හෙළ වෙදකමේ දැක්වෙන ලිංගික උත්තේජක ඖෂධ






මේ ලිපිය ලියන්න ඕන කියලා හිතලා අවුරුද්දක් විතර වෙනවා . ඒත් අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවල හිඟතාවය නිසා මම මේ ලිපිය ලියන එක ප්‍රමාද කර කර හිටියේ . මේ ලිපිය ලියන්න හිතුවේ ඇයි කියලා කියනවනම් ඒකට පොඩි කතාවක් තියෙනවා . ඒක ආවේ අපේ බෝඩිමෙන් .

අපේ බෝඩිමේ මම කලින් හිටපු රූම් එකේ හිටියේ හතරදෙනයි . අපි හතරදෙනෙක් හිටියට මොකද ඒක ඇවිල්ලා හය දෙනෙක්ට දෙන කාමරයක් . ඒ නිසා තවත් ඇඳන් දෙකක් හිස්ව තිබුණා . කාලයක් යනකල් අපි මේ ඇඳන් දෙකට කාවවත් ගන්න දෙන්නේ නැතිව හිටියට මොකද ටික දවසක් යනකොට එකෙක් ආවා . අපි හිතුවේ නෑ පොරත් බලලා ගියාට රූම් එකට එයි කියලා . ඒත් අපි නොහිතපු වෙලාවක පොර , පොරගෙ බඩු ටිකත් කරගහන ආවා . ඇවිත් ඉතින් ටික දවසක් ගියාට පස්සේ තමයි අපිට තේරුනේ මිනිහා අපිට හරියන්නේ නැති චරිතයක් කියලා . අපි හතරදෙනාම කැම්පස් . ඌ මොකුත් කරන එකෙක් නෙවෙයි . ඌ කරන්නේ කෙල්ලන්ට බැල්ම දාලා කෙල්ලෝ රවට්ටගෙන කරගන්න ඕන හරිය කරගෙන අතෑරලා දාන එක . ඔය වෙනුවෙන් මිනිහා තමන්ගේ ඇඟ හරියට තියාගන්න මාර විදියට මහන්සි උනා . මිනිහා වැඩි කාලයක් ගත කලේ ජිම් එකේ . කොයිවෙලෙත් බිත්තර කනවා , පළතුරු කනවා අරවා මේවා කරනවා . ඒ වැඩ පිළිවෙල අපේ කැම්පස් වැඩ වලට හරිම කරදරයක් වෙලා තිබුණේ .

අපි අපේ පාඩුවේ හිටියට පස්සේ පස්සේ මිනිහගේ වැඩ කටයුතු එන්න එන්නම අපිට වදයක් වේගෙන ආවා . මිනිහා රූම් එකේ ඉඳගෙනම කෙල්ලන්ට කතා කරනවා . අනාත වෙච්ච කෙල්ලෝ අඬනවා ඒ වගේ ප්‍රශ්න ගොඩයි . මේ අතරේ මිනිහට මිනිහගේ යාළුවන්ගෙනුත් කෝල් එනවා . ගොඩක් වෙලාවට මිනිහට යාළුවො කෝල් කරලා අහන්නේ ලිංගික උත්තේජක ඖෂධ වර්ග ගැන . පොර ඒ බෙහෙත්වල නම් කියන්නේ හරියට ඩොක්ටර්ලටත් උගන්නන්නේ ඌ වගේ . ඒවයේ මාත්‍රාව ගැනවත් හරියට දන්නේ නැති උනාට පොර කියනකොට කියන්නේ පෙති තුනහතරක් බීපන් බං කියලා . පස්සේ අපි බෝඩිම අයිති උදවියට කියලා මිනිහව එලෙව්වා .

ඒත් ඒ කතාව මගේ හිතේ තිබුණා . මේ ලිංගික උත්තේජක වර්ග ගැන ලිපි කීපයක් කියවලා බැලුවම තමයි මට තේරුම් ගියේ මේවා ගොඩක් ගත්තම ඇඟට ඒක හොඳ නැහැ කියලා . ලිංගික උත්තේජක වර්ග ගොඩක් දුරට ප්‍රචලිත වෙන්න අරගෙන තියෙන්නේ කාමෝද්දීපන චිත්‍රපට නිසා කියලා තමයි කියන්නේ . මොකද මේ චිත්‍රපට වල තියෙන දේවල් තමනුත් අත්දකින්න තියෙන ආසාව නිසා ගොඩක් අය උත්තේජක වලට යොමුවෙලා තියෙනවා .

සංසර්ගයේ යෙදෙන කාලය වැඩි කරගන්න එක තමයි මේ උත්තේජක ගන්න අයගේ ප්‍රධානම අරමුණ වෙන්නේ . ඊට අමතරම නෂ්ටකාමය නැතිකරගන්නත් සමහර අය මේ ඖෂධ ගන්නවා කියනවා . මේවායේ තියෙන අතුරු ආබාධ වලින් කීපයක් මම මෙතන සටහන් කරන්නම් .

පපුවේ අධික දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්
ඔලුවේ කැක්කුම
පාචන තත්ත්වයන්
හෘද ස්පන්දන වේගය ඉහල යෑම
දේහ උෂ්ණත්වය වැඩි වීම
නාසයෙන් ලේ ගැලීම
නින්ද නොයාම
අත්පා හිරිවැටීම
මස්පිඩුවල අධික වේදනාව
නිල් පාට සහ කොළ පාට වෙන් කර හඳුනාගත නොහැකි වීම
කන් ඇසීම අඩු වීම
පෙනීම අඩුවීම
කරකැවිල්ල
ක්ලාන්තය
හුස්ම ගැනීමේ අපහසුතා
මුත්‍රා දැවිල්ල
සිරුර පුරා පළු දැමීම

වගේ දේවල් ඇතිවෙන්න පුළුවන් . මේ වගේ දේවල් මේ ඖෂධ භාවිතා කරන්න පටන් ගත්ත කාලයේ වෙන්නත් පුළුවන් . අධික භාවිතය නිසා වෙන්නත් පුළුවන් . මේ ඖෂධ ඇත්තටම නිපදවලා තියෙන්නේ ලිංගික ආශාව නැති අයට සහ බෙලහීන තත්ත්වයන් වෙනුවෙන් පාවිච්චි කරන්න . ඒත් අද වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැති අයත් මේ බෙහෙත් වර්ග වලට යොමුවෙලා තියෙනවා මේ කාමෝද්දීපන චිත්‍රපට නිසා ඇතිකරගෙන තියෙන වැරදි මත නිසා .

මම දැන් එන්නම් මගේ ලිපිය ගැන කියන්න . මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල වෙදකමේ ඉගැන්වෙන බෙහෙත් වට්ටෝරු කීපයක් ඉදිරිපත් කරන්න . රාවණා රජතුමාගේ කාලේ ඉඳලා මේ වගේ දේවල් සඳහාත් බෙහෙත් වර්ග නිපදවලා තියෙනවා . මම කියවපු සමරහ පොත්වල ඒ බෙහෙත් වට්ටෝරු අඩංගු වෙලා තිබුණා . ඒ කාලේ ඒවා නිපදවලා තියෙන්නේ සංසර්ග කාලය වැඩි කරගන්න නෙවෙයි . ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීම වෙනුවෙන් .

මේ ලිපි කියවන ඔබත් දැනටමත් ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරනවානම් අදම හිතාගන්න ඒ දේවල් ටික ටික හරි අතෑරලා දාන්න . තමන්ට යම් විදියක ගැටළුවක් තියෙනවම මේ බෙහෙත් වට්ටෝරු පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල තියෙනවද කියලා උත්සහ කරලා බලන්න . විශේෂත්වය තියෙන්නේ මේ බෙහෙත්වල ශරීරයට අහිතකර බවක් නොමැති වීම තමයි . හැබැයි මේ බෙහෙත් වට්ටෝරු ආයුර්වේද වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා නිසියාකාරව හදාගන්න උපදෙස් ගන්න පුළුවන් නම් වඩාත් වටිනවා .


1
අමුක්කරා අල ,  තල , තිප්පිලි , සමාන ප්‍රමාණවලින් අරගෙන හොඳට චූර්ණ වෙනකල් අඹරාගන්න . මේ මිශ්‍රණය එක වරකට කලං භාගය ගානේ ගිතෙල් මීපැණි එක්ක කලවම් කරලා ආහාරයට ගන්න .

2
අමුක්කරා අල , බින්තල් අල , රට ඉඳි , උඳු , වියලි මුද්දරප්පලම් , සමාන ප්‍රමාන අරගෙන චූර්ණ වෙනකල් අඹරාගෙන මීපැණි ගිතෙල් එක්ක එක වරකට කලඳ ගානේ ආහාරයට ගන්න .

3
අමුක්කරා අල , ඉකිරි ඇට , ගොකටු , උඳු , එළ ඉඹුල් මැලියම් , වැල්මී , බින්තල් , සමාන ප්‍රමාණ අරගෙන චූර්ණ කරලා වරකට කලං එකහමාර ගානේ ආහාරයට ගන්න . මේක ලිංගික ගැටළු ගොඩකට හොඳ ප්‍රතිකාරයක් .

4
අමුක්කරා , ඉකිරි ඇට , බැවිල මුල් , වඳුරු මෑ ඇට , හාතාවාරිය , වැල්මී , සිරිවැඩි බැවිල කියන මේ දේවල් සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . ඒ චූර්ණය වගේ ඇට ගුණයක් එළකිරි අරගෙන ඒවා එකට කලවම් කරලා හොඳට රත් කරන්න . ඊට පස්සේ ගිතෙල් එක්ක රත් කරලා සමාන ප්‍රමාණයක් සූකිරි එක්ක කලවම් කරලා වරකට කලං තුන ගානේ උදේ හවස එළකිරි එක්ක ආහාරයට ගන්න . ප්‍රභල උත්තේජක ඖෂධයක් මේක .

5
නෙල්ලි ඉස්ම බෝතලයක් හිරු එළියේ තියලා වාෂ්ප කරන්න . මේක හොඳට වාෂ්ප වෙලා සාන්ද්‍ර උනාට පස්සේ එයින් මේස හැන්දක් මීපැණි , සූකිරි , ගිතෙල් එක්ක මිශ්‍ර කරලා දවසකට දෙවතාවක් ආහාරයට ගන්න . මේක මාස තුනක් විතර එක දිගට ගන්න කියලා තමයි කියන්නේ .

6
කාමරංගා ගහේ පස්පංගුව කලං හය ගානේ අරගෙන වැල්පෙනෙල කලං හයක් එකතු කරලා වතුර කෝප්ප අටක් සහ එළකිරි කෝප්පයක් එකතු කරලා හොඳට උණු කරලා නටවලා එක කෝප්පයකට හිඳ ගන්න . පස්සේ ඒක පානය කරන්න . නෂ්ටකාමය දුරු කරන්න මේ ඖෂධයට පුළුවන් .

7
අමුක්කරා , උඳු , වැල්මී , කිරිබදු , හාතාවාරිය අල , වැල් පෙනෙල මුල් , ඉරමුසු , වඳුරු මෑ ඇට , කියන ඒවායින් කලං එකහමාර ගානේ අරගෙන වතුර පත 8ක් එකතු කරලා පත එකකට හිඳගන්න . මේක පස්සේ පෙරලා අරගෙන උදේ හවස සීනි සහ මීපැණි එක්ක කෝප්ප භාගය බැගින් සතියක් විතර බොන්න .

8
අමුක්කරා අල , වියලි කිරිබදු අල , වැල්මී , මේවායින් සමාන ප්‍රමාන අරගෙන සියුම්ව කුඩු කරගෙන වරකට කලං දෙක ගානේ උදේ හවස බටර් , ගිතෙල් හෝ මීපැණි එක්ක ආහාරයට ගන්න .

9
වඳුරු මෑ ඇට මද , නීරමුල්ලිය සමාන ප්‍රමාන අරගෙන සියුම්ව අඹරලා චූර්ණ කරගන්න . මේකෙන් වරකට මන්චාදී පහ ගානේ උදේ සවස සීනි එක්ක ආහාරයට අරගෙන උණු කරපු එළකිරි වීදුරුවක් බොන්න .

10
වඳුරු මෑ ඇට සහ තිරිඟු පිටි සමාන ප්‍රමාන අරගෙන එළකිරි එක්ක මිශ්‍ර කරලා තලප වගේ උයාගන්න . මේකෙන් වරකට මේස හැඳි දෙක ගානේ උදේ රෑ එළකිරි එක්ක ආහාරයට ගන්න .

11
නෙරෙංචි ඇට , නීරමුල්ලිය ඇට , උඳු ඇට , වඳුරු මෑ ඇට , වියලි හාතාවාරිය අල චූර්ණ වෙනකල් අඹරලා වරකට කලං තුන ගානේ උදේ හවස එළකිරි එක්ක ආහාරයට ගන්න .

12
නීරමුල්ලිය ඇට කුඩු කරලා එළකිරි ගිතෙල් එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

13
උඳු පිටි , එළකිරි හෝ ගිතෙල් එක්ක මිශ්‍ර කරලා තලප වෙනකල් උයාගෙන සීනි මීපැණි එක්ක දිනපතා ආහාරයට ගන්න .

14
අමුක්කරා පිටි , සීනි , ගිතෙල් එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

15
වැල්මී පිටි , මීපැණි සහ ගිතෙල් මිශ්‍ර කර ආහාරයට ගන්න .

16
විෂ නැති කරපු වඳුරු මෑ ඇට පිටි සහ ඉකිරි ඇට පිටි සමාන ප්‍රමාන මිශ්‍ර කරලා නැවුම් එළකිරි වල මිශ්‍ර කරලා සීනි දාලා දිය කරලා බොන්න .

17
ඇට ඉවත් කරපු රට ඉඳි ගෙඩි 50ක් විතර ගන්න . ඒකට මීපැණි එළඟිතෙල් එකතුකරලා හොඳට වහන්න පුළුවන් භාජනයක දාලා සතියක් විතර තියලා දවසට ගෙඩි තුන ගානේ ආහාරයට අරගන්න . ඒ එක්ක එළකිරි පානය කරන්න .

18
ගොකටු , වඳුරු මෑ ඇට , රට ඉඳි , වැල්මී , බින්තල් අල , රසකිඳ කියන ඒවා කලං හය බැගින් අරගෙන වතුර කෝප්ප අටක් එකතු කරලා එක කෝප්පයට හිඳ ගන්න . මේ සිඳගත් කසාය උදේ හවස ගිතෙල් හා මී පැණි එක්ක දවස් තුනක් බොන්න .

19
කෝමාරිකා මුල් එළකිරි එක්ක අඹරලා ඒ තලපය එළකිරිවල දිය කරලා සති දෙකක් එකදිගට බොන්න .

20
බිත්තර සුදුමදය තලතෙල් සමග කලවම් කරලා උදෑසන හිස්බඩ දවස් කීපයක් බොන්න .

21
වැල්මී , උක් හකුරු , කිරිබදු අල කියන ඒවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරලා එළකිරි එක්ක මිශ්‍ර කරලා බොන්න .

22
කිරිබදු අල චූර්ණය , කිරිබදු යුෂ එක්ක කලවම් කරලා අවුවේ වේලාගන්න . ඒ තලපය සීනි මීපැණි එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

23
රසකිඳ , නෙල්ලි , ගොකටු සමාන ප්‍රමාණයන්ගෙන් අරගෙන චූර්ණ කරන්න . පස්සේ ඊට සමාන ප්‍රමාණයක් සීනි මිශ්‍ර කරන්න . මේකෙන් තේ හැන්දක් ගිතෙල් එක්ක මිශ්‍ර කරලා එළකිරි සමග ආහාරයට ගන්න .

24
එළ ඔලිඳ මුල් , වඳුරු මෑ , ඉකිරි ඇට කියන ඒවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . ඉන් පසුව සමාන ප්‍රමාණයක් සීනි එකතු කරලා වරකට තේ හැඳි එක බැගින් එළකිරි වල දිය කරලා උදේ හවස ආහාරයට ගන්න .

25
එල ඔලිඳ මුල් චූර්ණය වරකට තේ හෑන්ද බැගින් ගෙන සීනි ගිතෙල් මිශ්‍ර කරලා ආහාරටය ගන්න .

26
අමුක්කරා අල , කිරිබදු අල , බින්තල් අල , උඳු ඇට , කියන මේවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . සීනි සහ මීපැණි මිශ්‍ර කරගන්න . ඒ මිශ්‍රණයෙන් වරකට තේ හැන්දක ප්‍රමාණයක් ගෙන උදේ හවස ආහාරයට ගන්න .

27
රට ඉඳි , වියළි මුද්දරප්පලම් , බින්තල් අල , අමුක්කරා අල , සමාන ප්‍රමාණවලින් අරගෙන චූරන් කරගන්න . ඒ චූර්ණය උදේ හවස සීනි මීපැණි එක්ක ආහාරයට ගන්න .

28
සමන් පිච්ච තෙල් අලිගැටපේර තෙල් ස්වල්පයක් එක්ක කලවම් කරලා සම්බාහන තෙලක් විදියට පාවිච්චි කරන්න .

29
තිප්පිලි , උඳු , ඇල් හාල් , යව හාල් , තිරිඟු සමාන ප්‍රමාණවලින් අරගෙන කුඩු කරගන්න . ඒ පිටි ගිතෙල් එක්ක මිශ්‍ර කරලා රත්කරලා උයාගෙන ආහාරයට ගන්න .

30
අරළු , රත්නිටෝල් , ඉඟුරු , බින්තල් අල , රසකිඳ පිටි සමාන ප්‍රමාන්වෙඅලින් අරගෙන වියලා අඹරා කුඩු කරගෙන වරකට තේ හන්ද බැගින් ගිතෙල් සහ උක් හකුරු සමග ආහාරයට ගන්න .


මීට මතරව අශ්වගන්ධ අරිෂ්ටය , අශ්වගන්ධ තෙල් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන් .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය