පැරණි චරිතයක සිහිවටනයක් ( දෙවුන්දර ලීලසේන ඉස්කෝලේ මහත්තයා )






බොහොම දෛවෝපගත සිදුවීමක් .

දනුල වික්‍රමාරච්චි මහත්මයා මට හම්බෙන්නේ බ්ලොග් ලියන්න ඇවිත් ම තමයි. පසුකාලීනව අපේ යාලු මිත්‍රකම ශක්තිමත් වුණා බ්ලොග් ලිවීමේ වැඩ වලට සම්බන්ධ වුණ නිසා . වයලගේ කාමරේ බ්ලොග් අඩවියත් , හස්තිනාපුරයත් විවිධ විෂයන් හරහා යාවත්කාලීන කරන්න දනුල මහත්මයා පොත් පත් ලබාදීලා මට ගොඩක් උදවු කරලා තියෙනවා . ඒවගේම තමයි අන්තර්ජාල වෙබ් අඩවි කේත කරන්නෙක් විදියට වයලගේ කාමරේත් හස්තිනාපුරයත් යම් යම් අවස්ථා වලදී කේත කිරීම් නිවැරදි කරන්න දනුල මහත්මයා උපකාර කරලා තියෙනවා . අද මම මේ සිහිපත් කිරීම කරන්නෙත් දනුල මහත්මයා කරපු වචනයෙන් කියලා නිම කරන්න බැරි පරිත්‍යාග කිරීමක් සම්බන්ධව .

දනුලගේ නැන්දා කෙනෙක්ද තමයි මේ පොත දනුලට දීලා තියෙන්නේ . ඒ නැන්දාට මේ පොත ලැබිලා තියෙන්නේ ඒ නන්දාගේ නිවස අසල පදිංචිවෙලා හිටපු ආච්චිඅම්මා කෙනෙක්ගේ . ඒ ආච්චිඅම්මා වෙනත් නිවසක පදිංචි වෙන්න යනකොට මේ පොත ඒ නැන්දාට ගන්න කියලා තියෙනවා . පස්සේ දනුලගේ නන්දා පොත් කීපයක් එක්ක මේ පොතත් දනුලට දීලා . දනුලගේ ගෙදර ගිය දවසක දනුල එයාට ලැබුණු පොත් මිටිය දිගෑරලා ඕන දෙයක් අරගෙන යන්න කියලා කිව්වා කියවන්න .

මම පොත් දෙකක් ගත්තා . එකක් සියබස්ලකර කියන පොත . අනිත් පොත ලියවිලා තිබුණේ මාතර සහ දෙවිනුවර සම්බන්ධව . මම ඒ පොතට වැඩියෙන් කැමති වෙලා ඒ පොත් දෙක අරගෙන ආවා . පස්සේ සියබස් ලකර කියන පොත කියවලා නැවතත් ගිහින් දුන්නා මට ඒකෙ වැඩි අවශ්‍යතාවයක් නැති නිසා .

ඒත් දෙවිනුවර සහ මාතර ගැන ලියවුණු පොත මම ළඟ තියාගත්තා . විස්තර හොයන්න මූලික පොතක් විදියට පාවිච්චි කරන්නපුලුවන් නිසා . දෙවුන්දර සහ මාතර සම්බන්ධව විශේෂ දැනුමක් ඒ පොතේ තිබුණා . ඒත් ඇත්තටම මම ඒ පොත ලියලා තියෙන්නේ කවුද කියලා බැලුවේ නැහැ . පොත නම් සෑහෙන වාර ගණනක් කියවලා තියෙනවා . එත් කර්තෘ තුමා කවුද කියලා කියවලා තිබුණේ නැහැ .





දැනට මාසයකට පමණ කලියෙන් මම ගියා දෙවුන්දර විෂ්ණු දේවාලයට . ඒවගේම එදා මම දෙවුන්දර පරමවිචිත්‍රාරාම රජමහා විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් මුණගැහුනා . ජ්‍යෝතිෂ සම්බන්ධ කටයුත්තකදී ඇතිවුණු දැන හැඳුනුම් කමක් නිසා තමයි මම ඒ ස්වාමීන් වහන්සේ හමුවෙන්න ගියේ . එදා කොහොමහරි ස්වාමීන් වහන්සේත් මමත් දෙවුන්දර හිටපු සහ දැනට ඉන්න පාරම්පරික ජ්‍යෝතිෂ මන්ත්‍ර වෙදකම් දන්නා පරපුරවල් ගැන කතා වුණා .

රත්නපුරේ ඉපදුනත් ආච්චිඅම්මාට පින් සිද්ධ වෙන්න මම දෙවුන්දර හැම අස්සක් මුල්ලක් ගැනම දැනගෙන හිටියා . ඒවගේම තමයි අපේ පවුලේ අය එක්ක සමකාලීනව හිටපු අය ගැනත් මම දැනගෙන හිටියා . ඒ අතරින් සිත් ගත් චරිතයක් තමයි “ ලීලසේන ඉස්කෝලේ මහත්තයා “ කියලා කියන්නේ . මම එතුමා සම්බන්ධව රාජතරන්ගනී තෙල් සම්බන්ධව ලියනකොට මෙන්න මෙහෙම ලියලා තියෙනවා .


..........................................................අඳුනේ වැඩ බාගෙට වගේ ඉවරවේගෙන එනකොට මුත්තගේ කකුලේ ලී පතුරක් ඇනිලා තුවාල වෙලා තියෙනවා . ඒත් එයා ඒකට වැඩි දෙයක් කරලා නෑ තුවාලේ සනීප වෙන්නවත් . මොකද එයා ඒ මුළු කාලේම කැපකරලා තිබුණේ අඳුන හදන්න නිසා . ඇදුරෙක් ඇවිල්ලා අඳුන ජීවම් කරන නිසා ඒ වැඩවලට මහන්සි වෙන්න උන නිසා තුවාලේ ගැන වැඩි විමසිල්ලෙන් ඉඳල නෑ . ටික ටික තුවාලේ වැඩි වෙලා . අන්තිමට එයා ගම්පහ ඉඳලා දෙවුන්දරට ආවේ ඇවිදගන්නත් බැරුව කීපදෙනෙක්ගේ වාරුවෙන් .
වඩුවගේ ගෙදර ඉඳගන්න පුටුවක් නෑ කියන්න වගේ , දෙවුන්දර නමගිය වෙදා ඇඳට වැටුණා . කේන්දර බලන්න දන්න මේ මුත්තා ගෙදර ආවට පස්සේ ගෙදර අයට කිව්වලු එයාගේ ග්‍රහචාරේ නරකට හිටලා තියෙන වෙලාවක මේ තුවාලේ උනේ , සමහරවිට මෙතනින් එයාගේ ජීවිතේ හරි කකුල හරි කෙලවර වෙන්නත් පුළුවන් කියලා .

ඉන්න තරම් දස්ස වෙදමහත්වරු ඇවිත් තියෙනවා මේ මුත්තට බෙහෙත් කරන්න . එයාලා ඒ මුත්තට නියම කරන බෙහෙත් සීට්ටු ලියාගෙන තියෙන්නේ අපේ ආච්චිඅම්මා . වෙලාවට ඒ බෙහෙත් සීට්ටු ලියපු පොත තාම මම ගාව තියෙනවා . සමහර බෙහෙත් වලට කියලා තියෙන ගස් වල නම් මමවත් තාම අහලා දැකලා නෑ . ගොඩක් දුක් විඳලා තියෙනවා ඒ බෙහෙත් වර්ග හොයාගන්න  කොහොමහරි බෙහෙත් කරාට ටිකෙන් ටික තුවාලේ නරකට හැරෙනවා මිස අඩුවක් නැහැලු .

ඔය වෙලාවේ වෙදමුත්තාගෙ ජීවිතය බේරුවේ මේ රාජතරංගනී තෛලය තමයි . 1882 ඉපදිච්ච මේ වෙදමුත්තා මියගිහින් තියෙන්නේ 1965 මැයි 12 . සමහර වෙලාවට ගමේ මරණ උනාම අපිත් යනවා මාතර . එහෙම ගියාම මාතර කනත්තේ මේ වෙදමුත්තා සැතපිලා ඉන්න සොහොන වටේ රවුමක් කැරකිලා පහන් සංවේගයට පත්වෙලා එන්න අපි අමතක කරන්නේ නෑ .

අන්තිම වතාවේ මාතර කනත්තට මම ගියේ දැනට අවුරුද්දකට විතර කලින් අපේ සීයා කෙනෙක්ගේ මරණෙකට . ඒ ගියවෙලේ අපේ පුංචි අම්මා මේ වෙදමුත්තාගේ සොහොන්කොත අල්ලලා වැඳලා ආවා මට මතකයි . අපේ ගෙදර හැමෝම ගෞරවයෙන් මතක් කරන චරිතයක් තමයි ඒ වෙදමුත්තා . මොකද ඒ වෙද මුත්තාගෙන් පස්සේ වෙදකම සම්පූර්ණෙන්ම නැවතිලා ගිය නිසා . ඒ මුත්තාගේ ධාරණ ශක්තිය හරිම ඉහලයි කියලා අපේ නෑදෑයෝ තාමත් මතක් කරනවා .

මේ වෙදමුත්තාගෙ හොඳම යාලුවෙක් හිටියා දෙවුන්දර ඉස්කෝලයක මුල් ගුරුවරයෙක් . මුල්ම කාලේ මම ලිව්ව පෝස්ට් දෙක තුනකම වගේ මම කියලා ඇති , දෙවුන්දර හිටියා කියලා හූනියම් දෙවියෝ වසඟයට ගත්ත , මතුරලා සර්පවිස බස්සන්න හැකියාවක් තියෙන කෙනෙක් ගැන . ඔන්න ඔය ඉස්කෝල මුල්ගුරුවරයා තමයි ඒ .

ඉතින් මේ ගුරුතුමා ආවලු අපේ මුත්තට කොහොමද කියලා බලන්න . ආවම දැන් මුත්තා ඇඳේ ඉන්නවලු . අර ගුරුතුමා අපේ මුත්තට කියන්නේ වෙද අයියා කියලා . ඉතින් ගුරුතුමා කියනවලු

"නරක වෙලාවට වෙද අයියගේ සාත්තරෙත් බොරු උනා එහෙනම් " කියලා .

ඒ මුල්ගුරුතුමා ඊටපස්සේ සූනියම් දෙවියන් ආරූඪ වෙච්චි වෙලාවක මේකට මොකද්ද කරන්නේ කියල බලනකොට තමයි තමයි කියලා තියෙන්නේ රාජතරංගනී තෙලෙන් අපේ මුත්තාව සනීප කරන්න පුළුවන් කියලා . තෙල හිඳින බෙහෙත් අපේ වෙදමුත්තත් දැනගෙන ඉඳලා තියෙනවා . ලෙඩ ඇඳේ ඉඳගෙනම එයා තමයි තෙල හිඳින්න බෙහෙත් කියලා තියෙන්නේ............................................................

ලීලසේන ඉස්කෝලේ මහත්තයා ගැන මම හූනියම් දෙවියන් ගැන ලිව්ව ලිපියක මෙහෙම ලියලා තියෙනවා .

.............................................හූනියම් දෙවියන් වසඟයට ගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි . මගේ ආච්චිඅම්මා නැතිවෙන්න කලින් දවසක් මට කිව්වා එයාලා පොඩි කාලේ ඒ කිව්වේ 1920 විතර කාලේ එයාලගේ ගමේ හිටියලු හූනියම් දෙවියෝ වසඟයට ගත්ත දක්ෂ ඇදුරෙක් . එයා පාරේ ඉස්සරහට එනකොට කවුරුත් පාරෙන් අයින් වෙලා එයාට ආයුබෝවන් කියලා ආචාර කරන්නත් පුරුදුවෙලා හිටියලු .

එහෙම උනත් එයා වැඩිය ලොකු ලයින් දාපු කෙනෙක් නෙවෙයිලු . ගමේ හොඳින් ජීවත් උනාලු . ගමේ කාවහරි නයි , පොළොංගු, සර්පයෝ කාලා විස බස්සන්න බැරි උනාම මේ කියෙන කෙනාට මන්තර මතුරලා නයි විස බස්සන්න අරුම පුදුම හැකියාවක් තිබුණා කියලත් ආච්චි අම්මා මට කිව්වා . ඒ හැකියාව ලැබුනේ හූනියම් වසඟය නිසා කියලා ගමේ පිළිගැනීමක් තිබුනලු ......................................

හාමුදුරුවන් එක්ක කතා කර කර ඉන්නකොට හාමුදුරුවෝ මට කිව්වා “ දෙවුන්දර ගැන හොඳට දන්නවා නේද ? “ කියලා . මම ඊට පස්සේ හිනා වුණාම හාමුදුරුවෝ මට කිව්වා ඔය ලීලසේන ඉස්කෝලේ මහත්තයා සාත්තරේට විතරක් නෙවෙයි හොඳ දැනුමක් දෙවුන්දර ගැන තිබුණු කෙනෙක් . දෙවුන්දර ගැන ඉතිහාසය ගැන පොතක් එහෙමත් ලියලා තියෙනවා කියලා .

හැබැයි ඒ වෙනකොටත් මම දන්නේ නැහැ . ලීලසේන ඉස්කෝලේ මහත්තයා ලිව්ව පොතේ පිටපතක් තමයි දනුල මට දීලා තියෙන්නේ කියලා සීයාගේ පොත් එකතුවෙන් . පස්සේ දවසක මට මේ සිද්ධිය මතක් වෙලා මම ඉක්මණට අල්මාරිය අවුස්සලා පොත හොයාගෙන බලනකොට ඇත්තටම ඒක ලීලසේන ඉස්කෝලේ මහත්තයා ලිව්ව පොතේ පිටපතක් ම තමයි .

අපේ අම්මා මේ ලීලසේන ඉස්කෝලේ මහත්තයාව දැකලා තියෙනවා . ටිකක් කළු හොඳ උස මහත කෙනෙක් කියලා තමයි කියන්නේ . දෙවුන්දර සිංහාසන පාරේ තමයි එතුමා පදිංචිවෙලා ඉඳලා තියෙන්නේ . අම්මත් ලීලසේන ඉස්කෝලේ මහත්තයා ගැන මතක් කරේ හරිම ගෞරවයෙන් . මොකද අම්මා ඉස්කෝලේ පළවෙනි පංතියට භාරදෙනකොට ඉස්කෝලේ විදුහල්පති වෙලා ඉඳලා තියෙන්නෙත් ලීලසේන ඉස්කෝලේ මහත්තයා නිසා . අපේ පවුලේ අයත් එක්ක එතුමාගේ තිබ්බ ගෞරවනීය එකමුතුකම නිසා එතුමාගේ මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධ පොත් කීපයකුත් ඒ කාලේ ප්‍රදානය කරා කියලා අම්මා මාත් එක්ක මතක් කරා .

අතීත කතාවලින් ඒ චරිත ගැන කතා ගොඩක් මගේ ඔලුවේ තිබුණත් , ඒවගේ කෙනෙක් රචනා කරපු ඒවගේ දෙයක් ලැබිලා තියෙනවා කියලා දැනගත්තම කියන්න බැරි සතුටක් ඇතිවුණේ . ඒ සතුටේ හිමිකාරයා දනුල මහත්මයා තමයි . ඒ නිසා මම මේ සිදුවීම ආයෙත් දවසක මතක් වෙන්නත් එක්ක කියලා ලිපියක් විදියට ලියලා පළ කරන්න කල්පනා කරේ.

දනුල වික්‍රමආරච්චි මහත්මයාට ස්තූතිවන්ත වෙනවා වගේම තමයි දනුලගේ නැන්දාටත් පොතේ මුල් අයිතිකාරිය වුණු අර ආච්චිඅම්මාටත් ස්තූතිය පුදකරනවා මේ පොත පරෙස්සම් කරලා තැබීම සම්බන්ධව . ආයෙත් කියවන්න ඕන පොත . ඒත් දැන් ඒ පොතේ වටිනාකම ගැන මතක් වෙනකොට අල්ලනත් ලෝභයි වගේ .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment