මලයාල නාග වෛරෝඩිය ( 4 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

අඹරන ලද සියල්ල උනහපුළුවාගේ බඩේ පිරවූ පසු උනහපුළුවා කෙසෙල් කොළයකින් හොඳින් ඔතා පාර්සලයක් මෙන් සාදන ලදී . එය දැමීමට තරම් විශාල මුට්ටියක් ගෙන්වාගත් සීයා උනහපුළුවා සහිත පාර්සලය මුට්ටියට දමා වසා කට බැඳ මඩුවේ නොතෙමෙන තැනක වැලලුවේය .

" දැන් ඉතින් ආයෙත් වැඩ තියෙන්නේ තවත් සතියකින් තමයි "

සීයා අප දෙදෙනා දෙස හැරී කිව්වේය .

අද එතැන් සිට 

සීයා එසේ කියා කරත්තය නවතන මඩුවේ ඇති අනවශ්‍ය දේවල් සියල්ල ඉවත් කිරීමට කරත්තය දක්කන ජේමිස්ට භාර කළේය . උනහපුළුවාගේ බඩවැල් සහ ගැරඬියාගේ ඉතිරි කොටස් ගසක් මුල වලක් හාරා එහි මිහිදන් කර නැවතත් සතුන්ට හාරන්නට නොහැකිවනසේ ගල් තබා අහුරන ලෙස ලෙස සීයා විසින් ජේමිස්ව වැඩිදුරටත් දැනුවත් කළේය . 

පසුව මමද කිණිස්ස රැගෙන එය පිරිසිදු කිරීම භාරගතිමි . සීතාවක සිට පැමිණි අමුත්තා සීයා සමග කථාවට වැටුණේය .

" ගුරුන්නාන්සේ මම වැඩිපුර ගෙනාව ඉරුරාජ පැළයක් තියෙනවා . මෙහෙ හොඳ තැනක් බලලා හිටවමු . සමහරවිට හැදෙන්නත් ඉඩ තියෙනවා . ටිකක් ගස් කොළං වැඩි අව්ව අඩු තැනක හිටවමු . නැත්නම් මල් පෝච්චියක කොළ රොඩු පුරවලා ඒකෙ හිටවමු "







" මමනම් හිතන්නේ නැහැ දරුවෝ සීතල තිබුණට මෙහෙ ඕවා හැදෙයි කියලා . හැබැයි හරිම වටිනා බෙහෙත් ඖසදයක් තමයි ඕක . ගුරුළු රාජ ගරුඬ රාජනම් පැළ කරලා තියෙනවා . ඒත් ඉරු රාජ වන රාජ සඳ රාජ  හදන්න මම උත්සාහ ගත්තෙ නැහැ මේ පැත්ත ඕවට ඔරොත්තු දෙන්නේ නැති නිසා . ඔය ළමයා ගෙනාව එකේ අපි හිටවලා බලමු "

" ගුරුන්නාන්සේලගේ උපන් ගම මෙහේමද ? " 

" ඔව් . පරම්පරා ගණනාවක්ම අපේ අය හිටියේ මෙහෙ තමයි " 

" මේ පැත්තට කියන නම ඇහුවම මට මතක් උනේ , හිටිනාමළුවේ ධම්මජෝති හාමුදුරුවෝ මේ ගමේ කෙනෙක් නේද ? "

" භරණ ගණිතයත් මේ පැත්තේ කෙනෙක් තමයි . පස්සේ කාලෙක තමයි උන්නැහේ රජමාළිගාවේ වැඩ කරන්න ගිහින් තියෙන්නේ . ධම්මජෝති හාමුදුරුවෝ තමයි උගන්නලා තියෙන්නේ . ධම්මජෝති හාමුදුරුවන්ගේ පවුල අපේ පවුලට දුරින් නෑකම් කියනවා කියලා මම අහලා තියෙනවා . ඒත් කොහොමද කියලා මටත් එච්චර නිච්චියක් නැහැ " 

" භරණ ගණිතයා ධම්මජෝති හාමුදුරුවන්ගේ බෑණා කෙනෙක් වෙනවා . එහෙනම් භරණ ගණිතයාත් ගුරුන්නාන්සේලාගේ නෑදෑයෝ වෙනවා ඇති මම හිතන්නේ " 

" මටනම් ඒ නෑදෑකම් ගැන නිච්චියක් නැහැ දරුවෝ . ඔය දරුවාගේ මීමුත්තා කෙනෙක් කිව්වා නේද දොඩම්පේ ගණිතයා ? " 

" එහෙමයි ගුරුන්නාන්සේ " 

" එහෙනම් කියමුකෝ බලන්න ඒ විස්තර ටිකක් අපිට දැනගන්නත් එක්ක . දැන් ඔය රජතුමාට බෙහෙත් බැඳලා රජතුමා මියැදුනාට පස්සේ ගණිතයා වැරැද්දට අහු උනේ එහෙම නැත්ද ? " 







" ටිකිරි කුමාරයාගේ අක්කා කෙනෙක් ඉඳලා තියෙනවා සීතාවක . ඒ දේවිය දොඩම්පේ ගණිතයා අල්ලන්න නියම කරනකොට ගණිතයා ගමෙන් පැනලා ගිහින් නුවර පැත්තේ කන්දක තමයි ටික කාලයක් ඉඳලා තියෙන්නේ . ගණිතයාගේ පවුලේ උදවිය ඒත් ගමේ ඉඳලා තියෙනවා . සමහර දවස්වලට ගණිතයා වෙස් වලාගෙන ගමට ඇවිත් ගිහින් තියෙනවා . හැබැයි ගණිතයා අර නාග වෛරෝඩිය නිධන් කරලා තමයි ගමෙන් ගිහින් තියෙන්නේ . නිධන්වදුල් දෙකත් ලියලා , එකක් පන්සලේ බුදු පිළිමේ පාදමේ තැම්පත් කරලා අනික ගෙදර තියලා තමයි ගිහින් තියෙන්නේ . මේවා කරන්න කාලයක් තිබුණද කියලාත් වෙලාවකට හිතෙනවා . ඒත් මමනම් අහල තියෙන්නේ මේ දේවල් මෙහෙම උනා කියලා . හැබැයි ගුරුන්නාන්සේ මේ දේවල් ඇතුලේ අපි දන්නේ නැති හැංගිච්ච තවත් කතා ඇති " 

" ඒකනම් ඇත්ත දරුවෝ . මටත් ඔය කතාවේ සමහර තැන් පැටලිලියි වගේ . කමක් නැහැ . අපිට දැන් තියෙන්නේ මේ පළඳනාව ආරක්ෂා කරලා ඒ සාපයෙන් මිනිස්සු මුදවලා නිදහස් කරන එකනේ . ඒ මදැයි අපිට රජතුමා වෙනුවෙන් සේවයක් විදියට කරන්න " 

සීයා සහ සීතාවක අමුත්තා කතා කරමින් සිටින අතරතුර මවිසින් කරන ලද්දේ දෙහි ලෙල්ලක් රැගෙන කිනිස්ස පිරිසිදු කිරීමයි . විටෙක යක්කුන් වෙනුවෙන්ද , විටෙක දෙවියන් වෙනුවෙන්ද ජීවම් වන මෙම කිනිස්ස විටෙක අපගේ ආරක්ෂාව වෙනුවෙන්ද දායක වේ . එබැවින් එය පිරිසිදු කිරීම අනිවාර්ය වේ . 

සීතාවක අමුත්තා සමග සතියක කාලයක් ගත කිරීම වැඩි වශයෙන් පැවරුනේ මා හටය . ඔහුගේ වයස් කාණ්ඩයට අදාළ කෙනෙකු වශයෙන් වලව්වේ සිටියේ මමය . එබැවින් මම ඔහු සමග සතියක පමණ කාලයක් ගතකලෙමි . 

ඔහු තරමක් ඕනෑවට වඩා කියවන්නෙක් බව මාහට මුලින් ප්‍රත්‍යක්ෂ වී නමුත් ඔහුගේ කතාවන්හී ඇති පූර්වාපර සන්ධි ගැළපීම සහ පැහැදිලි නිරවුල් භාවයට හේතු වී ඇත්තේ එම ප්‍රමාණය ඉක්මවා කතා කිරීම බව මම පසුව වටහා ගතිමි . සැබවින්ම ඔහු මෙම සතිය තුල මාගේ හොඳ යහළුවෙකු වූවා යැයි කීම නිවැරදිය . එහෙත් සමහර අවස්ථා වලදී ඔහු අපගේ පවුලේ රහස් එළියට ඇද ගැනීමට උත්සුක වූ බවක් පෙනිණි . 

එම අවස්තාවලදී මාගේ නුරුස්නා ස්වභාවය තේරුම් ගත් හෙතෙම ඉන් පසුව වැඩි වැල් වටාරම් ඇසීමද නතර කර දැම්මේය . ඔහුගේ නම " අනුර " බව මා අසා දැනගත්තෙමි . ඉන් අනතුරුව මට ඔහු අනුර අයියා වූ අතර ඔහුට මා චූටි මල්ලි විය . සීයාද මා ආමන්ත්‍රණය කරනුයේ " චූටි පුතා " ලෙස වීම ඊට හේතුව වන්නට ඇත . වලව්වේ ලොකු පුතාල නැති වුවද එදත් අදත් හෙටත් චූටි පුතා , චූටි පුතාම විය . 





සතිය ගෙවී ගියේ අපට නොදැනීමය . අමාවක යේදී තිබුණේ ඉරිදා දිනයකය . සිකුරාදා දිනයේ සීයා කරත්තයෙන් ගොස් සොහොන්පල්ලා හමුවී පැමිණියේ ඉරිදා රාත්‍රියේ ගුරුකමක් කිරීම වෙනුවෙන් සොහොන ඒ සඳහා පැහැදිලි වී තිබිය යුතුය යන බව දැන්වීමටය . රාත්‍රී කාලයේ සොහොන් පල්ලා රා බී වෙරිමතින් සිටීම අපගේ කාර්යයට බාධා පමුණුවන නිසාවෙන් එයින් වැළකී සිටීම වැදගත් බව සොහොන්පල්ලාට කලින් තියාම දැනුම් දී තිබීම වැදගත් කාරණාවක් විය . 

ඒත් සමගම සීයා ගමේ කීපදෙනෙකු වලව්වට ගෙන්නවා බලගතු ගුරුකමක් සිදුකිරීමට අවශ්‍ය බැවින් සඳුදා සවස 6 සිට අඟහරුවාදා දහවල් දොළහ වනතුරු පන්සලට කිසිවෙක් නොයා සිටිය යුතු බව දන්වා සිටියේය . ඊට ප්‍රධානම හේතුවක් වූයේ තෙල හිඳීම කනත්තක සිදුකර අවසානයේ අන්ධකාරයට අධිපති දීෂ්ටීන් පන්සලට ගෙන්වන නිසා එම භූතාත්ම සහ යක්ෂාත්මවල බැල්ම අහිංසක අසරණ මිනිසුන්ට වැටීම අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට හේතුවක් විය හැකි නිසාය . 

ඉරිදා දවහල් වනවිට සීයා කළුවර අඳුන තෙල් සෑදීම සඳහා අවශ්‍ය , අප විසින් වළලන ලද බෙහෙත් පිරවූ උනහපුළුවා සහිත මුට්ටිය වලලා තිබුණු තැනින් එලියට ගත්තේය . කට බැඳ තිබූ රෙද්ද ඉවත් කල සීයා කෙසෙල් කොළ දිගහරිමින් උනහපුළුවා විවෘත කළේය . පුදුමයකි . කුණු ගඳක් හෝ ඉන් හමන්නේ නැත . උනහපුළුවා වැලලූ ආකාරයටම සිටී . 

" අඳුන හදන වැඩේ සාර්ථකයි . මෙතනින් සතා කුණු වෙලා තිබුණනම් වැඩේ අසාර්ථක වෙනවා . සතා කුණු වෙනවා කියන්න අපි හදාපු බෙහෙත හරියට හැදිලා නැහැ කියන එක . දෙවියන්ගේ පිහිටෙන් මේක සාර්ථකයි " 

සීයා උනහපුළුවා නැවතත් කෙසෙල් කොලවලින්ම ඔතා මුට්ටියේ බහා කට බැන්දේය . පසුව ඔහු වලව්වේ තෙල් හිඳීමට ගන්නා පැරණි තඹ හැලියක් ගෙන එය සෝදා පිරිසිදු කර දෙන ලෙස ආච්චිඅම්මාට කීවේය . එම තඹ හැලිය තරමක විශාල එකකි . උනහපුළුවා දැමීමට තරම් විශාල තඹ හැලියක් වීම මේ කාරණාව සඳහා ඉතාමත් වැදගත් වේ . 

කළුවර අඳුන සාදාගත් පසු එය දැමීමට කුඩා බෝතලයක් පිරිසිදු කරගත් අතර එයට ගැසීමට අලුත කපාගත් කිරල මූඩියක් සකසාගත්තේය . කනත්තට ගෙනයා යුත්තේ එම පිරිසිදු කරගත් බෝතලයත් , උනහපුළුවාත් , තඹ හැලියත් , ලොකු තිරිවානා ගල් තුනකුත් පමණි . සීයා ඊට අමතරව තලතෙල් බෝතල් දෙකක් සහ එඬරුතෙල් බෝතල් දෙකක්ද සූදානම් කර තිබිණි . උනහපුළුවා දමා තෙල් හිඳින්නේ මෙම තෙල් දමමිනි . 

ලිප දැල්වීමට අවශ්‍ය දරද සීයාගේ අනුදැනුම ඇතුව සූදානම් කෙරිණි . අගිල් දර පමණක් ඒ සඳහා සුදුසුකම් ලබා තිබිණි . සවස්වනවිට මේ සියල්ල කරත්තයට පටවා සූදානම් කර සීයාත් මමත් අනුර අයියාත් රාත්‍රී ආහාර වේල ගෙන කනත්තට යාමට පිටත් වීමු .







කරත්තය දක්කන ජේමිස් අද කරත්තය දක්කන්නේ නැත . කරත්තය දැක්කුවේ සීයා විසිනි . කනත්තට ගමන් කලේ අප තුන්දෙනා පමණි . සමහරවිට ජේමිස් ගෙන්නවා ගැනීම ඔහුට අන්ත්‍රාදායක විය හැකි නිසාවෙන් සීයා ඔහු වලව්වේ නවතා එන්නට ඇත . කෙසේ හෝ ජේමිස් ආවේ නැත්තේ ඇයිද යන්න මම සීයාගෙන් විමසන්නට නොගියෙමි . 

කනත්තට එනවිට රාත්‍රී හත පමණ වී තිබෙන්නට ඇත . සොහොන් පල්ලා මිනී වලක් අසල උදැල්ලක් තබාගෙන අප එනතුරු බලා සිටියේය . සීයා කුමක් කරන්නට යනවාදැයි මට පැහැදිලි නැත . කරත්තයෙන් බැසගත් අප සොහොන් පල්ලා වෙත ගමන් කල අතර සීයා ඔහු ඇමතීය . 

" කොහෙද අන්තිමටම මිනියක් වලදැම්මේ ? " 

" මේ හරියේ තමයි ගුරුන්නාන්සේ "

" උඹ මිණී ඔලුවක් හොයලා තිබ්බද ? " 

" අර ගල උඩ තියෙන්නේ ගුරුන්නාන්සේ . දැනට අවුරුද්දකට විතර කලින් තමයි ඕක වලදැම්මේ මට මතක හැටියට "

" හොඳයි එහෙනම් . මම ගුරුකමක් කරනවා . දවසින් වැඩි හරියක් කනත්තේ ඉන්න උඹ ඉතින් බය දන්නා මිනිහෙක් නෙවෙයිනේ . අමනුස්සයෙක් ගෙන්නලා මම මිනී වල හාරන්න හදන්නේ . ඔය උදැල්ල එහෙනම් මෙතනින් තියලා උඹ පැත්තකින් ඉඳගෙන බලාගෙන හිටපං " 

" හොඳමයි ගුරුන්නාන්සේ " 

සීයා කිසිවක් නොකියා මිනී වල අසල අඟල් හයක් පමණ කුඩා වලක් හාරා උදැල්ල පැත්තකින් තබා වැලි අහුරක් රැගෙන මන්තර මතුරන්නට පටන් ගත්තේය . මන්තර මතුරමින් හඬ තීව්‍ර කල සීයා එම වැලි අහුර තමා විසින් හාරන ලද කුඩා වලට දැම්මේය . ටික වෙලාවකින් බිම වැටී තිබුණු උදැල්ල සෙලවෙන්නට විය . සීයා යක්ෂයෙක් ගෙන්නවා මිනී වල හාරන්නට සූදානම් වේ . 

" හා උඹ ආවද ? "

" එහෙනම් ඔය මිනී වල හාරපන් . හැබැයි සම්පූර්නෙන්ම නෙවෙයි . භාගයක් විතරක් හාරපන් " 

වහා ක්‍රියාත්මක වූ අමනුෂ්‍යයා මිනී වල හාරන්නට පටන් ගත්තේය . නමුත් අපට පෙනෙන්නේ උදැල්ලෙන් පස් ඉවතට හාරා දමනා දර්ශනයක් පමිණි . මේ සියල්ල පුදුමයෙන් මෙන් බලා සිටි අනුර අයියා බයවී ඇති බවක් මට පෙනිණි . 







" අයියා බය වෙලා වගේ ඉන්නේ " 

" බය නැද්ද මල්ලි මේ වෙන දේවල් දැක්කම " 

" බයවෙන්න කාරී නෑ අයියා . මේවා සාමාන්‍ය දේවල් . මින්ස්සු දම්මලා මේ වගේ වෙලාවල් වලට මිනී වලවල් හාරන්නත් බැහැ . අපිට මේවා හාරලා මහන්සි උනාම අනිත් රාජකාරි හරියට ක‍රන්න බැරිවෙනවා . ඒ නිසා තමයි සීයා මිනී වලවල් හාරන්න මේ වගේ දේවල් කරන්නේ " 

" මල්ලි කලිනුත් දැකලා තියෙනවද ? " 

" ඔව් . සමහර දවසට ඇහැට පෙන්නම අමනුස්සයා එනවා " 

" අම්මෝ මටනම් අහනකොටත් බයයි " 

" අයියා බය නැතුව ඉන්න " 

මේ වනවිට මිනී වලෙන් භාගයක් පමණ හෑරී අවසාන වී තිබුණු හෙයින් සීයා අමනුෂ්‍යයා අමතා මිනී වල හැරීම නතර කරන ලෙස විධාන කළේය . 

" චූටි පුතේ දැන් අර කරත්තේ තියෙන තිරුවාණ ගල් තුන ගෙනැල්ලා මේ මිනී වලට දාන්නකෝ " 

මමද අනුර අයියාද එකතුව කරත්තයේ වූ තිරුවානා ගල් තුන ගෙන මිණීවල තුලට දැම්මෙමු . වල හාරන ලද්දේ පැත්තකින් බෑවුමක් සේ සිටින පරිද්දෙන් බැවින් කෙනෙකුට උවමනා නම් වලට බැසීමටද පහසු විය . සීයා වලට බැස තිරුවාණා ගල් තුන තබා ලිප සූදානම් කළේය . පසුව සීයා විසින්ම තඹ හැලිය ගෙනැවිත් තබා උනහපුළුවා සහිත හැලිය ගෙන ඒමට මා පිටත් කළේය . කරත්තයේ වූ උනහපුළුවා සහිත හැලිය මා ප්‍රවේසම් සහිතව රැගෙන ආවේය . 

" එහෙනම් පුතේ ඔය සතා ඔහොමම මේ තඹ හැලියට දාන්න . දාලා අර ගල උඩ තියෙන හිස් කබලත් අරන් ඇවිත් මේ හැලියට දාන්න " 

උනහපුළුවා හැලියට දැමූ මම වලෙන් ගොඩට අවුත් මිණි හිස්කබල ගෙන එය සීයාට දුන්නෙමි .






" පුතේ මට නෙවෙයි ඕකත් දාන්න තඹ හැලියටම . දාලා අර තෙල් බෝතල් හතරත් අරගෙන එන්න . අර දරුවට කියන්න දර ටිකත් අරගෙන එන්න කියලා " 

තෙල් බෝතල් හතර සහිත කවරය අතට ගත් මම එය ගෙනැවිත් සීයා අතට දුන්නෙමි . සීයා තඹ හැලිය සහිත ලිපට අගිල් දර දමා ගිනි මෙලෙව්වේය . ගිනි මෙලවූ වහාම තෙල් බෝතල් හතර තඹ හැලියට වත් කළේය . 

" දැන් තියෙන්නේ ඉතින් තෙල හිඳෙනකල් බලාගෙන ඉන්න තමයි " 

" කොහොමද සීයේ තෙල හිඳිලද කියලා බලා ගන්නේ ? " 

" තෙල පදමට ආවම පුතේ තෙල් භාජනයෙන් කළුපාට දුමක් නගින්න ගන්නවා . එතකොටම ලිපෙන් බාලා නිවෙන්න තියන්න ඕන . බෝතල් හතරක් දැම්මට ඕක හිඳිලා ඉවරවෙනකොට බෝතල් කාලක්වත් ඉතුරු වෙන්නේ නෑ " 

" ඇයි සීයේ එච්චර අඩු වෙන්නේ ? " 

" අපි දාපු බෙහෙත් ඖෂධ නිසා තමයි එහෙම අඩුවෙන්නේ . තව ඉතින් උනහපුළුවාගේ ඇඟටයි බඩට දාපු බෙහෙත් වලටයි තෙල් උරාගන්නවනේ . ඒවටත් ඉතින් අඩු වෙනවා " 

මේ සියල්ල සිදුවන අතරවාරයේ අනුර අයියා අප අසලින්ම සිටියේ අමනුෂ්‍යයින්ට බයේ විය යුතුය . පැය දෙකක් තුනක් පමණ ලිපට දර දමමින් ගින්න නිවෙන්නට නොදී තබා ගැනීමට අපි වගබලා ගතිමු . අවසානයේ තෙල් භාජනයෙන් තද කළු පැහැති දුමාරයක් නිකුත් වීමට පටන් ගත්තේය . 

" දැන් හරි පුතේ ලිපේ අඟුරු ඇදලා දාන්න . තවත් ගින්දර තිබුනොත් තෙල කර වෙලා යයි " 

ලිප නිවා දැමු පසු වඩාත් වැදගත් සහ සීරුවෙන් කල යුතු කාර්යයක් වූයේ කළුවර අඳුන තෙල් , බෝතලයකට මාරු කරගැනීමයි . වලව්වෙන් පිරිසිදුකර රැගෙන ආ බෝතලයට ඉතාමත් ප්‍රවේශමෙන් තෙල් සියල්ල මාරු කරගැනීමට අපි සමත් වීමු . අවසානයේ තඹ හැලියේ ඉතිරි වූයේ කරවී ගිය හිස්කබල සහ උනහපුළුවාගේ ඇටකටු සියල්ලයි . ඒ සියල්ලම සීයාගේ විධානයෙන් මිනී වල තුලම හලා හැලිය පමණක් ගොඩට ගත් අපි අනවශ්‍ය සියල්ලම මිනී වලේ දමා ගොඩට පැමිණියෙමු . 

" හා දැන් වල වහපන් " 

සීයා ඒ විධානය දුන්නේ අමනුෂ්‍යයාටය . එසැනින් ක්‍රියාත්මක වූ අමනුෂ්‍යයා මිනී වල වසා දැම්ම පවනට බඳු වේගයකින්ය . මිනී වල වසා අවසාන වූ පසු , සීයා මන්තර මතුරා වතුර පොදක් උදැල්ල දෙසට වීසි කළේය . අපගේ සේවයට ආ සේවකයා ඒ අනුව ආ තැනටම පිටත් වී ගියේය . 






කළුවර අඳුන තෙල් බෝතලය අතින් ගත් සීයාත් , මමත් අනුර අයියාත් එළිවෙන පාන්දර කිට්ටුවන වෙලාවක නැවතත් වලව්වට පැමිණියෙමු . තෙල් බෝතලය පෙට්ටගමේ පරෙස්සමට තබන්නට යැයි සීයා මා හට කීවේය . කළුවර අඳුන ජීවම් කිරීම ඊළඟ කාර්යය විය . එය පැවරී තිබෙන්නේ මා හටය . සඳුදා , එනම් තෙල හිඳින ලද දිනයට පසු දින රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබිණි . 

මේ සියල්ල සිහිපත් කරමින් කළුවර අඳුන තෙල් බෝතලය පෙට්ටගමේ තැම්පත් කල මා පෙට්ටගම වසා යතුර කරකවා ඇඳට වැටුනෙමි . 

ඊළඟ කොටසින් හමුවෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment