මලයාල නාග වෛරෝඩිය ( 3 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

රාත්‍රී ආහාරය ගත් පසු සීතාවක අමුත්තා නින්දට ගියේ පසුදින පාන්දරම ගෙන යායුතු සියල්ල පිළියෙළ කර තැබීමෙන් අනතුරුවය . සීයාද නින්දට ගියේ ඉන් අනතුරුවය . මම කළුවර අඳුනේ මන්තර පාඩම් කිරීම ආරම්භ කලෙමි . කොහොඹ දළුවක් දෙකක් සපමින් රාත්‍රී කාලයේ මන්තර පාඩම් කිරීම ඉතාම පහසු කාර්යයකි . එය මට පුරුදු කරන ලද්දේ සීයා විසින්මය . වෙනත් ශබ්ධ කිසිවක් නෑසෙන වෙලාවේ පොතත් මනසත් ඒකාග්‍ර වන්නේ ආත්මීය බැඳීමක් සහිත බැම්මකින්ය .

පුස්කොල පොත කියවා අවශ්‍ය මන්තර කීපය කොපි පොතක සටහන් කරගත් මා රාත්‍රී කාලයේම ඒවා ටිකෙන් ටික කියවමින් මතක තබාගත්තෙමි . මා නිදාගන්නා ලද්දේ සීතාවක අමුත්තා වලව්වෙන් නික්ම යාමත් සමගය . ඔහු නිධන් වදුල සීයාට දී නැවතත් ගම රට බලා ගියේ හිස් අතින්මය . තව සති දෙකක් ගතවීමෙන් කළුවර අඳුනක් වලව්වේ හොල්මං කිරීමට පටන්ගන්නා බව දැනෙත්ම හිතට යම් අඳුරු බවක් දැනේ .

අද එතැන් සිට

මධ්‍යම රාත්‍රියේ පටන් අලුයම දක්වා නිදි වර්ජිතව සිටි හෙයින් මා අවදිවන විට උදෑසන දහය පමණ වී තිබිණි . රාත්‍රියේ පාඩම් කරන ලද මන්තර සියල්ල එක්වරක් ස්මරණය කල මම ඇඳෙන් බැස කාමරයෙන් පිටත්ව සීයා ඇතැයි අනුමාන කරමින් වලව්වේ ඉස්තෝප්පුවට පිවිසියෙමි . සැබවින්ම සීයා ඉස්තෝප්පුවේ සිටියේය . 

" පුතා අද මොකද නැගිටින්න පරක්කු උනේ ? "

" මම ඊයේ රෑ එළි වෙනකල්ම කළුවර අඳුන මන්තර පාඩම් කලා සීයේ . දැන් නම් මතකයි වගේ . ඒත් තව ටිකක් කියව කියව පාඩම් කරන්න ඕන " 

" ඒක හොඳයි . ඕක මමත් ජීවිතේටම එක පාරයි හැදුවේ . මම නැති කාලෙක පුතාට මේක තනියමම තමයි හදන්න වෙන්නේ . ඊට වඩා හොඳයි අවස්ථාව ලැබුණු වෙලාවේ මමත් ජීවතුන් අතර ඉන්න නිසා පුතා මේ වැඩේ කරනවනම් . මම හැමදේම කරන හැටි කියලා දෙන්නම් . පුතාට තියෙන්නේ ඒ විදියට කරන්න විතරයි . මහ ලොකු අමාරුවක් නැහැ . 







කරන්න තියෙන්නේ ඒ ඒ දේවල් ඒ ඒ නියමිත වෙලාවට කරලා මන්තර මතුරන එක විතරයි . මේ තෙල ජීවම් කරන්න ඕන බෝධියක් පාමුල ඉඳගෙන . ඒ නිසා පන්සලේ බෝධිය තමයි මේකට හොඳම තැන . පුතා දැන් මූණ අතපය හෝදගෙන කාලා බීලා ලෑස්තිවෙලා එන්න . අපි යමු පන්සලේ ලොකු හාමුදුරුවෝ මුණගැහිලා මේ කාරණාව කතා කරගෙන එන්න . කලින්ම කියලා තියන එක තමයි හොඳ " 

මම මුහුණ කට සෝදා උදෑසන ආහාර වේල උදෑසනටත් දවාලටත් යන දෙකටම නොමැති වෙලාවක ගෙන පන්සල් යෑමට සූදානම් වීමි . සීයා උගුර පාදමින් කාමරයේ දොර අසල නතර විය . 

" එන්න සීයේ . මම මේ පන්සල් යන්න ලෑස්තිවෙන ගමන් " 

" පුතාට කලින්ම කියලා තියන්න ඕන නිසා මම මේ දුවගෙන ආවේ මේ කාරණාව කියන්න . පන්සලේ හාමුදුරුවන්ට මම කියන්නේ නැහැ කළුවර අඳුන හදනවා කියලා . මම කියන්න ඉන්නේ වෙනත් මොකක් හරි බෙහෙත් තෙලක් ජීවම් කරනවා කියලා . පුතා කළුවර අඳුන ගැන මුකුත්ම පන්සලේදී කියන්න එපා " 

" හා සීයේ " 

" මොකද හාමුදුරුවෝ උනත් කියන්න බැහැ . වැරදියට හිතන්න ඉඩ තියෙනවා අපි මොකටද කළුවර අඳුන හදන්නේ කියලා . ගොඩක් වෙලාවට කළුවර අඳුන හදන්නෙම හොර වැඩ කරන්න ඕන උනාමනේ . ඒ නිසා පුතා මේ ගැන කා එක්කවත් කියන්න එපා . වලව්වේ ඉන්න අය විතරක් දැනගත්තම ඇති මේ ගැන " 

" හොඳයි සීයේ " 

සීයාද මමද අනතුරුව පන්සල බලා පිටත් වීමි . පන්සල් යන අතරතුරේ සීයා කිසිවක් මා සමග කතා කලේ නැත . පන්සල් වත්තට ඇතුළුවන විටදීද සීයා කලින් කී කතාව මා හට නැවතත් සිහිපත් කළේය . ඒ කළුවර අඳුන ගැන පන්සලේ නායක හාමුදුරුවන්ට ඇඟවීමට නුසුදුසු බවයි . අප දෙදෙනා පන්සලට යනවිට පන්සලේ නායක හාමුදුරුවෝ ආවාසගෙයින් පිටතට වැඩීමට සූදානම්ව ආවාස ගෙයි දොරකඩ අසල නතර වීය . සීයාද මමද එහි ගොස් නායක හාමුදුරුවන්ට වැන්දෙමු .

" ආ අරනෝලිස් . මම මේ පිරිත් මණ්ඩපේ අස්පස් කරන වැඩ කටයුතු බලන්න කියලා බණ මඩුව පැත්තට යන්න හැදුවේ " 

" හාමුදුරුවනේ මම මේ වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න කියලා පන්සල පැත්තේ ආවේ . බණ මඩුවට වඩින්න කලියෙන් ඒ ගැන කතාකරගත්තනම් තමයි හොඳ " 

" කියන්න අරනෝලිස් . අපි ඩිංගක් ආවාසගේ ඇතුලෙන් ඉඳගෙන කතා කරමුද හාමුදුරුවනේ ? " 

" එහෙනම් අරනෝලිස් මෙහෙන් ඉඳගමුකෝ " 

" මේකයි හාමුදුරුවනේ . මට බලගතු තෙලක් තියෙනවා ජීවම් කරගන්න . ඒක බෝධියක් යට ඉඳගෙන තමයි ජීවම් කරන්න ඕන . රෑ ජාමෙට තමයි ජීවම් කරන්න පටන් ගන්නේ . සමහරවිට පහුවෙනිදා එළිවෙනකල් ජීවම් කරන්න වෙයි "







" ඕක ඉතින් කමක් නැහැ අරනෝලිස් කැමති විදියකට කරන්න . මගෙන් මොනවද වෙන්න ඕන උපකාරය ? "

" හාමුදුරුවනේ එදා දවසට පන්සලට ගමේ අයට එන්න අවසර නොදී ඉන්න පුළුවන් නම් හොඳයි .මට පුළුවනි ගමේ අයට මේ ගැන කියන්න . ඊට කලියෙන් ඔබවහන්සේ දැනුවත් කරන්න ඕන නිසයි මම මේ තකහනියෙම දුවගෙන ආවේ " 

" අරනෝලිස් එහෙනම් ගමේ අයට කියන්න මේ වගේ රාජකාරියක් නිසා පන්සලට යන්නේ නැතුව ඉන්න කියලා . මම ගේට්ටුව වහලා තියන්නම් එදාට . එහෙම හොඳයිද අරනෝලිස් ? " 

" හොඳමයි හාමුදුරුවනේ " 

" මට තව මේ තනි කළු පාට බළල් පැටියෙක් හොයාගන්න උවමනා වෙලා තියෙනවා . පන්සලේ නැත්ද හාමුදුරුවනේ කළු පාට බළල් පැටවුන් එහෙම ගමේ උන් ගෙනැත් දාලා ගියපු  ? " 

" හිටියා දෙතුන් දෙනෙක්ම . පොඩි නම තමයි කන්න දිදී හුරතල් කර කර තියාගෙන ඉන්නේ . මම පොඩි නමට කියන්නම් අරනොල්ස්ට බළල් පැටියෙක් දෙන්නය කියලා . අපි එහෙනම් දැන් යමුද බණ මඩුව පැත්තට . පොඩි නමත් හිටියේ බණ මඩුව පැත්තේම තමයි " 

" හොඳමයි හාමුදුරුවනේ " 

මමද සීයාද නායක හාමුදුරුවන්ට වැඳීමෙන් පසුව උන්වහන්සේගේ පසුපස ගමන් කර බණ මඩුව වෙත පිවිසියෙමු . පොඩි හාමුදුරුවන් බණ මඩුවේ පැත්තකට වී බලා හිඳිනුයේ පිරිත් මණ්ඩපය ගලවා ඉවත් කරන ආකාරයයි . ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන් කැඳවා අපගේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කළහ . පොඩි හාමුදුරුවෝ එක පොකුරට අල්ලාගත් පූස් පැටවුන් තුන් දෙනෙකු ඔසවාගෙන පැමිණ අප ඉදිරියේ බිම තැබීය . සීයා ඉන් තනි කළු පැහැති පූස් පැටවා තෝරා ගත්තේය . පසුව ලොකු හාමුදුරුවන්ටත් පොඩි හාමුදුරුවන්ටත් වැඳ සීයාත් මමත් පන්සලෙන් පිටත් වීමු .

" සීයේ පූස් පැටියෙක් මොකටද ? " 

" කළුවර අඳුන හදන වෙලාවට කළුපාට පූසෙක් ළඟ තියාගන්න ඕන කියලා පොතේ ලියලා තියෙනවා . පුතා දැක්කේ නැත්ද ? " 

" නැහැනේ . මම මන්තර ටික විතරයි කියවලා ලියාගත්තේ . අනිත් දේවල් බැලුවේ නැහැ හරියටම . අද ඔක්කොම දේවල් කියවලා බලන්න ඕන " 





සීයාත් මමත් පූස් පැටියාද රැගෙන වලව්වට පැමිණියෙමු . බළල් පැටවෙකු නිවසකට පුරුදු කරගැනීමට පහසුම ක්‍රමය වන්නේ සීනි සහ පොල් කලවම් කර කන්න දීමයි . ඒ අනුව මමද එම බළල් පැටවාට සීනි සහ පොල් කලවම් කර කන්නට දුන්නෙමි . වැඩි වෙලාවක් යන්නට මත්තෙන් බළල් පැටවා වලව්වට පුරුදු කාරයෙකු මෙන් එහා මෙහා දුව පැන ඇවිදින්නට විය .

" පුතේ ඔය සතාව පරෙස්සම් කරගන්න වෙයි . තවම පොඩි නිසා කබරයින් තලගොයින් එහෙම ආවොත් මේ සතාව අල්ලගෙන යන්න බැරි නැහැ " 

" එහෙනම් සීයේ පිටිපස්සේ ගබඩා කාමරේ ඇතුලේ තැනක ඉන්න හදලා දෙන්නම් . එතකොට එතනට වෙලා නිදාගනියිනේ " 

" බලමුකෝ එහෙම කරලා . මමනම් හිතන්නේ නෑ එකතැනකට වෙලා ඉඳියි කියලා " 

දින තුනක් පමණ ගතවී ගියේය . සීතාවක ප්‍රදේශයෙන් ආ අමුත්තා වලව්වේ කරත්තයෙන් නැවතත් වලව්වට පැමිණියේය . උනහපුළුවා කූඩුවේ සිටියේය . කළු ගැරඬි පැටියෙකු අල්ලා බෝතලය දමා තිබිණි . සමහර බෙහෙත් පැළෑටි වේලි යන නිසා කුඩා බඳුන්වල පැළකර තිබිණි . හිතුවාට වඩා ඔහු දුරදිග කල්පනා කරන පුද්ගලයෙකු බව පෙනේ . 

" බෙහෙත් ජාති හොයා ගන්න අමාරු උනාද දරුවෝ ? " 

" එහෙමට අමාරුවක් උනේ නෑ ගුරුන්නාන්සේ . උනහපුළුවා අල්ලන එක තමයි ටිකක් කරදර උනේ . මෙයාලා ඉන්නේ අල්ලන්න පුළුවන් තැන්වල නෙවෙයිනේ . ගැරඬියත් ඊට වඩා ලේසියෙන් අල්ලගත්තා " 

" අදම එහෙනම් වැඩ පටන්ගමු . අමාවකට තව සතියකුත් දවසක් විතර වගේ තියෙන්නේ . අදම බෙහෙත අඹරලා වලදැම්මොත් සතිය ගිහින් අමාවකට ගොඩ ගන්න පුළුවන් "

" මොනවද ගුරුන්නාන්සේ කරන්න ඕන ? " 

" අපි දවල්ට කාලාම වැඩ පටන් ගමු . අදනම් වැඩි දෙයක් කරන්න නැහැ "

දහවල් කෑම කා අවසන් වූ වහාම දුම් ඇල්ලීමට ගිනි කබලක් සූදානම් කරන්න යැයි සීයා විධාන කළේය . කුස්සියේ ලිපෙන් ගිනිගෙන දැවෙන දර කැබලි කීපයක් ගෙන ඉන් අඟුරු කඩා දමා පොල් කටු කැබලි කීපයක් එම අඟුරු මත තබා දුම් කබලක් සෑදුවේ මමය . සීයා මමත් සීතාවක අයියාත් කැඳවාගෙන වලව්ව පිටුපස කරත්තය ගාල් කරනු ලබන මඩුවට ගියේය . එහි එක් පසෙක බෙහෙත් අඹරන ගල තබා තිබේ . කහ දියර භාජනයක් පැත්තකින් තිබේ . කට්ටකුමන්ජල් කුඩු වලඳක දමා තවත් පසෙක තිබේ . ඒ සියල්ලටම වඩා වැදගත් දෙයක් වූයේ උනහපුළුවාත් කළු ගැරඬියාත් සහිත කූඩුව සහ බෝතලයයි .







" ඔය ළමයා කහදියර ටිකක් අතට හලාගෙන ඒකෙන් අත හෝදගෙන බෙහෙත් අඹරන ගල ගාවින් පහසු විදියට වාඩි වෙන්න . ඔය ලමයට තමයි බෙහෙත් අඹරන්න වෙන්නේ "

" හොඳමයි ගුරුන්නාන්සේ " 

" චූටි පුතේ , පුතා අර කට්ටකුමන්ජල් වළඳ අතට ගන්න . අරගෙන පාඩම් කරපු මන්තර වලින් පොතේ ඉස්සෙල්ලම තිබ්බ මන්තරෙන් එකසිය අට පාරක් මතුරන්න " 

" හා සීයේ " 

මඩුවට ගෙන ආ පුටුවක හිඳගත් මම නවගුණ වැල අතට රැගෙන පළවෙනි කිරිඳි ඇටය අල්ලා මන්ත්‍රය පිරීමට පටන් ගතිමි . ඒ අතරවාරයේ සීයා , වලව්වට ගෙන ආ බෙහෙත් පැළෑටි , කොළ , පොතු සියල්ල ගෙන ඒවා පරීක්ෂා කරමින් . කොළ කඩමින් සුවඳ පරීක්ෂා කරමින් සියල්ලම බෙහෙත් අඹරන ගලට දමයි . කළු කබ්බෙරිය , ජටාමාන්ස , එළවරා , කළුමැදිරිය , වැනි වටිනා බෙහෙත් වර්ග එහි අඩංගු විය . සියල්ල එකතු කරායින් පසුව ,

" මේ වැඩේ සාර්ථක වෙන්න කියලා හිතාගෙන ඔය ළමයා එහෙනම් බෙහෙත අඹරන්න පටන් ගන්න දරුවෝ " 

මම මන්තර මතුරමින් සිටින අතර සීතාවක අමුත්තා බෙහෙත් අඹරයි . මන්ත්‍රය එකසිය අට පිරෙන විටද බෙහෙත් ඇඹරීම සම්පූර්ණ වී තිබුණේ නැත . සීයා මඩුවෙන් පිටත් වූයේ නැත . විටෙක මා අසලට පැමිණෙන සීයා විටෙක බෙහෙත් ගල අසලට ගමන් කරයි . නැවතත් මා අසලට පැමිණේ . බෙහෙත ඇඹරීම සම්පූර්ණ වී නොතිබුණු හෙයින් බෙහෙත් ගල අසල මා හිඳගත්තෙමි . වැඩිමනත් ඇඹරී තිබුණු හෙයින් එය ඇඹරීම මාහට වෙහෙසකර නොවීය . සීතාවක අමුත්තාටනම් එය තරමක් වෙහෙසකර වී තිබිණි . 

බෙහෙත අඹරා පදම එනවිට සීයා මා නතර කළේය .

" පුතේ අර කට්ටකුමන්ජල් වළඳයි අඟුරු කබලයි ගේන්න මෙහාට " 

මම අඟුරු කබලට වතාවක් දෙවතාවක් පිඹ අළු ඉවත්කර අඟුරු සහිත කබල සහ කට්ටකුමන්ජල් වළඳ රැගෙන සීයා අසලට ගියෙමි .

" දැන් ඕකෙන් මේ සත්තු දෙන්නට දුම් අල්ලන්න "

කට්ටකුමන්ජල් හොඳින් දමා එම දුම් උනහපුළුවාටත් ගැරඬියා සහිත බෝතලයටත් ඇල්ලීමි . ස්වල්ප වෙලාවකින් උනහපුළුවා වෙව්ලන්නට විය . එසේ වෙව්ලමින් සිටි උනහපුළුවා ජීවිතයට සමු දී කූඩුව තුල මැරී වැටුණේය . ගැරඬියා බෝතලය තුල දඟලමින් හිඳ නිසල විය .

" දැන් ඉක්මනට ඔය සත්තු දෙන්නා එලියට ගන්න . චූටි පුතේ මගේ කිනිස්ස අරගෙන එන්න . ආ තව පරණ භාජනයක් අරගෙන එන්න මේ සතාගේ බඩවැල් දාන්න "

" හා සීයේ "

මම වලව්ව තුලට දිව ගොස් කිනිස්සත් බෙලෙක් බෙසමකුත් රැගෙන ආවෙමි . සීයා උනහපුළුවාගේ බඩ පලා බඩවැල් ඉවත් කළේය . පසුව කළු ගැරඬි පැටවා බෝතලයෙන් ඉවතට රැගෙන ගැරඬි හිස අඟල් හයක් පමණ සිටින සේ කපා එය උනහපුළුවාගේ බඩ තුල තැම්පත් කළේය . පසුව අඹරන ලද බෙහෙත් වලින් උනහපුළුවාගේ බඩ පිරෙව්වේය .









අඹරන ලද සියල්ල උනහපුළුවාගේ බඩේ පිරවූ පසු උනහපුළුවා කෙසෙල් කොළයකින් හොඳින් ඔතා පාර්සලයක් මෙන් සාදන ලදී . එය දැමීමට තරම් විශාල මුට්ටියක් ගෙන්වාගත් සීයා උනහපුළුවා සහිත පාර්සලය මුට්ටියට දමා වසා කට බැඳ මඩුවේ නොතෙමෙන තැනක වැලලුවේය .

" දැන් ඉතින් ආයෙත් වැඩ තියෙන්නේ තවත් සතියකින් තමයි "

සීයා අප දෙදෙනා දෙස හැරී කිව්වේය .

ඊළඟ කොටසින් හමු වෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment