ප්‍රභාශ්වර - වෙසමුණි භවන (1)



සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා





" ප්‍රභාශ්වර , පුතේ ඔයා කොහෙද ගියේ , ප්‍රභාශ්වර........................" 

කෛකසී මෑණියන් මා අමතනු ඇසීමෙන් මම වඩාත් කලබයලට පත් වීමි . 

" මම කුටියේ ඉන්නවා මෑණියෙනි "

" මම මේ පේන්න නැතුවට අහන්නේ අයියලා මල්ලිලා ටික කොහෙද කියලා " 

" මම තල්පත් සකසනවා මෑණියෙනි , අයියණ්ඩිලා කැලයට ගියා බෙහෙත් පැළෑටි කීපයක් හොයාගෙන එන්න "

ඒත් සමගම ඇය නිහඬ විය . ඇය ඇයගේ දරුවන්ට මෙන්ම මටද විභීෂණටද භරණ හා දුෂ්‍යනටද එකලෙස ආදරය කළාය . වෛශ්‍රවණයන් අපගේ සමාගමයෙන් තරමක් වෙනස් වූවෙකි . එහෙත් ඔහු අප සමග සිටියානම් ඇය ඔහුටද එකලෙස ආදරය කරනවාට සැකයක් නැත .

මේවන විට අපගේ මාතෘ භූමියේ පාලනය ගෙනයනු ලබන්නේ වෛශ්‍රවණ ය . සුමාලි රජතුමා , එනම් මගේ පියාගේ පියා ලංකාපුර පාලනය ගෙනයන අවධියේ උපායශීලීව තමාට වරදක් ඇතිනොවන ආකාරයට ඔහු ලංකාපුරයේ සිංහාසනයෙන් එලවා දමා වෛශ්‍රවණ විසින් ලංකාපුර පාලන බලයත් ආලකමන්දාවත් වෛමාණික්‍ය රථයත් ආදී වූ සියල්ලම උදුරාගත්තේය .

ඒ කෙසේ වෙතත් පුලස්ති මහා සෘෂි තුමාගෙන් පිය උරුමයත් සුමාලි මහරජුගෙන් මාතෘ උරුමයත් ලබාන රාවණ කුමරු ලංකාපුරයේ අද්විතීය පාලකයා බවට පත්කර ඔටුනු පැළඳවීමට සම්මත කර තිබුණේ ඔහු ඉපදෙන්නටත් පළමුවෙන්මය . ඔහු කෛකසී මෑණියන්ගේ කුස පිළිසිඳගත් දිනයේ පුලස්ති සෘෂි තුමා අනාවැකි පළකර ඇත්තේ රාවණ කුමරු ඒකාන්ත වශයෙන්ම ලංකාපුරයේ රජවන බවත් ඉන් අනතුරුව සක්විති රජ පදවියට පත්ව මහා ශ්‍රේෂ්ටයෙකු වන බවත්ය .





එබැවින් සුමාලි රජු හා විශ්‍රවස්මුණි හෙවත් රාවණයන්ගේ පියාණන් සම්මත කොට ඇත්තේ රාවණයන් හට සියළු ශිල්ප ශාස්ත්‍ර උගන්වා නිසි වයස සම්පූර්ණ වූ කල්හී වෛශ්‍රවණ එලවා දමා ලංකාපුර ආලකමන්දාවේ සිංහාසනාරූඪ කරවීමයි . නමුත් තවමත් අප සිටින්නේ සම්පූර්ණ රාවණයෙකු සමග නොවේ . ඔහු තවමත් තරුණ වියට පා තබමින් සිටින නව යෞවනයෙකි .

පුලතිසි මහා සෘෂි තුමා මහා බ්‍රහ්මගේ දරුවෙකි . සප්ත මහා සෘෂිවරුන්ගෙන් එක් අයෙකි . වැඩිය යුතු ධ්‍යාන සියල්ල වඩා මරණින් මතු මෝක්ෂ සුවය විඳීමේ වාසනාව උදා කරගත්තෙකි . ලංකාපුරයේ එක් කොටසක් පුලතිසි පුර ලෙස එතුමාගේ නමින් නම් කිරීමට තරම් එකල පාලකයින් එතුමන්ට ගරුත්වයක් දැක්වුවද එතුමා වඩාත් ප්‍රිය කරන ලද්දේ හිමාලයේ ජීවත් වීමටය .

හිමාලය සෘෂිවරුන්ගේ ක්ෂේම භූමිය බැවින් එතුමා හිමාලයේ මධ්‍ය කොටසට වන්නට කුඩා ආරාමයක් සාදාගෙන වාසය කළේය . එතුමන්ගේ ශ්‍රේෂ්ට පුතණුවන් වූයේ විශ්‍රවස්මුණි හෙවත් වෙසමුණි නම් මුණි වරයාය . අනාගතයේ සක්විති රජවන රාවණයන්ට පියාවීමේ භාග්‍යය හිමිවූයේ එතුමන්ටය . විටින් විට ලංකාපුරයට ආගියද වෛශ්‍රවණ විසින් ලංකාපුරය කූට උපක්‍රමයකින් අල්ලාගත්පසු තමන්ගේ වැඩිමල් පුතණුවන් වුවද විශ්‍රවස්මුණි විසින් වෛශ්‍රවණව නොසලකා හරින තත්වයට පත්විය . සියල්ලෝම සූර්ය දිව්‍යරාජයාගේ දරුවන්ය , සූර්ය නීතිය පිළිපැදිය යුතුය යන මතය බලවත් සේ ආරක්ෂා කල විශ්‍රවස්මුණි වෛශ්‍රවණ සමග වැඩි ගණුදෙනුවක් නොවන්නට ඇත්තේද ඒ නිසාවෙන්ය .





හිමාලයේ මධ්‍ය කොටසේ සාදන ලද පුලතිසි මහා සෘෂිතුමාගේ පුලතිසි භවන විශ්‍රවස්මුණි තුමාගේ පාලනයට යටත්වීම සමගම එය වෙසමුණි භවන ලෙස නම් විය . අතීතයේ සිටම එහිදී සෘෂි වරුන්ගේ ඒකරාශී වීමෙන් එක් එක් විශේෂ හමුවීම් සහ නියම කිරීම් සිදුවී තිබේ . පුලතිසි සෘෂිතුමා තම අසහාය දැනුම වැඩි ප්‍රමාණයක් තල්පත්වල ලියන ලද්දේ මෙහි සිටය . ලාබාල සෘෂිවරුන් හට තම දැනුම බෙදා දෙන ලද්දේද මෙහි සිටය . එමෙන්ම ලංකාපුරයට පමණක් සීමාවන යම් යම් ශිල්පීය ඉගැන්වීම් සහ ආධ්‍යාත්මික ඉගැන්වීම් ආරක්ෂා කරන ලද්දේද මෙම භවන තුල සකසා ඇති රහස් කුටියක ය .

ඒ අනුව යමින් විශ්‍රවස්මුණිතුමාද එම කාර්යයන් හා වගකීම් තවදුරටත් සිදු කරමින් හා ආරක්ෂා කරමින් තම දරුවන්ටද ඒවා උගන්වමින් සිටියි . මේ හැම දෙයකම අවසාන අරමුණ වන්නේ රාවණ බව ඔවුන් සියල්ලෝම දනී . එහෙත් කිසිවෙක් එය පුන පුනා සිහිපත් නොකර තම වගකීම් ඉෂ්ට කරමින් තම අරමුණු මුදුන්පත් කර ගැනීමට වෙහෙසෙමින් සිටින බවක් මම දකිමි . මමද එයට හැකිතාක් සහය වීමට සූදානම්ව සිටිමි .

මම ප්‍රභාශ්වර කුමරු බවට පත්කරන ලද්දේ ද පුලස්ති මහා සෘෂිතුමා විසිනි . හිමාලයේ වෙසමුණි භවනට මා රැගෙන ආවේ මා ඉපදී දින දෙකකට පමණ පසුවය . මගේ පියාණන් රාවණයන්ගේ මාමාය . කෛකසී මෑණියන් හරියාකාරව නම් මගේ නැන්දනිය වුවද කුඩාකල සිට කුම්භකරණ වෙනුවෙන් අයගේ පියයුරුවල එරුණු කිරි පොවා මා ද ඇතිදැඩි කරගත්තේ ඇයගේ දරුවෙක් ඇතිදැඩි කරන සෙනෙහසිනි .





මගේ පියා ලංකාපුර ධූමරක්ගල ප්‍රාදේශීය පාලකයා ලෙස කටයුතු කරන ධූම්රරාක්ෂ සෙන්පති ය . ඔහුට දාව ඔහුගේ පළමු බිරිඳ වන වාසුල්‍යා කුමරියට උපන් දරුවා මම ය . මා ඉපදී හෝරා දෙකක් හෝ යන්නට මත්තෙන් මගේ මව මිය ගිය බැවින් මා ඇති දැඩි කිරීමේ වගකීම භාරගන්නා ලද්දේ මා මෙලොව උපදින වේලාවේ මා පිළිගැනීමට හිමාලයේ සිට ආ මගේ පියාණන්ගේ වැඩිමහල් නැගෙණිය වන කෛකසී මෑණියන්ය . ඒ වනවිට රාවණ කුමරුද වසර දෙකක පමණ වයසැති වූ නිසාත් කුම්භකරණයන්ට මාසයක් පමණ වයස වූ නිසාත් පසුදාම ඇය මා කැටිව ලංකාපුර සිට හිමාලයට ඒමට නැවු නැග්ගාය .

මා හට නම් තබා ඇත්තේ පුලස්ති මහා සෘෂි තුමා විසිනි . සුරයින් විසින් අප අසුරයින් ලෙස යම් අවමානයකට ලක්කරමින් සිටියද අප සැවොම හිරු දෙවියන්ගේ දරුවන් බව කාටත් නොරහසකි . කුඩා දිය බඳුනකට රසදිය ගල්වන ලද පලිඟු පතක් දමා ඊටම තවත් රසදිය ගලවන ලද පලිඟු පතකින් හිරු දෙවියන්ගේ ආලෝකය හරවා එවූ විට හිරු දෙවියන්ගේ ආලෝක රශ්මියේ ඇති සියළු වර්ණ වෙන් කරගත හැකි වේ .

මේ එක් එක් වර්ණයට අදාළ කිරණයන්ගේ වෙනස් ආකාරයේ බලයක් ගැබ්වී ඇතිබවත් සියලුම වර්ණ ඇති කිරණ එකතුවක සියලුම ශක්තීන් අඩංගුව ඇති බවත් පුලස්ති සෘෂි තුමා තම ඉගැන්වීම් වලදී ඉදිරිපත් කර තිබේ . එම සියළුම වර්ණ සහිත ආලෝකය ප්‍රභාශ්වර ආලෝකය ලෙස නම් කරනවා නම් සියලුම ශක්තීන් සහිත පුද්ගලයා ප්‍රභාශ්වර නම් වෙනවා යැයි කියමින් එතුමා , උපන් ග්‍රහ චාරය බලා මා ප්‍රභාශ්වර ලෙස නම් කර තිබේ .

රාවණයන් යම් දෙයක් උගත්තේද ඒ සියල්ල මා සමග හුවමාරු කරගැනීමටද මා යමක් උගත්තේද ඒ සියල්ල රාවණයන් සමග හුවමාරු කරගැනීමටද අපි දෙදෙනා ඔවුනොවුන් වෙත ගිවිස සිටියෙමු . එබැවින් ඔහුගේ දැනුමේ එක්තරා ආකාරයක පිටපතක් ලෙස මමද මගේ දැනුමේ පිටපතක් ලෙස ඔහුද කටයුතු කළේය . නමුත් බලවන්තයා රාවණයන් බව මම දනිමි . ඔහුගේ උපන් ග්‍රහ චාරය අනුව ඔහු ඒකාන්තයෙන්ම තුන්ලෝකයම සෙලවීමට තරම් ශක්ති වන්තයෙක් වනු නිසැකය . හිරු දෙවියන්ගේ අසහාය ශක්තිය අතින් රැගෙන උපන් බලවන්තයා ඔහුය .





කෛකසී මෑණියන්ගේ ඇමතුමත් සමගම මේ සියල්ල රූප පෙළක් ලෙස සිහිපත් කරමින් සිටි හෙයින් මෙතෙක් වේලා ලිවීමට අවශ්‍ය තල් පත් සකසමින් සිටි කාර්යය මදකට නතර වී ගියේය . මම වහ වහා ඒ කටයුත්ත කරන්නට වීමි . මේ අතරේ වෙසමුණි භවනේ නිහැඬියාව බිඳ දමමින් රාවණ අයියණ්ඩිත් කුම්භකරණ අයියණ්ඩිත් විභීෂණ මලණුවනුත් ඔවුන් සෙවීමට ගිය බෙහෙත් පැළෑටිද රැගෙන ඔසු වේදය පිරික්සන ලද කුටියට ඇතුළු විය .

මගේ කාර්යය තවත් අවසන් නැති බැවින් මම ඔවුන් වෙත නොගියෙමි . රාවණයන් මා සොයා පැමිණියේය .

" දැනට අපි දෙන්නට මේ බෙහෙත් වර්ග ලියා තබන්නට මේ තල්පත් ප්‍රමාණය ප්‍රමාණවත් වෙයි මලණුවනි "

" මම හදිස්සියට උවමනා වෙයි කියලා වැඩියෙන් තල්පත් ගොබයක් ගලවා ගත්තා . ඒකත් ප්‍රමාණයට කපලා හදලම තියලා නැගිටින්නම් අයියණ්ඩි . හොයන්න ගිය බෙහෙත් පැළෑටි ලැබුණා වෙන්න ඕන ? "

" වනාන්තරේ පීරගෙන හොයලා හොයලා යන්තම් ගල් කුලක් උඩ තිබිලා පැළෑටි කීපයක් ගලවගත්තා . ඒත් මම හිතන්නේ මේ පැළෑටි මේ කුටි අසලම තව තවත් වගා කරානම් හොඳයි කියලා . අවශ්‍ය ඔසු පිළියෙළ කරන්න මේ පැළෑටි කීපය මදි වෙයි "

" එහෙනම් ඔය පැළෑටි තිබුණු තැන වගේම තැනක තමයි ආයෙත් හිටවන්න වෙන්නේ . නැත්නම් හැදෙන එකක් නැහැ මේ පසේ නම් "

" උත්සාහ කරලා බලමු . පියාණන් භාවනාවට ගිහින් ආයෙත් ආවද ? "

" නැහැ අයියණ්ඩි "

" මම යනවා ඔසු පිළියෙළ කරන්න වැඩ කටයුතු පටන් ගන්න , ඔය වැඩේ ඉක්මණින් ඉවර කරලා ඔබත් එන්න "



ඊළඟ කොටසින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ඔන්න කිව්වා වගේ කතාව පටන් ගත්තා . මේක ප්‍රභාශ්වර නමින්  ලියවෙන , කතා සෙට් ගොඩක එකතුවක් . තවම රාවණා රජවෙලා තියා ලංකාවට ඇවිල්ලත් නැහැ . ඒ නිසා මේ කතා සෙට් ගොඩක් ලියවෙන්න තියෙනවා . ඒ නිසා කල්පනාවෙන් කියවන්න , කමෙන්ට් කරන්න . අදහස් ඉදිරිපත් කරන්න . හැබැයි එකක් මතක තියාගන්න එහෙ මෙහෙ කොපි කරලා දාන්න එපා . කතා කියවන්න ඕන නම් කතා ටික බ්ලොග් එකේම තියෙන්න දෙන්න . සතියට කොටස් දෙකක් වගේ දාන්න තමයි හිතාගෙන ඉන්නේ . කතාව පරක්කු වෙනවානම් ප්‍රභාශ්වර කුමාරයට වැඩ වැඩි වෙලා නිසා කියලා පොඩ්ඩක් මතක් කරගන්න .  ;) 

එහෙනම් ප්‍රභාශ්වර කුමරුණි ඔබට බලවඩා , ජයවඩා , ආවඩා , ආයුබෝ වේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment