ප්‍රභාශ්වර - වෙසමුණි භවන (2)




සූරිය කුල තෙද උතුමා
පෑවිය සක්වලට හැමා
කාරිය සිතුවාට තමා
සූරිය දෙවි නමෝ නමා

චන්ද්‍ර සහෝදර උතුමා
චන්ද්‍ර කටක පැවති තමා
සව්සිරි දී රකු මෙ තුමා
චන්ද්‍ර සුරිඳු නමෝ නමා

පසුගිය කොටස

" උත්සාහ කරලා බලමු . පියාණන් භාවනාවට ගිහින් ආයෙත් ආවද ? "

" නැහැ අයියණ්ඩි "

" මම යනවා ඔසු පිළියෙළ කරන්න වැඩ කටයුතු පටන් ගන්න , ඔය වැඩේ ඉක්මණින් ඉවර කරලා ඔබත් එන්න "


අද එතැන් සිට 


මෙම දිනවලදී රාවණ සහ මම විසින් උත්සාහ කරමින් සිටින්නේ ශරීරයේ පවතින නොයෙක් ආකාරයේ විස ඉවත් කිරීමට අවශ්‍ය ඖෂධ නිපදවීම පිලිබඳ යම් පිරික්සුමකටය .  ශ්‍රීනාරායන තෛලය නිපදවීම පිළිබඳව රාවණයන් සහ මම විසින් කරන ලද පිරික්සුම් සාර්ථක වීමත් සමගම පුලස්ති සෘෂි තුමා අපට භාර කරන ලද්දේ මෙම විස ඉවත් කිරීමට හැකි ඔසු නිපදවීමේ කාර්යයි . 

රාවණ වෙනමම ඔහුගේ පුස්කොල පොත් එකතුවක් පවත්වාගෙන යන අතර මගේ පුස්කොල එකතුව මම වෙනමම පවත්වාගෙන යමි . ඕනෑම වේලාවකදී දෙදෙනාගේ පොත් උඩ යටිකුරු කර පෙරළා දමා අවශ්‍ය දේ කියවා සොයාගැනීමට දෙදෙනා විසින්ම දෙදෙනාට අවසර දී තිබුණද හිත යටින් තමන්ගේ පොත් අවුල් වනවා දැකීමට දෙදෙනාම අප්‍රිය කළහ . 

එහෙත් ඔවුනොවුන් කිසිවක් කියමින් දෝෂාරෝපණය කරගත්තේ නැත . එහෙත් ඒවාට සරිලන ආකාරයෙන් භරණ දුෂ්‍යන විභීෂණ යන තිදෙනාගෙන් එක් අයෙකු හෝ පොත් වලට අත තබනවානම් ඒවාට ඔවුන් හට දඬුවම් ලබාදෙන ලද්දේ රාවණ විසින්ය . අනවශ්‍ය දේවල් අල්ලන්න එපා . රාවණයන්ගේ මුවෙහි සෑම වෙලාවකම පාහේ තිබුණු වදන් පෙළකි . 

තල්ගොබය තම්බා පදම් කර අවශ්‍ය ප්‍රමාණයට කපා සකස් කිරීමට මා හට සිතුවාට වඩා කාලයක් ගතවිය . එබැවින් අවසාන කොටස ඉක්මණින් කර අවසන් කර මම රාවණයන් සිටින ඔසු පිළියෙළ කරන ස්ථානය වෙත ගියෙමි . රාවණයන් ඒවනවිටත් ඔසු පිළියෙළ කිරීම ආරම්භ කර තිබිණි . 




" ප්‍රභාශ්වර , ශ්‍රීනාරායන වගේ නෙවෙයි . මේ වැඩේ පහසු නැහැ . හදන එක ඔසුවක් වත් නාග විස නිර්විස භාවයට පත්කරන්නේ නැහැ " 

" මේ අලුත් පැලෑටිය සමහරවිට උදව් වේවි කියලා හිතන්න පුළුවන් . ඒත් අපි පුලතිසි සෘෂි තුමාගෙන් උපදෙස් අරගනිමු අයියණ්ඩි ? " 

" ඕන නැහැ . අපිම මේක හදලා බලමු . පහළ ගමේ සර්පයින් දෂ්ට කරපු අය ඉන්නවනම් ඒ කෙනෙක්ටත් මේ ඖෂධ දීලා පරීක්ෂා කරලා බලන්න පුළුවන් . ඇඟට අහිතකර වෙන්නේ නැති බෙහෙත් වර්ග නිසා වරදක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි " 

" ඔය බෙහෙත් පැළෑටි වලින් කීපයක් තියන්න පැල කරලා මේ පැත්තේ බෝ කරගන්න " 

" ප්‍රභාශ්වර එහෙනම් ඒ පැළ කීපයත් වෙන් කරලා පත්‍ර කීපයක් තලලා යුෂ වෙන් කරලා ගන්න රිදී බඳුනකට " 

" නැහැ මම හිතන්නේ රිදී බඳුනට වඩා රත්‍රන් බඳුනක් තමයි මේ දේට ගැළපෙන්නේ . රිදියෙන් විෂ නසනවාට වඩා වැඩි බලයක් රත්‍රන් වලට තියෙනවා . ඒ බලයෙන් විෂ ගතිය අඩු කරවන බලය වැඩි කරගන්න පුළුවන් වේවි " 

" හොඳයි එහෙනම් අපි රන් රිදී බඳුන් දෙකකට මේ යුෂ කොටස් දෙකක් එක් කරලා වෙන වෙනම පරීක්ෂා කරලා බලමු "


මම රාවණයන් විසින් හිමාලයෙන් රැගෙන ආ බෙහෙත් පැළෑටි වලින් කීපයක් වෙන් කරගෙන ඒවා නැවත පැළ කිරීමට තබා අනෙක් පැළෑටි වලින් පත්‍ර කීපයක් ගෙන එහි යුෂය ගෙන රත්‍රන් සහ රිදී බඳුන් දෙකකට වෙන් වෙන් ලෙස දැමීමි . 

මේ අතරතුර රාවණය විසින් තම බෙහෙත් වට්ටෝරුවේ සඳහන් බෙහෙත් වර්ග ගෙන අවශ්‍ය ප්‍රමාණ වලින් එකිනෙක මිශ්‍ර කරමින් සිටියේය . 

" අයියණ්ඩි මෙන්න රන් බඳුන , මෙන්න රිදී බඳුන . අපි එහෙනම් පරීක්ෂා කරලා බලමු මොකද වෙන්නේ කියලා නේද ? " 

" ප්‍රභාශ්වර ඔබ මට අභියෝග කරනවාද ? " 

" තුන්ලෝකයම සෙලවීමට තරම් මහානුභාව සම්පන්න ග්‍රහචාරයකින් මෙලොව උපන් ඔබට අභියෝග කරන්න තරම් මට පිස්සු කියලා අයියණ්ඩි හිතනවද ? " 

" තුන් ලෝකයම ? , මහානුභාව සම්පන්න ? " 

මද වෙලාවක් ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලා සිටි රාවණ අයියණ්ඩිත් මමත් සිනහ වෙන්නට ගත්තේ වෙසමුණි භවනේ නිහැඬියාව බිඳීමින්ය . රාවණයන්ගේ කටහඬ තරමක් ගැඹුරු ඒවගේම දුරකට ඇහෙන තරම් හඬක් විය . එබැවින් ඈතින් එන විශ්‍රවස් මුණිවරයාටද සිය පුතණුවන්ගේ සහ ප්‍රභාශ්වරගේ හඬ ඇසි තිබිණි . 

" රාවණ ? " 

" දීර්ඝායු වේවා පියතුමණි ! "
" දීර්ඝායු වේවා මාමණ්ඩි ! " 

මමත් රාවණයනුත් එකවරම වෙසමුණි භවනේ වර්තමාන හිමිකරුට ආශිර්වාද දැක්වීමු . 

" ආශිර්වාද වේවා ! " 

එතුමන්ද අපිට ආශිර්වාද කලේය . 

" රාවණ , මොකද මේ කවදාවත් නැතුව දෙන්නත් එක්ක මහා සද්දෙට හිනාව . ඔබගේ මුත්තණුවන් විසින් දුන් අභියෝගයට පිළිතුරක් හොයාගෙනද මේ දෙන්නත් එක්ක හිනා වෙන්නේ ? " 

" නැහැ පියතුමණි මේ ප්‍රභාශ්වර මට විහිලු කරනවා . ඒකට අපි දෙන්නටම හිනා පහළ වුණා " 

" විස නසන බෙහෙත හදලා ඉවරද දෙන්නා . ඔන්න ඉර අවරට යන වෙලාව ළං වෙලා මුත්තණුවන් භවනට සැපත් වෙනවා කියලා දන්වන්න කියලා කිව්වා ගෝලයෝ දෙන්නට ලැස්ති වෙලා ඉන්න කියලා මතක් කරන්න කිව්වා " 





" ප්‍රභාශ්වරත් මමත් ඖෂධ දෙකක් පිළියෙළ කරා පියතුමණි . අපි මේ ඒ ඖෂධ දෙකම පාවිච්චි කරලා බලන්න හදන්නේ මොකද වෙන්නේ කියලා බලන්න . මම හිතන්නේ ප්‍රභාශ්වර හදපු ඔසුව මගේ ඔසුවට වඩා බලවත් වෙන්න පුළුවන් " 

" පුලතිසි මුත්තණුවන් ආවාම අපි පරීක්ෂා කරලා බලමු මොකද වෙන්නේ කියලා " 

" හොඳමයි පියතුමණි "

විශ්‍රවස් මුණිතුමා ඖෂධ නිපදවන ස්ථානයෙන් ඉවත්ව ගිය පසු රාවණයන් සැලසුමක් ඉදිරිපත් කලේ පුලතිසි සෘෂි තුමා ඒමට පෙර ඖෂධය කෙසේදැයි පරීක්ෂා කර බැලීමටය .

" ප්‍රභාශ්වර , මුත්තණුවන් එන්න කලින් අපි මේක පරීක්ෂා කරලා බලමු "

" ඒ කොහොමද ? "

" ඔයාට මතකද අපි විස අදින්න දෂ්ට මුඛයට තියන්න විස ගලක් හැදුවා ? "

" ඔව් , ඉතින් ? "

" ඉතින් ඒ විස ගලට විස ඇතුළු වුණාම ඒ විස ඉවත් කරලා විස ගල ප්‍රකෘතිමත් කරන්න කරපු දේවල් අමතකද ? "

" බෙහෙත් ගුලියක් එල කිරි බඳුනකට දාලා ඒකට විස ගල දානවා . එතකොට විස එල කිරි වලට ආවම බෙහෙත් ගුලියේ බලයෙන් කිරි බඳුන රතු පාට වෙනවා "

" අපි මේකටත් ඒක කරලා බලමු "

" හොඳයි අපි පරීක්ෂා කරලා බලමු "

" එහෙනම් හෙමීට එල කිරි ටිකක් බඳුනකට අරගෙන එන්න මෑණියන්ට දැනෙන්නේ නැතිවෙන්න "

මම මුළුතැන්ගෙය වෙත සෙමෙන් සෙමෙන් ගමන් කලෙමි . කෛකසී මෑණියන් එහි සිටියේ නැත . රිදී කොතලයක එළකිරි පුරවා තිබිණි . මම එයින් ස්වල්පයක් රැගෙන රාවණයන් වෙත ඉක්මණින් පැමිණියෙමි .

" මෑණියන් මුළුතැන්ගෙයි හිටියේ නැත්ද ? "

" නැහැ . මම ඉක්මණට එළකිරි රැගෙන පිට වුණා "



" එහෙනම් ඔය ඔතන තියෙන මැටි බඳුනට ඔය කිරි ස්වල්පයක් වත්කරන්න . අපි පාවිච්චි කරන රන් රිදී භාජන වලට දාලා පරීක්ෂා කරන්න බැහැ "

" නයි විෂ ඉතිරිව තියෙනවද ? "

" මම නයි තුන් හතර දෙනෙක්ගෙන්ම වැඩියෙන් නයි විස එකතුකරගත්තා . ඒ නිසා වැඩියෙනුත් එක්ක තියෙනවා ප්‍රභාශ්වර "

" අයියණ්ඩි එහෙනම් අපි දෙන්නාගේ ඖෂධ බඳුන් දෙකෙන් ගන්නා ඖෂධ වලට වෙන වෙනම නයි විස එකතු කරන්න . ඒකත් එහෙනම් මැටි බඳුන් වලම තමයි එකතු කරන්න වෙන්නේ "

රාවණයන් නයි විස ස්වල්පය බැගින් ගෙන ඒවා මැටි බඳුන් වලට වෙන වෙනම දමා රැගෙන ආවේය .

" මේ බඳුන ප්‍රභාශ්වර ගන්න , මේ බඳුන මම ගන්නවා . මම රිදී බඳුනේ ඖෂධ එකතු කරන්නම් . ප්‍රභාශ්වර රන් බඳුනේ ඖෂධ එකතු කරන්න "

" හොඳයි අයියණ්ඩි "

රාවණයන්ගේ නයි විස දමන ලද ඖෂධ සහ බෙහෙත් ගුලි සහිත එළකිරි එකට කලවම් කිරීමෙන් අනතුරුව මද වෙලාවකින් මුළු බඳුනම රතු පැහැයක් ගත්තේය . එබැවින් ඔහුගේ පරීක්ෂණය අසමත් විය . මම විසින් කරන ලද පරීක්ෂණය සාර්ථක විය . එබැවින් මෙම ඖෂධය සෑදිය යුත්තේ රන් බඳුනක බව මමත් රාවණ ඉගෙන ගතිමු .

" අපි දෙන්නා එහෙනම් රන් බඳුනේ ඖෂධය මුත්තණුවන්ට පෙන්වමු "

" අයියණ්ඩි කැමති විදියක් කරන්න . මේ ඖෂධ එකතු කරන්න නැකත් වේලාවන් හදපු විදිය ගැනත් මම හිතන්නේ පුලතිසි මුත්තණුවන්ට කියන්න වේවි "

" දරුවනේ.............................. "

ඒ කෛකසී මෑණියන්ය .

" ඇයි මෑණියෙනි ? . අපි ඖෂධ කුටියේ "

" දිවා ආහාරය සූදානම් කරලා තියෙන්නේ දරුවනේ "

" මම එනවා මෑණියෙනි "

මම එනවා කියමින් දිව ගියේ කුම්භකරණ ය . ඔහු කවදත් කෑමට දක්ෂයෙකි . ඒ වගේම මහා කය බලයකින් හෙබි පුද්ගලයෙකි . ඔහු අප සියල්ලන්ටම වඩා හැඩි දැඩි පුද්ගලයෙකු වන බව කුඩාකල සිටම අපි දන සිටියෙමු .

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment