රෑට අහන්න මම කැමතිම ගීත 10





පද රචනය අනුව මම අහන්න කැමතිම ගීත මොනවද කියලා කිව්වට පස්සේ මම ඊළඟට කියන්න යන්නේ රාත්‍රී කාලයේ බ්ලොග් එකේ වැඩ කේන්දර වැඩ පොත් කියවනකොට එහෙම ඇහෙන්න දාගෙන ඉන්න , අහන්න කැමතිම ගීත මොනවද කියලා . මේ ලිපිය නම් සමහරවිට ආයෙත් එන්න පුළුවන් දෙවෙනි තුන්වෙනි කොටස් විදියට .

මොකද ගීත තියෙනවා විශාල ගණනක් . ඒ එක් එක් ගීතයේ තියෙනවා විශේෂතා ඒවා රෑ කාලේ අහන්න තෝරා ගැනීමට . මේවා උදේට දවල්ට ඇහුවට කොහොමත් වැඩිය අහන්නේ නැහැ . ඒත් රෑ කාලයේ මේවා නැවත නැවත ප්ලේ කර කර අහන තරමටම මේ ගීත වලට ඇබ්බැහි වෙන තත්වයක් තියෙනවා මම . ඒ නිසා මම කල්පනාකරා ගීත රසවිඳින අයට ඒ ගීත මොනවද කියලා කියන්න . මේකෙන් මම හිතනවා ගීත අහන්න කැමති අයගේ ප්ලේ ලිස්ට් අලුත් වෙයි කියලා . ගීත පරණ වුණත් රසය පරණ වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕන .

ඉන්දීය රාගධාරී සංගීතයේ රාග ගැන උගන්වනකොට ගාන සමය කියලා කාලවේලාවක් ගැන සඳහන් කරනවා . ඒ කාලවේලාව වෙන් වෙලා තියෙන්නේ ඒ ඒ රාග ගායනා කරන්න වාදනය කරන්න ඒ ඒ වෙලාවල් හොඳයි කියලා නියම කරලා . ඒ රාගවල තියෙන සංගීතමය ලක්ෂණ කොහොමත් ඇඟට දැනෙන්නේ ඒ වෙලාවට තමයි . උදේ රාග දවල් හරියන්නේ නැහැ . දවල් රාග රෑට හරියන්නේ නැහැ . ඒ අනුව බලනකොට මේ ගීත වුණත් ඒ ඒ වෙලාවල් වලට සංවේදනය වීම යම් සංගීතමය විද්‍යාව යටතේත් සත්‍යතාවයක් තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් .


--------------------------------------------------------------------------------------------------------------------------




ජ්‍යෙෂ්ඨයාට මුල් තැන දෙමින් අමරදේවයන්ගෙන්ම ආරම්භ කරනවා . රාත්‍රිය සහ පාළුව දැනෙන ගීතයක් මේක . බෝඩිමේ ඉන්න කාලේ රෑට පාඩම් කරන වෙලාවට සමහර වෙලාවට මේක අහනවා පාඩම පැත්තක තියලා . මේ ගීතයේ මුල් වාදනයේ තියෙනවා බටනලාව සහ ක්ලැරිනට් වාදනයක් . ඒවගේම අතුරු වාදනවල තියෙනවා වයලීන් එකෙන් වාදනය වෙන කොටසක් . ඒ වාදන කොටස් හරිම සංවේදීයි . ඒවගේම ගීතයේ ආරම්භයේදී වාදනයවෙන ස්වරමණ්ඩලයේ වාදන කොටසත් හොඳ තැනක් ගීතයේ .

සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරණ පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කළා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල්සර
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ
හදවත අවදි කළා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්.එම්. ජයවර්ධන


--------------------------------------------------------------------------------------------------------------------------





රාත්‍රී කාලයේ රැහයියෝ කෑගහනවා වගේ පසුබිම් වාදනයක් මේ ගීතයේ තියෙනවා . ඒවගේම තමයි මේ ගීතයේ මාලනී බුලත්සිංහල මහත්මිය සහ අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬ සංයෝග වීමත් වැදගත් වෙලා තියෙනවා ගීතයේ තියෙන පාළුව සහ තනිකම කියන දේ වඩාත් ඉස්මතු කරලා පෙන්නන්න . 

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා 
නොපෙනෙනා දුර 
ඈත කුටියක සිරවෙලා 
විහඟ ගීතය 
නිහඬ සුසුමක නැවතිලා 

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී
අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී 

කඳුළු වගුරා පහුරුගා දෙස් තියා 
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
පියාඹන්නට නාද දී නිදහසේ 
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ

ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - එච්.එම්. ජයවර්ධන


--------------------------------------------------------------------------------------------------------------------------



සංගීතය නිසා තමයි මේ ගීතය වැඩියෙන්ම අහන්නේ . " රෑ පිපිලා " කියන කොටස ටිකක් අහන්න කැමතියි . මොකද අන්තරා කොටස්වල වෙනම ස්වර තලයක ගායනා වෙලා රෑ පිපිලා කියන කොටසට මාරූ වෙනකොට ස්වර තල මාරුවීමක් තියෙනවා . ගීතයේ හොඳ තැනක් ඒක .

චන්ද්‍ර මඩුල්ලෙන් සඳ රැස් ගලනා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැකගන්නට
රෑ පිපිලා කළු රෝස මලක් //

ඉසිකෝ වා රැළි මවෙත් නො ඒවා
හලාහල විෂෙන් උපන් චේතනා
ආශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්

තෙල බේරිය ගෙඩි පාට දෙතොල් 
පොපියා හසදෙන සුරවමියෝ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්

ගී පද යසනාත් දම්මික බණ්ඩාර
ගායනය අමරසිරි පීරිස්


--------------------------------------------------------------------------------------------------------------------------




මේ ගීතය ඇහෙනකොට වැස්සක් වහින පසුබිමක් තමයි හිතේ ඇතිවෙන්න . ඒකත් සංගීතය නිසා තමයි අහන්නේ .

මේ වහින්නේ 
එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහළ යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - සීතා රංජනී
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


--------------------------------------------------------------------------------------------------------------------------



මෙන්න මේ ගීතයේ විශේෂ තැනක් තියෙනවා සහ මේ ගීතය අහනකොට මතක් වෙන යම් සිද්ධියක් තියෙනවා . දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙ මේ ගීතය ගායනා කරන කාලයේ කටහඬ මතක් කරන්නේ මගේ සංගීත මිස්ගේ කටහඬ . කඳුළු සඟවලා , හඬන හිත නිවා කියන කොටස් දෙකම සංගීත මිස්ගේ කටහඬ තමයි මතක් කරන්නේ . ඊට අමතරව මේ ගීතයේ මුල් සහ අතුරු වාදනයේ තියෙනවා වයලීන් වාදනයක් සහ ඒ එක්කම වාදනයවෙන සර්පිනා වාදනයක් . ඒ කොටසත් මම කැමති කොටසක් .

නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී ඇවිත්
පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැඳෙන්න ඒ බිමෙන් මිදීමගේ ලොවේ

විලක රැයේ පිපෙන මලේකඳුළු සඟවලා
නැගෙන සඳේ කිරණ ලෙසේ
ගලමි රැය පුරා
හිරුද හඬවලා

ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ
පැතුම ඇත බලා
සයුර ඇත බලා

ගානය දීපිකා ප්‍රියදර්ශනී / කරුණාරත්න දිවුල්ගනේ


--------------------------------------------------------------------------------------------------------------------------



මේ ගීතයයෙත් සංගීතයට පොදුවේ මම කැමතියි .

පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
දූ දරුවන් හිනැහී ඇතිදෝ
උන්ගේ සිත රැඳි තනිය මකන්නට
මවුනට කවදා හැකි වේදෝ

හිරු මඬලක් සේ කිරණ බෙදාදී
නුග සෙවණක් සේ සිසිල සදා දී
ජිවිතයේ බර උරින් දරා
පියවරුමයි ලොව මහ සයුරක් වී
පොළොව නිවා ලන්නේ

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
පෙරුම් පුරා එන සසර පුරා
අම්මාවරු මතු බුදු වන්නේ
පියවරුමයි ලොව බුදු වන මවුනට
ඒ විවරණ දෙන්නේ

ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


--------------------------------------------------------------------------------------------------------------------------



මේ ගීතයේ කපුගේ මහත්මයාගේ කට හඬට තමයි කැමති . ඒවගේම තමයි අතුරු වාදන දෙකටත් කැමතියි .

අයියණ්‌ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුනා කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු අද දවසේ

අම්මා එක්‌ක දබරව පැන ගිය වැත්තේ
ළැම දා ගියා බත හිරවුනි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහිපොද ලෙස වෑහෙන්නේ
වී පැලකට ඇයි නුඹ විරසක වෙන්නේ

ඉරට සැපක්‌ දෝ නියගය දළු ලෑම
සදට සැපක්‌ දෝ ගනඳුර පිදීම
නුඹට සැපක්‌ දෝ අපි තනිකර යෑම
මහපොළවකට නඩු හබ ඇයි ගතු කීම

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - නාගොල්ලාගම නිමල් ආනන්ද
තනුව - ගුණදාස කපුගේ


--------------------------------------------------------------------------------------------------------------------------



මේ ගීතයේ තියෙනවා බැන්ජෝ ගිටාර් වාදනයක් . ඒ නිසා වෙන්න ඕන මම මේ ගීතයට වැඩියෙන් කැමති . මොකද ගීතයේ ඒ කොටස එනකල් තමයි වැඩියෙන්ම බලාගෙන ඉන්නේ .

රුවක් ඇදෙනවා
කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක 
දියකර පා කර
ඔබේ ලොවට මා 
මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ 
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැඟුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා 
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නඟලා

ගායනය - විශාරද ගුණදාස කපුගේ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව - විශාරද ගුණදාස කපුගේ


--------------------------------------------------------------------------------------------------------------------------




මේ ගීතයී ආරම්භයේ ඉඳලා තියෙන ගිටාර් වාදනයට සහ කපුගේ මහත්මයාගේ කට හඬට කැමතියි .

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ


එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා


දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී


ගායනය - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල.
සංගීතය - ගුණදාස කපුගේ 


--------------------------------------------------------------------------------------------------------------------------


මේ ගීතය අහන අහන වෙලාවක් ගානේ මතක් වෙන්නේ නිධානය ෆිල්ම් එකේ තේමා වාදනය . කෙසේ වෙතත් අද කාලේ අහන්න පුළුවන් ගීතයක් .

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා

උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා

යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී
සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා
කාමරේ මුළු පුරා නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඩනවා දෙස බල බලා

මං මුලා වූ සිතින් මා මල් සුවදක් විදිනවා
නැති ඉමක් ඇති රුවක් හා මා වෙලී
උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගිය
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී අද තනිකම ඉතිරි වී
සද ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

ගී පද - මනුරංග විජේසේකර
තනුව - සනුක වික්‍රමසිංහ
ගායනය - සනුක වික්‍රමසිංහ


--------------------------------------------------------------------------------------------------------------------------


තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment