කොහොඹ ගහේ දෙවියන්ගේ කොහොඹා කංකාරිය


ආයුබෝ වේවා 
කල සෙත මුදුන් වේවා.................
දෝස දුරු වේවා
සක්‍ර මහ බඹු ආයුබෝවා...............






උඩරට නැටුමේ මුදුන් මල්කඩ විදියට පිදුම් ලබන කොහොඹා කංකාරිය ගැන තමයි මේ පොස්ටුවෙන් කොටන්නේ . මේක කියවන අය අතරෙත් එක එක කොයිල් තාවයන් තියෙන අය ඉන්නවනම් කංකාරියක් නටවා ගත්තනම් හොඳයි නේද ?

සුට්ටන් කාලේ වයලීනොට තිබ්බේ වයලීන් ගහන පිස්සුවක් නෙවේ . නටන පිස්සුවක් . වෙස් බදින්නත් ආසාවක් තිබ්බා . කොයි වෙලෙත් කහඹිලියා ගෑවිලා වගේ නටනවා කියලා අම්මාගෙන් බැනුම් අහනවා . ටික ටික ඒක සමනය උනාට නැටුම් ගැන තාම හොයනවා . මේ ඒගැන හොයනකොට හම්බෙච්ච දේවල් ටිකක් හොඳේ ළමයි . දැන් වැඳගෙන අහන් ඉන්න ඕන හරිද ???

" කොහොඹා දෙවියෝ  " කියන දෙවියන් මේ කොහොඹා කංකාරියේදී ප්‍රධාන තැනක් ගන්නවා වගේම පිදුම් ලබනවා . මේ කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව එක එක පරම්පරාවලින් , ගුරුකුල වලින් එක එක විදියට කියවෙනවා .


%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%


ඔන්න රාවණා සීතාව පැහැරගන ගියා කියමුකෝ . එහෙම පැහැරගෙන ගියපු සීතාගේ පතිවත ගැන සැක කරපු විෂ්ණු , සීතාව කැලේට ගෙනිහින් මරන්න කියලා සමන් දෙවියන්ට භාර කරනවා . සමන් දෙවියන්ට මේ වැඩේ කරන්න අමාරුයි . ඒ කිව්වේ සීතාව මරන්න හිත දෙන්නෙම නෑ . ඉතිං සමන් දෙවියෝ සීතාට අභය දානය දෙනවා . එහෙම අභය දානය දීලා වෙන කෙනෙකුගේ ලේ වලින් කඩුව තෙත් කරගෙන ගිහින් විෂ්ණුට කියනවා සීතාව මැරුවා කියලා . සීතා දේවිය ගැබ්ගෙන හිටපු නිසා වනාන්තරේදී දරුවා බිහිකරන්න සිදු වෙනවා . මේ වෙලාවේ සීතා දේවියට උපකාර කරන්නේ ඍෂි වරයෙක් . මේ ඍෂිවරයා තමාගේ ආශ්‍රමයේ කාන්තාවන් ලවා  සීතා දේවියට උපකාර කරවමින් දරුවා හදාවඩා ගන්න උදව් කරනවා .ඔන්න දවසක් සීතා දේවිය යනවා පලතුරු නෙලාගෙන එන්න . දරුවා හිටියේ තොටිල්ලේ . එතකොට දරුවට ටිකක් පෙරලෙන්න හෙලවෙන්න එහෙම පුළුවන් .

ඉතිං මේ දරු පැටියා පොඩ්ඩක් එහෙ මෙහෙ හෙලවෙනකොට තොටිල්ලෙන් බිමට වැටෙනවා . දේව දරුවන් අතින් අල්ලන්න මිනිස්සුන්ට අකැපයි කියල හිතලා ඍෂිවරයා තොටිල්ලට මානෙල් මලක් දැම්මා . ඒ මලෙන් තවත් කුමාරයෙක් ඉපදුනා . දැන් තොටිල්ලේ එක්කෙනයි තොටිල්ල යට එක්කෙනයි .

සීතා දේවිය ආවා . තොටිල්ල යටින් දරුවෙක් හඬනවා ඇහුණාම සීතා දේවිය ඒ දරුවා අතට ගත්තා . මේ වෙලාවේ සීතා දේවිය ඍෂිවරයාගෙන් දරුවන් දෙදෙනෙක් ගැන අහනකොට ඍෂිවරයා තවත් දරුවෙක් මවලා පෙන්නනවා . සීතා දේවිය දරුවන් තුන් දෙනාම ඇතිදැඩි කරගත්තා . මලෙන් උපන් කුමාරයත් එක්ක ඇතිදැඩි උන අනිත් කුමාරවරු දෙන්නත් ඇතුළුව ඒ තුන්දෙනාම මලේ දෙවිවරු තුන්කට්ටුව කියලා හැඳින් වෙනවා . කොහොඹා දෙවියන් කියන්නෙත් මේ මලේ දෙවියන්ට කියලා මතයකුත් තියෙනවා .





එහෙම නැත්නම් කියනවා කොහොඹ ගහට අධිපති නිසා කොහොඹා දෙවියෝ කියනවා කියලා .

දඹදිව බරණැස් නුවර රජතුමාගේ දුව චන්ද්‍රවතී කුමරිය හා කලිඟු රටේ රජතුමාගේ පුතා සුරඹා කුමාරයා අතර රහස් ප්‍රේම සම්භන්ධයක් ඇතිඋනාලු . කාලයක් යනකොට දරුවෙක් හම්බෙන්නත් ආවලු . දෙන්නා මෙහෙම ඉඳලා පැනලා යනවා . ඒ යනකොට කොහොඹ ගහක් යටදී පුත් කුමාරයෙක් බිහි කරනවා . මේ පුත් කුමාරයා තමයි කොහොඹා දෙවියන් කියන්නේ කියලා තවත් මතයක් තියෙනවා .

කොහොම හරි ඔන්න කොහොඹා දෙවියන් කියලා දෙවි කෙනෙක් ඉන්නවා හොඳේ . දැන් අපි කොහොඹා කංකාරිය ගැන බලමු .

700ක් සෙට් එක එක්ක විජය කුමාරයා ලංකාවට සැපත් උනා . ලංකාවට ඉතිං එන ඔක්කොම එන්නේ මුකුත් නොදන්නා බබාලා වගේ පාවෙලානේ . එහෙම ඇවිත් කුවේණිට කියලා උදවු උපකාර අරගෙන ලංකාවේ රජු උනා . කුවේණිව අගමෙහෙසිය කරගත්තත් රජතුමාට එච්චර ඒ ගැන ෆිට් එකක් තිබ්බේ නෑ . මොකද යක්ෂ ගෝත්‍රික කාන්තාවක් නිසා . රජතුමා කුවේණිව පලවා හැරියා . මේ නිසා කුවේණි විජයට සාප කරා . ඒ සාපයෙන්ම විජය මිය ගියා කියල ජනප්‍රවාදයක් තියෙනවා .

විජයට පස්සේ රජ වෙන්නේ පඬුවස්දෙව් රජතුමා . මේ රජතුමාටත් කුවේණිගේ සාපෙ ක්‍රෙඩිට් එක ලැබුනා . මේ රජතුමාට රෑට රෑට හීනෙන් දිවියො පෙන්න ගත්තා . දිවිය හීනෙන් දැකලා බය වෙනවා . ඊට පස්සේ ලෙඩ වෙනවා .





මේ ලෙඩේ දැන් ගොඩක්ම උග්‍ර අතට හැරිලා . පඬුවස්දෙව් රජතුමා ඔන්න මෙන්න වගේ තත්වෙක හිටියේ . දිවියෙක් හීනෙන් දැකලා ඇතිවෙන දෝෂයක් නිසා මේ දෝෂය දිවි දෝෂය කියලා හැඳින්උනා . මේ ප්‍රශ්නය දිව්‍යලෝකේ දක්වා පැතිරුනා . මොකද ලංකාව ආරක්ෂා කරන්න බුදු හාමුදුරුවොත් පිරිනිවන් මංචකයේදී දෙවියන්ට දේශනා කළා කියනවනේ .

මේ දෝෂය ගැන දැනගත්තම ශක්‍ර දේවේන්ද්‍රයා රාහු අසුරයාට කියනවා මානෙල් මලෙන් ඉපදුන මලේ රජතුමාව ලංකාවට එක්ක යන්න කියලා . රාහු අසුරයා ඌරෙක්ගේ වෙස් අරගෙන මලේ රජතුමාගේ නදුන් උයන විනාස කරන්න පටා.......න්ගත්තා . මලේ රජතුමාට මේක දැකලා සුපිරියටම කේන්ති ගියා . ඉතිං මලේ රජතුමා දුන්නට ඊතලයක් දාගෙන ඌරට ගේම දෙන්න ඌරා පසුපස ලුහුබඳින්න පටන් ගත්තා . ඌරා වෙස් අරන් ඉන්න රාහු අසුරයා මලේ රජතුමාව ඒ උපායෙන් ලංකාව පැත්තට එක්කගෙන ඇවිත් මුහුද තරණය කරලා ලංකාවට සැපත් වෙනවා . ලංකාවේදී ඌරට ඊතල පාර වැදුනා . එතකොට ඌරා එතනම ගල් උනා . මලේ රජතුමා තේරුම්ගන්නවා මේ දෙවියන්ගේ ප්ලෑන් එකක් කියලා .

පස්සේ ඒ මලේ රජතුමා තමයි ලංකාවේදී ඉස්සෙල්ලාම කොහොඹා කංකාරිය යාතුකර්මය කරවන්නේ . අනුරාධපුරේ මහමෙවුනා උයනේ හදපු රංග භූමියක මේ යාතුකර්මය සිද්දවෙනවා . යාතු කර්මය කරන්න මධුරාපුරයෙන් තවත් බමුණන් කීප දෙනෙක් එක්ක ඇවිත් තියෙනවා . එහෙනම් ළමයි ඔන්න කොහොඹා කංකාරියේ මුලාරම්භය. දැන් අපි බලමු කංකාරිය කරවන හැටි කොහොමද කියලා .


කංකාරිය කරන්න කලින් හොඳ පොල් ගහක් වෙන්කරගන්නවා . මේ පොල් ගහ වටේ ගොක් කොළ වලින් සරසලා කංකාරිය කරවන්න ඇප වෙන් කිරීමක් කරනවා . කංකාරිය කරවන්න ඕන කරන පොල් , පොල් තෙල් එහෙම ගන්න යොදාගන්නේ මේ පොල් ගහ තමයි . කංකාරියට මාස තුනකට කලින් කප සිටුවීම සිදු කෙරෙනවා . ප්‍රධාන යක්දෙස්සා , ඒ කියන්නේ කංකාරිය කරන ශිල්පීන්ගෙන් ප්‍රධානියා සකස්කරන සුභ නැකතකට කප සිටුවීම කරනවා . මේ කපට ගන්නේ ගෙඩි හැදිච්ච නැති කොස් ගහක් . කංකාරි භූමියේ පැත්තකට වෙන්න බිම අටමගල ඇඳලා සරසලා සුභ නැකතට කප සිටුවීමේ චාරිත්‍රය ඉෂ්ට කරනවා .


දැන් කංකාරිය නටන කංකාරි මඩුව හදන්න ඕන . මේ මඩුවට හැටපාදමඩුව නැත්නම් හැටපා මඩුව කියලා කියනවා . එහෙම කියන්නේ ඒ මඩුවට පාද කණු හැටක් භාවිතා කිරීම . කණු හැටක් හිටවලා මඩුව හදලා ඊට පස්සේ ඒ මඩුව ගොක් කොළ සැරසිලි වලින් ලක්ෂනට හැඩ වැඩ ගන්වනවා . පොල් , නවසි , බෝධිලි , කුන්දිරා , රන් තැඹිලි , ගොන් තැඹිලි , තල් වගේ ගෙඩි වලුත් කොස් ගෙඩිත් මේ මඩුවේ තැනින් තැන එල්ලනවා .

මේ මඩුවේ එක පැත්තකින් කොටස් තුනකින් වෙන් වෙලා තියෙන මල් යහනාවක් හදාගන්න ඕන . මේ මල් යහනට කියන්නේ යක්සාය කියලා . යක්සායත් ගොක් කොළ වලින් සරසා ගන්නවා . ඊටපස්සේ ඒ යක්සාය දෙපැත්තේ කෙසෙල් කැන් එක්කම තියෙන කෙසෙල් ගස් දෙකක් හිටවා ගන්නවා . කංකාරිය කරනකොට දේවාභරණ දේව රූප තැම්පත් කරලා මල් පහන් පූජා කරන්නේ මේ යක්සායේ වෙන් කරලා තියෙන යහන වලදී තමයි හොඳේ .

මේ යක්සායට ඉස්සරහින් මඩුවේ අනිත් කෙලවරේ අයිලයක් හදනවා . එතන කෙහෙල් මුව තියෙන කෙසෙල් ගස් නවයක් හිටවන්න ඕන . තව ගොක් කොළ වලින් සරසන්නත් ඕන .

කොහොඹා කංකාරිය සිද්ද කරනකොට කරන ප්‍රධාන යාතුකර්ම කොටස් ටික ඔන්න මම පහලින් කොටනවා.

කප් සිටුවීම
දේවාභරණ අයිලයට වැඩමවීම
මහයාතිකාව
මගුල් බෙර වැයීම
ආතත හෙවත් යහන් බෙර වැයීම
යක් ඇණවුම
අයිලය යැදීම / දේවාරාධනාව
අස්නේ නැටීම
යක් තුන් පද නැටීම
හත් පද පෙළපාලිය
ගුරුගේ මාලාව
මල් යහන කවි
කතා පහ නැටීම
දාන පහ
දුනු මාලප්පුව
කෝල් නඩුව
ආවැන්දුම
යක්කම පහ නැටීම
මල් හත් පදය නැටීම
හත්තාලය නැටීම
කප ගැලවීම
කඩවර ගොටුව
ගබඩා කොල්ලය
ගෙට ගිනි තැබීම
කොහොඹා හෑල්ල
මුව මල පිදීම
මාරාව නැටීම

කප් සිටුවීම ගැන මම මුලින්ම කිව්වා .

දේවාභරණ අයිලයට වැඩමවීම
මේකෙදී පංච තූර්ය නාද කරමින් දේවාලයක ඉඳලා කංකාරි මඩුවට දේවාභරණ වැඩම කරවනවා . දෙවියන් සංකේතවත් කරන්න තමයි මෙහෙම දේවාභරණ වැඩම කරවන්නේ . ඒ දේවාභරණ මල් යහනේ තැම්පත් කරලා සුවඳ දුම් අල්ලලා පහන් පත්තු කරලා කෝල්මුර කවි ගායනා කරනවා .

මහ යාතිකාව
මල් යහන ගාව හදපු පොඩි මල් යහනක් ළඟ අටමගල ඇඳලා එතන ආතුරයා වාඩිකරවලා පූජාභාණ්ඩ තියලා කවි කිය කිය ආතුරයාට සෙත් ශාන්ති කරනවා . ඊටත් පස්සේ කුකුල් බිල්ලක් සහ පොල් පහනක් අතට අරගෙන නර්තනයේ යෙදෙමින් කවි ගායනා කරමින් ආතුරයාට සෙත් ශාන්ති කරනවා .








මගුල් බෙර වැයීම
කංකාරියට වාදනය කරන්නේ ගැට බෙරය . මේ බෙර හරියට සුෂර කරලා සුවඳ දුම් අල්ලලා තෙරුවන් ගුණ සිහිකරලා තෙරුවන් කෙරෙහි පූජාවක් විදියට මගුල්බෙර පද වාදනය කරනවා . කොහොඹ ලීයෙන් හදපු බෙර පාවිච්චි කරනවා .

ආතත හෙවත් යහන් බෙර වැයීම
මගුල් බෙර වාදනය කරාට පස්සේ එක එක බෙර වාදකන් ඉදිරියට ඇවිල්ලා තමාගේ දක්ෂකම් පෙන්නන්න හොඳ හොඳ පද වාදනය කරනවා . යහන බෙර වාදනය කියන්නේ ඒකට .

යහන් බෙර වාදනය ඉවර උනාම දැන් නර්තන ශිල්පීන් නාලා පිරිසිදුවෙලා වෙස් තට්ටුව පැළඳ ගන්නවා . වෙස් බැන්දට පස්සේ මේ යක්දෙස්සන් උඩුවියනක් යටින් කංකාරි මඩුවට කැඳවාගෙන එනවා . ඒ ආවම මෙයාලා බෙරකාරයන් එක්ක ආචාර කර ගැනීමක් සිද්ද වෙනවා .

යක් ඇණවුම
දෙවියන් සහ භූතයන් සියලුදෙනාට මල් යහන කරා වඩින්න කියලා ආරාධනා කරමින් කවි ගායනා කර කර බෙර වාදන මැද්දේ නර්තන ඉදිරිපත් කිරීම මේ යක් ඇණවුමෙදී සිදුවෙනවා

අයිලය යැදීම
අයිලයට වඩින්න කියලා වැදී යක්කු දොළොස් කට්ටුවට ආරාධනාකිරීම අයිලය යදීමේදී සිදු කෙරෙනවා .





අස්නේ නැටීම
කුවේණි අස්න , සිනබා අස්න වගේ කවි ගායනා කර කර මේ අවස්ථාවේදී නර්තන ඉදිරිපත් කරනවා . ප්‍රධාන යක්දෙස්සා කවි ගායනා කිරීම ආරම්භ කරත්දී අනිත් යක් දෙස්සන් අත්වැල් අල්ලමින් මේ කවි ගායනාකරනවා . එක එක යක් දෙස්සන් තමන්ගේ නර්තන හැකියාව ඉදිරිපත් කරන්න මේ අස්නේ නැටීම උපයෝගී කරගන්නවා .

යක් තුන් පද නැටීම
නැටීම කිව්වට ඉතිං මේකේ නැටීමක් වෙන්නේ නෑ . දක්ෂ බෙර වාදකයින් දෙන්නා බැගින් මාරුවෙන් මාරුවට බෙර වාදන ඉදිරිපත් කිරීම යක් තුන් පද නැටීම කියලා කියනවා .

4830616246_320e45645d.jpg

හත්පද පෙළපාලිය
මේ හත් පද නැටීම ශාශ්ත්‍රීය නැටුමේ ඉහලම අංගයක් කියලා හඳුන්වනවා . ඒ ඒ පදයට වෙන් වෙච්ච බෙර පද හතක් එක්කම මේ හත් පද නැටීම කෙරෙනවා .
මුට්ටි පදය
දුම්මල පදය
මල් පදය
බුලත් පදය
කොතල පදය
සළු පදය
පොල් පදය
තමයි ඒ පද හත

ගුරුගේ මාලාව
මේ ගුරුගේ මාලාව කියන අංගයට බත්මාලාව කියලත් කියනවා . මේක ප්‍රධාන කොටස් දෙකකින් කෙරෙනවා . නාට්‍යමය කොටස් වලින් මුල් කොටසත් කවි ගායනා වලින් තව කොටසකුත් මේ අංගයේ අන්තර්ගත වෙනවා ,

මල් යහන කවි
මල් යහන වලට දෙවියන් වඩින්න කියලා ආරාධනා කරන කවි ගායනා කිරීමක් මේ අංගයේදී සිද්ද කරනවා

කතා පහ නැටීම
විජය රාජ කතාව - විජය කුවේණි කතාව
කුවේණි කතාව - කුවේණි උත්පත්තිය
පඬුවස් කතාව - විජයාවතරණය / දිවි දෝෂය
දඬු මොනර කතාව - කොහොඹා දෙවියන්ගේ උපත
සීතාපතී කතාව - මලය රජ තුන් කට්ටුවේ උපත

මෙන්න මේ කතා පහ කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙමින් ඉදිරිපත් කිරීම කරනවා .

දාන පහ නැටීම
වැදී දානය - වැද්දන් ගැන කතාවක්
ඌරු දානය - මලය රජුගේ ලංකා ගමන
දිවි දානය - දිවි දෝෂය ගැන
පලවැල දානය - මලය රජු උපත
සුරබි දානය - කොහොඹා කංකාරිය උපත පිලිබඳ කතාව

මේවත් කතා . කලින් වගේම කවි ගායනා එක්ක නටමින් මේ කතා ඉදිරිපත් කරනවා .

දුනු මාලප්පුව
දුන්නක් අතින් අරගෙන කරන රංගනයක් මේක . මලය රජතුමා ඌරට විදින්න ආපු සිද්දිය තමයි මේකෙන් කියා පාන්නේ .

කෝල් කඩුව
කෝලායුධය කියලා දෙවියන්ගේ ආයුධයක් තියෙනවා . ඒ වගේ එකක් අතට අරගෙන මේ රංගනය ඉදිරිපත් කරනවා . කෝල් මුර ගායනා කිරීමකුත් මේකෙදී වෙනවා

ආවැත්දුම
වට්ටම් 12 කින් වගේම අඩවූ කස්තිරම් ගණනාවකින්ම වගේ හස්ත මුද්‍රා ගනාවක්ම තියෙන මේ රංගනය තමයි කොහොඹා කංකාරියේ වඩාත්ම දීර්ගම නර්තනය

2515906425_2f9aca2994.jpg

මල් හත් පදය
මේක නටන්නේ වීර මුණ්ඩ දෙවියන් වෙනුවෙන් . යක් දෙස්සන් හතර දෙනෙක් පොල් මල් අතට අරගෙන තමයි මේ නර්තනය සිදු කරන්නේ .

යක්කම් පහ නැටීම
මේක ටිකක් හිනා යන කතා එහෙම තියෙන නැටුම් ඉදිරිපත් කිරීම් පහක් .
වැදී යක්කම
නයා යක්කම
ඌරා යක්කම
දර්ශනී යක්කම
මහ යක්කම




හත්තාලය නැටීම
තුන් සරණේ කවි ගායනා කරමින් මේ රංගනයේ යෙදෙනවා .

කප ගැලවීම
කවි ගායනා කිරීම අතරේ ප්‍රධාන යක්දෙස්සා විසින් කප ගැලවීම සිද්ද කරනවා .


කඩවර පිදීම

kadawara-1.jpg

මේක තමයි මම කැමතිම කොටස . මොකද මේකේ ගායනය කරන කවි තමයි මට හොඳට හිතට ඇල්ලුවේ . වීඩියෝ එකක් හෙව්වා දාන්න . එත් හම්බුනේ නෑ . දුකම තමා .

මේකෙදී කරන්නේ කඩවර දෙවියන්ට බත් කෙසෙල් වට්ටක්කා කරවල බුලත් පුවක් සහිත පූජාවක් පූජා කිරීම . කඩවර ගොටුව ආතුරයාගේ ඔලුවේ තියාගෙන කඩවර කවි , සිරසපාද කවි කියමින් සෙත් ශාන්ති කරනවා

ගබඩා කොල්ලය
ඔය කංකාරි මඩුවට තියෙනවා පොඩි ගබඩාවක් . මේකේ තමයි කංකාරියට ගන්න හාල් පොල් තියෙන්නේ . ප්‍රධාන යක්දෙස්සා වීරමුන්ඩ දෙවියන්ගේ වෙස් අරගෙන ගබඩාව කොල්ල කනවා නාට්‍යමය ආකාරයෙන් පෙන්නනවා .

ගෙට ගිනි තැබීම
ගබඩාවේ තියෙන ඒවා යක්දෙස්සෝ බෙදා ගත්තට පස්සේ ගබඩාවට ගිනි තියනවා .

කොහොඹා හෑල්ල
කොහොඹා දෙවියන්ගේ උත්පත්ති කතාව ගායනයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කරනවා .

මුව මල පිදීම
දැන් කංකාරිය ඉවර වෙන්න ලඟයි  . අයිලයේ පිටිපස්සේ තියෙන අර කෙසෙල් ගහක කෙසෙල් මුවයට ඊතලයකින් විදලා , මුවය කඩාගෙන ඊතලයෙන් කෙසෙල් මුව පතුරු ගහලා අයිලයට උඩින් වීසි කරලා කංකාරිය ඉවර කරන නැටුම ඉදිරිපත් කරනවා .

මාරා පද නැටීම
ප්‍රධාන යක්දෙස්සා මාරා පදය සහ ආලත්ති පදය කියන පද දෙකට අනුව හස්ත මුද්‍රාවෙන් කරන රංගනයක් මේක . ඒක නටලා ඉවරවෙලා කංකාරිය ඉවරයි කියලා තුන් පාරක් කියලා ප්‍රධාන බෙර කාරයා කරන ශාස්ත්‍රීය බෙර වාදනයෙන් කංකාරිය ඉවර වෙනවා .

කොහොඹා කංකාරියේදී අලුත් කොහොඹා , මහා කොහොඹා , පරණ කොහොඹා කියලා කොහොඹා දෙවිවරු තුන් කට්ටුවක් , බණ්ඩාර දෙවිවරු හත් කට්ටුවක් , වැදී යක්කු දොළොස් කට්ටුවක් , කඩවර යක්කු දෙතිස් කට්ටුව පිදුම් ලබනවා කියලා කියනවා .

ඔන්න ඔහොමයි කොහොඹා කංකාරිය නටන්නේ . කංකාරි නටන නර්තන ශිල්පීන් පෙරහැරවල් වලදී කරනම් ගහන්නේ නෑ කියලා දවසක් ටීවී එකේ කිව්වා . එහෙම කරනම් ගහනකොට වෙස් තට්ටුව බිම ගෑ උනොත් ඒක දෙවියන්ට කරන අගෞරවයක් විදියට ඒ ශිල්පීන් සලකනවා .

වෙස් තට්ටුව කියන්නේ කොහොඹා දෙවියන්ගේ හා මලය රජතුමාගේ ඇඳුම් කට්ටලය කියලා කියනවනේ. ගරු කරන්නේ ඒ කාරනාව මුල් කරගෙන වෙන්න ඕන .කංකාරි නටන අවුරුදු 80,90 විතර වයසක ගුරුන්නාන්සේලා තාමත් නුවර පළාතේ පිටිසර ගම් වල ඉන්නවා . හම්බුනොත් කතා කලරලා බලන්න . හරිම අහිංසක මිනිස්සු . බඩ කට පිරෙන්න බත් වේල හොයා ගන්න අමාරු උනත් මේ මිනිස්සු මෙච්චර කාලයක් මේවා ආරක්ෂා කරගෙන ආපු එකට අපි ඒ අයට පිං දෙන්න ඕන .




තව පෝස්ට් එකකින් තව අටමගලක් අරන් එන්නම්...!

හැමෝටම කොහොඹා දෙවියන්ගේම පිහිටයි !


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය