මම කැමතිම ටෙලිනාට්‍ය ගීත 10 ( ඒ කාලේ අහපුවා )





කැමතිම ගීත ලිස්ට් දාන්න කියලා මතක් කරපු ධනුල වික්‍රමාරච්චි මහතා මතක් කරන්න ඕන මේ පෝස්ට් එක ලියන්න කලින් . මොකද එහෙම උනන්දු කිරීමක් කරේ නැත්නම් මෙහෙම ගීත මතක් කරලා එකතු කරන්නේ නැති නිසා .

මේ ගීත අහන්නේ නැතුව නම් වැඩක් නැහැ . ඒ නිසා මේ ගීත අහන්න කියලා මතක් කරනවා .

පලවෙනි ගීතය විදියට මම තෝරන්නේ අග පිපි මල් ටෙලිනාට්‍යයේ තේමා ගීතය . ඒ ගීතයේ මම වඩාත් සිත්ගත් අංග විදියට නන්දා මාලනී මහත්මියගේ ගායන ශෛලිය හඳුන්වන්න පුළුවන් . " වසාගන් දොර " කියන කොටසේ " සා " කියන අකුර ගායනා වෙන විදිය නිසා මේ ගීතයට මම වැඩියෙන්ම කැමති වෙන්න ඇති . මොකද ගීතය අහනකොට ඒ කොටස එනකල් තමයි බලාගෙන ඉන්නේ .

සංගීතය අතින් බලනකොට ඒ වාදනයවෙන හැම සංගීත කොටසකටම වැඩි කැමැත්තක් තියෙනවා .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි //


ගායනය - නන්දා මාලිනී
සංගීතය - නදීක ගුරුගේ
ගී පද - සුමිත්‍රා රාහුබද්ධ





-----------------------------------------------------------------------------------------------------

දෙවෙනියට මම කැමතිම ටෙලිනාට්‍ය ගීතය විදියට තෝරන්නේ ගජමන් නෝනා ටෙලිනාට්‍යයේ තේමා ගීතය .

මේ ගීතය ගැන සහ ගජමන් නෝනාගේ චරිතය ගැනත් මම කීප වතාවකදීම ලියලා තියෙනවා . එහෙම කීප වතාවක් ලිව්වා කියලා මේ ගීත එකතුවෙන් ඉවත් කරන්න බැරි ගීතයක් තමයි මේ ගීතය . විශේෂයෙන්ම මේ ගීතයේ අර්ථයට මම කැමතියි . ගීතයේ අන්තරා කොටස් ජීවිතයට හරිම සමීපයි කියලා දැනෙන තරමටම ඒ ගීතයේ තේරුම අර්ථාන්විතයි .


ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

ජීවිතේ කවියක්..
ආදරේ..සොඳුරු තම වදනක්..
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනෙයි...
පෙර නොවිදි රසයක්..

පසුපසින් හඹා එන අතවර..
හැරදමා..යා නොහැක බෝදුර..
දුක ද ඉවසා දරා ගන්නට
සිතට බල කරනා..
හැඟුම් අවදිව මැවේ කවිකම..

සෙනෙහසින් රැදී උන් නෙක දන..
පලා යයි නොකියාම ඈතක..
පවුරු පදනම් බිදී දස අත
විසිර යන යාමේ..
කවුරු නම් ලංවේද තනියට..


ගායනය - නන්දා මාලනී
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - බණ්ඩාර ඇහැලියගොඩ






-----------------------------------------------------------------------------------------------------


තුන්වෙනියට මම තෝරන්නේ බැද්දේගෙදර ටෙලිනාට්‍යයේ තේමා ගීතය . 

මේ ගීතයේ තේමා වාදනයේ තියෙන සිතාර් වාදනය , මතකය අවුරුදු ගානක් ඈතට අරගෙන යනවා . මොකද මේ ටෙලිනාට්‍යය සහ මෙතන තියෙන ඔක්කොම වගේ ටෙලිනාට්‍ය බලන්න ලැබුණේ කළුසුදු රූපවාහිනියකින් වීම . ඒ කාලේ කළුසුදු වර්ණ වලින් දැක්කත් ඒ ටීවී එකේ තිබුණ ස්පීකර් එකෙන් ඇහෙන ගොරහැඩි හඬින් මේ ගීත ඇහුවත් අමතක වෙන්නේ නැති තරමට මේ ගීත අර්ථයෙන් සහ සංගීතයේ පෝෂණය වෙලා තිබුණා .

මේ ගීතයේ නන්දා මාලනියගේ ගායනයට වගේම තබ්ලාව සහ සිතාර් වාදනය කියන වාදන දෙකටත් වැඩි කැමැත්තක් තියෙනවා .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

අකල් මාරුතෙන් ගිලිහී
අගාධයක නොරැදුණු මල
වසන්තයෙන් පිටමං වී
නිවන්නයක පහනක් විය...

පෙම් දම් විලසින් ලැබුණත් සරදම්
හිමියන් ඇසුරෙන් ලැබුණා මනුදම්
රතැසින් අතරේ දකිමින් දෙවියන්
අවමන් ලද මල මිදුණා කඳුළින්...

අඳුරක් නැති ලොව පළ කිම එළියෙන්
උණුසුම පැතුවා ඇය ඇල් ගඟුලෙන්
හිරු සඳු අතරෙහි දැල් වූ පහනෙන්
ගෙපැලක් මිදුණා විඳි දුක් කතරෙන්...


පද - බන්ධූල නානායක්කාරවසම්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලනී





-----------------------------------------------------------------------------------------------------

හතරවෙනියට මම කැමතිම ගීතය විදියට මම තෝරන්නේ කුමාරයාණෙනි කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය . විශේෂ හේතුවක් නැහැ . ඒත් මම හිතන්නේ මේ ගීතව වැඩියෙන්ම මතක තියෙන්නේ වයලීන් වාදනය සහ බටනලා වාදනය නිසා වෙන්න ඕන .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

අත්වැල ගිලිහී ලොව තනි වුදා
දකිනා පෙරමඟ ලකුණු නැති
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

උසුලනු හැකිවෙද
තණ්හා ආශා
සඟවනු හැකිවෙද
සිතුවිලි මාලා
ඉවසනු හැකිවෙද
සෝ දුක් සංකා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

දෑඟිලි එක්කල
වරපට දෙදරා
සෙනෙහස වැපුරූ
සරු කෙත වනසා
පුහුදුන් හදවත
සෝගිනි දල්වා
ආශා දැහැනින් වැනසී යාදෝ
යුගදිවි ගමනේ සොඳුරු ගති

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ජයතිස්ස බොරළුගොඩ
තනුව - කළණි පෙරේරා






-----------------------------------------------------------------------------------------------------

පස්වන ගීතය විදියට මම තෝරන්නේ දළ රල පෙළ කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය .

මේ ගීතය සහ මේ ටෙලි නාට්‍යය මම හිතන්නේ මම බලපු පරණම ටෙලිනාට්‍යයක් වෙන්න ඕන . ලොකු මතකයකුත් නැහැ මේ ටෙලිනාට්‍යයේ මොනවද තිබුණ දේවල් කියලා . කොහොම නමුත් මේ ගීතය ටෙලි නාට්‍ය ගීත වලින් හිතේ තදින්ම කාවැදිලා තියෙනවා .


ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


වලා අතුල සිරි යහනේ
උනුසුම් හිරු කෙඳි පොරවා
ඉන්ද්‍රචාප කුමාරයා නිදා වැටෙනවා...
මල් සුගන්ධයෙන් නැළවෙන
ලතා මඩුල්ලේ නැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී සින්දු කියනවා...

ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක් එළියෙන් නලියනවා...
නොදරුවකු අතින් බොඳ වුණ
සිතුවමක් ලෙසින් සුන්දර
පාට රෑනකින් දස අත රටා වියනවා...

කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැ‍ටුනු පිනි කැට
රන්දමක් වගේ ගෙලවට රනින් දිලෙනවා...
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබේ දැයි නොසිතන
කෙනෙක් මධුවිතක් තොල් අග තවරගන්නවා...


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් රත්නායක
සංගීතය - ප්‍රේමසිරි කේමදාස






-----------------------------------------------------------------------------------------------------

සයවෙනි ගීතය විදියට මම තෝරන්නේ අඹයාළුවො ටෙලිනාට්‍යයේ තේමා ගීතය .

පොත කියවපු , ටෙලි නාට්‍යය බලපු අයට නම් මේ ගීතයට ඇයි කැමති කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

ළමයින් සුවඳයි
කඳුළක දිළිසෙයි
අඳුරු විමානේ
රන් මිණි පහනයි

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

අනාථ දෑසේ
කෙම්බිම ඔබමයි
මිලාන ලෝකේ
හසරළි උයනයි

තුඩින් තුඩේ රැව් නැගේ
කුරුලු ගී ගායනා
කුළින් කු‍ළේ වැතිරෙතේ
සුදු වලා පාවෙනා

කටු අකුලේ මල් ඇහැරේ
රළු අහසේ තරු හිනැහේ
රළු අහසේ තරු හිනැහේ (රළු අහසේ තරු හිනැහේ)
කටු අකුලේ මල් ඇහැරේ (කටු අකුලේ මල් ඇහැරේ)

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ ටිලානි අමරසිංහ සමග ළමා පිරිස
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - ආනන්ද ගමගේ






-----------------------------------------------------------------------------------------------------

හත්වෙනි ගීතය විදියට මම තෝරන්නේ සකිසඳ එලියස් ටෙලි නාට්‍යයේ තේමා ගීතය .

මේ ගීතයට නම් කැමති වෙන්න හේතු කීපයක් තියෙනවා . ප්‍රධානම දේ තමයි සංගීත සංයෝජනය . මේ ගීතයේ වාදනය වෙනවා ටියුන් කරේ නැති දවුලක් වගේ හඬක් තියෙන තාල වාදන භාණ්ඩයක් . ඒ හඬට වැඩි කැමැත්තක් දක්වනවා මේ ගීතයේ . බටනලා වාදනයත් වඩාත් සිත් ගන්නා විදියට වාදනය වෙනවා . ඒවගේම තමයි මේ ගීතය ගායනා කරන ඇන්ටන් ජූඩ් මහතාගේ කට්ට හඬ සහ මේ ගීතයේ පසුබිම අතර තියෙන ගැළපීම මේ ගීතයේ සාර්ථකත්වයට වඩාත් වැඩියෙන් දායක වෙනවා .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


ලෝකෙ රවුම් කියල කිව්වේ ආදී කාලෙනේ
හතරැස් බව දන්නේ කීදෙනාද අද බොලේ
ඉරෙන් වතුර ගෙන එන අපි දියෙන් ගින්න ගෙනියන්නේ
මෙපින් බලෙන් ලෝසත නිති නිවන් දැක බුදුන් දැක්කේ

ඇත්ත නැත්ත කරනා අය නැත්තට නැති රටක්
නැත්තම කියලා එකනේ සත්තට අපි මෙහෙ රජවුනෙ
ඉරෙන් වතුර ගෙන එන අපි දියෙන් ගින්න ගෙනියන්නේ
මෙපින් බලෙන් ලෝසත නිති නිවන් දැක බුදුන් දැක්කේ

ගීපද - ජයලත් මනෝරත්න
ගායනය - ඇන්ටන් ජූඩ්
තනුව - තරුපති මුණසිංහ





-----------------------------------------------------------------------------------------------------

අටවෙනි ගීතය විදියට මම තෝරන්නේ සබඳ පබිලිස් ටෙලි නාට්‍යයේ තේමා ගීතයට .

මේ ටෙලිනාට්‍යයත් සකිසඳ එලියස් ටෙලිනාට්‍යය වගේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ . ඒ නිසාත් මේ ගීතයේ බටනලා වාදන කොටස් වලටත් මම වැඩියෙන් කැමතියි .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

උණ පුරුකේ බලු වලිගෙ දාලා තිබුණත් නෑ
ඇදේ ඇරෙන්නේ
උණ පුරුකේ බලු වලිගෙ දාලා තිබුණත් නෑ
ඇදේ ඇරෙන්නේ
ටික දෙනෙක් ඒ වගේ හුඟ දෙනෙක් එහෙම නෑ
අපි ඉන්නේ එකටයි
ලබා උපන් හැට්ටියටනේ ඹබා වැනෙන්නේ

මෙතනට කොහෙන්ද ආවේ
මෙතනින් කොහේද යන්නේ
හරියට කවදද යන්නේ
ඉන්නේ කී දොහොද නොදැන
නැටුම් නටන්නේ

මිල මුදල් සොයනවා
අඹු දරුවො රකිනවා
(  ) බඳිනවා
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා

කපටියො මුදුනෙ ඉන්නවා
මෝඩයෝ බර උහුලනවා
ඒවගේ දවස ගෙවනවා
කැරකෙන ලෝකෙක අපි හැල්මෙ දුවනවා


ගී පද - ජෝ අබේවික්‍රම
ගායනය - ඇන්ටන් ජූඩ් / විමල්ජිත් දොඹගහවත්ත
තනුව - තරුපති මුණසිංහ





-----------------------------------------------------------------------------------------------------

නවවෙනි ගීතය විදියට මම තෝරන්නේ ඉටිපහන් ටෙලිනාට්‍යයේ තේමා ගීතය . මේ ගීතයත් බොහොම පරණ ගීතයක් . මේ ටෙලිනාට්‍යය පෙන්වන කාලයේ මම හිතන්නේ මම මොන්ටිසෝරි වත් යන්නේ නැතුව ඇති කියලා හිතනවා . නැත්නම් ඒ ආසනම කාලයේ තමයි . මේ ගීතය වාදනය වෙනකොට තිබ්බ රූප රාමු පෙළ මට මතකයි . ඉටි පහනකට සත්තු ඇදිලා ඇවිත් පිච්චිලා වැටෙන රූප පෙළක් තමයි තිබුණේ . ගීතයේ නන්දා මාලනියගේ ගායන විලාශයට මම කැමතියි . ඒවගේම මේ ගීතයේ වයලීන් වාදන කොටස් වලටත් මම කැමතියි .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


සුළඟට සැලෙනා
සුළඟට සැලෙනා
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

මා වට මඳ එළියේ
පළඟැටි සේනා සැණකෙළියේ
මිහිර බි‍‍ඳේදෝ සිරුර සිඳේදෝ
මා කෙළෙසී යාදෝ...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

මා වත රුවට ඇදී
අනඟ රැඟුම් පා තරග වැදී
හදවත කළඹා ගත සිත පොලඹා
නිසසල දැහැන බිදී...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...
.

කළුවර පලස ඉරා
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා...
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා...


පද - සෝමරත්න දිසානායක
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලනී





------------------------------------------------------------------------------------------

දහවෙනි ගීතය විදියට මම තෝරන්නේ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයේ තේමා ගීතය .

වර්ණ තිරයක බලපු එකම ටෙලිනාට්‍යය මේ ටෙලි නාට්‍යය වෙන්න ඕන . මේ ගීතයේ ගායනයට තමයි වැඩියෙන්ම කැමති .

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


රකිනා දෙවි සිට වග වැලහින්නේ
බැවිනා කිරි පොවමින් ඔහු යන්නේ
ලකුණා පෙරපිං නැති බව දන්නේ
රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ

සදා පුරය මහ සෙනඟ කැලේයා
කියා වැදුනි මහ සෙනඟ කැලේයා
සදා සෙනඟ ගල් කරපු කැලේයා
එදා පසිඳු විය දෙවියො කැලේයා

ගී පද - දළදා කෝල්මුර
තනුව - ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස්





තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment