පරීක්ෂා කර හරි වැරදි හොඳින් පිරික්සා මුල් පොත විනාශ කර දැමීම සිරිතය . ඒ ආකාරයෙන් මෙම පොත ලියා තිබෙන්නේ වර්ෂ එක්දහස් අටසිය හතලිස් අටේ බව එහි මුල් පුස්කොල පත්තිරුවේම සඳහන් කර තිබුණු බව මට සිහිපත් විය . ඒ මා එම පොත මුල්ම වතාවේ කියවන විටදීය .







කළුවර අඳුන් සෑදීම විවිධාකාරය . විවිධ සතුන් උපයෝගී කරගනිමින් කළුවර අඳුන් සෑදීම අතීතයේ සිට සිදුවී තිබේ . කළුවර අඳුන් වලින් දරුණුතම අඳුනක් වන්නේ කළු දිවියකු මරා එම ඇස් දෙක උගුලා ඒ අනුසාරයෙන් සාදන අඳුනකි . එය සාදන්නට දිවියා අවසන් සුසුම හෙලූ මොහොතේම ඇස් උගුලා ගත යුතුය . ඒ වනතුරු රැක සිටීම හා පණ අදින දිවියාගෙන් බේරීම වැනි ගැටළු රාශියක් එහි පසුපස සැඟවී තිබේ . එබැවින් කළු දිවියන් සම්බන්ධ කටයුතු එහෙමම යට ගොස් ඇත .

ඉන් පසුව තිබෙන්නේ බෙහෙත් වර්ග එකසිය අටක් යොදා සාදනු ලබන මහා කළුවර අඳුනයි . එය අති ප්‍රභල කළුවර අඳුනකි . සැලකියයුතු ප්‍රමාණයක් සාදාගත්විට ජීවිත කාලයම තියා පරම්පරා ගණනාවක් වුවද භාවිතා කිරීමට හැකියාව තිබේ . අවශේෂ කළුවර අඳුන් කෙටි කලක් තුල භාවිතා කිරීමට සාදන ලද ඒවා වේ . හදිස්සියට සෑදීම හා හදිස්සියේම භාවිතා කිරීමට ඒවා නිර්මාණය කර තිබේ . මේවා නිර්මාණය කිරීමට ප්‍රධානවම දායක වී තිබෙන්නේ මලයාලි මන්තර ගුරුකම්ය . එමෙන්ම නැකත් දින තිථි නැකත් හෝරා කරණ වැනි ජෝතිෂ්‍ය සංකල්ප කළුවර අඳුනේ නිර්මාණය සමග එකිනෙක බැදී පවතී .

සීයා මෙවර සෑදීමට බලාපොරොත්තු වන්නේ මලයාලි කළුවර අඳුනකි . උනහපුළුවෙකු ඒ සඳහා දිවි පුදනු ලබයි . වයසට ගිය සතෙකු අල්ලාගන්නට කියා සීයා කියන්නට ඇත්තේ ඒ නිසාය . කළු ගැරඬියාද ජීවිතය පූජා කරයි . ඒ උනහපුළුවාට පුරවන බෙහෙත සෑදීමටය . සොහොන් පිටියක මිනී වලක් හැරිය යුතුය . මිනී හිස්කබලක් ගොඩ ගතයුතුය . තෙල් හිඳීම කල යුතුය . මේ සියල්ල සඳහා අවශ්‍ය මූලික බෙහෙත අමාවක දිනයක සාදා වල දැමිය යුතුය . කාර්යය සුළුවෙන් ආරම්භ කලද මේ සියල්ල සංකීර්ණ වන බවක් පෙනේ . එබැවින් කලින් පිළියෙළ කලයුතු සියල්ල පිළියෙළ කර තැබිය යුතුය .

රාත්‍රී ආහාරය ගත් පසු සීතාවක අමුත්තා නින්දට ගියේ පසුදින පාන්දරම ගෙන යායුතු සියල්ල පිළියෙළ කර තැබීමෙන් අනතුරුවය . සීයාද නින්දට ගියේ ඉන් අනතුරුවය . මම කළුවර අඳුනේ මන්තර පාඩම් කිරීම ආරම්භ කලෙමි . කොහොඹ දළුවක් දෙකක් සපමින් රාත්‍රී කාලයේ මන්තර පාඩම් කිරීම ඉතාම පහසු කාර්යයකි . එය මට පුරුදු කරන ලද්දේ සීයා විසින්මය . වෙනත් ශබ්ධ කිසිවක් නෑසෙන වෙලාවේ පොතත් මනසත් ඒකාග්‍ර වන්නේ ආත්මීය බැඳීමක් සහිත බැම්මකින්ය .

පුස්කොල පොත කියවා අවශ්‍ය මන්තර කීපය කොපි පොතක සටහන් කරගත් මා රාත්‍රී කාලයේම ඒවා ටිකෙන් ටික කියවමින් මතක තබාගත්තෙමි . මා නිදාගන්නා ලද්දේ සීතාවක අමුත්තා වලව්වෙන් නික්ම යාමත් සමගය . ඔහු නිධන් වදුල සීයාට දී නැවතත් ගම රට බලා ගියේ හිස් අතින්මය . තව සති දෙකක් ගතවීමෙන් කළුවර අඳුනක් වලව්වේ හොල්මං කිරීමට පටන්ගන්නා බව දැනෙත්ම හිතට යම් අඳුරු බවක් දැනේ .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment