ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 8 ) ( වෛරෝඩි සහ ගෝමේද )








ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ලිපි මාලාවේ මීළඟ ලිපිය විදියට මම සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික් වර්ග දෙකක් සම්බන්ධව . මේ මැණික් වර්ග දෙකම එකට එක පෝස්ට් එකක ලියන්න හිතුවේ එකිනෙකාගෙන් අංශක 180 ක කෝණයකින් පිහිටලා කැරකෙන ඡායා ග්‍රහයින් දෙදෙනාට මේ මැණික් ගල් වර්ග දෙක අයත් වෙන නිසා . රාහු කේතු තමයි ඒ ග්‍රහයින් දෙන්නා . සාමාන්‍යයෙන් රාහු ගැන කතා වෙනකොටම ඒ එක්කම මුහුණට මුහුණ ලා ඉන්න කේතු ගැනත් කතා වෙනවා .

රාහු කේතු දෙන්නාම සාමාන්‍යයෙන් අයහපත් ප්‍රතිඵල ලබාදෙන දෙන්නෙක් . මේ දෙන්නාට ග්‍රහයින් කියලා කියන්නත් බැහැ මොකද මේ දෙන්නාට ස්කන්ධයක් නැහැ . ඒ කියන්නේ රාහු කේතු කියන්නේ ග්‍රහ ලෝක දෙකක් නෙවෙයි . හරියටම කියනවානම් රාහු කේතු කියලා කියන්නේ ගණිතමය ලක්ෂ දෙකක් . පෘථිවිය සහ චන්ද්‍රයාගේ ගමන් මාර්ග නිසා ඇතිවෙන ලක්ෂ දෙකක් .

මේ රාහු කේතු දෙන්නාගේ හට ගැනීම සුර අසුර යුද්ධයේදී විස්තර කිරීමක් කරනවා . රාහු අසුරෙන්ද්‍රයාව කාර්තිකේය කුමාරයා විසින් දෙපළු කරාට පස්සේ හිස කොටසින් රාහු සහ වලිගය කොටසින් කේතු කියන දෙන්නෙක් ඇතිවුණා කියලා . කොහොමත් රාහු කේතු දෙන්නා සංකේතවත් කරන්නේ නයෙක්ගේ හිසක් සහිත රූපයකින් රාහු සහ වලිගය සහිත රූපයකින් .





රාහු ග්‍රහයාගේ ග්‍රහ දේව රූපය පෙන්නුම් කරන්නේ මනුෂ්‍ය ශරීරයක් සහ නයෙකුගේ හිස කොටසකින් . ඒ රූපයම ඇති රාහු ගැන තේරුම් ගන්න . රාහු අඩු මොලයක් පෙන්නුම් කරනවා . හිස කුඩා නාගයාගෙන් ඒ දේ පෙන්නනවා . ඒවගේම රාහු ශක්තිමත් . රාහුගේ පාද ඉතාමත් ශක්තිමත් . ඒ නිසා ඇවිදීම රාහුගෙන් පෙන්නනවා . රාහු ලැබුවාම මිනිස්සුන්ටත් ඒ ගතිගුණ එනවා . රාහු ලබලා තියෙන කාලයේ ඇවිදීම වැඩියි . ඒවගේම තමයි මොලේ කල්පනා කරලා මොලේ පාවිච්චි කරලා වැඩක් කරන්නේ නෑ . අනවශ්‍ය දේවල් ම තමයි කරන්නේ .

ඒත් කේතු එහෙම නෙවෙයි කේතු වෙනස් . කේතු එකතැනක ඉන්නේ . කේතු ග්‍රහ දෙවියන්ගේ රූපයත් හදලා තියෙන්නේ ඒ අදහස ඇතිවෙන්න . මොකද කේතුට පාද නැහැ . කේතුට තියෙන්නේ නයෙකුගේ වලිග කොටසක් තමයි ශරීරයේ යට කොටසට . හැබැයි හොඳ ප්‍රභාවත් මනුෂ්‍ය උඩු කයක් කේතුට තියෙනවා . ඒවගේම කේතු අතේ තියාගෙන ඉන්නේ පොතක් .





කේතු අධ්‍යාපනයට දක්ෂයි . ඥානාන්විතයි . කේතුගේ ඇවිදීම අඩුයි . ඒවගේම තමයි එකතැන ඉඳගෙන වැඩ කරන ගතියක් කේතුට තියෙනවා . ඒ නිසා කේතු සාමාන්‍යයෙන් ලබුවාමත් ඒ මනුෂ්‍යයා ඒවගේ වෙනවා . මේ ළඟදී මම බලපු ජන්ම පත්‍රයක කේතු තැම්පත් වෙලා ඉන්න ආකාරය අනුව මම පළාපල සටහන ලියන්නත් කලින්ම කිව්වා ඔයා ඉගෙන ගත්ත කෙනෙක් ඒත් එකතැන ඉන්නේ . රස්සාවක් නම් කරන්න අවස්ථාවක් නෑ . ගෙදර තමයි ඉන්නේ . ගෙදර ඉඳන් කරන දෙයක් තමයි කියලා . ඒවගේ කේතුගේ තත්වය අනුව මිනිසුන් එකතැන ජීවත් කරවන ගතියක් ඇති කරවනවා . මේවායේ වාසි අවාසි තියෙනවා විවිධ විදියට වෙනස් වෙන .

රාහු සහ කේතු දෙන්නා තමන්ට ලැබෙන දෘෂ්ටි අනුව වෙනස් වෙනවා .ඒ නිසා දෘෂ්ටි අනුව වැඩියෙන්ම වෙනස් වෙන ග්‍රහයින් දෙන්නෙක් තමයි රාහු කේතු කියලා කියන්නේ .

රාහු කේතු දෙන්නා ගැන කතා කරනකොට තවත් වැදගත්ම දෙයක් තමයි කාල සර්පයෝගය කියලා කියන්නේ . කාලසර්පය ඇතිවෙන්නේ රාහු කේතු දෙන්නා නිසා . ඒ නිසා නයෙකුගේ හැඩයට හදන මුද්දක හෝ පෙන්ඩන්ට් එකක ගෝමේද සහ වෛරෝඩි පළඳින්න කියලා කියවෙන යම් අවස්ථා එනවා . ඒ තැනදීත් මේ මැණික් වර්ග දෙක වැදගත් වෙනවා .




ජ්‍යෝතිෂ විද්‍යාණුකූලව තමයි සාමාන්‍යයෙන් මැණික් පැළඳීම කරන්න ඕන . මොකද මම මේ මැණික් සම්බන්ධ ලිපි මාලාවේ ආරම්භයේදී කිව්වා මැණික් සමහර වෙලාවල් වලදී මරණය පවා අරගෙන එනවා කියලා . ඒ නිසා මැණික් භාවිතය සාමාන්‍යයෙන් පරෙස්සමෙන් තමයි කරන්න ඕන .

මැණික් සම්බන්ධ කතාබහේ වැදගත්ම අදියරයක් මේ විදියට සමාප්ත කරනවා . ඒත් ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය කියන ලිපි මාලාවේ තවත් ලිපි ඉදිරියේ පළ වේවි .

ඔබ සැමට සමන් දෙවිඳු ගේ පිහිට ලැබේවා !


වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment