වල්ගා තරුවකට ලෙඩ හදන්න පුලුවන්ද ?



කොරෝනා වයිරසය පැතිරීයාම සහ වයිරසයේ ආරම්භය සම්බන්ධව ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධ කරගෙන මේ දවස්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා . ඒ මොකද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ . මේ ලිපිය ලියන්න හිතුවේ මේ කතාබහ ගැන යම් පැහැදිළි කිරීමක් කරන්න . මේ ලිපිය කිසිම කෙනෙක්ට පහර ගහන්න යොදාගන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා .

අදකාලේ වගේ නෙවෙයි , අතීතයේ ජ්‍යෝතිෂ විද්‍යාව ආරම්භවුණු කාලයේ මේ විෂයට සම්බන්ධ ජ්‍යෝතිෂ පළාපල සහ අනාවැකි කීම් සිදුකෙරුණේ මානසික ශක්තිය වර්ධනය කරන ලද සෘෂිවරුන්ගේ අතීන්ද්‍රීය ඥානයන් මෙහෙයවලා අනාගතය දැකීමෙන් . ග්‍රහයින්ගේ චලිතය අනුව අනාගතයේ සිදුවන වෙනස්කම් මොනවාද කියලා පරීක්ෂා කරලා තමයි ඒ අය පළාපල සහ අනාවැකි කිව්වේ .

ඊට පස්සේ මේ අතීන්ද්‍රිය ඥාන හිමි අය නැත්තටම නැතිවෙලා ගියාට පස්සේ වරාහමිහිර වගේ ආචාර්යවරු අතීත සෘෂිවරුන්ගේ ඉගැන්වීම් අනුව යමින් අහසේ තරු ග්‍රහයින්ගේ වෙනස්වීම් අධ්‍යනය කරලා ජ්‍යෝතිෂ විද්‍යාව සාර්ථක ලෙස කරගෙන ආවා .

තවමත් ලංකාවේ අඳුන් සහ හිරු දැපන තෛලය , හිරු දැපන යන්තර , හිරු දැපන මන්තර එහෙම තියෙනවා . ඕවයේ මූලික ප්‍රතිඵලය විදියට කියන්නේ මේ තෙලෙන් ස්වල්පයක් ගාගත්තාම දවල් අහසේ වුණත් තරු බලාගන්න පුළුවන් කියල . ඒවගේ දේවල් ඇතිවුණේ ඇයි කියලා අපි කල්පනා කරලා බලන්න ඕන .

දවල් අහසේ තරු බලන්න අවශ්‍ය වුණේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි . ජ්‍යෝතිෂ ගණිත ශාස්ත්‍රය සම්බන්ධව කටයුතු කරපු උදවියට . කොත්මලේ ගණිතයා , බරණ ගණිතයා , දොඩම්පේ ගණිතයා කියන නම් වලින් ඔය ජීවත් වෙලා හිටපු මිනිස්සු ඒ වගේ උපක්‍රම පාවිච්චි කරේ අහසේ තරු බලලා ග්‍රහ චලිතය ගණනය කරන්න . එයාලට ගණිතයා කියලා කියන්නෙත් ඒ නිසා . නිතරම ගණනය කිරීම් කරමින් ජීවත් වුණු නිසා .

එයාලා තමන්ගේ ජ්‍යෝතිෂ පළාපල කථනය කිරීම් සහ අනාවැකි කීම් කිව්වේ පොත් බලලා කටපාඩම් කරලා නෙවෙයි . අහසේ වෙනස් වීම මූලික සිද්ධාන්ත වලට ගළපලා . ඒ නිසා තමයි ඒ කාලේ ජ්‍යෝතිෂ විද්‍යාව සාර්ථක මට්ටමක පැවතුනේ . අද කාලේ ඉන්නා ජ්‍යෝතිෂ වේදීන් පර්යේෂණ කරනවා තියා අඩුම තරමේ දවසේ හඳ වෙනස් වීම වත් ඇහැට දකිනවද කියන එක ප්‍රශ්නයක් .

ඒ නිසා තමයි ජ්‍යෝතිෂ ශාස්ත්‍රය මේ වෙනකොට ඉතාම සිල්ලර දෙයක් බවට පත් වෙලා තියෙන්නේ . ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඒ කාලේ ඉඳලා පවුලෙන් පවුලට පරපුරෙන් පරපුරට ගුරු කුලයෙන් ගුරු කුලයට ගුරු ගෝල සම්බන්ධතා ඔස්සේ ගලාගෙන ආවේ මේ සිල්ලර වීම වලක්වන්න ඕන නිසා .

ඒත් අදවෙනකොට පොත් ප්‍රකාශකයින් සහ මාධ්‍ය විසින් වසර 6000 කට ආසන්න කාලයක් තිස්සේ ඉතාම වන්දනීය ලෙස පැවතගෙන ආව අපේ ඉගැන්වීම්වල යම් කොටස් වෙළඳ භාණ්ඩ බවට පත් කරලා ඉවරයි .

පොත් ප්‍රකාශකයින් සහ ලේකඛයින් විසින් ජ්‍යෝතිෂ කරුණු ඔහේ ඉබාගාතේ යවලා බ්‍රොයිලර් ජ්‍යෝතිෂවේදීන් හැදුවා . මාධ්‍ය විසින් ඒ බ්‍රොයිලර් ජ්‍යෝතිෂවේදීන්ගේ කරේ රත්තරන් බැන්දා .

මේ ධූමකේතු ප්‍රශ්නයත් ඒවගේ දෙයක් . අසන්නා සහ කියන්නාගේ තේරුම් ගැනීමේ සහ පැහැදිළිකිරීමේ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ . නැතුව සංකල්පවල ප්‍රශ්නයක් නෙවෙයි .

පැරණි ජ්‍යෝතිෂ සිද්ධාන්තවල විස්තර කෙරෙනවා වල්ගාතරුවක් අහසේ දිස්වෙනවා නම් ඒ කාලයට ඒ රටට හෝ ලෝකයට උපද්‍රව වෙන්න ඉඩ තියෙනවා කියලා . ඇත්තටම අතීත සිද්දි කීපයකදී එහෙම වෙලාත් තියෙනවා . සරළවම ඒ සිද්ධිය වෙන්නේ මෙහෙමයි .

ඔන්න ජ්‍යෝතිෂ වේදියෙක් ඉන්නවා . එයා අහස බලනවා දිනපතාම . දවසකදී වල්ගාතරුවක් දකිනවා . ඊට පස්සේ රජතුමාට හෝ පාලකයින්ට කියනවා වල්ගාතරුවක් පායනවා , රටට අපල උපද්‍රව වෙන්න පුළුවන් . ඒ නිසා සූදානම් වෙන්න කියලා . ඊට පස්සේ රටට වසංගතයක් ආවත් , මොන අහේනියක් ආවත් රට සූදානම් වෙලා ඉන්න නිසා මහජනතාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . මේ වගේ දකිනකොට රටට කරදර වෙයි කියලා හිතලා යාග හෝම පුද පූජා වගේ දේවල් කරලා ඒ දෝෂ නැති කරලා රට සහ මහ ජනතාව පාලකයින් විසින් ආරක්ෂා කරනවා .

ඒ කියන්නේ වසංගතය එන්නේ වල්ගාතරුවෙන් නෙවෙයි . වසංගතයක් හෝ උපද්‍රවයක් එනවා කියලා සලකුණක් තමයි වල්ගා තරුවෙන් පෙන්නුම් කරන්නේ . ඒ කියන්නේ සමාජ මාධ්‍යවල මේ දවස්වල සංසරණයවන කතාව කිව්ව සහ අහපු අය ඒ පිලිබඳ තේරුම් අරගෙන තියෙන විදිය වැරදියි කියන එක . අපි දැන් බලමු වල්ගා තරුවක් කොහොමද මෙහෙම දෙයක් සංකේතවත් කරන්නේ කියලා .

මේ ලෝකයේ සියල්ලම පවතින්නේ ශක්තිය සහ ස්කන්ධය වශයෙන් සංසරණය වෙමින් . වයිරසයක් වුණත් ඒක හැදිලා හෝ බලෙන් හදලා හෝ ඒ ක්‍රියාවලිය සිදුවෙන්නේ යම් ශක්තියක් සහ ස්කන්ධයක් අන්තර්ක්‍රියා කිරීමෙන් . ඒ අන්තර් ක්‍රියාවට මිනිස්සු , පරිසරය වායුගෝලය විද්‍යාඥයෝ විද්‍යාගාර හැමදේම අදාළ වෙනවා .

මේ ශක්ති ස්කන්ධ පැවැත්ම එහෙම අසමතුලිත වීම වීම සෞරග්‍රහ මණ්ඩලයේ ඔය ධූමකේතුව නිසා වුණා වෙන්නත් පුළුවන් නොවුනා වෙන්නත් පුළුවන් . ඒක අපිට ඇහැට පෙන්නේ නැති නිසා කියන්න බැහැ . ඒත් ධූමකේතුව පෙනීම ඔය වගේ වසංගත තත්වයක් ඇතිවෙනවා කියන එකට යම් පෙරනිමිත්තක් වුණා වෙන්න පුළුවන් .

2019 ඔය පොළවට ලඟා වුණා කියන ඇට්ලස් ධූමකේතුව වෙනදාට වඩා පොලව දෙසට ඇදිලා එනවා වගේ කොළ පාටට හුරු පාටකින් තමයි පෙනිලා තියෙනවා කියලා තාරකා විද්‍යාඥයින් කියන්නේ .

ඒ නිසා මේ වසංගතයට වල්ගාතරුවේ පෙනීම සලකුණු කිරීමක් වුණා වෙන්න පුළුවන් . ඒත් මේක වල්ගාතරුවෙන් ම ආව වයිරසයක් කියලා ජ්‍යෝතිෂ විශය ඔස්සේ කීම සාධාරණ හෝ අඩුම තරමේ නිවැරදි භාවය 50% 50% සීමාවේවත් වලංගු කරගන්න බැහැ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment