බංකොලොත් ටෝක්ස් ( 1 )




සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා
සියලුම සත්ත්වයින් ආහාර නිසාම ජීවිතය රැක ගනී

මහ පිරිත්පොත කියවන වේලාවකදී මට පිරිත් පොතේ මුල්ම හරියේ තියෙන මෙන්න මේ සාමණේර පඤ්ඤහා කියන කොටස නැවතත් කියවන්න ලැබුණා . ඕක කියවන වෙලාවේ මට ටිකක් පරණ අත්දැකීම් ටිකක් මතක් වුණා .

ඉස්සර ඉස්කෝලේ සංගීත වාදන කණ්ඩායමේ සාමාජිකයෙක් වෙච්ච මුල්ම කාලයේ අපි , " දවස " කියන මාතෘකාව යටතේ නිර්මාණය කරපු සංගීත වාදන කොටසක් ඉදිරිපත් කරා සීවලී මධ්‍යමහා විද්‍යාල නියෝජනය කරමින් සමස්ත ලංකා සංගීත තරඟාවලියට . ඕකෙන් ලැබුණු ජයග්‍රහණය එක්ක සබරගමුව විශ්වවිද්‍යාලයෙන් අපිට ආරාධනයක් ලැබුණා ඒ සංගීත වාදනය විශ්වවිද්‍යාලයේ කළා උළෙලකට ඉදිරිපත් කරන්න කියලා . ඔන්න අපි ගියා කැම්පස් එකට . මම හිතන්නේ මම හිටියේ 10 වසරේ . ඊට පස්සේ ඔන්න කැම්පස් එකේ කළා උළෙලේ අපේ ඉදිරිපත් කිරීම තිබුණේ හවස්වෙලා .

ඒ නිසා අපිට විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් දිවා ආහාර වේල ලබා දුන්නා . මට වඩා වැඩිමල් අයියා කෙනෙක් තමයි මම හිටපු තැන ළඟ හිටියේ . මේසයේ අනික් පැත්තේ තවත් දෙන්නෙක් හිටියේ . අපි කාලා ඉවරවෙලා අත හෝදන්න යනකොට ඒ අයියා මගේ පිඟාන දිහා බැලුවා . බලලා හිනා වුණා . මම ඉතින් අනේ මන්දා කියලා කල්පනා කරා ඇයි ඒ හිනා වුණේ කියලා . ඒ අයියා එදා හැසිරුණු හැසිරිල්ල අනුව මට හිතුනේ මිනිහා කැම්පස් එකට ආවට පස්සේ හිතාගෙන ඉන්නේ කැම්පස් එක බකිංහැම් මාලිගාව වගේ වෙන්න ඕන කියලා . මම ඒත් කල්පනා කරා මගේ පිඟානේ මොකක්ද තිබ්බ අවුල කියලා . මිනිහා හරියට හිනා වුණේ මම පිඟානේ ඩිස්ටි ඩිඩින් කරා වගේ . එදා ඒ සිදුවීම එහෙමම ඉවරයි .

සිංදුවගේ ගෙවල් තියෙන කිට්ටුව තියෙනවා පොඩි බත් කඩයක් . ඕකට කියන්නේ " ලොක්කගේ බත් කඩේ " කියලා . මොන හේතුව නිසාද දන්නේ නැහැ ඒ කෑම එකට මිනිස්සු මාර විදියට වහ වැටෙනවා . අජිනමොටෝ වගේ දේවල් නම් නැහැ කියලා ෂුවර් . එක්කෝ මුන් බත් එකට හූනියමක් කරලා දෙනවා ආයෙත් ආයෙත් කන්න එන්න . කොහොමහරි රහයි කියලා දැනුන කෑම කඩවල් වලින් එකක් තමයි ඕක . ගොඩක් වෙලාවට එහේ යන එන වෙලාවට ඕකෙන් කාලා යන්න හෝ නැත්නම් බත් එකක් ඔතාගෙන ගෙදර ඇවිත් කන්න හරි වැඩකටයුතු සම්පාදනය කරනවා .

දවසක් ඔන්න සිංදුවගේ ගෙදර යන දවසේ රත්නපුරේ ස්ටෑන්ඩ් එකේදී සිංදුවගේ මලයත් සෙට් වුණා . අපි දෙන්නා බස් එකේ යනගමන් මම ඇහුවා මොකද අද ලොක්කා සරණං ගච්චාමු ද ? කියලා . සිංදුවගෙ මලයත් චන්දය ප්‍රකාශ කරපු නිසා අපි දෙන්නා බස් එකෙන් බැහැලා කඩේට ගියා . ගිහින් දැන් අපිට අවශ්‍ය පැකේජ් එකේ කෑම දෙකක් ඕඩර් ප්ලීස් කියලා මේසෙට වෙලා වාඩිවෙලා හිටියා .

ඒකෙ වැඩ කරන කෙනෙක් කෑම පිඟන් දෙක බෙදාගෙන ඇවිත් අපේ ඉස්සරහින් තිබ්බට පස්සේ ටිකක් නිවෙනකල් ඉඳලා කන්න පටන් ගත්තා . කෑමේ සීග්‍රතාවය ගැන බලනකොට කොහොමත් මගේ කෑම ගැනීමේ වේගය වැඩියි . දන්නෙම නැතුව සාමාන්‍ය වේගයට ඇවිත් කාගෙන කාගෙන ගියා . ඊට පස්සේ මේසෙන් නැගිටින්නේ නැතුව සිංදුවගෙ මලයත් කාලා ඉවරවෙනකල් හිටියා බලාගෙන . එතකොට අර කෑම පිඟාන ගෙනැත් දීපු කෙනා ඇහුවා " තව බත් ගෙනැත් දෙන්නද ? " කියලා මගෙන් .

සාමාන්‍යයෙන් ඒ කඩේ කෑම පැකේජ් එකක් එක්කෙනෙක්ට වැඩිත් එක්ක වගේ . මටත් කාලා කාලා බඩ පිරිලා තිබ්බේ . තව කන්න තියා වතුර බොන්නවත් ඉඩ තිබ්බේ නැහැ . ඉතින් මම කිව්වා " එපා , මේ හොඳටම ඇති " කියලා . පස්සේ මම අත තියාගෙන හිටපු පිඟාන දිහා බැලුවා . මම හිතන්නේ ඒකෙ බත් ඇට එකක් වත් ඉතුරුවෙලා තිබුණේ නැහැ .

ඔන්න ඒ වෙලාවේ මතකය කනෙක්ට් වුණා සබරගමුව විශ්වවිද්‍යාලයට . එදා අර හාල්පාරුවත් පිඟාන දිහා බලලා හිනා වුණේ මේක තමයි එහෙනම් කියලා මට ධර්ම සංවේගය පහල වුණා .

පිරිත් පොත කියවන වෙලාවේ මට මතක් වුණා අපේ ආච්චිඅම්මා මට ඉස්සර කෑම කන්න පුරුදු කරපු හැටි . කෑම මේසෙට උස නැහැ එතකොට . පුටුව උඩ කොට්ට තියලා තමයි මම ඉඳගත්තේ . ඊට පස්සේ පිඟානට කෑම බෙදලා අරගෙන ඇවිත් මගේ ඉස්සරහින් තියලා අනාගෙන කන හැටි කියලා දුන්නා . කොහොමහරි ආච්චිඅම්මාගේ තියරිය වුණේ කෑම අනනකොට තමන් මී ළඟට ගන්න බත් කටට අවශ්‍ය දේවල් විතරක් හෝ බත් කටවල් දෙකකට අවශ්‍ය බත් ප්‍රමාණය සහ එළවළු විතරක් අනාගන්න කියලා .

ඒවගේම තමයි බත් පිඟානේ අනලා නැති බත් පිළිවෙලකට තියෙන්න ඕන කියලා . කොහොමහරි බත් කන එක වෙන වැඩකට අතරමග නතර වුණත් විනාඩියකට දෙකකට හෝ ආයෙත් පිරියක් ඇතුව කන්න පුළුවන් වෙන්න ඉතුරු බත් ටික සහ එළවලු සියල්ල පිඟානේ ඉතුරු වෙලා තියෙනවා .

ඊට පස්සේ ආච්චිඅම්මා කිව්ව කතාවක් තමයි පිඟානේ එක බත් ඇටයක් වත් ඉතුරු කරන්නේ නැතුව කන්න ඕන කියලා . ඒකට හේතුව විදියට කිව්වේ මිනිස්සු ජීවත් වෙන්නේ කෑම නිසා , ඒ නිසා කෑම අහක දාන්න හොඳ නැහැ . බෙදාගන්නවානම් , බෙදලා දෙනවානම් ඒ දෙන ප්‍රමාණය කෑමට ගන්න ඕන කියලා . ඔය කතාව ඒ කාලේ තදින්ම හිතට වැදිලා තිබුණු නිසා අද වෙනකල් මම කෑම කාලා ඉවරවෙනකොට පිඟානේ ඉතුරු වෙන්නේ කන්නම බැරි දේවල් විතරයි .

මම හිතන්නේ මේ හිස් පිඟාන සමහර අයට අසාමාන්‍ය දෙයක් වෙන්න ඇති . මොකද යම් යම් වෙනත් සංස්කෘතීන් වලට අනුව කෑම පිඟානේ ටිකක් ඉතුරු කරලා තමයි නැගිටින්න ඕන . ඒවගේම බොන කෝප්පේ ටිකක් ඉතුරු කරලා තමයි තියන්න ඕන . බීම බෝතලේ බීම ටිකක් ඉතුරු වෙන්න ඕන . නැත්නම් ගතියක් නැහැ .

මේ ළඟදී දවසක් මී කිරි කෑම ගැන ෆේස්බුක් එකේ ගියා මෙන්න මේ ලිපිය .



ලංකාවේ මිනිස්සු ඉස්සර හොඳට කෑවා . ඒත් දැන් කන්නේ නැහැ . යෝගට් කෝප්පයකින් එකක සයිස් බත් ටිකකට රත්තරන් පවුමක මිල ගෙවලා ඒකෙනුත් ටිකක් මැනස් වලට කියලා ඉතුරු කරලා නැගිටලා යනවා . ඊට පස්සේ බඩගින්නේ විඳවනවා .





මේ ළඟදී දවසක ෆාමසිස්ට් කෙනෙක් එක්ක කතා කරන වෙලාවක බෙහෙත්වල තියෙන විෂ තත්වය ගැන කතාවක් ඇදිලා ආවා . ඒ වෙලාවේ මම මතක් කරා ලංකාවේ මිනිස්සු බෙහෙත් හදන සේරම අමුද්‍රව්‍ය පිට රට යවලා ඒවායින් හදන විස තියෙන පෙත්ත සල්ලි දීලා බීලා ඉක්මණට මැරෙනවා කියලා . මම කල්පනා කරන්නේ ඔය සාදික්කා , කුරුඳු , වසාවාසි , එනසාල් , කරාබුනැටි එහෙම තමන්ගේ කෑම වේලටත් එකතු කරගත්තනම් නරකද ? . ඇන්ටිඔක්සිඩන්ට් කියලා වෙන වෙන දේවල් පෙති හරහා ගත්තට ඔය දේවල්ම ශරීරයට හිතකර මාත්‍රාවෙන් මේ ආහාර ද්‍රව්‍යවල අඩංගු වෙලා තියෙනවා . වැරැද්ද තියෙන්නේ සල්ලි නිසා ඒ දේවල් විකුණනවා ඇරෙන්න තමන්ගේ පාවිච්චියට ගන්නේ නැහැ . ඉස්සර මිනිස්සු කරේ තමන්ගේ පාවිච්චියට අරගෙන ඉතුරු ටික විකුණන එක . දැන් වෙන්නේ ඒකෙ අනික් පැත්ත .
දැන් ළමයින්ට පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ සහ කන්න බොන්න දෙන්නේ එක එක තියරි අඩංගු පොත්වල සටහන් වෙලා තියෙන විදියට . මේ වෙලාවට කෙසෙල් ගෙඩියක් . මේ වෙලාවට ගස්ලබු පළුවක් . මේ වෙලාවට බත් . මේ වෙලාවට නිදාගන්න ඕන . ඔන්න ඔය වගේ ෂෙඩුල් වෙච්ච ළමයි තමයි දැන් ඉන්නේ . අඩුම තරමේ පොලව පාගන්නවත් දෙන්නේ නැහැ . අනාගෙන කන්න දෙන්නේ නැහැ . වැසිකිලිය භාවිතා කරන්න උගන්වන්නේ නැහැ . හැබැයි ශෝ එකනම් දෙයියනේ කියලා තියෙනවා .

බත් කන්න දෙන්නේ නැහැ . කෝස් පොලොස් දෙල් අල කන්න දෙන්නේ නැහැ . ඒත් සොසේජස් එක , චිකන් කෑල්ල උජාරුවෙන් කවනවා . ජාතියක් විදියට සිංහලයා මේ කොහෙද යන්නේ . ඒක තමයි අවසානයේ අහන්න තියෙන ප්‍රශ්නය .

ලිපිය අවසාන කරන්න කලින් මෙන්න මේ කතා දෙක ලියලා පූර්වාපර සන්ධි ගළපන්න මම හිතුවා .

කැම්පස් එකේදී අපිට ඉගෙන ගන්න ලැබුණු විෂයන් වලින් එක විෂයක් තියෙනවා ඔය පරිසරය සහ මිනිසා අතර සම්බන්ධය සහ රසායනික බලපෑම් කොහොමද ශරීරයට වෙන්නේ කියන යාන්ත්‍රන උගන්වන . මේක උගන්වන වෙලාවේ අපේ ප්‍රොෆෙසර් කතාව ටික ටික වෙන පැත්තකට හරවලා මෙන්න මේ කතාව කිව්වා .

" ළමයි , මම ජපානයේ විද්‍යාඥයින් පිරිසක් එක්ක පර්යේෂණයක් කරා කුකුල් මස් සම්බන්ධව . ඔය කුකුල් මස් ගන්න ඇතිකරන , කුකුලන්ට ගහන හෝමෝන් එක යම් ප්‍රමාණයකින් මිනිස්සුන්ට අහිතකර වෙනවා කියලා අපි හොයාගත්තා . ඒත් යම් යම් ප්‍රශ්න මත අපිට මේ ප්‍රතිඵල එලියට නිකුත් කරත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති තත්වයක් තියෙන නිසා ඒ පර්යේෂණය එහෙමම තමයි "

ඊට පස්සේ සර් කිව්වා , ළමයින්ගේ වැඩිවියට පත්වීම සම්බන්ධව . දැන් ඔය මස්වල තියෙන හෝමෝන ප්‍රමාණය යම් ප්‍රමාණයක් මිනිස්සුන්ගේ ශරීරයටත් ආහාර වේල හරහා ඇතුළු වෙනවා . පොඩි ළමයි කෑවාම ඒ ළමයින්ගේ වර්ධනය අධික වෙනවා . වයසට වඩා වර්ධනය වෙනවා . මොලය වුණත් ඒවගේ අධි ක්‍රියාකාරී වෙනවා . ඒ නිසාම ගැහැණු දරුවන් කලින්ම වැඩිවිය පත්වීම මේ කාලයේ දකින්න ලැබෙනවා . ඒත් මිනිස්සු ඒ ගැන සතුටු වෙනවා . මොකද මගේ ළමයා දැන් ලොකුයි , හොඳට වැඩ කරනවා . මොළෙත් හොඳට වර්ධනය වෙලා කියලා . පෆෝමන්ස් හොඳයි කියලා අනිත් අයට වඩා .

ඒත් මිනිස්සු හිතන්නේ නැහැ ඉලක්කමෙන් අඩුවට හිටියට මෙයාගේ ශරීරයේ යාන්ත්‍රණය අනවශ්‍ය ලෙස වෙගවත් වෙලා නිසා මෙයා ඉක්මණට වියපත් වෙනවා කියන එක . ඒක තේරුම් ගන්න තවම මිනිස්සුන්ට අත්දැකීම් මදි . ඒවගේම ඒක තේරෙනකොට පරක්කුත් වැඩි වෙයි . මේ අපරය . මම කියන්නම් ඊට පස්සේ පූර්වය කොහොමද කියලා .

බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අනාගතය ගැන දේශනා කරන වෙලාවේදී මේ කල්පය විනාශ වෙන කාලය ආවාම මිනිස්සුන්ගේ පරමායුෂ අඩුවෙලා අඩුවෙලා යනවා කියලා . ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ කුකුළොන්ට හෝමෝන ගහලා ආයුෂ අඩු කරගන්නවා කියලා . ඒත් ප්‍රතිඵලය දේශනා කරලා තියෙනවා . කොයි යම් ආකාරයකින් හෝ අද කෘත්‍රීම සූර්යයන් නිපදවෙනවා . ඒ කියන්නේ ඉරවල් හතක් පායාවි . ඒවගේම තමයි පරමායුෂත් අඩුවෙලා . මෙන්න මේ ආකාරයට පූර්වාපර සන්ධි ගළපලා කතාව අවසානයට අරගෙන ආවා ඔන්න .

කියවලා පොඩ්ඩක් හිතලා බලන්න තමන් පොඩි කාලේ කාපු බීපු දේවල්ද තමන්ගේ ළමයට තමන් කන්න බොන්න දෙන්නේ කියලා .

මොකද , කොස් පොළොස් පළා වර්ග මුහුදු මාළු කාලා ඉංජිනේරුවෝ දොස්තරලා වෙච්ච අම්මලා තාත්තලාගේ ළමයින්ට ඒ අම්මලා තාත්තලා කන්න දෙන්නේ වහ . ඒ ළමයිනුත් ඉතින් ඉගෙන ගන්නවා . අපි හැදෙනවා , රට හදනවා කියනවා . ඒත් උන්ගේ ඇතුලාන්තය හොඳ නෑ . ඒ නිසා අනාගතයේ බිහිවෙන්නේ අධ්‍යාත්මයක් නැති කල්ලතෝනි සමාජයක් . උන් ඉක්මණට මැරෙයි . ඒ නිසා හොඳ දේවල් කන්න දෙන්න . ලංකාවේ තිබ්බ හොඳ පුරුදු නැවතත් ඇති කරන්න , ළමයින්ට ඒවා කියලා දෙන්න .


මෙන්න මේ සිංදුවත් දෙතුන් පාරක් අහලා බලන්න කවුද හරි කවුද වැරදි තමන් අද කොහෙද ඉන්නේ සහ තමන්ගේ ළමයි කොතනටද යන්නේ කියලා .

මටනම් ෂුවර් , වැඩිකල් යන්න කලින් වලපල්ලට තමයි යන්නේ කියලා .

වැරදියට හිතන්න එපා . කියලා තියෙන දේ තේරුම් ගන්න . මම කියන්නේ දරුවන්ට ලංකාවේ දේවල් කවලා පිටරට දේවල් කවන්න . මොකද ළමයින්ගේ ඇඟ පත මොලය හැදෙන කාලේ පිටරට වස කෑම නිසා ළමයි දුර්වල වෙයි . එතකොට අම්මා තාත්තාට කලින් ළමයි වල පළලටම තමයි යන්නේ .

බටහිර පරිණාමයේ කියන්නේ මිනිසාගේ පරිණාමයට කලින් ශාකය පරිණාමය වුණා කියලා සෘෂි වරුන් කියන්නේ මිනිසා කියන්නේ උඩු යටිකුරු කරපු ගහක් කියලා . හිතලා බලන්න . මම ඒක ඉදිරි ලිපියකින් පැහැදිළි කරන්නම් .

එහෙනම් ලිපිය අවසාන කරනවා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !






වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

1 comment:

  1. කෙනෙක්ට කෑමට හොඳම ආහාරය තමා තමා අවට වැවෙන දේ.

    ReplyDelete