සෙනසුරු මාරුව සහ මත මාරුව





ලංකාවේ අද පවතින ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් දුර්වලයි කියලා බය නැතුවම කියන්න පුළුවන් . මොකද ගුරු මුෂ්ටි සහ යම් යම් පාරම්පරික රහස් භාෂා වලින් ලියවෙච්ච සිංහල ජ්‍යෝතිෂ ග්‍රන්ථ නිසා ඒ කාලයේ හිටපු කොත්මලේ ගණිතයා චන්ද්‍රාභරණ ගණිතයා දොඩම්පේ ගණිතයා පුස්කොලමංකඩ ගණිතයා වගේ ගණිත පරම්පරාවලට අයත් අය තමන්ගේ ප්‍රායෝගික ඥානයෙන් සහ එකතුකරගත්ත දැනුම ලියවිච්ච පොත් පත් කියවන්න බැරි වීමත් ඒවා ඉදිරිපරපුරවල් වලට නොලබීමත් නිසා .

ඒ කාලයේ පංචාංග ලිත් තිබුණේ නැහැ . ඒත් ඒ කාලයේ කිව්ව අනාවැකි සීයට සීයක්ම සාර්ථක වුණා . ඒවගේම තමයි නැකත් ශාස්ත්‍රය ඉතාමත් දියුණු තැනක තිබුණා කියලා තොටගමුවේ හාමුදුරුවන්ගේ වැඩ කටයුතු වලින් තේරුම් ගන්න පුළුවන් .

ඉන්දියාවේ පහළවෙච්ච ශක කියන රජුගෙ උත්පත්ති කතාව ඉතාම වැදගත් අවස්ථාවක් තමයි මේ නැකත් බලය කියන දේ සනාථ කරන්න . අදටත් ශක රජුගේ නම ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හසුරුවන අය සටහන් කරනවා කේන්ද්‍ර සටහන්වල . මට කියලා කේන්දර සටහන් හදවාගත්ත අයට අහුවෙලා ඇති ඒ කේන්දරේ ලියන්න පටන් අරගෙන තියෙන්නේ " සකලවිධ ජ්‍යෝතිෂ ශාස්ත්‍රය දිව්‍ය නේත්‍රයක් හා සමාන වූ ශ්‍රී ශුද්ධ ශාලි වාහන ශක රාජයාණන්ගේ වර්ෂ ප්‍රමාණයෙන් " කියලා . 

ඒ ශක රාජයාගේ නමට කරන ගෞරව දැක්වීමක් විදියට තමයි ඒක කරන්නේ . මොකද වර්තමානයේ පවතින ජ්‍යෝතිෂ දැනුමේ පුරෝගාමීන් විදියට කටයුතු කරපු වරහාමිහිර වගේ ආචාර්යවරුන් ඉඳලා තියෙන්නේත් මේ රජතුමාගේ රාජ සභාවේ කියලා කියවෙන නිසා . එච්චර කාලයක් මේ රජුගේ නම පවතින්න හේතු වුණා කියලා කියන්නේ එතුමාගේ උපන් නැකත සම්බන්ධව තියෙන විශේෂත්වය නිසා . 

හෙනරාජ තෙල් වගේ තෙල් වර්ග හිඳින්න යම් යම් නැකත් බැලීම් කරන්න අවශ්‍ය වුණා . ඒ දේවල් වලදී හරියටම නැකත් බලයත් තිබුණු නිසා තමයි ඒ කාලයේ ඒ බෙහෙත් වර්ගවල බලය හරියට පැවතිලා තිබුණේ . ඒ අය කොහොමද මේ ගණනය කිරීම් කරේ ? . කාටත් ප්‍රශ්නයක් තමයි ඒක . ඒත් ඒ රහස් සේරම සැඟවිලා තියෙනවා .

හැබැයි මේ අය නිතරම අහස පරීක්ෂා කරා කියලා අපිට අමතක කරන්න බැහැ . අද කාලේ නැකත් ශාස්ත්‍රය ලිතට සීමාවෙලා තිබුණත් ඒ කාලයේ හිටපු ගණිතයින් අහස පරීක්ෂා කරලා තමයි ඒ ඒ තරු රටා වලට ග්‍රහයින් කොහොමද බලපෑම් කරේ කියලා බලලා අනාවැකි කීම සිදුකරේ . කොටින්ම කියනවානම් ග්‍රහයින්ගේ වර්ණයේ වෙනස් වීම පවා සැලකිල්ලට අරගෙන තමයි අනාවැකි කියලා තියෙන්නේ .

එතකොට ප්‍රශ්නයක් එනවා රෑට නම් අවුලක් නැහැ අහසේ තරු පේන නිසා , ඒත් දවල්ට කොහොමද තරු බලන්නේ කියලා . ඒකට තමයි මහා හිරු දැපන තෙල් වගේ තෙල් වර්ග තිබිලා තියෙන්නේ . ඒවගේම අංජනම් වර්ග නිපදවලා තියෙන්නේ . ඒ දේවල්වල බලයෙන් එයාලා දවල් කාලයේත් අහසේ තරු පරීක්ෂා කරා කියල අපිට ඉතිහාසගත සාක්ෂි වලින් පිළිගන්න පුළුවන් . 

මේ විදියට පරීක්ෂා කරපු ග්‍රහ ගමන් වලින් හැමෝම වගේ විශේෂයෙන් බලන ග්‍රහ ගමනක් තමයි සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ ගමන . මේ ග්‍රහ ගමන ලේසි පහසු එකක් නෙවෙයි අද වෙනකොට ගොඩක් දෙනෙක් ඒක විහිළුවට අරගෙන තිබ්බට . අද ( 2017 10 26 ) වෙනිදා සිදුවුණු සෙනසුරු ග්‍රහයාගේ වෘශ්චික රාශියෙන් ධනු රාශියට සම්ප්‍රාප්ත වීම වෙනුවෙන් තමයි මේ ලිපිය යම් දැනුවත් කිරීමක් වෙනුවෙන් ලියන්න ඕන කියලා හිතුවේ . 

සෙනසුරු කියන්නේ කෲර දුෂ්ට ග්‍රහයෙක් . ඒවගේම තමයි දුකට අධිපති වෙන්නෙත් සෙනසුරු . කොහේ හරි සෙනසුරු ගෑවිලා ඉන්නවානම් කවුරුත් ඒ ගැන විමසිල්ලෙන් බලනවා . මොකද පොදුවේ මතයක් ඇතිවෙලා තියෙන්නේ සෙනසුරු කියන්නේ අපල දෙන කෙනෙක් තමයි කියලා නිසා . ඒත් සෙනසුරු කියන්නේ හැමවෙලේම අපල දෙන කෙනෙක් නෙවෙයි . යම් යම් අයගේ උපන් තත්වය අනුව සෙනසුරු කියන්නේ ප්‍රධානතම සුබ පළ ලබාදෙන ග්‍රහයා කියලත් කියන්න පුළුවන් අවස්ථා තියෙනවා . 

ග්‍රහයින් කියන්නේ මනුෂ්‍ය චරිත කියලා හිතුවොත් මේ රාශි 12 කියන්නේ ගෙවල් කියලා නම් කරන්න පුළුවන් . ඒ ඒ ගෙවල් වලට ඒ ඒ ග්‍රහ චරිත සම මිත්‍ර සතුරු නීච උච්ච වෙනවා කියලා වෙන් කරලා තියෙනවා . ඒ සංකල්පය සරළව විස්තර කරනවානම් මෙහෙමයි වෙන්නේ . 

දැන් ඔන්න අපි යන්න අකමැති සතුරු ගෙදරක් තියෙනවා . ඒත් අපිට යන්න වෙනවා . ඒ නිසා අපි ඒ ගෙදරට ගියාට අපි එතන ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි . මූණිච්චාවට හිනා වුණාට හිතේ තියෙන්නේ අකමැත්තක් තරහක් . ඒ නිසා ඒ ගෙදර දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ . අන්න ඒවගේ තමයි සතුරු රාශිවලට ග්‍රහයින් ගියාමත් . ඒ ග්‍රහයින් ඉන්නේ අකමැති තත්වයක . ඒ නිසා ග්‍රහ බලපෑමත් මිනිස්සුන්ට ලැබෙන්නේ අන්න ඒවගේ .

ඒ නිසා සෙනසුරු අසුබ කෙනෙක් වුණත් එයා සුබ පළ දෙන අවස්ථාත් තියෙනවා . වෘශ්චික රාශියේ සතුරු තත්වයේ හිටපු සෙනසුරු දැන් හොඳත් නැති නරකත් නැති තැනකට තමයි ආවේ .

සෙනසුරු නිසා ඇතිවෙන " සස " කියන මහා පුරුෂ යෝගය එහෙම හරියාකාරව පිහිටලා තියෙනවානම ඒ කෙනා ධනයෙන් බලයෙන් පිරිවරින් සපිරි කෙනෙක් වෙනවා කියලා කියවිලා තියෙනවා . ඒ නිසා සෙනසුරු කිව්ව පලියටම බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ වගේම තමයි ජ්‍යෝතිෂයට ගරහන්න සෙනසුරු අවියක් කරගන්නත් එපා . 

මොකද සමහර අය කියනවා කේන්දරේ බලවන්න ගියොත් කියන්නෙම සෙනසුරු අපල තියෙනවා කියලා . ඒ නිසා කේන්දර බලවලා වැඩක් නැහැ කියලා . ඉතින් අපල තත්ව තියෙනවානම් ඒවා නොකියා ඉඳලා වැඩක් නැහැනේ . ඒවා කියලා ඒවාට ප්‍රතිකාර කියලා දෙන එක තමයි කේන්දරේ බලන කෙනාගේ වගකීම වෙන්නේ . මේ ළඟදී ඔයවගේ දෙයක් මට සිද්ධ වුණා . 

එක්සත් රාජධානියේ පුරවැසි භාවය ලබාගෙන ඉන්න කෙනෙක් තමන්ගේ බිරිඳගේ කේන්ද්‍ර සටහන එවලා මම ඒක බලලා යවලා පස්සේ ඒ ගැන කතා කරන වෙලාවේ ඒ කෙනා කිව්වා මාත් එක්ක මෙයාට සෙනසුරු අපල තියෙනවා කියලා කවුරුත් කිව්වේ නැහැනේ කියලා .

මම ඊට පස්සේ ඇහුවා කවුද ඔය කේන්දරේ කලින් බැලුවේ කියලා . ඒ වෙලාවේ ඒ කෙනා කිව්වේ ලංකාවේ සුප්‍රසිද්ධ දක්ෂ ජ්‍යෝතිෂ වේදියෙක්ගේ නමක් . එයා සහ එයාගේ පුතා මේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරා . ඒ දෙන්නම ඒ ගැන කිව්වේ නැහැ කියලා . 

ඊට පස්සේ මම කිව්වා මටනම් ඒ කතාව අදාළ වෙන්නේ නැහැ . කිව්වත් නැතත් මේ මේ දේවල් ඉස්සරහට වෙයි . ඕන නම් ටෙස්ට් කරලා බලලා ඒ අවුරුදු ගානෙන් පස්සේ කතා කරන්න කියලා . 

ඒ කේන්ද්‍ර සටහනේ ගැබ්ගෙල පිළිකා තත්වයක පෙරනිමිති තිබුණා . ඉතින් ඒ සම්බන්ධව තමයි මම අදහස් දක්වලා තිබ්බේ . මෙන්න මේ කාලයේදී මේ තත්වය එනවා . ඒ නිසා ඒ කාලයේදී පරෙස්සම් වෙන්න සහ පරීක්ෂා කරවාගන්නවානම් හොඳයි කියලා . 

පස්සේ දවසක මට ඒ කෙනාගෙන් ආයෙත් ඇමතුමක් ලැබුණා . ඒ වෙලාවේ කිව්වේ මේ දේ වෙන්න ජානමය වශයෙන් නම් යම් සම්භාවිතාවයක් තියෙනවා කියලා ඔප්පු වුණා කියලා . මම ඇහුවා ඇයි ඒ කියලා . එතකොට කිව්වා ඒ පවුලේ කාන්තා පක්ෂයේ වැඩි දෙනෙක්ට ගැබ්ගෙල පිළිකා ඇතිවෙලා තියෙනවා . ඒ නිසා මෙයාටත් ඒ දේ ඇතිවෙන්න පුළුවන් කියලා පවුලේ අයත් එක්ක කතා කරාම හොයාගන්න ලැබුණා කියලා . මම ඉතින් ඊට පස්සේ කිව්වා පරීක්ෂා කරවන එක කෝකටත් හොඳ නිසා ඒ ඒ කාල වලදී පරීක්ෂා කරලා බලලා අපල වලට කරන දේවල් කරන ගමන් ඒවාට ඕන වෛද්‍ය ප්‍රතිකාරත් කරගන්න කියලා . 

බය නැතුව මම මෙහෙම කිව්වත් පස්සේ මම කල්පනාකරා ඒ ජ්‍යෝතිෂ ප්‍රභලයින්ට මම අභියෝග කරාවත්ද කියලා . ඒත් ඊට පස්සේ මට කල්පනා වුණේ සෙනසුරු අපල කියලා කිව්වට දැන් මිනිස්සුන්ට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන නිසා වෙන දෙයක් වෙන්න කියලා ඒක නොකියා ඉන්න එක හොඳයි කියලා ඒ අය ඒක කියන්නේ නැතුව ඇති කියලා . මොකද සමහරවිට සෙනසුරු අපල තියෙනවා කියලා කිව්වොත් ඒ කෙනාව උපහාසයට ලක් වෙන්න ඉඩ තියෙනවා කියලා එයාලා හිතන්න ඇති . 

ඇත්ත තමයි ඒ කතාව . මොකද මම අර කලින් කිව්වා වගේ හැමෝම දොස් කියන්නේ හැම වෙලේම සෙනසුරු අපල කියලම තමයි කියන්නේ කියලා . ඒත් ඒ අයට තමන්ගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් විශ්ලේෂණය කරලා බැලුවානම් තේරුම් ගන්න තිබ්බා මොකක්ද අවුල කියලා මේ සෙනසුරු කරන . 

සෙනසුරු අවුල් දාලා තියෙන්නේ අද ඊයෙක නෙවෙයි . මට කියවන්න ලැබුණු ඉතිහාස කතා එක්ක සෙනසුරු මුල කාලෙත් ජ්‍යෝතිෂ විද්‍යාවට පවා කරදර කරලා තියෙනවා . මාරයා බුදුන්ට කරදර කරේ කොහොමද ? , අන්න ඒ වගේ සෙනසුරුත් ඒ ඒ අවස්ථා වලදී ජ්‍යෝතිෂ විද්‍යාවට කරදර කරලා තියෙනවා . සෙනසුරු දෙවියෙක් කියලා කියනවා , සෘෂි වරයෙක් කියලා කියනවා . ඒ කෙසේ වෙතත් මේ කතාවේ තියෙන ජ්‍යෝතිෂ සංකල්ප අනුව නම් කතාවත් චරිතත් ඇත්ත වෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා . 

සුරගුරු එහෙමත් නැත්නම් බ්‍රහස්පතී කියන චරිතය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ සකලවිධ ශිල්පයන්ගේ ගුරුවරයා විදියට හඳුන්වන්නේ . ජ්‍යෝතිෂ විද්‍යාව ඇතිකරපු සෘෂි මණ්ඩලයේ ප්‍රධානියා විදියට කටයුතු කරලා තියෙන්නෙත් මේ සුරගුරු තමයි . ඒ නිසා මෙයා ළඟ වෙන කාටවත් කියලා දුන්නේ නැති රහස් ටිකක් තිබිලා තියෙනවා . ඒවා තල්පත් වල ලියලා වෙනමම තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ . 

මේ විද්‍යාව නිසා මිනිස්සු දුක් විඳින එකෙන් අත්මිදිලා සැප විඳිනවා කියලා සෙනසුරුට දැනිලා තියෙනවා . ඒ නිසා සෙනසුරු වෙනත් කෙනෙක්ගේ වෙස් අරගෙන මේ සුරගුරුගේ ආශ්‍රමයට ඇවිත් සුරගුරුට ආවතේව කරගෙන ඉඳලා තියෙනවා යම් වෙලාවක් ආවම මේ ශාස්ත්‍රය විනාශ කරන්න ඕන කියලා . හැබැයි සෙනසුරු මුලදී ඉඳලා තියෙන්නේ බොහොම හොඳට වැඩ කරගෙන . ඒ නිසා සුරගුරු සෙනසුරු ගැන පැහැදිලා හැම රහසක්ම එයා එක්ක කියලා තියෙනවා . අර මම කිව්ව ජ්‍යෝතිෂ විද්‍යාවේ යම් යම් රහස් ලියවිලා තිබුණු තල්පත් තිබුණු තැනත් පෙන්නලා තියෙනවා . 

සෙනසුරු කල්පනා කරා මේ තියෙන තත්වය අනුව අර තල්පත් විනාශ කරානම් ඒ ශාස්ත්‍රය ඉදිරියට යන එකක් නැහැ කියලා . මෙතන තිබිලා තියෙනවා තල්පත් 360 ක් . ඒ තල්පත්වල තිබිලා තියෙන්නේ නැකත් 360ක් සහ ඒවායේ ප්‍රායෝගික යොදාගැනීම් ගැන . සෙනසුරු කරලා තියෙන්නේ සුරගුරු නැති වෙලාවක මේ තල්පත්වලට ගිණි තියපු එක .

ඒ වෙලාවේම සුරගුරු තමන්ගේ ආශ්‍රමයට ඇවිත් තියෙනවා . තමන්ගේ ගිණි ගන්නා තල්පත් වලින් බේරාගන්න ලැබිලා තියෙන්නේ 27 ක් විතරයි . අනිත් සේරම ගිණිගෙන තියෙනවා . ඊට පස්සේ ආශ්‍රමයෙන් පැනලා ගියපු සෙනසුරු හොයාගෙන ගියපු සුරගුරු තමන්ගේ අතේ තිබුණු ත්‍රී ශුලයෙන් සෙනසුරුට පහර දීලා තියෙනවා . ඒ ත්‍රී ශූල පහර වැදිලා තියෙන්නේ සෙනසුරුගේ වම් පාදයට . ඒ නිසා සෙනසුරු සදාකාලික කොර තත්වයට පත්වෙලා තියෙනවා වම් කකුල කැඩිලා . තුවලයත් ඉතුරුවෙලා තියෙනවා සුවපත් වෙන්නේ නැතුවම . 

අද වුණත් සෙනසුරු ලබනවා කිව්වම ශරීරයේ වම් පැත්ත පරෙස්සම් කරගන්න කියලා කියන්නේ ඒ නිසා . ඒවගේම තමයි අද 27 ක් ( අභිජිත් නැකත සමග 28 ක් ) විදියට ඉතුරුවෙලා තියෙන නැකත් ගණන ඒ දක්වා අඩුවෙලා තියෙන්නේ සෙනසුරු කරපු ඒ අදම ක්‍රියාව නිසා කියලා තමයි පිළිගන්නේ . අන්න එහෙමයි සෙනසුරු ආශ්‍රමයෙන් මාරුවෙලා තියෙන්නේ . 

ශාස්ත්‍රයට විරුද්ධ වෙච්ච සෙනසුරු මනුෂ්‍යයාට බලපෑම් නොකර ඉඳියි කියලා කියන්න බැහැ . ඒවගේම තමයි හැම වෙලේම සෙනසුරු කරදර කරන්නෙත් නැහැ . දුක් දෙනකොට දෙනවා වගේමයි සැප සම්පත් දෙනකොටත් ඒවා දෙන්නේ . ඒ නිසා සෙනසුරු එහෙම ලේසියෙන් අඳුර ගන්න පුළුවන් චරිතයක් නෙවෙයි . ඒ නිසා පොදුවේ ජ්‍යෝතිෂ විද්‍යාවට ගරහන්න සෙනසුරු අවියක් කරගන්න එක ගැන නැවතත් හිතලා බලනවානම් තමයි හොඳ . ඒවගේම තමන්ගේ පටු මතය අවුරුදු 6000 ක් තිස්සේ ආරක්ෂාවෙලා ආපු විෂයකට ආරෝපණය කිරීමත් දෙපාරක් හිතලා බලන්න . ජ්‍යෝතිෂය කියන්නේ ආයුර්වේදයේ අනිත් පළුව . මේ දෙකෙන් තමයි පංච මහා භූතයින්ගේ සමතුලිතය පවත්වාගෙන මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සහවුරු කරගෙන තියෙන්නේ . 

ගැටළුව තියෙන්නේ අද වෙනකොට ගහක් ගලක් ගානේ මේ විෂය හසුරුවන අය ඉන්න එක . ඒ කාලේ නම් ඒවා ඒ ඒ පරම්පරාවලින් විතරයි ආවේ . ඒ නිසා ගැටළුවක් තිබිලා නැහැ . තාත්තාගෙන් පුතාට විදියට මේක හරියට ඉගෙනගෙන ඇවිත් තියෙනවා . ඒත් අද වෙනකොට සමහරු යම් යම් කොටස් විතරක් ඉගෙනගෙන හැම දේටම ඒ දේවල් විතරක් ඇප්ලයි කරන්න යනවා . ඒ නිසා මේ ශාස්ත්‍රය අගෞරවයට ලක් වෙලා තියෙනවා . හැබැයි මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා මේ විෂය කල් පවතියි ආරක්ෂා වෙලා .

මේ ගැන බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් මෙන්න මේ වගේ අදහසක් ආචාර්ය රෝහන් සිසිර කුමාර මහතාගේ පොතකට එකතු කරලා තියෙනවා . 








වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment