නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 9 - වර්චස්ථාන වේද දෝෂය






සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා  ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා . ඒ නිසා වාස්තු විද්‍යාව කියන්නෙත් ජ්‍යෝතිෂ විද්‍යාව වගේම මනුෂ්‍යයාට බලපෑම් කරන විෂයක් .

ගල්යුගයේ ඉඳලා නිවාස ඉදිකරගෙන පදිංචි වීම දක්වා පැවතගෙන ආව නිවාස ඉදිකිරීමේ කාර්යය අද වෙනකොට නවීන විද්‍යාත්මක සංකල්ප එක්ක මිශ්‍ර වෙලා ඉතාමත් ඉහළ තත්වයකට ඇවිත් තියෙනවා . " වේද " කියලා කියන්නේ බාධා වීමක් හරස් වීමක් කියන තේරුම ඇතුව . වේද දෝෂ කියලා කියන්නේ නිවසේ පවතින වාස්තු සමතුලිතයට බාධා කරන බාහිර සාධක අනුව ඇතිවෙලා තියෙන වාස්තු සංකල්පයක් .

වේද දෝෂ කියන දෝෂ තුන්කල් දක්නා නුවණින් සෘෂිවරු විසින් නිර්මාණය කරලා තියෙන්නේ ඒ දෝෂ කොයි කාලයේ වුණත් කොයි ආකාරයෙන් වුණත් මිනිස්සුන්ට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා . අද කාලේ පාවිච්චි කරන කොන්ක්‍රීට් සහ කම්බි භාවිතා කිරීම නිසා මේ වාස්තු දෝෂ යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා . ඒත් ඒවායේ අනිසි බලපෑම යම් යම් ප්‍රමාණ වලින් මිනිස්සුන්ට බලපෑම් කරනවා කියලා අත්දැකීමෙන් හඳුනාගෙන තියෙනවා .

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 8 - කෝණ වේද දෝෂය කියන ලිපිය යටතේ අපි සාකච්ඡා කරා කෝණ වේද දෝෂය කියන්නේ මොකක්ද සහ කෝණ වේද දෝෂය ඇතිවෙන්නේ කොහොමද කියලා . අද ලිපියෙන් කියන්නේ වර්චස්ථාන වේද දෝෂය කොහොමද ඇතිවෙන්නේ කියලා .


වර්චස් කියලා හඳුන්වන්නේ මල මුත්‍රා විතරක් ම නෙවෙයි . මේ දෝෂයට අදාලව බලනකොට කුණු බැහැර කරන ස්ථාන පවා වර්චස් කියන දේවල් වලට අදාළ ස්ථාන කරගන්නවා . වර්චස්ථාන වේද දෝෂය කියලා හඳුන්වන්නේ නිවසක ප්‍රධාන උළුවස්සට ආසන්නව හෝ ඉදිරියෙන් වැසිකිළියක් හෝ කුණු බැහැර කරන වළක් කුණු ගොඩක් වගේ දෙයක් පිහිටලා තිබීම .

මෙහෙම තැනක් තිබීම නිසා දෝෂය විවිධ ස්වරූපයෙන් ඇතිවෙනවා . වැසිකිලිය හෝ කුණු සහිත ස්ථානය නිවසට ආසන්න වීම නිසා දුගඳ සහ විසබීජ නිවසට ඇතුළු වීමක් වෙනවා . ඒ නිසා විසබීජ වලින් නිවාස අපිරිසිදු වෙනවා කියල මුලින්ම කියන්න පුළුවන් . ඒවගේම තමයි එහෙම අපිරිසිදු වීම නිසා නිවාසවල ඉන්නා අයගේ සෞඛ්‍ය තත්වය පහත වැටෙනවා . සෙම් රෝගවල ඉඳලා දරුණු ලෙඩ රෝග පවා ඇතිවෙන්න මේ දෝෂය හේතු වෙනවා .

වැසිකිළියක් පිහිටලා තිබීම හරිම අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන් . විශේෂයෙන්ම පොදු වැසිකිළියක් පිහිටලා තිබීම නිසා දෝෂය ඇතිවෙනවා නම් පොදු වැසිකිළිය අපවිත්‍ර වෙනකොට ඒ ඇතිවෙන පෙනුම මිනිසුන්ගේ හිතේ ඇතිකරන්නේ අප්‍රසන්න හැගීමක් . ඒ අප්‍රසන්න හැගීම මානසික වශයෙන් මිනිස්සු පහත හෙළන්න හේතු වෙනවා .

වැසිකිළි වලවල් සහ කුණු වලවල් උතුරන්න ඉඩ තියෙනවා . මෙහෙම උතුරනකොට වැසි වතුරත් එක්ක නිවසට ඒ විසබීජ සහිත ජලය ඇතුළු වෙන්න පුළුවන් . ඒවගේම තමයි මේ විසබීජ සහිත ජලය නිසා ළිං අපිරිසිදු වෙන්නත් පුළුවන් .

මේ දෝෂය නම් ඇත්තටම පිළියම් යොදලා වහන්න පුළුවන් දෝෂයක් නෙවෙයි . ඒ නිසා පුළුවන් තරම් කරන්න තියෙන්නේ ඉඩම් ගන්නකොට මේවගේ තැන් තියෙනවද නැත්ද කියලා බලලා ඒවගේ තැන් අතෑරලා හොඳ ඉඩමක් තෝරාගන්නා එක .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment