සිංහල අවුරුද්දට කිරිබත් කන්නේ ඇයි ?





වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම මානසික සමාජීය ආර්ථික වශයෙන් සියල්ල බිංදුවටම කඩා වැටිලා තියෙන වෙලාවක ලංකාව අවුරුදු සැමරීම සදාචාර සම්පන්නද කියන ඇත්තටම ප්‍රශ්නයක් .


මිය ගිය සංඛ්‍යාව මේ වෙනකොට 100 000 පසු කරලා තියෙනවා . ලෝකයේම මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා තියෙන වෙලාවේ අපි කොහොමද අවුරුදු කන්නේ ? . ඕක තමයි හැමෝම මේ වෙනකොට හිතන ප්‍රශ්නය වෙන්නේ . 


ඇත්ත . අපි සිංහල අවුරුද්ද වෙනුවෙන් මේ අවුරුද්දේ අලුත් ඇඳුම් ගත්තේ නැහැ . සෙරෙප්පු සපත්තු ගත්තේ නැහැ . රතිඤ්ඤා ගිණිකෙලි මොකවත් ගත්තේ නැහැ . ඇත්තටම ඒවා විකුණන්න වත් මේ වෙනකොට කඩවල්වල ඇත්තේත් නැහැ . 


සමහරුන්ට මේ වෙනකොට අවුරුදු දැනෙන්නේ නැත්තේ බාර් සියල්ලම මේ වෙනකොට වහලා තියෙන නිසා . ඔය විවිධ ආකාර වලින් අගතියට පත්වෙලා ඉන්න පිරිස තමයි අවුරුදු නෑ අවුරුදු නෑ කියලා කෑගහන්නේ .







ඔය කවුරු කිව්වත් සූර්යයා තමන්ගේ මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වීම කරනවා . 


සිංහල අවුරුද්ද කියලා කියන්නේ සූර්යයාගේ ගමන අලුත් වීමට . අපිත් අපේ ගමන අලුත් කරන්නේ එදාට . ඒකට කොරෝනා බාධාවක් වුණාට මම දකින විදියට කිරිබත් කන්න කොරෝනා බාධාවක් වෙන්නේ නැහැ . 


සිංහල අවුරුද්දට කිරිබත් කන්න කියලා පුරුදු වෙලා තියෙන්නේ ඇයි කියලා බහුතරයක් අය දන්නේ නැහැ . හැමෝම වගේ හිතාගෙන ඉන්නේ කිරිබත් කන්නේ සතුටට කියලා . මොකද මගුල් ගෙවල් වල , උත්සව වලදී , යුද්ධ ඉවර වුණාම , ජනාධිපතිලා පත් වුණාම , ඡන්ද දින්නාම එහෙම කිරිබත් හදන නිසා . 


ඇත්තටම කිරිබත් කියන්නේ සතුටට කන දෙයක් නෙවෙයි . ශරීරයට අත්‍යාවශ්‍ය සිසිල් බව අවශ්‍ය වෙලාවට ආහාරයට ගන්න නියම කරලා තියෙන ආහාරයක් . ඌෂ්ණ ආහාර ගත්තම කිරිබත් කනවා සමහරු . සමහරුන්ගේ උපතින්ම ශරීරය ඌෂ්ණ උනාම කිරිබත් කනවා . දරුඵල අහිමි සමහරු කේන්දර බලවන්න දුන්නම එයාලාගේ ග්‍රහ බලපෑම් මත ශරීරය ඌෂ්ණ වෙනකොට නියම කරන්නේ කිරිබත් කන්න කියලා . ඒවගේ සිසිල්කාරක ගුණයක් කිරිබත්වල තියෙනවා . 


ජ්‍යෝතිෂ විද්‍යාවේ මනුෂ්‍ය ශරීරය ග්‍රහයින්ට බෙදා දක්වනවා . ඒ වගේම තමයි රාශි චක්‍රයට අදාළව ශරීර කොටස් බෙදා දක්වනවා . ඊටත් අමතරව කේන්දරේ කොටු 12 ට ශරීර කොටස් බෙදා දක්වනවා . මේ අනුව බලනකොට ශරීරයේ සම්පූර්ණ පැවැත්ම කියන දේ ජ්‍යෝතිෂ අනුව විග්‍රහ කරන්න පුළුවන් . 


ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව එකිනෙකා සම්බන්ධ වෙන්නේ අන්න එතනින් තමයි . නැතුව ජ්‍යෝතිෂ කියන්නේ හිත හදන අනාවැකි කියන විෂයක් ම නෙවෙයි . මානවයාගේ ශරීරයේ පැවැත්ම නිසියාකාරව ගෙනියන්න පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මහා භූත කොටස් පහේ පැවැත්ම ගැන පරීක්ෂා කරලා දුර්වලතා නිවැරදි කරන විෂයක් . 


සූර්යයා ඔන්න දැන් රාශි 12 ගමන් කරලා රවුමක් කැරකිලා සිංහල අවුරුද්ද දවසට මේෂ රාශියට සම්ප්‍රාප්ත වෙනවා . මීන මේෂ රාශි දෙක අතරේ තියෙන සන්ධියේදී නැකත් 27 ත් අලුත් වෙනවා . මේෂ රාශියේ පළවෙනි අංශකය අස්විද නැකතේත් පළවෙනි අංශකය වෙනවා . 


ඒ අනුව බලනකොට රවී ග්‍රහයා මේෂ රාශියට හිමි මනුෂ්‍ය මොළය , හිස , ඇස් , මුහුණ නිකට , බෙල්ල කියන ප්‍රධාන ඉන්ද්‍රියයන් වලට බලපෑම් කරන ආකාරයට සකස් වෙනවා . ඒවගේම තමයි රවි ග්‍රහයාට හිමි අස්ථි පද්ධතිය , හෘදය , රුධිර සංසරණ පද්ධතිය , ධමනි , ජීව ශක්තිය , පිරිමින්ගේ දකුණු ඇස , ගැහැණුන්ගේ වම් ඇස , කොඳු ඇට පෙලිය කියන ශරීර අවයව වලටත් සෘජුවම බලපෑම් කිරීම කෙරෙනවා . 


රවි තමයි ප්‍රධානම ඌෂ්ණ ග්‍රහයා . මේ වගේ ඌෂ්ණ ග්‍රහයෙක් තමන්ගේ උච්ච බලය හිමිවෙන ස්ථානයට ආවම තමන්ගේ ශක්තිය උපරිමයෙන් පොලවට සාපේක්ෂව මුදාහරිනවා . උච්ච වෙනවා කියන්නේ අස්විද නැකතට අයත් තරු රටාවේදී සූර්යයාගේ ශක්තිය සහ අස්විද නැකතේ තරු රටාවේ ශක්තිය මිශ්‍ර වීමෙන් බලවත් සූර්ය කිරණ නිකුත් වීම . 






මේ නිසා මනුෂ්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වය අධික වෙනවා . ශ්‍රාවයවීම් සිදුවෙන ස්ථානවල ශ්‍රාවය වීම් අධික වෙනවා . මේ වෙනකොට නොනගතයේදී අපි කෑම සහ වතුර නොගෙන ඉඳලා ආමාශයේත් අධික ඇසිඩ් සාන්ද්‍රණයක් ඇතිවෙලා තියෙනවා ඇසිඩ් එකතුවෙලා . 

අවුරුද්දෙම වැඩ කරලා කරලා ආමාශයට මේ දෙන නිවාඩුවෙන් ආමාශය අලුත් වෙනවා . අලුත් වෙච්ච ආමාශයේ තියෙන ප්‍රභල ලෙස ජීර්ණයට සැරසී ඉන්න ඇසිඩ් වලට ඒ ඌෂ්ණ ගතිය පහව යන්න පුළුවන් හොඳ ආහාරයක් වැටෙන්න ඕන පළවෙනි ආහාරය විදියට . 


අන්න ඒ නිසා තමයි සිංහල අවුරුද්දේ ඉස්සෙල්ලම කිරිබත් කන්නේ නැකතට . නැතුව සතුටු වෙන්න නෙවෙයි කිරිබත් කන්න කියලා තියෙන්නේ . තමන්ගේ ශරීරය නිරෝගී වෙන්න මේ ආහාර රටාව බලපාන නිසා . මේ සිරිත් විරිත් සංස්කෘතිය එක්ක බද්ධ කරගෙන දැඟලුවට මේවාට තියෙන්නේ ජීව විද්‍යාත්මක ආයුර්වේදීය සහ ජ්‍යෝතීර්වේදීය පදනමක් . 


ඒ නිසා මම දකින විදියට වෙනදා විදියට අවුරුදු සමරුවේ නැති වුණාට නැකතට කිරිබත් කෑවා කියලා මිය ගිය ජනතාවට අසාධාරණයක් හෝ අගෞරවයක් වෙන්නේ නැහැ . කිරිබත් කියන්නේ කෑමක් විතරයි කියලා මතක තියාගන්න . ඒ කෑමෙන් තමන්ගේ ශරීරය සුවපත් වෙනවා කියලාත් , වෙනදා කිරිබත් කනවට වඩා අවුරුද්ද දවසේ කිරිබත් කෑම අනිවාර්ය දෙයක් කියලාත් මතක තබාගන්න . 


ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
කොරෝනා උවදුරින් ලෝකයම මිදේවා !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment