සත් හට සෙත් දෙවන කිරි අම්මා දානය




මේ ගීතය අහන්න . අහන්නමත් එපා . පොඩ්ඩක් බලන්න 


(මම මේ පෝස්ට් එක ලිව්වේ සිංහල අවුරුද්ද දවසේ . ඒ කියන්නේ අප්‍රේල් 14 වෙනිදා )

අද දවස අපි හැමෝටම විශේෂ දවසක් වෙනවා වගේම අපේ ගෙදර අයටත් විශේෂ දවසක් . සමහර අයනම් දැන් දන්නවත් ඇති . මොකද මම ගිය අවුරුද්දෙත් මේ දේ මතක් කළා . අද මගේ ආච්චි අම්මගේ උපන්දිනේ . ආච්චි අම්මා අවුරුදු 95න් අපිව දාලා ගියේ නැත්නම් අද ආච්චි අම්මා සමරන්නේ 100 වෙනි උපන්දිනය . ඊයේ සුපුරුදු පරිදි ආච්චි අම්මා නැතිඋන අප්‍රේල් 12 වෙනිදා සහ අදට යෙදෙන ඇයගේ උපන් දිනය වෙනුවෙන් අපි පන්සලට දානයක් දුන්නා .

අද ලියන්න යන පෝස්ට් එකේ වැඩි තරමක් අයිති මගේ ආච්චිඅම්මට . මොකද අද මේ ලියන කරුණු වැඩි ප්‍රමාණයක් ආච්චිඅම්මා මට දීපු පොත් කීපයක සහ ආච්චිඅම්මා කට පාඩමින් මට කියලා දීපු සහ ඒවායින් මම ලියා ගත්ත දේවල් . ආච්චිඅම්මගේ බන පොත් , කවි පොත් දාලා තියෙන්නේ පොඩි යකඩ පෙට්ටියක . ඔය පෙට්ටියට ඉතින් ගෙදර වෙන අය අත තියන්නේ නෑ . ඉතින් මේ හේතුව උඩ මම මගේ සමහර රහසිගත ලියකියවිලි එහෙම හංගන්නේ මේ පෙට්ටියේ තමා . 

මේ දැන් ඒ පෙට්ටිය විවෘත කරලා මට ඕන පොත් ගන්න ගමන් අතට අහු උනා ආච්චි අම්මගේ පරණ හුණු කාසි දාලා තිබූන බෝතලයක් . අවුරුද්දට ආච්චිඅම්මල ගනු දෙනු කලාම කාසිවල සුදු හුණු ගාලා තියනවා ඊළඟ අවුරුද්දේ ගන්න . ඒත් ආච්චිඅම්මා ඒවා ඔක්කොම ගන්නේ නැතුව හැම අවුරුද්දෙම කාසියක් ඉතුරු කරලා තියල වෙන්නැති මෙච්චර එකතු වෙන්න ඇත්තේ . 



පරණ මිනිස්සුන්ගේ ජීවන ප්‍රවෘත්තිය කොච්චර විචාරවත්ද කියලා හිත හිත මම මට ඕන පොත් දෙක තුන අරගෙන පෙට්ටිය වහලා දැම්මා . අතු පතර විහිදී ගිය දැවැන්ත නුග ගහක් වගේ තියෙන ආච්චිඅම්මගේ පවුලට ආච්චිඅම්මා මුදුන් මුලක් උනා . ඒ විදියට ඇය තමා වෙත භාරගත්ත සමහර වගකීම් ඉටු කිරීමේදී කිරි අම්මාගේ චරිතයත් රඟ පාන්න උනා කියලා මට කියලා තියෙනවා . ආච්චි අම්මගේ මෑණියන් , දරුවන් දහ දෙනෙක් බිහි කරලා අකාලයේ මිය ගිහින් තියෙනවා . 

ඉතින් පවුලේ වැඩිමල් කාන්තාව විදියට මගේ ආච්චි අම්මා , කිරි අම්මගේ චරිතය රඟපාමින් තමාගේ බාල සහෝදර සහෝදරියන් රැක බලාගත්තා . ඒ අඩිපාරේම යමින් පසු කාලයේදීත් ආච්චිඅම්මා තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් සහ ඒ දරුවන්ගේ දරුවන්ටත් කිරිඅම්මා කෙනෙක් උනා . කිරි අම්මා කෙනෙක් කිව්වේ එච්චර කල් කිරි දුන්නා කියලා නෙවේ . දෙවෙනි අම්මා කෙනෙක් විදියට තමන්ගේ නොවන දරුවන්වත් තමන්ගේ ආදරයෙන් සෙනෙහසින් පෝෂණය කළා කියන එක . 

ඉතින් ඔන්න ඔහොමයි කිරිඅම්මා කෙනෙක්ගේ චරිතය ඇති වෙන්නේ . දරුවෙක් බිහිකරලා ඒ දරුවාට තමාගේ රුධිරය කිරි බවට පත් කරලා පොවලා ඇති දැඩි කරපු , ඒ පිළිබඳව පිරිපුන් අත්දැකීම් තියෙන කාන්තාවකට තමයි කිරිඅම්මා කෙනෙක් කියලා කියන්නේ . මේ ආකාරයට සමාජයේ ගෞරවනීය තත්ත්වයකට පත්වෙන කිරිඅම්මා කියන චරිතය , දේවත්වයෙන් පිදීම සඳහා තමයි කිරි අම්මා දානය කියන දානය ඇතිවෙලා තියෙන්නේ . 

මේ කිරි දානයට අමතරව මම දන්න තවත් කිරි දානයක් තියෙනවා . දෙවුන්දර විෂ්ණු දේවාලේ පෙරහැර නිමාවෙලා දවස් ගණනක් ගත උනාට පස්සේ හාල්කිරි හදලා දේව දානය තියලා ගමටම බෙදනවා . දකුණේ අයනම් දන්නවා ඇති මේ ගැන . මුළු ගමක් එක්කම කන ලංකාවේ එකම කිරි දානය ඒක කියලා දවසක් රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනඅංශයේ මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හාමුදුරුවෝ කිව්වා . කොටින්ම කියනවනම් රත්නපුරේ ඉන්න අපිත් ඔය දානේ හැන්දක් හරි කොහොමහරි කනවා . ඒක දෙවියන් වෙනුවෙන් කරන ගෞරවයක් කියලා ආච්චිඅම්මා ඉස්සර අපිට කියලා තියෙනවා . වෙන කිරිදාන ගැන දන්න කෙනෙක් ඉන්නවනම් , ඔන්න දන්න අයට අදහස් දක්වන්න එන්න කියලා මම ආරාධනා කරනවා .

කිරිඅම්මා දානය කියන දෙය කවදා කොහොම ආරම්භ උනාද කියලා කියන්න පැහැදිලි සාක්ෂි නෑ . ඒක ලංකාවේ අතීතයේ පැවතී කෘෂිකාර්මික පරිසරය එක්ක ආරම්භඋනා කියලා මතයක් තියෙනවා . කුඹුරු වැඩ කරන අය තමාගේ කුඹුර සශ්‍රීක කරලා දෙන්න කියලා දෙවියන්ට භාර වෙනවා . ඉතින් මේ භාර වෙන්නේ එහෙම සශ්‍රීක උනොත් කිරිඅම්මලාට දානයක් දෙනවා කියලා . තවත් අය භාර වෙනවා තමාට වැළඳිලා තියන දෙවිදොස් ග්‍රහදොස් ඇස්වහ කටවහ හෝවහ දුරුවෙන්න කියලා . අද කාලයේ නම් වැඩිපුරම කිරි දාන තියන්නේ අලුත උපන් ළමයින්ට , ගැබිණි මවු වරුන්ට සහ මල්වර වෙන්න ඉන්න සහ මල්වර වෙලා මාස තුනක් ගතවෙන අයට . 



කිරිදානයක් දෙන්න කලින් ඒකට පොරොන්දුවක් වෙන්න ඕන පත්තිනි දෙවියන්ට . ඒක කරන්නේ හොඳට පොල් හැදෙන පොල් ගහක ගොක් කොළ සැරසිල්ලක් බැඳලා එතන පහන් පත්තු කරලා මෙන්න මේ දවසේ කිරි දානයක් දෙනවා කියලා පොරොන්දු වෙමින් . හැබැයි සමහර පැතිවල මේක වෙනස් වෙනවා . අපේ ගෙදර අය මම පොඩි කාලේ කිරි දාන දෙන්න භාර වෙලා තියෙන්නේ සමන් දේවාලෙට ගිහින් මෙච්චර කාලෙකින් කිරි දානයක් දෙනවා කියලා පොරොන්දුවෙලා . පොඩි ළමයින්ට නම් ගොඩක් එහෙම කරනවා මම දැකලා තියෙනවා .

කිරිදානයකට සාමාන්‍යයෙන් කිරිඅම්මලා හත් දෙනෙක් එනවා . ඒත් දැන් ඒක නවය දොළහ විසිඑක වගේ විවිධ ගණන් වලට විකාශනය වෙලා . මමනම් හිතන්නේ නවය හරි . මොකද ලෝකය පාලනයවෙන නවග්‍රයින් නවදෙනා සංකේතවත් වෙන්න කිරිඅම්මලා නවදෙනෙක් තමයි එන්න ඕන . මෙහෙම එන කිරි අම්මලා මම අර කලින් කිව්ව සුදුසුකම් හැරෙන්නට තවත් සුදුසුකම් සපුරන්න ඕන . එයාලා පන්සිල් රකින අය වෙන්න ඕන , කාමයෙහි වරදවා නොහැසිරෙන්නන් වෙන්න ඕන , බුදුන් සහ දෙවියන් කෙරෙහි මනා විශ්වාසයක් හිතේ දරාගත් අය වෙන්න ඕන , කොරගහන , අඳ , ගොළු , බිහිරි අය නොවෙන්න ඕන .

මෙන්න මේවා සපුරලානම් කිරිඅම්මා දානවලට සහභාගී වෙන්න පුළුවන් . මම තවත් දෙයක් අහලා තියෙනවා මෙන්න මෙහෙම . කිරිදාන වලට දැන් නම් අවුරුදු 30 40 වගේ අයත් යනවා . ඒත් කිරි දානය දෙවියන් කෙරෙහි කෙරෙන දෙයක් නිසා ඒකට කිලි කියන සංකල්පය බලපානවා . ඉතින් මාසික ක්‍රියාවලිය නතර වෙච්ච කාන්තාවන් තමයි කිරිදානවලට සහභාගී වෙන්න ඕන කියලා . එකේ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මම තර්ක කරන්නේ නෑ . ඒත් එහෙම කතාවක් මම අහලා තියෙන නිසා මෙතන සටහන් කරා . දේවාලවල ආලත්ති තේවාව කරන්නත් දායක වෙන්නෙත් වයසක අය . ඒ නිසා මේ වයස් කාණ්ඩය පහු කරපු අයව ගන්න එකේ මොකක් හෝ සත්‍යතාවයක් තියෙන්න පුළුවන් . 

කිරිදාන වලට දෙන ආහාර ද්‍රව්‍ය ඉතාම පිරිසිදු විදියට තමයි හදන්නේ . දෙවියන්ට තියන සාමාන්‍ය පලතුරු වට්ටිය උනත් හරි විදියට ගන්නවානම් කඩේ තියෙන පලතුරු අරන් තියලා හරියන්නේ නෑ . ගස්වලින් එවෙලේ කඩලා ගත්ත පලතුරු ද්‍රව්‍ය වෙන්න ඕන . ඒ පලතුරු උනත් පෙරහන්කඩකින් දෙපාරක් පෙරාපු වතුරෙන් කහ දෙහි මිශ්‍ර වතුරෙන් හෝදලා ඕන තියන්න .

කිරිදාන වලටත් සමහර අය පලතුරු තියනවා . ඒ පලතුරුත් මේ විදියට පිරිසිදු කරලා තියනවනම් හොඳයි . දෙවියන්ට අපි පලතුරු පූජාකරාම දෙවියෝ ඒවා පිළිගන්නේ ඒ පලතුරුවල සුවඳ ආඝ්‍රාණය කරලා . මිනිස්සුන්ගේ ඩහදිය කෙල මේ පලතුරුවල තියෙනවනම් දෙවියන් ඒවාට කිට්ටු වෙන්නේ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා . බුදුබනෙත් සමහර තැන්වල තියෙනවා මිනිසුන්ගේ ඩහදිය ගඳට දෙවියන් ඉතාම අප්‍රිය කරන බව .ඉතින් මේවායින් අත්මිදිලා පූජාවක් කරනවානම් හොඳයි .



කිරිදානයක ප්‍රධානම ආහාරවර්ග හතරක් තියෙනවා . ඒ කිරිබත් කැවුම් හාල්කිරි ඇඹුල්කෙසෙල් . මීට අමතරව දැන් පලතුරු බුලත්විට හකුරු එහෙමත් තියනවා . පඬුරු තියන්නත් ඕන . ඒකනම් ඉස්සර ඉඳලම පැවත එන සිරිතක් . පඬුරුවලට කාසි තියන්න ඕන ඉතින් . ඒත් දැන් ලියුම්කවරවල දාලා සල්ලි දෙනවා . සල්ලි කොළ දුන්නට කමක් නෑ . හැබැයි කාසි අනිවාර්යෙන් තියන්න ඕන . ඒක සම්ප්‍රදායක් . කිරිදාන වලදී කිරිඅම්මලගේ අතටම පඬුරු දෙන්නේ නෑ .ඒක දානයත් එක්ක ඒ අසලින් තියන්න ඕන . කිරිඅම්මලා අතට කෙලින්ම සල්ලි දෙන එකෙන් යම්කිසි වැරද්දක් වෙනවා කියලා කියනවා .

සාමාන්යෙන් කාසියක් කියන දේ ඉක්මනට විනාශ වෙන්නේ නෑ . ඒවගේම තමයි මේ පඬුරු කාසි තැබීමෙන් සංකේතවත් කරන්නේ කිරිඅම්මා දානයේ අනුහස ඉතාම දීර්ඝ කාලයක් පවතිනවා කියන එක . නැත්නම් මේ පඬුරු තියන්නේ කිරිඅම්මලට දානේ කෑවට පඩි දෙන්න හිතාගෙන නෙවෙයි .

කියන්න ඕන අනිත් විශේෂ කාරණය තමයි කිරිඅම්මා දානයේ දෙන ආහාරවල රස බලන්න කියලා උයන කෙනාවත් ඒවායේ ලුණු රහ පැණි රහ බලන්නේ නෑ . කොටින්ම කියනවනම් දානෙට ගන්න කෙසෙල් කැන සත්තුන්ටවත් කන්න නොදී තමයි ගන්නේ . කුරුල්ලෝ කොටලා ඉඳුල් වෙන්න කලින් කෙසෙල් කැන කපල අරගෙන දුම් ගස්සලා තමයි ඉදවන්නේ .

කිරිබත් කැවුම් හාල්කිරි හදනකොට ඒවායේ රහ බලන්නේ නෑ . ඉතින් එහෙම දානවලට උයන්න පරණ මිනිස්සුන්ට හොඳ අත්දැකීම් තිබුනා . ඒ නිසා එයාලා මේ කිරිදානවලට උයන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණ මැනලා දාලා . බතට ලුණු පවා දාන්නේ අවශ්‍ය මිම්ම කලින් දැනගෙන . නැතුව රහ බල බල තවත් දාන්නේ නෑ .

මේකට හේතුව තමයි , කිරිඅම්මලා සංකේතවත් කරන්නේ දෙවියන්ව . ඉතින් දෙවියන් සංකේතවත් කරන අයට ඉඳුල් වෙච්ච කෑම කන්නේ දෙන්න හොඳ නෑ . එහෙම උනොත් ඒක දේව උදහසට ලක්වෙනවා කියලා පිලිගැනීමක් තියෙනවා .

කිරිඅම්මා දානයකදී සාමාන්‍යයෙන් හාල් කිලෝ 7ක කිරිබත් , හාල් කිලෝ දෙකක හාල්කිරි , හාල් කිලෝ දෙකක කැවුම් සහ කෙසෙල් ගෙඩි 49ක් යොදාගත යුතු වෙනවා . ඒත් අදවෙනකොට මේවා ප්‍රමාණ වලින් ටික ටික වෙනස් වෙලා තියෙනවා . මොකද ඉතින් ගෙදර අයටත් දානේ ඉවරවෙලා කන්නත් එක්කම හදනවනේ . එතකොට ඉතින් මේ ප්‍රමාණ වෙනස් වෙනවා . අතීතයේදීනම් කිරිදාන දෙනකොට කිරිඅම්මලට දෙන ආහාර වෙනමම හදලා ගෙදර අයට කන්න වෙනමම කෑම ජාති හදනවා . ගමේ ගෙවල් වලටත් මේ කෑම වර්ග දානෙන් පස්සේ බෙදලා දෙනවා . අද කාලේ නම් ඒ සිරිත දකින්න ලැබෙන්නේ නෑ . ඒත් ඉස්සර කාලේ නම් එහෙම ගෙවල් වලට බෙදලා තියෙනවා .


කිරිදානයක් දෙනකොට එක කිරිඅම්මා කෙනෙක්ට කිරිබත් කෑලි හතක් කැවුම් හතක් හාල්කිරි කෑලි හතක් කෙසෙල් ගෙඩි හතක් පිළිගන්වනවා . හකුරු පිළිගන්වනවානම් හකුරු කෑලි හතක් පිළිගන්වනවා . මේ ඔක්කොම කිරිඅම්මලා වළඳන්නේ නෑ . ටිකක් වළඳලා ඉතුරු ටික සුදු රෙද්දක ඔතාගෙන අරගෙන යනවා .

කිරිදානේ පිළිගන්වන්නේ කෙසෙල් කොළ වලට . ඉස්සෙල්ලම කෙසෙල් කොළ එලනවා කිරිඅම්මලා ඉදිරියේ . ඊට පස්සේ මුලින්ම කිරිබත් පිළිගන්වනවා . ඊටපස්සේ පිලිවෙලින් කැවුම් හාල්කිරි කෙසෙල් පිළිගන්වනවා . වෙනත් දේවල් පිළිගන්වනවානම් පිළිගන්වන්නේ මේ කෑම වර්ග හතර පිලිගැන්වුවාට පස්සේ .

කිරිඅම්මලා නිවසට වැඩලා ආසනවල හිඳගත්තම , මුලින්ම වැඩිමල් කිරිඅම්මා විසින් නිවසේ මිදුලේ සාදලා තියෙන පහන් පැලේ පහන් දල්වලා නිවස පුරාම කහදියර ඉසිනවා . ඊට පස්සේ පන්සිල් අරගෙන මෙන්න මේ පහල තියෙන පත්තිනි හෑල්ල ගායනා කරනවා .





අපරිමිත දයානුකම්පා පූර්වකව මෙනරලොව සත්ත්වයින්ගේ ඉශ්ටාර්ථාති වර්ධනය කරමින් වැඩ වාසස්ථානය කරන්නාවූ සිද්ධ මධුරමාල පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේට කියා සැලකර සිටින කන්නලවුව දිව කනින් අසා දිව ඇසින් බලා වදාරා ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේගෙන් භක්ති ප්‍රණාමයන් ඇයද සිටින්නාවූ සකලාභීමතාර්ථයන් ඉෂ්ට සිද්ද කරදී වදාරන සේක්වා , 
සිද්ද පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ මෙලොව සත් වාරයක් පහල වූ හෙයින් සත් පත්තිනි නාමයෙන්ද දොළොස් වාරයක් පහල වූ හෙයින් දොළොස් පත්තිනි යන නාමයකින්ද ප්‍රසිද්ධව වැඩ වාසස්ථානය කරන්නාවූ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින්නාවූ මොවුන්ගේ සකල උවමනාවන් සාධනය කරදී වදාරන සේක්වා .
තවද විපුල ගුණ දසත හැර සකල දන මවිත කර දෙමට මලෙන් නයි කඳුලෙන් ගිනිකඳෙන් විදුලියෙන් සිනහ රැල්ලෙන් මවිතඅඹෙන් සළුපොටෙන් නුගපත්‍රයෙන් කදුරුපොත්තෙන් මේ ආදී දොළොස් ආකාරයකින් උපත ලබා සෘද්ධිමත් දිවය ඥාන වික්‍රමයෙන් සුර ලොවට වරම් ලබාගෙන සුර ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන නා ලොවින් මේ ලොවට වරම් ලබා නාගමානවිකාවන් තිස් දහසක් පිරිවරාගෙන නාග මාණික්‍යයක් දරාගෙන පුන් කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන නවගමුවේ පිහිටි හිමි දේව මාලිගාවට අධිපතිව ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ දිව්‍ය තේජානුභාවය බලම්හයි සිතා සක්‍රයෝ සුරලොවින් සතර පැත්ත කපා අට බොරදම් නගා දෙකොන කපා එවූ මල කොස් උළුවහු කණුවේ දළු ඇද තුන්දුමා බුරුතු පලගන්නට වරම් දුන්නා සත්‍යවාදී සැබෑවීනම් ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේට සැලකර සිටින කන්නලව්ව දිව සවනට ගෙන මොවුන්ගේ අභිමතාර්ථ සාධනය කෙරදෙන සේක්වා . 
තවද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ පරංගි සමයක්කාරයාගේ යුද්ධය තුන්මසකට කල්තියා රුවන් සළඹ සත්නමක් මැදගොඩ අල්ලට අලි කිඹුල් වාහනේ පිට වැඩම කරවා මැදගොඩ ඇල්ලෙන් කෙලි පුද ගන්නට වරම් දුන් සත්‍යානුභාවයෙන්ද ඔබ දිව්‍යාංගනාවුන් වහන්සේ අන්දුනගිරි පර්වතේ පිට තපස් රකිනු දුටු සක්‍ර දේවේන්ද්‍රයන් පත්තිනිගේ තදබල බලමියි සිතා මහලු වෙස් රැගෙන ඔබ වතට පැමිණ නගන්ඩියෙනි මට දානයක් දෙවයි සලකල තැනේදී කුමන දානයක්දයි අසා වදාරා අඳුන්ගිර පව් පාගා මඩකර දියෙන් ගිනිගෙන බොජුන් දෙවයි කී තැනේදී සිනා පහල කර සත්‍යක්‍රියාවෙන් සිත එකඟ කර අඳුන්ගිර පයින් මඩකර සුවඳහල් ඉස පස්සවා දියෙන් ගිනි ගෙන සත් පැයක් ඇතුලත ඒ දන් පිසදුන් තෙදබලයෙන් ඔබ දිව්‍යාන්ගනාවුන් වහන්සේට සැලකර සිටින මොවුන්ගේ සියලු අධිෂ්ටානයන් ඉෂ්ටකරදී වදාරන සේක්වා .
තවද පුරාන සකල නාගරජුන් මවුපියවූ සිද්ද පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ පෙර දිවැස් දුටු බලෙන් හිමිතුමන් මැරූ රොසින් සුරවර්න පඬි රජුන් නෙත මකා ප්‍රතාප සුගන්ධයෙන් දිලි රුවන් තෙදින් පෙර මෙකපට මෙම ශ්‍රී ලංකාද්වීපයට මන්තොන්ඩු පුරට කෝලියපුර නුවරට නවගමුවේ හිමි දේව මාලිගාවට යහතින්ම දිවැස් කරුණා කර වැඩවදාරනාවූ සිද්ද පත්තිනි මධුරමාල දිව්‍යාංගනාවුන්වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින කන්නලව්ව දිව නෙතින් බලා දිව කනින් අසා මොවුන්ගේ සකල අභිමතාර්ථයන් අද මෙවෙලේ පටන් සාධනය කරදී වදාරන සේක්වා 
තවද තොටියාගේ වරිගයට හැටහතර වඳුරු වසංගත රෝගවල් මැවෙන්ඩ වරම්දී දෙවනුව ගුනවෙන්ඩ වරම් දුන්නා සත්‍යවාදී සැබෑවීනම් මෙවෙනි ආතුරයින්ට ශුභ ශාන්තියක්ම කර වදාරන සේක්වා . 
තවද ඔබ වහන්සේ මේ ශ්‍රී ලංකාද්වීපයට කුවේණි නම් යක්ෂනී විසින් විජය රජ්ජුරුවන්ගේ සේනාවට හැට හතරක් වඳුරු වසංගත රෝගවල් මවාපාපු තැනේදී ඔබ වහ්නාන්සේ උතුරු සළුවෙන් පවන් සලා ගුනවෙන්ඩ
වරම් දුන්නා සැබෑ වීනම් මතු බුදුවන දිව්‍යාන්ගනාවුන් වහන්ස අදපටන් මෙම ආතුරයින්ට උඩින් පායන අව්වත් වටින් හමනා සුළඟත් හැර අමුතු උවන්දිරමක් වැද්ද සිද්ද නොදී ආරක්ෂා කරදී වදාරන සේක්වා .
තවද මෙවෙනි මේ ආතුරයින් ඔබ වහන්සේ නමින් කිරි අම්මාවරු හත් දෙනෙකුට භාර හාර යාඥා කන්නලවුකරගෙන සිට අද මෙතනදී ඇප කැප භාර හාර ඔප්පු කර කිරි අම්මාවරු හත් දෙනාට දානය දුන් පුණ්‍යානු මෝදනය මතු බුදුවෙන ඔබ වහන්සේ පිළිගෙන වදාරන සේක්වා 
තවද මොවුන්ට වැලදී එන්නාවූ දෙවි දොස ග්‍රහ දොස ඇස්වහ කටවහ හිත්වාහ දොසයන්ද වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකරයන්ද ගසා දුරුවන් කරදී වැඩ වදාරන සේක්වා ඔබ කීරිති පස්වාන් දහසක් ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා 

මෙන්න මේකයි කිරි දානයකදී කියන පත්තිනි හෑල්ල . කිරිඅම්මවරුන්ගේ කණ්ඩායමේ නායිකාව විසින් තමයි මේක කියලා ආතුරයින්ට සෙත් දෙවන්නේ .

ඊට පස්සේ කිරිඅම්මලා දානය වළදනවා . පිළිගන්වපු දානය ඔක්කොම වළඳන්නේ නෑ . පුළුවන් ස්වල්ප ප්‍රමාණයක් වළඳලා ඉතිරි ටික සුදු රෙද්දකින් ඔතාගන්නවා . ඊට පස්සේ කිරිඅම්මලා , දල්වනලද මැටි පහනක් අතින් අරගෙන කවි ගායනා කරමින් නිවසේ සියල්ලන්ට සෙත් කරනවා .




සමහර පළාත්වල කිරිඅම්මලා සළඹක් අරගෙන එනවා දානයට වඩිනකොට . ඉතින් වැඩිමහල් කිරිඅම්මා විසින් මේ සළඹ සලමින් කවි ගායනය සිදු කරනවා .

කිරි දානයකදී කිරිඅම්මාවරු ගායනා කරන කවි පංති විශාල ගණනක් තියෙනවා . ඒ අතරින් මම කීපයක් මෙතන සටහන් කරන්නම් . සමහර කවී නම් මුඛ පරම්පරාගතව පැවතගෙන එන ඒවා කියලා මට ආච්චි අම්මා කිව්වා . ඒවායෙත් සමහර ඒවා ආච්චිඅම්මටත් මතක නෑ කියලත් කිව්වා . මෙතන මම සටහන් කරන්නේ සම්පූර්නෙන්ම තියෙන කවි පංති කීපයක් විතරයි .

නවග්‍රහ ශාන්තිය
===========

දිනිඳු තෙද රැසින් සක්වල වට පවතා
එරජුන් එරන් සිරිවැස ගෙන අසු නගිතා
පැලඳ රුවන් ගොස් ඉඹුලේ වැස ඉඳිතා
කලිඟු රට උපන් ඉරු දෙවි සෙත සදතා

වාදයටත් වල්විදුනාවයි ගන්නේ
බෝජනයත් වෙඩුරෙන් දොළ ලබ මින්නේ
බෝජ ගනේ සිකුරා ඉපදිල ඉන්නේ
පෑද තොසින් අග්නිය සෙත සලසන්නේ

යුද්ධ කරන අකුසකි අත දරන්නේ
ලද්ද එරන් බත් මයුරට නගින්නේ
මැද්ද දේශයේ කුජ දෙවි උපන්නේ
සිද්ධ යාම කොන බැස සෙත සදන්නේ

රාහු උසැති සයුරේ බැස යමින්නේ
රාහු එතල කිරිබත් දොළ ලබන්නේ
රාහු මෙලංකා දේශයෙ උපන්නේ
රාහු නිරිත කොන බැස සෙත සදන්නේ

යුධට සතන් රන් නඳ වට දරන්නේ
පන රැකුමට නිල්වන් දොළ ලබන්නේ
කොතැනක යතත් කපුටෙකු පිට නගින්නේ
සෙනසුරු දෙවිත් වරුනෙන් සෙත සදන්නේ

රන් බඳ වෙළුව ගෙන ජිවුලෙහි වැසෙන්නේ
දුන් පුද බොජුන් පඬුවන් පැහැ ලබන්නේ
සන්තොස වෙමින් ඇතෙකුගෙ පිට නගින්නේ
ඉන් සඳු වයඹ දිග බැස සෙත සදන්නේ

සවුම දිසාවේ මහිසෙකු නගින්නේ
සවුම වදන රන්වන් දොළ ලබන්නේ
සවුම සුරත සන්කායුධ දරන්නේ
සවුම දිගට බුධ දෙවි සෙත සදන්නේ

තොසා එරන් කලයයි අත දරන්නේ
කසා මුසුව රන්වන් දොළ ලබන්නේ
යසා බ්‍රහස්පති සලිදෙහි උපන්නේ
ඉසානයෙන් ගුරු දෙවි සෙත සදන්නේ

කාල රැසය රාහුට හිස දෙමින්නේ
ලීල දෙඅත පොත ලකවැල දරන්නේ
මාලවි දේසේ බඹ දෙවි උපන්නේ
කාල අසිරි සෙත කර ආවඩන්නේ




ගෘහයට සෙත් කිරීම
==============

පරසිඳු පත්තිනි හට කල පිනිපා
කරමින් දිනදින පිරිපත දුරපා
හැර ගල් මුල් වැහි හිරු රැස් දුරපා
අරමුණු කල බිම නමදින් තෙදපා

දිගින් පළල මැන මෙතෙකැයි පැහැදුල
බොජුන් පුදාගෙන පති හට මනදොල
නිදන් කරපු රන් රිදියෙන් කප මුල
තොසින් පතිනි ආසිරි දෙන් හැම කල

දෙපා පෙළක් මැන සිඳුවා නිසි කොට
කපා සයක් කණු සිටුවා තර කොට
ගෙපා උඩින් යට ලීතුන සවි කොට
විපාක හැර සෙත දෙන් දෙවි මේ ගෙට

බිත්ති හතර මැටියෙන් ගෙන තර කොට
නෙත්ති කවුළු දොර උළුවහු මේ ගෙට
සත්ති ලෙසට පෑ මැටියෙන් මතු පිට
වෙත්ති ඉසුරු දෙන් දෙවියෝ මේ ගෙට

කයියෝරුද අට පෙති පෙළ පා පෙල
වයිවාරණයෙන් ගේ සිතුවම් කල
ගෙයි දුඹුටුද අටු මේ ලෙද තර කල
දෙයි ආසිරි මේ කප හිමිතෙක් බල

අටියෙන් ලොබ කර පිසිනට බෝජන
මැටියෙන් හැට හතරක් කල භාජන
තැටියෙන් බුදිනට ගත් වෙන භාජන
තුටියෙන් පත්තිනි රැකු සාධාරණ

වට්ට වනා සරිලන දල යහනට
කොට්ට කොට්ටඋර මෙට්ටද සරි කොට
වට්ටි කුල්ල වන මොලද සරිකොට
ඉස්ට වැඩක් දෙන් දෙවියෝ මේ ගෙට

ඇඳ පුටු මොක්කාලිද මුතු මෝරුද
සොඳ රිසි රැල් ඇති පිලි සොඳ මෙට්ටද
කැඩපත් දත් කටු සහ හැඩ කතුරුද
වැඩවා ආසිරි ඔබ පත්තිනි තෙද

කගත් කොන්ත නැති දුනුද කරිච්චිද
මහත් රුපුන් හට කරන අරිච්චිද
ගතත් පැලඳ සුදු හැට්ටද තොප්පිද
වඩත් දිගා අදරින් පත්තිනි සඳ

නන් බඩු පුරවන රන්පට පෙට්ටිද
රන්ද රිදී සුරතේ අත් පෙට්ටිද
පන්හිඳ උල් කටු සහ පොත් කට්ටුද
මින් රකු පත්තිනි නොකර ගැහැට්ටුද




දොස් පවාරණය සහ පිං දීම
==================

කිරි අම්මාවරු යන්න හදනවා
පිරිසිදු දානේ ගන්න හදනවා
පිරිවර දෙවි පිං ගන්න හදනවා
සිරි පත්තිනි සෙත දෙන්න හදනවා

වම් කර ඔසරියෙ පොටක් දමාගෙන
රන් සළුවෙන් මිනි සළඹ වසාගෙන
දුන් දළුමුර පුද පඬුරු ලබාගෙන
දෙන සෙත ආතුර සැවොම බලාගෙන

නඩුහබ වියවුල් හෙම ඇති වූවද
ලෙඩ දුක් කරදර වල මැදි වූවද
රැකි රක්ෂාවල් දුෂ්කර වූවද
එම පත්තිනි දොස් දුරුවේවා අද

අඹරන ගල යට හතු පිපුනාවද
කබරගොයින් ගේ ඇතුලට ආවද
නපුරු ජාමේ කපුටන් හඬ ලූවද
මෙකිරිමවුන් සෙත ගෙන දේවා අද

ගෙයි උඩු වහලේ බැන්දෙද මීවද
නයි පොළොඟුන් ගෙයි සැමතැන දීවද
හයියෙන් ගෙයි ඉඳ දෙස් බස් කීවද
දෙයියනි ඒ දොස දුරුවේවා අද

කුජ කිවි දින ගෙයි ගොම මැටි ලූවද
බකමුහුනන් ගෙට විත් හඬ ලූවද
ඉන් ආ වස් දොස් දුරුවේවා අද
කිරි අම්මා සෙත ගෙනදේවා අද

බුද්ධ ධම්ම සඟ ගැන අන ලන්නට
වැද්ද නොදී පවු පොන් පල ලන්නට
සුද්ද මෙ කිරිදන වරද නොගන්නට
සිද්ද පතිනි දෙවි පිං ලැබගන්නට

සුන් බස් කිසිවක් ලං නොම වන්ටයි
වන් දොස් සියලුම පහ කර දෙන්ටයි
තුන් දොස් රෝ බිය මග හර දෙන්ටයි
තුන් තිස් කොටිය දෙවි පිං ගන්ටයි


මෙන්න මේවගේ කවි ගොඩක් ගායනා කරනවා . ඊට පස්සේ කිරිඅම්මලා තමන් විසින් සුදු රෙද්දක ඔතාගත්ත දානය පංගුවත් අරගෙන නිවසෙන් පිට වෙනවා . එහෙම පිට වෙනකොට කිරිඅම්මලා විසින් නිවසේ ඉදිරි දොර අසල දල්වලා තියෙන තරමක් ලොකු පිත්තල පහනෙන් තෙල් බිඳක් අරගෙන නිවසේ අයගේ හිසේ ගලවනවා .

සමහර පළාත්වල කරන්නේ තිර හතක් දල්වලා තියෙන පහනෙන් එක තිරයක් අරගෙන කිරිදානය දෙන්න හේතු උන කෙනාගේ හිස වටේ තුන් වරක් දැල්වෙන පහන් තිරය කරකවලා එතන තියෙන කිරි පීරිසියට තිරය දාලා දැල්ල නිවලා නිවසින් පිටවෙන එක .

කිරිඅම්මලා නිවසින් පිට උනාට පස්සේ ආපසු බලන්නේ නැතිව හැකිතාක් දුර ගමන් කරනවා . ඒ එහෙම පිටිපස්ස හැරිලා බැලුවොත් කිරිදානයේ අනුහස් නැතිවෙනවා කියලා මතයක් තියෙන නිසා .

ඔන්න ඔහොමයි කිරිදානය දෙන්නේ . මේ සිරිත් විරිත් එක එක පළාත් වලින් පළාත් වලට වෙනස් වෙනවා . මම සටහන් කලේ මම අහපු දැකපු දේවල් විතරයි . මීට වඩා ගොඩක් වෙනස් සිරිත් විරිත් වෙනත් ප්‍රදේශවල දකින්නට පුළුවන් .


හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment