පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ !





කාලෙකට පස්සේ ගීතයක් ගැන යමක් ලියන්න ඕන කියලා කල්පනා කර කර ඉන්න කාලයක තමයි එංගලන්තේ හැරී කුමාරයා සුප්‍රකට නිලි මෙගන් සමග විවාහ වුණේ . ඔය විවාහය සම්බන්ධව තවමත් බලන බලන තැන්වල කතා වෙනවා පේනවා . මේ ගැන විස්තර හොයලා බලන්න හිතලා දවසක් ඔය ප්‍රේම කතාව ඇතිවුණේ කොහොමද කොයි කාලේද සහ මෙගන් කියන්නේ කවුද කියලා ගූගල් එකේම සර්ච් කරලා කියවලා බැලුවා .


බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සිරිත් විරිත් සහ ඒ අයගේ ආකල්ප සම්බන්ධව ඒකාලේ ඉඳලාම අදහසක් තිබුණට එයාලාගේ පවුල්වල තියෙන නීති රීතිවල යම් සංකීර්ණ භාවයක් තියෙනවා කියලා තේරුම් ගියේ මෑතකදී . ඒ සංකීර්ණ තත්වය නැවතත් අවධි කරේ හැරී මෙගන් විවාහය සම්බන්ධ කතා බහ නැවතත් කරළියට ඇදිලා ආවම තමයි .





අතීතයේ ඉඳලාම රාජකීය පවුලේ කාන්තා පාර්ශවය සහ පිරිමි පාර්ශවය තම තමන් පිළිපදිමින් ආව නීති රීති සහ ඇවතුම් පැවතුම් වල යම් අරමුණක් සහ තේරුමක් තියෙනවා. ඒ අද දක්වාම ඒ අය පාලනයෙන් මිදිලා හිටියත් ආරක්ෂා කරගෙන ඉන්න රාජකීයත්වය සහ සමාජ ගෞරවය ආරක්ෂා කරගැනීම . හැරී සහ මෙගන් ප්‍රේම වෘතාන්තය සම්බන්ධව මුල් කාලයේ මාලිගාවෙන් තිබුණු ප්‍රතිචාරය මෙන්න මේ සටහනේ සඳහන් වෙනවා .

A Statement by the Communications Secretary to Prince Harry
Published 8 November 2016


Since he was young, Prince Harry has been very aware of the warmth that has been extended to him by members of the public. He feels lucky to have so many people supporting him and knows what a fortunate and privileged life he leads.

He is also aware that there is significant curiosity about his private life. He has never been comfortable with this, but he has tried to develop a thick skin about the level of media interest that comes with it. He has rarely taken formal action on the very regular publication of fictional stories that are written about him and he has worked hard to develop a professional relationship with the media, focused on his work and the issues he cares about.

But the past week has seen a line crossed. His girlfriend, Meghan Markle, has been subject to a wave of abuse and harassment. Some of this has been very public - the smear on the front page of a national newspaper; the racial undertones of comment pieces; and the outright sexism and racism of social media trolls and web article comments. Some of it has been hidden from the public - the nightly legal battles to keep defamatory stories out of papers; her mother having to struggle past photographers in order to get to her front door; the attempts of reporters and photographers to gain illegal entry to her home and the calls to police that followed; the substantial bribes offered by papers to her ex-boyfriend; the bombardment of nearly every friend, co-worker, and loved one in her life.

Prince Harry is worried about Ms. Markle’s safety and is deeply disappointed that he has not been able to protect her. It is not right that a few months into a relationship with him that Ms. Markle should be subjected to such a storm. He knows commentators will say this is ‘the price she has to pay’ and that ‘this is all part of the game’. He strongly disagrees. This is not a game - it is her life and his.

He has asked for this statement to be issued in the hopes that those in the press who have been driving this story can pause and reflect before any further damage is done. He knows that it is unusual to issue a statement like this, but hopes that fair-minded people will understand why he has felt it necessary to speak publicly .





කොහොම වුණත් මේ ප්‍රේම වෘතාන්තයේ අවසානය විදියට හැරී සහ මෙගන් ජයග්‍රහණය කරා . වැදගත්ම දේ තමයි මෙගන් ජයග්‍රහණය කිරීම . මෙගන් චරිතය ගැන හාරවුස්සලා බලනකොට සමාජයේ පීඩාවන්ට පත්වීම සහ අපවාදයන්ට ලක් වීමත් ඒ එක්කම තමන්ගේ අරමුණු කරා ගමන් කිරීමත් හොඳින් දැකගන්න පුළුවන් . සමාජය විසින් දකින දික්කසාද චරිතය දිහා බලෙන වපර බැල්ම වුණත් මෙගන් ගේ පැත්තට නොවැටී තිබිලා නැහැ . ඒ අතරේ රාජකීයයෙකුගේ අවධානය දිනා ගැනීම මෙගන් ලබාගත් තවත් ජයග්‍රහණයක් . ඒවගේම ඒ අවධානය සමාජයට යම් දෙයක් කියාපානවා කියලා තමයි මමනම් හිතන්නේ .


මොකද විවාහයක් වෙලා , ඒ විවාහය කඩාකප්පල් වුණාට පස්සේ නැවතත් විවාහයක් කරගෙන පිළිවෙලට ජීවත් වීමක් සම්බන්ධව සමාජයෙන් තියෙන්නේ ලොකු පීඩනයක් . පිරිමියෙක්ට වඩා කාන්තාවක් ඒ වගේ තත්වයකට පත් වෙන්න උත්සාහ කරනකොට පිරිමියාගේ පාර්ශවයෙන් ඇතිවෙන පීඩනය සාමාන්‍යයෙන් ලේසි නැහැ . රාජකීයන්ගේ ඇවතුම් පැවතුම් ගති සිරිත් කියන දේවල් වලදී ඒවා සියල්ලම ඉවසාගෙන මේ ප්‍රේම කතාව විවාහය දක්වා ආව ගමන් ඒ අතින් බලනකොට ප්‍රශංසනීයයි .


මේ කතාව කියනකොට මට මතක් වෙන්නේ කූම්බියෝ කතා මාලාව . කූඹියෝ කතා මාලාවේ මම මේ එම්බෙඩ් කරලා තියෙන වීඩියෝ එකේ  15:12 කියන තැන ඉඳලා ඉදිරියට ප්ලේ කරගෙන යනකොට තියෙන දෙබසෙන් පැහැදිලි වෙන්නේ දරුවෙක් ඉන්න කාන්තාවක් නැවතත් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් පත්තරේකට දාලා තියෙන මංගල යෝජනාවක් සම්බන්ධව . මේ මංගල යෝජනාව ධනාත්මක චින්තය ඇතුලට අරගෙන ජෙහාන් කරන පැහැදිලි කිරීම මම මේ ලිපියේ මේ දක්වා කියාගෙන ආව කතාවට හොඳින්ම ගැලපෙනවා .




චපල චරිතයක් වීම ගැන නෙවෙයි මම එකෙන් අදහස් කරන්නේ . එක විවාහයක් හෝ ප්‍රේම සම්බන්ධතාවයක් බාහිර බලපෑම් නිසා හෝ ගැළපෙන්නේ නැති නිසා හෝ බිඳ වැටුනට පස්සේ ඒ මත්තේ නැහි නැහි ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතය දිහා අලුතෙන් බැලීමක් ගැනයි මම අදහස් කරන්නේ .


කොහොමහරි සමාජයේ අද වෙනකොට අහන්න වෙන යම් යම් චරිත කතාවල ඉතිහාසය ගැන බලනකොට ඒ අයගේ සාර්ථකත්වය පසුපස තිබිලා තියෙන්නේ අතීතය මත ජීවත් නොවී අතීතය ගුරුවරයෙක් කරගෙන නැවතත් නැගී සිටීම නිසා ජීවිතේ සාර්ථක වීම .


අද මම ලියන්න බලාපොරොත්තු වෙන ගීතයත් ඒවගේ චරිතයක් වටා ගෙතුණු කතා පුවතක් අලලා කෙරුණු චිත්‍ර පටයක් වෙනුවෙන් ලියැවුණු ගීතයක් . මේ ගීතය රචනා කරන්න ගාමිණී ෆොන්සේකා මහත්මයා . සිනමා සක්විති වුණත් , එතුමන්ගේ රංගන හැකියාව හා සමාන රචනා හැකියාව මේ ගීතයෙන් පෙන්නනවා . මේ චිත්‍රපටයේ තියෙන්නේ මේ ගීතයම විතරයි මම දන්නා විදියට . අවස්ථා දෙකකදී මේ ගීතය ගායනා කරන්නේ අමරදේවයන් සහ සුජාතා අත්තනායක මහත්මිය .







මයුරිගේ කතාව

තිරගත වූ දිනය – 1980 දෙසැම්බර් 19
ඉදිරිපත් කිරීම – පතිරූ චිත්‍රපට
නිෂ්පාදනය – ආරියරත්න පෙරේරා
කතා තේමාව, අධ්‍යක්‍ෂණය සහ ගීත රචනය – ගාමිණී ෆොන්සේකා
සහාය අධ්‍යක්‍ෂණය -ෂෙල්ටන් කැකුණවල
කැමරා අධ්‍යක්‍ෂණය - වී. වාමදේවන්
සංස්කරණය – ලාල් දිසානායක, බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජ්
සැකසුම – විජය චිත්‍රාගාරය
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස්
ශබ්ද පරිපාලනය – එස්. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
නිෂ්පාදන කළමනාකරු - එල්රෝයි අල්මේදා
සංගීත අධ්‍යක්‍ෂණය – ලයනල් අල්ගම
ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, සුජාතා අත්තනායක

ගීතය - සුදෝ මම ආදරෙයි (අවස්ථා දෙකක දී අමරදේව සහ සුජාතා විසින් ගැයේ)

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (මර්වින්), විනා ජයකොඩි (මයුරි), ටෝනි රණසිංහ (පාල), ශිරාණි නුගේරා, සොමී රත්නායක, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, අයිරාංගනී සේරසිංහ, සෝනියා දිසානායක, මර්වින් ජයතුංග, සේනක පෙරේරා, නෙල්සන් පීරිස්, ජී. ගුණවර්ධන, දමිත් ෆොන්සේකා, රුක්සලා අල්මේදා, ඉනක්‍ෂි ඇලෙක්ස්

ප්‍රදර්ශනය – ලිබර්ටි, ක්‍රවුන්, මානිල්, ඕඩියන්, නිව් මෙට්රෝ, වෙම්බ්ලි ඇතුළු 5 වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී.


මේ චිත්‍රපටය ටීවී එකේ යනකොට ගොඩක් ඉස්සර දවසක බැලුවා මතකයක් තියෙනවා . ඒ කාලේ වෙනකොට ඔය සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන ගීතය රේඩියෝ එකේ යනවා අහලා තියෙනවා . ඒත් අමරදේවයන් ඒ ගීතය ගායනා කරනවා අහලා තිබුණේ නැහැ . චිත්‍රපටයේ අමරදේවයන් ඒ ගීතය ගායනා කරනවා ඇහුනට පස්සේ කීප අවස්ථාවක දීම මම ඒ ගීතය හොයාගන්න උත්සාහ කරත් පුළුවන් වුණේ නැහැ . 

ඒ කාලේ අන්තර්ජාලය හරහා ගීත හොයාගන්න පහසුකම් තිබුණෙත් නැහැ . ඒත් අමරදේවයන්ගේ ගායනය අමතක වුණේ නැහැ . මෑතකදී තමයි මේ ගීතය හොයාගන්න පුළුවන් වුණේ . අපි අමරදේවයන්ගේ හඬින් සහ සුජාතා අත්තනායක මහත්මියගේ හඬින් මේ ගීතය අහලා බලමු කොහොමද දැනෙන්නේ කියලා .






නැති වුනු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි


සිතින් පලා ගිය එක් ආදරයක්
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි


ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි


සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි ඔබට මම ආදරෙයි

ගී පද : ගාමිණී ෆොන්සේකා



තනුව : ලයනල් අල්ගම






ගායනය - W D අමරදේව / සුජාතා අත්තනායක




මේ චිත්‍රපටයේ කතා මාලාවේ සංක්ෂිප්තය ගත්තොත් ගීතය එක්ක ඒ කතාවේ සම්බන්ධය තියෙන්නේ , තමන්ගේ සැමියා මියගිය කාන්තාවක් ආයෙත් තමන්ට ආදරය කරන පිරිමියෙක් වෙනුවෙන් තමන්ගේ ආදරය වෙන් කරන්න උත්සාහ කරන අවස්ථාවේ හිතේ ඇතිවෙන ගැටීමක් සම්බන්ධව . ඒ විවාහක කාන්තාව තමන්ගේ මිය ගිය සැමියාට ආදරය කරන්නේ වෙනත් කෙනෙක්ට ඒ තැනට කවදාවත් එන්න පුළුවන් ඉඩක් තියලා නෙවෙයි . ඒත් අවාසනාවට සැමියා මිය යනවා . ඊට පස්සේ කාලයක් ගතවෙනවා . ඒත් කලින් තිබුණු ආදරයේ වෙනසක් වෙන්නේ නැහැ .


ඒත් තනියම ජීවත් වීම අමාරුයි . හැබැයි සැමියාට තිබුණු ආදරය නිසා තනියම ජීවත් වෙනවා . ඒ අතරේ තමයි අලුත් ආදරයක් තමන්ව හොයාගෙන එන්නේ . කලින් ලැබුණු ආදරයට ආදරය කරන ගමන්ම මේ කාන්තාව ඉබේම පෙළඹෙනවා තමන්ට ආදරය කරන ආදරයට ආදරය කරන්න . ඒ වෙලාවේ දී තමන්ගේ හිත ප්‍රශ්න කරනවා කොහොමද ඒ ආදරය බෙදන්නේ කියලා . ඒ වෙලාවේදී ඒ කාන්තාව හිතන්නේ කොහොමද කියලා මේ ගීතයේ පුරාවටම විස්තර කෙරෙනවා .





නැති වුනු ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ
සුදෝ මම ආදරෙයි


මේ වෙනකොට තමන්ට ලැබුණු ආදරය නැති වෙලා . ඒත් ඒ ආදරයට තමන් දුන්න ආදරය එහෙමම තියෙනවා . තමන්ට සිදුවුණ ඒ අවාසනාව දිහා තමන්ම තනියමම බලාගෙන සුසුම් හෙළනවා . ඒ සුසුම් දිහා බලාගෙන ඉන්න වෙන හදවතක් ටික ටික තමන්ට ලං වෙනවා . තමන්ට ලැබුණු ආදරය නැතිවීම නිසා පෑරුණු හදවත සහ තමන්ට ආදරය කරන හදවත අතර ඇතිවෙන කතාබහකට තමයි මේ මුල පුරනෙන් . 


සිතින් පලා ගිය එක් ආදරයක්
දිහා කඳුළු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක්
වෙත හදවත් දොර විවරකලා
සුදෝ මම ආදරෙයි





තමන්ගෙන් ඈතට ගිය ආදරය දිහා මේ කාන්තාව දුකෙන් බලාගෙන ඉන්නවා . ඒ ඉන්න අතරේ තමයි තමන්ට ආදරය කරන හදවතට තමන්ගේ හදවතේ දොරගුළු විවර කරන්නේ . ඒත් ඒ කාන්තාවගේ හදවතට යම් පසුතැවීමක් එනවා . ඒ නිසා කලින් ආදරය අමතක කරන්න බැහැ . ඒ නිසා ඒ කාන්තාව කියනවා " සුදෝ මම ආදරෙයි " කියලා .


ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා
ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාළු හදවතට සෙනෙහස පුදනා
මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ මම ආදරෙයි


ආදරයන් දෙකක් අතරේ ගැටීමක් සිදුවෙනවා කියලා පෙන්වන්නේ මෙන්න මෙතනදී . ආයෙත් තමන්ට ලැබෙන්නේ නැති , ආයෙත් තමන්ව හොයාගෙන එන්නේ නැති ආදරයක් වෙනුවෙන් ඉඩ දීලා බලාගෙන ඉන්නවද ? එහෙමත් නැත්නම් තමන්ගේ පාලු හදවතට සෙනෙහස පුද කරන මේ ලැබෙන ආදරයට ඉඩ දෙනවද ? එහෙම ඉඩ දුන්නොත් තමන්ගේ පරණ ආදරය තමන්ගෙන් ඈත් වෙයි ද ? . කාන්තාවගේ හිතේ දැඩි ලෙස ප්‍රශ්න කෙරෙන්නේ ඒ කාරණා අතරේ . ඒත් අවසානයේ ඇය තවමත් තමන්ගේ ආදරයට ආදරෙයි . 






සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි
සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි
ඔබටත් ආදරෙයි ඔබට මම ආදරෙයි


තමන්ට කලින් ලැබුණු ආදරයෙන් තමන්ට ආදරය උතුරන්න ලැබුණා . තමන්ට දැන් ලැබෙන ආදරයේ තියෙන්නේ ඊට වඩා වෙනස් ස්වරූපයක් . තමන්ගෙන් සෙනෙහස අයදින වා . මේ ස්වරූපයන් දෙකක ආදරයක් තමන්ගේ ජීවිතයට කොහොම ලං කරගන්නද ? 


අවසානයේ කාන්තාව හිතනවා මම එයාටත් ආදරෙයි මෙයාටත් ආදරෙයි කියලා . මේක කාන්තාවකගේ චපල කම කියලා විග්‍රහ කෙරෙන අවස්ථා තියෙනවා . ඒත් තමන්ගෙන් ඈත් වෙලා ගිය ආදරයක් වෙනුවෙන් කාලය කැප කරලා ඉදිරි කාලයේත් තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන්ම කැප කිරීම කරනවාට වඩා තමන්ට ලැබෙන ආදරයක් භාර අරගෙන හොඳින් ජීවත් වීම මේ ගීතයේ පැහැදිලි කෙරෙනවා . 





මේ ගීතය වඩාත් ජනප්‍රිය වෙන්න " සුදෝ මම ආදරෙයි " කියන පද පේළිය හේතු වුණා කියලා මම කීප තැනකදීම අහලා තියෙනවා . සමහර විට වෙන්න පුළුවන් . හදවතට සමීප වචන පේලියක් නිසා ගීතය ජනප්‍රිය වීම පුදුමයක් නෙවෙයි . 


මේ ගීතයේ සංගීතය බටහිර ආරකට නිර්මාණය වෙලා තියෙන්නේ . මම උඩින්ම එම්බෙඩ් කරලා තියෙන්නේ මුල් පටිගත කිරීම් දෙක . මේ පටිගත කිරීම්වල තියෙන සංගීතය ගැන හිතලා බලනකොට මේ ගීත වලට සංගීතය නිර්මාණය කරපු සංගීත වේදියාගේ බටහිර සංගීතයට තිබුණු කැමැත්ත වඩාත් ඉස්මතු වෙලා පේනවා . පටාචාරා චිත්‍රපටයේ තණ්හා ආශා ගීතයට තනුව නිර්මාණය කරපු ලයනල් අල්ගමයන් අනෙක් පැත්තට මේ චිත්‍රපටයට මේ ගීතය නිර්මාණය කිරීමේදී සංගීත ශෛලීන් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම එක අතකට ප්‍රාතිහාර්ය පෑමක් වගේ . 


ඒක හරියට අමරදේවයන් සාරවිට චිත්‍රපටයේ ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ගීතයට තනුව නිර්මාණය කරා වගේ සිද්ධියක් . මේ ගීතයේ පැරණි සංගීත සංයෝජනයට පෞද්ගලිකව මම කැමති නැහැ . ඒ නිසා අවසානයේ මම මේ ගීතයේ කැමති සංගීත සංයෝජන සහිත පටිගත කිරීම් කීපයක් ඇතුළු කරනවා මේ ලිපියට . ඒවා අද කාලේ විදියට බලනකොට හිතට වඩාත් තදින් දැනෙනවා වෙන්න පුළුවන් . ඒකත් හරියට පැරණි ආදරය අමතක කරලා අලුත් ආදරය වැළඳගන්නවා වගේ දෙයක් . 


මේ ගීතයේ පටිගත කිරීමේදී සිදුවුණ  වැදගත් රසවත් සිදුවීමක් තියෙනවා . ඒකත් මතක් කරලා මම ලිපිය අවසන් කරනවා.





මේ ගීතය ලියන්නේ ගාමිණි ෆොන්සේකා මහත්මයා . දැන් ගීතය පටිගත කරන්න ගත්තට පස්සේ සුජාතා අත්තනායක මහත්මිය ගීතය පටිගත කරනවා . ප්‍රශ්නයක් වුණේ නැහැ . ඒත් අමරදේවයන් මේ ගීතයේ " සුදෝ මම ආදරෙයි " කියන කොටස ගායනා කිරීම තදබල විදියටම ප්‍රතික්ෂේප කරනවා . ඒත් ගාමිණි ෆොන්සේකා මහත්මයා නැවත නැවත බල කරනවා නෑ ඒ කොටස කියන්නම ඕන කියලා . ඒත් අමරදේවයන් ඒ බල කිරීම පැත්තක දාලා තමන්ට ඒ කොටස ගායනා කරන්න බෑ කියලම කියනවා . ඊට පස්සේ පටිගත කිරීම අවලංගු වෙනවා . 

මේ තත්වය යටතේ කාලයක් සද්ද නැතුව ඉන්නවා ගාමිණී ෆොන්සේකා මහත්මයා . ඊට පස්සේ දවසක් ආයෙත් අමරදේවයන් හමුවෙලා කියනවා ගීතය පටිගත කරමු කියලා . අමරදේවයන් ඉන්නේ වෙනත් කල්පනාවක. ඒවගේම එතුමන්ට අමතක වීම් වෙනවා ලු . ඒ නිසාම එතුමා දෙවෙනි වතාවේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ගීතය " සුදෝ මම ආදරෙයි " කියන කොටසත් එක්කම ගායනා කරනවා . පටිගත කිරීම සාර්ථකව සිදුවෙනවා . ඊට පස්සේ තමයි මයුරිගේ කතාව චිත්‍රපටය තිරගත වෙන්නේ . 


මේ ගීතය මම සුජාතා අත්තනායක මහත්මියගේ හඬින් අහනවා වගේම වැඩියෙන්ම කැමැත්තෙන් අහපු වීඩියෝ එකක් එකතු කරන්නම් . මේ කට හඬ වගේ කට හඬක් නම් මම ආධුනික තරඟයක කවදාවත් අහලා තියෙනවා කියලා මතක් වෙන්නේ නෑ . 


මේ ගීතයේ නව සංගීත සංයෝජනය සහිතව පටිගත කිරීමක් මේ .




ගීතය අහන්න . ආයෙත් වචන කියවන්න . හදවතට යමක් දැනෙයි .


ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!







වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment