මලයාල නාග වෛරෝඩිය ( 6 )







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය
19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

මම මන්ත්‍ර මැතිරීම නවතා බිම බලා දිගු සුසුමක් හෙළුවේය .

" චූටි පුතේ , අමාරුයිද දැන් ? "

" හම්මේ සීයේ යන්තම් ඉවරයි "

සීයාද අනුර අයියාද වහා මාවෙත දිව ආවෝය . සීයා තෙල් බෝතලයට වැඳ එය අතටගෙන

" ඔය ජීවම් වෙලා තියෙන්නේ යස අපූරුවට " යැයි කීවේය .

මෙය මාගේ ජීවිතයේ මා පසුකල තවත් එක් සංධිස්ථානයකි .


අද එතැන් සිට


පිදේනි තටු සියල්ල කරත්තයේ නංවාගත් සීයා වහා ක්‍රියාත්මක වී ඒ සියල්ල පන්සල් වත්තෙන් පිටමං කර හතරමං හංදියක තැබීමට වගබලා ගත්තේය . මේ සියල්ල සඳහා සීයාට සහය දැක්වූයේ අනුර අයියාය . මා කරන ලද්දේ කළුවර අඳුන තෙල් බෝතලය අතේ තබාගෙන පැත්තකටවී ඉඳගෙන බලා සිටීමයි . උදෑසන හය පමණ වනවිට සියල්ල පිරිසිදු කර අවසන් වී වලව්වට යෑම සඳහා පන්සලෙන් පිටත් වීමට අපට හැකියාව ලැබිණි .

කළුවර අඳුන ජීවම් කර අවසාන යැයි සිතුවද එම සිහිනය බිඳ වැටුණේ සීයා විසින් නැවතත් එය පේ කිරීමට අවශ්‍ය යැයි පවසූ විටය . සැබවින්ම ඒ පිළිබඳව පුස්කොල පොතේ පැහැදිළිව සටහන් කර තිබිණි . මන්තර කීපය හැරෙන්න පුස්කොල පොත විමසිල්ලෙන් කියවීමට මා දැක්වූ මැලිකම හේතුවෙන් මෙම කාරණා පැහැදිළිව මා සිහි තබා ගෙන නැත . එය වරදකි . සීයා ඒ පිලිබඳ දන්නේ නම් මා පිලිබඳ ඇතිවන්නේ අඳුරු හැගීමකි . කළු පැහැති බළල් පැටවා පිලිබඳ සිහියට ආවේ එවිටය . කළු පැහැති බළල් පැටවා තවමත් කළුවර අඳුන සඳහා සහභාගී කරවා ගත්තේ නැත .

" චූටි පුතේ . දැනට ඔය කළුවර අඳුන බුදුන් වඳින තැන තියන්න . ඕක තව දවස් තුනක් මන්තර මතුරලා පේ කරන්න ඕන . ඒකට දිෂ්ටිය ගෙන්නන්න පහසු කරගන්න තමයි කළුපාට බළල් පැටියා ඕන වෙන්නේ "

" හොඳයි සීයේ . දැන් අපි කොහොමද අඳුන මෙහේ ජීවම් කරන්නේ . මල් ආසනයක් වත් හදන්න වෙයි නේද ? "

" ඔවු . කහ වතුරෙන් පුටුවක් හෝදලා අරගෙන ඒකට සුදු රෙද්දක් දාලා මල් ආසනයක් හදාගන්න ඕන . දැන්මම ඕන නැහැ . අපි ටිකක් මහන්සි නිවලා හවස් වෙලා ඒ රාජකාරිය පටන් ගමු . හවස් වේගෙන එනකොට වතුසුද්ද මල් ටිකක් කඩලා තියාගන්න වෙයි . පුවක් මලක් කපාගන්නත් ඕන . මම ජේමිස් එක්ක වත්ත පහලට යනවා පුවක් මලක් තියෙනවද බලන්න . පුතා මොකද කරන්නේ ? "

" මට නිදි මතයි වගේ සීයේ "

" එහෙනම් පුතා නිදාගන්න . කෝ අර දරුවා ? "

" අනුර අයියත් ආව ගමන් නිදිමතයි කියලා නිදාගන්න ගියා "

" ඒ දරුවත් ඉතින් රෑ එළි වෙනකල් මමත් එක්ක මදුරුවෝ තල තල හිටියනේ . ඒක වෙන්න ඇති "





සීයා මට සමුදී පුවක් මල් සෙවීම සඳහා නික්ම ගියේය . මම කළුවර අඳුන තෙල් බෝතලය රැගෙන බුදු කාමරය වෙත පිය මැන්නෙමි . බුදු කාමරය , වලව්වේ ඇති බුදුන් වහන්සේ උදෙසාම වෙන් කර තබන ලද කාමරයයි . එය අනෙක් කාමර වලට වඩා පවිත්‍ර බැවින් කළුවර අඳුන එහි තැබීම වඩාත් සුදුසුයැයි සීයා සිතන්නට ඇත .

කළුවර අඳුන බුදු පිළිමය අසල තබා බුදු කාමරයේ දොර වසා මම මගේ කාමරයට පිවිසියෙමි . සීතාවක රාජසිංහ ලෙස කිරුළු පැළඳ කාලයක් රජකම් කර අකාලයේ මියගිය ටිකිරි කුමරු නමැති මේ ශ්‍රේෂ්ට නරෙශ්වරයා කොයි විදියේ රූප කායකින් හෙබි පුද්ගලයෙකුදැයි මවා ගැනීමට මා උත්සාහ කලෙමි . රජෙකු යැයි අතීත කතා අප සිත් තුල මවන ප්‍රතාපවත් රූප සමහරවිට ඒ කාලයේ ඇත්තටම මිනිසුන් සිත් තුල තිබෙන්නට නැත . ටිකිරි කුමරුද සමහරවිට එවැන්නෙකු වන්නට ඇත . ඔහුගේ නෙත ගැටෙන සුන්දර යුවතියන් ඔහුගේ අන්තඃපුරයේ සාමාජිකාවන් වන්නට ඇත . කෙසේ හෝ ඔහුගේ මනහර ගෙල පළඳනාව තවත් සති කීපයක් ඇතුළත කිසිවෙකුට හෝ සොයාගැනීමට නොහැකිවන සේ පොළවේ වැළලී යනු ඇත .

ශරීරයට දැඩි වෙහෙසක් තිබුණද එය යටපත් කරමින් සිත තුල නැග එන්නේ ටිකිරි කුමරු , නාග වෛරෝඩිය , දොඩම්පේ ගණිතයා , අනුර අයියා  සහ නිධන් වදුලය . එබැවින් මට නින්ද ගියේ නැත . පැයක් පමණ ඇඳට වී සිටි මම ඇඳෙන් බැස ඉස්තෝප්පුවට පිවිසියෙමි . සීයා තනිවම හාන්සි පුටුවේ හිඳ කල්පනා කරමින් සිටියේය .

" සීයේ , අදම කළුවර අඳුන ආයෙත් ජීවම් කරනවද ? "

" ඔව් පුතේ අදයි හෙටයි අනිද්දයි දවස් තුනේම එක දිගටම කළුවර අඳුන ජීවම් කරන්න ඕන . මම මේ කල්පනා කර කර හිටියේ වෙන කාරණාවක් ගැන "

" මොකක්ද සීයේ ? "

" එන්නකෝ කියන්න "

සීයා මා මිදුලට කැඳවාගෙන ගියේය . දැන් වලව්වේ කිසිවෙකුට අප කතා කරන කිසිවක් ඇසෙන්නේ නැත .






" මට මේ කළුවර අඳුන ඉසෙල්ලම අර ළමයාගේ නළලේ ගාන්න හිතෙන්නේ නෑ . ඔයාට මේ කළුවර අඳුන ගාලා බලන්න ඕන ජීවම් කරලා ඉවර උනාම . ඊට පස්සේ මම තීරණය කරනවා මේක අනුර ළමයාගේ නළලේ ගානවද නැත්ද කියලා . මට හිතුනොත් මේක ඒ ළමයාගේ නළලේ ගාන්නේ නෑ කියලා , මට හරි පුතාට හරි තමයි ඔය නාග වෛරෝඩිය ගන්න , ඒක තියල තියෙන තැනට මේක ගාගෙන යන්න වෙන්නේ "

" කමක් නැහැ සීයේ . මමනම් කැමතියි ඕක ගන්න යන්න . සීයා හොඳ විදියක් කල්පනා කරලා කියන්න . මම පරෙස්සමට කරන්නම් ඒ රාජකාරිය "

" මට අනුර ළමයා ගැන අවිස්වාසයක් නැහැ . ඒත් මොකක්දෝ වෙනසක් මට පේනවා ඒ ළමයාගේ . සාමාන්‍ය හැසිරීමට වඩා මේ ළමයාගේ හැසිරීම වෙනස් කියලා මට හිතෙනවා "

" කන බොන වෙලාවට , කතා බහ කරන වෙලාවට මටත් එයාගේ වෙනසක් පේනවා . කමක් නෑ සීයා කල්පනා කරලා බලලා කියන්නකෝ . අපි හොඳ විදියක් බලලා මේ වැඩේ ඉවර කරමු "

සවස් වනවිට අපගේ අවධානය නැවතත් කළුවර අඳුන වෙන යොමු විය . සිදුවී ඇත්තේ විශ්වාස කරන්නට නොහැකි දෙයකි . පාරදෘශ්‍ය තත්ත්වයට පත්වී පැවතී කළුවර අඳුන තද කළු පැහැයට හැරී තිබිණි . සීයා මල් බුලත් සහිත ආසනයක් සාදා එය කහ දියර ඉස පවිත්‍ර කර මල් පහන් පූජා කර කළුවර අඳුන එහි තබන ලදී . පසුව පුවක් මල් කිණිති කඩා කළුවර අඳුන තෙල් බෝතලය වටවන ලෙස පුවක් මල් කිණිති තබා පහන දල්වන ලදී . මල් ආසනය ඉදිරියේ ඇති බංකුව මත මා හිඳගත් අතර සීයා කාලි අම්මා ගෙන්වන මන්ත්‍ර මතුරන්නට පටන් ගත්තේය .






...............මරුකාම හස්තිරේ වා වා නාසීන් කොන්ඩු වාරුම් වර කාලි අම්මා හෙන ගිනි බන්ධන ඉඩහැරී එන්ඩ කාලී වා අඩා වා................
ආකාශ වාරුන් පාතාල වාරුන් වර කාලි අම්මා වඩිග බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා .....................
ඇසුර ගිනි රාක්ෂ කාලි  අම්මා රාම ශර බන්ධන ඉඩහැරී එන් කාලී වා අඩා වා ............
සත් ඉර සත්දන්ත කපාල කොන්ඩු විෂ්ණු දළ කඩවර වර කාලි අම්මා පිල්ලි බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා.......................
සිවාකා මේ කා කා වාරුන් වර කාලි අම්මා රාම බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ................
භාගිනි රාක්ෂයා වඩිග හඬ දැරූ ගිනි රාමයෙන් කාලි අම්මා තෙලිඟු බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා .........................
කල්ලු ගිනි රාක්ෂ දේව ගිනි නීල රාක්ෂ කාලී අම්මා විෂ්ණු බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ........................
කයිරප්පාම් රාඩී වර කාලි අම්මා දෙවගිනි බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ............
දේව කාම ගුරුළු නීල කොන්ඩු වැරුම් වර කාලි අම්මා දේව බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ...................
ගුරු පේසා හැර ගිනි වඩිග කොන්ඩු වැරුම් වර කාලි අම්මා ජාල බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා .................
සූර්ය නීලා කොන්ඩු ප්පේසා සීසා කාලි අම්මා තාරුකා බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ......................
රන් ගිනි කුමාර අප්පොච්චී පාතාල නාග වාරුම් කාලි අම්මා චන්ද්‍ර බන්ධන ඉඩ හැරී එන් කාලී වා අඩා වා ....................
කදිර වා පාතාල කාලි අම්මා ග්‍රහ බන්ධන පිපිරී ඉඩ හැරී එන් කාලී වා අඩා වා ..............

සීයා එක් එක් මන්ත්‍රය මතුරමින් දුම්මල කුඩු රැගෙන අඟුරු කබලට එකතුකරන විට සිදුවූයේ පුදුම සහගත සිදුවීමකි . කළු බළල් පැටවා කොහේදෝ හිඳ දිව විත් මාගේ කකුල් අසල නතර විය . බළල් පැටවාගේ දෙනෙත් රතු පැහැයෙන් දිළිසෙමින් පැවතිනි .

" හා චූටි පුතේ , දිෂ්ටිය ඇවිත් තියෙන්නේ . දැන් ජීවම් කරන මන්තරෙන් මතුරගෙන යන්න දිගටම . නවත්තන්න ඕන උනාම මම කියන්නම් . වැඩි වෙලාවක් මතුරන්න වෙන එකක් නැහැ "

කළු බළල් පැටවා මා සිටි ස්ථානයට පැමිණයේ සාමාන්‍ය ආකාරයකින් නොවේ . ඌ පැමිණියේ යක්ෂ දිෂ්ටිය සහිතවය . කළුවර අඳුන ජීවම් වන්නේ මෙම යක්ෂ දිෂ්ටිය වැටෙන මානයේය . මම මන්ත්‍ර මැතිරීම ආරම්භ කලෙමි . 

...................... ගුරුවා ලංකාරේ එප්පෙයුම් කරුවාලන් කරුවලන් කුත්තෙට්ටු සිප්පනේ පලික් කුඩ සෙත් පාවාදයෙන් වාවා කරුවාලන් එලේන්දියානේ මෝහනී ගුරුවාදන් ගුරුවාලන්කාරෙන් එප්පේයුම් කරුවා කරුවාලා කරුවල කරුවාලා කෝපන් තීන්දම් පාවාඩයෙන් වා වා වා තින්න මින්ද මච්චන් පොට්ටා වාරෙන් ගුරුවාලා කරුවාල එප්පෙයුම් වාවා තේරුම් නාච්චි මොල්ලාන් තේරී කුන්දිරානේ සිවාකා මේ කාකා ගුරුවාලංකාරේ එප්පේයුම් වා වා සීමාලයින් තෝඩාවරුන් වා වා කරුවාලන් කරුවාලන් වාවා ත්‍රී පුර කාලි සරවන පසම්මුඛ පාවාසා අයියුම් කිලියුම් පර්වත වසම් වේශ වෙකුදු සිවාකා මේ කා කා ගුරුවාලන් කරුවාල කරුවල කරුවා වා වා ................................

දීර්ඝ වෙලාවක් මන්ත්‍ර මැතිරීමට සිදු වූයේ නැත . පැයක් පමණ යනවිට කළුවර අඳුන නැවතත් පැහැදිලි දියරයක් බවට පත් විය . ඒ අනුව මන්ත්‍ර මැතිරීම නතර කිරීම සඳහා සීයා විධාන කළේය . කළුවර අඳුන අතින් ගත් සීයා එය රැගෙන ගොස් නැවතත් බුදු කාමරයේ බුදුපිළිමය අසල තැම්පත් කළේය . අනුර අයියා මේ වන විට ඉතාමත්ම මන්දගාමී ස්වභාවයෙන් පසු වූ අතර අප කරන දේවල් බලමින් ඔහු පැත්තකට වී සිටියේය .






පසුව සීයා පැන් භාජනයකට මතුරා ඉන් පැන් ස්වල්පයක් කළු බළල් පැටවාගේ ශරීරයට ඉස්සේය . බළල් පැටවා ප්‍රකෘති සිහිය ලබා තමන් කලින් කරමින් සිටි රාජකාරිය මතක්වී දෝ , ඒ දෙසට දිව්වේය . දින තුනක්ම මේ ආකාරයට කළුවර අඳුන නැවත නැවත ජීවම් කල අතර තුන්වන දිනය සම්පූර්ණ කල පසු කළුවර අඳුනේ රාජකාරී සියල්ල සමාප්ත විය . දැන් තිබෙන්නේ කළුවර අඳුන ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කිරීම පමණි . සීයා මේ සඳහා පිට කෙනෙකු කිසිවිටෙකත් යොදා ගන්නේ නැත . එබැවින් අනිවාර්යයෙන්ම මා තෝරාගන්නා බව මම දනිමි . 

සීයා අනුර අයියා සිටින තැන මා කැඳවා කළුවර අඳුන තෙල් ස්වල්පයක් රැගෙන නළලේ තැවරුවේය . ගතවූයේ නිමේෂයකි . අනුර අයියා පුදුමයෙන් පුදුමයට පත්වී මා සිටි තැන වටා රවුමක් ගමන් කළේය . මා අදෘශ්‍ය මාන වූ බව මා හට නොදැනුනද අනුර අයියාට සහ සීයාට එය පැහැදිළිව දෘශ්‍යමාන වී තිබිණි .

" සීයේ ඇත්තටම මාව පේන්නේ නැද්ද ? "

" නැහැනේ මල්ලි . මට අදහා ගන්න බැහැ මම මේ දකින්නේ හීනයක්ද කියලා . මට මල්ලිව පේන්නේ නෑ "

සීයාට පළමුවෙන් අනුර අයියා තම හඬ අවධි කළේය .

" චූටි පුතේ , මුකුත් අමාරුවක් වෙනසක් එහෙම ඇඟට දැනෙන්නේ නැහැ නේද ? "

" නෑ සීයේ "

" එහෙනම් පරෙස්සමට ගිහින් ඇල් වතුර වීදුරුවක් බීලා එන්නකෝ . එතකොට ඔයා ආයෙත් හිටපු තත්ත්වයට පත් වෙයි "

" හා සීයේ "

මම කෑම මේසය උඩ තබා තිබෙන ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් රැගෙන බීගෙන බීගෙන ගොස් අනතුරුව සීයා සිටින තැනට පැමිණියෙමි .

" කළුවර අඳුන වැඩ කරනවා . පුතා හොඳට ජීවම් කරලා තියෙනවා . බෙහෙත හදනවා වගේම ජීවම් කිරීමත් වැදගත් නේ "

" මල්ලිව එකපාරටම පේන්නේ නැතුව ගියාම මම හොඳටම බය උනා . කළුවර අඳුන ගාන්න ඕන ඇඳුම් නැතුව කියලා තමයි මමනම් අහලා තියෙන්නේ . ඒත් ඇඳුම් ඇඳගෙනම නොපෙනී යන්න පුළුවන් කියලා මම දැනගත්තේ අද තමයි "





" මමත් දැනගෙන හිටියේ නෑ . සීයා කළුවර අඳුන හදනකල් මම ඒ ගැන වැඩිය කියවලා වත් තිබුණේ නෑ "

" මම පොඩි කාලේ චූටි පුතාගේ සීයා කළුවර අඳුනක් හැදුවා හොරකමක් අල්ලගන්න තිබ්බ උවමනාවකට , එදත් තෙල පරීක්ෂා කරේ මම ලවා තමයි . තෙල ජීවම් කරෙත් මම . පුතාත් කවදා හරි මේ දේවල් ඉස්සරහට රැකගෙන යන්න ඕන "

" ඔව් ඔව් . මල්ලි වගේ කෙනෙක් දැනගෙන ඉන්න එක ඉතින් අපිටත් හොඳයිනේ . මොකදමේ වගේ වැඩකට ආයෙත් උවමනා උනොත් මල්ලි අපිට උදවු කරයිනේ නේද ? "

" අයියා ඕන වෙලාවක එන්න . අපි ඉතින් ගම දාලා යනවා කියලය "

කතාව මෙසේ අවසන් වන විටදී සීයා කළුවර අඳුන නැවතත් පෙට්ටගමේ ලා අගුල් දැමීමට මට නියම කළේය  . බුදු කාමරයේ තිබුණු කළුවර අඳුන නැවතත් පෙට්ටගමේ දමා අගුල් දැමීමට සීයා නියම කරන ලද්දේ සමහර විටෙක එය ආරක්ෂා කිරීම අපගේ වගකීමක් ලෙස සලකන නිසා වියයුතුය . ඒ වෙනදා කන් සතරක පමණක් රැඳෙන මෙම කාරණා මේ වනවිට තවත් කන් දෙකක රැදී තිබෙන බැවිනි .

කෙසේ හෝ කළුවර අඳුන සාදා නිම කිරීමෙන් අනතුරුව දින දෙකක් ඇතුළත සීතාවක රාජධානිය බලා පිටත්වීමට සීයා තීරණය කළේය . ගෙන යාමට නියමිතව තිබුණේ අපට දින කීපයක් නැවතීමට අවශ්‍ය ඇඳුම් , කඩුව , කිනිස්ස ඇතුළුව ගුරුකම් සඳහා අවශ්‍ය දේවල් සහ මගදී ආහාර වශයෙන් ගැනීමට යමක් පමණි . ඊටත් වඩා විශේෂ දෙයක් වූයේ කළුවර අඳුන රැගෙන යාමයි . කෙසේ හෝ සීතාවක රාජධානිය පැවති එම ප්‍රදේශය බලා සීයාත් මමත් අනුර අයියාත් පමණක් පිටත්විය . කරත්තය දක්කන ලද්දේ සීයා විසිනි . කරත්තය දක්කන ජේමිස් මෙම ගමනට සුදුසුකම් ලැබුවේ නැත . හේතු කාරණා බැඳීමක් අවශ්‍ය නොවන හෙයින් සීයා ඔහුගේ ගමන වලක්වා අපි තුන්දෙනා පමණක් මෙම ගමන යායුතු යැයි පවසා පාන්දරම වලව්වෙන් පිටත් වීමු .

සීතාවක ප්‍රදේශයට අප ආසන්න වනවිට රෑබෝ වී තිබිණි . අනුර අයියා අපව කැඳවාගෙන ගියේ ඔහුගේ නිවසටය . එය පැරණි පෙනුමක් සහිත නිවසකි . දින කිහිපයක සිට මිදුල අතු ගෑමට කෙනෙක් නොසිටි නිසාවෙන් මිදුලේ කොළ වැටී තිබිණි . අනුර අයියාගේ නිවසේ මිදුලේ කරත්තය නතර කල අපි ඔහුගේ නිවසට පිවිසියෙමු .

" ගුරුන්නාන්සේ අපිට කන්න උයාගන්න මොනවාහරි ගන්න මම කඩ මංඩියට ගිහින් එන්නම් . එතකල් ටිකක් වාඩිවෙලා ඉන්නකෝ "

" හොඳයි දරුවෝ . අපි මෙහෙන් ඉන්නම් . හැබැයි කා එක්කවත් කියන්න එපා අපි මෙහෙ ආවා කියලා . මේ වත්තත් විසාල නිසා කාටවත් වැඩිය පේන්නෙත් නැහැ . ඒත් කියන්න එපා . අපි තව දවස් දෙකක් ඇතුලත මේ රාජකාරිය අහවර කරලා ගමෙන් පිටත් වෙලා යනවා . එතකල් අපි ගමට ආව එක රහසක් විදියට තියාගන්න . අද රෑම අපිව එක්ක යන්න නිධානය නිධන් කරලා තිබුණු තැනට  "

" ඒ මොකටද ගුරුන්නාන්සේ ? "

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )
වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )

Bsc . Bilogical Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පාරම්පරික ජ්‍යෝතිෂ වේදී
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

No comments:

Post a Comment