ප්‍රභාශ්වර - වෙසමුණි භවන ( 3 ) අවසාන කොටස



සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා

පසුගිය කොටස

" දරුවනේ.............................. "

ඒ කෛකසී මෑණියන්ය .

" ඇයි මෑණියෙනි ? . අපි ඖෂධ කුටියේ "

" දිවා ආහාරය සූදානම් කරලා තියෙන්නේ දරුවනේ "

" මම එනවා මෑණියෙනි "

මම එනවා කියමින් දිව ගියේ කුම්භකරණ ය . ඔහු කවදත් කෑමට දක්ෂයෙකි . ඒ වගේම මහා කය බලයකින් හෙබි පුද්ගලයෙකි . ඔහු අප සියල්ලන්ටම වඩා හැඩි දැඩි පුද්ගලයෙකු වන බව කුඩාකල සිටම අපි දන සිටියෙමු .

අද එතැන්සිට 





" ප්‍රභාශ්වර , අපි ගිහින් දිවා ආහාරය රැගෙන විවේක අරගෙන ආයෙත් එමු . පුලතිසි මුත්තණුවන් වෙසමුණි භවනට සැපත් වුණාට පස්සේ අපිට නිවාඩු පාඩුවක් වෙන එකක් නැහැ . මේ දින හත පුරාවට ඉගෙන ගත්ත දේවල් , මුත්තණුවන් උගන්වපු දේවල් අපිට එතුමා ඉදිරියේ ශිල්ප දක්වන්න වෙනවා නොඅනුමානයි " 

" ඒක ඇත්ත අයියණ්ඩි . එහෙනම් ඔය ඔසු බඳුන ප්‍රවේසම් සහිත තැනක තැම්පත් කරලා අපි යමු " 

මමත් රාවණයනුත් ඔසු නිපදවන කුටියෙන් නික්ම ගියේ අප දෙදෙනා ඉතාමත් සුපරික්ෂාකාරීව නිපදවන ලද සර්ප විෂ නිර්විෂ භාවයට පත් කරනු ලබන ඒ මහානර්ඝ ඔසුව ප්‍රවේසම් සහිතව දැවයෙන් තනන ලද කුඩා පෙට්ටියක තැම්පත් කිරීමෙන් අනතුරුවය . සුදු හඳුන් ලීයෙන් නිමවන ලද කුඩා පෙට්ටි සමූහයක් ඔසු කුටියේ පසෙක තබා තිබෙන්නේ එවැනි දුර්ලභ ඖෂධ වර්ග ආරක්ෂා කිරීම සඳහා තැම්පත් කිරීමටය . ඒවා රැගෙන ආවේ ලංකා පුරයෙන්ය . අපට එවැනි යමක් අවශ්‍ය බව දැනුම් දුන් පසු පුලතිසි මහා සෘෂිතුමා ලංකාපුරයේ තම අතවැසියන් වෙත පණිවුඩ යවා එම පෙට්ටි සමූහය වෙසමුණි භවනට ලබා දුන්නේය . එය අපිට වටිනා වස්තුවක් වූයේ කල් පවතින ඔසු වර්ග තැම්පත් කිරීමට හැකියාව ලැබීම නිසාය . 

" කුම්භකරණ . ඔය රාවණ අයියණ්ඩිගේ දිවා ආහාර පංගුව . ඔබ එයත් අවසන් කරාද මේ ටික වෙලාවට ? " 

රාවණ අයියණ්ඩිත් මමත් ආහාර ගන්නා කුටියට පිවෙසෙන විට කුම්භකරණ ඔහුගේ ආහාර කොටසත් ගෙන රාවණ අයියණ්ඩිගේ ආහාර කොටසත් භුක්ති විඳ තිබ්බේය . ඔහුගේ කුසේ පවතින මහා ලැවූ ගින්න නිවීමට මුහුදු හතක ජලය වත් කරත් , හිමාලයේම පවතින පළතුරු අල වර්ග ගෙනවිත් දුන්නත් මදි වේ යයි විශ්‍රවස් මාමණ්ඩි විසින් කීප වතාවකම ආහාර ගන්නා කුටියේදී සියල්ලෝම ඉදිරියේ පවසා තිබේ . එහෙත් කුම්භකරණ වෙනස් වන්නෙක් නොවේ . 





කුඩා කල සිටම මහා ශක්තිවන්තයෙකු මෙන්ම මහා විශාල දේහයකට උරුමකම් කියන සලකුණු පෙන්වන ලද කුම්භකරණ හට ඇති තරම් කන්න බොන්න දෙන්න කියලා පුලතිසි මහා සෘෂි තුමා විශ්‍රවස් මාමණ්ඩි හට නියම කර තිබෙන්නේ අනාගතයේ ඔහුගේ මහා කය බලය ලංකාපුරයේ සිට තුන් ලෝකයටම අණසක පතුරුවන රාවණයන් හට උදවු උපකාර ලබාදීමට අවශ්‍ය කරගත හැකි හෙයින් විය යුතුය . 

" අයියණ්ඩි , මෑණියන් මට ටිකයි දුන්නේ . මම ඒ නිසා අයියණ්ඩිගේ කොටසත් ගත්තා . අයියණ්ඩි ඉතින් මගේ අයියණ්ඩිනේ " 

කුම්භකරණ එසේ කියමින් සිටියේ තමන් සුපුරුදු ලෙස මහා වරදක් කල වරදකරුවෙකු ලෙසින්ය . 

" මම දන්නවා කුම්භකරණ ඔබට ආහාර දකින විට උමතුවක් ඇතිවෙනවා කියා . අවශ්‍ය නම් ප්‍රභාෂ්වරගේ කොටසත් කාලා විභීෂණ එන්න කලින් එයාගේ කොටසත් ගන්න "

" ප්‍රභාශ්වරගේ කොටස වගේ නෙවෙයි , විභීෂනගේ කොටස ආහාරයට ගත්තොත් මට අද දවසේම ඔහුගේ ඒකාකාරී නීති සම්පාදනය පිළිබඳව උගන්වාවී . එය අසාගෙන ඉන්නවාට වඩා හිමාලයේ ඇවිදලා කෑමට තවත් යමක් සොයාගන්නා එක හොඳයි " 





දරුවන් සියල්ලද විශ්‍රවස් මාමණ්ඩිගේ බිරින්දෑ වරුන් හතරදෙනා වන කෛකසී , මාලිනී , රාකා , සහ ඉල්විලා යන සියල්ලෝම පැමිණියහ . අනතුරුව විශ්‍රවස් මුණිතුමා කුටියට පැමිණියේය . ඉල්විලා යනු අපගේ ලොකු මෑණියන්ට . ලංකාපුරය දැනට පාලනය කරනු ලබන වෛශ්‍රවණ කුමරු ඉල්විලා ලොකුමෑණියන්ගේ එකම පුත්‍රයාය . මාලිනී යනු සුමාලි රජුගේ සහෝදර මාලි කුමරුගේ දියණියයි . මාලිනියගේ දරුවා විභීෂණය . රාකා යනු විශ්‍රවස් මාමණ්ඩියගේ අනෙන් බිරිඳය . 

ඇයට භරණ සහ දුෂ්‍යන නමින් නිවුන් පුතණුවන් දෙදෙනෙකු විය . මේ සියල්ලෝම එක්ව ආහාර ගන්නේ කවදත් එකම වේලාවකදීය . එහෙත් කුම්භකරණ මේ සියල්ලෝටම පෙර ආහාර ගෙන සියල්ලෝම සමග නැවතත් ආහාර ගනියි . සිරිත් විරිත් කඩ කිරීම පිළිබඳව යම් යම් මැසිවිලි නැගුනද ඔහුගේ ස්වභාවික තත්වය තේරුම් ගත් විශ්‍රවස් මුණිතුමා ඔහුට දැන් සිරිත් විරිත් පිලිබඳ උගන්වන්නේ නැත . ඒ ඔහු සිරිත් විරිත් කඩ කරන්නේ ඔහුගේ ගින්න සඳහා පමණක් වීම නිසා විය යුතුය . 

" එහෙනම් දරුවනේ හැමෝම අපේ නිර්මාතෘ දෙවියන් වන්දනා කරමු ආහාර ගන්න පළමුවෙන් "

සියල්ලෝම සූර්ය දිව්‍ය රාජයාට වන්දනා කළහ . 

අනතුරුව ආහාර ගැනීමට මත්තෙන් විශ්‍රවස් මාමණ්ඩි විසින් ඉතාමත් වැදගත් එමෙන්ම සතුටු දායක පුවතක් සියල්ලෝම හමුවේ ඉදිරිපත් කලේය . 

" මගේ දරුවන් සියල්ලෝමත් බිරින්දෑ වරුන් සියල්ලෝමත් මේ කාරණාව අහලා සතුටු වෙනවා කියලා මට විශ්වාසයි . කෛකසී නැවතත් ගැබ්ගෙන ඇති බව හැමෝම දැන් දැනගන්න ඕන " 

එය කියත්ම කෛකසී මෑණියන් මද සිනහවකින් මුව සරසා ගත්තාය . 

" ඒවගේම තවත් දෙයක් මතක තියාගන්න ඕන . නක්ෂස්ත්‍ර වේදය අනුව ඇයගේ කුසට පැමිණෙන්නේ දැරිවියක් . පිරිමි දරුවන් හය දෙනා අතරේ එකම සහෝදරිය ඇය වේවි . ඒ නිසා කෛකසී අද ඉඳලා තමන්ගේ දැරිවිය වෙනුවෙන් කටයුතු කරන්න වගේම පුද පූජා පවත්වන දේවල් වල නිරත වෙන්න ඕන . ඒවාට අනිත් හැමෝම උදවු වෙන්න ඕන . හෙට ඉඳලා මගේ මෑණියන් වෙසමුණි භවනේ නවාතැන් ගන්න පැමිණේවි . අය කෛකසී වෙනුවෙන් කලයුතු සියල්ලම ඉටු කරාවි . හැමදෙනාම ඒ දේවල් වලට අවශ්‍ය වෙලාවේ උදවු උපකාර කරන්න ඕන " 

" පියතුමණි අපි එහෙනම් සතුට සමරන්න එක්කම දැන් දිවා ආහාර වේල භුක්ති විඳිමු නේද ? " 

ඒ වෙන කවුරුවත් නොව කුම්භකර්ණය . 

" මේ ඔබගේ කීවෙනි දිවා ආහාර වෙළද කුම්භකරණ ? " 

" මම හිතන්නේ සිව්වෙනි ආහාර වේල පිය තුමණි " 

අපගේ අලුත් සාමාජිකාවගේ පැමිණීමේ ප්‍රීතිය සමගම කුම්භකරණගේ කතාවෙන් ඇතිවූ ප්‍රීතියෙන් වෙසමුණි භාවන ප්‍රමෝදයෙන් ඇලලී ගියේය .

දිවා ආහාරය ගැනීමෙන් පසුව මද වෙලාවක් විවේක ගත් මමත් රාවණයනුත් නැවතත් ඔසු නිපදවන කුටිය වෙත පැමිණියෙමු . කුම්භකරණ තවමත් නින්දේය . විභීෂණ තම නීති ශාස්ත්‍ර සම්බන්ධ තල්කොළ පොතක් ගෙන එය කියවීමට ඔහුගේ සුපුරුදු ගල් ගුහාව වෙත පිටත් විය . භරණ සහ දුෂ්‍යන සටන් පුහුණු වීමට ආයුධ හරඹ පුහුණුවන පිටියට නික්ම ගියහ . 





" සහෝදරියකගේ බලාපොරොත්තුවත් ඉටු වුණා නේද ? " 

මම රාවණයන්ගෙන් ඇසීමි " 

" එය ඉටුවන බව මම දැනසිටියා . මුත්තණුවන් දවසක් මමත් එක්ක ඒ පිලිබඳ යම් අනාවැකියක් කියලා තිබුණා . ඔහු කිව්වා විශ්‍රවස්ගේ පරපුරේ අවසානයා වෙන්නේ ගැහැණු දරුවෙක් කියලා . නක්ෂස්ත්‍ර වේදය අනුව එය සනාථ වෙනවා කියලාත් මට කරුණු කාරනා පෙන්නුම් කරලා දුන්නා . එය සැබෑ වූවා කියා මම හිතනවා " 

" දැන් ඔසු නිපදවීම ගැන සෘෂිතුමා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔබ සූදානම්ද අයියණ්ඩි ? " 

" ඒ වෙලාවට මට අවශ්‍ය දේ මතක් වෙනවා කියලා ඉතින් දන්නවානේ " 

" වෙලාව හරි වගේ . අන්න සෘෂිතුමාත් මිත්තනියනුත් එනවා " 

" යමු අපි එතුමන්ව පිළිගනිමු " 

මමත් රාවණයනුත් සෘෂිතුමාගේ ඉදිරියට ගොස් ආශිර්වාද කළෙමු .

" දීර්ඝායු වේවා සෘෂි තුමණි " 

" දීර්ඝායු වේවා දරුවනේ "

" මම එහෙනම් කෛකසී ඉන්න පැත්තට යන්නම් " 

මිත්තණිය තම මිණිබිරිය ආරක්ෂා කිරීමේ වගකීම් භාර ගැනීමට නොඉවසිල්ලෙන් සිටියාය . 

" අපි යමු දරුවනේ එහෙනම් ඔසු නිපදවන කුටියට . කෝ විශ්‍රවස් ඉන්නවද ? "

" පියාණන් හිමාලයේ ඉහළ කොටසට පිටත්ව ගියා කඟවේනකු මියගිහින් තියෙනවා කියලා පරීක්ෂා කරලා එන්න " 

" කඟවේනකු ගැන හොයනවානම් එහෙනම් බෙහෙත් ඖෂධ නිපදවන කාර්යයක් වෙනුවෙන් වෙන්න ඕන . මම කියලා දුන්නා බෙහෙත් ඖෂධ වට්ටෝරුවක් . ඒකට කඟවේනකුගේ අවශ්‍යතාවයකුත් තියෙනවා "

" කාරණාව මොකක්ද කියලා කිව්වේ නැහැ මුත්තණුවනි " 

" රාවණ . නාග විෂ හරණයට ඔබ යමක් හොයාගත්තද ? " 




" විෂ හරණය කිරීමේ ශාස්ත්‍රාණුකූලව ඔප්පු කරන්න පුළුවන් යමක් මමත් ප්‍රභාශ්වරත් එකතුවෙලා නිර්මාණය කළා . මුත්තණුවන් පරීක්ෂා කරලා බලලා අපිට ඒ ගැන අඩුපාඩු කියලා දෙනවානම් හොඳයි "

" යමුකෝ එහෙනම් දෙන්නා කරපු දේවල් මොනවද කියලා බලන්න . ප්‍රභාශ්වර ! "

" සෘෂිතුමණි ! " 

" අද සූර්ය දිව්‍ය රාජයා මොන නැකතේද ඉන්නේ ප්‍රභාශ්වර ? " 

" අද සූර්ය දිව්‍ය රාජයා අද නැකතේ ගමන් කරනවා සෘෂි තුමණි " 

" මම පාඩම් කරන්න දුන්න ශ්ලෝක පාඩම් කරගත්තද ?" 

" ඔව් සෘෂිතුමණි " 

" ප්‍රභාශ්වරත් මට මුත්තණුවන් කිව්වට වරදක් නැහැ . මම හැමදාම කිව්වත් ඒ දේ අහන්නේ නැහැ . නෑකමින් මම ප්‍රභාශ්වරටත් මුත්තණුවන් වෙනවා " 

" හොඳමයි සෘෂිතුමණි " 

පුලතිසි සෘෂිතුමා ඔසු කුටියට පැමිණ තමන් වෙත කවදත් වෙන්වන ආසනයේ අසුන් ගත්තේය . 

" කෝ ගන්න බලන්න පිළියෙළ කරපු ඔසු වර්ගය " 

මම සුදු හඳුන් පෙට්ටිය විවෘත කර එහි තබා තිබුණු ඖෂධ බඳුන ඉවතට ගත්තෙමි . පසුව එය රාවණයන් වෙත දුන් පසු රාවණයන් එය රැගෙන ගොස් පුලතිසි සෘෂිතුමාට පිළිගැන්වීය . 

" කොහොමද දැන් දෙන්නත් එක්ක මේ ඖෂධ වට්ටෝරුවෙන් විස නැතිවෙනවා කියලා පෙන්නුම් කරන්නේ ? " 

" විෂගලේ විෂ නැති කරන පිරික්සුම ම මේ වෙනුවෙනුත් කළා මුත්තණුවනි " 

" එහෙනම් ඒ පිරික්සුම නැවතත් කරලා පෙන්වන්න බලන්න . මේ බෙහෙත් වට්ටෝරුව තල් කොලයක ලියලා තියෙනවද ? . මට ඒකත් ගෙනත් දෙන්න බලන්න මොනවද වෙනස් කරලා තියෙන්නේ කියලා බලන්න " 




මම ඖෂධය ප්‍රත්‍යක්ෂ බව පෙන්වීමට පිරික්සුම කරන අතරවාරයේ රාවණයන් තමන් විසින් සටහන් කරන ලද කළු නොමැදී තල් කොලය පුලතිසි සෘෂි තුමාට පිළිගැන්වීය . 

" ආ . මේ අලුත් පැළැටියක් එකතු කරලා තියෙනවා නේද ? . ඒක මොකටද එකතු කරේ ? " 

" මුත්තණුවනි . මේ වට්ටෝරුවේ යම් අඩුවක් තියෙනවා . ඒ වෙනුවෙන් මමත් ප්‍රභාශ්වරත් එක එක බෙහෙත් වර්ග එකතුකරලා පිරික්සුම් කරලා බැලුවා . එත් මේ පැළෑටියෙන් තමයි විෂ හරණය කරන්න පුළුවන් කමක් ලැබුණේ " 

" බොහොම හොඳයි . බොහොම හොඳයි . මහන්සි වෙලා පිරික්සුම් කරලා තියෙනවා කියලා පේනවා " 

මේ අතරේ මම බෙහෙත් ගුලියක් එලකිරිවල දිය කර එයට නයි විෂ සමග කලවම් කරන ලද ඔසු බින්දු කීපයක් එක් කලෙමි . එය වහා රතු පහ ගැන්විණි . එය දුටු සෘෂි තුමාගේ මුහුණ එලිය වැටිණි . 

" ආ ඔය අපූරුවට ඔසු වර්ගය නිපදවලා තියෙන්නේ . බොහොම හොඳයි බොහොම හොඳයි . එහෙනම් බෙහෙත් වට්ටෝරුව ආරක්ෂා සහිතව නැවතත් ලියලා තියන්න . පහළ ගමේ ඉන්න කෙනෙක් සර්ප දෂ්ටනයක් වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් මේ බෙහෙත දීලා බලන්න සුවපත් වෙනවද කියලා . එහෙම වෙනවානම් මේ වට්ටෝරුව සාර්ථකයි කියලා නැවතත් අපිට පිළිගන්න පුළුවන් " 

" හොඳමයි සෘෂි තුමණි " 

" මම එහෙනම් දැන් යනවා විභීෂණගේ කුටියට . ඔහුගේ කටයුතු කොහොමද කියලා පරීක්ෂා කරලා බලන්න . දෙඑර්ඝායු වේවා දරුවනේ " 

" මුත්තණුවනි . විභීෂණ පිටව ගියා ඔහුගේ ගැන ගුහාවට තල් පතක් අරගෙන " 

" මම එන ගමන් එයාටත් එන්න කියාගෙන ආවේ . විභීෂණ කටපාඩමට දක්ෂයි . මේ ටික වෙලාවට පොතම කටපාඩම් කරගෙන ඇති . මම යනවා එහෙනම් . ආයෙත් කරන්න ඕන දේවල් ගැන මම යන්න කලින් දැනුවත් කරන්නම් " 

" දීර්ඝායු වේවා ඔබට " 

" ඔය විභීෂණගේ කටපාඩම කවදා හරි මගේ වැඩ වලට හරස් වෙනවා ප්‍රභාශ්වර . මට ඒක ඉවෙන් වගේ පේනවා . කමක් නැහැ . ඔහුගේ ඉගැන්වීම අනාගතය සාරවත් කරගන්න අපි යොදාගමු " 

වෙසමුණි භවන මේ ආකාරයෙන් දවස ගෙවා නිමකළේය . කවදා හෝ ලංකාපුරය හිමිකරගන්නා රාවණ නමැති මහා නරේන්ද්‍රයා හිමාලයේ තම පිය තුමාගේ සෙවනේ සිට මෙසේ අධ්‍යාපන කටයුතු ටිකෙන් ටික හදාරමින් සිටියේය . මම ඔහුගේ සෙවනැල්ල සේ කටයුතු කරමි . 


වෙසමුණි භවන මෙතෙකින් සමාප්තයි . 

තවත් කතාවකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා ! 


පලි : ඔන්න ඒක කතාවක් ලාවට ලියලා අවසන් කළා . මේ කතාව ලිව්වේ ඇත්තටම කතාවක් ලියන අරමුණකින් නෙවෙයි . මේ කතා මාලාව කොහොමද යන්නේ කියලා පොඩි අදහසක් දෙන්න . මේ කතා මාලාව දැම්මට පස්සේ කීප දෙනෙක් රාවණා ගැන ලියනවානම් මෙහෙම මෙහෙම දේවල් අඩංගු වෙන්න ඕන කියලා අදහස් එකතු කරා . ඒවායින් සමහර දේවල් මම පිළිගත්තා . සමහර දේවල් පිළිගත්තේ නැහැ . මොකද රාවණා සම්බන්ධව අපේ හිතේ චිත්‍රයක් තිබුණට පැහැදිලි සාක්ෂියක් නැති නිසා . 

කතාව ආයෙත් කියවලා භාෂාවේ ඉඳලා සෑම දෙයකම වෙනස් වෙන්න ඕන මොනවද ? . වැරදි මොනවද ? ඉදිරි කතා කොහොම වෙන්න ඕනද කියලා තමන්ට හිතෙන දේවල් කමෙන්ට් කරන්න . ඒ කමෙන්ට් වලින් කතාව තවත් දියුණු වේවි . එත් රාවණා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා නම් නොකිව්වට කමක් නැහැ . මොකද රාවණාගේ පවුලේ කවුරුවත් දැන් අපි අතරේ නැහැනේ . ඒක නිෂ්ඵල කතාවක් වෙයි . 

එහෙනම් ප්‍රභාශ්වර කුමරුණි 

ඔබට බල වඩා ජය වඩා ආවඩා ආයුබෝ වේවා ! 




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment