පොළොස් ව්‍යංජනය






මේ දවස්වල වයලීනෝ සූප ශාස්ත්‍රය පිළිබඳව වැඩිදුර අධ්‍යනයක යෙදිලා ඉන්නේ . මොකද කියනවනම් බැරිවෙලාවත් ලුණු තුනපහ දාගන්න බැරි බවලතියක් අපේ ගෙදර යතුරු කැරැල්ලට උරුමකම් කියාගෙන ආවොත් ඒකිට බම්බු ගහගන්න කියලා මම මට ඕන කෑම හදාගෙනවත් කන්නෙපාය හිටං . ඒ නිසා මම සියලු උයන්න බැරි කෙල්ලන්ගේ කොල්ලන් වෙනුවෙන් අද ඉඳලා පටන් ගන්නවා කෑම සූත්‍ර කියන කැටගරිය යටතේ කෑම වර්ග නිවසේදීම සාදාගන්නා ආකාරය පිළිබඳව පාඩම් මාලාවක් . මේක පිරිමින් සඳහා විශේෂ වන අතර ගෑණු පාර්සවේටත් ඕනනම් ඔලුව දාලා යන්ට පුළුවන් .

ඉතින් මචංලා ඉස්සෙල්ලාම පොළොස් ව්‍යංජනය හදන්න කලින් අවශ්‍ය කළමනා ටික ලං කරගෙන කෙල්ලව කුස්සියෙන් එළවලා ඉන්න ඕන . මොකද ඔව්වා ඉගෙනගත්තොත් කෙල්ල අපිට පස්සේ දවසක කලර්ස් පෙන්නන්න බැරි නැහැ . ඔන්න එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය

පොළොස් ගෙඩි එකක් ( ඇඹුල හදන්න හොඳ වයසක )
පොල් ගෙඩි එකක්
කබලේ රත්කරගත් මිරිස්කුඩු මේස හැඳි 4
තුනපහ කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු ජුන්ඩක්
කහ කුඩු ජුන්ඩක්
උළුහාල් ජුන්ඩක්
ලුණු ජුන්ඩක්
රතුළූණු 15g විතර
උම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ 15g විතර
අමුමිරිස් කරල් 4ක්
කරාබුනැටි 5ක් 6ක් විතර
සුදුළූණු බික් 5ක් විතර
ගොරක කැබලි හතරක් විතර
රම්පෙ කොළ එකක්
කුරුඳු පොතු කෑලි එකක් ( කුඩුජුන්ඩක් නම්  වඩා හොඳයි , නැත්නම් කනකොට ඕක හැපෙනවා මල වදේ )
කරපිංචා කිනිති දෙකක්

මේවා එහෙන් මෙහෙන් ලං කරගෙන මෙන්න මෙහෙමයි දැන් හදන්න ගන්නේ හරිද .

ඉස්සෙල්ලම පොළොස් ගෙඩියක් ගහෙන් කඩාගෙන හිටං හොඳට හෝදලා ගෙඩිය අඟල් එකක් විතර ගණකම් පෙති පෙති කපන්න . දැන් ඉතින් මචංලා , ගොන් ප්‍රශ්න අහන්නෙපා පොතුගැහුවේ නැ නේද කියලා . නෑ තමයි . පෙති කපලා ඉවරවෙලා පොතු කපන්න වටේට වටේට . ඊටපස්සේ මේ පොළොස් රවුම් වලින් , රවුමක් කෑලි අටක් වෙන විදියට හරහට කපලා ගත්තම නිකන් හැපිකවූ චීස් පෙට්ටියේ චීස් කෑලි වගේ පේනවා . මේ කෑලිවල තියෙනවා හීනිම පැත්තේ පොළොස් ගෙඩියේ නහල්ල කියල කොටසක් . මේකෙන් භාගයක් විතර කපලා ඉවත් කරගන්න ඕන . නැත්නම් ඒක හයියට හැපෙනවා . ඊට පස්සේ මේ කෑලි ඔක්කොම කපාගත්තට පස්සේ හොඳට හෝදලා පැත්තකින් තියාගන්න .

දැන් පොල් ගෙඩිය ගාලා බ්ලෙන්ඩර් කරලා පළවෙනි මිටිකිරි ටික පැත්තකින් තියන්න . ඊට පස්සේ ආයෙත් බ්ලෙන්ඩර් කරලා දියකිරි අරගෙන මේ දියකිරි ටිකයි මිරිස් කුඩු තුනපහ කහ ගම්මිරිස් උළුහාල් සහ කුරුඳු පොතු එක්ක මැටි වලඳකට පොළොස් කැබලි ටිකත් එක්ක දාන්න . ඊට පස්සේ ගොරකා කරාබුනැටි සුදුළූණු ගලේ තලලා දාන්න . මම කිව්වේ මිරිස් ගලේ දාලා තලලා දාන්න කියලා . ඊට පස්සේ රතුළූණු අමුමිරිස් උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ රම්පෙ කරපිංචා කෑලි කපලා දාලා ලිපේ තියලා හොඳට ගින්දර දාන්න . පොළොස් කෑලි තැම්බෙනකල් මෙහෙම ගින්දරේ තම්බන්න ඕන . ආ මතක ඇතුව ලුණු ටිකකුත් දාන්න පොළොස් කෑලි වලට ලුණු රහ වදින්නත් එක්ක .

පොළොස් කෑලි තැම්බිලාද නැත්ද කියලා බලන්න පොළොස් කෑල්ලක් අරගෙන අර නහල්ල කපා දාපු පැත්තේ පොඩ්ඩක් තද කරලා බලන්න එබෙනවද කියලා . තැම්බිලානම් එව්වා නිකන් මෙව්වා වගේ එබෙනවා . ඊට පස්සේ ගින්දර අඩු කරලා මිටි කිරි ටික දාගන්න . ඊට පස්සේ මද ගින්නේ පොළොස් ටික පිස ගන්න . මද ගින්නේ ටික වෙලාවක් තියලා හොඳට පිසගෙන ලුණු රහ බලලා ලුණු මදිනම් තව ටිකක් දාලා වැඩේ ගොඩ කියලා කන්ෆර්ම් උනාම ලිපෙන් බාලා පැත්තකින් තියාගෙන බත් කන වෙලාවට කෙල්ලට දෙන්නේ නැතුව තනියම බෙදාගෙන කන්න . මොකද හදන්න දන්නේ නැත්නම් කන්නත් ඕන නෑ කියලා කෙල්ලට කියන්න . කවුද කිව්වේ ඇහුවොත්  මියැසියේ රසකතා ලියන වයලීනෝට සිංදුවා කියලා , ඒක වයලීනෝ පෝස්ට් එකකින් කිව්වා කියන්න .

සමහර පැතිවල පොළොස් රෑ එළිවෙනකල් තම්බලා පොළොස් ඇඹුලක් හදනවා . එව්වා හදනහැටි පස්සේ දවසක දාන්නම් . මෙන්න මේකත් ප්ලේ කරලා යන්න .

පුංචි කාලේ පොළොස් කියලා
ලොකු වෙනකොට කොස් කියනවා
පැණිවරකා රස විඳ විඳ
පොරවෙන් කල ගුණ පුදනව
බත් ගහ කොස් ගහ දෙන්න එකයිනේ 
බත් ගහ කැපුවොත් අපි ඉවරයිනේ

වැඩ බැරිනම් පොළොස කියලා
ගමේ ඈයෝ පද බඳිනවා
අරටුව හොඳ කෙලින් හැදෙන කාටත් රට හිස නමනවා
කිරි කොස් අටුකොස් පොළොස් මැල්ලුම්
කාපු ගුණයටයි කොස් ගහ කැපුවේ

කොස් නොදන්න මහත්වරුන්
කොස් ගැන මහ පොත් ලියනවා
පානදුරේ කොස් මාමා සහශ්‍රකයටත් වටිනවා
කිරි කොස් අටුකොස් පොළොස් මැල්ලුම්
කාපු ගුණයටයි කොස් ගහ කැපුවේ

පද රචනය -
තනුව -
ගායනය -





ඔබ සැමට කෑම බීම මුරුතැන් වලට අරක්ගත් දේවතාවාගේ පිහිටයි .





වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment