මුදු මුහුණේ සුව දැනුනේ මගෙ විතරද ?






ගීතයක් ගැන ලියන්න ඕන කියලා හිත හිත හිටියට ලියන්න තරම් වැදිච්ච සිංදුවක් මේ දවස් වල තිබුණේ නැහැ . මේ දවස්වල වැඩියෙන්ම අහන්නේ වාදන . රවි ශංකර් , අනුෂ්කා ශංකර් , සකීර් හුසේන් , පන්නලාල් ගෝෂ් , හරිප්‍රසාද් චෞරසියා වගේ අයගේ වාදන තමයි ඒ වාදන ලිස්ට් එකේ තියෙන්නේ . අපේ ගෙදර ටිකක් සද්ද බද්ද වැඩියි . මොකද පොඩි චරිතයක් නිතරම ගෙදර ඉන්න නිසා .

ඒ නිසා පොතක් කියවන්න ගත්තත් කේන්දරයක් බලන්න ගත්තත් fb ආවත් හැමවෙලේම වගේ මම ඔය වාදනයක් හෝ ගීතයක් දාගෙන හෙඩ් සෙට් එක කනේ ගහගෙන තමයි වැඩ කරන්නේ . මේ ගීතය මතක් වුනේ දවසක් කේන්දර ලියලා තියෙන පොත පෙරලනකොට .

ජ්‍යෝතිෂ විද්‍යාව එදා ඉඳලා අද දක්වා පරිණාමය වුණේ සෘෂි වරුන්ගේ න්‍යායාත්මක දැනුම සහ ඒ ඒ කාලවල පහළවෙච්ච විශාරදයින්ගේ පරීක්ෂණ මත . ඒ නිසා මමත් ලැබෙන හැම කෙනෙක්ගෙම කේන්දර එදා ඉඳලාම පොතක ලියනවා එකතු කරලා විශ්ලේෂණය කරලා මොනවා හරි අලුත් දෙයක් කරන්න . 

ඒ නිසා ඒ ඒ අයගේ විශේෂතා කේන්දරේම ලියලා තියෙනවා . වෙලාවක් ලැබුණු වෙලාවේ මම මේක දවසක් ආයෙත් මුල ඉඳලා පෙරලලා බැලුවා . ඔය බලන අතරේ දකින්න ලැබුණු කේන්දරයක් තමයි අද කතාවට මාතෘකා වෙන්නේ . ඊට පස්සේ අපි එමු ගීතයට . 


ගිය අවුරුද්දේ අන්තිම මාසේ දවසක මට කෙනෙක් කේන්දරයක් මගේ fb එකවුන්ට් එකට මැසේජ් කරලා තිබුණා ඒකෙ ගුණ අගුණ කොහොමද කියලා කියන්න කියලා . මම ඊට පස්සේ ඕක බලන්න ලොකු කාලයක් ගත්තා . මොකද ඒක ලැබෙන්න කලින් ගොඩක් කේන්දර ලැබිලා තිබුණු නිසා . 

ලැබුණු පිළිවෙලට තමයි මම බලන්නේ ඒක සාධාරණ නිසා . දවසට කේන්දර දෙකක් විතරක් බලන්න තමයි මම වෙලාව තියාගෙන ඉන්නේ . එතකොට අනිත් දේවලුත් සමබර කරගෙන කරන්න පුළුවන් නිසා . ඒත් මේ කේන්දරේ බලන්න ගොඩක් කල් ගියා . ඊට පස්සේ දවසක් ඔන්න මෙයා මට ආයෙත් මැසේජ් කරලා තිබුණා . 

ඒ මැසේජ් එකේ කියලා තිබුණේ එයාගේ පවුල් ජීවිතයේ ප්‍රශ්නයක් තියෙනවා . ඒක තවම විසඳගන්න ලැබුණේ නැහැ ඒ නිසා කේන්දරේ ඉක්මණට බලලා දෙන්න කියලා . 

එයා විවාහක කෙනෙක් . ඉතින් හදිස්සියි කිව්ව නිසා මම ඒක ඉක්මණට බැලුවද ? . නැහැ . වයලීනෝ එහෙම කෙනෙක් නෙවෙයි නිසා හරියට පිළිවෙලට බලාගෙන ඇවිත් ඔන්න හරි තැනදී ඒකත් බැලුවා . කේන්දර බලනකොට කේන්දරේ ගන්න වෙලාවේ මම කේන්දරේ දෙන කෙනාගෙන් අහන විශේෂතම ප්‍රශ්නය තමයි මගේ පළාපල කථනය හරහා විශේෂයෙන් දැනගන්න උවමනා මොනවාද කියන එක . මොකද එයාලට අවස්තාවක් දීමෙන් වඩාත් හොඳ විස්තරයක් ලබාදෙන්න පුළුවන් නිසා . 

මෙයා ඒකට කියලා තිබ්බේ එයාගේ පවුල් ජීවිතය කොහොමද , දරු පල කොහොමද ? , එයාගේ වෙනත් සම්බන්ධතා ඇතිවීමේ හැකියාවක් තියෙනවද ? එයාගේ බිරිඳට වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න හැකියාවක් තියෙනවද කියන එක . ඔය ප්‍රශ්න ඔක්කොටම මම ළඟ කේන්දරේ හරහා උත්තර තිබුණා . මම ලවා කේන්දර බලවාගත්ත අය දන්නවා ඇති මම කියන කතා , ඔයවගේ ඒවා ගැන . 

ඇඟට දැනෙන්නේ නැතිවෙන්න මම කියන ඔය වගේ දේවල් තේරුම් ගන්නේ බොහොම පොඩ්ඩයි . තේරුම් ගත්තේ නැති වුණාම සමහර අයට මම ඒක අන්තිම මොහොතේ තේරුම් කරනවා . එහෙම කරන්නේ ඉගෙන ගත්ත යමක් කමක් තේරුම් ගන්න මොලයක් තියෙන අයට විතරයි . නැත්නම් පවුල් අවුල් වීම වෙන නිසා ඒවා කියවෙන්නේ නැහැ . 

ඔන්න ඉස්සෙල්ලම පිරිමි කෙනාගේ කේන්දරේ බැලුවා . හරි අවුලක් නැහැ . ඒකෙ තියෙනවා වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුළුවන් කියලා එයාට . ඊට පස්සේ ඒ ගැන කිව්වා . කිව්වට පස්සේ මිනිහත් කිව්වා ඔව් එහෙම එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා කිව්වා තමන්ට බිරිඳගේ කේන්දරේ බලවාගන්න ඕන කියලා . මම ඊට පස්සේ කිව්වා මම බලලා දෙන්නම් හැබැයි ටික දවසක් දෙන්න කියලා . 

ඔන්න ඔය ටික දවසට තමයි මෙයා පිස්සු නටන්න ගත්තේ . හැමදාම මට මැසේජ් කරන්න ගත්තා බිරිඳ පිට යන්න පුලුවන්ද කියලා අහලා . ඒ අස්සේ අහනවා තමන්ට මීටත් අමතරව වෙනත් සම්බන්ධතා ඇතිවෙන්න පුලුවන්ද කියලා . මම බිරිඳගේ සහ සැමියාගේ කේන්දර දෙක එකට තියලා බැලුවා මොකක්ද අවුල කියලා . දෙන්නා වෙන් වෙන්න පුළුවන් . ඒත් බිරිඳ චරිතය නසාගන්නවා කියලා පෙන්නුම් කරන මොකවත තිබුණේ නැහැ .




ඔය මැසේජ් ටික සාවධානයෙන් බලපු මම ඒත් හිටියා එයාගේ අවස්ථාව ආවම එයාගේ බිරිඳගේ කේන්දරේ බලලා දෙනවා කියලා හිතාගෙන . මෙයා එන්නේ මෙයාගේ හිතේ තියෙන දේවල් වලට මගේ පළාපල විස්තරේ අවියක් කරගන්න කියලා මට තේරුම් ගිය නිසා මම ඒ කේන්දරය බැලීම ප්‍රතික්ෂේප කරා . 

පස්සේ එයා බැගෑපත් වුණත් මම ඒක ප්‍රතික්ෂේප කරා . ඇත්තටම හොඳ බිරිඳක් එයාට හිමිවෙලා තිබුණා . එයාට තිබුණේ වෙනත් ගෑණු පස්සේ යන්න තියෙන උවමනාවට හිත හදාගන්න හේතු හොයන්න තිබ්බ උවමනාවක් .

කේන්දර බැලීම ප්‍රතික්ෂේප කලත් මම එයාට කිව්වා ඔයාට වඩා ඔයාගේ බිරිඳගේ කේන්දරේ හොඳයි . ඒ කියන්නේ එයාගේ ජීවිතය හොඳයි  . ඔයා බැන්දට පස්සේ තමයි එයාට දුක් විඳින්න වෙනවානම් වෙන්නේ කියලා . එයා ඒක පිළිගත්තා . ඒත් ඊට පස්සෙත් ප්‍රශ්නය වුණේ බිරිඳ පිට යනවද කියන එක . ඉන් එහා මම ඒ ගැන මොකවත් අදහස් දක්වන්න ගියේ නැහැ .

ඔයවගේ අත්දැකීමක් මට ලැබුණාමයි . 

මෙතන පිරිමියා රැකියාවක් කරන්නේ නැහැ . ඉගෙනගෙනත් නැහැ . බිරිඳ තරමක් ඉගෙනගෙන . රැකියාවක් කරනවා . උපයනවා . බිරිඳ උපයන සල්ලිවලින් කකා , තව බිරිඳ පිට යනවද කියලා සැක කරන එක කොච්චර පහත් වැඩක්ද . ඊටත් වඩා පිළිකුල් සහගත දේ තමයි ජීවිතය සාර්ථක කරගන්න පාරවල් කියලා දෙන ජ්‍යෝතිෂ විද්‍යාව වගේ ඉගැන්වීමක් ඇයි මේ මිනිස්සු ජීවිතේ නැති කරගන්න නාස්ති කරගන්න පාවිච්චි කරන්නේ කියන එක . 

බිරිඳ පිට ගියා කියමුකෝ , ඒක හොයාගන්න කේන්දරෙන් පුළුවන් වුණත් එයාගේ අරමුණ මොකක්ද කියලා පැහැදිලි නිසා මම කිව්වේ නැහැ . අවසාන වශයෙන් මම කිව්වේ බිරිඳ පිට යනවානම් කොන්දක් තියෙනවනම් කෙලින්ම පස්සෙන් ගිහින් හොයාගන්න කියන එක . එතනින් ඒ කතාව අවසන් වුණා . 

කේන්දර බලන්න ගිහින් සමාජය ගැන මාර දේවල් තමයි අහන්න දකින්න ලැබුණේ . 75% වගේම තියෙන්නේ අන්ධ වීම නිසා ජීවිතේ විනාශ කරගත්ත අවස්ථා . ඒත් 25 % වගේ තියෙනවා හොඳ තත්වයක් . මේ ගතවුණු කාලයටම සැලකිය යුතු ප්‍රශ්න නැති එකම එක පවුලක් මට හම්බෙලා තියෙනවා .

ඒවගේම තමයි බිරිඳගේ ඉතිහාසය හොඳ නැති ඒත් වර්තමානය හොඳ නිසා අනාගතයත් හොඳ වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිත හදාගෙන ඉන්න , තමන්ගේ ඉතිහාසයත් හොඳ නැති නිසා බිරිඳට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වර්තමානය හොඳින් ගත කරන දෙවිවරු වගේ චරිතත් මට හමුවෙලා තියෙනවා .

ස්වාමියාගේ වැරදි ඉවසාගෙන ඒවා ටික ටික හදාගෙන දියුණුවෙන්න බලන ධෛර්යවන්ත් කාන්තා චරිතත් මට හමුවෙලා තියෙනවා . ඒ හැමෝම තමන් ගත කරන ජීවිතය උපේක්ෂාවෙන් බලලා ගොඩ යන්න ගන්නා උත්සාහය හරිම ප්‍රශංසනීයයි .





ඒ හැමදේම ගැන හිතලා බලනකොට අවසානයේ පේන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වීම නිසා තමයි හැමදේටම ප්‍රශ්න අරගෙන එන්නේ කියලා . ලැබුණු දේ හොඳයි කියන මතයෙන් ඉදිරිය ගැන කල්පනා කරලා වැඩ කරන්නේ නැතුව ලැබුණු දේවල වල වැරදිත් නොලැබුණු දේවල් ගැනත් හොයන එකයි හොඳ නැතිම දේ . අනික තමයි අනුන්ට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව ඉස්සෙල්ලම තමන් හොඳට ඉන්න ඕන කියන දේ . තමන් කරන පැමිණිල්ල හෝ දෝශාරෝපනය සාධාරණ එකක් වෙන්නේ අන්න එතකොටයි .

කේන්දර පොත පෙරලන වෙලාවේ ඔන්න ඕවා එක්ක තමයි මෙන්න මේ ගීතය මතක් වුණේ . ඊට පස්සේ ගීතය ගැන හොයලා බැලුවාම එක එක වර්ගයේ මත තිබුණා . ඒත් මම හිතුවා ඒ කේන්දර කතාවෙන් ලැබුණු ආරම්භයත් එක්ක මේ ගීතය ගැන ලිව්වනම් හොඳයි කියලා .

ඉස්සෙල්ලම අපි ගීතය අහලා ඉමු . හෙඩ් සෙට් දාගෙන ගීතය අහන්න . නැත්නම් ගීතයේ හොඳ සංගීතය ඇඟට දැනෙන එකක් නැහැ .





මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

පද රචනය -මහින්ද දිසානායක



සංගීතය     -ගුණදාස කපුගේ



ගායනය     -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ







මේ ගීතය විවාහක යුවලක් අතර සිදුවෙන ගැටීමක් විදියට සමහරෙක් අර්ථ දක්වලා තිබුණා . ඒවගේම තවත් කෙනෙක් ලියලා තිබුණා මේ ගීතයෙන් කියවෙන්නේ අවිවාහක යුවලක් ඒත් ලිංගික හැසිරීමක් වෙනුවෙන් සූදානම් වන අවස්ථාවක දෙන්නාගේ හිතේ ඇතිවෙන ප්‍රශ්න සමුදායක් ගැන කියලා . මොකද හදිස්සියේ හෝ සැලසුම් කරලා හෝ ඒ වෙනුවෙන් වෙලාවක් හදාගෙන මේ දෙන්නා හමුවෙන වෙලාවේ මේ පිරිමියාට මේ කාන්තාව කෙරෙහි ආදරයක් ඇතිවෙනවා . පෙනුමට හෝ හැසිරීම නිසා වෙන්න ඇති . ඒ ආදරය නිසා මේ සම්බන්ධය තව දුරටත් අරගෙන යන්න හෝ විවාහ වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරන ස්වභාවයෙන් මේ ගීතය නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි එතැන විස්තර කරලා තිබුණේ .

මේ ගීතය අහනකොට මටනම් හිතෙන්නේ විවාහක යුවලක් පවුල් ප්‍රශ්නයක් ආරම්භ කරගන්න සූදානම් වෙන අවස්ථාවක් මේ ගීතයේ සඳහන් වෙලා තියෙනවා කියලා තමයි . විවාහක යුවලක් කියලා කියන්න මම මෙන්න මේ දේවල් තමයි හේතු කරගත්තේ .

ගණිකාවකට " පිය ලඳුනේ " කියලා ආමන්ත්‍රණය කරයි කියලා විශ්වාස කරන්න බැහැ . ඒවගේම තමයි හදිස්සියේ මුණ ගැහුණු දෙන්නෙක් අතරේ මේ දෙබස වෙනවානම් පිරිමියා කාන්තාවට " පිය ලඳුනේ " කියලා ආමන්ත්‍රණය කරන්නත් කාන්තාව විසින් පිරිමියාට " හිමි සඳුනේ " කියලා ආමන්ත්‍රණය කරන්නත් හැකියාවක් නැති නිසා . අනිත් කාරණාව තමයි පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද කියලා ප්‍රශ්න කිරීම . අවිවාහක යුවලක් නම් ඔය ප්‍රශ්නය අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ . ගණිකාවක් නම් ඒත් අහන්න උවමනාවක් වෙන්නේ නැහැ .

ගීතය ගැන පොදුවේ මෙන්න මෙහෙම අදහසක් තමයි මම දරන්නේ . විවාහක යුවලක් විවාහ වෙලා ටික කාලයක් ගතවුණාට පස්සේ ඒ දෙන්නා ගැන දෙන්නටම සැක හිතෙනවා . ගීතයෙන් කියවෙන්නේ සැකයේ ආරම්භය . ඒ කියන්නේ හිතෙන් සැක කරන අවස්තාව ගැන . සමහර වෙලාවට පෙම්වතුන් අතරෙත් මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා . ඒක වගකීම් රහිත ප්‍රශ්න ඇතිවීමක් . පෙම්වතුන් අතරේ සැකය ඇතිවීමෙන් වෙන් වුණා කියනවාට වඩා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා විවාහ වෙලා ඉන්නා දෙන්නෙක් අතරේ ප්‍රශ්නයක් ඇතිවෙලා වෙන් වුණාම . ඒ නිසා සැකයේ වාසියට ඉඩ දීම නෙවෙයි වැදගත් වෙන්නේ හරියටම අදාළ කාරණය ගැන හොයලා බලලා වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ . අපි බලමු ගීතය ගැන .





මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද

ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද...

ස්වාමියා අහනවා බිරිඳගෙන් ඔබගේ මෘදු මුහුණේ සුවය දැනුනේ මට විතරද කියලා . ඒ කියන්නේ මුහුණ සිප වැලඳ ගත්තේ ස්වාමියා විතරද කියලා . එතකොට බිරිඳටත් තියෙනවා ඒවගේම ප්‍රශ්නයක් . ඒ තමයි ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද කියන ප්‍රශ්නය . 

ස්වාමියා බිරිඳගෙන් ප්‍රශ්න කරනවාට වඩා සැර ගතිය වැඩි අර්ථයක් තමයි බිරිඳ ස්වාමියාගෙන් කරන ප්‍රශ්නයෙන් මම දකින්නේ . ඔබෙ සුසුමේ සුව දැනුනේ කියලා කියනකොට එතනින් වක්‍රාකාරව ලිංගික එක් වීමක වේගවත් සුසුම් පහර වුණත් අර්ථවත් කරන්න පුළුවන් . කොහොමත් බිරින්දෑ වරුන්ගේ ප්‍රශ්න කිරීම් සැර නිසා ඒ තර්කය සාධාරණ වෙන්න ඕන . 

දෙන්නට දෙන්නා සැක කරනවා . තවම ගිනි පත්තුවෙලා නැතත් ගිනි පත්තු වෙන්න ඔන්න මෙන්න වගේ තමයි තියෙන්නේ . දෙන්නම ගින්න අවුලව ගන්න මාවතක් හොයනවා කියලා තමයි ගීතයෙන් පේන්නේ . ගීතයේ සංගීතය ගැන කියනකොට මට ඒකට හොඳ සාක්ෂි තියෙනවා . අපි එතකොට බලමු ඒ මොනවද කියලා . 





පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද

උර තලයේ හිස රන්දා
සුව වින්දේ මන් විතරද...

ඊළඟට පිරිමියා ප්‍රශ්න කරන්නේ බිරිඳගෙන් , ඇයගේ උකුල් තලයේ හිස තියාගෙන නිදි වැරුවේ ස්වාමියාම විතරද කියලා . නිදි වරනවානම් , මුලින් කිව්වා වගේ ගණිකාවක් හෝ ප්‍රේම වන්තියක් නොවෙයි නම් . මේ ගීතයෙන් විවාහක යුවලක් ගැන කියවෙනවා කියන එක සාධාරණයි කියලා මම ආයෙත් මතක් කරනවා .

එතකොට බිරිඳටත් ඒවගේම ප්‍රශ්නයක් එනවා තමන්ගේ ස්වාමියාගේ උර තලයේ හිස තියාගෙන ඒ සුවය වින්දේ තමන් විතරමද කියලා . ගීතය මුල ඉඳලා ක්‍රම ක්‍රමයෙන් උච්චත්වයට ගමන් කරනවා වගේ තමයි පේන්නේ . අපි බලමුකෝ දෙවෙනි අන්තරා කොටස කොහොමද කියලා .





ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද

ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද...

ගීතයේ අර්ථයේ පිළිවෙලින් ගලායාමේ උච්චම තැන තමයි මේක . ප්‍රශ්න කිරීමේ ඉහළම ප්‍රශ්නය . ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මං විතරද ? . ඉඟ නෙරියේ රැලි බිඳිනවා කියන එකෙන් කියන්නේ ශරීරයේ වස්ත්‍ර ඉවත් කිරීම . 

හැබැයි වස්ත්‍ර දෙකක් තියෙනවා නෙරිය තියන . එකක් චීත්තය . අනික තමයි ඔසරිය . විවාහයෙන් ඔසරියත් , පසු කාලීනව චීත්තයේ නැත්නම් සේලයේ නෙරියේ රැලි බින්දේ ස්වාමියා විතරද කියලා තමයි ඒ ප්‍රශ්න කරන්නේ . ඒ ආකාරයෙන් වක්‍රව අහන්නේ ලිංගික ඇසුරක් පැවතුනේ ස්වාමියා එක්කමද කියන එක . 

බිරිඳ අනික් අතට අහනවා ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද කියලා . ඒකෙන් කියන්නේ ස්වාමියා ලිංගික ඇසුරක් පවත්වලා තියෙන්නේ තමා එක්කම විතරද කියන කාරණාව . ගීතය මේ ආකාරයට අවසාන වුණත් මේ ගීතයේ හොඳ තැන් කීපයක් තියෙනවා මතක් කරන්න . 

කලින් කිව්වා වගේ මේ ගීතයේ සිප ගැනීම , උකුලේ හෝ උර තලයේ නිදි වැරීම , අවසානයේ ලිංගික ඇසුර කියන පිළිවෙලට ගීතයේ අර්ථය පහළම තැන ඉඳන් උච්චතම අවස්වථා දක්වා ගමන් කරලා තියෙනවා . ඒක විශේෂයි ගීතයේ . 

ඒවගේම තමයි මේ ගීතයේ මාත්‍රා විසිහතරේ විරිත රැකලා තියෙනවා අපේ වචනයෙන් කියනවනම් ආයේ නෑ සුපිරියටම . 

මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද...

පුළු ලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද
උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද...

ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද...


සමහර තැන් වල අවශ්‍ය විදියට හල් අකුරු වැටිලා තිබුණත් විරිත රැකිලා තියෙනවා . ඒ විරිත රැකිලා තියෙන නිසා ගීතය නිකං කියවාගෙන ගියත් ඇඟට දැනෙන්නේ අමුතුම ගතියක් . සිංහල භාෂාවේ තියෙන ගතිය ඒක තමයි . කවි ලිවීමේදී භාවිතාවෙන මේ විරිත් ගීත වලට භාවිතා වීම සංගීත නිර්මාණය කරන සංගීතඥයාට වඩාත් උදවු වෙන දෙයක් . මොකද ගීතය මාත්‍රා වලට හරියට කඩන්න පුළුවන් නම් තනුව දාන්න ලේසියි . මට මතකයි මගේ සංගීත ගුරුවරයා , ගුණපාල විතානගේ සර් ගීත වලට තනු දානකොට සමහර වෙලාවට කියනවා මේ වචන හරිම අප්සැට් කියලා . ඒත් සර් ඒ ගීත වලට තනු නිර්මාණය කරන්නේ සංගීතඥයා කෙතරම් දක්ෂද කියලා පෙන්වන්න තියෙන එක සාධයක් තමයි ඒක කියන එක පෙන්නුම් කරමින් .





අපි එහෙනම් ගීතයේ සංගීතය ගැන බලමු . මේ ගීතය මම අහන්න ගත්තෙත් සංගීතය නිසාම තමයි . රාත්‍රී කාලයේ හදවතට දැනෙන සංගීතයක් තමයි මේ ගීතයේ නිර්මාණය වෙලා තියෙන්නේ . ඇත්තටම මේ ලිපියේ වචන ගැන මම ලිව්වේ උදේ කාලයක . එත් සංගීතය ගැන ලියන්න තියෙන තැනට ඇවිත් ලිපිය නතර කරලා තිබුණේ රාත්‍රී කාලයේ සංගීතය ගැන ලියන්න ඕන කියලා . සංගීතය ඇඟට දැනෙන්නේ ඒ වෙලාවට තමයි හොඳට .

මුලින්ම අපි බලමු ගීතයේ තාල වාදනය ගැන අපි සලකලා බලමු . මගේ ගීත විචාර කියවලා තියෙන අය දන්නවනේ මම ඉතින් තාල වලට අලුත් පද හදනවා කියලා . මේ ගීතයේ ප්‍රධාන තාලය වාදනය කරන්නේ එකොස්ටික් ඩ්‍රම් එකකින් . ඒවගේම ඔක්ටර් පෑඩ් එකක් ඒ එක්කම හරි හරියට වාදනය කරනවා . ඒ දෙක වෙන් කරලා අඳුරගන්න ටිකක් අමාරුයි . ඒත් විමසිල්ලෙන් අහන්න .

එතකොට වෙන් කරලා අහන්න පුළුවන් . ඒ වගේම තාල වාදනයේ ප්‍රධාන තැනක් ගන්නවා බොංගෝ ඩ්‍රම් එක . ඒකත් එකපාරටම ඇහෙන්නේ නැහැ . ගීතයේ බීට් එක කඩලා නැවතත් බීට් එකට ගන්න තැන්වල ඒ භාණ්ඩය වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් . හයිහැට් එකෙන් වාදනය කරනවා

ටික් කිටි ටික් ටිස්
ටික් කිටි ටික් ටිස් 
ටික් කිටි ටික් ටිස් 
ටික් කිටි ටික් ටිස් 

කියලා ගීතය පුරාවටම . අපිට නොදැනෙන එත් ගීතයට ලොකු සේවයක් ඒ හයිහැට්ඒ බීට්ව එකෙන්ගේ කෙරෙනවා . නැත්නම් ප්‍රධාන තාල වාදන භාණ්ඩ වල වාදනය කැපිලා පේන්නේ නැහැ .  රිදම් ගිටාර් එකෙන් හොඳ සහයෝගයක් දෙනවා තාල වාදනයට . ඒක නම් හොඳට කැපිලා පේනවා ගීතයේ . 









එහෙනම් අපි හාහාපුරා කියලා ගීතයේ මුල ඉඳලා රස විඳිමු . 

ගීතයේ තේමා වාදනය ආරම්භ වෙන්නේ වයලීන් වාදනයකින් . මම ගීතයේ කැමතිම වාදනය ඒක තමයි . සැකය බිය ශෝකය මිශ්‍ර වෙච්ච මේ ගීතයේ තේරුම ඇඟට දැනෙන්නේ ඒ වයලීන් වාදනයෙන් . අනිත් ඒවායිනුත් දැනෙනවා . ඒත් මේ වයලීන් වාදනයත් ඒ වාදනය ඇතුලේ වාදනය වෙන චෙලෝ වාදනයත් හරිම සහයෝගයෙන් ගීතයේ හැගීම් ඉස්මතු කරලා පෙන්නනවා . 








ගීතයේ තියෙන හදවතට දැනෙන බර ගතිය දැනෙන්නේ මේ වාදන කාණ්ඩ වල තියෙන චෙලෝ සහ බේස් ගිටාර් වාදනයෙන් . ඒවායින් වාදනය වෙන පහල ස්වර නිසා තමයි ගීතය පිරිලා තියෙන්නේ . සමහරවිට ස්වර දෙකතුනක් තමයි එහා මෙහා වෙවී වාදනය වෙන්නේ . ඒත් ඒ ස්වර නිසා වයලීන් සහ සැක්සෆෝනයේ වාදනය වෙන ස්වර ඉස්මතුවෙලා පේනවා . 





ඔන්න සැක්සෆෝනය කිව්වම තමයි ඒකත් වාදනය වෙන්න ගන්නේ . වයලීන් වාදනයට පස්සේ සැක්සෆෝනයෙන් වාදනයක් කෙරෙනවා . ඒකෙ නම් තියෙන්නේ දුක් මුසු ගතියක් . ඊට පස්සේ වයලීන් වලින් ගීතයේ ගායනය වෙන්න පටන් ගන්නා ස්වර වලට අරගෙන ඇවිත් ගායකයාට ආරාධනා කරනවා ගීතය පටන් ගන්න . කලින් වගේම චෙලෝ සහ බේස් වාදන මේ වයලීන් වාදනයේත් ඉස්මතුවෙන්න ඕන තැන් නියමෙටම ඉස්මතු කරලා පෙන්නනවා . 

ඔන්න දැන් ගීතය ගායනා වෙනවා . 

මුදු මුහුණේ කියනකොට සැක්ස ෆොනයෙන් බිට් පාර්ට් එකක් වාදනය කරනවා . සුව දැනුනේ කියනකොටත් සැක්ස ෆෝනය වාදනය වෙනවා . පිරිමියාගේ තියෙන හැගීම්වල රළු බව ඒ සැක්ස ෆෝන වාදනයෙන් ඉස්මතු වෙනවා . පිය ලඳුනේ මට විතරද කියන පේලියේ විත කියන අකුරු දෙකත් එක්කම වයලීන් වලින් රන් එකක් වාදනය කරගෙන සැක්ස ෆෝනයේ ගීතයට කරන සේවාව වයලීන් විසින් භාර ගන්නවා . 

ඊට පස්සේ ගීතයේ වචනත් එක්කම වයලීන් එකෙන් කවුන්ටර් පාට් එකක් වාදනය වෙනවා . කවුන්ටර් කියන්නේ ගීතය ගායනා වෙන අතරේම ගීතයට හානි නොවෙන්න ඒ ශෘති වලට අදාළව වාදනය වෙන ස්වර වාදන වලට . දීපිකා මහත්මිය ගායනා කරන සියුමැලි හැගීම් සහිත ඒ වචන පේලි දෙකේ හැගීම් ඉස්මතු කරන්න වයලීන් වලින් සමත් බවක් දක්වලා තියෙනවා . 

මේ ගීතයේ තියෙන අලංකාර බව වැඩිවෙලා තියෙන තවත් හේතුවක් තමයි එකොස්ටික් ගිටාර් එකකින් කෝඩ්ස් වලට අදාළ ස්වර බීට් එක තියාගෙන වාදනය කිරීම . ගීතය ගායනා වෙන වෙලාවට අහගෙන ඉන්න ටිකක් . ටිකි ටිකි ටිකි ටිකි කියලා ගීතයේ වචන වලට යටින් ගිටාර් වාදනය ඇහෙනවා . වතුර ගලාගෙන යනවා වගේ තමයි ඒ වාදනය වාදනය වෙන්නේ . ගීතයේ මම කැමතිම තවත් අංගයක් තමයි ඒක . 





ඔන්න ඊට පස්සේ අතුරු වාදනය පටන් ගන්නවා . අතුරු වාදනයත් පෙර වාදනයම තමයි . අතුරු වාදන වෙනස් කරලා ගීතය සංකීර්ණ වෙනවට වඩා මේ විදිය හොඳයි කියලා තමයි මම හිතන්නේ . ඔයාලාගේ අදහසුත් දක්වන්න බලන්න ඒ ගැන . 

ඔන්න දැන් ගීතයේ අන්තරා කොටස ආරම්භ වෙනවා . අන්තරා කොටසේ මුල කොටස ඒ කියන්නේ පළවෙනි පේලිය දෙසැරයක් ගායනා කෙරෙනවා දිවුල්ගනේ මහත්මයා විසින් . ඒකෙන් පළවෙනි වතාවේ ගායනා කෙරෙනකොට කවුන්ටර් පාට්ස් වාදනය වෙන්නේ නැහැ . ගීතයේ වචන එහෙමම ගායනා වෙනවා . තාලය වාදනය වෙනවාත් එක්කම සාමාන්‍ය විදියට . 

දෙවෙනි වතාවේ ගායනා කරනකොට වයලීන් තමන්ගේ වැඩ පටන් ගන්නවා . ඒ පද පේලිය පුරාවටම වයලීන් වලින් ගීතයේ විරිතේ අඩු තැන් ඇදෙන තැන් පුරවනවා . ඊට පස්සේ සැක්සෆෝනය විසින් වයලීන් වල කාර්යය භාරගන්නවා . එත් වයලීන් වලින් ඒක එකපාරටම දෙන්නේ නැහැ . වයලීන් වල සහයත් ඇතිව තමයි සැක්ස ෆෝනයෙන් බිට්ස් පාට් දෙකක් වාදනය වෙන්නේ . ඊට පස්සේ ආයෙත් වයලීන් වලින් කවුන්ටර් වාදනය කරලා ගීතයේ අන්තරා කොටස අවසන් වෙනවා . ආයෙත් අතුරු වාදනය විදියට පෙර වාදනයම තමයි වාදනය වෙන්නේ . 





ගීතයේ සංගීත නිර්මාණය අතිනුත් හරිම අලංකාර විදියට නිර්මාණය වෙලා තියෙනවා . මම හිතනවා මේ විස්තරය හරහා ඔයාලට ඒ වාදනයත් එකින් එක රසවිඳින්න පුළුවන් කියලා . භාවනාවක් කරනවා වගේ ඒ වාදනය රස විඳින්න . 

ගීතයේ ගායනා කරන අවස්ථාවල මම කැමතිම අවස්ථා දෙකක් තියෙනවා . 

එකක් තමයි " සුව යහනේ " කියන තැන . අනික තමයි " රැලි බින්දේ " කියන තැන . ඒ තැන්වල ගායකයා තමන්ගේ සියුම් කටහඬ පාවිච්චි කරලා ගීතයේ අලංකාරවත් බව සහ සංවේදී බව වැඩි කරලා තියෙනවා . 

කාලෙකට පස්සේ තමයි ගීතයක් ගැන ලිව්වේ . 

එහෙනම් කියවලා බලලා අඩුපාඩු කියන්නකෝ . 

ආයෙත් ලිපියකින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !




වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment