ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 6 ) ( Emerald - එමරල්ඩ් - මරකත )






ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය කියන අපේ ලිපි මාලාවේ මීළඟ ලිපිය විදියට මම සටහන් කරන්නේ බුධ ග්‍රහයා වෙනුවෙන් පළඳින emerald එමරල්ඩ් එහෙමත් නැත්නම් මරකත කියන මැණික් වර්ගය සම්බන්ධව . සාමන්‍යයෙන් කියවෙන විදියට දැන් ලංකාවේ emerald ගල් වර්ගය හමුවෙනවා ඉතාම අඩුයි . ඒ නිසා ලංකාවේ emerald ගලක් නම් ලොකු මිලක් වෙනවා . ඒත් වෙනත් රටවල්වල emerald සුලබව හමුවෙන නිසා විදෙස් රටවල් වලින් ලංකාවට අරගෙන එන emerald ගල් ලාභදායී මිලකට ලබාගන්න තවමත් පුළුවන්කම තියෙනවා .

බුධ ග්‍රහයාගේ විවිධ අපල වලට තමයි emerald භාවිතා කරන්නේ . බුධ ග්‍රහයාගේ සාමාන්‍ය ස්වභාවය පිළිබඳව අපි තරමක් දුරට සාකච්ඡා කරන එක වැදගත් කියලා මම හිතනවා . බුධ ග්‍රහයා වෙනත් ග්‍රහයින් වගේ නෙවෙයි . එයා තමන් ළඟ ඉන්න හෝ තමන්ට දෘෂ්ටි වැටෙන ග්‍රහයාගේ තත්වයන් අනුව විවිධ ආකාරයෙන් වෙනස් වෙනවා . ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී බුධ ග්‍රහයා ගැන ජන්මපත්‍ර හිමියාට මම විස්තර කරන්නේ ගොඩක් වෙලාවට බුධත් හරියට නාමල් රාජපක්ෂ වගේ කියලා .







බුධ ග්‍රහයා තමයි ග්‍රහ මණ්ඩලයේ රජ කුමාරයා විදියට හඳුන්වන්නේ . ඒ නිසා බුධ ග්‍රහයාට රවි ග්‍රහයා සතු බලයෙන් යම් ආකාරයක හැකියාවක් තියෙනවා ඕනවට වඩා සෙල්ලම් දාන්න . හැබැයි බුධ කියන්නේ දරුවෙක් ගේ චරිතය පෙන්නුම් කරන අවස්ථාවක් නිසා බුධ ග්‍රහයා මොන ආකාරයට ප්‍රතිඵල ලබාදෙනවාද කියලා හරිම සියුම් විදියට තමයි පරීක්ෂා කරන්න ඕන . ඒ නිසා මේ පරීක්ෂා කිරීම ජ්‍යෝතිෂ ඇසින් බලලා තමයි බලවත් කිරීම හෝ බුධ ග්‍රහයා දුබල කිරීම හෝ බුධ ග්‍රහයාගේ තත්වය පාලනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ . ඒකට emerald එහෙමත් නැත්නම් මරකත මැණික් තමයි ප්‍රධාන වශයෙන්ම භාවිතා වෙන්නේ .


ජ්‍යෝතිෂ විද්‍යාවේදී මරකත emerald සම්බන්ධව මෙහෙම විග්‍රහ කිරීමක් තියෙනවා .

" යම් මරකත මාණික්‍යයක් ගිරවාගේ පියාපතය හුණපත්‍රය කදලිවෘක්ෂය මහරිය කුසුමය යන මොවුන් අතුරෙන් යම් කිසිවකට සමාන වූ වර්ණ ඇතියේ හෝ සිනිඳු බව කාන්තිමත් බව යනාදී බොහෝ ගුණයෙන් යුක්ත වූයේද එබඳු වූ මාණික්‍යය මනුෂ්‍යයන්ගේ දේවකාර්යයෙහි ද පීතෘ කාර්යයෙහිද අත්‍යර්ථයෙන් ම ශුභ දෙන්නේ යයි කියන ලදී "




ආයුර්වේදයේ රස වෙදකම පිලිබඳ ලියවිලා තියෙන " රස රත්න සමුච්ච්චය " කියන ග්‍රන්ථයේ මරකත මැණික් සම්බන්ධව මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ .

" කහපාර බව , බර බව , සිනිඳු බව , කිරණ සමන්විතතාව , සෙවෙනි බව , දීප්ති බව , ස්ථුලතාව යන ගුණ සතින් යුක්තවන තාර්ක්ෂ්‍ය ( මරකත පච්ච ) මැණික් ප්‍රශස්තය . කපිල නීල පාණ්ඩු කළු යන වර්ණවත් වූ හා කර්කශ වූද , සැහැල්ලු හා පැතලි වූද , විකට හා රළු වූද මරකත අප්‍රශස්ථය , මරකත මැණික් උන වමනය විෂදෝෂ සන්නිපාත අග්නිමාන්ද්‍යා අර්ශස් පාණ්ඩු ශෝත යන රෝග නසන අතර ඕජස වැඩීමද සිදු කෙරේ ."


මරකත මැණික් කෘත්‍රීමව නිපදවීම සම්බන්ධව ප්‍රංශ ජාතික විද්‍යාඥයෙක් කරන ලද පර්යේෂණයක සාර්ථක ප්‍රතිපල අනුව අදවෙනකොට කෘත්‍රීම emerald නිපදවීම සිදුවෙනවා . ඒ නිසා මතක තියාගන්න ඕන emerald මිලදී ගන්නවානම් කෘත්‍රීමද නැත්ද කියලා පරීක්ෂා කරලා බලන්න . ඒවගේම තමයි අද වෙනකොට ලැබෙන emerald ගල්වල ඇතුලේ පළුදු වීම සහ තිත් සහිත වීම සාමාන්‍ය දෙයක් . ඒ නිසා ඔයාලට ඇතුලේ පළුදු සහිත emerald ගලක් හම්බෙනවානම් ඒක ස්වාභාවිකම ගලක් වෙන්න තියෙන සම්භාවිතාවය ඉහලයි කියලා මතක තියාගන්න ඕන .

බුධ ග්‍රහයාගේ සතුරු වීම , නීච වීම , මාරක වීම , බාධක වීම වගේ විවිධාකාර අවස්ථා වලට ප්‍රතිකාර විදියට මරකත මැණික් භාවිතා වෙනවා . සමහරු විශ්වාස කරනවා මරකත , එහෙමත් නැත්නම් emerald දැම්මම සුපිරි බලයක් හම්බෙනවා කියලා . එහෙමනම් වෙන්නේ නෑ . මරණයට අත වනනවා වෙන්නත් පුළුවන් තමන්ට සුභ පල දෙන්නේ නැති මැණික් පැළඳීම . ඒ නිසා ආවට ගියාට මැණික් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ කියලා තමයි මමනම් කියන්නේ .





මෑත කාලයේ ඉන්දියාවේ පහලවෙච්ච ජ්‍යෝතිෂ විද්‍යාවේ ප්‍රධානම චරිතය වන ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා එක අවස්ථාවකදී කියලා තියෙනවා " කෙනෙකුට වැරදි මැණික් ගලක් පැළඳවීම වැඩියා රෝගියෙකුට සීනි අධික තේ එකක් දෙනවා වගේ දෙයක් " කියලා . තේ එක බොනකොට තියෙන තෘප්තිමත් වීම වගේ නෙවෙයි තේ එක බිව්වට පස්සේ ඇතිවෙන ජීවිතාවදානම . මැණිකුත් එහෙමම තමයි . පළඳින අවස්ථාවේ තියෙන අලංකාරවත් බව වගේ නෙවෙයි ඒවායින් ඇතිකෙරෙන ශක්ති අසමතුලිත වීම නිසා ඇතිවෙන අවදානම . ඒ නිසා මැණික් පැළඳීම කරනවානම් ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවත් යම් විග්‍රහයක් කරගෙන පළඳිනවා නම් තමයි හොඳ කියලා මතක් කරගෙන මම අද ලිපිය අවසන් කරනවා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment